ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබා දෙයි

By Panini Wijesiriwardana, 13 September 2011

විශ්ව විද්‍යාල පුද්ගලීකරනය කිරීමේ වැඩ පිලිවෙලෙහි තවත් ඉදිරි පියවරක් තබමින් ආන්ඩුව සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් (ප‍්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය (එම්බීබීඑස්) උපාධිය පිරිනැමීමට අවසරය ලබා දී ඇත.

2011 අගෝස්තු 30 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම අවසරය ලබා දී ඇත්තේ එම විශ්ව විද්‍යාලයෙන් පිරිනමන උපාධි ශී‍්‍ර ලංකාව තුල වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා සුදුසුකමක් ලෙස පිලිගත නොහැකි බව ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය සභාව විසින් නිල වශයෙන් ප‍්‍රකාශ කොට ඇති තතු යටතේය. රුසියාවේ නිශ්නි නිව් ගොරෝද් ස්ටේට් මෙඩිකල් ඇකඩමියේ අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වා ගෙන යන මෙම වෛද්‍ය විද්‍යාලය 2007 වසරේදී ආරම්භ කෙරී ඇත්තේ ආයෝජන මන්ඩලයේ ද අනුමැතිය නොමැතිවයි.

මාලබේ වෛද්‍ය විද්‍යාලය අරඹන විට සායනික පුහුනුව සඳහා ශික්ෂන රෝහලක් ද අරඹන බවට එහි කලමනාකාරිත්වය විදේශ අමාත්‍යාංශය සමග එකඟත්වයකට පැමින ඇති නමුත් පසුගිය තුන් වසර තුල එවැන්නක් ආරම්භ කෙරී නැත. මෙහි අධ්‍යයන කාර්ය මන්ඩලයේ සමහරුන් අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති අතර එහි නිත්‍ය කතිකාචාර්ය වරු ලෙස සේවයේ යෙදෙන ඇතැමුන් රජයේ වෛද්‍ය විද්‍යාල වල අර්ධකාලීන සේවයේ යෙදෙන්නවුන්ය. තතු මෙසේ වුවද මෙම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයකුට තම අධ්‍යයන කටයුතු හමාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 65 ක් පමන වැය කිරීමට සිදුවේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම මගින් ගුනාත්මක බවින් පිරිපුන් උසස් අධ්‍යාපනයක් ශී‍්‍ර ලංකාව තුල සාක්ෂාත් කිරීම සිය මූලික ඉලක්කය වන්නේ යැයි රජය වගුරන බොරුවල යථා ස්වභාවය මේ කරුනු වලින් හෙලිවේ. රජයේ ප‍්‍රලාපයන්ට විපරීතව සැබැවින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින්නේ නිදහස් අධ්‍යාපනයම වලලා අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට ද ධනවත් අතලොස්සකගේ දූ දරුවනගේ වරප‍්‍රසාදයක් බවට ද පත් කිරීමේ පියවරයන්ය.

ආන්ඩුව මෙම පියවර ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සුබ සාධන සේවා, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය සඳහා වියදම් ඇතුලු රාජ්‍ය වියදම් කපා හැරීමේ කොටසක් ලෙසය.

2008 න් ඇරැඹි ලෝක මූල්‍ය අර්බුදය දැන් රාජ්‍ය නය අර්බුදයක් ලෙස ලොව පුරා ඇවිලී යන කොන්දේසි යටතේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහි වඩ වඩාත් කප්පාදු පියවර පැටවීමට අනෙකුත් ආන්ඩුවලට මෙන්ම රාජපක්ෂ ආන්ඩුවට ද බල කෙරී පවතී. රජයේ විශ්ව විද්‍යාලවල පවත්නා බරපතල අඩුපාඩු පිලිබඳව යන්තමින්වත් සැලකිලිමත් නොවන ආන්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යයන ආයතන ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සහ ඉඩම් ඇතුලු අනෙකුත් පහසුකම් සම්පාදනය කෙරෙහි වේගයෙන් නැඹුරු වීමට යටින් පවතින හේතුව මෙයයි.

අධ්‍යාපනයේ ගුනාත්මක බව සම්බන්ධයෙන් රජයේ සැබෑ ආකල්පය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න රාවය පුවත් පතට කල ප‍්‍රකාශයකින් මනාව පැහැදිලිවේ. උපාධි ප‍්‍රදානය සඳහා අවසරය ලබාදීමේ බලය 1978 විශ්ව විද්‍යාල පනතෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයාට ලබා දී ඇතැයි පවසන නවරත්න මෙසේ සඳහන් කරයි. "නමුත් එම උපාධිය වෛද්‍ය සභාව පිලිගැනීමට අදාල ශික්ෂන රෝහල් පුහුනුව සම්බන්ධව මෙහිදී අප සලකා බලන්නේ නෑ සිසුන් ශික්ෂන රෝහලකට යවා පුහුනු කරවීම එම අධ්‍යාපන ආයතනය සතු කාර්යයක්”.

වෛද්‍ය සංගමයේ කි‍්‍රයාකලාපය

විශ්ව විද්‍යාල පුද්ගලීකරනය කිරීමට එරෙහිව වෛද්‍යවරුන් අතර වැඩෙන විරෝධය හමුවේ මාලබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරි නැමීමේ අවසරය ලබා දුන් ගැසට් නිවේදනය නීති විරෝධී බවත් එය වහාම ඉවත් කර ගන්නා ලෙසත් එම වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසත් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම් ඕඒ) උද්ඝෝෂනයක නිරතව සිටී.

රජයේ විශ්ව විද්‍යාලවල ගුනාත්මකබව ඉහල නංවමින් සහ නිදහස් අධ්‍යාපනය රැක ගනිමින්, සම්මත ප‍්‍රමිතීන්ට අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාම සඳහා තම සංගමය සටන් වදින බැව් වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය උපුල් ගුනසේකර ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුලු පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයේ ආස්ථානය ඔහු මෙසේ පැහැදිලි කලේය. "ශී‍්‍ර ලංකාව දැනුමේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා රජය ගෙන යන කි‍්‍රයාදාමයේදී එහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට සිදුවෙනවා. නමුත් එම විශ්ව විද්‍යාල නියම ප‍්‍රමිතියකට කි‍්‍රයාත්මක විය යුතුයි. අපි සටන් වදින්නේ ඒ සඳහා.”

නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යාම පිලිබඳ මේ සූත‍්‍රය මහජනතාවගේ ඇස් වලට වැලි ගැසීම සඳහා රජය විසින් තොරොම්බල් කරන ප‍්‍රලාපයමයි. ආන්ඩුව ගෙන යන්නේ රජයේ විශ්ව විද්‍යාලවලට අවශ්‍ය ප‍්‍රතිපාදන කපා දමමින් ගුනාත්මකබව පිරිහෙලා අවසානයේදී ඒවා වසා දැමීම හෝ පුද්ගලික අංශයට පවරා දීමේ වැඩ පිලිවෙලයි. වෛද්‍ය පීඨයකට අවශ්‍යම අංගයක් වන මහාචාර්ය ඒකකයක් පවා රජය සතු රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මෙතෙකුදු පිහිටුවා නොමැතිවීම ඇතුලු අඩුපාඩු රැසක් පෙන්වා දෙමින් ගුනසේකර ඉදිරිපත් කල දත්ත සහ තොරතුරු වලින්ම එය සනාථ වේ.

අවසාන විග‍්‍රහයේදී, ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම යන නමින් අධ්‍යාපනය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා රජය ගෙන යන පිලිවෙත් සමග එක්ව ගමන් කරන වෛද්‍ය සංගමය නිදහස් අධ්‍යාපනය කපා දැමීමට එරෙහිව වෛද්‍යවරුන්, ශිෂ්‍යයන් හා දෙමාපියන් අතර වැඩෙන විරෝධය දැනුවත්ව දියකර හරිමින් සිටී.

තම උද්ඝෝෂනයේ කොටසක් ලෙස වෛද්‍ය සංගමය විසින් සැප්තැම්බර් 07 දිනට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් කැඳවා තිබුනි. ඊට පෙරදින හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම හා පවත්වා ගෙන යාම අවසර ලබාදීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය බවත් වෘත්තීය සමිති වලට ඊට විරුද්ධවීමට නොහැකි බවත් ප‍්‍රකාශ කලේය.

මෙම දේශපාලන අභියෝගය එල්ල වනවාත් සමග ම වැඩ වර්ජනය නවතා දැමූ වෛද්‍ය සංගමය එය සාධාරනීයකරනය කරමින් පැවසුවේ සෞඛ්‍ය ඇමතිතුමා සමග සැප්තැම්බර් 6 දා පැවැත්වු සාකච්ඡාවකින් එකඟතාවක් ඇතිකරගත් බවයි. එම එකඟතාවය පදනම්වුනේ, මාස දෙකක් ඇතුලත අදාල වෛද්‍ය විද්‍යාලයේ කි‍්‍රයාකාරිත්වය පිලිබඳ පූර්න පරීක්ෂනයක් කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීම, එම කාලය තුල ජාත්‍යන්තර සම්මතයන්ට අනුව වෛද්‍ය විද්‍යාලයකට තිබිය යුතු අවම මානයන් ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කිරීම සහ එතෙක් නවක සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂන නතර කිරීම යන කරුනු තුන මතයි.

මෙම එකඟතාවන් පදනම් විරහිතය. පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය පිලි ගන්නා වෛද්‍ය සංගමය තම සාමාජිකත්වය නිදහස් අධ්‍යාපනයට ප‍්‍රහාර එල්ල කරන ආන්ඩුවට හා ධනපති ක‍්‍රමයට ගැටගසා ඇත. ධනපති ක‍්‍රමය තුල විසඳුම් සොයන වෘත්තීය සමිති අවසන් වන්නේ එතැනිනි.

අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමට තවදුරටත් පියවර ගන්නා බවට දිවුරමින් ඉහත මාධ්‍ය හමුවේ දී දිසානායක කියා සිටියේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් සඳහා දැනටමත් ඉඩම් ලබා දී ඇති බව සහ කුමන විරෝධතාවක් පැමිනිය ද වැඩ පිලිවෙල ඉදිරියටම ගෙන යන බවයි.

මේ තත්වය මැද වෘත්තීය සමිතිවලට ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ විය නොහැකි යයි ඇමති දිසානායක කල ප‍්‍රකාශය බරපතල ඇඟවුම් සහිතය. ඔහුගේ තර්ජනය එල්ල වී ඇත්තේ සැබැවින්ම වෘත්තීය සමිතිවලට විරුද්ධව නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි වන කම්කරුවන්ට, සිසුන්ට හා වෛද්‍යවරුන්, විශ්ව විද්යාල ආචාර්යවරුන් ඇතුලු වෘත්තිකයන්ට එරෙහිවය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මෑත වැටුප් අරගලයේදී ද, පහසුකම් සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් රැක ගැනීම සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගෙන යමින් සිටින අරගලවලදී ද රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ තම මර්දන හස්තයෙනි. දැන් එය වැඩි වැටුප් ඉල්ලා සටන් වැද සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් වෙත යොමු වෙමින් පවතී.

මෙය හුදෙක් විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයට සීමා වූවක් නොවේ. පෞද්ගලික අංශයේ කම්කරුවනට එරෙහිව ගෙන ආ ඊනියා විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව නැගී සිටි දහස් සංඛ්‍යාත නිදහස් වෙලඳ කලාප කම්කරුවන් මර්දනය කෙරුනේ ඔවුනට එරෙහිව පොලිස් මිලිටරි බලය යොදා වෙඩි තබා එක් කම්කරුවෙකුගේ ජීවිතය ද බිලි ගනිමිනි.

මේ සියල්ලෙන් පැහැදිලි කෙරෙන්නේ මහජන අධ්‍යාපන හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව සටන් වැදීම සඳහා දේශපාලන කි‍්‍රයා මාර්ගයක් අවශ්‍ය බවයි. වෛද්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම ) සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය (එෆ්යූඒටී) ඇතුලු අනෙකුත් සියලු වෘත්තීය සමිතිවලට විරෝධතා උපාමාරුවල යෙදී ගැනීම හැරෙන්නට ආන්ඩුවට දේශපානිකව අභියෝග කිරීමේ ඉදිරි දර්ශනයක් නැත.

පෞද්ගලික විශ්ව විද්‍යාල පිලි ගනිමින් රජයේ සහ පෞද්ගලික යන දෙවර්ගයේම විශ්ව විද්‍යාලවල ගුනාත්මක බව රැක දෙන ලෙස වෛද්‍ය සංගමය ආන්ඩුවට බල කරන අතර අවිශිබම පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ වෙමින් නිදහස් අධ්‍යාපනය රැක දෙන ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම තම ප‍්‍රතිපත්තිය බව ඉඳුරා පවසන එකී ආන්ඩුවට ම බල කර සිටී.

සියල්ලන්ට නිදහස් හා ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් ද, අධ්‍යයන හා අනධ්‍යන සේවකයන්ට සුදුසු වැටුප් හා කොන්දේසි ද සම්පාදනය කරන විශ්ව විද්‍යාල පද්ධතියක් නිර්මානය කිරීමට රුපියල් බිලියන ගනන් අවශ්‍ය කෙරේ. එය සාක්ෂාත් කල හැක්කේ ලාභ ගරන ධනේශ්වර පද්ධතිය සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයකින් විස්ථාපනය කිරීමෙන් පමනකි.

සමාජවාදී වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට නැඟීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කම්කරුවන් පෙරමුන ගත යුතු වන අතර එම ව්‍යාපාරය වටා වෛද්‍යවරුන්, ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, තරුනයන් හා අවශේෂ පීඩිත කොටස් රැලි කර ගත යුතුයි.

සමාජවාදී විකල්පයක් සඳහා වන පුලුල් දේශපාලන අරගලයක් වැලැක්වීමට රාජපක්ෂ ආන්ඩුව වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ මත පදනම්ව සිටින බැවින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා කරන අරගලයේ දී ඔවුන්ගෙන් බිඳී වෙන්වීම අත්‍යවශ්‍ය වේ.