පපන්ද්‍රියෝ ග‍්‍රීක කප්පාදු සැලැස්ම පිලිබඳව ජනමත විචාරය අහෝසි කරයි

Papandreou cancels referendum on Greek austerity plan

By Peter Schwarz, 4 November 2011

ග‍්‍රීක අගමැති ජෝර්ජ් පපන්ද්‍රියෝ ඔක්තෝබර් 26 දා යුරෝපීය සංගමයේ ඉහල පෙලේ සමුලුවේ දී ගනු ලැබූ තීන්දු ගැන ජනමත විචාරයක් පැවැත්වීමට ඔහුගේ සැලසුම් අවලංගු කර ඇති අතර ජාතික සමගියේ සංක‍්‍රමන ආන්ඩුවක් ගොඩනැගීමට එකඟ වී ඇත. එවන් ආන්ඩුවක් යුරෝපීය සංගමය විසින් ඉල්ලා සිටිනු ලැබ ඇති දරුනු කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කිරීමේ ද එම පියවරයන් ක‍්‍රියාත්මක කල ඉක්බිති වහා ම ඡන්ද විමසීමක් පැවැත්වීමට ද එකඟ ව ඇත.

මෙම ආන්ඩුව යුරෝපා සංගමය විසින් නියම කර ලැබ තිබෙන දරුනු කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයට මුහුන දෙනු ඇත. බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී පපන්ද්‍රියෝ කොන්සර්වේටිව් විපක්ෂයේ නිව් ඩිමොක‍්‍රසි (එන්ඩී) පක්ෂය සමග ඒකාබද්ධ ආන්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කලේ ය. අගමැතිකම ඔහුට ඉතුරු වේ දැයි පැහැදිලි නැත. ඉල්ලා අස්වීමේ අදහසක් ඔහු ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් සංක‍්‍රමන ආන්ඩුව දේශපාලකයින් වැද්ද ගනු නැතැ යි ද මුලුමනින් ම විශේෂඥයින්ගෙන් සමන්විත වනු ඇතැ යි ද වාර්තා වී තිබේ.

පපන්න්ද්‍රියෝගේ අනුප‍්‍රාප්තිකයකු හැටියට යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) හිටපු උප සභාපති ලූකස් පපඩිමෝස් පත්විය හැකි යයි ඇතන්ස් ගුවන් විදුලිය සඳහන් කලේ ය. තවත් දූෂමාන ආරංචි අනුව යුරෝපීය සංගමයේ කන්ඩායම් විසින් මේ සඳහා කොස්තා සිමිටිස්ගේ නම යෝජනා කර තිබේ. සිමිටිස් පපන්ද්‍රියෝගේ පාලක පැසොක් පක්ෂයේ සාමාජිකයකු වන අතර 1996 සිට 2004 දක්වා අගමැති ලෙස ක‍්‍රියා කර ඇත. ජර්මනියේ අධ්‍යාපනය ලබා මහාචාර්යවරයකු හැටියට කටයුතු කර ඇති ඔහුට එරට සමග සමීප සබඳකම් තිබේ.

පපන්ද්‍රියෝ ජනමත විචාරනයක් පැවැත්විය යුතු ය යන තම අදහසින් පසුබැස්සේ ජර්මන් අගමැති ඇන්ජලා මර්කල් සහ ප‍්‍රන්ස අගමැති නිකොලාස් සාකෝසිගෙන් එල්ල වූ බරපතල පීඩනයන් යටතේ ය. ජනමත විචාරනයක් පැවැත්වීමට තම සැලසුම් ප‍්‍රකාශ කල පසු ජී 20 ඉහල පෙලේ සමුලුවට පෙර දා රාත‍්‍රියේ දී ඔවුහු ඔහුව කෑන්ස් නගරයට කැඳවූහ.

මර්කල් සහ සාකෝසි පැපැන්ද්‍රියෝට පැහැදිලි කලේ යුරෝපා සංගමය විසින් පනවා ඇති කප්පාදු පියවරයන් ගැන ග‍්‍රීක මහජනතාවගේ මොන ම මැදිහත්වීමක් වත් පිලිගැනීමට ඔවුන් සූදානම් නැති බව ය. ඔවුහු විවෘතව ම යුරෝ මුදල් කලාපයෙන් ග‍්‍රීසිය පන්නන බවට තර්ජනය කලහ. යුරෝපා සංගමයේ තීන්දු ප‍්‍රතික්ෂේප කල හොත් ග‍්‍රීසිය යුරෝ මුදලින් එලියට වැටෙනු ඇතැ යි ද රාජ්‍ය බංකොලොත්කමට ඇද වැටෙනු ඇතැ යි ද ඔවුහු විවෘතව ම තර්ජනය කලහ. ජනමත විචාරනයක් විසින් තීන්දු කල හැක්කේ යුරෝ කලාපය තුල ග‍්‍රීසිය ඉන්නවා ද නැති ද යන්න යයි අවධාරනය කල ඔවුහු මෑත දී තීන්දු කරන ලද ග‍්‍රීසියට "අන්තර්ගතය” පිලිබඳ ව ජනමත විචාරනයට කිසිදු අයිතියක් නැතැ යි කියා සිටියහ.

ඔවුහු ජාත්‍යන්තර අරමුදල්වලට ග‍්‍රීසියේ ප‍්‍රවිෂ්ටය ද කපා දමා ක්ෂනික බංකොලොත්බාවය පිලිබඳ තර්ජනය ග‍්‍රීක ආන්ඩුව ඉදිරියේ තැබූහ. 2010 දී අනුමත කරනු ලැබූ "ගලවා ගැනීමේ පැකේජයේ” ඉතිරි කොටස වලක්වාලමින් ඔවුහු පපන්ද්‍රියෝට තර්ජනය කලහ. එය ඇත්ත වසයෙන් ම මුලින් අනුමත කර තිබුනු කොටසකි. බ‍්‍රසල්ස් නගරයේ දී යුරෝපා සංගමය විසින් තීන්දු කරනු ලැබූ කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කිරීමට ඇතැන්ස් පාලනය එකඟ වුව හොත් පමනි අදාල යුරෝ බිලියන අට ග‍්‍රීසියට ලැබෙනු ඇත්තේ. මර්කල් සමග එක්ව පැවැත් වූ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සම්මේලනයක දී සාකෝසි මෙසේ කී ය: "අපගේ ග‍්‍රීක මිතුරන් අප සමග එක්ව ගමන් කරන්නට සූදානම් දැයි තීන්දු කල යුතු ය. අපට වුවමනා වන්නේ ඔවුන් ව යුරෝව තුල තබා ගැනීමට ය. එහෙත් ඔවුන් නීතිවලට එකඟ විය යුතු ය. එසේ නැති නම් ඔවුන්ට ප‍්‍රන්ස සහ ජර්මන් බදු ගෙවන්නන්ගෙන් සතයක් වත් නො ලැබෙනු ඇත." ප‍්‍රන්සයේ යුරෝපා ඇමති ආර්ටීඑල් ගුවන් විදුලියට වඩාත් කෙලින් මෙසේ ප‍්‍රකාශ කලේ ය: "ග‍්‍රීසිය අපට නොතකා හැරිය හැක්කකි. අපට එය නැතිව ජීවත් විය හැකි ය.” ග‍්‍රීසිය යුරෝ මුදලින් ඉවත්වීම පිලිබඳව කලින් සිතීමට වත් සූදානම් නො වූ මර්කල් දැන් තමා එවැන්නකට එකඟ බව මෙසේ ප‍්‍රකාශ කලා ය: "අපි මෙය යලිත් වරක් පැහැදිලි කර ඇත්තෙමු. ජනමත විචාරනයක් පැවැත්වෙන්නේ නම් එය ග‍්‍රීසිය යුරෝ කලාපයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්නට අඩු ප‍්‍රශ්නයක් විය නො හැකි ය - ඔවු ද නැද්ද” ග‍්‍රීක් ජනයා "නැතැ” යි තීන්දු කල හොත් අනෙකුත් යුරෝ රටවල් එයට ගරු කරනු ඇත. "අප සූදානම් ය”. මර්කල් මෙසේ ද කීවා ය: "අප කැප වී සිටින්නා වූ ප‍්‍රාථමික කර්තව්‍යය නම් යුරෝව ස්ථාවර මුදලක් ලෙස පවත්වාගෙන යාම ය.”

මර්කල් සමග මෙම රැස්වීමෙන් පසු පැපැන්ද්‍රියෝ කලින් ජනවාරියේ දී පැවැත්වීමට නියමිතව තිබුනු ජනමත විචාරනය දෙසැම්බරයේ මුල පැවැත්වීමට පොරොන්දු විය.

ඡන්දය තීන්දු කරනු ඇත්තේ යුරෝ මුදල් කලාපය තුල රැඳී සිටිය යුතු ද නැද් ද යන්න ය. මෙය ග‍්‍රීසියේ බහුතරයක් විසින් පිලිගනු ලැබ ඇත්තකි. කලින් පපන්ද්‍රියෝ යුරෝපා සංගමය සමග එකඟව තිබුනු කප්පාදු සැලැස්ම පිලිබඳ ජනමත විචාරනයක් පැවැත්වීමට ය තීන්දු කර තිබුනේ. මෙම පැකේජය ග‍්‍රීසිය තුල මහාජන විරෝධතාවක් පැනනංවා ඇත. මේ වන විට පපන්ද්‍රියෝට ඔහුගේ ම පක්ෂයේ ආධාර ද නැතිව ගොස් ඇත. කලින් පැපැන්ද්‍රියෝ ගේ පිලිවෙතට සහයෝගය දී ඔහු සමග කෑන්ස් නගරයට ගිය මුදල් ඇමති ඉවැන්ජලෝස් වෙනිසිලෝස්, මර්කල් සහ සාකෝසි හමුවීමෙන් පසුව ජනමත විචාරයට විරුද්ධව මෙසේ කීය. "යුරෝව තුල ග‍්‍රීසියට ආ තැන ප‍්‍රශ්නයට භාජන කල නො හැකි වූ ඓතිහාසික විජයග‍්‍රහනයකි. ග‍්‍රීක් ජනතාව විසින් දිනා ගෙන ඇති මෙම අයිතිය දැන් ජනමත විචාරනයකට යලිත් තැබිය නො හැකි ය.” අයවැය ලේඛනය ස්ථාවර කිරීම සඳහා වූ සැලැස්ම බාධාවකින් තොරව ක‍්‍රියාත්මක කල යුතුව ඇත.

ඊවා කයිලි සහ එලේනා පනාරිකි යන පැසොක් මන්ත‍්‍රීවරුන් දෙදෙනා තමන් ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත විශ්වාසය පලකිරීමේ ඡන්දයේ දී අගමැතිවරයාට සහයෝගය නොදක්වන බව දැනටම ප‍්‍රකාශ කර ඇත. මිලේනා අපොස්තාලෙකී නම් තවත් මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව 300 න් යුත් මන්ත‍්‍රී මන්ඩලය තුල බහුතරය පැපැන්ද්‍රියෝට නැති වී තිබේ.

ආන්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ ඇමතිවරු 30 ක් ජනමත විචාරනය අහෝසි කල යුතු යයි ද වහාම ජාතික සමගියේ ආන්ඩුවක් ගොඩනැගිය යුතු යයි ද ඉක්මනින් ම ඡන්දය පැවැත්විය යුතු යයි ද ප‍්‍රකාශ කර තිබේ.

අන්තිමේ දී විපක්ෂ නායක අන්තෝනි සමරාල් ඉදිරියට පැමින ඇත. මේ වන තෙක් ඔහුගේ තත්වාරක්ෂක නිව් ඩිමොක‍්‍රසි (එන්ඩී) පක්ෂය යෝජිත කප්පාදු පියවරයන්ට පක්ෂව ඡන්දය දීමට තරයේ විරුද්ධව සිටියේ ය. ඔහුට අවශ්‍යව තිබුනේ ඉක්මන් ඡන්දයක් පවත්වා ගැනීමට ය.

දැන් රූපවාහිනියෙන් කතා කල ඔහු අවධාරනය කර සිටියේ ග‍්‍රීසිය යුරෝ මුදලේ සාමාජිකයෙක්ව සිටීම පිලිබඳව නම් ජනමත විචාරනයක් නො පැවැත්විය යුතු ය කියා ය. මේ වෙනුවට පාර්ලිමේන්තුව යුරෝපා සංගමය විසින් යෝජිත කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කල යුතු ය. මෙයට තම පක්ෂය සහයෝගය දෙන්නේ වහාම ජාතික එක්සත්කමේ ආන්ඩුවක් පිහිටුවා ඉක්මන් ඡන්දයක් පවත්වන්නේ නම් පමනි.

බ‍්‍රහස්පතින්දා සැන්දෑවේ කැබිනෙට්ටුව විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ කල පපන්ද්‍රියෝ විශාල වසයෙන් තනි කරනු ලැබී ය. පැසොක් මන්ත‍්‍රී දිමිත‍්‍රිස් ලින්ඩ්සේරිස් දැන් පැපැන්ද්‍රියෝ "අතීතයේ දෙයක් බවට පත්ව ඇතැ”යි ප‍්‍රකාශ කලේ ය. ඇමතිවරුන් ගනනාවක් ම ඔහුගේ ජනමත විචාරන සැලසුම්වලින් අත සෝදාගෙන සිටිති. ආරක්ෂක ඇමති පාර්නෝස් බිග්ලිටිස් පමනක් ම ඔහුට සහයෝගය දෙමින් සිටී.

කැබිනට් රැස්වීම ජනමත විචාරනය නවත්වා ජාතික සමගියේ ආන්ඩුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට තීන්දු කලේ ය.

පසුබැස යාමට ද - බොහෝ විට ඉල්ලා අස්වීමට ද පපන්ද්‍රියෝට සිදු කර තිබෙන ආකාරයෙන් සලකුනු වන්නේ කුමන්ත‍්‍රනකාරී දේශපාලන බල කොල්ලයක ලක්ෂනයි. එය පෙන්නුම් කරන්නේ යුරෝව සහ බැංකු ගලවා ගැනීමට යුරෝපීය සංගමය විසින් ක‍්‍රියාත්මක කර ඇති කප්පාදු පියවරයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සමග කිසි සේත්ම සැසඳෙන්නේ නැති බව ය.

පපන්ද්‍රියෝ ම අවුරුදු 2 ක් තිස්සේ ග‍්‍රීක ජනතාවගේ දැවැන්ත ප‍්‍රතිරෝධයට එරෙහිව අති මුර්ග ලෙස යුරෝපා සංගමයේ කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කර තිබේ. ඔහු ජනමත විචාරනයකට යාමට තීන්දු කලේ උපායාත්මක හේතු නිසා ය. ඔහුට වුවමනා කලේ, රාජ්‍ය බංකොලොත්බාවය පිලිබඳ තර්ජනය අත ලඟම යයි පෙන්වා දීම මගින් මෙම කප්පාදු පියවරයන්ට විවෘතව සහයෝගය දීමට විරුද්ධ පක්ෂයට සහ වෘත්තීය සමිතිවලට බලකිරීමට සහ ඡන්ද දායකයන් තමා යෝජනා කරන කප්පාදු පියවරයන්ට අනුගත කර ගැනීමට ය.

එහෙත් යුරෝපීය බැංකුවල සහ ආන්ඩුවල පොදු මතය වූයේ කප්පාදු පියවරයන් ගැන මතය ප‍්‍රකාශ කිරීමට ග‍්‍රීක ජනතාවට ඉඩ හැරීම ගැන සිතීම පවා අතිශයින් ම භයානක බව ය. පැපැන්ද්‍රියෝගේ සැලැස්ම "පිස්සුවක්” යයි නම් කල ජාත්‍යන්තර මාධ්‍ය ඔහු "උන්මත්තකයකු” යයි හෙලා දුටුවේ ය.

ජාතික සමගියේ ආන්ඩුවක ප‍්‍රධාන කර්තව්‍යය වන්නේ - එය පපන්ද්‍රියෝ විසින් ම හෝ වෙනත් පැසොක් දේශපාලකයකු විසින් හෝ තාක්ෂනවේදියකු විසින් හෝ නායකත්වය දෙනු ලැබුව ද - සියලු දේශපාලන විරුද්ධතාවන් ඉවත් කර දැමීම ය. පාර්ලිමේන්තුව තුල එවිට විරුද්ධ පක්ෂයක් නැතිව යනු ඇත. පාර්ලිමේන්තුවට පිටින් කප්පාදු පියවරයන්ට විරුද්ධවන්නන්ට එරෙහිව චෝදනා පනවා මර්දනය කොට "ජාතික අවශ්‍යතාවයේ” සතුරන් ලෙස ඔවුන් අපරාධකරුවන් යයි හංවඩු ගසනු ඇත. ඡන්ද විමසීම් පවත්වනු ඇත්තේ කප්පාදු පියවරයන් ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව ය.

යුරෝපා සංගමය ද තම සැබෑ මුහුන එලිදක්වා ඇත. එය යුරෝපයේ එක්සත්බාවය අන්තර්ගත කර ගන්නේ නැත. එය ගැබ් කර ගන්නේ අතිශයින් ම බලගතු යුරෝපීය මූල්‍ය ආසක්තයන්ගේ ඒකාධිපතිත්වයයි. යුරෝපීය ව්‍යවස්ථාව පිලිබඳ පෙර ඇති වූ මතභේදවල දී යුරෝපීය තීන්දු ගත යුතුව ඇත්තේ ඒකමතික කැමැත්තකින් ද නැතිනම් සරල බහුතරයක් මගින් ද යන ප‍්‍රශ්නය පිලිබඳව බොහෝ විවාද ඇති විය. දැන් කවරෙක් හෝ එවන් සූක්ෂ්ම දේ පිලිබඳව උනන්දු වන්නේ නැත. මර්කල් සහ සාකෝසි එලිපිට ම පිලිවෙත නියම කරති. මේ දෙගොල්ලාගේ ද්විපක්ෂ ඉහල පෙලේ සාකච්ඡා තුල වැදගත් තීන්දු ගනු ලැබේ. පාසල් ලමුන්ට සේ දඬුවම් කොට හීලෑ කරනු ලැබේ.

යුරෝපය පුරා මෙන්ම ලෝකය පුරා කම්කරුවන් මත එවන් ප‍්‍රහාරවල පෙර ඇඟවුම වන්නේ ග‍්‍රීසිය යි. බැංකුවල පැත්තෙන් ගතහොත් මූල්‍ය සහ නය අර්බුදයන් විසඳිය හැකි වන්නේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් දශක ගනනාවකින් ආපස්සට ඇද දැමීමෙනි. දැනට පාලක ප‍්‍රභූව මේ සඳහා රැඳී සිටින්නේ, පැසොක් වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයන්, වෘත්තීය සමිති සහ විවිධාකාර ව්‍යාජ වාම සංවිධාන මත ය. මොවුහු ධනවාදය පෙරලා දැමීමට ද මොන ම ආකාරයක හෝ ජාත්‍යන්තර ඒකාබද්ධතාවක් කම්කරුවන් විසින් ගොඩනගා ගැනීමට ද මුලුමනින් ම සතුරුව සිටිති. කම්කරුවන් මත මොවුන් ගෙන යන්නා වූ පාලනය නැතුව ගියහොත් පාලක ප‍්‍රභූන් වඩාත් ප‍්‍රචන්ඩ මර්දනකාරී විධික‍්‍රමයන් ගැනීමට පසුබට නො වනු ඇත.

Share this article: