ෂැංහයි ට‍්‍රක් රථ රියදුරන්ගේ වැඩ වර්ජනයේ ඇඟවුම්

The implications of the Shanghai truckers’ strike

30 April 2011

දහස්සංඛ්‍යාත ෂැංහයි ට‍්‍රක් රථ රියදුරන් විසින් පසුගිය සතියේ ඉහල යන ඉන්ධන මිල ගනන් සහ ගාස්තු වලට එරෙහිව ගෙන ගිය දින තුනක වැඩ වර්ජනය රට තුල දැවැන්ත කම්කරු පන්තියේ පුලුල් කැරලිකාරීත්වයක් පැන නැගීමේ හැකියාව පිලිබඳ නැවත වතාවක් චීනය තුලත් ජාත්‍යන්තරවත් පාලක කවයන් අතර භීතිය අවුලුවා තිබේ.

පොලිස් බිය වැද්දීම් සහ අත්අඩංගුවට ගැනීම් වලින් විරෝධතාවය අවසන් කිරීමට අසමත් වූ පසු, ෂැංහයි නගර අධිකාරින්, අනෙකුත් කම්කරුවන් අතරට වැඩවර්ජනය පැතිරයාමේ අවදානම සලකමින් වරාය ගාස්තු පහත හෙලීමක් නිවේදනය කලේය. පසුගිය සති අන්තයේ විරෝධතාවය යාන්තමින් අවසානයකට පැමිනිය ද වර්ජනයට හේතු වූ එකදු ප‍්‍රශ්නයක් විසඳී නැත.

ලෝකයේ ප‍්‍රධාන සංගත ගෝලීය නිෂ්පාදනය සහ ලාභ චීනයේ ලාභ ශ‍්‍රම සූරාකෑම මත දැවැන්තවම රඳා පවතින බවත්, නිමි භාන්ඩ සහ කොටස් වල ප‍්‍රවාහයට එරෙහි කවර හෝ බාධාවක් විනාශකාරී ආර්ථික ගැටුම් ඇතිකල හැකි බවට හොඳාකාරව ම දැනුවත්ව සිටී. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය බ‍්‍රහස්පතින්දා අනතුරු ඇඟවූ ආකාරයට චීනයේ අපනයන වෙලඳාම පෝෂනය කරනුයේ ඉහලම කාර්යක්ෂමතාවයකින් යුත් කර්මාන්ත ශාලා, අඩු වියදම් ශ‍්‍රමය, සහ කන්ටේනර් නැව් පෙලක් මගිනි. නමුත් දුර්වල පුරුකක් නම් කර්මාන්තශාලා මුහුදු වරායන්ට සම්බන්ධ කරන ට‍්‍රක් රථ පද්ධතියයි.

යටිතල පහසුකම් සංවර්ධනයන්ට ආන්ඩුවේ අධික ආයෝජනය තිබිය දී ම, චීනයේ ප‍්‍රධාන ආයෝජන කලාප දෙකෙහි එනම් ෂැංහයි වලට ආසන්න යැංග්ට්සි ගඟේ ඩෙල්ටාව සහ හොංකොං වටා ඇති පර්ල් ගඟේ ඩෙල්ටාව තුල ට‍්‍රක්රථ ප‍්‍රවාහන සේවයේ මිල එක්සත් ජනපදයටත් වඩා ඉතා ඉහල අගයක පැවතුන ද, ට‍්‍රක් රථ රියදුරන් පැයකට උපයනුයේ ඩොලර් සත 25 ක් තරම් සොච්චම් මුදලකි.

මෙහි ප‍්‍රතිපලයක් ලෙස ස්වාධීන ට‍්‍රක් රථ රියදුරන් පීඩනයට පත්වේ. ඉහල ජාත්‍යන්තර මිල ගනන් නිසා ඉන්ධන මිල ඉහල යාමත් රාජ්‍ය සහනාධාර කපා හැරීමත් නොතකමින් කර්මාන්ත ශාලා හිමිකරුවන් ට‍්‍රක් රථ රියදුරන්ට වැඩිපුර ගෙවීම ප‍්‍රතික්ෂේප කරයි. චීන මහාමාර්ග වල මිලියන 10 ක පමන ට‍්‍රක් රථ හා ප‍්‍රවාහන ඉල්ලීම් සඳහා තරග කරන ඉතා විශාල රියදුරු සැපයුමක් තිබේ.

රියදුරන්ගේ වර්ජනය, චීන සමාජය පුරා පවතින ආන්තික සමාජ ආතතිය පිලිබඳ පෙරනිමිත්තකි. සමස්ත ලෝකයේ මෙන්ම, ආහාර සහ ඉන්ධන වල ඉහල යන මිල ගනන් චීනය පුරා කම්කරු පන්තිය මත බලපෑම් ඇති කොට තිබේ. නව ආසියානු සංවර්ධන බැංකු වාර්තාවක් මගින් 2010 ජූනි මස සිට 2011 පෙබරවාරි මස දක්වා කාලය තුල ගෝලීය ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් සියයට 40.4 කින් ඉහල නැග ඇති බව සොයා ගෙන තිබේ. මෙහි දී සීනි සියයට 85.9 න් ද, ද්‍රවමය ආහාර සියයට 67. 9 න් ද, ආහාරයට ගත හැකි තෙල් සියයට 65.9 න් ද ඉහල ගොස් ඇත.

ආසියානු සංවර්ධන බැංකු වාර්තාව නිගමනය කරනු ලැබුවේ මෙම වසරේදී ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් සියයට 10 කින් වැඩි වුවහොත් ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල තවත් මිලියන 64 ක ජනතාවක් දිනකට ඇමරිකානු ඩොලර් 1.25 ක වඩා අඩු දරිද්‍රතා රේඛාවෙන් පහලට වැටෙන බවයි. මෙයින් බොහෝ දෙනෙක් මාර්තු මාසයේ වාර්තා වූ වාර්ෂික ආහාර ද්‍රව්‍යවල උද්ධමන අනුපාතය සියයට 11.7 ක් වූ චීන ජනතාව වනු ඇත. චීන කම්කරුවන් අපාලිත දේපල සමපේක්ෂනයේ නිෂ්පාදනයක් වන ඉහල යන නිවාස මිල ගනන් වලින් ද තදින්ම බැට කමින් සිටී.

රට තුල අස්ථාවර සහ අපාලිත ධනේශ්වර වර්ධනය මත ලැග සිටින, සාවද්‍ය ලෙස නම් කරනු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයකට බිය වේ. ඉහල යන මිල ගනන් සහ රාජ්‍ය දූෂනය කෙරෙහි ඇතිවූ කෝපය නිසා 1989 දී තියනන්මන් චතුරස‍්‍රයේ සහ වෙනත් නගරවල ශිෂ්‍යයන් සහභාගී වූ විරෝධතාවයට මිලියන ගනන් කම්කරුවන් සම්බන්ධ වූහ.

චීනය තුල හැම දෙයක්ම විශාල කර පෙන්වනු ලබයි. තියනන්මන් චතුරස‍්‍රයේ කම්කරුවන් සහ ශිෂ්‍යයන් ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කල හමුදා සහ ආරක්ෂක තන්ත‍්‍ර සැලකිය යුතු තරම් ය. නමුත් එය පසුගිය විසි වසර පුරා ජනගහනයේ කොටසක් ලෙස හා ප‍්‍රමානයෙන් වර්ධනය වූ කම්කරු පන්තිය විසින් අඟුටුමිටි බවට පත් කර තිබේ. අලුත්ම සංගනන පෙන්වා දෙනුයේ නාගරික ජනගහනය මිලියයන 665 ක් වන බවත්, එය සමස්ථ ජනගහනයෙන් සියයට 50 කට ආසන්න බවත් ය. 1990 දී එය මිලියන 298 ක් දක්වා පහල අගයක පැවති අතර ප‍්‍රතිශතයක් ලෙස ගත්කල සියයට 26ක් පමන විය.

බීජිංවල ස්ටැලින්වාදී පාලනතන්ත‍්‍රය මැද පෙරදිග සහ උතුරු අපි‍්‍රකාවේ දිග හැරෙන "පිච්ච මල් විප්ලවය” දෙස තැතිගැන්මෙන් බලා සිටියේ ය. එය ඊජිප්තුව සහ ටියුනීසියාව අනුකරනය කරන කම්කරු ජනතාවට කැඳවුම් නිකුත් කල අන්තර්ජාල කි‍්‍රයාකාරීන් වට ලා අත් අඩංගුවට ගෙන තිබේ. දැනටමත් බොහෝ වෙබ් අඩවි ට‍්‍රක් රථ කම්කරුවන් හුවාදක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ "ෂැංහයි කම්කරුවනගේ ගර්ජනා කිරීම චීනය සොලවා ඇති බවයි.”

කෙසේ වෙතත්, ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ පාඩම වන්නේ, ස්වයංසිද්ධ විරෝධතා සහ වැඩවර්ජන වලට එනයින්ම කම්කරුවන් මුහුන දෙන කිසිදු මූලික ප‍්‍රශ්නයක් විසඳා ගත නොහැකි බවයි. ඊජිප්තු නායක හොස්නි මුබාරක් ට ඉල්ලා අස්වීමට බල කෙරුන ද තවමත් බලය අත දරා ගෙන සිටිනුයේ ඊජිප්තුවේ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම පිනිස මර්දනය යොදා ගැනීමට කිසිවිට නොපැකිලෙන හමුදා නිලධාරීන් අත ය.

චීන කම්කරුවන් 1989 විරෝධතාවයේ ප‍්‍රතිපලය සැලකිල්ලට ගත යුතුය. මිලියන ගනනින් විරෝධතාවයට සම්බන්ධ වුවද ව්‍යාපාරයේ නායකත්වය තවදුරටත් ඉතිරිව පැවතියේ සීසීපී පාලන තන්ත‍්‍රය පෙරලා දමනු වෙනුවට එය සමග ගනුදෙනුවකට යාමට බොහෝ සෙයින් උත්සාහ කල ”ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්” සහ බීජිං ස්වාධීන කම්කරු සම්මේලනයේ නායක හැං ඩොංෆැංග් වැනි පුද්ගලයින් අත ය. ඔවුන්ගේ ඉදිරි දර්ශනය වූයේ චීන ධනවාදය විස්තාරනය කිරීමට මිස එය අවසන් කිරීමට නොවේ. ඔවුන්ගේ දිශානතිය ආන්ඩුවට නැවත සංවිධානය වීමට සහ භට කන්ඩායම් සහ යුධ ටැංකි යැවීමට කාලය ලබා දුන්නේය.

පසුගිය මැයි සහ ජූනි මස, හොන්ඩා සම්පේ‍්‍රෂනාගාරයෙන් ආරම්භ වී කර්මාන්ත ශාලා ගනනාවක තරුන කම්කරුවන් ඉහල වැටුප් සහ ස්වාධීන වෘත්තීය සමිතියක් ගොඩනැගීමේ අයිතිය වෙනුවෙන් වැඩ වර්ජනයක නියැලුනහ. විරෝධතා ව්‍යාපාරය පැතිරී යාම වැලැක්වීමට ව්‍යාපාරිකයන් බීජිනයේ ආශිර්වාදය ඇතුව උද්ධමනය මගින් සැනෙකින් හේදී ගිය සීමිත වැටුප් වැඩි වීමක් ප‍්‍රදානය කල නමුත් ස්වාධීන සංවිධානයක් නොවීය. බීජීනය කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන හැරී ගැනීමක පදනමක් බවට පත්විය හැකි ඕනෑම සමිතියකට, සංවිධානයකට, අන්තර්ජාල වෙබ් අඩවි වලට සහ ආගමික සංවිධාන වලට පවා බියට පත් වී සිටී.

සීසීපී ය ට‍්‍රක් රථ රියදුරන්ගේ වර්ජනය තුල අන්තර්ගත අනතුරු සංඥා ග‍්‍රහනය කරගෙන ඇති අතර සිය රාජ්‍ය යන්ත‍්‍රය ඒ අනුව සුදානම් කරමින් සිටී. පොලිස් රාජ්‍ය කි‍්‍රයාමාර්ග මෙන්ම මේ තන්ත‍්‍රයට කැරලිකාරී කම්කරු පන්තියක් අවමංගත කොට වට කර තැබීම පිනිස සාහසික දේශපාලන යාන්ත‍්‍රනයක් ද අවශ්‍ය ය. රජය මගින් පිටුබලය සපයන සමස්ථ චීන වෘත්තීය සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ කොංග් ෂියංගොංග්, "ජනතාවගෙන් ඈත්වෙමින් යන අපේ වෘත්තීය සමිති කෙරෙහි ඇති අනතුර අපි අවබෝධ කර ගෙන සිටිමු.” යනුවෙන් මෑතකදී වොෂිංටන් පෝස්ට් පුවත්පතට ප‍්‍රකාශ කලේය. ඔහු මේ වසර මුලදී හොන්ඩා කම්කරුවන් කල තවත් වැඩ වර්ජනයක් සියයට 30 ක වැටුප් වැඩිකිරීමේ එකඟතාවයක් මගින් දුර්මුඛ කොට විසුරුවීය.

අර්ථභාරීව, ආන්ඩුව කැරලිකාරීන් මත එල්ල කරන වත්මන් ප‍්‍රහාරය මධ්‍යයේ රජයේ නිල මාධ්‍යයක් වන පීපල්ස් ඩේලි පුවත්පත විවිධ අදහස් සම්බන්ධයෙන් දැඩි ඉවසීමක් කැඳවුම් කරමින් අසාමාන්‍ය විචාරයක් පල කලේය. පුවත් පත කැරලිකාරීන්ට චෝදනා කල සහ එබඳු විරෝධය දැක්වීමේ හඬවල් මර්දනය කිරීමට සිය බලය යෙදවූ අය විවේචනයට ලක් කලේය. මෙම ඉවසන ලෙස කල ආයාචනය, ඔවුන් 1989 දී කලාක් මෙන්, කම්කරු පන්තියේ කැරලිකාරත්වයකට තීරනාත්මක ආරක්ෂක කපාටයක් සම්පාදනය කරනු ඇති විවිධ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්” වෙත කල ප‍්‍රවේශම් සහගත ප‍්‍රවේශයකි.

කම්කරුවන් තමාගේම නිගමනයන් උකහා ගත යුතුව තිබේ. මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සහ වඩා හොද ජීවන තත්ත්වයන් සඳහා වන අරගලය අනවරතයෙන්ම සීසීපී පාලනතන්ත‍්‍රයට සහ එය රඳා පවතින ධනේශ්වර පද්ධතියට එරෙහි දේශපාලන අරගලයකි. එබඳු අරගලයකට කම්කරුපන්තියේ ඓතිහාසික අත්දැකීම් මත; සියල්ලටමත් වඩා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදයට එරෙහිව දියත් කල දේශපාලන සටනේ පාඩම් මත පදනම් වීම අත්‍යවශ්‍ය වේ. මින් අදහස් වනුයේ චීනය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීමයි.

ජෝන් චෑන්