සමාජ අසමානතාවට එරෙහි ව සිය දහස් ගනන් ජනයා ජාත්‍යන්තර ව විරෝධය පාති

Hundreds of thousands protest internationally against social inequality

By Kate Randall , 17 October 2011

චිකාගෝහි වාඩිලාගත් උද්ඝෝෂකයින්

පසුගිය සෙනසුරාදා ලොව පුරා නගරවල සිය දහස් ගනන් ජනයා, ඇමරිකාවේත් ජාත්‍යන්තරවත් සමාජ ජීවිතයේ මුඛ්‍ය ලක්ෂනය වන යෝධ අසමානතාවට එරෙහි ව විරෝධතා පෙලපාලි පැවැත්වූහ. මසකට පෙර ආරම්භ කෙරුනු නිව්යෝක්හී වෝල් ස්ටී‍්‍රට් වාඩිලා ගැනීමේ විරෝධතා ආදර්ශයට ගනිමින් එක්සත් ජනපදයේ විරෝධතා පවත්වන ස්ථාන සංඛ්‍යාව වැඩුනු අතර ඒවා යුරෝපයේ, ඕස්ටේ‍්‍රලියාවේ, නවසීලන්තයේ හා ආසියාවේ නගර කරා ව්‍යාප්ත විය.

ජාත්‍යන්තර විරෝධතා දැක්වීමේ කැඳවුමට වඩාත් බලගතු ප‍්‍රතිචාරයක් ලැබුනේ යුරෝපයෙනි; විශේෂයෙන් ඉතා දරුනු පටි තද කර ගැනීමේ පියවරයන්ට මුහුන දී සිටින රටවලිනි. ස්පාඤ්ඤයේ මිලියන තුන් කාලකටත් වඩා ජනයා පෙලපාලිවලට සහභාගී වූ අතර පෘතුගාලයේ එම සංඛ්‍යාව 70,000 ඉක්ම වී ය. රෝමයේ 100,000 ට වඩා ජනතාව වීදිවලට බටහ.

එක්සත් ජනපදයේ නගර 100කට අධික සංඛ්‍යාවක විරෝධතා සහ වාඩි ලා ගැනීම් සිදු කෙරෙමින් පවතී. මූල්‍ය ප‍්‍රභූව හා බැංකු විසින් ගෙන යන සමාජ ආධිපත්‍යයට ද එමෙන් ම විරැකියාවේ හා ශිෂ්‍ය නය වර්ධනය වීමේ ද ඇමරිකානුන් අතිමහත් බහුතරයකගේ සමාජ කොන්දේසි ඛාදනය වීමේ ද තතුවලට එරෙහි ව සිය දහස් ගනන් ජනයා එලියට බැස තිබේ.

මෙම ව්‍යාපාරය කෙරෙහි ඔබාමා පරිපාලනය ද ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ යථා ආකල්පය, මෙම සති අන්තයේ එක්සත් ජනපදයේ හා අනෙකුත් තැන්වල වාඩි ලා ගැනීම් හා විරෝධතාවලට එරෙහි ව තීව‍්‍ර කෙරුනු පොලිස් මර්දනය මඟින් ප‍්‍රකාශයට පත් විය. විරෝධතාකරුවෝ දේශපාලන රැස්වීමේ හා කතා කිරීමේ මූලික අයිතීන් ක‍්‍රියාවට නැංවීමේ හේතුවෙන් නීති විරෝධී ව රැස්වීම, අනවසර ව ඇතුලුවීම හා ඇඳිරි නීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට මුහුන දී සිටිති.

පසුගිය සෙනසුරාදා ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සිට තමන්ගේ කූඩාරම් තනා තිබුනු ග‍්‍රාන්ට් පාක් දක්වා 2,000ක් පමන සහභාගී වූ පෙලපාලියෙන් පසුව චිකාගෝ වාඩි ලා ගත් විරෝධතාකරුවන් 175 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනින. ඉරිදා අලුයම 1 ට පමන පොලීසිය කඩා පැන විරෝධතාකරුවන් අත් අඩංගුවට ගත් අතර ඔවුන්ගේ කූඩාරම් කඩා බිඳ දැමූහ.

නිව්යෝක් නගරයේ විරෝධතා දිනයක දී සිටිබෑන්ක් ශාඛාවට ඇතුලු ව ඉන් පිට වීම ප‍්‍රතික්ෂේප කල දුසිමක් පමන දෙනා ඇතුලු සිය ගනනකට ආසන්න ජන සංඛ්‍යාවක් අත් අඩංගුවට ගන්නා ලදි. තවත් 14 දෙනකු මධ්‍යම රාත‍්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වොෂින්ටන් චතුරස‍්‍රය අසල දී අත්අඩංගුවට ගැනින.

මිනියපොලිස් හී දී, අනවසර ඇතුලුවීම සම්බන්ධයෙන් එක් ස්ත‍්‍රියක් අත්අඩංගුවට ගනු ලැබී ය. පොලීසිය ඔවුන්ගේ කූඩාරම් ගෙන ගිය පසුව, නගර ශාලාව අසල වහලක් යට 150ක පමන ජනයා කඳවුරු ගැසී සිටියහ. සංවිධායක ඒප්රිල් ලූක්ස්-ස්ටෙ‍්‍රයිච් කී දේ සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවය, උපුටා දැක්වී ය: ”සීතලයි. අපට කාලගුනික බලපෑම්වලින් කිසි ම ආරක්ෂාවක් තිබුනේ නැහැ.”

ඇරිසෝනාවල ෆෝනික්ස් හී, සෙනසුරාදා යම්තම් මධ්‍යම රාත‍්‍රියට පසුව, විරෝධතාකරුවන් 40 දෙනකු පමන අත්අඩංගුවට ගත් අතර පොලීසිය විසින් ඔවුන් මාගරට් ටී. හෑන්ස් පාක් සිට බලෙන් ඇද ගෙන යන ලදි. විරෝධතාකරුවන් බැටන් ප‍්‍රහාරක පොලීසියේ රලු ක‍්‍රියාවන්ට ලක් වූ බව සාක්ෂිකරුවෝ වාර්තා කලහ.

කොලරාඩෝවල ඩෙන්වෝර්හී දී, සිකුරාදා පාන්දර කැරලි මර්දන ආම්පන්න හා බැටන් පොලු රැගත් දුසිම් ගනන් පොලිස් රංචුවක් විසින් රාජ්‍ය මන්ත‍්‍රන සභා ගොඩනැඟිල්ල අසල ප‍්‍රජා කේන්ද්‍රස්ථානයේ කඳවුරු ගසා සිටි විරෝධතාකරුවන් එලියට ඇද දමන ලදි. ඩෙන්වර් පෝස්ට් පුවත්පත අත්අඩංගුවට ගැනීම් 24ක් වාර්තා කලේ ය. දුසිම් ගනනක් කූඩාරම් බලධාරියෝ කඩා දැමූහ.

උතුරු කැරොලිනාවේ රැලේහී 19 දෙනකු අත්අඩංගුවට ගත් අතර රාජ්‍ය මන්න‍්‍රන සභා පිට්ටනියේ උද්ඝෝෂනය කිරීමට දුන් අවසරය කල් ඉකුත් වූ පසු අනවසර ඇතුලු වීම යටතේ සිතාසි නිකුත් කෙරින.

පසුගිය සති අන්තය පුරා විරෝධතාකරුවන්ට එරෙහි ව වඩාත් ආක‍්‍රමනශීලී වීමට පටන් ගත් දේශපාලන සංස්ථාපිතය සහ විවිධ ප‍්‍රාදේශීය අධිකාරීත්වයන් විරෝධතා ව්‍යාපාරය දේශපාලනික ව විසුරුවා හැරීමටත් එහි ගෙල සිර කිරීමටත් ක‍්‍රමවේද සෙවීමට ද ප‍්‍රයත්න දරමින් පසු වේ. විශේෂයෙන්, විරෝධතාවන්ට ආධාර කරන බව කියන ඩෙමොක‍්‍රටික් පක්ෂ දේශපාලනඥයෝ වැඩියක් ම තරුන උද්ඝෝෂකයන්ගේ ගැඹුරට මුල් බැස ඇති කෝපය ජනාධිපති බැරක් ඔබාමාගේ සහ ඩෙමොක‍්‍රටික්වරුන්ගේ නැවත ඡන්දයෙන් තේරී පත් වීම සඳහා සහයෝගය ලබා ගැනීම කරා මෙහෙයවා ගැනීමට ප‍්‍රයත්න දරමින් සිටිති. මෙම ප‍්‍රයත්නයේ දී ඩෙමොක‍්‍රටික් පක්ෂයේත් සංගත විසින් පරිපාලිත ද්වි-පක්ෂ ක‍්‍රමයේත් ඒජන්තයන් ලෙස ක‍්‍රියාත්මක වන වෘත්තීය සමිති ද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සහ නේෂන් සඟරාව බඳු විවිධ මධ්‍යම පන්තික ව්‍යාජ වාම සහ ලිබරල් සංවිධාන ද ඔවුනට සහායක වෙමින් සිටියි.

ඉරිදා වොෂින්ටන් හී නැෂනල් මෝල් භූමියේ මාටින් ලූතර් කිං නව ස්මාරකය විවෘත කිරීමේ රැස්වීමේ දී ඔබාමා කතා කරමින් වෝල් ස්ටී‍්‍රට් බැංකුකරුවන් වෙත වහෙංඔරෝ ක‍්‍රමයට ආරක්ෂාවක් සම්පාදනය කලේ ය. "ආචාර්ය කිංට ඕනෑ කලේ වෝල් ස්ටී‍්‍රට්හි වැඩ කරන්නන් යක්ෂයන් ලෙස හංවඩු නො ගසා වෝල් ස්ටී‍්‍රට්හි අතිරික්තයට අප අභියෝග කරනු දකින්නට යි.” යනුවෙන් ඔබාමා ප‍්‍රකාශ කලේ ය.

මැසචුසෙට්ස් ආන්ඩුකාර ඩෙමොක‍්‍රැට් පාක්ෂික ඩෙවල් පැට්රික් සෙනසුරාදා හවස බොස්ටන් නගරයේ වාඩි ලා ගත් කඳවුරුවල පෙනී සිටියේ ය. ඩොලර් මිලියන් ගනනක අයවැය කප්පාදුවල නියමුවා වූ පැට්රික් තමා පැමිනියේ ඩුවී චතුරස‍්‍ර විරෝධතාහි කුමක් සිදු වන්නේ ද යන්න පිලිිබඳ ව "වඩා හොඳ අවබෝධයක්” අත්පත් කර ගනු පිනිස යැයි කී ය. විරෝධතා සංවිධායකයන්ගේ යටහත් පහත් කන්ඩායමක් විසින් ඔහු කඳවුරු භූමියේ සංචාරය කරවන ලදි.

අනෙක් විරෝධතාකරුවන් ආන්ඩුකාර තැන එසේ පිලිගත්තේ නැත. "ඔහු ගැටලුවේ ම කොටසක්” යැයි බොස්ටන් ගුරුවරයෙක් කෑ ගැසී ය. "ඔහු සියයට එකෙන් එකෙක්” යි තවත් කෙනෙක් කී ය. පැට්රික් සමඟ කතාබහ කරමින් සිටි සංවිධායකයෝ ඔවුනට කට වසා ගන්නා ලෙස කීහ. ලෝක සමාජවාදී වෙබ් අඩවියට එක් විරෝධතාකරුවෙක් මෙසේ කීවේ ය: "මෙම විරෝධතාව ඔහුගේ වාසියට යොදා ගැනීමට ඔහු ප‍්‍රයත්න දැරීම පිලිකුල් සහගත මෙන් ම සදාචාරාත්මක ව දූෂිත ය. ඔහුට ඩොලර් මිලියන 4ක නිවසක් තියෙනවා.”

ලොව පුරා විරෝධතා තුල දෝංකාර නැංවූ වෝල් ස්ටී‍්‍රටයට එරෙහි ව්‍යාපාරය, පන්ති අරගලය මර්දනය කර තිබුනු එක්සත් ජනපදයේ දිගු කාල පරිච්ඡේදයක අවසානය සලකුනු කරයි. විරෝධතා, සිය ප‍්‍රමුඛ ඉල්ලීම සමාජ අසමානතාව හා බැංකුවල ආධිපත්‍යය අවසන් කිරීම ලෙස නම නියම කෙරුනු ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් බවට පත්ව ඇත. එය ජාත්‍යන්තර පරිමාන ව කම්කරුවන් හා තරුන ජනයා අතර වැඩෙන ධනේශ්වර විරෝධී මනෝගතියක් ප‍්‍රකාශයට පත් කරයි.

සිල්වියා බර්ලුස්කෝනිගේ වෛරයට පාත‍්‍ර වූ ආන්්ඩුවට එරෙහි ව 100,000 කට වඩා පෙලපාලි ගිය රෝමයේ දී, විරෝධතාකරුවෝ පොලිස් භීෂනයට මුහුන දුන්හ. කොලෝසියම් හා සෙන්ට් ජෝන් බැසිලිකාව අසල පදිංචිකරුවන්ටත් සාමකාමී පෙලපාලිකරුවන්ටත් හෝටල්වල සහ පල්ලිවල සරන සොයා යන්නට සලස්වමින් පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කලහ.

ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගරයේ සිය දහස් ගනන් ජනයා- සමහර තක්සේරු කිරීම් අනුව මිලියන බාගයකටත් වඩා ජනයා- ප්ලාසා ඩි සිබෙල්ස්වල සිට පෙලපාලියෙන් පැමින ස්පාඤ්ඤයේ මධ්‍යම බැංකුව වන බැංකෝ ඩි ස්පාඤා ඉදිරිපිට උද්ඝෝෂනය කොට පුඑර්ටා ඩෙල් සෝල්හි ඒකරාශි වූහ. බැනර්වල මෙසේ තිබින: "අර්බුදයට වන්දි ගෙවීමට එයට හේතුභූත වූ වැරදිකරුවන්ට ඉඩ හරිනු” සහ "යුරෝපය වෙලෙඳුන්ගේ නො ව මහජනතාවගේ ය.”

බාර්සිලෝනාහී 250,000 ක ජනයා ප්ලාසා කැටලන්යාවට එකතු වූහ. එම ස්ථානයේ ම තනා ගත් පුවරු විශාල සංඛ්‍යාව අතරේ ජාතික කොඩි හෝ වෘත්තීය සමිති බැනර් දක්නට නො තිබින. සෙවිලේහී 50,000ක ද වැලෙන්ෂියාහී 35,000ක ද කන්ඩායම් ඇතුලූ ව ස්පාඤ්ඤයේ අතිරේක නගර 80ක උද්ඝෝෂන පැවැත්වින.

පෘතුගාලයේ 50,000ක ජනයා ලිස්බන්හි පාර්ලිමේන්තුවට පෙලපාලියෙන් ගොස් පොලිස් මුර වලලු බිඳිමින් එහි මාබල් ඇතිරූ පඩි පෙලෙහි වාඩි ලා ගත්හ. ඊට දින කීපයකට පෙර, පෘතුගාලයේ දක්ෂිනාංශික සභාග ආන්ඩුව මෘග පටි තදකර ගැනීමේ අයවැය පියවරයන් ප‍්‍රකාශයට පත් කලේ ය.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට ප‍්‍රතිචාර දක්වමින් උද්ඝෝෂකයෝ මෙසේ කෑ ගැසූහ: "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) දැන් මෙහෙන් පිට වෙනු!” සහ "මේ නය අපේ නො වේ!”. තරුන උද්ඝෝෂකයන් කන්ඩායමක් "ආක‍්‍රමනය, ආක‍්‍රමනය!” යි කෑ ගසමින් පාර්ලිමේන්තුවට කඩා වැදුනාහ. ඊට අමතර ව, පෘතුගාලයේ දෙවන නගරය වූ ඔපෝටෝ හී අඩු වශයෙන් 20,000ක් රැලි වුනහ. එන සතියේ සමස්ත වැඩවර්ජනයක් කැඳවුම් කිරීමට ඉඩ ඇත.

ඇතන්ස්වල සින්ටැග්මා චතුරස‍්‍රයේ පාර්ලිමේන්තුව ඉදිරි පිට 7,000ටත් 10,000ටත් අතරේ සංඛ්‍යාවක් ඒකරාශි වුනහ. විරෝධතාව කේන්ද්‍ර ව තිබුනේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් ආන්ඩුවේ කප්පාදු පියවරයන් කෙරෙහි ය. මෙම විරෝධතාව බොහෝ දෙනකු දැක ගත්තේ බදාදා හා බ‍්‍රහස්පතින්දාට සැලසුම් කර ඇති සමස්ත වැඩ වර්ජනයේ අනුබද්ධ ක‍්‍රියාවක් ලෙස ය.

අන් තැන්වල, උද්ඝෝෂන 1,000ත් 5,000ත් අතර පරාසයේ පැවති වඩා කුඩා ඒවා ය. ඒවා මත දේශපාලන ආධිපත්‍යය දරා තිබුනේ විවිධ සුලු ධනේශ්වර ව්‍යාජ වාම කන්ඩායම් සහ අරාජකවාදීන් ය. නමුත් ඒවාට මහාද්වීපය හරහා පැනවෙන කප්පාදු පියවරයන්ට එරෙහි ව ක‍්‍රියා කිරීමේ මාවතක් සොයන ප‍්‍රධාන වශයෙන් තරුන ජනයින්ගේ ස්තරයක් ආකර්ෂනය වී සිටියේ ය.

ලන්ඩන්හි වාඩිලාගත් උද්ඝෝෂකයින්

ලන්ඩන්වල සෙන්ට් පෝල් ආසන දෙව්මැඳුරේ පිටත 4,000ක් පමන විරෝධතාකරුවන් එක්රැස් ව සිටි අතර ඔවුන් පැටනෝස්ටර් චතුරස‍්‍රය අසල ලන්ඩන් කොටස් හුවමාරු මධ්‍යස්ථානය කිට්ටුවට වත් යෑම පොලිස් ක‍්‍රියාන්විතයන් විසින් වලකනු ලැබ තිබින. තව ද එඩින්බර්ග්හී සුලු උද්ඝෝෂනයක් පැවැත්වින.

ජර්මනියේ බර්ලින් නගරයේ කීප දහසකගේ උද්ඝෝෂනයක් පැවති අතර 5,000කගේ වඩා විශාල විරෝධතාවක් මූල්‍ය අග නගරය වන ෆ්රැන්ක්ෆර්ට්හී යුරෝපීය මධ්‍යම බැංකු මූලස්ථානය ඉදිරි පිට පැවැත්වුනි.

ක්‍රොයේෂියාවේ අග නගරය වූ සැග්රෙබ්හී 5,000කට අධික ජනතාවක් විරෝධතා පෑ අතර රිජෙකා, පූලා හා ස්ප්ලිට් හී උද්ඝෝෂන තිබින. මෑතක දී ආන්ඩුව කඩා වැටුනු ස්ලෝවේනියාවේ ලූබියානා කෝපර් හා මැරිබෝර් හී උද්ඝෝෂන හට ගති. කීප සිය ගනනක් හවුල් වූ වඩා කුඩා විරෝධතා බොස්නියා හා හර්සගොවීනාහී සරයේවෝ හා බන්ජා ලූකාවලත් බෙල්ගේ‍්‍රඩයේ, සර්බියාවේ හා මොන්ටිනීග්‍රෝවල පොඞ්ගොරිකාහී පැවැත්වින.

ආසියාවේ විරෝධතා තරමක් කුඩා විය. ටෝකියෝ වාඩි ලා ගැන්ම විරෝධතාකරුවන් 300ක් ආකර්ෂනය කර ගත්තේ ය. ප‍්‍රධාන විරෝධතාව පැවැත්වුනේ කාන්දුවට ලක්වූ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ අයිතිකරු වන, ටෝකියෝ විදුලි බල කොම්පැනිය (ටීඊපීසී ඕ) ඉදිරි පිට ය.

පොලීසියේ ප‍්‍රචන්ඩ හා විවෘත තර්ජන මෙන් ම වැසි සහිත හා සීත කාලගුනය නොතකා 600ක් පමන වන සියෝල් වාඩි ලා ගැනීමේ විරෝධතාකරුවෝ සියෝල් දුම්රියපොලේ සිට ජනප‍්‍රිය සාප්පු සහිත දිස්ත‍්‍රික්කය කරා පෙලපාලි ගියහ. විරෝධතාකරුවෝ මෙසේ කෑ ගසනු ඇසුනි: "ගැටලුව නරක ධනවාදය නො වේ- ගැටලුව ධනවාදය ම යි.”

ලෝසවෙඅ වාර්තාකරුවකු සියෝල් විරෝධතාවේ දී මෙසේ සටහන් කර ගති: "සූදානමක් හැටියට, පොලිස් නිලධාරීන් දුසිම් ගනනක් කැරලි මර්දන කුලූවලින් සන්නද්ධව සිටි අතර ජල ප‍්‍රහාරක පොලිස් ට‍්‍රක් රථයක් සූදානමේ තිබින. නියම කරන ලද ප‍්‍රදේශයෙන් පිටතට යාමට විරෝධතාකරුවන්ට ඉඩ නො දෙන ලදි. එම ප‍්‍රදේශය විශාල මාර්ග බාධක යොදා වට කර තිබූ අතර කුලු පොලු සූදානම් කර ගත් පොලිස් නිලධර කන්ඩායම් වටේට යොදවා තිබුනි. එහි අරමුන වූයේ විරෝධතාකරුවන් ද එතැනින් යන එන්නන් ද බිය වැද්ද වීම ය.”

තායිපේයි නගරයේ ප‍්‍රධාන වශයෙන් ම ශිෂ්‍යයන්ගෙන් සැදුනු උද්ඝෝෂකයෝ 300ක් පමන නගරයේ උස ම ගොඩනැගිල්ල වූ තායිපේයි 101 ගොඩනැගිල්ල වට කිරීමට ප‍්‍රයත්න දැරූ අතර තායිවානයේ ධනය අසමාන ලෙස බෙදා හැරීමටත් තරුන ජනයාගේ අනාගත සුරක්ෂිතතාව නැතිවීමටත් එරෙහි ව විරෝධතා පල කලහ. හොංකොං නගරයේ බැංකු හා මූල්‍ය දිස්ත‍්‍රික්කයේ හදවත වන ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රස්ථානය අසල හුවමාරු චතුරස‍්‍රයේ 200ක් පමන ජනයා රැලි වූහ.

මෙම උද්ඝෝෂන බහුතරයකදී සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාශි), එක්සත් ජනපද හා ජාත්‍යන්තර විරෝධතාවන් ඇමතූ ප‍්‍රකාශන බෙදා හරිමින් මැදිහත් විය.

සසප හා සසජාශි ආධාරකරුවෝ රැකියාවකට ඇති අයිතිය, ඉහල ගුනාත්මක භාවයකින් යුත් පොදු අධ්‍යාපනයක් හා සෞඛ්‍ය පහසුකම් ඇතුලු කම්කරුවන්ගේ සමාජ අයිතීන් සුරක්ෂිත කර ගැනීමේ එක ම පියවර ලෙස ධනවාදයට එරෙහි ව අරගලය සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීමේ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලහ. දහස් ගනනින් බෙදා හල ප‍්‍රකාශනයන්හි අවධාරනය කෙරුනේ මූල්‍ය ප‍්‍රභූවේ ආධිපත්‍යයට එරෙහි වත් සමානතාව උදෙසාත් වූ අරගලය ජාත්‍යන්තර අරගලයක් බවත් එහෙයින් සමාජවාදය උදෙසා අරගලය වෙනුවෙන් සියලු රටවල වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධතාව සඳහා කැඳවුම් කරන බවත් ය.

අද සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක්සත් ජනපදයේ, යුරෝපයේ, කැනඩාවේ, ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සතිඅන්ත විරෝධතාවන්හී එම සිද්ධි වූ ස්ථානවල සිට කෙරෙන වාර්තා ආවරනය කිරීම අරඹයි. අපි එලඹෙන දිනවල දී අතිරේක වාර්තා පල කරන්නෙමු.

Share this article: