"මුලුමනින් ම පොලිස් පාලනයට නතු කිරීම” සහ විරුද්ධ මතධාරීන් අපරාධකාරයන් බවට පත් කිරීම

“Total Policing” and the criminalisation of dissent

12 November 2011

එක්සත් රාජධානියේ අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව පැන නැගි, සංසන්දනාත්මකව කුඩා සහ මුලුමනින් ම සාමකාමී විරෝධතාවකට එරෙහිව බදාදා දියත් කෙරුනු පොලිස් මෙහෙයුමේ පරිමානය පෙන්නුම් කරන්නේ, කවරාකාර දේශපාලන සහ සමාජ විරෝධයක් වත් ඉවසා දැරීමට පාලක ප‍්‍රභූව තව දුරටත් සූදානම් නැති බව යි.

පොලීසිය විරෝධතාවේ විශාලත්වය පිලිබඳව තක්සේරුවක් කලේ යැයි පිලිගත හොත්, වැඩි දෙනෙකු පූර්න කැරලි මර්දන උපකරනවලින් සන්නද්ධ කොට පොලිස් නිලධාරීන් 4,000ක් යෙදවීමෙන් පෙනී යන්නේ, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර අනුපාතය එකට එකක් බව යි. වඩා නිවැරදි සංඛ්‍යාව 8,000 විය හැකි යැයි පිලිගත හොත් අනුපාතය එකට දෙකකි.

නව නාගරික පොලිස් කොමසාරිස් බර්නාඩ් හොගාන්-හෝවේ විරෝධතාව විස්තර කලේ, "මුලුමනින් ම පොලිස් පාලනයට නතු කිරීම” නමැති තම ප‍්‍රතිපත්තිය අත්හදා බැලීමක් ලෙස යි. එය මෙවැන්නක් විය: සාමාන්‍ය පොලිස් භටයන්, කැරලි මර්දන වෑන් රථ, පොලිස් අශ්වාරෝහක නිලධාරීන් සහ අඩි දහයක් උසැති මාර්ග බාධක යොදා පෙලපාලිය ගමන් ගත් මග දිගට තිබූ සියලු ප‍්‍රධාන මාර්ග අවහිර කොට ලන්ඩනය සැබවින් ම අගුලු ලනු ලැබින.

දුම්රිය, උමං සහ සුඛෝපභෝගී දුර ගමන් බස් රථ නැවතුම් පොලවල දී පෙලපාලි අබිමුවට ගොස්, "මුලුමනින් ම පොලිස් පාලනයට නතු කිරීම” ර්‍ණඔධඔ්ඛ ඡුධඛෂක්‍ෂභඨ” යන මැය ඉදිරි සහ පසු කවරයෙහි කැපිටල් අකුරින් මුද්‍රනය කොට තිබූ පිටු 11කින් සමන්විත පොත් පිංචක් බෙදා හරිනු ලැබින. පුද්ගලයන් සෝදිසි කිරීම සඳහා සහ වෙස් මුහුනු ඉවත් කිරීමට බල කිරීම සඳහා පොලීසිය 1994 අපරාධ යුක්තිය සහ මහජන සාමය පිලිබඳ පනත යොදා ගනු ඇතැයි එය අනතුරු ඇඟවී ය.

සැතපුම් තුනක මගෙහි දී පොලිස් භටයෝ ඉදිරිපසින් ද පසුපසින් ද දෙපසින් ද පෙලපාලියට හිරිහැර කලහ. සිදුවීමට සහභාගි වෙමින් සිටියවුන් පිලිබඳව සවිස්තරාත්මක විඩියෝ පට තනමින් හෙලිකොප්ටර අහසේ රවුම් ගැසී ය.

තවත් ප‍්‍රකෝප කිරීමක් වූයේ සෑම මීටර් දහයකට වරක් ම පෙලපාලිය නතර කරනු ලැබීම යි. මින් අදහස් වන්නේ සැතපුම් තුනක මග ගෙවීමට පැය තුනක් ඇවිදීමට සිදු වූ බව යි. විටින් විට සිදු වුනු මෙම කොටු කිරීම, ඇතැම් ස්ථානවල දී පිරිස අතරට ගොස් ප‍්‍රතික‍්‍රියාවක් අවුලුවා ගැනීමේ අරමුනෙන් ජනයා තල්ලු කර දැමීමට සහ ජනයා සමග ගැටීමට පොලීසියට හැකියාව ලබා දුන්නේ ය.

ලන්ඩන් වෝල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති රැලිය පැයකට නොවැඩි කාලයකින් නිම කල යුතු බවටත් පැය දෙකකින් ප්‍රදේශයෙන් මුලුමනින් ම ඉවත් විය යුතු බවටත් එදින නිකුත් කල ප‍්‍රකාශයකින් අනතුරු ඇඟවින. සාන්ත පාවුලු ආසන දෙව් මැදුරෙහි සිදු වෙමින් තිබුනු වාඩි ලා ගනු විරෝධතාව හා සහයෝගීව ට‍්‍රෆල්ගාර් චතුරස‍්‍රයේ දී කූඩාරම් කඳවුරක් පිහිටුවා ගැනීමට දැරූ උත්සාහය, පොලීසිය ඊට සම්බන්ධ වූවන් ඉවතට ඇද ගෙන යාමත් සමග මිනිත්තු කිහිපයක් තුල ව්‍යර්ථ කෙරින.

සියයට 3.5කින් වැටුප් කපා දැමීම සඳහා කලමනාකරනය කරන තර්ජනයට එරෙහිව වර්ජනයක යෙදී සිටින විදුලි කාර්මික ශිල්පීන් කන්ඩායමක් ශිෂ්‍ය විරෝධතාව සමග එක් වීමට දැරූ පරිශ‍්‍රමය ද සමාන පොලිස් ප‍්‍රචන්ඩත්වයකට මුහුන දුන්නේ ය. විදුලි කාර්මික ශිල්පීන්ගේ පෙලපාලිය වට කරන ලදුව ඔවුන් සිරගත කෙරුනා හා සමාන තත්ත්වයක් නිර්මානය විය. සමහරුන් ගැලවී යාම සඳහා උත්සාහ දැරූ විට බැටන් පොලු අතැතිව කඩා වැදුනු කැරලි මර්දන පොලීසිය ඔවුන් බිම වැටෙන තුරු පහර දුන්නේ ය. පොලීසිය කම්පන බෝම්බවලින් සන්නද්ධව සිටි බව වාර්තා විය. මහජන සාමය පිලිබඳ පනතේ 60 වන වගන්තියෙන් පැවරෙන බලය යටතේ විරෝධතාකරුවන්ගෙන් නම් සහ ලිපින ලබා ගැනින.

ප‍්‍රධාන අන දෙන නිලධාරි සයිමන් පවුන්ටන් පෙලපාලියට කලින් පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසුවේ, ජලය විදින තුවක්කු යොදා ගැනීමට සැලසුම් කර නැතත් ප්ලාස්ටික් උන්ඩ යොදා ගැනීමට අවසර ලැබී ඇති බව යි. මෙය එංගලන්තය තුල දී මෙවන් අවසරයක් ලැබුනු පලමු වතාව යි.

මහජන සාමය බිඳීමක් සම්බන්ධයෙන් කලින් අත් අඩංගුවට පත්ව තිබෙන ඕනෑ ම අයෙකු යලි අපරාධයක් කල හොත් "මුල් වතාවේ දී ම” අත් අඩංගුවට ගෙන නඩු පවරන බවට අනතුරු අඟවමින් ලිපි 450කට වැඩි ගනනක් යවනු ලැබින. කලින් විරෝධතාවකට සම්බන්ධ වී තිබීමේ "අපරාධය” පමනක් කල අය පිලිබඳව පොලිස් දත්ත බැංකුවක් පවතින බව පෙන්වා දෙමින් මෙම ලිපිවලින් බොහොමයක් යවනු ලැබුනේ කලින් කිසි ම අපරාධයකට වැරදිකරුවෙකු බව ඔප්පු වී නැති ජනයා වෙත ය.

පොලිස් ඔරාකල් පුවත්පතෙහි යලි පල කෙරුනු ලිපියක දී ගාඩියන් පුවත්පතේ අපරාධ වාර්තාකාරිය ප‍්‍රමෝදයෙන් යුතුව විස්තර කලේ, බැටන් ප‍්‍රහාර සඳහා පූර්ව අවසරය ලබා දීම සහ තර්ජනය කරන ලිපි යැවීම තුල අලුත් කිසිවක් නොමැති බව යි. "අලුත් දෙය නම්” මෙය ප‍්‍රසිද්ධ කිරීමට පවුන්ටන් ගත් තීරනය යැයි ඈ පැවසුවා ය.

බැටන් ප‍්‍රහාර සඳහා අවසරය ලබා දුන්නේ බි‍්‍රතාන්‍යයේ නගරවල ගිම්හාන සමයෙහි ඇති වූ කැරලි අතරතුර දී බව පෙන්වා දුන් ඈ, "සමහර විට එතරම් ප‍්‍රසිද්ධ නැතිව ඇති... ඒවාට අවසරය ලබා දුන්නෙත් වසරකට කලින් කප්පාදුවලට එරෙහිව කල ශිෂ්‍ය උද්ඝෝෂනයක් අතරතුර දී යොදා ගැනීමට යැ”යි ප‍්‍රකාශ කලා ය.

ස්වදේශ ලේකම් තේරේසා මේ විසින් පොලීසියට අතිරේක බලතල ද ලබා දීමට නියමිත බව ඈ සඳහන් කලා ය; එමගින්, "උද්ඝෝෂනයක් අතරතුර දී යම් ප‍්‍රදේශයකින් මහජනයා ඉවත් කිරීමට පොලිස් අධිකාරිවරයාට හැකි වනු ඇත. මෙය වූකලි නීති පොතෙන් කැරලි මර්දන පනත ඉවත් කල 1973න් මෙපිට නොපැවති බලයකි.”

පසු ගිය ඔක්තෝබරයේ ශිෂ්‍ය විරෝධතාවට පෙර හා පසුව අත් අඩංගුවට ගැනීම් 150කට වැඩි ගනනක් සිදු විය. පොලීසිය නිරායුධ මිනිසෙකු ඝාතනය කිරීමෙන් ඇවිලුනු මෙම ගිම්හානයේ කැරලිවලින් පසුව, අත් අඩංගුවට ගැනීම් 4,000කට වැඩි ගනනක් ද චෝදනා ඉදිරිපත් කිරීම් 2,000කට වැඩි ගනනක් ද ඒ අතරින් වඩාත් ම සුලු වැරදි කලවුන්ට දිගු සිර දඬුවම් පැනවීම ද සිදු විය.

ජාත්‍යන්තර දසුන ද මීට සමාන ය. ම්ලේච්ඡ පටි තද කිරීමේ කප්පාදුවලට එරෙහිව විරෝධතාවල යෙදීමට උත්සාහ කරන ඕනෑ ම තැනක දී කම්කරුවෝ සහ තරුනයෝ දරුනු මර්දනයකට මුහුන දෙති.

උදාහරනයක් ලෙස ග‍්‍රීසියේ දී, ඔක්තෝබර් 20 දා පැවති මහා වර්ජන විරෝධතාවට කැරලි මර්දන පොලිස් භටයන් 15,000කගේ ප‍්‍රහාරයක් එල්ල වූ අතර සින්ටැග්මා චතුරස‍්‍රය කඳුලු ගෑස්වලින් වැසී ගියේ ය. එක්සත් ජනපදයේ දී, ඔක්තෝබර් 1 දා බෲක්ලින් බි‍්‍රජ්හි උද්ඝෝෂනයෙහි යෙදී සිටි විරෝධතාකරුවන්ගෙන් 700ක්-තුනෙන් එකකට ආසන්න ප‍්‍රමානයක්-අත් අඩංගුවට ගැනීමෙන් සති දෙකකට පසුව, ඊට ප‍්‍රතිචාර දක්වමින් වෝල් වීදිය වාඩි ලා ගනු විරෝධතා ජාතික පරිමානව විශාල වශයෙන් පැතිර ගියේ ය. එතැන් පටන් නානාවිධ ප‍්‍රාදේශීය පොලිස් බලකායන්, කැරලි මර්දන උපකරන-කඳුලු ගෑස් සහ වෙනත් ආයුධ-යොදා ගනිමින් ප‍්‍රහාර දියත් කර ඇති අතර, ජාතික පරිමානව අත් අඩංගුවට ගැනුනවුන්ගේ මුලු ගනන 3,000 ඉක්ම ගොස් ඇත.

මර්දනකාරී වැඩ පිලිවෙලවලට මුහුන දිය හැකි එක ම ක‍්‍රමය පන්තීන් ආන්තික ලෙස ධ‍්‍රැවාන්තගත කරවන වැඩ පිලිවෙලකි.

බි‍්‍රතාන්‍යයේ දී, දැන් ගෙන හැර පාන කැරලි මර්දන පනත මුලින් කෙටුම්පත් කෙරුනේ 1714 දී ය. කැරලි ගැසීමට එරෙහිව මරන දන්ඩනය පැනවීමට එමගින් හැකියාව ලැබින. 1837 දී මෙය ජීවිතාන්තය දක්වා රටින් පිටුවාහල් කිරීමක් බවට දඬුවම පහත හෙලින.

මෙම දන්ඩනය යොදා ගත් බවට වඩාත් ම ප‍්‍රකට අවස්ථාව වන්නේ 1819 දී මැන්චෙස්ටර්හි සිදු වුනු පීටර්ලූ සංහාරය යි. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරන සහ නොඉවසිය හැකි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් සහනයක් ඉල්ලමින් සිටි විරෝධතාකරුවන් 80,000කට එරෙහිව අශ්වාරෝහක බලඇනියක් එල්ල කල ප‍්‍රහාරයකින් 15 දෙනෙකු ඝාතනයට ලක්ව 700ක් තුවාල ලැබූහ.

ග්ලාස්ගෝහි දී 1919 කලු සිකුරාදාවේ, වැඩ පැය ගනන කෙටි කරන ලෙස උද්ඝෝෂනය කරමින් සිටි කම්කරුවන්ට එරෙහිව කැරලි මර්දන පොලීසිය ද හමුදා භටයෝ 10,000ක් ද පිටත් කර යැවුනහ. කලු සිකුරාදාව හට ගත්තේ, 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයෙන් පසුව, "බොල්ශේවික්වාදී නැගිටීමක්” ඇති වෙතැයි බි‍්‍රතාන්‍ය ප‍්‍රභූ පැලැන්තිය බියෙන් සිටි සමයක ය. කාරනය වන්නේ, අද දින-පලමුව හැංගි හොරා සහ දැන් නිල තූර්ය ඝෝෂා මැද-මීට සමාන බලතල නීතිගත වෙමින් පැවතීම යි. මෙය බි‍්‍රතාන්‍යයෙහි, යුරෝපයෙහි සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් විය යුතු ය.

අද දින, අත්‍යධික ලෙස ධනවත් කතිපයාධිපත්‍යයක්, කිසි දා නොවූ තරම් මහත් පෞද්ගලික ධනවත් වීමකට උත්සාහ දරමින් සමාජ ජීවිතයේ සෑම පැතිකඩක් ම මෙසේ විය යුතු යැයි අන කරයි. ආර්ථික අර්බුදය දරුනු වන කොන්දේසි යටතේ, මෙය මිලියන සංඛ්‍යාත ජනයා මත කප්පාදු සහ පටි තද කිරීම් පැටවීමක් බවට පරිවර්තනය වේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විධිනියෝග සුරක්ෂිත කිරීමට කිසිදු ඉඩක් නැතිව යයි.

ලොව වටා ධනේශ්වර ආන්ඩු පොලිස් රාජ්‍යයක ලක්ෂන දරා සිටින වැඩ පිලිවෙලවල් නීතිගත කිරීම ද ග‍්‍රීසියෙහි හමුදා කුමන්ත‍්‍රනයක් පිලිබඳ තර්ජනය ද නිර්නය වන්නේ මෙයිනි.

කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ප‍්‍රතිචාරය විය යුත්තේ, මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමත්, කතිපයාධිපත්‍යයේ දේපොල අත්පත් කර ගෙන අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරනය, නිවාස සහ නිසි වැටුපක් ගෙවන රැකියාවක් සඳහා සියල්ලන්ට තිබෙන සමාජ අයිතිවාසිකම් සැපිරීම උදෙසා නිෂ්පාදනය සංවිධානය කරන, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමානාත්මතාවාදී සමාජයක් සඳහා වන විප්ලවවාදී ක‍්‍රියා මාර්ගයක් තෝරා ගැනීමත් ය.

ක‍්‍රිස් මාස්ඩන්

Share this article: