ග්‍රීසිය තුල ඒකාධිපතිත්වයේ තර්ජනය

The threat of dictatorship in Greece

21 November 2011

බැංකු හා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේග ග්‍රීසිය තුල ෆැසිස්ට් එල්ඒඕඑස් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුලත් “ජාතික එකමුතුවේ” ආන්ඩුවක් පිහිටුවීම මෙන් ම, ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානත්වය ගැනීම සඳහා දක්ෂිනාංශික නව ප්‍රජාතන්‍ත්‍රවාදී පක්ෂය නම් කිරීම, ග්‍රීක හා ජාත්‍යන්තර කම්කරු පන්තියට බරපතල අනතුරු හැඟවීමක් ලෙස ගත යුතු ය.

1973 නොවැම්බර් 17දා ග්‍රීසියේ බහුතාක්ෂනික ආයතනයේ ශිෂ්‍ය විරෝධතාව ලේ වැකි මර්දනයකට ලක් කිරීමෙන් පසුව, එක්සත් ජනපදයේ සහාය ලත් කර්නල්වරුන්ගේ ජුන්ටාව බිඳ වැටී වසර 38කට පසු කම්කරුවන් මර්දනය කිරීමට මිලිටරි පාලනයක් හෝ ෆැසිස්ට් ආඥාදායකත්වයක් පිහිටුවීමට මූල්‍ය ප්‍රාග්ධනය සලකා බලමින් සිටී.

බැංකු හා යුරෝපිය ආයතනවල නියෝග මත ඔහු විසින් ගෙන යමින් සිටි කප්පාදු වැඩසටහනට එරෙහි වැඩවර්ජන මැඩීමට, බලයෙන් පහවුනු පැසොක් පක්ෂයේ අගමැති ජෝජියෝ පපන්ද්‍රියෝ හමුදාව බලමුලු ගන්වා තිබුනි. 2010 අගෝස්තුවේ දී හමුදාව, වෘත්තීය ප්‍රතිශෝධනයට එරෙහි ට්‍රක්රථ කම්කරුවන්ගේ වර්ජනය බිඳ දැමී ය. මෙම වසරේ ඔක්තෝබරයේ දී ආන්ඩුව, වැඩ වරා සිටි කම්කරුවන් හමුදා විනය යටතේ තැබූ අතර ඔවුන්ට ආපසු වැඩට යාමට බල කලේ ය.

2011 ‍ෙපබරවාරී 4දා‚ ඇතන්ස් නිව්ස් ඒජන්සිය, හමුදාවේ 71වැනි ගුවන්ගත සේනාංකය කප්පාදු විරෝධී උද්ඝෝෂකයින් සමග සමච්චල් කිරීමේ සටනක් පැවත් වූ බව වාර්තා කලේ ය. මෙම අභ්‍යාසයට “කලහකාරී පාර්ශව” පාලනය කිරීමේ ක්‍රමවේද මෙන් ම “ගැටුම් නිවාරනය” හා “සෙනඟ විසිරුවා හැරීම”ද ඇතුලත් ය.

සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී පරිපාටි මකා දමා විවෘතව ආඥාදායක පාලනයකට යනවාද යන්න මත පාලක පන්තිය තුල විවෘත සාකච්ඡාවක් පවතී. මැයි මාස‍යේ‚ සීඅයිඒ වාර්තාවක්, ග්‍රීසිය තුල කුමන්ත්‍රනයක ශඛ්‍යතාව ඇතැයි ප්‍රකාශ කලේ ය. සැප්තැම්බර‍යේ දී විශ්‍රාම ලත් හමුදා නිලධාරීහු කැරලි ගැසූහ‚ එයට පසු පූර්න කාලීන සොල්දාදුවන්ගේ වෘත්තීය සංවිධානයක් වන රාජ්‍ය හමුදාවන්ගේ සහ‍යෝගය හා සාමූහිකත්ව‍යේ සංගමය‚ හමුදාව ඔහු‍ගේ ප්‍රතිපත්ති ගැන “වැඩිකල උත්සුකයක් සහිතව” විපරමින් සිටින බව ලිපියකින් පපන්ද්‍රියෝට අනතුරු ඇඟ වී ය. ආරක්ෂක ඇමති පනෝස් බෙග්ලිටීස් “රාජ්‍යයක් තුල රාජ්‍යයක් ” ලෙස රඟපෑම ගැන නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ ය.

පපන්ද්‍රියෝගේ ඉල්ලා අස්වීම ආසන්නයේ‚ කුමන්ත්‍රනයක් නූ‍ලෙන් මග හැර ඇතැ යි යන පලල් සැකයන්ට මගපාදමින්, ඔහු හා බෙග්ලිටීස් හමුදා බලකායන්ගේ සම්පූර්න ‍‍අනදෙන මන්ඩලය සේවයෙන් පහ කලේය. මෙය පසුපස දැවැන්ත දින දෙකක වැඩවර්ජනයක් ද තවත් රැකියා අතුගා දැමීමක් සහ වැටුප්, විශ්‍රාම වැටුප් කප්පාදුවක් ඇතන්ස් ආන්ඩුව විසින් ක්‍රියාවට නැඟිය යුතු යයි යුරෝපීය සංගමයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව නියමයක් ද පැමිනියේ ය. නව කප්පාදු පියවර මත ජනමත විචාරනයක් සඳහා වූ පපන්ද්‍රියෝගේ යෝජනාවට එරෙහි මූල්‍ය වෙලඳපොලේ බිහිසුනු ප්‍රතිචාරය එසේ පෙරට ගියේ ය.

පහ කෙරුනු හමුදා ප්‍රධානිහු සියලු දෙනා මුලින් පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව විසින් පත් කරනු ලැබ තිබුනි. දැන් නැවත වතාවක් නව ප්‍රජාතන්ත්‍රවාදීන්, ආරක්ෂාව භාරව සිටින අතර නව ආරක්ෂක ඇමති ඩිමිට්‍රීස් අව්රමොපෝලස්, හමුදා නායකයින් පහකිරීම් ආපසු හරවන බවට සහතික වී ඇත.

ආන්ඩුවට එල්ඒඕඑස් පක්ෂය ඇතුලත් කිරීම විශේෂයෙන් ම අනතුරු හැඟවීමකි. මෙම පියවර බහුතරය ලබා ගැනීමට හා ආන්ඩුවක් පිහිටුවීමට දැඩි ලෙස අවශ්‍ය නොවී ය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රභූවේ හා ග්‍රීක ධනේශ්වරය තුල නව පාලනයේ සහකරුවෝ, දේශපාලන සංඥාවක් දීම සඳහා එල්ඒඕඑස් ආන්ඩුවට ඇතුල් කලහ.

පැසිස්ට්වාදී හැඟීම් වගා කෙරෙමින් පවතින අතර එය නැවත “ගෞරවාන්විත“ කෙරුනි, මන් ද‚ කම්කරු පන්තියට එරෙහිව සමාජයේ ඉතාමත් ප්‍රතිගාමී හා පාදඩ තට්ටු බලමුලු ගැන්වීමේ පදනම යුදෙව් භීතිකාව හා යුදෙව් විරෝධය නිසා ය.

යුරෝපීය ෆැසිස්ට්වාදයේ ගතානුගතික තේමාවන්ට නිර්ලජ්ජිතව ආයාචනය කරන 2000 දී ආරම්භ කෙරුනු එල්ඒඕඑස්, ග්‍රීක අන්ත දක්ෂිනාංශයේ කේන්ද්‍රීය ලක්ෂය විය. ආරම්භක සම්මේලනයේ දී එල්ඒඕඑස් නායක කරට්ෂාෆෙරිස් මෙසේ ප්‍රකාශ කලේ ය. “ඉදිරියට යාමට මෙම තුනෙන් එකෙක් විය යුතු යයි ඔවුහු කියති: යුදෙව්වෙක්‚ සමලිංගිකයෙක් හෝ කොමියුනිස්ට්කාරයෙක් වීම. අපි මුන්ගෙන් එකෙක්වත් නොවෙමු.” ඔහු “පෙදරේරුවන් නැති‚ සමලිංගිකයන් නැති‚ සියොන්වාදය මත යැපෙන්නන් නැති” පාර්ලිමේන්තුවක් ලබා ගැනීමට එල්ඒඕඑස් පක්ෂයට ඡන්දය දෙන ලෙස ඉල්ලී ය.

එල්ඒඕඑස් නැවත නැවතත් මිලිටරි ඒකාධිපතිත්වයට ආයාචනා කර ඇත. හමුදාවේ හා පල්ලියේ නිලධාරීන් ඇතුලත් කවුන්සිලයක් මගින් දේශපාලන තීන්දු ගත යුතු යයි එහි ආරම්භක ප්‍රකාශනය යෝජනා කර යි. එය සමාජ වැඩසටහන් කප්පාදුවේ උද්යෝගිමත් ආධාරකරුවෙකු වන අතර ඔක්තෝබරයේ දී යුරෝපීය සංගමය පොරොන්දු වූ ග්‍රීක නය අඩකින් කපා හැරීමට විරුද්ධ විය.

එල්ඒඕඑස් දෘෂ්ටිවාදීන්ගෙන් අයෙකු වනු‍යේ යුදේව් විරෝධී හා හො‍ලෝ‍කෝස්ටය ප්‍රතික්ෂේපකරන කොස්ටාස් ප්ලෙවෙරිස් වන අතර ඔහු, 2004 මැතිවරන‍යේ දී එහි ප්‍රධාන අ‍පේක්ෂකයා විය. ඔහු‍ගේ පුත්‍ අතනාසිඔස් 2007දී පාර්ලි‍මේන්තු මන්ත්‍රීවර‍යෙක් විය. 2006දී ‍ කොස්ටාස් ප්ලෙවෙරිස් යු‍දෙව්වෝ-සම්පූර්න සත්‍ය කතාව නම් ‍ පොත ප්‍රකාශයට පත් ක‍ලේ ය. මේ තුල ඔහු, ඇ‍ඩොල‍‍්ෆ් හිට්ලර්ට ප්‍රශංසා කල අතර යු‍දෙව්වන් තුරන් කර දැමීමට උද්‍ඝෝෂනය කලේ ය. ඔහු යු‍දෙව්වන් නිරූපනය ක‍ලේ, නාසීන් අපකීර්තියට පත් කල උප-මානවයින් ‍ලෙස ය. ඔහු තමා ම “නාසිවාදි‍යෙකු‚ ෆැසිස්ට්වාදි‍යෙකු‚ වර්ගවාදි‍යෙකු ‚ ප්‍රජාතන්ත්‍ර වි‍රෝධි‍යෙකු හා ‍යුදෙව් වි‍රෝධි‍යෙකු ” ලෙස විස්තර කරගත්තේය.

ආර්ථිකය පිලබඳ අමාත්‍යංශ‍යේ රාජ්‍ය ලේකම් අඩොනිස් ජිඕජිආඩිස්‚ පොතේ “තර්කවල පොහොසත්කම” අවධාරනය කරමින් එය රූපවාහිනියේ ‍ප්‍රවර්ධනය කලේ ය.

එවැනි බල‍වේග ප්‍රවර්ධනය‚ ඊජිප්තු‍ විප්ලවය සමග ඇර‍ඹෙමින්, යු‍රෝපයේ මහජන ‍පෙලපාලි හා වැඩවර්ජන හරහා එක්සත් ජනපද‍යේ වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය තෙක් පැති‍රුන, කම්කරු පන්තියේ ‍දේශපාලන පුනර්ජීවනයේ ආරම්භක අවධීන්ට, මූල්‍ය ප්‍රභූ‍වෙන් පලවූ ප්‍රතිචාරයි. විරුද්ධවාදීන් හිර කරන‚ වද‍ දෙන හා මරා දමන ඊජිප්තුවේ මිලිටරි ජුන්ටාව මෙන් ද‚ වාඩිලාගනු වි‍රෝධතාකරුවන්ට ‍පොලීසිය මෘග ලෙස පහර ‍දෙන එක්සත් ජනපදයේ ‍මෙන් ද යුරෝපයේ පාලක පන්තිය ද ප්‍රචන්ඩ මර්දනයක් හා පොලිස් රාජ්‍ය පාලනයක් සූදානම් කරමින් සිටී.

ග්‍රීක ජනතාව‍ගේ ‍ශෝචනීය අත්දැකීම් සලකන කල‚ මෙම තර්ජනයන්ට විශාල ‍දේශපාලන දෝංකාරයක් පවතී. 1967දී‚ සීඅයිඒ හා නැ‍ටෝව‚ යු‍රෝපය පුරා ධනපති පාලනයට එ‍රෙහි කම්කරු පන්තියේ ව්‍යාපාරයක් පූර්වභංඟ කිරී‍මේ උත්සාහයක් ‍ලෙස ජෝර්ජ් පපඩමොලෝස් මෙහෙයවූ මිලිටරි කුමන්ත්‍රනයට පිටුබලය දුන්හ. කර්නල්වරු කම්කරු පන්ති විරෝධයේ සියලු ප්‍රකාශනයන් මෘග ලෙස මර්දනය කලහ. ඔවුහු දසදහස් ගනන් මිනිසුන් අත්අඩංඟුවට ‍ගත් අතර ග්ය‍රෝස් හා ලෙරෝස් දූපත්වල වදකඳවුරු පිහිට වූහ.

මිලිටරි ජුන්ටා‍වේ අනුප්‍රාප්තිකයන් බලයට ‍ගෙන ඒම මගින් මූල්‍ය ප්‍රභූව, ග්‍රීසියේ පමනක් නොව යු‍රෝපය පුරා කම්කරු පන්තියට තර්ජනය කරමින් සිටී. “සමාන වි‍රෝධතා හා වැඩවර්ජන යුරෝප‍යේ ද ඇති වනු ඇත යි යුරෝපීය නායකයෝ බිය ‍වෙති ” යි ප්‍රධාන යු‍රෝපීය සංගම් උප‍දේශකයෙක් තුර්කි හුරියෙට් පුවත්පතට කීවේ ය.‍ මෙම බලා‍පෙ‍රොත්තුව හා එය වලක්වන්නේ කෙසේ ද යන්න, යුරෝපීය ආර්ථික හා සමාජ කමිටු‍වේ නොවැම්බර් 16දා රැස්වීමේ මාතෘකාව වී යයි ඔහු කීවේ ය. “මෙම ගැටලුව හු‍දෙක් ග්‍රීසියට පමනක් සීමා වුවක් ‍නො‍වේ”යයි ද ඔහු පැවසී ය.

ආඥාදායකත්වයේ තර්ජනය නැවත මතුවීම‚ ග්‍රීක මිලිටරි ජුන්ටාවේ, පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ ෆැසිස්ට් පාලනයන්ගේ වැටීම හා විශේෂයෙන් ම, 1991දී ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය දියකර හැරීමෙන් පසු‚ යුරෝපීය සංගමයේ ආයතන වොෂින්ටනය සමග සන්ධානයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයේ ජයග්‍රහනය ගැන වග බලා ගනු ඇත යන ප්‍රකාශයට සුනුවිසුනු වී යන ප්‍රහාරයක් එල්ල කර යි.

ඒ වෙනුවට ගෝලීය ධනවාදය අර්බුදය තුල ගිලී යමින් ද සෑම බටහිර රටකම දේශපාලන පද්ධතිය ඇදවැටීමේ තරජනයට ලක්වෙමින් ද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයාගේ දෑස් හමුවේ කුනුවෙමින් ද පවතී. ග්‍රීසිය තුල එල්ඒඕඑස් පක්ෂය ප්‍රවර්ධනය මගින් ප්‍රතිචාර දැක්වන ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ තීන්දුව, ජාත්‍යන්තර ධනේශ්වරයේ ප්‍රජාතන්ත්‍රවාදී මානසිකත්වයේ ඇදවැටීමට සාක්ෂ්‍ය දර යි.

මෙම තර්ජනයට එරෙහි සටන තුල දී ග්‍රීක කම්කරුවෝ, තම පාලක පන්තියට පමනක් නොව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහ ස්ටැලින්වාදී‚ පැබ්ලෝවාදී හා අනෙකුත් ව්‍යාජ වාම සංවිධානවල ඔවුන්ගේ අනුගාමිකයන්ගේ දේශපාලන පාවාදීම්වලට ද මුහුන දෙති. රාජ්‍යට හා පෙර නොවූ විරූ ලෙසින් නිරුවත් ආකාරයට, තමන් පාලක පන්තියේ ඒජන්තයින් ව ඇතැ යි හෙලිදරව් කරන වෘත්තිය සමිති නිලධාරිතන්‍ත්‍රයට ගැලවී ගත නොහැකි ලෙස ගැට ගැසුනු මෙම කන්ඩායම්, නව ආන්ඩුවට එරෙහිව කිසිදු බරපතල අරගලයක් අරඹා නැත.

මූල්‍ය ප්‍රභූවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහි සටන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වැඩි වැඩියෙන් එල්ල කෙරෙන ප්‍රහාරයට එ‍රෙහි අරගලය සමග එකට පැමිනේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන හා ඒවා රැක ගැනීමට හැකි එකම සමාජ පන්තිය කම්කරු පන්තිය පමනි. අවශ්‍ය වනුයේ යුරෝපය පුරා කම්කරු පන්තියේ එක්සත්කම හා සමාජවාදී වැඩසටහනක පදනම මත දේශපාලන බලය සඳහා වන එහි ස්වාධීන සටන තිරසාර ලෙස පෙරට ගෙනයාම යි.

ක්‍රිස්ටෝපර් ඩ්‍රීයර්

Share this article: