ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමට විරුද්ධ වෙනු

Oppose the extradition of Julian Assange

7 November 2011

විකී ලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්, ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කල අභියාචනය ඉවත දැමීමට ලන්ඩනයේ ඉහල උසාවිය ගිය සතියේ දී ගත් තීන්දුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල ප්‍රහාරයකි.

අසාන්ජ්ගේ අභියාචනයේ සාරාත්මක සියලු කාරනා ප්‍රතික්ෂේප කරමින් සර් ජෝන් තෝමස් හා වින්ශ්චයකාර අවුස්ලේ දුන් තීන්දුව, බෙල්මාර්ෂ් මහේස්ත්‍රාත් උසාවියෙහි දිස්ත්‍රික් විනිශ්චයකාර හෝවාර්ඩ් රිඩ්ල් විසින් 2011 පෙබරවාරියේ දුන් තීන්දුව තහවුරු කලේ ය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික යුරෝපියානු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නීති මත පිහිටා ගනිමින් විනිශ්චයකරු, “ අසාන්ජ් මහතා චූදිතයෙකු ලෙස නීර්නය කර නඩු පැවරීමේ කාර්යයන් සඳහා අවශ්‍යව තිබිය දී, නඩු පරිපාටියට ස්වීඩන නීතියේ ප්‍රතිදාන යොදාගැනීම පිලිබඳව සොයා බැලීමට, පැමිනිලිකරුට හිමිකම තිබිය යුතු ය” යි ප්‍රකාශ කලේ ය.

මේ දක්වා ම අසාන්ජ්ට ස්වීඩනය තුල හෝ වෙනත් රටක් තුල කිසිම අපරාධයකට චෝදනා කරනු ලැබ නැත. නඩු තීන්දුව පිලිබඳව සාර්ථක නොවිය හැකි නමුත් අභියාචනයකට ඉඩදී ඇති අතර ලිංගික අතවරයන්ට ලක්වූ හා දූෂනය කෙරුනා යයි කියන කාන්තවන් දෙදෙනෙකුගේ තහවුරු නොකෙරුනු හා විවාදිත චෝදනා මත ඔහු, බලහත්කාරයෙන් ස්වීඩනයට මාරු කෙරෙනු ඇත.

යුරෝපීය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යටතේ අසාන්ජ් පිටුවහල් කිරීමට ස්වීඩනයට අවශ්‍ය නම්, සිදුවනු ඇත්තේ එයයි යන්නට විනිශ්චයකරුගේ තීරනය සමාන ය. චෝදනා එල්ල කෙරී ඇති වැරදි, පිටුවහල් කිරීම පිනිස එක්සත් රාජධානිය තුල දී යොදාගත නොහැකි ය. මෙය සිදු වුයේ චෝදනා මුලින් ම ගොනු කල අවස්ථාවේ අසාන්ජ් බලධාරීන් සමග සම්පූර්න්නයෙන් ම සහයෝගයෙන් කටයුතු කලේ ය යන්න ද නොසලකා ය.

පසුගිය දෙසැම්බරයේ ඔහු අත්අඩංගුවට ගත් දා සිට බ්‍රිතාන්‍ය අධිකරන පද්ධතිය විසින් අසාන්ජ්ට දැක් වූ සැලකීම, චිලී ෆැසිස්ට් ඒකාධිපති හා ජනඝාතක ජෙනරල් ඔගොස්ටෝ පිනෝෂේ සම්බන්ධයෙන් ක්‍රියාකල ආකාරයට වඩා එහැමපිටින්ම ප්‍රතිවිරුද්ධ ය. විනිශ්චයකාර බල්තසාර් ගර්ෂෝන් නිකුත් කල ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යටතේ ඔහු ස්පාඤ්ඤයට පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කෙරුනි. 1998 දී රඳවා ගනු ලදුව අයහපත් සෞඛ්‍ය තත්වය මත චිලියට ආපසු යාමට ඉඩදීමට පෙර, සුඛෝපභෝගි ජීවිතයක් ගෙවමින් පිනෝෂේ අවුරුද්දකට වැඩි කලක් එක්සත් රාජධානියේ විසී ය. විත්තිකාර පිනෝෂේගේ පක්ෂයේ නීතිඥ මන්ඩලයට ක්ලෙයා මොනට් ගෝමරී ඇතුලත් විය. අසාන්ජ් පිටුවහල් කිරීම සඳහා තර්ක කල, ස්වීඩ්න් සංස්ථාපිතය නියෝජනය කර ඇති ඔහු රාජ්‍යයේ පැමිනිලි පක්ෂ නීතිඥයෙකි.

අසාන්ජ් සමග පැවත්වූ ලිංගික සබඳතාවන් ස්ව කැමත්තෙන් වූවා යයි පිලිගන්නා, ඔහුට එරෙහිව පැමිනිලි කර ඇති දෙදෙනාගේ පෞද්ගලික අභිප්‍රේරනයන් මොනවා වුනත්, ස්වීඩන දක්ෂිනාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකුගේ නියෝගය මත නැවත ඉදිරිපත් කිරීමට පෙර, ඔවුන්ගේ චෝදනා මුලින් ප්‍රතික්ෂේප කර තිබුනි.

අසාන්ජ් සිදුකල සැබෑ “අපරාධය” නම්, එක්සත් ජනපද මිලිටරියේ රහස් ලියවිලි, රාජ්‍ය තාන්ත්‍රික කේබල් හා වීඩියෝ දර්ශන පට ප්‍රසිද්ධ කිරීම මගින් විකීලික්ස්, වොෂින්ටනය හා එහි මිතුරන් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක්‍රමනය කිරීම හා එම රටවල් සිය අත්අඩංගුවට ගැනීම ද ලෝක මහජනතාවට එරෙහිව ගෙන යන ලද අනෙකුත් කුමන්ත්‍රනයන්ගේ සාපරාධි ස්වභාවය ද හෙලිදරව් කොට තිබීම යි.

ඉහල උසාවි තීරනය, ඔබාමා පරිපාලනය හා එක්සත් ජනපද ඔත්තු සේවාවේ මූලිකත්වය යටතේ විකීලීක්ස් අවමානයට ලක් කිරීමට හා විනාශ කිරීමට ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කල උද්ඝෝෂනයක මෑතම සිද්ධිය පමනි.

අසාන්ජ් ඔහුගේ නිදහස හා ජීවිතයට එරෙහි භයානක ම තර්ජනයට මුහුන දෙයි. ස්වීඩන නීතිය යටතේ, විභාගය පැවත්වීමට පෙර පවා මාස ගනනාවක් ඔහු හුදෙකලාව සිර ගත කොට තැබිය හැකි ය. ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ද හැකිය. එහි දී ඔහුට මරන දන්ඩනයට යටත් කල හැකි චෝදනාවන්ට මුහුන දීමට සිදුවෙනු ඇත. ජනාධිපති ඔබාමාගේ නියෝග මත ඔහු මිලිටරි බන්ධනාගාරයක සිරකර තැබී‍මේ හා කිසිදු නීතිමය පිහිටක් නොමතිව “ත්‍රස්තවාදියෙකු” ලෙස අසීමිතව රඳවා ගනීමේ හැකියාව මතු කරමින් එක්සත් ජනපද උප ජනාධිපති ජෝසප් බිඩෙන් අසාන්ජ් “අධි තාක්ෂන ත්‍රස්තවාදියෙකු” ලෙස විස්තර කල අතර වෙනත් අය ද එම චෝදනාව නැවත නැවත ඉදිරිපත් කොට තිබේ.

අසාන්ජ්ට අත්විය හැකි ඉරනම ගැන අදහසක් ගැනීමට යමෙකුට අවශ්‍ය වනුයේ විකීලීක්ස් වෙත තොරතුරු සැපයීම මත චූදිතයෙකු වූ, ඇමරිකානු සෙබලෙකු වන බ්රැඩ්ලි මැනින්ට සලකන ආකාරය සටහන් කර ගැනීම පමනි. 2010දී අත්අඩංගුවට ගත් ඔහු බරපතල වරදක් යයි සලකන, “සතුරාට උදව් කිරිම” ඇතුලු අනේක චෝදනාවලට මුහුන දෙයි. ඔහු හමුවීමට පැමිනෙන අයට අනුව, එතැන් පටන් ඔහු, බොහෝ කොටම හුදෙකලාව සිරගත කොට අඩ භින්නෝන්මාද තත්වයකට දුබල කර ඇත.

මාධ්‍ය විසින් ඔහුට එරෙහිව ගෙන යනු ලැබූ සාවද්‍ය තොරතුරු හා සෝපාහාසයේ ව්‍යපාරයකින් අසාන්ජ්ගේ නීතිමය අවනඩුව ශක්තිමත් කෙරුනි. නාමිකව ලිබරල් වන පුවත්පත් ඔහු නිශ්ශබ්ද කිරීම යුක්ති සහගත කරමින් හා මහජන මතයට විස පොවමින් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය විකීලීක්ස්හි ආරම්භක පාර්ශ්ව කරු‍ෙවක් වූ අතර එය ලබාගෙන තිබූ ලියවිලි ප්‍රකාශයට පත් කිරීමට ඉඩ දෙන ලදී. විකීලීක්ස් හෙලිදරව්කිරීම්වල නිෂේධනීය බලපෑම සීමාකිරීමේ ඉතාමත් ඵලදායි මාර්ග සාකච්ඡා කිරීම සඳහා එය, ධවල මන්දිර නිලධාරීන් හමුවීමට එකඟවූ අතර අසාන්ජ් හෙලා දකිමින් හා අපවාදයට ලක් කිරීමට උත්සාහ කරමින් අශිෂ්ට ලිපි මාලාවක් ප්‍රසිද්ධ කලේ ය. පසු ගිය සතියේ අසාන්ජ්ට එරෙහි ඉහල උසාවි තීන්දුවට පසුව එහි ඉරිදා මුද්‍රනය නරුම ශීර්ෂපාඨයකින් ප්‍රතිචාර දැක් වී ය: “මෙය විකීගේ අවසානය ද? ”

බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පත්‍රය ඔහු ස්වීඩනයට පිටුවහල් කිරීමට සහාය පිනිස කතුවැකි පලකරන තැනට පත්වු අතර අසාන්ජ්ට එරෙහි ජාත්‍යන්තර උද්ඝෝෂනය සමග ඉක්මනින්ම පෙල ගැසුනි. ඉහල උසාවියේ තීන්දුවට පසුව ස්වීඩනයේ ප්‍රධාන දිනපතා පුවත්පතක් වන එක්ස්ප්‍රසන් හි සංස්කෘතික කතුවරියක වන කැරින් ඔල්සන්ගේ අදහස් දැක්වෙන ලිපියක් එහි පල කලේ ය. අසාන්ජ් “ඕස්ට්‍රේලියාවෙන් ආ කපටි හොරෙකු” ලෙස විස්තර කරමින් ඇය, “පිටුවහල් කිරීමට එරෙහි ඔහුගේ නිරර්ථක උත්සාහය අතහරින ලෙසත්, ස්වීඩන අධිකරන පද්ධතියට සුලුවෙන් හෝ ගරුකරන” ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියා ය.

කලක දී ලිබරලුන් යැයි සැලකුනු වැඩිම දෙනෙකුගේ තියුනු දකුනට පැද්දීම සාරාංශ කල ඇය “වාමාංශික විවරන කරුවෙකු” වන ඩෑන් ජොසෙෆ්සන් උපුටා දක්වමින්, මෑතක දී ඔහු, අසාන්ජ් තමා ගැන “ සිතා සිටි තරම් රැඩිකල් වීරයෙකු නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් ඉරා දැමීමේ අවශ්‍යතාවෙන් පෙලුනු හුදකලා හා කසිකබල් ස්වාධීනතාවාදියෙකි” යනුවෙන් කියා ඇති බව සඳහන් කරයි.

ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඉහල අපරාධ හෙලිදරව් කර ඇති විකීලීක්ස්හි පුරෝගාමී හා ධෛර්යය සම්පන්න මාධ්‍ය කලාව, පසු චින්තාවකට පහල දැමීමේ ක්‍රියාදාමය තුල, අසාන්ජ්ගේ පෞද්ගලිකත්වය හා අභිප්‍රේරනයන් මත එල්ල කෙරෙන එවැනි පුද්ගලාලම්බන ප්‍රහාර සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

අවස්ථා කීපයකදී හැරුන විට, වාමාංශික යයි කියා ගන්නා දේශපාලන සංවිධාන අසාන්ජ්ට එරෙහි නීතිමය හා දේශපාලන පලිගැනීම පිලිබඳව කර ඇත්තේ ඇබිත්තකි, නැත්නම් කිසි ම දෙයක් නැත. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය මාර්තු මාසයේ ලිවූ වාක්‍ය පහක ලිපිය හැරුන විට කිසිම දෙයක් ලියා නැත. ඒ අතර සමාජවාදී පක්ෂය මාස 11ක දී වචනයක්වත් තෙපලා නැත.

ඊට පෙර 2010දී පක්ෂ දෙකම විකීලීක්ස් හෙලිදරව් කිරීම්වල වැදගත්කම ප්‍රතික්ෂේප කිරීමේ අරමුන ඇතිව ලීවේ ය. එස්ඩබ්ලිව්පීය දෙසැම්බර් 7වැනිදා “විකී ලීක්ස් තර්ජනයක් නොවේ” යයි ශීර්ෂපාඨයක් සහිත ප්‍රකාශයක් පල කලේ ය. ඒ අතර සමාජවාදී පක්ෂය කාරනය පිලිබඳ සිය අවසාන වචනය ගැන උද්ධච්ච ස්වරූපයක් ආරූඪ කර ගත්තේ ය: “හෙලිදරව් කිරීම් නරකවා මෙන් ම මේ වන විටත් සමාජවාදීන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගමන්කල හැකි දුර කෙතරම් ද යන්න පිලිබඳව බොහෝදේ දැන ගෙන සිටිති.”

ඔවුන් බ්‍රිතාන්‍ය තුල වෘත්තිය සමිති අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් කල දෙයක් නැත යි නොකියා මග හරී. 2010 දෙසැම්බර් මාසයේ දී පුවත්පත් කලාවේදින්ගේ ජාතික වෘත්තිය සංගමයේ එකම උත්සුකය වූයේ “මහජන අවශ්‍යතා පිලිබඳ වගකිවයුතු වාර්තාකරනය ” සහතික කිරීමට විකීලීක්ස්, “ඩර් ස්පීගල් ‚ ගාර්ඩියන්‚නිව් යෝක් ටයිම්ස්‚ ල මොන්ඩේ සහ එල් පායිස් ඇතුලු සම්මානිත නාලිකාවන්” මත විශ්වාසය තැබීමට ගත් තීරනයට ප්‍රශංසා කිරීම යි.

මෙම “වග කිව යුතු” හා “සම්මානිත” ප්‍රකාශනවල සැබෑ භූමිකාව අසාන්ජ් අවමානයට පත් කිරීමට ඔවුන් දැන් දරන උත්සාහය තුල දැකිය හැක.

ජූලියන් අසාන්ජ් ප්‍රබල ලෙස ආරක්ෂා කල යුතු අතර ඔහු පිටුවහල් කිරීමට විරුද්ධ විය යුතු ය. අසාන්ජ් හා විකීලීක්ස් විනාශ කිරීම, සෑම තැනම ප්‍රතිගාමී බලවේගයන්ගේ ජයග්‍රහනයක් වනු ඇති අතර කතාකිරීම‚ පුවත්පත් හා අන්තර්ජාලයේ නිදහසට මෙන්ම අනෙකුත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ද බරපතල ප්‍රහාරයක් විය හැක.

අත්දැකීම් තහවුරු කරන්නේ, අසාන්ජ් ම නැඹුරුව ඇති සුලු ධනේශ්වරයේ වඩාත් සමෘධිමත් කොටස්වල ලිබරල් යයි කියා ගන්නා කවයන් ට, මෙම කර්තව්‍යය භාර දිය නොහැකි බව ය.

මෙම පරිශ්‍රයේ හොඳම කන්ඩායම් පවා තම සගයන්ගේ සහ ඔවුන් අවනතභාවයක් දක්වන, බ්‍රිතාන්‍යයේ කම්කරු හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය හෝ ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, වැනි දේශපාලන සංවිධානවල දක්ෂිනාංශික හැරීම කෙරෙහි විරුද්ධත්වය පෑමට අපොහොසත් ය.

අසාන්ජ් හා විකීලීක්ස් ආරක්ෂා කල හැකි වන්නේ, සමාජවාදී, ධනේශ්වර විරෝධී හා අධිරාජ්‍ය විරෝධී ඉදිරිදර්ශනයක පදනම මත පමනක් යයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කර යි. සෑම දෙයක් ම රඳා පවතින්නේ, ජාත්‍යන්තරව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ හැකි පලල් ම ස්ථර දේශපාලනිකව බලමුලු ගැන්වීමේ අධිෂ්ඨාන සහගත උත්සාහය මත ය.

රොබට් ස්ටීවන්ස්

Share this article: