බ්‍රැඩ්ෆර්ඩ් අතුරු මැතිවරනය හා විප්ලවවාදී සමාජවාදී පක්ෂයක අවශ්‍යතාවය

The Bradford by-election and the need for a revolutionary socialist party

Statement of the Socialist Equality Party (UK), 6 April 2012

පසුගිය සතියේ බටහිර බ්‍රැඩ්ෆර්ඩ්හි අතුරු මැතිවරනයෙන් රෙස්පෙක්ට් (ගරුත්වය) පක්ෂයේ අපේක්ෂක ජෝර්ජ් ගැලෝවි ලත් ජයග්‍රහනය දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය පුරා ජනිත කලේ කම්පනය හා වියවුල යි.

යුද විරෝධී හා කප්පාදු විරෝධී මුහුනුවරකින් පෙනී සිටි ගැලෝවි, පසුගිය සිව් දශකයක් පුරා එක දිගට බටහිර යෝර්ක්ෂයර් ප්‍රදේශයේ මෙම ආසනය හිමිකරගෙන සිටි ලේබර් පක්ෂය අතුගා දැමීය. ලේබර් පක්ෂයේ ඡන්ද සංඛ්‍යා‍වෙන් සියයට 38.5ක් හිමිකර ගනිමින්, එයට පැවති 5,000ක බහුතර ඡන්දය පෙරලා දැමූ ගැලෝවි, ඡන්ද 10,000ක බහුතරයකින් ජය ගත්තේය. 2010 මහා මැතිවරනයේ ලේබර් ඡන්ද මෙවර සියයට 20න් කඩා වැටුනි.

මැතිවරනයේදී බැට වැදුනේ ලේබර් පක්ෂයට පමනක් නොවේ. පාලක කොන්සර්වේටිව් හා ලිබරල් හවුල් ආන්ඩුවේ අපේක්ෂකයින් ද පහර කෑමට ලක් විය. ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 56ක් ගැලෝවි හිමිකර ගත් අතර එය ලේබර්, කොන්සවේටිව් හා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ ලබාගත් මුලු ඡන්ද ප්‍රමානය ද ඉක්මවීමකි. බටහිර බ්‍රැඩ්ෆර්ඩ් දිනාගැනීමට බලාපොරොත්තුවූ කොන්සවේටිව් පක්ෂයට ලැබුනේ යන්තම් ඡන්ද 2,746ක් පමනි. එය ඡන්ද 10,000කටත් වැඩි ප්‍රමානයක් අහිමිකර ගත්තේය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයාට යාන්තමින් ඡන්ද 1,505ක් ලැබුනු අතර ඇපය ද රාජසන්තක විය.

දේශපාලන සංස්ථාපිතය තුල පැවති ප්‍රඥාව, හවුල් ආන්ඩුව කෙරෙහි පවතින විරෝධය ගසාකමින් ලේබර් පක්ෂය ජයගනු ඇතැයි යන්නය. නිකමෙකු ලෙස සැලකුනු ගැලෝවිට මැතිවරන ව්‍යාපාර‍ය ආරම්භයේදී දිනන්ට පැවති අවස්ථාව 200ට එකක් විය. ස්කොට්ලන්තය, එංගලන්තය හා වේල්සයේ මැතිවරන මැයි 03දා පැවැත්වීමට නියමිතව තිබියදී නිල පක්ෂ, බ්‍රැඩ්ෆර්ඩ්හි තමන් ලත් අන්ත ජරාජය පැහැදිලි කිරීමේ අපහසුතාවයට මුහුනදී සිටිති.

බටහිර බ්‍රැඩ්ෆර්ඩ් “අහම්බයක්” ලෙස අවධාරනය කරමින්, ප්‍රතිපලය වාර්ගික පිලිවෙත් මත විස්තර කිරීමේ උත්සාහයක ඔවුහු නිරත වෙති. ආසනය තුල ගැලෝවි, තනිකරම ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධයන්ට විරුද්ධ මුස්ලිම් ජනගහනයට ආයාචනය කරමින් ජයගත් බවට ඔවුහු තර්ක කරති.

සැබෑව නම් ගැලෝවි, බ්‍රැඩ්ෆර්ඩ්හි මැතිවරන දිස්ත්‍රික්ක හය පුරාම, ඒවායේ වාර්ගික හෝ ජාතික සංයුතිය නොතකා ජයගෙන තිබීමයි. රෙස්පෙක්ට් පක්ෂ නායිකා සැල්මා යකූබ්ට අනුව, පසුගිය මැතිවරනයේදී ක්ලේටන් දිස්ත්‍රික්කයේ ඡන්දවලින් සියයට 55.5ක් ලබාගත් ලේබර් පක්ෂය, මෙවර "ඡන්ද 40ක් ලබාගනිද්දී රෙස්ට්පෙක්ට් පක්ෂයට දල වශයෙන් 900ක් ලැබී” තිබුනි. ගැලෝවිගේ අවස්ථාවාදී දේශපාලනයේ විරුද්ධවාදියෙකු ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තාවක් තිබේ. ඔහු ස්ටැලින්ගේ සෝවියට් සංගමය හා කියුබාව වර්නනා කලාක් සේම, මැදපෙරදිග ජාතිකවාදී ධනපති පාලන තන්ත්‍රයන්ට ද හුරේ දැමීය.

කෙසේ වෙතත් බොහෝ දෙනෙකු ගැලෝවි අනන්‍ය කරගෙන ඇත්තේ, ඉරාක යුද්ධය පිලිබඳව 2005දී එක්සත් ජනපද සෙනේට් සභාව හමුවේ නොබියව පෙනී සිටි අයෙක් හා පවතින සංස්ථාපිතයේ විරුද්ධවාදියෙකු ලෙසය. බ්‍රිතාන්‍ය, මැදපෙරදිග එක් හෝ තවත් කොල්ලකාරී යුද්ධයකට මැදිහත්ව නැති අවධියක් ගැන කිසිවක් නොදැන වැඩී ආ, ප්‍රථම වතාවට ඡන්දය පාවිච්චි කරන තරුනයින් අතරින් විශේෂයෙන්ම ඔහුට විශාල ලෙස ඡන්ද වැටුනි.

රටේ බොහෝ කොටස් මෙන්ම, හැම විටම විරැකියාව හා දුප්පත්කම නිසා පීඩාවට පත් මෙම නාගරිකයේදී, හවුල් ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට ඔහු දැක්වූ විරුද්ධත්වය පුලුල් සහායක් දිනා ගත්තේය.

බ්‍රැඩ්ෆර්ඩ්හි තරුන විරැකියාව බ්‍රිතාන්‍යයේ සාමාන්‍යය මෙන් දෙගුනයක් වන අතර පසුගිය තෙවසර තුල විරැකියා මට්ටම තුන් ගුනයකින් වැඩි විය. 1997 සිට 2010 දක්වා ලේබර් පක්ෂයේ 13 වසරක ආන්ඩු කාලය තුල නගරයේ නිෂ්පාදන අංශයේ රැකියා 15,000ක් අහෝසි විය.

2008 වසරේ ලේබර් ආන්ඩුවෙහි බැංකු ඇපදීම් හා කොන්සවේටිව්/ලිබරල් ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව, ගතවූ සිව් වසර තුල ක්‍රියාත්මක කල කප්පාදු පියවර මගින් මේ තත්වය උග්‍ර අතට පත් කලේය. මෙම ප්‍රහාර බ්‍රැඩ්ෆර්ඩ්හි ලේබර් පලාත් පාලන ආයතනය විසින් යටහත් ලෙස ක්‍රියාවට නැඟූ අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වියදම් පවුම් මිලියන 67න් කපා දමා ආයතනයේ රැකියා රැකියා 1,000ක් වනසා දැමීය. රැකියා, වැටුප් හා සේවා ආරක්ෂා කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඇඟිල්ලක්වත් නොඑසවූ අතර එම පියවරයන් ක්‍රියාවට නැඟීමට පූර්න සහාය ලබා දුන්හ.

පසුගිය වසරේ ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මහජන නැගිටීම්වලට සමාන කරමින් ගැලෝවි මැතිවරන ප්‍රතිපලය "බ්‍රැඩ්ෆර්ඩ් වසන්තය” ලෙස විස්තර කලේය. "පසුගිය ග්‍රීෂ්මයේදී බ්‍රිතාන්‍ය නගර සිසාරා ගිය නොසංසුන්තා ගිනි ඇවිලවූ එම විරසකය හා අසහනයේම වසන්තය” වෙතින් එය ගලා ආවේය.

සුපිරි ධනවතුන්ගේ පක්ෂ තුන කෙරෙහි මිලියන ගනන් ජනතාව අතර කටුක විරසකයක් පවතින්නේය යන්න පිලිබඳව කිසිදු සැකයක් ඇත්තේ නැත. යූගොව් නමැති මත විමසුකට අනුව ඉතිහාසයේ පලමු වතාවට මැතිවරනයක දී, කොන්සවේටිව්, ලිබරල් ඩිමොක්‍රටික් හා ලේබර් පක්ෂ එක සමානව අවමානයට ලක්ව ඇත. ඩේවිඩ් කැමරොන්, නික් ක්ලෙග් හා එඩ් මිලිබෑන්ඩ් (පක්ෂ තුනේ නායකයින්) හොඳින් වැඩ කරන්නේ යයි හා එසේ නොවන්නේ යයි සිතන ඡන්දදායකයින් අතර පරතරය රිනාත්මක අගයකට එනම් රින සියයට 121 ක පහතම මට්ටමට ඇද වැටී ඇති බව එම සමීක්ෂනයෙන් පෙන්නුම් කලේය.

එයට අනුව බ්‍රිතාන්‍ය ඡන්දදායකයින්ගෙන් සියයට 68ක් බ්‍රිතාන්‍ය දේශපාලනය දූෂිත යයි සිතන්නේය.

ඡන්ද විශේෂඥයෙක් වන මයික් ස්විත්සන් පැවසුවේ ඔහුට "නායකයින් තිදෙනා එක විටම මෙතරම් දුර්වල ප්‍රතිපල ‍ෙපන්වූ අවධියක් බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසය තුලින් සොයාගත නොහැකිවූ” බවයි.

කෙසේ වෙතත් ගැලෝවිට මෙම දූෂිත දේශපාලන පසුබිමට මූලිකව අභි‍යෝග කිරීමේ කිසිදු අදහසක් ඇත්තේ නැත. ඔහුගේ ද රෙස්පෙක්ට් පක්ෂයේ ද න්‍යාය පත්‍රය වන්නේ, මෙම මහජන හුදෙකලාවීම, ලේබර් පක්ෂයෙන් දැනුවත් දේශපාලන බිඳීමක රූපාකාරය නොගැනීමට වග බලා ගැනීමයි.

සිය ගමන් මගේ දෝෂ හඳුනාගත යුතු යයි ලේබර් පක්ෂයට ආයාචනා කිරීම සඳහා ඔහු සිය ජයග්‍රාහී කථාව යොදා ගත්තේය. "මට කොන්සවේටිව් හා ලිබරල් ඩිමොක්‍රටිකයින් ගැන කිසිදු තැකීමක් නැත. එහෙත් වසර 37ක් ලේබර් පක්ෂයට සම්බන්ධව ඉන් 18 වසරක් ලේබර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කල මා, එම පක්ෂය ගැන සංවේදීය.” ඔහු පැවසීය.

ලේබර් පක්ෂයේ දශක දෙකක ධනේශ්වර ගැති හා යුදවාදී දේශපාලනය මේ දැන් සිදුව ඇති ආකාරයට දැවැන්තව ප්‍රතික්ෂේප වීමේ කාරනය තිබියදීත් ඔහු මෙසේ පැවසීය. "මම ලේබර් පක්ෂ‍යෙන් ඉල්ලා සිටින්නේ යලිත් ලේබර් පක්ෂය වන ලෙසට ය. මම ද කොටස්කරුවෙක්ව සිටි හවුල යලි ප්‍රකෘතිමත් කරන ලෙස ය. ටෝරීන් හා ලිබරල් ඩිමොක්‍රටිකයින් පරාජය කල හැකි සැබෑ මාවත එයයි.”

මැතිවරන උද්ඝෝෂනය තුලදී ගැලෝවි, අසා සිටින්නවුන්ට යලි යලිත් කියා සිටියේ තමන් "සැබෑ ලේබර්වාදියෙකු” බවයි. එසේම තවමත් තමා ලේබර් පක්ෂය තුල සිටින බවත්, තම යුද විරෝධී ආකල්ප නිසා 2003දී බ්ලෙයාර් ලේබර් නායකත්වය තමන් නෙරපා නොහල බවත්ය.

ඔහුගේ ආයාචනය පිලිකුල් සහගතය. ලේබර් පක්ෂය කම්කරු පන්තියට සතුරු දක්ෂිනාංශික ධනපති පක්ෂයකි. ගැලෝවි තමන් අත්කරගත් ප්‍රතිපලය පක්ෂයට හෝ එහි කොටසක් තුලට යලි රිංගා ගැනීම සඳහා ලීවරයක් ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වන අතර ලේබර්වරු කප්පාදු හා යුද්ධ‍ෙය් ප්‍රතිපත්ති සඳහා වන තම කැපවීම වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටිති. එඩ් මිලිබෑන්ඩ් ලේබර් පලාත්පාලන මැතිවරන උද්ඝෝෂනය දියත් කලේ, නීතිය හා සාධාරන පාලනය වෙනුවෙන් වන පක්ෂයක් ලෙස කොන්සවේටිව් පාලනය ඉවත් කිරීමට දිව්රුම් දෙමිනි.

ධනවාදය ජාත්‍යන්තර වශයෙන්ම බිඳවැටී ඇත. කම්කරුවන් හා තරුනයින් මුහුනපාන දේශපාලන කර්තව්‍යය එයට පැලැස්තර ගැසීමට උත්සාහ දරන කිසියම් බංකොලොත් ඉදිරිදර්ශනයක් හෝ ඒ සමානව ම මියෑදෙමින් ඇති ලේබර් පක්ෂය "ප්‍රතිසංස්කරනය” කිරීමට නිරර්ථක ලෙස උත්සාහ දැරීම නොවේ. එම මාවත වැටී ඇත්තේ, තවත් විනාශකාරී අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ ආක්‍රමනකාරිත්වයට හා කප්පාදු වෙත පමනි.

වැඩකරන ජනතාව, මෙම කුනුවූ දේශපාලන සැකැස්ම පෙරලා දැමීමේ හා ආර්ථිකය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමට යොමුවූ දේශපාලන බලය දිනාගැනීමේ කර්තව්‍යයට මුහුනපා සිටියි.

පීටර්බරෝ හා ශාන්ත හෙලේනාහි මැතිවරනයන්ට ඉදිරිපත්ව සිටින ස්ටෙෆන් හා වුඩ්බ්‍රිජ් යන අපේක්ෂකයින්ගේ හා සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය මෙයයි.

ධනපති හවුල් ආන්ඩුව පෙරලා දමන, කම්කරුවන්ගේ ආන්ඩුවකින් එය විස්ථාපනය කිරීමට, කම්කරු පක්ෂයෙන් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප සටන් වදියි.

මෙම ක්‍රියාමාර්ගයට සහාය දක්වන සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහාය දෙමින් එහි අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත් විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට එක්වන ලෙසත්ය.

Share this article: