ඊස්රායල දේශසීමා සංහාරය හා මානව හිමිකම් පිලිබඳ කුහකත්වය

Israel’s border massacre and human rights hypocrisy

17 May 2011

ඊස්රායලය විසින් පසුගිය ඉරිදා ඊස්රායල පලස්තීන දේශසීමාවේ දී නිරායුධ පලස්තීන විරෝධතා කරුවන් සංහාරය කිරීම සම්බන්ධයෙන් ඔබාමා පරිපාලනය දක්වා ඇති ප‍්‍රතිචාරය කලාපය තුල වොෂින්ටනයේ සූරාකෑමේ පිලිවෙතට "මානවවාදී” පාට තවරන්නන්ගේ කුහකත්වය ඉස්මතු කොට දක්වයි.

ඊස්රායලය විසින් පසුගිය ඉරිදා ඊස්රායල පලස්තීන දේශසීමාවේ දී නිරායුධ පලස්තීන විරෝධතා කරුවන් සංහාරය කිරීම සම්බන්ධයෙන් ඔබාමා පරිපාලනය දක්වා ඇති ප‍්‍රතිචාරය කලාපය තුල වොෂින්ටනයේ සූරාකෑමේ පිලිවෙතට "මානවවාදී” පාට තවරන්නන්ගේ කුහකත්වය ඉස්මතු කොට දක්වයි.

සිරියාව, ලෙබනනය, බටහිර ඉවුර හා ගාසා තීරය සමග වන ඊස්රායලයේ දේශසීමාවල දී විරෝධතාවේ යෙදුනු පලස්තීන ජාතිකයන්ට සජීවී උන්ඩ හා එක් අවස්ථාවක දී යුද ටැංකි යොදාගෙන ඊස්රායල හමුදා වෙඩි තබන ලදී. දස දහස් ගනනක් විරෝධතාවන්ට එකතු වූයේ 1948 දී ඊස්රායල නිදහස ප‍්‍රකාශයට පත්කිරීම හා මිලියන තුන්කාලක් පමන පලස්තීන ජාතිකයන් සිය නිවාසවලින් එලවා දමමින් සිදුකල මහා පරිමාන වාර්ගික විලෝපනය හැඳින්වීම සඳහා පලස්තීන වැසියන් භාවිතා කරන ව්‍යසනය යන අරාබි අර්ථය සහිත නැක්බාහි 63වන සංවත්සරය සැමරීමට යි.

එදා මෙදාතුර වසරවල දී අයිතිවාසිකම් හෝ පුරවැසිභාවය නොමැතිව අසල්වැසි අරාබි රටවල, ඊස්රායල ග‍්‍රහනය යටතේ ගාසා තීරයේ හා බටහිර ඉවුරේ හෝ ඊස්රායලය තුල ම දෙවන ගනයේ පුරවැසියන්ටත් අන්ත ලෙස ජීවත් වන සරනාගත හා අභ්‍යන්තරව අවතැන් වූ පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව මිලියන 7.1ක් බවට පත්ව ඇත.

විරෝධතාකරුවෝ තම නිවාස හා ඉඩම් වෙත "ආපසු පැමිනීමේ අයිතිය” ඍජුව අවධාරනය කරමින් සිටියහ. වොෂින්ටනයේ පිටුබලය ලබන ඊස්රායලය අවධාරනාත්මකව ප‍්‍රතික්ෂේප කොට ඇති මෙම අයිතිය පලස්තීන විමුක්ති සංවිධානයේ (පීඑල් ඕ) ධනේශ්වර ජාතිකවාදී නායකත්වය විසින් කේවල් කිරීමට යොදාගන්නවාට වඩා වැඩි දෙයක් බව පැහැදිලි කර ඇත.

ඉරිදා ලෙබනනයේ මරුන් අල්-රාස් අසල දේශසීමා වාටියේ දී වෙඩි තැබූ ඊස්රායල භටයෝ පලස්තීන සරනාගතයන් 10ක් මරා තවත් 80කට තුවාල සිදුකලහ. ඊසරායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ මජ්ඩාල් ෂාම්ස් නමැති දේශසීමාවේ පිහිටි ගම්මානයේ දී තවත් පලස්තීන වැසියන් 5ක් මරා දමා අවම වසයෙන් 30කට තුවාල සිදු කරන ලදී.

ගාසා තීරයේ උතුරුදිග කොටසේ බෙයිට් හැනන්හි දේශසීමා විරෝධතාවකට කුඩා අවි හා යුද ටැංකි යොදාගෙන ඊස්රායල හමුදා එල්ල කල ප‍්‍රහාරයක දී තවත් පලස්තීන වැසියෙක් මරා අවම වසයෙන් සිවිල් වැසියන් 86කට තුවාල සිදුකරන ලදී. රාමලා, බෙත්ලෙහෙම් හා හෙබ්රොන් හි විරෝධතාවන්වලට ද පොලීසිය හා භටයෝ පහර දුන්හ. සමස්තයක් ලෙස වැසියන් 16ක් මැරී දරුනු ලෙස තුවාල ලද අය ද ඇතුලත්ව 400ක් තුවාල ලදහ.

මෙම කෲර මර්දනය පිලිබඳව ජනාධිපති ඔබාමාගේ ප‍්‍රතිචාරය විමසූ විට ධවල මන්දිර ප‍්‍රධාන ප‍්‍රකාශක ජේ කානි "ජීවිත නැතිවීම” පිලිබඳ නිල "කනගාටුව” පලකොට ඊස්රායලයේ මිනීමරු විනෝදාංශය ආවරනීය ලෙස ආරක්ෂා කරන නිවේදනයක් නිකුත් කලේ ය.

"අන් සෑම රටක් මෙන් ම ඊස්රායලයට ද සිය දේශසීමා අනවසරයෙන් තරනය කිරීම වැලැක්වීමට අයිතියක් තිබෙනවා” යයි කානි පැවසීය. "එවැනි කි‍්‍රයාවක් වැලැක්වීමේ වගකීම තිබෙන්නේ එහි අසල්වාසීන්ට යි.”

"අන් සෑම රටක් මෙන් ම ඊස්රායලය” හා "දේශසීමා” යන වචන අඩංගු වන ඕනෑම වාක්‍යයක් අර්ථ දැක්වීම අතින් බොරුවකි. එක් අතකින් මිලිටරි ආක‍්‍රමනය ද අනෙක් අතින් සියොන්වාදී ජනාවාසයන්හි විනාශකාරී පැතිරීම ද හේතුවෙන් අන් රටවලට වෙනස්ව ඊස්රායල දේශසීමා අනවරතව වෙනස් වේ. කොයි හැටි වෙතත් ඉරිදා මරා දැමුනු අය සිටියේ ලෙබනනය, සිරියාව, බටහිර ඉවුරේ හා ගාසා තීරය තුලය.

ඉරිදා ලේ හැලීමේ ප‍්‍රධාන වගකීම ඊස්රායල ආන්ඩුව මත නොව සිරියාව මත පැටවීම දක්වා කානි ඉදිරියට ගියේ ය.

ගෝලාන් කඳුකරයේ ඊයේ පැනනැගි විරෝධතා ඇවිලවීම සඳහා සිරියානු ආන්ඩුව නිරතවීම සම්බන්ධයෙන් අපි අත්‍යන්තයෙන් විරුද්ධ යි. ප‍්‍රකාශ කල කානි "එවැනි හැසිරීමක් පිලිගත නො හැකි අතර තමන්ගේ ම රටතුල සිරියානු ආන්ඩුව කරගෙන යන මර්දනයෙන් ඈත් වීමක් වන්නේ නැතැ” යි ද පැවසීය.

බහුතරයක් දෙනා මියගියේ සිරියාවේ දී නොව ලෙබනන් දේශසීමාවේ දී බැව් පවසමින් නිරායුධ විරෝධතාකරුවන් ඝාතනය කිරීම හා ඔවුන්ට තුවාල සිදුකිරීම පිලිබඳව ඊස්රායල ආන්ඩුව කල නින්දිත සාධාරනීකරනය කානිගේ හේතු දැක්වීමේ මෙම විධික‍්‍රමය මගින් ප‍්‍රතිරාවය කරයි.

බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව තම රට තුල අභ්‍යන්තර විරුද්ධත්වය ලේ වැකි ලෙස මර්දනය කිරීමෙන් අවධානය ඉවතට හරවනුවස් පලස්තීන සරනාගතයන්ට මිලිටරීකෘත ගෝලාන් කඳුවැටිය හරහා චලනය වීමට ඉඩ ලබා දුන්නේ ද යන්න ඉරිදා සිදුවීම්වල තීරනාත්මක කාරනය නො වේ.

තම අයිතිවාසිකම් වෙනුවෙන් යුද ටැංකි හා තුවක්කු උන්ඩවලට මුහුන දීමේ දී තරුන පලස්තීන ජනයා පෙන්නුම් කර ඇති වීරත්වය හා අධිෂ්ටානය ටියුනීසියාවේ, ඊජිප්තුවේ, බහරේනයේ හා අරාබි ලෝකයේ අනෙකුත් තැන්වල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මෑත විප්ලවවාදී නැගී සිටීම් සමග එකපෙලට සිටී. ඊස්රායල රාජ්‍යයට මුහුන දීමේ දී ඔවුන් ඒ හා සමානව පලස්තීනුවන්ව යලි යලිත් මර්දනය කොට පාවා දී ඇති සියලු අරාබි ධනේ්ශ්වර තන්ත‍්‍රයන්ට එරෙහිව කි‍්‍රයාකාරී වේ.

ඉරිදා ලෙබනනයේ දී ලෙබනන් භටයෝ ද පලස්තීනුවන් දේශසීමාවෙන් පලවා හැරීම සඳහා වෙඩි තැබූහ. පලස්තීනුවන්ට සහයෝගය පලකරමින් කයිරෝහි ඊස්රායල තානාපති කාර්යාලයට පිටතින් රැස්වූ දහස් ගනන් දෙනාට එරෙහිව ඊජිප්තුවේ මිලිටරි ආධිපාත්‍යයික තන්ත‍්‍රය භටයන් හා පොලීසිය යෙදවීය. කඳුලු ගෑස්, රබර් උන්ඩ හා ජීව උන්ඩවලින් ප‍්‍රහාර එල්ල කරමින් ආරක්ෂක හමුදා සිය ගනනකට තුවාල සිදුකලහ.

යථාර්ථය වන්නේ ප‍්‍රතිගාමී අරාබි තන්ත‍්‍රයන් විසින් සිදු කරනු ලබන මෙම මර්දනයට වොෂින්ටනය සහයෝගය දක්වන අතර සියල්ලට ම ත් වඩා පලස්තීන ජනයාට එරෙහි ඊස්රායලයේ ක‍්‍රමානුකූල ප‍්‍රචන්ඩත්වයට හා මර්දනයට එය පිටුබලය දෙයි.

මැද පෙරදිග තුල එක්සත් ජනපද පිලිවෙතේ නිර්ලජ්ජිත දෙපිටකාට්ටු කම හා නරුමත්වය එලඹෙන සතියේ මුලුමනින් ප‍්‍රදර්ශනය කිරීමට නියමිත ය. "අරාබි වසන්තයට” තම අනුග‍්‍රහය පලකරමින් හා නිසැකව ම ලිබියාවේ ගඩාෆි හා සිරියාවේ අසාද්ව ඔවුන්ගේ පීඩකත්වය පිලිබඳව හෙලා දකිමින් බ‍්‍රහස්පතින්දා ඔබාමා කතා කරයි.

මෙයට පසුව සිකුරාදා අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග පැවැත්වෙන ධවල මන්දිර හමුවක් හා ඊස්රායල දේශසීමාව කරා එලඹෙන නිරායුධ සරනාගතයන්ට එරෙහිව ස්වයංකී‍්‍රය අවි හා යුද ටැංකි භාවිතා කිරීම හෙලා නො දකිනු ඇතැයි යමෙකුට නිශ්චිතව ම කිවහැකි වන, එක්සත් ජනපදයේ ප‍්‍රධාන සියොන්වාදී කන්ඩායම වන ඇමරිකා ඊස්රායල දේශපාලන කි‍්‍රයාකාරී කමිටුව (ඒඅයිපීඒසී) අමතා කරන කතාවක් ද පැවැත්වේ. ධවල මන්දිර ප‍්‍රකාශකයා කියූ පරිදි ඒඅයිපීඒසී කතාවේ තේමාව වන්නේ "ඊස්රායල්වරුන් හා ඇමරිකානුවන් අතර සෙලවිය නො හැකි බැඳීම හා එම බැඳීමේ වැදගත් කමයි.”

"කවදා කොතැනකදී හෝ මානව හිමිකම්” පිලිබඳ සාංකාවන් පලකල යුතු යයි වොෂින්ටනය තීරනය කරන්නේ යම් ආකාර විශ්වීය මූලධර්මයක් මගින් නොව නිශ්චිත අධිරාජ්‍යවාදී අවශ්‍යතා මගින් යන්න අත්දුටු දෙයකි.

ලිබියාවේ මෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික ඉලක්කයන් සමග නො පෑහෙන රටක් අභ්‍යන්තර මර්දනයක් සිදු කරන්නේ නම් එය වොෂින්ටනයට වඩාත් පක්ෂපාත තන්ත‍්‍රයක් ඇනවීම හා තෙල් සම්පත් මත වඩා ඍජු ඇමරිකානු පාලනය තහවුරු කිරීම ඉලක්ක කරගත් අධිරාජ්‍යවාදී මැදිහත් වීමක් සඳහා ව්‍යාජ නිමිත්ත බවට පත්කර ගැනේ.

බහරේන් හෝ අනෙක් අතට ඊස්රායලය වැනි එක්සත් ජනපද අවශ්‍යතා සමග පෙලගැසී සිටින වෙනත් රටක් නිරායුධ සිවිල් වැසියන් කෲර ලෙස මර්දනයක නිරත වන්නේ නම් එයට වක‍්‍ර හෝ ඍජු පිටුබලය පවා ලැබෙන්නේ ය.

අධිරාජ්‍යවාදී යුද්ධ නරුමව හා වංචාකාරී ලෙස සාධාරනීකරනය කිරීමට "මානව හිමිකම්” බොහෝ කාලයක් තිස්සේ සේවය කොට තිබුන ද එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ ස්වයං-ප‍්‍රකාශිත "ලිබරල්ලු” හා "වාමාංශිකයෝ” එක්සත් ජනපද-නැටෝ ලිබියානු ආක‍්‍රමනය පිටුපස පෙලගැසී ඇත්තේ හරියට ම එම පදනම මත ය.

ඔවුන් අතර ප‍්‍රමුඛයා වන්නේ බෙංගාසිහි පදනම් වන ඊනියා "කැරලිකරුවන්” උත්කර්ෂනය කිරීමට හා පෙන්ටගනය හා නැටෝව යන ඔවුන්ගේ අනුග‍්‍රාහකයන්ගේ මිලිටරි කි‍්‍රයා සැමරීමට තම වෙබ් පුවත් චර්චාව භාවිතා කොට ඇති මිචිගන් සරසවියේ මහාචාර්ය ජුවාන් කෝල් ය.

දේශසීමා ඝාතන විස්තර කල, 1948 ඓතිහාසික අපරාධ විමර්ශනය කල හා ඊස්රායල ආන්ඩුවේ වර්තමාන පිලිවෙත් හෙලා දැකි "අරාබි වසන්තය ඊස්රායලයට පැමිනේ” නම් චර්චාවක් කෝල් සඳුදා පලකලේ ය. කෙසේ වෙතත්, කැපී පෙනෙන කරුන වන්නේ පලස්තීනයට එරෙහි අපරාධයන් ශක්‍ය කරනුවස් ඊස්රායලයට එක්සත් ජනපදය ලබා දුන් දැවැන්ත මිලිටරි සහ මූල්‍ය සහාය පිලිබඳව එක් වචනයක් හෝ කෝල්ගේ සැඳහුමේ නොමැති බවයි.

ඊස්රායලයේ දී මහජන ඝාතනයන්ට හා මර්දනයට සහාය දෙන එක්සත් ජනපදයට ලිබියාවේ දී "මානව හිමිකම්” ආරක්ෂා කල හැක්කේ කෙසේදැයි එය විස්තර කලේ නැත.

පසුගිය මාස දෙක පුරා ලිබියාව තුල එක්සත් ජනපද-නැටෝ ආක‍්‍රමනය කි‍්‍රයාශීලීව ආරක්ෂා කිරීමේ නිරතව ඇති කෝල් හා ඔහුගේ වර්ගයේ අනෙක් අය කලාපයේ වෙනත් තැනක වොෂින්ටනයේ පිලිවෙත්වලට විරුද්ධ වීමට විශ්වාසවන්ත භාවයක් හෝ නැඹුරුවක් අහිමි කරගෙන සිටී.

පලස්තීන වැඩකරන ජනයා හා තරුනයෝ ඔවුන්ගේ දීර්ඝ හා කටුක අරගලයේ තීරනාත්මක නව අවධියකට ඇතුල්වෙමින් සිටිති. ඔවුන් තම මිත‍්‍රයන් සොයාගනු ඇත්තේ අධිරාජ්‍යවාදීන් සමග පෙලගැසීමට තම"යුදවිරෝධී” අතීතය අත්හැර ඇති ඊනියා "වම්මුන්” හා "ලිබරලුන්” තුල නොව ඊස්රායලය ද ඇතුලත්ව මැද පෙරදිග පුරා අරගලයට ඇදෙන කම්කරුවන් හා ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලිනි.

බිල් වෑන් ඕකන්