ඇමරිකාවේ රැකියා අර්බුදය

The jobs crisis in America

30 May 2011

1930 ගනන් වලින් මෙපිට නරකම විරැකියා තත්වය හමුවේ එක්සත් ජනපදය රට පුරා ප‍්‍රාන්තයන්හි රැකියා විරහිතයින්ගේ සහන කපා හරිමින් සිටියි. ආර්කන්සාස්, මිචිගන් හා මිසෝරි ප‍්‍රාන්ත දැනටමත් විරැකියා සහන කැපීම ක‍්‍රියාත්මක කර ඇති අතර ෆ්ලොරිඩා, පෙන්සිල්වේනියා හා දකුනු කැරොලයිනාව එසේ කිරීමට සූදානම් වෙයි.

මිචිගන් හා මිසෝරි ප‍්‍රාන්ත ආන්ඩු රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සාමාන්‍යයෙන් සති 26ක් සඳහා ගෙවන විරැකියා ගෙවීම් සති 20කට සීමාකර ඇත. මේ අතර ෆ්ලොරිඩාවේ ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව එහි නිල විරැකියා මට්ටම අනුව ආධාර සති 12ක් පමන දක්වා සීමා කිරීමේ නීතියක් පනවා ඇත.

විරැකියා පවුල් දරිද්‍රතාවයට ඇද දමන මෙම ද්වේෂසහගත දන්ඩන පියවර ඇමරිකානු වැඩකරන ජනතාව විසින් දිනාගෙන තිබෙන සියලු සමාජ සහන අතුගා දැමීමේ ඔබාමා පාලනාධිකාරයේ මූලිකත්වය යටතේ දැනට සිදුවන ක‍්‍රියාවලියක කොටසකි.

පාසැල් වැසීමේ සෞඛ්‍ය පහසුකම් කැපීමේ හා ප‍්‍රාන්ත ආන්ඩු සේ ම ෆෙඩරල් ආන්ඩු මට්ටමෙන් රජයේ සේවකයින් ලක්ෂ ගනනින් දොට්ට දැමීමේ මධ්‍යම ආන්ඩුවේ පියවරයන් පසෙකින් මෙය සිදුවෙමින් තිබේ. ආන්ඩුවේ ඉතා මූලික සහන ලැබීමේ අවස්ථාව අහිමිකරනු ලබන මිලියන ගනන් කම්කරුවන්ට කුමන හෝ වැටුපකට ඕනෑම රැකියාවක් සඳහා ඉදිරිපත් වීමට බල කෙරෙන ආර්ථික වශයෙන් යන එන මං නැති තත්වයකට ඇද දමන කොන්දේසි නිර්මානය කිරීම මෙහි අවසාන අරමුන වන්නේය.

"ආර්ථික ප‍්‍රකෘතිමත් වීමක්” පිලිබඳ කථා කුමක් වුවත් රැකියා පිලිබඳ තත්වය ව්‍යසනකාරී ය. අපේ‍්‍රල් මාසයේ ප‍්‍රාන්ත දහ අටක හා කොලොම්බියා දිස්ත‍්‍රික්කයේ නිල විරැකියා අනුපාතය සියයට 9ක් හෝ ඊට ඉහල අගයකින් පැවති නමුත් මූර්ත විරැකියාව එයට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පවතියි. දැනට එක්සත් ජනපදය තුල වැඩ කිරීමේ අවශ්‍යතාව තිබුනත් රැකියාවක් සොයාගත නොහැකි හෝ අකැමැත්තෙන් වුවත් අර්ධ කාලීන රැකියාවල නියුක්ත කම්කරුවන් සංඛ්‍යාව මිලියන 24කි. මෙම සංඛ්‍යාව චිලියේ හෝ නෙදර්ලන්තයේ ජනගහනයට වඩා වැඩි වන අතර කියුබාවේ ජනගහනය මෙන් දෙගුනයකි.

එක්සත් ජනපදයේ කම්කරුවන් මිලියන 5.8ක් සති 27ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ නැතිව සිටියි. සති 99ක් තුල රැකියාවක් සොයාගැනීමට අසමත් වීම නිසා පසුගිය වසරේ මිලියනයක් දෙනාට මහ ආන්ඩුවේ සියලූ සහන අහිමිවී ඇති බවට අර්ථශාස්ත‍්‍රඥයින් ගනන් බලා ඇත. මෙම ”99” කන්ඩායමට අයත් මුලු සංඛ්‍යාව මිලියන දෙකක් පමන වේ.

රැකියාවල නියුක්ත වැඩකරන වයසේ පසුවන අයගේ ප‍්‍රමානය සියයට 58.5කි එය 1983න් පසු පහත්ම මට්ටමයි. මෙහි අර්ථය වන්නේ පසුගිය දශක දෙක හමාර තුල ශ‍්‍රම බලකායට ඇතුල්වන කාන්තාවන් කෙරෙහි ඇතිකරන ලද ප‍්‍රතිවර්තනාත්මක බලපෑම විරැකියාවේ විනාශකාරී වර්ධනය මගින් පූර්න වශයෙන් ප‍්‍රති තුලනය කර ඇති බවයි. පිරිමින් සඳහා සේවා නියුක්ත අනුපාතය වසර 40කට පසු නිසැකව ම ඊට වඩා වැඩි කාලයකට වාර්තාගතව ඇති පහතම මට්ටමට වැටී තිබේ.

වෙනත් කාලයක දී නම් ආන්ඩුවට ඒ පිලිබඳව පියවර ගැනීමේ වගකීමක් ඇතැයි දේශපාලන සංස්ථාපිතයට හැඟීයනු ඇති අතර එවන් තත්වයන්ට සලකනු ඇත්තේ ජාතික අපහාසයක් ලෙසය. එක්සත් ජනපදය යුරෝපයේ යුද්ධය නිමාකරමින් සිටිය දී 1944 ජනවාරි 11දා ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් කොන්ග‍්‍රසය අමතා කල කථාවක දී කියා සිටියේ ඇමරිකානු ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති දේශපාලන අයිතීන් නොසෑහෙන බව සනාථවී ඇති බවත් ”අයිතීන් පිලිබඳ ආර්ථික ප‍්‍රඥප්තියක්” අවශ්‍යව ඇති බවත්ය. ”අයිතීන් පිලිබඳ මෙම දෙවන ප‍්‍රඥප්තියේ” මුල් තැන ගන්නේ ”ජාතිය සතු කර්මාන්තයේ හෝ සාප්පුවල හෝ ගොවිපලවල හෝ පතල්වල ප‍්‍රයෝජනවත් හා අර්ථලාභී රැකියාවක්” යයි රූස්වෙල්ට් කියා සිටියේය.

රූස්වෙල්ට්ගේ යෝජනාව ඉදිරිපත් කරන විටම මියගොස් තිබුනි පශ්චාත් යුද්ධ අවධියේ උත්පාත වසරවලදී පවා දුප්පත්කම හා විරැකියාව අවසන් කිරීමට ඇමරිකානු ධනවාදය අසමත් බව සනාථ වී ඇත. එහෙත් පසුව එලඹි දශකයන්හි දී ඇමරිකානු දේශපාලඥයෝ සිය දේශීය පිලිවෙතේ මූලික අරමුනක් ලෙස කට වචනයට හෝ පූර්න සේවා නියුක්තිය පිලිබඳ සංකල්පය ඉදිරිපත් කලහ.

1932දී සමහර ප‍්‍රාන්තයන්හි විරැකියා රක්ෂනය හඳුන්වාදුන් අතර මහා අවපාතයට ප‍්‍රතිචාර වශයෙන් 1930 ගනන්වලදී එය රට පුරා ක‍්‍රියාවට නැගීය. මෙය සමාජ කැලඹීම් හා විප්ලවය පිලිබඳව පාලක පන්තිය තුල පැවති නොමඳ භීතිය මගින් තල්ලූ කල සමාජ ප‍්‍රතිසංස්කරනයේ ක‍්‍රියාවලියෙහි කොටසක් විය. රූස්වෙල්ට්මත් එසේ කථා කලේ රුසියානු විප්ලවයෙන් දශක ස්වල්පයකට පසුවය.

අද දිනයේ ඇමරිකානු ප‍්‍රතිපත්තිය මුලූමනින්ම යොමුව ඇත්තේ විරැකියා සහන ද ඇතුලු පශ්චාත් යුද්ධ අවධියේ ප‍්‍රතිසංස්කරන වලින් ඉතිරිව ඇති කුමක් හෝ අතුගා දැමීම දෙසට ය. ජනතාවට රැකියාවක් කිරීම සඳහා ඇති අයිතිය පිලිබඳව අඟවන හාංකවිසියක අදහසක්වත් අද දේශපාලන සංස්ථාපිතය තුල ඇත්තේ නැත.

පසුගිය සතිය තුල ආන්ඩුව සංගත ලාභ මත පවත්නා සීමාවන් බිඳ දැමීමේ වැඩසටහනක් වන එහි නව ”රැකියා” ප‍්‍රතිපත්තියේ මූලික අක්ෂය නිවේදනය කලේය. අතිරේක ලාභය කම්කරුවන් බඳවා ගැනීම පිනිස යොදාගනු ඇතැයි ඔබාමා පැවසුවේ වැටුප් තව තවත් පහත වැටෙන තෙක් බලා සිටිමින් බඳවාගැනීම් ප‍්‍රතික්ෂේප කරන ඉතිහාසයේ විශාලතම ලාභ තොග මත මෙම සංගත හිඳගෙන සිටින තත්වය තුලය.

මෙම පරිවර්තනයේ හේතුව සොයාගත යුත්තේ ඇමරිකානු සමාජයේ ම පරිවර්තනය තුල ය. රූස්වෙල්ට්ගේ අවධියේ කර්මාන්තකරුවන් ප‍්‍රධාන කොට ම සිය මුදල් නිෂ්පාදන ක‍්‍රියාවලිය වෙතින් උපයා ගත් මිනිස්සු වූහ. එහෙත් ආර්ථික පරිහානියේ පසුගිය දශක දෙක තුල ඇමරිකානු පාලක පන්තිය සිය අවධානය දේශීය කර්මාන්තය බිඳ විසුරුවා හැරීම හා 2008 දී බිඳ වැටුනු යෝධ මගඩි ව්‍යාපෘතිය නිර්මානය කිරීම අතර දෙකඩ කලේය.

සියලු ව්‍යාපාරික ලාභයෙන් සියයට 40ක් ම මූල්‍ය හා දේපල ජාවාරමෙන් උත්පාදනය කල බැංකු එහි හිනිපෙත්තට ම ලඟාකරවූ ප‍්‍රතිකාර්මිකකරනයේ පිලිවෙතක් ඇමරිකානු පාලක පන්තිය අනුගමනය කර තිබේ.

පසුගිය දශක තුන පුරා මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ ධනය ඉමහත් ලෙස වැඞී යාම මෙම ක‍්‍රියාවලිය සමග බැඳී තිබුනි. අවධමනය ආරම්භ වී දශක තුන හමාරකට පසුව දැන් විරැකියාව තුරන් කිරීමේ එකදු සමාජ වැඩසටහනක් හෝ පියවරක් හඳුන්වා දී ඇත්තේ නැත. ඒ වෙනුවට ආර්ථික අර්බුදය දැකගනු ලැබ ඇත්තේ කම්කරු පන්තිය සියවසකින් එහා පැවති තත්වයට ඇද දැමීම සඳහා අවස්ථාවක් ලෙස ය.

2010 සිය රාජ්‍ය තත්ත්ව වාර්තාව තුල ඔබාමා වසර පහක දී නිර්යාත දෙගුන කරන බවට පොරොන්දු විය. මෙය කලහැකි එකම මාර්ගය වන්නේ සංවර්ධනය වන රටවල් සමග තරග කල හැකි මට්ටමකට වැටුප් පහත හෙලීමයි. මෙම පරිවර්තනයේ ගාමක බලය වන්නේ රට පුරාම කම්කරුවන්ට එන්ට එන්ටම පහත් වැටුප් පිලිගැනීමට බල කෙරෙන ඉහල විරැකියාවයි.

මෙම තත්වයන් එක්සත් ජපදයට පමනක් සීමා වී නැත. සියලු ප‍්‍රමුඛ ධනේශ්වර රටවල පාලක පන්තීන් ආර්ථික අර්බුදයේ බර බලහත්කාරයෙන් කම්කරුවන් මත පැටවීමේ අරමුනෙන් කප්පාදු වැඩසටහන් දියත්කොට ඇත.

සෑහෙන ආදායමක් සහිත රැකියාවක් කිරීම මූලික සමාජ අයිතියකි. සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයාමාර්ගය තුල පැහැදිලි කර ඇති පරිදි සැබවින්ම ”ස්ථිර හොඳ වැටුපක් සහිත රැකියාවකින් තොරව අනෙකුත් සියලු අවශ්‍යතා ඉටුකර ගැනීම කල නොහැක්කක් වන අතර රැකියාවක් සඳහා ඇති අයිතිය සියල්ල අතරින් අති මූලිකය” කෙසේ වුවත් මෙම අයිතිය ලබාගැනීම පිනිස කම්කරුවන් කරන සටනේ දී ඔවුන් ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙක මෙන්ම ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර ක‍්‍රමය ම සමග ගැටුමකට මුහුනපෑම නොවැලැක්විය හැකිය.

සමාජවාදී සමානතා පක්ෂය සියල්ලන් සඳහා ඉහල ගුනාත්මක රැකියාවක් සහතික කරන පොදු වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටියි. කලයුතුව ඇති වැඩ නිමක් නැත. එක්සත් ජනපදයේ යටිතල ව්‍යුහය නටඹුන්ව ඇත. මාර්ග හා පාලම් පද්ධතිය අලුත්වැඩියා කල නොහැකි තත්වයක පවතින අතර කෙසේ හෝ තවමත් ඉතිරිව ඇත්නම් පොදු ප‍්‍රවාහනය මත විශ්වාසය රැඳවිය නොහැකිය. මෑතක හටගත් ටොනාඩෝ සුලි කුනාටු විනාශයෙන් හෙලිදරව් වූ පරිදි ඒවාට නිරාවරනය වූ මිලියන ගනනක් ජනතාව ජීවත් වන්නේ ගරාවැටුනු ජංගම නිවාස තුල ය. රටේ වේලි හා ගංවතුර වැලැක්වීමේ ක‍්‍රම කෙතරම් යල්පැන ඇත්දැයි කිවහොත් කැතරිනා කුනාටුවෙන් නිව් ඔර්ලියන්හි සිදු වූවාක් මෙන් සමස්ත නාගරිකයන් ම ජලයෙන් යටවිය හැකිය. ඉහත කී ආකාරයේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය හා ව්‍යාපාරික ප‍්‍රභූවේ ධනය අත්පත් කර ගැනීම පමනක් නොව කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ සියලු ප‍්‍රධාන ව්‍යාපාර හා බැංකු පොදු අයිතියේ ව්‍යවසායන් බවට පරිවර්තනය කල යුතුය.

ඇන්ඩෙ‍්‍ර ඩිමොන්