ගෝලීය ආර්ථික කඩාවැටීම ගැඹුරු වෙද්දී මූල්‍ය කැලඹීම වර්ධනය වෙයි

Financial turbulence mounts as global economy slides deeper into slump

17 April 2012

එක්සත් ජනපද හා යුරෝපීය මහ බැංකුවලින් පොම්ප කෙරුනු ලාභ මුදල් මගින් පිටුබලය දෙන ලදුව, මූල්‍ය වෙලඳ පොලවල්, මේ වසරේ වැඩි කාලයක් තිස්සේ, ඉහල නැගීමක් අත්විඳිමින් සිටී. එහෙත් ක්ෂය රෝගියකුගේ කම්මුල්වල මතුවන රෝස පැහැය මෙන්, කොටස් මිල ගනන්වල ඉහල නැග්ම ආර්ථික සෞඛ්‍ය සම්පන්න භාවයක ප‍්‍රකාශනයක් නොව, ගැඹුරු වන රෝගී තත්වයක ලකුනකි.

යුරෝපීය මූල්‍ය අර්බුදයේ තවත් වටයක් වහ වහා එලඹෙන බවට කෙරෙන අනතුරු ඇඟවීම් මධ්‍යයේ ස්පාඤ්ඤ හා ඉතාලි නයවල පොලී අනුපාතික යලිත් වරක් තියුනු ලෙස ඉහල නැගීමට පටන් ගැනීමත් සමග ම, පසුගිය දින කිහිපය තුල දර්ශනය වෙනස් වී තිබේ. බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද මූල්‍ය විශ්ලේෂකයකුට අනුව, පොලී අනුපාතික නැගීමේ වේගය "යලි පැනනැගි වෙලඳ පොල සන්ත‍්‍රාසයක මූලික ලක්ෂන” එලිදරව් කරන තතු යටතේ, "යුරෝ අර්බුදය යලි පැමින තිබේ”.

ස්පාඤ්ඤය පිලිබඳ වෙලඳ පොල භීතීන් පැන නැගුනේ, ඊලඟ වසර දෙක තුල දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 5.5කට සමාන වන ප‍්‍රමානයක් ආන්ඩුවේ වියදම්වලින් කපා හැරීම ආන්ඩුවේ අභිප‍්‍රාය බවට අගමැති මරියානෝ රජොයි කල නිවේදනයට ඉක්බිතිව ය. මෙම කප්පාදුව වනාහි ප‍්‍රධාන කාර්මික රටක් විසින් මේ වන තෙක් සිදු කරනු ලැබීමට නියමිත විශාලතම කප්පාදුවලින් එකකි.

කෙසේවෙතත්, මූල්‍ය කැලඹීම්වල නව වටයේ ප‍්‍රභවය, හුදෙක් ස්පාඤ්ඤයේ හා ඉතාලියේ තත්වය නොව, සමස්තයක් ලෙස ලෝක ධනවාදී ආර්ථිකයේ ගැඹුරු වන රෝගී භාවයයි. ගෝලීය මූල්‍ය අර්බුදයේ ආක‍්‍රමනයෙන් සිවු වසරකට පසුව, කිසිවක් විසඳී නැත. ෆිනෑන්ෂල් ටයිම්ස් සහ බෲකිංස් ආයතනය විසින් පිලියෙල කරන ලද වාර්තාවක වචනවලින් කියතොත්, ලෝක ආර්ථිකය "පවතින්නේ ජීව ආධාරක පද්ධතියක සහයෝගය මතය”.

එය නොගිලී පවත්වාගෙන යනු ලබන්නේ බොහෝ සෙයින් මූල්‍ය පද්ධතිය තුලට දැවැන්ත මුදල් කන්දරාවන් පොම්ප කිරීම මගිනි. බෲකිංස් ආයතනයේ මහාචාර්ය එස්වර ප‍්‍රසාද්ට අනුව, "ශක්තිමත් ඉල්ලූමක් නැතිකම ද ඒවායේ සීමාවන් දක්වා ම ප‍්‍රසාරනය වී ඇති හා එතරම් ප‍්‍රකර්ෂනයක් උපදවා ගැනීමට සමත්ව නැති, පිලිවෙත් උපාමාර්ග ද දුර්වල මූල්‍ය පද්ධති හා දේශපාලන අවිනිශ්චිතතාව මගින් මතු කෙරෙන දැවැන්ත අවදානම් ද හේතු කොටගෙන ගෝලීය ආර්ථික ප‍්‍රකෘතිමත් වීම තවමත් අපැහැදිලි කෙඳිරීමක් පමනි.”

පසුගිය සතියේ දී කල කතාවක දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කලමනාකරන අධ්‍යක්ෂ කි‍්‍රස්ටින් ලගාර්ඩ්, ලෝක ආර්ථිකය මුහුන දෙන අවදානම් "තවමත් ඉහල” බවටත් "තත්වය බිඳෙන සුලු” බවටත් අනතුරු ඇඟවීය. ආර්ථික වර්ධනයට සහයෝගය දෙන පිලිවෙත් ලගාර්ඩ් ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, එවන් කතා, බැංකු හා ගෝලීය මූල්‍ය ආයතන විසින් නියම කරනු ලබන, ජාමූඅ විසින් සවිබල ගැන්වෙන, කප්පාදු පිලිවෙත් සඳහා හුදු සැරසිල්ලක් පමනි.

මෙම වැඩපිලිවෙලේ ප‍්‍රතිවිපාක යුරෝපය තුල දී වඩාත් පැහැදිලිව දැක ගත හැකිය. ආර්ථික පසුබැස්මේ ප‍්‍රවනතා මහාද්වීපය පුරාම ගැඹුරු වෙද්දී ගී‍්‍රසිය 1930 ගනන් මතකයට නංවන කොන්දේසි කරා දැනටමත් යලි තල්ලු කරනු ලැබ ඇත.

ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ (ඕඊසීඩී) මෑතම තක්සේරුව, 2012 දී යුරෝපයේ වර්ධනය මුලුමනින්ම පාහේ ශූන්‍යය කරා ලඟා වනු ඇතැයි පෙන්වා දෙයි. මුලුමනින්ම වැදගත් ජර්මනියේ ආර්ථිකය මේ වසරේ පලමු කාර්තුව තුල යන්තම් සියයට 0.1කින් වර්ධනය වෙතැයි ද දෙවන කාර්තුවේ දී සියයට 1.5ක දුබල වර්ධනයක් කරා නැගෙතැයි ද අපේක්ෂා කෙරේ.

ප‍්‍රන්සය සම්බන්ධයෙන් අදාල සංඛ්‍යා වනු ඇත්තේ, සියයට 0.2ක හැකිලීමකින් පසුව සියයට 0.9ක නැගීමකි. ඉතාලිය කාර්තු දෙකේදීම පිලිවෙලින් සියයට 1.6ක හා සියයට 0.1ක වැටීමක් දකිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එක්සත් රාජධානිය සියයට 0.4ක හැකිලීමකින් පසුව සියයට 0.5ක නැගීමක් අත්දකිනු ඇතැයි අනාවැකි පල කෙරෙයි.

ඕඊසීඩී, එක්සත් ජනපදය සඳහා "ශක්තිමත්” වර්ධනයක් පෙරදකින නමුත්, එය මෑතම රැකියා වාර්තාව මගින් නිෂ්ප‍්‍රභා කෙරේ. එය පෙන්වා දෙන්නේ, ඇමරිකානු ආර්ථිකය මාර්තු මාසයේ දී එකතු කලේ රැකියා 120,000ක් පමනක් බවයි. එනම්, ඊට පෙර මාස තුන තුල පැවති වර්ධනයෙන් හරි අඩකටත් වඩා අඩු අගයකි.

2008 සැප්තැම්බර් ගෝලීය මූල්‍ය කඩාවැටීමේ ආරම්භයේ පටන්ම ධනපති ක‍්‍රමයේ මුක්කුකරුවෝ, "ආසියානු ශත වර්ෂයක්” දෙසට යොමු විය හැකි නව මාවත් විවර කිරීමක් ලෙස චීනයේ වර්ධනයට ඇඟිල්ල දිගු කොට තිබේ. එහෙත් මෙම සමපේක්ෂන, චීනයේ ආර්ථික වර්ධනය නිරතුරුව ම ලෝක ආර්ථිකය මත රඳා පැවතී ඇත යන කාරනාව නොතකා හැර තිබේ. මෙම සබඳතා චීනයේ ප‍්‍රසාරනයට කේන්ද්‍රීය වූයේ යම් සේ ද එමෙන්ම ඒවා දැන් ගැඹුරු වන ලෝක ආර්ථික කඩාවැටීම සඳහා සම්පේ‍්‍රෂන යාන්ත‍්‍රනය ද වේ.

වසරේ ප‍්‍රථම මාස තුන තුල චීනයේ වර්ධන වේගය සියයට 8.1ක් යයි පසුගිය සතියේ දී නිවේදනය කෙරුනි. එය කාර්තු 11ක් තුල පැවති අඩුම අගය වන අතර ආන්ඩුවේ පෙරදැකීම වූ සියයට 8.4ට වඩා පහල ය. වර්ධනය වේගය පහල බැසීම එක වරක් පමනක් සිදු වූ සිද්ධියක් නොවේ. 2010 වසරේ අවසාන මාස තුනේ පටන් සෑම කාර්තුවක ම චීනයේ ආර්ථික ප‍්‍රසාරනය මන්දගාමී වෙමින් පවතී. ආනයන සංඛ්‍යා ලේඛන, දුබල වන ආර්ථිකයක පැහැදිලි සලකුනු පෙන්නුම් කලේය. සමස්ත ආනයන ඉහල නැග්ගේ සියයට 5.3කින් පමනි. තෙල් ආනයන සියයට 5.8කින් ද තඹ ආනයන සියයට 4.6කින් ද යපස් සියයට 3.2කින් ද වැටුනි.

සැබෑ දදේනි සංඛ්‍යා ලේඛන නිල අනුපාතිකයකට වඩා බෙහෙවින් පහල විය හැකිය. ෆෝබ්ස් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂනයකට අනුව, ආර්ථිකයේ සෙසු අංශ ඉක්මවමින් වර්ධනය වන විදුලි බල නිෂ්පාදනය වැඩුනේ සියයට 7.1කින් පමනි. එයින් අදහස් කෙරෙන්නේ, සැබෑ සමස්ත වර්ධන අනුපාතිකය සියයට 6 තරම් පහල අගයක් විය හැකි බවයි. "මේ අවස්ථාවේ ගම්‍යතාව පවතින්නේ පහල දෙසටය. දිනෙන් දින අප දකින්නේ ආපසු හැරවීමට වඩවඩා අසීරු ගාමකයකි.” යයි එම ලිපිය සටහන් කලේය.

මීට සමාන ප‍්‍රවනතා ඉන්දියාව තුල දී ද දැක ගත හැකිය. එහි දී කාර්මික වර්ධනයේ හා ආයෝජනවල ශීඝ‍්‍ර වැටීමක් මධ්‍යයේ ආර්ථික වර්ධනය සියයට 7ට වඩා පහල අගයක් දක්වා වැටී තිබේ. යුරෝපීය අර්බුදයේ බලපෑම යුරෝපයට කෙරෙන අපනයන වෙලඳාම් පිලිබඳ සංඛ්‍යා ලේඛන තුල පිලිබිඹු වේ. එය 2010-2011 සඳහා වූ සියයට 37.6ට සංසන්දනාත්මකව මාර්තු මාසයේ දී වැඩුනේ සියයට 19.5කිනි.

ලෝක ආර්ථිකයේ ගැඹුරු වන පසුබැස්මක ප‍්‍රවනතාවන්ට ක්ෂනික දේශපාලන ඇඟවුම් පවතී. ඒවා, ආර්ථිකයේ සෑම අංශයක් තුල ම දොට්ට දැමීම් හා වැටුප් කප්පාදු සමග සම්බන්ධිත, කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම මගින්. කම්කරු පන්තියට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රහාරය උත්සන්න කරනු ඇත. මෙම උත්සන්න කෙරුනු ප‍්‍රහාරයට මුහුන දීමට කම්කරු පන්තිය සමත් වනු ඇත්තේ, කම්කරු ආන්ඩු හා සමාජවාදය සඳහා අරගලය තුල කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව මත පාදක වූ තමන්ගේ ම දේශපාලන මූලෝපායක් මගින් ම පමනි.

නික් බීම්ස්

Share this article: