ග්‍රීසිය තුල පාලන තන්ත්‍රය වෙනස් කරන ලෙස අනදීමට ප්‍රධාන බලවතුන් සමත් වෙයි

Major powers successfully dictate regime change in Greece

By Chris Marsden , 8 November 2011

විශ්වාසය පලකිරීමේ ඡන්දයෙන් ජයගෙන යන්තම් දින තුනක් ගතවෙද්දී, ග්‍රීක අගමැති ජෝර්ජ් පපන්ද්‍රියෝ බලයෙන් පහවූ අතර ඔහුගේ පැසොක් පක්ෂය හා ප්‍රධාන කොන්සවේටිව් විරුද්ධ පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය හවුල්ව "ජාතික එකමුතුවේ” ආන්ඩුවක් ගොඩනගමින් සිටියි.

නව ආන්ඩුවක් අවශ්‍ය කෙරුනු එකම හේතුව නම්, තවදුරටත් පපන්ද්‍රියෝට ඉටුකිරීමට නොහැකි යයි ගෝලීය සමපේක්ෂකයින් ද යුරෝපීය සංගමය (යුස) හා වොෂින්ටනය ද තීන්දු කර ඇති රුදුරු කප්පාදු පියවර, ග්‍රීක ජනතාව මත පැටවීමයි.

යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජමූඅ) හා යුරෝපීය මහ බැංකුව වෙතින් ලැබීමට නියමිත අලුත් නය වාරිකයට ගැටගසන ලද නිර්දේශ කෙරෙහි පලවූ දැවැන්ත මහජන විරෝධයකට පපන්ද්‍රියෝ මුහුනදී සිටියේ ය. මේවාට, ආදායම් බදු සීමාව යුරෝ 12,000 සිට 5,000 දක්වා පහත හෙලීම, වැට් බද්ද හා විශ්‍රාම වයස් සීමාව ඉහල දැමීම, විශ්‍රාම ගෙවීම් සියයට 40 දක්වා පහත දැමීම. සියයට 30න් වැටුප් කැපීම හා තවදුරටත් රැකියා අහෝසි කිරීම ඇතුලත්ය. 1974 මිලිටරි ජුන්ටාව ඇද වැටීමෙන් පසුව දක්නට ලැබුනු විශාලතම විරෝධතාවය ඔක්තෝබර් 19-20 දෙ දින මහා වැඩවර්ජනයෙන් කුලුගැන්වින.

විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති ගෙන යන නාමික විරෝධතාවය අතහැර දමා, කප්පාදු පැනවීමේ ජාතික උත්සාහයක් පිටුපස ඒවා පෙලගස්වා ගැනීමට වෙර දරමින් පපන්ද්‍රියෝ, ඒ ප්‍රශ්නය මත ජනමත විචාරනයක සැලසුම් නිවේදනය කලේය. බර්ලිනයේ හා පැරිසියේ පාලක පන්තීන් පපන්ද්‍රියෝ දෙගිඩියා සහගත යයි තීරනය කරද්දී, ලෝක වෙලඳපොලවල් 2008න් පසු අත්දුටු නරකම බිඳ වැටීම නිර්මානය කරමින් ඊට ප්‍රතිචාර දැක්වී ය.

තම ජනමත විචාරන තීරනය අත්හැර දැමීමෙන් පසුව පවා, පපන්ද්‍රියෝ යා යුතුව ඇතැයි ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකොසි කියා සිටියේ ය .

මැතිවරනය කලින් පැවැත්වීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදීන් කරන ඉල්ලීම් ද කප්පාදු පියවරයන්ට හරස් විය හැකි බැවින් 04දා සම්මත කල විශ්වාසය පල කිරීමේ යෝජනාවෙහි අරමුන වූයේ එය පූර්වභංග කිරීම ය.

ඉන් පසුව ගතවූ දින ගනනාව පපන්ද්‍රියෝ ගතකලේ, නව ප්‍රජාතන්ත්‍ර නායක ඇන්ටෝනිස් සමරාස්, වැඩසටහනට එකඟව, පැසොක් සමග ජාතික ආන්ඩුවක් පිලිගත යුතුය යන ඉල්ලීම ඉදිරිපත් කරමිනි. එසේ නොවුනහොත් පැසොක් පක්ෂයට තම බහුතරය වැඩිකර ගැනීමට කුඩා පක්ෂ ගනනාවක් එක්කර ගැනීමේ උත්සාහයක යෙදීමට සිදුව තිබුනි. දේශපාලන සිය දිවි නසාගැනීමක් වේය යන බිය නිසා සිරිසා හා ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය වැනි ප්‍රමුඛ ව්‍යාජ වාම පක්ෂ පැසොක් පක්ෂයේ මුල් යෝජනාව ප්‍රතික්ෂේප කල තතු හමුවේ, එම කාර්යය දුෂ්කර වේ යයි සලකන ලදී.

ආන්ඩුවට නායකත්වය දෙන්නේ කවුරුන් ද හා නව ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ භූමිකාව කුමක් වන්නේ ද යන ප්‍රශ්න මත කේවෙලය 07දා වන විටත් පැවතීගෙන ගියේ ය. අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත නව අගමැති හා කැබිනට්ටුව පිලිබඳව පක්ෂ දෙක, එදින සවස් වන විට එකඟත්වයකට පැමිනි බව නිවේදනය කලේ ය. මෙහි වඩාත්ම විය හැකි ප්‍රතිපලය බ්‍රසල්ස් හා වොෂින්ටනය විසින් ඉල්ලා සිටි ආකාරයේ කන්ඩායමක් තේරී ඒම ය.

"අඛන්ඩත්වයේ නාමයෙන්” නව ප්‍රජාතන්ත්‍ර පක්ෂය, පැසොක් මුදල් ඇමති එවැන්ජිලෝස් වෙනිසිලෝස් ඔහුගේ තනතුරෙහි රැඳී සිටීමට සිය කැමැත්ත පල කලේය. වෙනිසිලෝස් යුරෝපීය සංගමයෙන් ඉල්ලා සිටි කොන්දේසි වලට දැඩිව සහාය දැක්වූ අතර පපන්ද්‍රියෝගේ ජනමත විමසුමට එරෙහි වෙමින් ඔහු ඉල්ලා අස්විය යුතු බව කියා තිබුනි.

පපන්ද්‍රියෝ වෙනුවට පත්වීම සඳහා බොහෝ දෙනාගේ කැමැත්ත පලවී ඇත්තේ, 1994 ඔක්තෝබරයේ සිට 2004 දක්වා ග්‍රීක මහ බැංකුවේ අධිපතිව සිටි හා යුරෝපීය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය සභාපති ලූකස් පපඩිමෝස් වෙත ය.

විශේෂයෙන්ම ජාමූඅ හරහා කෙතරම් දුරට වොෂින්ටනය මෙම සිදුවීම් වලට පිටුපසින් සිටියේ ද යන්න පිලිබඳ ඔහුගේ අපේක්ෂකත්වය එක් ප්‍රකාශනයකි. දැනට හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රතිපත්ති පිලිබඳ කෙනඩි පාසැලෙහි බාහිර මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන පපඩිමෝස්, තාක්ෂනය පිලිබඳ මැස්සචුසෙට්ස් ආයතනයේ උපාධිධරයෙකි. ඔහු බොස්ටන් මහ බැංකුවේ ‍ෙජ්‍යෂ්ඨ අර්ථශාස්ත්‍රඥ වරයෙකු ලෙස පස් වසරක් සේවය කිරීමට ප්‍රථමයෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ද උගන්වා තිබේ.

ග්‍රීක ආන්ඩුවේ මුදල් සිඳී යාමට පෙර දෙසැම්බර් 15දා පමන වන විට, නය දෙන ආයතන සමග ඇති කර ගත් එකඟත්වය සහතික කරමින්, පැසොක්හි 2012 අයවැය සම්මත කර ගැනීමේ “දින 100 සභාගයට” මෙම දෙදෙනා නායකත්වය සම්පාදනය කරනු ඇත. ඉන් පසුව පමනක් නියමිත මැතිවරන පෙබරවාරි 19දා පැවැත්වෙනු ඇත.

යුරෝපයේ ප්‍රමුඛ මූල්‍ය පුවත්පත වන ෆිනෑන්ෂල් ටයිම්ස් සිදුවීම් තීරනය කිරීමේදී ව්‍යපාරික පැලැන්තිය කෙතරම් සමීප ලෙස කටයුතු කර තිබේ ද යන්න පැහැදිලි කර තිබුනි.

“ග්‍රීසිය, ප්‍රජාතන්ත්‍රවාදය හා යුරෝ කලාපය” යන හිසින් පුවත්පතෙහි 07දා පලවූ ප්‍රධාන කතුවැකියෙන් පුවත්පත මෙසේ පැවසීය. “මාස කිහිපයකට වුවත් ග්‍රීක දේශපාලනඥයින් සිය මතභේද යටපත්කර ගෙන යුරෝපීය සංගමයේ ගලවා ගැනීමේ අලුත් පැකේජයට සහාය දැක්වීම වැදගත්ය. පපන්ද්‍රියෝ එවන් කර්තව්‍යයක් ඉටුකිරීමට තවදුරටත් සමත් නො වේ. එබැවින් හොඳම ආදේශකය වනු ඇත්තේ ප්‍රධාන මැදහත් පක්ෂ දෙක වටා පදනම් වන සභාග ආන්ඩුවකි.” එනම් පැසොක් හා නව ප්‍රජාතන්ත්‍ර පක්ෂයි.

ප්‍රජාතන්ත්‍රය කෙරෙහි සිය පූර්න සතුරුකම ප්‍රදර්ශනය කරමින් පුවත්පත මෙසේ ලිවීය. “යම් අවස්ථාවක දී, සාමාන්‍ය ග්‍රීකයින්ට පැහැදිලිව ම, රටේ වත්මන් තත්වය පිලිබඳ සිය මතය පලකිරීමට අවශ්‍ය වන්නේ ය. එහෙත් දැන්, තීරනාත්මක ගලවා ගැනීමේ පැකේජයක් පරදුවට තැබී ඇති අවස්ථාවේ, ඡන්දදායකයින් හමුවට යාමට වෙලාව නො වේ.” එනම්, ජනතාවට “තම මතය” ඉදිරිපත්කල හැක්කේ සියලු වැදගත් තීරන ගත්තායින් පසුව පමනක් බවයි.

ජාතික ආන්ඩුවේ අරමුන ඕනෑවටත් වඩා පැහැදිලි ය. ඒ, මහජන විරෝධය නිසා මූල්‍ය කතිපයාධිකාරයේ සැලසුම් වලට බාධාකාරී වන ඕනෑම පියවරක් හෝ මැතිවරනයක් වැලැක්වීම ය.

මෙහි දී ග්‍රීසිය දැකගත හැක්කේ යුරෝපය පුරා ද ජාත්‍යන්තරව ද එලඹීමට නියමිත තත්වය පිලිබඳ පලමු වෙඩි මුරය ලෙස ය.

නොවැම්බර් 04දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, පාලන තන්ත්‍ර වෙනසේ ඊලඟ ඉලක්කය හඳුනාගත්තේය. “දෙවියන්ගේ නාමයෙන් තොලොංචි වෙයන්!” එය තවත් කතුවැකියකින් කියා සිටියේ ය. මෙවර එය එල්ල වන්නේ ඉතාලි නායක සිල්වියෝ බර්ලුස්කෝනි වෙත ය.

එය මෙසේ කියා සිටියි. “අගමැතිවරු දෙදෙන, එනම් පපන්ද්‍රියෝ හා බර්ලුස්කෝනි, අතර සමානකම කැපී පෙනෙයි, දෙදෙනාම එල්ලී සිටින්නේ කුඩා, හැකිලෙන පාර්ලිමේන්තු බහුතරයක වන අතර දෙදෙනාම සිය මුදල් ඇමතිවරු සමග දබර වෙමින් සිටිති. වඩාත් වැදගත් වන්නේ, වෙලඳපොලවල් ඔවුන්ගේ රටවල් හා ඒවායේ රාජ්‍ය අයවැය පිලිබඳව කනස්සල්ලට පත්ව සිටින අවස්ථාවේ දෙදෙනා ම, සිය පොරොන්දු කඩකිරීමේ අන්තරායකාරී ප්‍රවනතාවක් බවට පත්ව සිටීම යි.”

දශක දෙකක අකාර්යක්ෂම මාර්ගෝපදේශකත්වයකින් පසුව සිල්වියෝ බර්ලුස්කෝනිට ගැලෙපෙන්නේ, වරෙක ඔලිවර් ක්‍රොම්වෙල් කිවු දේ දෝංකාරය නංවන වචන ම පමනි. දෙවියන්ගේ නාමයෙන් ඉතාලිය හා යුරෝපය, තොලොංචි වනු!”

තෝරාගෙන ඇති ඓතිහාසික සාම්‍යය බොහෝ දේ පවසයි. පුවත්පත් ඒවා සඳහන් නොකරන නමුදු 1653දී ක්‍රොම්වෙල් හමගිය පාර්ලිමේන්තුව තහනම් කර මාස කිහිපයක් තුල, පරම ආරක්ෂකයා ලෙස තම පෞද්ගලික ආඥාදායකත්වය පිහිටුවන ලදී.

ගෝලීය කොටස් වෙලඳපොලවල් තවදුරටත් වැටීමේ පසුබිමෙහි ඉතාලියේ දස අවුරුදු බැඳුම්කරයන්ගේ පොලිය ඊයේ වන විට සියයට 6.5 ඉක්මවා ගිය අතර එය “අන්තරායකාරී” හා “අස්ථාවර” යයි හඳුන්වනු ලැබුනි.

පපන්ද්‍රියෝ මෙන්ම බර්ලුස්කෝනි ද කප්පාදු වැඩ සටහන් අවශ්‍ය පරිමාවෙන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් යයි සලකන අතර අද දිනයේ අයවැය ඡන්දයෙන් ඇද වැටිය හැකි බව සැලකේ. ඔහු ඊයේ දිනය පුරා තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවට පැතිර ගිය ආරංචි ප්‍රතික්ෂේප කිරීමට වෑයම් කලේ ය.

“වාම” වේවා “දක්ෂිනාංශික” වේවා, “සමාජ ප්‍රජාතන්ත්‍ර” වේවා “කොන්සවේටිව්” වේවා, ආන්ඩුවල විශේෂිත දේශපාලන පැහැය නොතකා යුරෝපය පුරාම එම චිත්‍රය දැකගත හැකි ය. ඔවුන් බැංකුකරුවන්ගේ හා සමපේක්ෂකයින්ගේ, ඔට්ටු ඇල්ලීම් මත, ඔවුන් තෘප්තිමත් කරන ආකාරයෙන් ක්‍රියාකල යුතු අතර නොඑසේ නම් ඔවුන්, සමපේක්ෂනයේ ප්‍රහාරයට, අස්ථාවරත්වයට නැතිනම් බලයෙන් පහකිරීමට මුහුන දෙනු ඇත.

පෘතුගාලය තම නය පැකේජය වෙනුවෙන් නිර්දේශිත කප්පාදු පියවර ක්‍රියාත්මක කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම පිනිස නය දෙන ආයතන නියෝජිතයෝ ඊයේ එරටට ගියහ. පූර්වයෙන් පැවති අගමැති ජොසේ සොක්‍රේට්ස්ගේ සමාජවාදී පක්ෂ සුලුතරයේ ආන්ඩුව, කප්පාදු ඉදිරියට ගෙනයාමට නම් “පුලුල් සභාග ආන්ඩුවක” අවශ්‍යතාව අවධාරනය කරමින් වර්තමාන ආන්ඩුව ගෙන යන දක්ෂිනාංශික සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ මුක්කුව ඉවත්කර ගැනීමෙන් පසුව, බිඳ වැටුනි.

ස්පාඤ්ඤ අගමති ලුවී රොඩ්‍රිගස් සැපටීරෝ හා ඔහුගේ ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය නොවැම්බර් 20දා මහ මැතිවරනයෙන් නියත පරාජයකට හා ෆ්‍රැන්කෝවාදී මහජන පක්ෂය විසින් විස්ථාපනය කිරීමේ තර්ජනයට මුහුනපා සිටියි.

ප්‍රන්සයේදී පවා අගමැති ෆ්‍රන්සුවා ෆිලන් එරට ආර්ථිකය ප්‍රහාරයට ලක්වේය යන භීතිය කෙරෙහි සෘජු ලෙස ප්‍රතිචාර දක්වමින්, කප්පාදු පියවරයන්ගේ අලුත් වටයක් පැනවී ය.

මේ සියල්ල කල හැකිව ඇත්තේ කෙසේ ද? සියල්ලටත් වඩා පාලක පැලැන්ති. ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුනපා සිටින අතර බෙහෙවින් අපකීර්තියට පත්ව ඇති ආන්ඩු මත පය ගසා සිටිති. ඒවා පනවනු ලබන පෙර නොවූ විරූ කප්පාදු වලට යුරෝපය පුරා වර්ධනය වන දැවැන්ත විරුද්ධත්වයක් පවතියි.

කෙසේ වුවත් මෙම විරෝධය කිසිදු අව්‍යාජ දේශපාලන ප්‍රකාශනයක් නො ලබයි. වෘත්තීය සමිති, ඉඳ හිට විරෝධතා හෝ වැඩ වර්ජන සංවිධානය කරනතාක් දුරට ඔවුන් එසේ කරන්නේ, කෝපය තුරන් කිරීමේ හෝ පාලක පැලැන්තීන් හා ඔවුන්ගේ පක්ෂ වලට එල්ල වන අභියෝගය මඟහැරීමේ අරමුනෙන් පමනි. මෙහිදී ඔවුන්ට විවිධාකාර පැරනි රැඩිකල් පක්ෂවල පිටුබලය ලැබෙයි. ඔවුන් සිය වාම වාචාලය යොදාගනු ලබන්නේ, බැංකු හා සංගතයන්ගේ සමාජ පොලිස්කාරයින් ලෙස ක්‍රියා කරන එම කම්කරු හා වෘත්තීය සමිති නිලධරයින්ගේ ම සේවය වෙනුවෙන් පමනි.

ග්‍රීසියේ මෙන්ම යුරෝපය පුරා ද කම්කරුවන් හා තරුනයින්ට සිය අවශ්‍යතා පෙරට ගෙනයා හැක්කේ, නව දේශපාලන මාවතකට පිවිසී‍මෙන් පමනි. වෘත්තීය සමිති ගලග්‍රහනය බිඳිය යුතුය. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වන නව හා අව්‍යාජ කම්කරු පන්තික පක්ෂ ගොඩනැඟිය යුතු ය.

පාලක පන්තීන්ට එරෙහි සටන දේශපාලන හා ආර්ථික පෙරමුනට ගෙනයා යුතු ය. අරමුන විය යුත්තේ, පුද්ගලික ලාභය හා පුද්ගල සෞභාග්‍යය සඳහා වන රුදුරු තල්ලුවට අනුව නොව, සමාජ අවශ්‍යතා ඉටුකරලීමේ නිෂ්පාදනය මත පදනම් කරන සමාජයක් එනම්, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් වෙනුවෙන් මහාද්වීපය පුරා ගොඩනගන කම්කරු පන්තියේ එකමුතුව යි.

Share this article: