“ජර්මානු මොඩලය” හා යුරෝපීය කම්කරුවන්ට එල්ල කෙරෙන ප්‍රහාරය

The “German model” and the attack on European workers

9 April 2012

05දා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි, ලබන මාසයේ මැතිවරනයෙන් යලි ජයග්‍රහනය කල හොත් දරුනු කප්පාදු වැඩසටහනක් ක්‍රියාවට නගන බවට පොරොන්දු විය. මූලිකව ම රාජ්‍ය අංශයේ දොට්ට දැමීම් හා සෞඛ්‍ය සේවයේ කප්පාදු මගින් යුරෝ බිලියන 53ක් ඉතිරිකර ගැනීමේ සිය අභිලාශය හෙතෙම නිවේදනය කලේය. ඔහුගේ විරුද්ධවාදියා වන සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ෆ්‍රන්සුවා හොලන්ඩේ ගුවන් විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙමින් පැවසුවේ, තමා පත්වුවහොත්, ආන්ඩුවේ සියලු වියදම් වහාම පරීක්ෂාකර බලන බවත් වැඩසටහන් ගනනාවක් අත්හිටුවන බවත්ය.

සාකෝසි කලින් නිවේදනය කර තිබුනේ ශ්‍රම පිරිවැය යුරෝ බිලියන 3න් කපාහරින බවත්, තම යෝජනා, වසර ගනනකට පෙර ජර්මනියේදී හඳුන්වා දුන් 2010 න්‍යාය පත්‍ර වැඩසටහන සමග සසඳා බලන බවත්ය. 2010 න්‍යාය පත්‍රයේ ප්‍රතිපල වශයෙන් ජර්මනියේ ශ්‍රම පිරිවැය සැලකිය යුතු තරම් පහත වැටුනු අතර ප්‍රන්සයට ප්‍රතිකූලව එරට තරඟකාරිත්වය වර්ධනය වූ බව සාකෝසි සඳහන් කලේය. ප්‍රන්සයට සිය විරැකියා මට්ටම ජර්මනියේ තත්වයට පහත හෙලීමට අවශ්‍ය නම්, රට "ජර්මානු මොඩලය” අනු යමින් ඒ හා සමාන පියවර ගත යුතු යයි සාකෝසි පැවසීය.

මේ වසර මුල ඡන්දයෙන් පත් නොවූ, ඉතාලියේ "තාක්ෂනික” අගමැති මාරියෝ මොන්ටි 2010 න්‍යායපත්‍රයට එලෙසම කෘතඥතාව පල කරමින්, ජර්මනිය යුරෝපීය ආර්ථික විවාදයෙන් ජයගෙන ඇතැයි පැවසීය.

2010 න්‍යායපත්‍රයට, 1998 හා 2005 අතර ගේහාඩ් ෂ්රඩර් විසින් නායකත්වය දුන් සමාජ ප්‍රජාතන්ත්‍ර-හරිත පක්ෂ ආන්ඩුව හඳුන්වා දුන් පියවර මාලාවක් අන්තර්ගතය. එම ආන්ඩුව, පශ්චාත් දෙවන ලෝක යුද්ධ ජර්මානු ඉතිහාසයේ ශුභසාධක රාජ්‍යය මත බෙහෙවින් පුලුල් ප්‍රහාරයක් එල්ල කලේය. විශ්‍රාම ගෙවීම් ක්‍රමය පාර්ශවීයව පුද්ගලීකරනය කිරීම හා ශ්‍රම වෙලඳපොල "ප්‍රතිසංස්කරනය” තුලින් සමාජ වියදම් කපා හැරීමෙන්, ව්‍යාපාරික ශ්‍රම පිරිවැය සැලකිය යුතු තරමකින් අඩුකිරීමට කොන්දේසි සැකසුන අතර ආන්ඩුව, උපරිම බදු අනුපාත පහත හෙලා ධන අධි බද්ද අහෝසි කලේය.

මෙහි ප්‍රතිපලය වශයෙන් දැවැන්ත ලාභ ශ්‍රම අංශයක් නිර්මානය විය. වර්තමානයේ ජර්මානු ශ්‍රම බලකායෙන් සියයට 23ක්ම අඩු වැටුප් රැකියාවල නියුක්ත වන අතර උපයන්නේ පැයකට යුරෝ 7කට අඩු සාමාන්‍යයකි. අමතර ශ්‍රම වියදමෙන් හාම්පුතා මුලුමනින්ම වාගේ නිදහස් කරන ඊනියා අර්ධ රැකියාවන්හි නියුතු කම්කරුවන් දශ ලක්ෂ 4.9ක් වේ. කාමරයක් හා නවාතැන් පහසුකම් සහිතව පැයකට යන්තම් යුරෝවක් පමනක් ලබන රැකියාවන්ට යාමට, ෆෙඩරල් රැකියා ඒජන්සි විසින් තවත් කම්කරුවන් ලක්ෂ ගනනකට බලකර තිබේ.

සේවකයින් තවදුරටත් කම්කරු නීති මගින් ආරක්ෂා නොකිරීම නිසා, ඊට අමතරව ජර්මානු සමාගම්වලට, සොච්චම් ගෙවීමක් කිරීමට ඉඩ සැලසෙන ඊනියා සේවා ගිවිසුම් මගින් අවම වැටුප් අවශ්‍යතා හා කොන්ත්‍රාත් ගිවිසුම්වලින් බේරී යාමේ ඉඩ සලසා ඇත. සමහර සමාගම්වල එවන් කොන්ත්‍රාත්තු යටතේ වැඩකරන කම්කරුවන් සංඛ්‍යාව දැනටමත් ස්ථිර ගිවිසුම් යටතේ වැඩකරන කම්කරුවන් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.

මාර්තු මුල යුරෝපා සංගමයේ මුදල් ඇමතිවරු එකඟවූ මූල්‍ය ගිවිසුමේ අරමුන, මෙම මොඩලය යුරෝපය පුරාම පතුරුවා හැරීමයි. ජනවාරියේදී ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්, යුරෝපයේ ප්‍රමුඛත්වය ගන්නේ ආන්ඩුවල වියදම් කැපීම පමනක් නොව, කම්කරු අයිතීන් වැනසීම ද බව පැහැදිලිව ප්‍රකාශ කර තිබුනි. "චීනය හා බ්‍රෙසීලය වැනි නැඟී එන බලවතුන් ද සහිත ජාත්‍යන්තර තරගයට යුරෝපයට මුහුන දිය හැක්කේ, එය ද ජර්මනිය මෙන් තරගකාරී වුව‍ෙහාත් පමනකි,” ඇය පැවසුවාය.

කම්කරු පන්තියට එරෙහි මෙම කඩාපැනීමේ පලමු පරියේෂනාගාරය වන්නේ ග්‍රීසියයි. ග්‍රීසිය එවන් පියවර අත්හදා බැලීමට තෝරාගෙන ඇති යුරෝපයේ පාලක පැලැන්තිය, මහාද්වීපය පුරා කම්කරු පන්තිය මත ඒවා පටවමින් සිටිති.

සමූහ දොට්ට දැමීම් හා වැටුප් කප්පාදුවලට අමතරව ශුභසාධන පද්ධතිය බිඳ විසුරුවා හරිමින් පාරිභෝගික බදු වැඩිකර ව්‍යාපාරිකයින් සඳහා එරට, බදු පාරාදීසයක් බවට පත්කරමින් තිබේ. රටේ අවම මාසික වැටුප යුරෝ 590 දක්වා 160කටත් වඩා කපා ඇති අතර ව්‍යාපාරික බදු පහත හෙලා බොහොමයක් වැටුප් සහන අහෝසිකර තිබේ.

මෙම පියවර මගින් පතුරුවා හැරෙන සමාජ කාලකන්නිකම හා දුප්පත්කම, සියල්ල අලලා ගත් වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීමට උපයෝගී කර ගැනේ. ජර්මානු ආන්ඩුව උතුරු ග්‍රීසියේ "නිදහස් වෙලඳ කලාප පිහිටුවීමට” යෝජනා කර ඇත. මෙම විශේෂිත කලාපයන්හි අවම මාසික වැටුප යුරෝ 590 සිට 300 දක්වා ද ව්‍යාපාරික බදු සියයට 20 සිට 2 දක්වා ද පහත දමනු ලබයි.

එවන් පියවර අනෙකුත් යුරෝපීය රටවලට ද හඳුන්වා දෙනු ලබයි. ස්පාඤ්ඤයේදී සමාගම්වලට වෘත්තීය සමිතිවල අනුදැනීමකින් තොරවම වැටුප් කැපීමටත් වැඩමුර කාලය දීර්ග කිරීමටත් හැකියාව ලැබී ඇත. වැටුප් කැපීමට හා සේවයෙන් පහකිරීමට එරෙහිව සේවකයින් ආරක්ෂා කරන නීති දරුනු ආකාරයෙන් සීමාකර තිබේ.

ඉතාලියේ දී සමාජ සුරක්ෂිත භාවය සඳහා හාම්පුතා විසින් ගෙවිය යුතු දායකත්වය අඩුකර තිබෙන අතර සමාගම්වලට දැන් පවත්නා කොන්ත්‍රාත්තු වෙතට මාරුවෙමින් වැටුප් පහත දැමිය හැක. සියලු කොන්ත්‍රාත් සාකච්ඡා පැවැත්වීම සමාගම් මට්ටමේදී පැවැත්වීමට ඉඩ සලසමින්, ශ්‍රම පිරිවැය කපා දොට්ට දැමීම් පහසු කිරීමේ සැලසුම් ද තිබේ.

තරගකාරිත්වය තවදුරටත් ඉහල නැංවීම සඳහා ජර්මනියේ ප්‍රමුඛ දේශපාලඥ‍යෝ, "2020 න්‍යායපත්‍රයේ” උප ඡේද මාතෘකාව යටතේ තවත් දරුනු "ප්‍රතිසංස්කරන” පැකේජයක් වෙනුවෙන් හඬ නඟති. ජර්මනියේ ප්‍රධාන සමාගම් සමඟ සමීප සබඳතා පවත්වන හිටපු චාන්සලර් ෂ්රඩර්, පසුගිය සතියේදී 2030 න්‍යායපත්‍රයක් ගැන කථා කරන තරම් දුර ගියේය. රෝගී රටවල් තම ජාතික ස්වෛරීත්වය යටත් කර, නව හා වඩාත් පුලුල් පරාසයක සමාජ කප්පාදු පැනවීම සඳහා යුරෝපීය මුදල් ඇමතිවරයෙක් පත්කිරීම පිලිගත යුතු යයි ඔහු අවධාරනය කලේය.

සාර්කෝසි, මොන්ට් හා අනෙකුත් යුරෝපීය මහා ව්‍යාපාරිකයේ දේශපාලන නියෝජිතයින්, "ජර්මානු මොඩලය” වර්නනා කරන විට ඔවුන් අදහස් කරන්නේ, ජර්මානු කම්කරු පන්තියේ අයිතීන් හා ජීවන තත්වයන්ට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම පමනක් නොවේ. ඔවුන් වක්‍රෝත්තියෙන් ඇඟවුම් කරන්නේ, මෙම ප්‍රහාර දියත් කරන ආකාරය ගැන ද වේ. එනම්, වෘත්තීය සමිතිවල පූර්න සහාය ද ඇතිව එසේ කිරීම ගැනය.

2010 න්‍යායපත්‍රය ජර්මානු ආන්ඩුවේ ද වෘත්තීය සමිතිවල ද ඒකාබද්ධ ව්‍යායාමයක ප්‍රතිපලය විය. ශ්‍රම වෙලඳපොලේ මූලික ප්‍රතිසංස්කරන වර්ධනය කලේ, අයිජී මෙටල් සමිති නිලධරයන් හා වොක්ස්වගන් සමාගමේ පිරිස් කලමනාකරු පීටර් හාට්ස්ගේ මූලිකත්වයෙන් පැවති කොමිසමක් විසිනි. අවශ්‍යයෙන්ම ආන්ඩුව එම වැඩසටහනට සිය රබර් මුද්‍රාව තැබීය.

ශුභසාධන කප්පාදුවට විරුද්ධව 2004 මහජන පෙලපාලි හටගත් විට සමිති, ඒවා වාෂ්ප කර මැඬීම පිනිස වෙහෙස නොතකා වැඩ කලහ.

එදා මෙදා තුර බලයට පත් සෑම ජර්මානු ආන්ඩුවකට ම, සමිති මත මුලුමනින්ම විශ්වාසය තැබීමට හැකිවී තිබේ. මෑතක දී ස්ක්ලෙකර් ෆාමසි සමූහයේ 11,000ක් සේවකයින් දොට්ට දැමීමේදී වර්ඩි සමිතිය රැකියා ආරක්ෂා කිරීමේ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීම ප්‍රතික්ෂේප කලා පමනක් නොව, සමාගමට එරෙහිව කිසිදු අධිකරනමය පියවරක් නොගන්නා ලෙස ද කම්කරුවන්ට බලකර සිටියේය. රාජ්‍යයේ හා සමාගම්වල සහන භුක්ති විඳින සමිති, සිය ප්‍රමුඛ භූමිකාව ලෙස සලකන්නේ සේවාස්ථානයේ කුමන හෝ නොසංසුන්තාවක් මැඩ පැවැත්වීමයි.

චීනයේ හා බ්‍රෙසීලයේ මට්ටම්වලට සන්සන්දනාත්මකව යුරෝපය පුරා වැටුප් හා ශ්‍රම පිරිවැය කැපීමේ මාධ්‍යයන් ලෙස අගය කරන, බොහෝ ඔජ වඩවන, ජර්මානු මොඩලයේ හැටි එහෙමයි. කම්කරුවන්ට සිය රැකියා හා ජීවන තත්වයන් ආරක්ෂා කරගත හැක්කේ, සමිති නිලධරයට එරෙහි කැරැල්ලකින් නැඟී සිටිමින් ජාතික දේශසීමාවන්ගෙන් ඔබ්බෙහි සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ඇතිකරගන්නා එකමුතුවක් තුලින් පමනකි.

ක්‍රිස්ටෝෆ් ඩ්‍රියර්

Share this article: