ශී‍්‍ර ලංකාවේ මිලිටරිය යාපනයේ දෙමල ජනයාට එරෙහි මෘග ප‍්‍රහාරයක

By Subash Somachandran, 1 September 2011

අගෝස්තු 22 දා රාති‍්‍රයේ දී උතුරේ යාපන අර්ධද්වීපයේ නවන්තුරෙයි ගම්මානයට නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙකු කඩාවැදීමෙන් පසුව ගම්වැසියන් හා හමුදාව අතර ආතිත සහගත තත්වයක් හටගැනීමෙන් අනතුරුව හමුදාව එම වැසියන්ට එරෙහිව මෘග ප‍්‍රහාරයක් එල්ල කලේය. මෙය වනාහි 2009 මැයි මස බෙඳුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය නිමා වීමෙන් පසුව මිලිටරිය විසින් දෙමල සිවිල් වැසියන්ට එල්ල කරන ලද ප‍්‍රධාන ශාරීරික ප‍්‍රහාරයයි.

එදින රාතී‍්‍ර 9.30ට පමන ගම්මානයට ඇතුලු වී සිටි නාඳුනන පුද්ගලයන් කිහිප දෙනෙකු පසුපස ගම්වැසියන් හඹා ආ අතර ඔවුන්ගෙන් සමහරෙකු අසල පිහිටි කුඩා හමුදා කඳවුර තුල දිව යන අයුරු එම වැසියෝ දුටුවහ. එම පුද්ගලයන් කඳවුර තුලට දිව ආ බව හමුදාව ප‍්‍රතික්ෂේප කලේය. සිය ගනනක් ජනයා හමුදා කඳවුර අසල රැස් වී, සිවිල් ඇඳුමින් සැරසී සිටි සොල්දාදුවන් පිරිසක් ඉවතට ගෙන යාමට උත්සාහ කල හමුදා වාහනයක ද මග අවුරමින් විරෝධය දැක්වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

හමුදාව ජනයා පලවා හැරීමට උත්සාහ කල නමුත් එම ප‍්‍රයත්නය ව්‍යර්ථ විය. ඉන් පසුව සොල්දාදුවෝ පොලීසියේ ද සහාය ඇතිව, අහසට වෙඩි තබා විසිරී යන ජනයාට පහර දුනි.

මධ්‍යම රාති‍්‍රයෙන් පසුව, අහසට වෙඩි තබමින් පැමිනි සිය ගනනක් සොල්දාදුවෝ නවන්තුරෙයි ගම වට කර දොරවල් කඩා දමමින් නිවාස තුලට ඇතුලු වී ඒවායේ සිටි පිරිමින් ඉවතට ඇද ගෙන ගියහ. මෙම සිද්ධිය මතකයට නැංවූයේ මිලිටරිය විසින් යුද සමයේ දී කි‍්‍රයාවට දමන ලද මර්දනකාරී විධික‍්‍රමයන් ය. පිරිමින් ඉවතට ඇද ගෙන යාම වලකාලීමට භාර්යාවන්, මව්වරු හා ලමුන් උත්සාහ කල විට ඔවුන්ට ද ඉවබවක් නැතිව පහර දුනි.

ඉන් පසුව අත් අඩංගුවට ගැනුනු සියලු දෙනා අසල පිහිටි කී‍්‍රඩා පිටියකට ගෙන වුත් අලුයම 3 වන තෙක් ඔවුන්ට පහර දෙන ලදි. අත් අඩංගුවට ගත් අය අතර අංශභාගයෙන් හා කොඳු ආබාධවලින් පෙලෙන අය වැනි රෝගීහු ද සිටියහ. සමහරු නිරුවත් කොට පහර දෙන ලදි. බාලදුරෙයි ස්‍යාගරාසාට පහර දුන්නේ ඔහුගේ මව ඉදිරියේ ඔහුව නිරුවත් කොටය. පසුව අත් අඩංගුවට ගැනුනු අය පොලිස් ස්ථානයට ගෙන වුත් යලිත් වටයකින් ඔවුනට පහර දුනි.

සිය ගනනකට වැඩි ජනයා පොලිස් අත් අඩංගුව යටතේ යාපනය රෝහලට ඇතුලත් කරන ලදි. අධිකරන වෛද්‍ය නිලධාරි එස්. සිවරූබන්ට අනුව, 22 දෙනෙක් අස්ථි පිපිරුම්වලින් පෙලෙන අතර තවත් බොහෝ දෙනෙකුට අභ්‍යන්තර හා හිසෙහි තුවාල සිදු වී ඇත. තුවාල සිදු වී ඇත්තේ තුවක්කු කඳවලින්, සපප්තුවලින්, වයර්වලින් හා යකඩ පොලුවලින් පහර දීමෙන් බව ද ඔහු තව දුරටත් පැවසීය.

මෙම ප‍්‍රහාරය සිදු වූයේ, නාඳුනන අද්භූත පුද්ගලයන් ගම්මානවලට. නගරවලට, වතුකරයට හා සමහර තන්හි දී නිවාස තුලට ද කඩාවැදීම අරබයා පසුගිය සති තුනක කාලය තිස්සේ රට පුරා හටගෙන ඇති නොසන්සුන් තත්වයක් මධ්‍යයේ ය. මෙම පුද්ගලයන් තියුනු නියවලින් හෝ රේසර් තලවලින් තමන්ට, විශේෂයෙන් ම කාන්තාවන්ට, පහර දී පලා ගිය බවට මිනිස්සු පැමිනිලි කලහ.

ඇසින් දුටුවන්ට අනුව, මෙම පුද්ගලයන්ගෙන් සමහරෙක් වෙස් මුහුනු පැලඳ සිටි අතර මිනිසුන්ට ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වන පරිදි සමහරෙක් සිය සිරුර පුරා ගී‍්‍රස් තවරා ගෙන සිටියහ. එම නිසා ජනතාව ඔවුන් "ගී‍්‍රස් යක්කු” ලෙස නම් කලහ.

පොලීසියට මේ සිද්ධීන් ගැන දැනුම් දුන් නමුත් මිනිසුන් කටකතාවලට රැවටී ඇතැයි කියමින් පොලීසිය එම පැමිනිලි නොතකා හැරියහ. මෙවන් නාඳුනන පුද්ගලයන් බොහොමයක් ගැවසුනේ උතුර, නැගෙනහිර හා කඳුරට වතුකරය ඇතුලු දෙමල බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවලය. ජනයාගේ සැකය අවුලවමින්, ජනයාට ඔවුන් අල්ලා ගැනීමට තැත් කල විට, ඔවුන්ගෙන් සමහරෙක් අසල පිහිටි කඳවුරුවලට හෝ පොලිස් ස්ථාන වෙත දිවගොස් බේරුනි. මෙවන් සිද්ධිවල දී, සෙසු ප‍්‍රදේශවල දී, පොලිස් නිලධාරියකු ඇතුලු තිදෙනෙක් පමන මිය ගිය අතර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.

නවන්තුරෙයි ප‍්‍රහාරයෙන් පසුව, මිලිටරිය හා පොලීසිය එම ප‍්‍රදේශයේ දින දෙකක් තිස්සේ ඇඳිරි නීතිය පනවා මැනවින් සන්නද්ධ සොල්දාදුවන් එහි යොදවන ලදි. පොදු වෙලඳ පොල ද කඩසාප්පු ද වසා තිබුනි. ධීවරයෝ සිය නිවාසවල රැඳී සිටියහ. කිසිවෙකුට වත් මංමාවත්වල ගමන් කිරීමට අවසර ලැබුනේ නැත. ගම්වැසියන්ගෙන් බහුතරයක් සිය ඥාතීන් හා අසල්වැසියන් බැලීම පිනිස රෝහලේ රැස්ව සිටියහ.

යාපනය ප‍්‍රදේශයේ සිදුව ඇති සිද්ධීන් ගනනාවක්ම ආතතීන් නිර්මානය කිරීමෙහිලා මිලිටරියේ සම්බන්ධයට ඇඟිල්ල දිගු කරයි. එදින රාති‍්‍රයේ ම, යාපනයේ අලංකඩෙයිහි දී ගම්වැසියන් විසින් නාඳුනන පුද්ගලයෙක් නිවසට ඇතුලු වීමට උත්සාහ දරද්දී අල්ලා ගන්නා ලදි. තමන් හමුදා බුද්ධි අංශයේ බවට ඔහු කියා පෑවේය. සුදු වෑන් රථයකින් පැමිනි සොල්දාදුවන් අහසට වෙඩි තබමින්, විරෝධය දැක්වූ ජනයා අතින් ඔහුව බේරා ගෙන රැගෙන ගියහ. රෙදිවලින් මුහුනු ආවරනය කරගත් පුද්ගලයන් පැමිනීම හේතු කොටගෙන කරවෙඩ්ඩි, පොලිකන්ඩි හා කරහත්තාන්පුලම් ගම්මානවලින් ද මීට සමාන ආතති සහගත තත්වයන් වාර්තා විය. එවන් අපරාධකරුවන්ට ආරක්ෂක හමුදාවල අනුදැනුම නැතිව එලෙස ගමන් කල නොහැකිය.

කාර්මිකයකු වන බෘන්ගේ එක් පාදයක අස්ථි පිපිරී අභ්‍යන්තර තුවාල ද සිදු වී ඇත. "වෙඩි හඬවල් ද මිනිස්සු කෑ ගසන ශබ්ද ද මට ඇසුනා. මට අනතුරක ලකුනු දැනුනා. මගේ ගෙයි දොර කඩා දැම්මා. ඔවුන් මාත්, මගේ මස්සිනාත් අත් අඩංගුවට අරගෙන ඉවබවක් නැතිව පහර දුන්නා. හඬමින් සිටි ගැහැනුන් ගැන කිසිම තැකීමක් ඔවුන් කලේ නැහැ. ඔවුන්ට ද පහර දුන්නා. මගේ මස්සිනාගේ අත් දෙකේම ඇට පිපිරිලා. බොහෝ සොල්දාදුවො පිට්ටනියෙදිත් මට පහර දුන්නා.” යනුවෙන් ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

දින හතරකට පසුව, සිකුරාදා, මෙම ප‍්‍රහාරයට ගොදුරු වූ 91 දෙනෙක් උසාවියට ඉදිරිපත් කොට ඇප මත නිදහස් කරන ලදි. ඔවුන්ට ඇප ලෙස රුපියල් 5,000ක් ගෙවීමට සිදු විය. කෙසේවෙතත්, ඔවුන් සතියකට වරක් පොලීසියට වාර්තා කල යුතු බවට කොන්දේසියක් ද උසාවිය විසින් පනවන ලදි. තවමත් රෝහල්ගතව සිටින දහ දෙනෙක් සැප්තැම්බර් 6 දා තෙක් රඳවා ගැනීමට නියම කරන ලදි.

ඇප දීම ප‍්‍රතික්ෂේප කරමින් පොලීසිය ඔවුන්ට චෝදනා කලේ, ඔවුන් රාජ්‍ය දේපොලට හානි කිරීමේ හා ආන්ඩුවට එරෙහිව යුද්ධයක් ගෙන යාමට ජනතාව මෙහෙයවීමේ යෙදුනු බවටය. ප‍්‍රහාරයට ලක් වූවන් වෙනුවෙන් 30කට අධික නීතිඥයන් සංඛ්‍යාවක් පෙනී සිටියහ.

අගෝස්තු 23 දා පාර්ලිමේන්තුව අමතමින්, දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් අවධාරනය කලේ, එම අද්භූත පුද්ගලයන් හමුදා භටයන් බවට ප‍්‍රමානවත් සාක්ෂ්‍ය ජනයා අත ඇති බවයි. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් ඇඳුම් රහිතව මිලිටරි පාලනය යටතේ පවතින කිලිනොච්චිහි පරතිපුරම් ප‍්‍රදේශයේ නිවාසවලට ඇතුලුවූ බවත් ජනයා ඔවුන් අල්ලා ගැනීමට තැත් කරන විට හමුදාව විසින් ඔවුන් බේරා ගත් බවත් ඔහු පැවසීය.

ශී‍්‍රධරන්ට ප‍්‍රතිචාර දක්වමින්, කැබිනට් ඇමති දිනේශ් ගුනවර්ධන සමච්චල් සහගත ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ, එම අද්භූත පුද්ගලයන් දෙදෙනා හමුදා භටයන් නම් ඔවුන්ගේ නම් ප‍්‍රකාශ කරන ලෙසයි. ප‍්‍රසිද්ධ රැස්වීමක් අමතමින්, අධිකරන ඇමති රවුෆ් හකීම් එවන් පුවත් පැතිරවීම සම්බන්ධයෙන් මාධ්‍යවලට බැන වැදුනේය.

උතුරේ හා නැගෙනහිර මිලිටරි වාඩිලෑම, එල්ටීටීඊයේ පරාජයෙන් පසුව පවා තවත් ගැඹුරු කර තිබේ. තවමත් මාර්ග බාධක, මුර කපොලු හා කුඩා හමුදා කඳවුරු මෙම ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වේ.

සෙසු ප‍්‍රදේශවල හටගත් මීට සමාන සිද්ධිවල දී පොලීසියට එරෙහිව ජනයා විරෝධය දැක්වීමෙන් පසුව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මෘග ප‍්‍රහාර සඳහා මිලිටරිය දිරිගන්වමින්, අනතුරු අඟවන නිවේදන නිකුත් කලේය. "නීතිය අතට ගෙන කි‍්‍රයා කරන අයට බරපතල ලෙස දඩුවම් කරන” බවට ඔහු ජනතාවට අනතුරු ඇඟවීය.

නවන්තුරෙයි සිද්ධියට පසුව, ඔහු ඝෝෂාකාරී විය. "ගී‍්‍රස් යක්කු පිලිබඳව ප‍්‍රචාරය කරන අය ත‍්‍රස්තවාදීන් ලෙස සලකන” බවට ඔහු ප‍්‍රකාශ කලේය. "හමුදා කඳවුරුවලට හා පොලිස් ස්ථානවලට පහර දී ඇති අයට විරුද්ධව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා” බව ඔහු අවධාරනය කලේය.

යාපනය සන්නද්ධ හමුදා අනදෙන නිලධාරි මහින්ද හතුරුසිංහ තවත් දුර ගියේය. ඔහු මෙසේ අනතුරු ඇඟවීය: "නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරින්ට පහර දීමේ අරමුනෙන් පොලු, ගල්, කඩු, පිහි, වැලි හා පැට්රල් පිරවූ බෝතල්වලින් සන්නද්ධ වී සිටින අය ත‍්‍රස්තවාදීන් ලෙස සැලකෙන අතර ඔවුන්ට කිසිම සමාවක් ලැබෙන්නේ නැත.” ඔහු තව දුරටත් මෙසේ ද පැවසීය: "නීතිය අතට අරගෙන අසහනයට පත් යුද කාමින්ගේ දුෂ්ඨ අරමුනු ඉටු කරන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ.” මෙහි අර්ථය නම් මිලිටරියේ හෝ පොලීසියේ කි‍්‍රයාවන්ට විරුද්ධව විරෝධය දක්වන ජනයා "ත‍්‍රස්තවාදීන්” ලෙස මර්දනයට ලක් කෙරෙන බවයි.

දි අයිලන්ඩ් පත‍්‍රය වර්ගෝත්තමවාදය ඇවිලවීමට සිද්ධිය ඩැහැගත්තේ, විරෝධය දැක්වූවන් එල්ටීටීඊ ලෙස විස්තර කරමිනි. එහි අගෝස්තු 23 කලාපයේ ශීර්ෂ පාඨය වූයේ: "යාපනයේ හමුදා භට පිරිසකට එරෙහි පොංගු තමිල් ශෛලියේ ප‍්‍රහාරයක් මැඩ පැවැත්වීමට හමුදාව සමත් වෙයි -- ප‍්‍රහාරකයන් අතර ශිෂ්‍යයන් ද සිටී”. එල්ටීටීඊය උතුරේ හා නැගෙනහිර සමහර ප‍්‍රදේශ පාලනය කල කාලයේ දී එල්ටීටීඊය හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් පොංගු තමිල් වැඩසටහන පවත්වන ලදි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින් නීතිඥයෙක් මෙසේ පැහැදිලි කලේය: "ගී‍්‍රස් යකා නිර්මානය කලේ ආන්ඩුවයි. ඔවුන් මිනිස්සුන්ට පහර දීලා ඊට පස්සෙ ඔවුන්ට චෝදනා කරන්නත් විරෝධය දක්වන අය ඒ ආකාරයට මර්දනය කරන බව පෙන්වන්නත් උත්සාහ කරනවා. මේ ඊනියා ගී‍්‍රස් යක්කුන්ට පුලූවන් කිසිම සාක්කියක් නැතිව දේශපාලන විවේචකයො මරා දමන්න.”

මෙම අද්භූත පුද්ගලයන් එවන්නේ මිලිටරිය විසින් නොවේ නම් ඔවුන් මිලිටරි කඳවුරු තුලට දුවන්නේ ඇයි දැයි කාන්තාවක් විමසීය. "ආන්ඩුව අපට සාමකාමීව ඉන්න දුන්නෙ නැහැ. මැතිවරන ව්‍යාපාරයට පැමිනි ආන්ඩුවේ ඇමතිවරුන්ට අපි අපේ ගැටලූ කිව්වා. දැන් ඒගොල්ල නිශ්ශබ්දයි. නවන්තුරෙයි ගමෙන් රෝහල් ගත කරල තියෙන්නෙ 100ක පමන ප‍්‍රමානයක් විතරයි. ඒ වුනත් බොහෝ දෙනෙක් තුවාල වෙලා ගෙදර ඉන්නවා. ඒ ගොල්ල බයයි රෝහලට ගියොත් අත් අඩංගුවට ගනී කියලා.”

අඛන්ඩ මිලිටරි වාඩිලෑමට, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීමට, යුද ව්‍යසනයට හා දහස් ගනනක් තරුනයන් රඳවාගෙන සිටීමට එරෙහිව වැඩෙන වෛරයකින් පසුවන දෙමල ජනයා ත‍්‍රස්ත කිරීම හා බියගැන්වීම පිනිස ආන්ඩුව හා මිලිටරිය මෙම සිද්ධීන් නිර්මානය කරන බව පෙනී යයි.