ආන්ඩු පක්ෂයට ඡන්දය නොදුන්නොත් නගර සභාව විසුරුවා හැරෙන බවට තර්ජනයක්

By Vilani Peiris, 19 September 2011

එලඹෙන පලාත් පාලන මැතිවරනයේ දී කොලඹ මහ නගර සභාවේ බලය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොලැබුනහොත් එය විසිරුවා හැරීමට පියවර ගැනෙන බවට තර්ජනාත්මක ඇඟවුමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කර ඇත.

සැප්තැම්බර් 10 දා ජනාධිපති නිල නිවස වන අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමක දී රාජපක්ෂ මෙසේ ප‍්‍රකාශ කලේ ය: "ආන්ඩුවක් තියන කොට ඒ ආන්ඩුවත් සමග (මහ නගර සභාව) වැඩ කරන්න ඕන. ඒක සාමාන්‍ය රීතිය.” "දෙපැත්තට ඇද්දොත්” ආන්ඩුව නාගරික සංවර්ධන අධිකාරී පනත අනුව වැඩ කරනු ඇතැයි කියා සිටි ඔහු පලාත් සභාව විසින් මහ නගර සභාව විසුරුවා හැර විශේෂ කොමසාරිස් කෙනෙකු ඒ වෙනුවට පත් කල හැකි බවට ද අනතුරු ඇඟවූයේ ය.

මෙම රැස්වීම සඳහා කොලඹ නගර සභාවට තරග කරන ආන්ඩු පක්ෂ අපේක්ෂකයන් මුස්ලිම් ජනයා ගෙන්වා තිබූ බව වාර්තා කෙරුනි. රාජපක්ෂ කොලඹ නගරයේ ජීවත් වන ජන කොටස් අරලියගහ මන්දිරයට ගෙන්වා පවත්වන රැස්වීම් මාලාවකින් එකකි මේ. මැතිවරන සමයට මෙසේ විවිධ ජන කන්ඩායම් කැඳවා සප්පායම් කර චාටු ප‍්‍රකාශ කිරීම රාජපක්ෂගේ දේශපාලන මැදිහත්වීම්වල එක කොටසකි.

රාජපක්ෂ ආන්ඩුවේ බස්නාහිර ප‍‍ලාත් සභාවේ ප‍්‍රධාන ඇමති වූ ප‍්‍රසන්න රනතුංග 2010 ජූනි මාසයේ දී එක්සත් ජාතික පක්ෂයට (එජාප) හිතවත් කන්ඩායමක් බලයේ සිටි කොලඹ මහ නගර සභාව පාලන කාලය අවසන් වීමට මාස 8කට පලමුව විසුරුවා හැරියේ ය. ජනාධිපති වරයා මහජන ඡන්දයෙන් බලයට පත් වූ කන්ඩායම ඉවත් කර විශේෂ කොමසාරිස් වරයෙකු යටතට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කොලඹ මහ නගර සභාවේ බලය පවරනු ලැබීය.

රාජපක්ෂ මෙම ප‍්‍රකාශ කලේ, අනෙක් අතට, කොලඹ නගරයේ ජනතාව තම උපන් ගමෙන් කොහේටවත් ගෙනියන්නේ නැතැයි ද "කිසිදු වෙලාවක අප කොලඹ නගරයේ සිටින ජනතාව ඉවත් කර නෑ” යි ද බේගලක් දෙසාබාමිනි. කොලඹ ලස්සන කරන බවටත් නිවැසියන් "ඉන්න තැන්වල ඉන්නවාට වඩා හොඳ නිවාසයක පදිංචි කරන බවටත්" ඔහු පොරොන්දු වූයේ ය.

කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා එහි වෙසෙන පවුල් 75,000ක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ගිය අවුරුද්දේ මැයි මාසයේ පටන් නිවේදනය කලේ ආන්ඩුවයි. ඔවුන් අවිස්සාවේල්ල, හෝමාගම හා තවත් කොලඹින් පිට ප‍්‍රදේශවල තනන නිවාසවල පදිංචි කරන බව පැවසුවේ ද ආන්ඩුව යි.

දැන්, මහ නගර සභා ඡන්දය පැවැත්වෙන තතු තුල ව්‍යාජ ප‍්‍රකාශ හා හිස් පොරොන්දු මගින් පැල්පත්වාසී දුගීන් මුලා කිරීමට ආන්ඩුව තැත් කරන්නේ මේ සැලසුමට එරෙහිව බරපතල විරුද්ධත්වයක් මතුවී ඇති තත්වය නිසා ය. කොලඹ නගරාධිපති අපේක්ෂක ලෙස පාලක පක්ෂය මිලින්ද මොරගොඩ ඉදිරිපත් කර වැඩ කරන ජනයාගේ විරුද්ධත්වය යටපත් කර ගැනීමට වෙහෙස දරමින් සිටී.

කොම්පඤ්ඤවීදීයේ හා දෙමටගොඩ නිවාස බුල්ඩෝසර් කර පොලවට සමතලා කරනු ලැබුනේ හමුදා පොලීසි ආයුධ සන්නද්ධව මෙහෙයවා ගැනීමෙන් ය. මෙම පිරිසෙන් බොහෝමයක් තවමත් ජීවත් වන්නේ තොටලඟ ලෑලි නිවාස වලය. "වඩා ලස්සන” කෙසේ වෙතත් ආන්ඩුව සැපයූ මේ ගෙවල් - තොටලඟ වගුරු බිමක සාදා ඇති අතර - නිවාස 18කට ඇත්තේ වැසිකිලි 4කි. ඒවාද පාවිච්චියට නුසුදුසු තත්වයක පවතී. කොම්පඤ්ඤවීදියේ ඔප්පු තිබුන ගෙවල් 16ක් පොලවට සමතලා කෙරුන අතර ඔවුන්ට රු. 100,000ක මුදලක් දුන්නේ වසරක කුලිය වසයෙන් ය. 2010 මැයි මාසයේ සිට මේ වන තෙක් ම ඔවුන්ට ස්ථිර නිවසක් ලැබී නැත.

"කොලඹ නගර සංවර්ධනය” උදෙසා යයි පවසමින් යටිතල පහසුකම් වැඩිදියුනු කෙරෙන්නේ විදේශීය ආයෝජකයන් උදෙසා ය. මෑතක දී නියෝජ්‍ය ආර්ථික සංවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරනු ලැබුයේ යුද හමුදාවට ද කොලඹ ගාලුමුවදොර පිහිටි අක්කර 10ක භූමිය හොංකොං පදනම් කොට ගත් ෂැන්ගි‍්‍රලා සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 125කට විකුනා ඇති අතර තවත් අක්කර 5ක ප‍්‍රමානයක් අවුරුදු 99කට චීන ගුවන් යානා තාක්ෂන අපනයන ආනයන සමාගමට (සීඒටීඅයිසී) බදු දීමට තීන්දු කර ඇති බවය. තව දුරටත් ඇමතිවරයා පැවසුවේ ෂැන්ග‍්‍රිලා සමාගම කාමර 500ක් යුත් තරු 5හේ හෝටල් හා සාප්පු සංකීර්නයක් මෙම භූමියේ ගොඩ නගන බවය.

දැනට ඉවත් කල නිවාසයන්ට අමතරව තවත් කොම්පඤ්ඤවීදියේ, දෙමටගොඩ, නාරාහේන්පිට, බොරැල්ල, ඇපල්වත්ත රෙඩ්බානා හා බ්ලූමැන්ඩල් හි ද නිවැසියන් දහස් ගනනකට ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය දන්වා ඇත.

අගෝස්තු 30 දින බ්ලූමැන්ඩල්හි දුම්රිය මාර්ගයට ආසන්නව ඇති නිවාස 30ක් "අනවසර පදිංචිකරුවන්” ඉදිකර ඇති නිසා ඕනෑම අවස්ථාවක ඉවත් කල හැකිය යන නියෝගයක් උසාවිය මගින් නිකුත් කෙරිනි. එම ප‍්‍රදේශයේ තරුන දෙදරු පියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ඒ සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශ කලේ ය.

"උසාවි නියෝගය දීමත් සමග ම අපි මේ වත්තෙ පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කලා. එවිට පැමිනි නිස්සංක විජේවර්ධන නමැති තෙල් සංස්ථාවේ මහත්තයෙක් පැවසුවා සහනයක් නොදී නිවාස නොකඩන බව. අපිට විශ්වාසයක් නැහැ. සොච්චම් මුදලක් ලැබුනත් ඇති පලය මොකක්ද? මම හිතන්නේ අපේ උද්ඝෝෂනය නතර කිරීම සඳහා එසේ පැවසූ බවයි.”

නම පල කිරීමට අකැමති තෙල් සංස්ථාවේ නිලධාරියෙක් දුරකතනයෙන් ලොසවෙඅට කියා සිටියේ "පොඩි මුදලක් ලබා දී නිවාස ඉවත් කරනවා ද කියා තෙල් සංස්ථාව තුල සාකච්ඡාවක් යනවා. කෙසේ වුවත් මෙම නිවාස ඉවත් කිරීම සිදු වෙනවා. තවම දිනයක් තීන්දු කර නැහැ” යනුවෙනි.

බ්ලූමෙන්ඩල් හි තවත් ගෙවල් 300ක් පමන ඉවත් කිරීමට දැනුම් දී ඇත. ඉතා කුඩා මේ පේලි නිවාස ලී, ටකරන් යනාදිය මගින් තාවකාලිකව ගොඩනගා ගෙන ඇත. නිවැසියන් පරම්පරා ගනනක් මෙම ප‍්‍රදේශ තුල ජීවත්ව ඇති අතර බොහෝ දෙනෙකුගේ රැකියාව වන්නේ කුලී වැඩය. අතරින්පතර වෙනත් කම්කරුවන් ද ඇත. ඇතැම් ගෘහනීන් ලොකු නිවාසවල ගේ දොර වැඩ කටයුතු සඳහා යන අතර ඇතැම් අය කඩයප්පම් සාදා වෙලඳාම් කර පන නල ගැටගසා ගනිති.

ලෝසවෙඅ සමග සාකච්ඡාවකට සම්බන්ධ වූ තිදරු මවක් මෙසේ පැවසුවාය. "ජනාධිපති ඊයෙත් කියා තිබුනා ගෙවල් ලබා දී මිසක් ඉවත් නොකරන බව. මැතිවරනයට දෙන පොරොන්දු මැතිවරනය ඉවර වුනාම වියැකී යනවා. ගෙවල් හදන්නෙ කොහේ ද? ගෙවල් කඩනදාට හමුදාව ආයුධ කඳුලුගෑස් අරන් ඒවි.”

විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකු වන සුජීව වීරසිංහ තමන්ට නඩු තීන්දුවට එරෙහිව ඉහල උසාවියේ නඩු දැමීමට යෝජනා කලත් ඊට තමන් අකැමති වූ බව ඇය කීවාය. අපි මේ ගෙවල්වල පදිංචිවෙලා අවුරුදු 30-40ක් පමන. මේ ප‍්‍රදේශයේ ජනයාට ජල, විදුලි බිල්පත් ගෙවීමේ වාර්තාවක් ඇති බව ඇය කීවා ය.

"අපිව ගෙනියන්නෙ තොටලඟ වගේ අපායකට නම් අපි යන්නෙ නෑ. ආන්ඩුව අපිට සුදුසු නිවසක් ලබල දුන්නොත් විතරයි අපි යන්නෙ,” ඇය අවධාරනයෙන් කීවා ය.

"මේ ආන්ඩුව විතරක් නෙමෙයි එජාප ආන්ඩුවත් අපිට කලේ බොරු. මේ සමහර නිවාසවලට පේ‍්‍රමදාස ආන්ඩුව කාඩ්පතක් දුන්නා ඔප්පු වෙනුවට කියලා. එයට කිසිම වලංගුතාවයක් නැහැ.”

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) වැඩ පිලිවෙල ගැන සඳහන් කල ඇය මෙසේ ද පැවසුවා ය: "මේ පක්ෂය විතරයි ඇත්ත කිව්වෙ. නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම ආන්ඩුවෙන් හෝ එජාපයෙන් කරගත නොහැකියි. නිවාස ආරක්ෂා කර ගන්න කම්කරු පන්තියේ සහයෝගය අවශ්‍යයි.”

රෙඩ්බානා වත්තේ ග‍්‍රාම සංවර්ධන සමිතියේ උප ලේකම් ඒ. පද්මරාජ් ලෝසවෙඅට කතා කරමින්: "අපි ගියා නාගරික සංවර්ධන අධිකාරියට. නිවාස ඉවත් කිරීම ස්ථිර බව එහි නිලධාරින් ප‍්‍රකාශ කලත් අලුතින් ගෙයක් දෙන බවට පොරොන්දු වූනේ නැහැ.” නිවාස කැඩීමට එරෙහි සමිතියේ වැඩ පිලිවෙල ගැන ඇසූ විට ඔහු සඳහන් කලේ එය ආන්ඩුවේ ප‍්‍රතිපත්තියක් නිසා උද්ඝෝෂනය හැර වෙනත් කල හැකි යමක් නැති බවයි.

රෙඩ්බානා වත්තේ මවක්: "මේ වත්තෙ ගෙවල් 300ක් පමන නාගරික සංවර්ධන මන්ඩලයෙන් මැනගෙන ගියා. අවිස්සාවේල්ලට යන්න කැමති ද ඇහුවා. කොලඹ තුල ගෙවල් දෙනවා නම් අවිස්සාවේල්ලට යන්න කැමති ද අහන්නෙ ඇයි? අපි බැහැ කිව්වා. මගේ ලමයෙක් වැඩ කලේ මාලු මාර්කට් එකේ. මාලු මාර්කට් එක පෑලියගොඩට ගෙනිච්ච. දැන් පාන්දර 3.00ට නැගිටලා යන්න ඕන. බස් වියදම් දරන්න ඕන. මේවා හෙන ගහන අපරාධ. මගේ ස්වාමිපුරුෂයා නැහැ. මම ජීවත්වන්නෙ කොලඹ බංගලාවක වැඩ කරල. කොලඹින් පිට ගියොත් මම රැකියාව කරගන්නෙ කොහොම ද?”

බ්ලූමැන්ඩල් 28 වත්තේ තරුන මවක් තම අත්දැකීම් මෙසේ පැහැදිලි කලාය: ”ගෙයක් දෙනවා කීවාට කොහේද ගෙවල් හදලා තියෙන්නෙ. මම ගියා නිවාස සංවර්ධන අධිකාරියට. එතන නිලධාරියෙක් කිව්වා රජය කොලඹ නගරය සංවර්ධනය කරනවා. නිවාස ඉවත් කිරීම අනිවාර්යයි කියලා. මම ඇහුවා මම ලක්ෂ 25ක් වියදම් කර ගේ හැදුවෙ: මොකද මගේ මුදල් වලට වෙන්නෙ කියල. ඔහු ඊට උත්තර නොදී මට පැවසුවා රුපියල් ලක්ෂ 25ක් තිබුනොත් ගෙයක් මිල දී ගන්න පුලුවන් කියලා. මේක තමයි ආන්ඩුවෙ පිලිවෙත. දුප්පත් අයට නිවාස අයිතිය නැහැ.”

ඇය තව දුරටත් මෙසේ පැවසීය: "අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නැහැ. සෙන්ට් ඇන්තනීස් බාලිකා විදුහලේ මගේ දියනිය ඉගෙන ගන්නෙ. පාසැලේ ගුරුවරු නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගුරුවරු ලබා දිය නොහැකි බව පැවසුවා. එක් ගුරුවරයෙක් මට කිව්වා අම්මා දන්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ඉන්නවා නම් ගුරුවරු පාසලට ලබලා දෙන්න කියල. අපි එක ලමයෙක්ගෙන් රුපියල් 150 ගනනෙ එකතු කර ස්වේච්ඡා ගුරුවරු ලවා උගන්වනවා. එහෙමත් නැත්නම් අපි මව්වරු උගන්නනවා. මේක තමයි රටේ තත්වෙ.

"ඒත් මහජනයා දන්න දේ තමයි ආන්ඩුව හමුදා පොලීසි කඳුලු ගෑස් සහිතව නිවාස කැඩීම ඉදරියට ගෙන යන බව. කම්කරු පන්තිය නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීමේ අරගලයට ඉදිරියට ආ යුතුයි. සමාජවාදී වැඩ පිලිවෙල ගැන බැරෑරුම් වැටහීමක් නැහැ. නමුත් ඉගෙන ගන්න කැමතියි.”

මහින්ද රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ විවෘත ආර්ථික වැඩපිලිවෙල යටතේ ලොකු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලාභ ඉහල දමා ගැනීමේ එල්ලය සඳහා කොලඹ නගරය වෙන් කර දීමටයි. එජාප සහ ජවිපෙ ද විවෘත ආර්ථික ප‍්‍රතිපත්තින්ට පක්ෂපාතීය. රෙඩ්බානා වත්තේ ග‍්‍රාම සංවර්ධන සමිතිය පවසන පරිදි හුදු උද්ඝෝෂනයෙන් ආන්ඩුවේ ප‍්‍රතිපත්තියට අභියෝග කල නොහැක.

සසප පමනක් ම 2010 සිට ආන්ඩුවේ ගෙවල් කැඩීමේ ප‍්‍රහාරයට එරෙහිව අඛන්ඩව අරගලයක නිරතව ඇත. මෙම අරගලය හුදෙක් මැතිවරන කාලයට සීමාවූවක් නොවන අතර නිවාස අයිතිය තහවුරු කර ගැනීමේ නිවැරදි වැඩ පිලිවෙලක් යටතේ සිදුවෙයි.

කොලඹ නගරය තුල නිවාස උදුරාගැනීම ආන්ඩුව කම්කරුවන්, තරුනයින් හා ගොවීන් වෙත මුදා හැර ඇති ප‍්‍රහාරයේ කොටසකි. කම්කරුවන්ගේ වැටුප් කැටි කෙරෙන්නේ ජීවන වියදම අහස උසට ඉහල යන කොන්දේසි තුල ය. නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරමින් ඇති අතර ශිෂ්‍යයන් මුහුන දී ඇත්තේ බරපතල කොන්දේසිවලට ය. ගොවීහු තම භෝග විකුනා ගැනීමට නොහැකිව ද, ජල හිඟයෙන් ද පෙලෙති.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් තොරව නිවාස අයිතිය හෝ මහජනයා මුහුන දෙන අනෙකුත් අභියෝග ජය ගත නොහැක. මේ පදනම් මත කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැගීමට සටන් වැදිය යුතු ය. සසප නිවාස ආරක්ෂා කර ගැනීමේ කමිටු කොලඹ නගරය තුල ගොඩනැගීමට මූලිකත්වය ගෙන ඇත. සසප සමග මෙම අරගලය ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ඔබෙන් ඉල්ලමු.