විරැකියාව කඳු ගැසෙත්ම ලමා ශ්‍රමය යුරෝපය වෙත පෙරලා පැමිනෙයි

As unemployment soars, child labour returns to Europe

By Stefan Steinberg, 4 April 2012

යුරෝපියානු සංගමයේ නිල සංඛ්‍යා ලේඛන ආයතනය වන යුරෝස්ටැට් විසින් නිකුත් කල මෑතම සංඛ්‍යාවන් අනාවරනය කරන්නේ, පෙබරවාරි මාසය අඛන්ඩ 10 වෙනි වරටත් විරැකියාව වැඩි වූ මාසය සනිටුහන් කල බවත් එම සංඛ්‍යාව කලාපයේ ශ්‍රම බලකායෙන් සියයට 10.8ක් හෙවත් මිලියන 17ක් බවයි. නිල රැකියා අහිමි ප්‍රමානය වසර 15කට පෙරාතුව යුරෝව හදුන්වා දුන් තැන් සිට ඉහලම අගය වාර්තා කරන අතර එයට වසරකට පෙරාතු අගය සමග සසඳන කල මිලියන 1.5ක වැඩිවීමක් වාර්තා කරයි.

කලාපයේ සමස්ත විරැකියාව මිලියන 17.1ක් ලෙස ඇස්තමේන්තුගත කිරීම එක් එක් යුරෝපියානු රටවල් අතර පවතින සැලකිය යුතු වෙනස්කම් වහංගු කරයි. ඉහලම විරැකියා අගය වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. එහි සමස්ත විරැකියාව සියයට 23.6ක් වන අතර වැඩ කරන වයසේ පසුවන අවුරුදු 25ට අඩු අයගෙන් සියයට 50කට වඩා පිරිසකට රැකියා නැත. දෙවන ස්ථානයේ පසුවන්නේ සියයට 21ක් වාර්තා කරන ග්‍රීසිය යි. ලැයිස්තුවේ පහලින්ම සිටින උතුරු යුරෝපීය රටවල් වන ඔස්ට්‍රියාව වැනි රටවල විරැකියාව යන්තම් සියයට 4කට වඩා වැඩි ය. ජර්මනියේ නිල විරැකියා රේට්ටුව සියයට 5.7කි.

යුරෝස්ටැට් ගනන් හිලව් යුරෝපයේ විරැකියා ප්‍රශ්නය උඩින්ම ගසා බසා දමන බවට විස්වාස කිරීමට ඕනෑ තරම් හේතු තිබේ. උදාහරනයක් ලෙස ජර්මනියේ විරැකියාව 5.7ක් යයි යුරෝස්ටැට් ඇස්තමේන්තු කරන විට ජර්මානු කම්කරු කාර්යාංශය ඇස්තමේන්තු කරන්නේ එය සියයට 7.2ක ප්‍රතිශතයක පවතින බවයි. නිල ජර්මානු සංඛ්‍යා ලේඛන හා යුරෝපියානු ඇස්තමේන්තු අතර විෂමතාවේ පදනම මත අන්තර් සංසන්දනය කිරීමකින් ඉස්මත්තට ගෙන එන කාරනාව වන්නේ සමස්ත යුරෝපියානු සංගමය පුරා විරැකියාවේ සමස්ත අගය මිලියන 21කට වඩා වැඩි බවයි.

අඩු වැටුප් ලබන කම්කරුවන්, තාවකාලික රැකියාවල නියුක්ත වූවන් හා ප්‍රමානවත් වැටුපකට සාමාන්‍ය රැකියාවක් සොයමින් සිටින අය යනාදී යුරෝපියානු ඌන රැකියා ප්‍රශ්නය වටා වේගයෙන් වැ‍ඩෙමින් පවතින එකදු ප්‍රශ්නයක් ගැනවත් ජාතික හෝ යුරෝපියානු විරැකියා සංඛ්‍යා ලේඛන මගින් සැලකිල්ලට බඳුන් කරන්නේ නැත. මසකට ස්ථිර ලෙස ‍යුරෝ 400ක් ලබන වර්තමානයේ රැකියාවල නිරතව සිටින මිලියන 7.5ක ජනතාවක් වෙසෙන ජර්මනියේදී ඌනරැකියා නියුක්තිය පිලිබඳ ඉහත කී ප්‍රශ්නය සුවිශේෂී වසයෙන්ම ප්‍රකාශයට පත් වෙයි.

මෙම යෝධ ලාභ ශ්‍රම වෙලඳපොල ජර්මනිය තුල රැකියා විරහිතයන්ට මෙන්ම රැකියාවල නිරත වන්නන් යන දෙකොටසේම දරිද්‍රතාව වේගයෙන් වැඩීමට තුඩු දී තිබේ. සමස්ත යුරෝපය සඳහා පරමාදර්ශයක් වසයෙන් දේශපාලනඥයින් හා මූල්‍යමය ආයතන විසින් වඩ වඩාත් වේගයෙන් හෙට්ටු කරමින් පවතින ඊනියා “ජර්මානු ආර්ථික මොඩලයේ” හදවතේම ඇත්තේ මෙන්න මේ කාරනාව ය.

විරැකියාවේ වත්මන් ඉහල යාම යුරෝපයේ පුලුල් කොටස් අවපාතයට තල්ලු කර යවනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපියානු සංගමය විසින් මහාද්වීපය පුරාවට ක්‍රියාවට දමනු ලැබූ කප්පාදු පිලිවෙත්වල සෘජු පලවිපාකයකි. අයර්ලන්තය, ග්‍රීසිය, බෙල්ජියම, පෘතුගාලය, ඉතාලිය, නෙදර්ලන්තය හා ස්ලෝවීනියාව යන රටවල් සියල්ල ම පසුවන්නේ නිල අවපාත තත්වයේ ය. බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනය අවම අගයක පවතින අතර ප්‍රන්සයේ හා ජර්මනියේ එය පහත වැටෙමින් තිබේ.

අවපාතය කරා වන ප්‍රවනතාව මෑතම මිලදී ගැනීම් පාලක දර්ශකය (පීඑම්අයි)-- යුරෝ කලාපයේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිලිබඳ වැදගත් මිනුමක්-- විසින් සහතික කරනු ලැබීය. එය පෙබරවාරි මාසයේ 49 සිට මාර්තු මස 47.7ට පහත වැටුනි. 50කට අඩු ඕනෑම අගයක් සලකනු ලබන්නේ අවපාතය පිලිබඳ ඇඟවුමක් වසයෙනි. පසුගිය අගෝස්තු මස සිට මේ දක්වාමත් එය සටහන් වන්නේ 50ට අඩුවෙනි.

පීඑම්අයි දර්ශක පලකරන මාර්කිට් ආයතනයට අනුව, යුරෝ කලාපයේ නිෂ්පාදන අංශයේ රැකියා මාර්තු මාසයේදී පසුගිය දෙවසර තුලදී වේගවත්ම අගය සනිටුහන් කරමින් පහත වැටුනේ විශේෂයෙන්ම ප්‍රන්ස ආර්ථිකය සඳහා සුවිශේෂීව දුර්වල සංඛ්‍යා සටහන් කරමිනි. ජර්මනියේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වුනි. යුරෝපය තුල පමනක් නොව, ආර්ථික පහත වැටීමක් තුලින් ගමන් කරමින් සිටින චීනය ඇතුලු ආසියාවෙන්ද ජර්මන් භාන්ඩ සඳහා ඉල්ලුම හැකිලුනි.

වැඩෙන මිල උද්ධමනයට සමගාමීව, එලැඹෙන මාසවලදී තවදුරටත් ආර්ථිකයේ කඩාවැටීමක් මාකිට් පූර්වාපේක්ෂා කරයි. යුරෝපියානු නිෂ්පාදනවල හැකිලීම තවතවත් රැකියා අහිමිවීම්වල රූපාකාරයෙන් ප්‍රතිරාව නංවනු ඇත.

“ගොරතර කප්පාදු වැඩපිලිවෙලවල් මගින් පහර දෙනු ලැබූ කෙටි-කාලීන ආර්ථික වේදනාව” පිලිබිඹු කරමින් දකුනු යුරෝපයේ වැඩි කොටසක් හරහා ව්‍යාප්ත වන ඉහල විරැකියාව ද සමග පීඑම්අයි දර්ශකයේ ඉහල යාම “කලාපය සඳහා වර්ධන අපේක්ෂාවන් පිලිබඳ කලු වලාවක් පතුරති”යි මෑත සංඛ්‍යා දත්ත විශ්ලේශනය කරමින් අයිඑන්ජී බැංකු කන්ඩායමේ ආර්ථික විද්‍යාඥයෙකු වන මාර්ටින් ෆොන් ව්ලීත් සඳහන් කලේ ය.

ෆොන් ව්ලීත් විසින් සදහන් කෙරුනු දරුනු කප්පාදු පිලිවෙත් ඒවායේ ප්‍රතිපලයක් වසයෙන් හුදෙක් “කෙටිකාලීන ආර්ථික වේදනාවකට” හේතු වීම ඉක්මවා යමින් එලැඹීමට නියමිත දශකවලදී මිලියන ගනනක් යුරෝපියානු පවුල්වල ජීවිත විලෝපනය කරනු ඇත.

යුරෝපයේ ජීවන කොන්දේසි කාලකන්නිභාවයට පත් කෙ‍රී තිබෙන වත්මන් ආර්ථික පිලිවෙත්වල පරිමාව කෙතෙක්ද යන්න මහද්වීපයට ලමා ශ්‍රමය පෙරලා පැමිනීම පිලිබද පසුගිය සතියේදී ප්‍රන්ස පුවත්පතක් වන ලා මොන්ඩේහි පලකල ලිපියක් මගින් අවධාරනය කරනු ලැබීය.

“නේපල්ස්හි [ඉතාලියේ තෙවන විශාලතම නගරය] ලමා ශ්‍රමය යලි-ඉස්මතු වීම” යන හිසින් පල කල ලිපිය, දකුනු ඉතාලියේ අගනුවර වෙසෙන තම පවුල් නඩත්තු කිරීමට සහය වීම පිනිස රැකියා සොයා යාම සඳහා දහස් ගනන් සිසුන්ට පාසැල් අත්හැරීමට බල කෙරී තිබෙන අයුරු විස්තර කරයි. 2005 හා 2009 අතර කාලයේදී කැම්පනියා පලාතේ ලමුන් 54,000ක් අධ්‍යාපන ක්ෂේත්‍රය අත්හැර ගොස් ඇති ආකාරය දැක්වෙන පලාත් ආන්ඩුව 2011 වසරේදී නිකුත් කල වාර්තාවක් ලිපිය තුල උපුටා දැක්වේ. මෙම ලමුන්ගෙන් සියයට 38ක් පමන වයස අවුරුදු 13ට අඩු අය වෙති.

විවිධාකාර වෘත්තීන් ගනනාවකට කුඩා ලමුන් සම්බද්ධව සිටීමත් සමග ලමා ශ්‍රමය කලාපය තුල ජීවිතයේ අංගයක් වී ඇත්තේ මොන ආකාරයෙන්ද යන්න වාර්තා කිරීමට ලිපිය උත්සුක වෙයි. එය, නේපල්ස්හි නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ වචන මෙලෙස උපුටා දක්වයි: “ඇත්තවසයෙන්ම, අපි ඉතාලියේ දුප්පත්ම කලාපය වන්නෙමු. එහෙත් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් මෙවැනි තත්වයක් අපි අත් දැක නැත්තෙමු… වයස අවුරුදු 10 දී මේ ලමුන් දවසට පැය 12ක් දැනටමත් වැඩ කරනවා; ඒක සංවර්ධනය වීම සඳහා ඔවුන්ට තිබෙන අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්.”

ලා මොන්ඩේ ලිපිය සදහන් කරන්නේ කලාපයේ ලමුන් හා තරුනයින්ගේ දුක්ඛිත තත්වය පිලිවෙලින් බලයට පැමිනි ඉතාලි ආන්ඩු විසින් හඳුන්වා දෙනු ලැබූ කප්පාදු පිලිවෙත් හා මූල්‍යමය “ප්‍රතිසංස්කරන”වල සෘජු ප්‍රතිපලයක් බවයි. රැකියා විරහිතයන්ට හා දුප්පතුන්ට රාජ්‍ය සුභසාධන වරප්‍රසාදවලට ප්‍රවේශ වීමේ අවස්ථාව තියුනු ලෙස අඩු කිරීම හෝ මුලුමනින්ම කපා දැමීම මෙකී පිලිවෙත් මගින් සිදු කර තිබේ.

කලාපයේ තරුන ජනයා හා ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රධානතම ආධාරය සම්පාදනය කරන්නේ ඉතා සීග්‍රයෙන් අරමුදල් සෝදාපාලුවට යමින් පවතින ප්‍රාදේශීය සංවිධානයන් ය. කැම්පනියා කලාපයේ එවැනි ආයතනවල සේවයේ නියුතු 20,000ක් පමන වන කම්කරුවන්ට පසුගිය දෙවසර සඳහාම වැටුප් ලැබී නැතැයි ලිපිය සඳහන් කරයි.

ලමා ශ්‍රමයේ යලි ඉස්මතු වීම ඉතාලියානු ප්‍රශ්නයක් නොවේ. මෙවැනි භාවිතාවන්ගේ පලවිපාක පිලිබඳ ගද්‍යයෙන් සිත්තම් කල නවකථාකරු චාල්ස් ඩිකන්ස්ගේ උපතින් පසුව වසර දෙසීයක් ගතවන තැන, ලමා ශ්‍රමය සමස්ත යුරෝපයම මුහුන දෙන ගැටලුවක්ව තිබේ. මෙය, යුරෝපියානු සංගමයට හා එහි පිලිවෙත්වලට පිටුබලය දෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති ඇතුලත් යුරෝපයේ දේශපාලන සම්මුතිය පිලිබඳ ව්‍යසනකාරී චෝදනා පත්‍රයකි.

Share this article: