ශ්‍රී ලංකාවේ ජවිපෙ විසංමතිකයෝ: නව දේශපාලන උගුලක්

JVP dissidents in Sri Lanka: a new political trap

By K. Ratnayake, 19 November 2011

පසු ගිය මාස කීපයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තුල විසංමතිකයින් කන්ඩායමක් මතු වීම එම පක්ෂයේ ගැඹුරු දේශපාලන අර්බුදය පිලිබඳ තවත් සලකුනකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට සම්බන්ධ වන්නේ ද යන ප‍්‍රශ්නය මත 2008 දී භේද වූ මෙම පක්ෂය දැන් මුහුන දී සිටින්නේ එය තවත් බෙලහීන කරන්නාවූ තරුනයන් වැඩි කොටසක් ද ඇතුලු කන්ඩායමක බිඳී යෑමට යි.

ජවිපෙ විසංමතිකයෙකු වන චාමර කොස්වත්ත මෑතක දී පැවැත්වූ දේශනයකින් පෙන්නුම් කෙරෙන්නේ විරුද්ධ කන්ඩායමට වත්මන් නායකත්වය සමග මූලික මතභේදයක් නොමැති බවයි. විසංමතිකයෝ, පක්ෂයේ ඊනියා “විප්ලවවාදී” හා “මාක්ස්වාදී” සම්ප‍්‍රදායන් පනගැන්වීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීමේ මාවතක් සොයමින් සිටින කම්කරුවන්ට හා තරුනයින්ට නව දේශපාලන උගුලක් අටවති.

පක්ෂයේ ආරම්භකයා වූ රෝහන විජේවීර ඔජවඩවමින්, “අප රක්නා උරුමය” නමින් පවත්වන ලද කොස්වත්තගේ එම දේශනය, විසිරුනු පුනරුච්චාරනවලින් ගහන කතාවකි. විජේවීර මරනයට පත් වූ 1989 පටන් පක්ෂ නායකත්වය, පක්ෂයට ලැබුනු සහයෝගය හෝදා පාලුවීමට මුල්වූ “අවස්ථාවාදී අපසරනයට” හා “වැරදිවලට” වගකිවයුතු බව කොස්වත්ත ප‍්‍රකාශ කලේ ය. මෙම වැරදිවලට ඇතුලත් කර තිබෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට එක්වීමට 2004 දී ගත් ජවිපෙ තීරනය, 2005 ජනාධිපතිවරනයේ දී එය රාජපක්ෂට සහාය දීම හා 2010 ජනාධිපතිවරනයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකාට පිටුබලය දීම යි.

ඇත්ත වසයෙන් ම නම්, 2004 දී එය ධනපති ආන්ඩුවට ඇතුලු වීමත්, රාජපක්ෂ හා ෆොන්සේකා වැනි ධනපති නායකයින් සමග සන්ධාන ගත වීමත්, “වැරදීම්වල” ප‍්‍රතිපලයක් නො වේ. ඒවා ඓන්ද්‍රීයව ම ගලා ආවේ ආරම්භයේ පටන් ම පක්ෂය තුල ආධිපත්‍ය දැරූ සුලු ධනපති හා ජාතිකවාදී දේශපාලනයෙනි. ජවිපෙ කිසි කලෙකත් මාක්ස්වාදය මත පදනම් නො වී ය. එය මාවෝවාදයේ, කැස්ත්‍රෝවාදයේ හා සිංහල ජනතාවාදයේ අච්චාරුවකි. එහි හැඩ ගැස්ම වූයේ ගොවි ජනතාවගේ “සන්නද්ධ අරගලය” දෙසට මිස කම්කරුවන්ගේ පන්ති අරගලය දිසාවට නම් නො වේ.

ජවිපෙ පිහිටුවනු ලැබුවේ, 1964 දී කුමාරතුංගගේ මව වූ සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) කල පාවාදීමට පසුව ය. “පැරනි වමට” පහර දෙමින් කොස්වත්ත සිය දේශනයේ දී කියා සිටියේ, සමසමාජ නායකයෝ “මධ්‍යම පන්තික පවුල්වලින් පැමිනියහ, එංගලන්තයේ ඉගෙනුම ලැබූ මොවුන් වමට ආකර්ශනය වූයේ ආසියාතිකයින්ට එහි දී කරන ලද වෙනස්කම් නිසා ය, ඔවුන් ඉගෙන ගත්තේ පන්ති සම්මුතියේ න්‍යායන් පමනි” ආදී වසයෙනි.

එහෙත් මෙම “පැහැදිලි කිරීම” අරටුවට ම මුසාවකි. ලසසපයේ පාවාදීම වනාහි, එහි නායකයින් ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) සාමාජිකයින් ලෙස දෙවන ලෝක යුද්ධය අවධියේ ධෛර්ය සම්පන්නව සටන් වැද තිබුනු විප්ලවවාදී මාක්ස්වාදය හෙවත් ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම අතහැර දැමීමේ ප‍්‍රතිපලයකි. පශ්චාත් යුද්ධ අවධියේ එහි පරිහානිය, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වයෙන් හතරවන ජාත්‍යන්තරය තුල හිස එසවූ අවස්ථාවාදී ප‍්‍රවාහයක් සමග බැඳී තිබුනි. පැබ්ලෝවාදීහු බන්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිංහල ජනතාවාදයට ලසසපය අනුගත වීමට උඩගෙඩි දුන්හ.

ලසසප පාවාදීමේ මෙම දේශපාලන පාඩම් උකහා ගනිමින් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ මූලධර්ම යලි තහවුරු කල එකම පක්ෂය සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව ලෙස 1968 දී එය පිහිටුවනු ලැබුවේ, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය තුලිනි.

ඊට ප‍්‍රතිකූලව, සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම්ව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය කිරීමට ගම්බද ජනතාවන් බලමුලු ගැන්වීමේ එකම මාර්ගය වූ ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ සටනට විකොස යොමුකලා වූ නො නවතින විප්ලව න්‍යාය කෙරෙහි ජවිපෙ දැක්වූයේ මාරාන්තික සතුරුකමකි.

විකොස ආරම්භක ප‍්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය, 1970 දී ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමින් පොතක් තරම් දිග සවිස්තරාත්මක විවේචනයක් කරමින්, සමාජවාදය පිලිබඳව මොන මවාපෑම් කලත් ජවිපෙට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් හෝ නොමැති බව නිශ්චිතව තහවුරු කලේ ය.

බාලසූරිය මෙසේ ලිවී ය. “ජනතා විමුක්ති පෙරමුන වනාහි, ලෝකය පුරා අනෙකුත් රටවල ගොඩනගා ඇති මධ්‍යම පන්තික ව්‍යාපාරයන්ට සමාන්තරව, ලංකාවේ සිංහල සුලු ධනේශ්වරය විසින් ගොඩනගන ලද ව්‍යාපාරය යි. එහි අරමුන කම්කරු පන්තිය බලය කරා ගෙන ඒම නොව, සිංහල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින් හා සිංහල ශිෂ්‍යයන් පමනක් නොව, ‘දේශපේ‍්‍රමයේ’ පදනම මත ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද රැලිකර ගනිමින් ‘දේශපේ‍්‍රමී රාජ්‍ය යන්ත‍්‍රයක්’ ගොඩනැගීම යි.”

තම දේශනයේ දී කොස්වත්ත, විජේවීර, “මාක්ස් - ලෙනින්වාදී න්‍යාය මහ පොලොවට ගෙන එමින්” දේශපාලනය පිටිසර ගම්මානවල පවා සාකච්ඡාවට ගත්, ප‍්‍රායෝගික මිනිසෙකු වී යයි පුරසාරම් දෙඩවී ය. කෙසේ වුවත් විජේවීරගේ සාකච්ඡා, කම්කරු පන්තිය විප්ලවවාදී පන්තිය ය යන්න ප‍්‍රතික්ෂේප කරමින්, ගම්බද දුගීන් හා අනෙකුත් පීඩිත සමාජ ස්ථරයන් හැඳින්වීම පිනිස “නිර්ධන පන්තිය” යන යෙදුම ප‍්‍රති-නිර්වචනය කලේ ය. විජේවීර කම්කරු පන්තියේ අරගල කෙරෙහි පිලිකුල ප‍්‍රකාශ කලේ, ඒවා හුදෙක්ම “කැඳ කෝප්ප සටන්” ලෙස හඳුන්වමිනි.

විජේවීර හා ජවිපෙ ප‍්‍රතික්ෂේප කලේ, ලංකාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා සටනේ එකම පදනම ලෙස, ගම්බද ජනතාව තමන් පිටුපස රැලිකර ගනු ලබන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමේ දිග් ගැස්සුනු හා දුෂ්කර අරගලය යි. බාලසූරිය පැහැදිලි කල පරිදි, සුලු ධනේශ්වරය මත පදනම් වූ අනෙකුත් සියලු දේශපාලන ව්‍යාපාර මෙන්ම ජවිපෙ ද අතිධාවනකාරිත්වය හා ධනේශ්වරයේ කොටස්වලට දීන සහාය පුදකිරීම අතර පලල්ව එහා මෙහා පැද්දුනි. එහි ප‍්‍රතිපලය වූයේ ජවිපෙ වෙත ඇදී ගිය ගම්බද සිංහල තරුනයන් එකකට පසුව තවෙකක් වශයෙන් පැමිනි විනාශයන්ට ගොදුරු වීම ය.

කොස්වත්ත කියන්නේ, කුමාරතුංගට, රාජපක්ෂට හා ෆොන්සේකාට ජවිපෙ පුදකල සහාය අලුත් ප‍්‍රපංචයක් බවයි. කෙසේ වුව ද පක්ෂය පිහිටුවා කෙටි කලකට පසුව විජේවීර, ලසසපය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද සමග 1970 ඇති කල දෙවන බන්ඩාරනායක හවුල් ආන්ඩුවට “ප‍්‍රගතිශීලී” යයි හුරේ දමමින් “ප‍්‍රතිගාමීන්ට” එරෙහිව එය ආරක්ෂා කරන බවට ප‍්‍රතිඥා දුන්නේ ය. ජවිපෙ පලකල ජනතා විමුක්ති නම් පුවත් පතේ ලිපියකින් “සමගි පෙරමුනු ආන්ඩුව සහාය පැතිය යුත්තේ සන්නද්ධ හමුදාවලින් හා පොලීසියෙන් නොව, නිර්ධන පන්ති ජනතාවන්ගෙනි. අපි ඒ බව ආන්ඩුවට අවධාරනයෙන් මතක් කර සිටිමු” යි උපදෙස් දුන්නේ ය.

මාස කිහිපයකට පසුව ජවිපෙ, බන්ඩාරනායකගේ “ප‍්‍රතිගාමී” ආන්ඩුවට එරෙහිව, 1971 අපේ‍්‍රල් මාසයේ දී අතිධාවනකාරී නැගිටීමක් දියත් කල අතර එය, ආරක්ෂක හමුදාවන් විසින් මෘග ලෙස මඬිනු ලැබුවේ ගනන් බලා ඇති පරිදි 15,000ක් පමන තරුනයින්ගේ ජීවිත බිලිගනිමිනි. මෙම ව්‍යසනය පිලිබඳව මොනයම් ම හෝ බැරෑරුම් තක්සේරුවක් කිරීමට අපොහොසත් කොස්වත්ත යලි කියා සිටියේ එය ජවිපෙහි “විප්ලවවාදී” අක්තපත‍්‍ර පිලිබඳ සාක්ෂියක් වන බවයි.

අසාර්ථක වූ නැගිටීමෙන් ඉක්බිත්තෙහි විජේවීර සිරගත කරන ලද අතර පසුව ඔහු තම පක්ෂය “මෙන්ෂෙවික් දේශපාලනයේ” ගිලී තිබුනු බවට පුහු “ස්වයං විවේචනයක්” කලේ ය. ඔහු “මෙන්ෂෙවික්” යන යෙදුම භාවිතා කිරීමේ කිසිදු විද්‍යාත්මක පදනමක් නො වී ය. ඊට විපරීතව, එය වනාහි මේ වාරයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) වෙත සිදු වූ ජවිපෙ අලුත් හැරීම වසං කිරීම පිනිස යොදාගත් කිසි විටෙකත් පැහැදිලි නොකල, හුදෙක්ම පහසු වචන භාවිතයක් පමනක් විය. 1977 මැතිවරනයේ දී ජවිපෙ නිහඬව එජාපයට සහාය දුන් අතර ඊට හිලව් වශයෙන් එහි නායකයින් නිදහස් කරන ලදී.

ජවිපෙ නැගිටීමෙන් පසුව බන්ඩාරනායක ආන්ඩුව, බුද්ධාගම රාජ්‍යාගම ලෙසත් සිංහල එකම රාජ්‍ය භාෂාව ලෙසත් තහවුරු කරමින් 1972 දී අටවන ලද වර්ගවාදී ව්‍යවස්ථාව සමගින් විවෘතව ම සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය කරපින්නා ගත්තේ ය. දෙමල ජනතාවට වෙනස්කම් කිරීම නිල වසයෙන් අනුමත කිරීම, දෙමල තරුනයින් පෙරලිකාරී කිරීමට තුඩුදුන් වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) වැනි සන්නද්ධ කන්ඩායම් පිහිටුවීමේ කොන්දේසි නිර්මානය කලේ ය. බලයට පත්වීමෙන් පසුව එජාපය, එහි වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති වැඩකරන ජනතාව මත ඇති කල විනාශකාරී බලපෑම කෙරෙන් අවධානය ඉවතට හැරවීම පිනිස සැලසුම් කල දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් මාලාවක් තුලින් රට සිවිල් යුද්ධය කරා තල්ලු කිරීම වේගවත් කලේ ය.

සිය කෘතිය තුල විකොස ලේකම් බාලසූරිය, ජවිපෙ දේශපාලනයේ වර්ගවාදී ස්වභාවය පිලිබඳවත් දෙමල වතු කම්කරුවන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ මෙවලම් ලෙස හංවඩු ගැසීම පිලිබඳවත් අනතුරු අඟවා තිබුනි. “මෙම සුලුධනේශ්වර වතු කම්කරු විරෝධය... ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගි කරගත හැකි කම්කරු විරෝධී බලවේගයක්” වන බවට ඔහු පෙරදුටුවේ ය. එම පෙරදැක්ම 1983 සිවිල් යුද්ධය පුපුරා යාමත් සමග සනාථ විය.

ජවිපෙ ඉක්මනින්ම, දිවයිනේ දෙමල සුලුතරයෙහි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීමේ වර්ගවාදී යුද්ධයට හුරේ දමන්නා බවට පත්විය. උතුරු නැගෙනහිරට සීමිත බලය බෙදාහැරීමක් සඳහා ඉන්දියානු සාම සාධක හමුදාවක පිටුබලය සහිතව, විසඳුමක් ඇටවීමට ඉන්දියාව සමග ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යටතේ එජාප ආන්ඩුව 1987 ඇති කර ගත් ගිවිසුමට, ජවිපෙ දැඩි ලෙස විරුද්ධ විය. ජවිපෙ ගිවිසුමට එරෙහි වූයේ කම්කරු පන්තික ආස්ථානයකින් නොව, එය ජාතිය පාවාදීමක් බව කියා පාමිනි.

ජවිපෙ ගිවිසුමට එරෙහිව ෆැසිස්ට් වර්ගයේ උද්ඝෝෂනයක් ගෙන යමින්, එහි දේශපේ‍්‍රමී වර්ජන හා විරෝධතාවන්ට එක්වීම ප‍්‍රතික්ෂේප කල විකොස සාමාජිකයින් තිදෙනෙක් ද ඇතුලු සිය ගනනක් කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් මරාදැමුවේ ය. ඒ සමග ම, නව ජනාධිපති ආර්. පේ‍්‍රමදාස ගිවිසුමට විරුද්ධ වීම නිසා “ප‍්‍රගතිශීලීයෙක්” ලෙස හුවා දක්වමින්, 1989 දී විජේවීර ඔහු සමග රහස් සාකච්ඡා පැවැත්වී ය. අවසානයේ දී පේ‍්‍රමදාස ජවිපෙට විරුද්ධව නැගී සිටියේ, බොහෝ කොටම එහි නායකත්වය පිලිබඳව බියට පත්වීම නිසා නොව, තම ග‍්‍රාමීය පදනම පාලනය කරගැනීමට එයට නොහැකි වේ ය යන භීතිය නිසා ය. ආරක්ෂක හමුදා විජේවීර හා එහි නායකයින් බොහෝ දෙනෙක් කෲර ලෙස මරාදැමූ අතර 60,000ක් පමන ගැමි සිංහල තරුනයින් ඝාතනය කලහ.

කොස්වත්ත තවමත් සලකන්නේ, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ ෆැසිස්ට් උද්ඝෝෂනය, ඔහු ආරක්ෂා කරන උරුමයේ කොටසක් ලෙස ය. විජේවීර හා අනෙකුත් ජවිපෙ විරුවන් සැමරීමට පසුගිය සති අන්තයේ පැවති රැලියක දී ඔහු, “නිදහස් ලස්සන නව ලෝකයක් වෙනුවෙන් සටන් කරමු. අවශ්‍ය නම් ඔවුන් අතීතයේදී කලාක් මෙන් ජීවිත පරිත්‍යාගයෙන් හෝ සටන් කරමු”යි ප‍්‍රකාශ කර සිටියේ ය. කොස්වත්ත විසින් විජේවීර උත්කර්ෂයට නැංවීම වනාහි, දැනටමත් සියවස් කාලක් පුරා පැවති සිවිල් යුද්ධයක් නිර්මානය කල වාර්ගික භයංකාරී දේශපාලනය හැරෙන්නට, කම්කරුවන්ට හා තරුනයින්ට දිය හැකි අන් දෙයක් ජවිපෙ විසංමතිකයන් සතුව නැතැයි යන්න පිලිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමකි.

විජේවීර ඝාතනය ජවිපෙ සම්බන්ධයෙන් තීරනාත්මක සන්ධිස්ථානයක් වූයේ, එය ප‍්‍රධාන කොටම නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්හි අර්බුදය හා බිඳ වැටීම සමග සම්පාත වීම නිසා ය. පක්ෂය, “සමාජවාදයේ” අසාර්ථකත්වය ගැන වැලපෙමින් එය හෙලා දකින විවිධාකාර ව්‍යාජ රැඩිකල් සංවිධානයන්හි ජාත්‍යන්තර රැල්ල සමග එක් විය. අසාර්ථක වූයේ සමාජවාදය නොව, ස්ටැලින්වාදය හා “තනි රටක සමාජවාදය” පිලිබඳ එහි දෘෂ්ටිය බව අවධාරනය කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනකි. ධනේශ්වර දේශපාලනය තුල තැනක් සහතික කර ගැනීමට හිලව් වශයෙන් “සන්නද්ධ අරගලය” අතහැර දැමූ ගරිල්ලා ව්‍යාපාරයන්හි දිගු ලැයිස්තුවට ජවිපෙ සිය නම ද ඇතුලු කර ගත්තේ ය.

ශ‍්‍රී ලංකාවේ දී නම්, ජවිපෙ, චන්ද්‍රිකා කුමාරතුංගට ඉඩ දෙමින් 1994 ජනාධිපතිවරනයේදී සිය අපේක්ෂකයා ඉවත් කර ගැනීම සඳහා ශ‍්‍රීලනිප සමග ගිවිසුමකට එලඹුනේ ය. ජනාධිපතිවරනය ජයගත් පසුව කුමාරතුංග ජවිපෙ තහනම ඉවත් කරමින් කොලඹ දේශපාලන සංස්ථාපිතයට රිංගා ගැනීමට එයට මාර්ගය එලි පෙහෙලි කර දුන්නා ය. ඊලඟ දශකයේ දී ජවිපෙට, එජාප හා ශ‍්‍රීලනිප යන ප‍්‍රධාන පක්ෂ දෙක කෙරෙහි වැඩෙමින් පැවති ජනතාවගේ වෛරය ගසාකමින් සැලකිය යුතු පාර්ලිමේන්තු කන්ඩායමක් ගොඩනඟා ගැනීමට හැකි විය.

කොස්වත්ත හා ඔහුගේ විසංමතිකයන් කන්ඩායම දැන්, ජවිපෙ නායකයින් ධනේශ්වර පක්ෂ සමග ගෙන ගිය පිලිකුල් සහගත උපාමාරු, එක්සත් ජනපද තානාපති නිලධාරීන් සමග පැවැත්වූ පුද්ගලික කතාබහ හා ව්‍යාපාරික පැලැන්තිය සමග ඔවුන්ගේ බැඳීම් ගැන විවේචන ඉදිරිපත් කරති. එහෙත් එම කාලය අතර තුර “විසංමතිකයින්” පෑ කිසිදු විරුද්ධත්වයක් ගැන ඇඟවීමක් ගැන දැකගන්නට ඇත්තේ ම නැත. ජවිපෙ නායකත්වය හා ඔවුන්ගේ “අවස්ථාවාදී උපාමාරු” පිලිබඳ විසංමතිකයන්ගේ කල් ඉකුත්වූ විවේචන දැන් එල්ල වන්නේ, 2004 වසරේදී ජවිපෙ කුමාරතුංග ආන්ඩුවට ඇතුලු වීම එහි ඡන්ද පදනම් ගසා යෑමට තුඩු දුන් නිසා ය. ජවිපෙ කෙරෙහි මහජන පිලිකුල වැඩී ගියේ එහි ඇමතිවරුන් කුමාරතුංගගේ වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමූ නිසා ය.

ඒ හා සමානව ම ජවිපෙ විසංමතිකයෝ දැන්, රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව යුද්ධය ගෙන ගිය ආකාරය ගැන ද ඉඳ හිට විවේචන එල්ල කරති. ඒ පිලිබඳව ඔවුන්ගේ වත්මන් “විරුද්ධත්වය” අතිශයින්ම සීමිත එකකි. කෙලින්ම යුද්ධය හෙලා දැකීම ද උතුරු නැගෙනහිර දිගටම පවත්වාගෙන යන මිලිටරි ග‍්‍රහනය හෝ ආන්ඩුව හා මිලිටරිය විසින් සිදුකරන ලද බොහෝ යුද අපරාධ හා කුරිරු ක‍්‍රියා ද එම විරුද්ධත්වයට ඇතුලත් නැත. පසුගිය දශක දෙක තුල ඔවුන් ද පාර්ශවකරුවන්වූ ජවිපෙ, යුද්ධය අවසන් කිරීමක් පිලිබඳ කුමන හෝ උත්සාහයකට තරයේ ම විරුද්ධ වූයේ ය.

ධනේශ්වර පක්ෂ සමග ජවිපෙ නායකයින් ගේ සන්ධානයන් මුල්කරගෙන ඔවුන්ට බැන වැදුන ද විසංමතික කන්ඩායම, තමන්ගේ ම අවස්ථාවාදී උපාමාරු දැමීම් ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. ඩේලි මිරර් පත‍්‍රය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී කන්ඩායමේ එක් නායකයෙකු වන සේනාධීර ගුනතිලක, අනෙකුත් පක්ෂ සමග සන්ධාන ගැන කථා කරමින් “දේශපාලනයේ දී එවන් කරුනු පිලිබඳ අවස්ථා මම බැහැර කරන්නේ නැත”යි පැවසී ය.

ඔවුන්ගේ හෙලාදැකීමට ලක්වන නායකයින් සේම, ජවිපෙ විසංමතිකයින් ද විශේෂයෙන්ම ශිෂ්‍යයින් හා තරුනයින් අතර පැවති සහයෝගය සෝදාපාලු වීම නතර කර ගැනීමට මංමුලාසහගත උත්සාහයක නිරතව සිටිති. මෙම සියලු කන්ඩායම්, සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරය කෙරෙහි ද ඔවුන් සටන් වදින සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම කෙරෙහි ද වැඩෙමින් ඇති අනුකූලතාවය රහසින් නිරීක්ෂනය කරති. සසප වෙත දැක්වෙන එම සහයෝගය පිලිබිඹු ‍කෙරෙන්නේ ප‍්‍රධාන පක්ෂවල ද ව්‍යාජ රැඩිකල් සංවිධානවල ද අවස්ථාවාදී උපාමාරු හා ඔවුන් සියලු දෙනා පදනම්ව සිටින වර්ගවාදී දේශපාලනය කෙරෙහි පුලුල්ව පැතිර පවත්නා පිලිකුලයි.

මෑතදී පැවැත්වූ ප‍්‍රසිද්ධ දේශනයක දී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ, සසප හුදෙක් වෙබ් අඩවියක් පවත්වාගෙන යන “නොවැදගත් බලවේගයක්” බව ය. විසංමතිකයින් ද එවැනි ම ගසා බසා දමන ප‍්‍රකාශ කර තිබේ. සසප හා එය සටන් වදින අදහස් එතරම් ම නොවැදගත් නම් ඔවුන් ඒ ගැන සඳහන් කිරීමට පවා කරදර වන්නේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. 2008 ජවිපෙන් භේද වූ වත්මන් නිවාස ඇමති විමල් වීරවංශ, ජවිපෙ අර්බුදය පිලිබඳ සිය දේශනයේදී වඩාත් කපටි ලෙස පැවසුවේ, වාසි ලබනු ඇත්තේ “සසප මාක්ස්වාදී මූලධර්මවාදීන්” බවයි.

ජවිපෙ සියලු කන්ඩායම් හා ඔවුන්ගේ ජාතිකවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් උදක්ම ඉල්ලා සිටියි. සමාජවාදය සඳහා අව්‍යාජ අරගලයේ උරගල ලෙස සෑම කල්හිම පැවත ඇත්තේ, ජාත්‍යන්තරවාදය යි. එනම් ජාතිකත්වය, වාර්ගිකත්වය, භාෂාව, ලිංගිකත්වය හෝ ආගම නොතකා ඔවුන්ගේ පොදු පීඩකයාට එනම් ලාභ පද්ධතියට එරෙහිව කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය යි. එය ධනපති පන්තියේ එක් හෝ තවත් කොටසකට සිය දේශපාලනික අනුගත වීමට හරස්වන බැවින් අවස්ථාවාදීන් හා සුලූ ධනපති රැඩිකල්ලු, හැම විට ම ඓන්ද්‍රීයව ම එවන් අරගලයකට විරුද්ධ වූහ.

අප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, සමකාලීන මාක්ස්වාදයේ එනම් ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම සඳහා සටන්වැදී ඇති එකම සංවිධානය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හා සසප ඉතිහාසය හා ක‍්‍රියාමාර්ගය බැරෑරුම්ව හදාරන ලෙසත්, එයට බැඳී එලඹෙන විප්ලවවාදී අරගලය සඳහා අවශ්‍ය කම්කරු පන්ති නායකත්වය ලෙස එය ගොඩනගන ලෙසත් ය.

Share this article: