වෘත්තීය සමිති නිවෙක කම්කරුවන්ගේ වැටුප් අරගලය යටගසති

By W.A. Sunil, 17 September 2011

පුද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අරගලය කිරීම නිසා මැයි මාසයේදී රුදුරු පොලිස් ප‍්‍රහාරයකට ලක්කල කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් (නිවෙක) හා සෙසු නිවෙක කම්කරුවන් අතර පැනනැගී ඇති විරුද්ධත්වය සාමවාදී මාවතකට අපසරනය කිරීමේ තැතක එහි වෘත්තීය සමිති යෙදීගෙන සිටිති. වෘත්තීය සමිති වල මෙම ව්‍යායාමයේ ඉලක්කය ලෙස පවතින්නේ වැටුප් වැඩි කර ගැනීමට හා සේවා කොන්දේසි වැඩි දියුනු කර ගැනීමට කම්කරුවන් අතර කලක් තිස්සේ පවතින දැවෙන උවමනාව යට ගැසීමයි.

ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා කම්කරු සංගමය ඇතුලු නිදහස් වෙලඳ කලාපයේ සමිති සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හා නිදහස් වෙලඳ කලාප සහයෝගීතාවය ද, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය ද කම්කරුවන් එලෙස නොමග යැවීමේ යෙදී සිටින සංවිධාන වේ.

මැයි මාසයේ අග සතියේ 40,000 ට අධික කටුනායක නිවෙක කම්කරුවෝ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් කොල්ලකෑම ඉලක්ක කර ගත් විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අධිෂ්ඨාන ශීලී ලෙස දින ගනනක අරගලයක නිරත වූයේ වෘත්තීය සමිතිවල කැඳවීමකින් නොවේ. මෙම අරගලය මැඩලීමට ආන්ඩුව විසින් මුදා හල පොලීසිය වෙඩි තැබීමෙන් රොෂෙන් චානක කම්කරුවා මිය ගිය අතර තවත් කම්කරුවෝ සිය ගනනක් තුවාල ලැබූහ.

නිවෙක කම්කරුවන් මෙම පනතට විශේෂයෙන්ම විරුද්ධත්වය පෑවේ, ඊට දායක වීම් වස් වැටුපෙන් මුදල් කපන නමුත්, තමන්ගේ සේවා කාලය කෙටි නිසා විශ‍්‍රාම වැටුපකට ද හිමිකම් කිව නොහැකි තතු තුලය. ලක්ෂ සංඛ්‍යාත කාන්තා කම්කරුවෝ විශ‍්‍රාම වැටුපකට හිමිකම් කිවහැකි බවට නියම කර තිබූ අවුරුදු 10කට වඩා අඩු කලක දී සේවය හැර යති. ආන්ඩුව මෙම පනත ගෙනාවේ කම්කරුවන් ගැන අනුකම්පාවකින් නොව කපාගන්නා දායක මුදල් වලින් පිරෙන අරමුදල ආන්ඩුවේ ආයෝජන සඳහා යොදා ගැනුමට ය. වෘත්තීය සමිතිවල ද සහයෝගය ඇතිව ආන්ඩුව සහ කොම්පැනි 2006න් මෙපිට කිසිදු වැටුප් වැඩි කිරීමක් නොකල තතු යටතේ කම්කරුවන් අතර පැසවමින් තිබුනු අතෘප්තිය මෙම පනතින් එල්ල වූ පහරත් සමග පුපුරා ගියේ ය.

පනතට එරෙහිව විරෝධතා ප‍්‍රකාශ කිරීම හැර කාර්මික අරගලයක් සංවිධානය කිරීමට එරෙහිව සිටි ඇන්ටන් මාකස් නායකත්වය දෙන සමිතියත් ජවිපෙ සමිතියත් "විශ‍්‍රාම වැටුප් පනත සදහටම පරාජය කලේය” යි පුරසාරම් දොඩති. කම්කරුවන්ගේ අරගලය නිසා අර්බුදයට ගිය ආන්ඩුව දැනට මෙම පනත පසෙකින් තබා ඇතත් වෘත්තීය සමිති නායකයන්ගේ කර උඩින්ම "සංශෝධන සහිතව” යලි එය ගෙන ඒමේ තර්ජනය පවතී. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ගෙන ආ පනතකි.

පොලිස් ප‍්‍රහාරයෙන් ඇඟවුම් කෙරුනු අනතුරට විරුද්ධව නිවෙක කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශේෂ කම්කරුවන් ද දැනුවත් කරමින්, දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට වෘත්තීය සමිති එරෙහිවූහ. ඒ වෙනුවට ඔවුන් පෙරට දමා ඇත්තේ ආන්ඩුවෙන් සහ අධිකරනයෙන් "සාධාරන” විසඳුමක් ඉල්ලීමේ නිරර්ථක කි‍්‍රයාවලට කම්කරුවන් කොටු කිරීමේ වැඩ පිලිවෙලක ය.

හුදෙක් ම, අධිකරනයේ හා මානව හිමිකම් කොමිසමේ නඩු ගනනාවක් පැවරීමට මෙම වෘත්තීය සමිති විසින් නිවෙක කම්කරුවන් මෙහෙයවනු ලැබ ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය චානකගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් මිලියනයක වන්දියක් දී මරනයේ වගකීමෙන් අත සෝදා ගත්තේ ය. මිලියන පහක වන්දියක් ලබා ගැනීම හා තුවාල ලැබූ සෙසු කම්කරුවන්ට වන්දි සහ ප‍්‍රතිකාර සඳහා පහසුකම් ලබාදීම, සේවයට නො පැමිනි කාලය වෙනුවෙන් වැටුප් නොකැපීම, ප‍්‍රහාරය ගැන සොයාබැලීමට රාජපක්ෂ පත්කල මහානාම තිලකරත්න කොමිෂන් වාර්තාව එලිදරව් කිරීම හා ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිනවීම වෘත්තීය සමිති නායකයෝ ඉල්ලති. නමුත් ආන්ඩුවත් සහ හාම්පුත්තුත් දැනටමත් මෙම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇත .

චානක ඝාතනයට තෙමසක් පිරුනු අගෝස්තු 30 වෙනිදා වෘත්තීය සමිති සන්ධානය සහ ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමය විසින් වෙන වෙනම කොලඹ දී සංවිධානය කල විරෝධතා උද්ඝෝෂන වලදී ද පසුව නිදහස් වෙලඳ කලාපීය සහයෝගිතා කමිටුව කටුනායක දී සංවිධානය කල සත්‍යග‍්‍රහයක ද මූලික තේමාව වුයේ ප‍්‍රහාරයට වගකිවයුතන්ට "දඬුවම්” දෙන ලෙස හා ප‍්‍රහාරයට ගොදුරු වුවන්ට "වන්දිගෙවන” ලෙස ආන්ඩුවට බල කිරීම ය.

වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය හා නිදහස් වෙලඳ කලාපීය සහයෝගිතාවය මෑතදී මීගමුව උසාවිය අසල බෙදූ පත‍්‍රිකාවකින් "පොලීසියේ සහ ආන්ඩුවේ මහඑවුන්” නිවෙක කම්කරුවන්ට වෙඩි තැබීමට අනදුන් බවට චෝදනා කරයි. ඒ හැටියට ගත් කල චෝදනාව නිවැරදිය. එහෙත් හාස්‍යයට කාරනාව වන්නේ එකී අන දුන් පොලිසියේ සහ ආන්ඩුවේ "මහඑවුන්ට” විරුද්ධව "ස්වාධීන හා සාධාරන” පරීක්ෂනයක් පවත්වන ලෙස ඔවුන්ගෙන්ම ඉල්ලා සිටීම ය.

පසුගිය මාසයේ බි‍්‍රතාන්‍යයේ ඇතිවූ තරුන කැරලි ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑතදී කල ප‍්‍රකාශයක් ආන්ඩුවේ "මහ එවුන්” කටුනායක ප‍්‍රහාරයට අනදුන් බව සනාථ කරන සාක්ෂියකි. "නිසි වේලාවට ක‍්‍රියාත්මක වීම” නිසා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සිද්ධිය පාලනය කරගැනීමට හැකි වූ බව ඔහු එහිදී පැවසීය.

කටුනායක ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පත්කල කොමිසමේ වාර්තාව බාර දී ඇතත් ඔහු විසින් ම එය හමස් පෙට්ටියේ දමා ඇත.

හාම්පුතුන් සහ ආන්ඩුව කටයුතු කරන්නේ කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කර "සාධාරනය” ඉටු කිරීමට නො ව; කම්කරුවන් මත සුරාකෑම සහ මර්දනය තීව‍්‍ර කිරීමට ය. ප‍්‍රහාරයෙන් පසු දින දෙකක් ආන්ඩුවේ නියෝගයෙන් කටුනායක නිවෙක වසා තිබු අතර ඒ දෙදින සඳහා ලැබිය යුතු වැටුප් සහ දීමනා හාම්පුතුන් විසින් කම්කරුවන්ගේ වැටුපෙන් කපාගෙන ඇත. කම්කරුවන් හා සමිති ත‍්‍රස්ත කර තැබීමට ආන්ඩුව සහ හාම්පුත්තු දිගටම කටයුතු කරති.

ප‍්‍රහාරයෙන් පසුව කටුනායක නිවෙක තුල සති ගනනාවක් හමුදාව ස්ථාන ගත කොට තැබූ ආන්ඩුව දැන් පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය කටුනායක නිවෙක පොලීසියේ ස්ථානගත කොට සිටී. රහස් පොලීසිය හා හමුදා බුද්ධි අංශය උද්ඝෝෂනයට මූලිකත්වය ගත් කම්කරුවන් හා වෘත්තීය සමිති ගැන තොරතුරු රැස්කිරීම හා සමිති ක‍්‍රියාකාරීන් පසුපස හඹායාම කම්කරුවන්ට එරෙහි මෙම රාජ්‍යය ත‍්‍රස්ත ක‍්‍රියාවලියේම කොටසකි.

නිවෙක පමනක් නො ව සමස්ත කම්කරු පන්තියේම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තලා දැමීමේ ආන්ඩුවේ වැඩ පිලිවෙල තවත් තීව‍්‍ර කර තිබේ. සැප්තැම්බර් 7 වෙනිදා ලංකා විදුලි බල මන්ඩලයේ කම්කරුවන් සැලසුම් කර තිබූ වැටුප් ඉල්ලීම් සම්බන්ධ උද්ඝෝෂනයකට විරුද්ධව ආන්ඩුව අත්‍යාවශ්‍ය සේවා නියෝග කි‍්‍රයාවට දැමීය. හදිසි නීතිය වෙනුවට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට හා මහජන ආරක්ෂක පනතට අලුතෙන් විස දල සවි කරමින් කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව පොලිස් රාජ්‍ය සැලසුම් තීව‍්‍ර කරමින් සිටී.

නිවෙක කම්කරුවන්ට එල්ල වූ මුර්ග පොලිස් ප‍්‍රහාරය අහඹුවක් නො වේ. එය නිදහස් වෙලඳපොල ආර්ථික පිලිවෙත් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් යෝජිත රාජ්‍ය අයවැය පරතරය අඩු කිරීමේ ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තියෙන් මතුවන විරුද්ධත්වය මැඩීමේ රාජපක්ෂ ආන්ඩුවේ දැනුවත් ප‍්‍රහාරයක කොටසකි. ලෝක ධනවාදයේ වඩ වඩා තීව‍්‍ර වන වර්තමාන අර්බුදය තුල ජාත්‍යන්තරව ම ධනපති පාලක පන්තීන් ක‍්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙත් වලින් වෙනස්වූ වැඩ පිලිවෙලක් රාජපක්ෂට නැත.

එමෙන් ම, ලෝක අර්බුදයේ ප‍්‍රතිපලයක් ලෙස ඇඟලුම් ඇතුලු ලංකාවේ අපනයන කර්මාන්තය බරපතල තරඟකාරිත්වයකට මුහුන දී සිටී. එහි තේරුම අපනයන කර්මාන්තය හා ලාබය රැක ගැනීම සඳහා අර්බුදයේ බර වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කිරීම මගින් අපනයන කර්මාන්ත කම්කරුවන් මත පැටවිය යුතුය. 2008 පුපුරා ගිය ලෝක අර්බුදය මැද්දේ අපනයන කර්මාන්ත කරුවන් ඒ අර්බුදයට ප‍්‍රතිචාර දැක්වූයේ සමිතිවල හා ආන්ඩුවේ සහයෝගය ඇතිව කම්කරුවන්ගේ වැටුප් සහ සේවා ප‍්‍රතිලාභ කැපීමෙන් හා සමහර කම්හල් වසා කම්කරුවන් දොට්ට දැමීමෙනි.

මෙම කි‍්‍රයාවල නිරත වෙමින් වෘත්තීය සමිති සන්ධානය සහ ජවිපෙ සමිති වැටුප් වැඩි කර ගැනීම සහ සේවා කොන්දේසි වැඩි දියුනු කර ගැනීමට සටන් කිරීම සඳහා කම්කරුවන් අතර පවතින උවමනාව යට ගසා ඇත. 2010 නොවැම්බර් මාසයේ දී මේ වසරේ අයවැය සූදානම් වන තතු යටතේ පඩි වැඩි කිරීමට කි‍්‍රයාකරන ලෙස ඉල්ලා ජනාධිපති රාජපක්ෂ වෙත යැවීමට පෙත්සමක් අත්සන් කල නිදහස් වෙලඳකලාප හා පොදු සේවා කම්කරු සමිතිය පසුව විරෝධතා දැක්වීමක් ලෙස කලුපටි බැඳගෙන වැඩට යාමට කම්කරුවන් මෙහෙයවූයේ ය. එම නිරර්ථක විරෝධතා කි‍්‍රයාවන්ගෙන් පසු නිවෙක වෘත්තීය සමිති කලේ වැටුප් ඉල්ලීම යට ගැසීමයි.

එසේ කලේ කරුනු දෙකක් නිසා ය. කම්කරුවන්ගේ එබඳු අරගලයක් පුලූල් සහයෝගයක් ලබමින් පැතිරයාමේ භීතිය එක් හේතුවකි. අනෙක් වැදගත් ම හේතුව වන්නේ එබඳු අරගලයක් ධනපති ආන්ඩුවේ ප‍්‍රතිපත්ති සමග ද විදේශ ආයෝජකයන් ඇතුලූ මහ ධනපති සමාගම්වල උවමනාවන් සමග ද කෙලින්ම ගැටෙන දේශපාලන අරගලයක් බවට එය පත්වීම ගැන භීතියයි. එබඳු දේශපාලන අරගලයකට මූලිකත්වය ගැනීමෙන් තොරව කම්කරුවන්ට ලාබ ගරන අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමය තුල සිය ඉල්ලීම් දිනා ගත නොහැකිය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ද සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට ද කම්කරුවන් අරගලය කල යුත්තේ මේනිසා ය.