නිව් යෝර්ක් ටයිම්ස් සිරියාව හා ඉන් ඔබ්බෙහි යුද්ධය සඳහා බෙර වයයි

New York Times beats drum for war in Syria … and beyond

23 April 2012

එක්සත් ජනපදය ඉරාක ආක්‍රමනය සූදානම් කරන අවධියේ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය ඉටුකල කැපී පෙනෙන ක්‍රියාකලාපය සිහිගන්වමින් එය දැන්, සිරියාවට එරෙහිව යුද්ධය සඳහා කතෘමන්ඬල උද්ඝෝෂනයක් පටන්ගෙන ඇත.

වොෂින්ටනය රුසියාවට හා චීනයට එරෙහිව වඩාත් ආක්‍රමනශීලී ප්‍රවිෂ්ටයක් ගත යුතු යයි කියා සිටින අතර නිව් යෝර්ක් ටයිම්ස්, සිරියාවට එරෙහිව එක්සත් ජනපදය වෙනුවෙන් එහි දේශපාලන කැපවීම හා මිලිටරි ආක්‍රමන සඳහා උද්ඝෝෂනය වැඩි කරමින් පසුගිය 21දා නරුම හා දෙපිටකාට්ටු කතුවැකියක් පලකලේය. යුද්ධයට එරෙහි පුලුල් මහජන විරෝධය වාෂ්පකර හැරීමේ අටියෙන් ඉරාකයේ ප්‍රකාශිත "ජනඝාතන අවි” පිලිබඳ බුෂ් පාලනයේ බේගල් කරගසාගෙන, එක්සත් ජනපදය ඉරාක යුද්ධයට සූදානම්වන අවධි‍ෙය් ඉටුකල ක්‍රියාකලාපයට යලි පන පොවමින් පුවත්පත, "අසාද්ගේ මුසාවාද” යන මැයෙන් ලියන කතුවැකියම ඒ හැටියට ගත් කල බේගල් සමූහයකි.

කලාපය තුල අසාද්ගේ පැවැත්ම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව පෙන්වමින් පුවත්පත, ඔහුගේ "කෘරත්වය හා අදූරදර්ශී භාවය” පිලිබඳව ඔහුට චෝදනා නඟයි. මැද පෙරදිග ඇති බහරේනය, සවුදි අරාබිය, යේමනය, ඊජිප්තුවේ මිලිටරි ආඥාදායකත්වය හා ඊස්රායලයේ නෙතන්යාහු ආන්ඩුව යන එක්සත් ජනපදයේ සියලුම මිත්‍ර හා සහචර රාජ්‍යයන් සියල්ල ඒ කියන ලක්ෂනම පෙන්නුම් කරයි. නිදසුනක් වශයෙන් මේ සතියේ, එක්සත් ජනපදය සමග සමීපව බැඳී ඇති දක්ෂිනාංශික තන්ත්‍රයන් දෙකක් ඇති බහරේන් හා ටියුනීසියාවේ අන්ඩු විරෝධී උද්ඝෝෂන ප්‍රචන්ඩ ලෙස මැඩ පවත්වනු ද දැවැන්ත පරිමානයේ යුද අපරාධයකට සම කල හැකි ඉරානයට එරෙහි ඒකපාර්ශවික ප්‍රහාරයක් වෙනුවෙන් ඊස්රායල් නිලධාරීන් කඩුව වනනු ද දැකිය හැකි විය.

සිරියාවේ "රුධිරස්නානය” ගැනත්, "වඩාත් පුලුල් යුද්ධයක” අන්තරාය ගැනත් වැලපෙමින් ටයිම්ස් කතුවැකිය ලියා ඇති නමුත්, පුවත්පත හඳුන්වා දෙන හා ඔබාමා පාලනය විසින් ක්‍රියාවට නගන පිලිවෙත අනිවාර්යෙන්ම යොමුව ඇත්තේ එම ප්‍රතිවිපාකයන්ම ජනිත කරන දිසාවට ය. එක්සත් ජනපද ආන්ඩුව කෙලින්ම හෝ වක්‍ර ලෙස ඇමරිකානු විශේෂ කාර්ය බලකාය හා එහි කටාර් හා සවුදි අරාබිය යන බලල් අඬු යොදාගෙන සිරියානු විපක්ෂය සන්නද්ධ කරන්නේය යන කාරනය සිය පාඨකයින්ගේ මතකයෙන් මකා දැමීමට ටයිම්ස් පත්‍රය කැමැත්තක් දක්වයි. තව ද "පුලුල් යුද්ධයක්” පිලිබඳ තර්ජනය නැ‍ගෙන්නේ කොයි දිසාවෙන් ද? යුදකාමී අසාද් සිය අසල්වැසි රටවල් ආක්‍රමනය කිරීමට කැමැත්තක් නොදක්වයි. අන්තරාය මතුවෙන්නේ පසුගිය වසරේ ලිබියාවට එරෙහිව සිදුකල නේටෝ ක්‍රියාන්විතයට සමාන ආකාරයෙන් එක්සත් ජනපදය නායකත්වය දරන හවුලේ මැදිහත්වීමෙනි.

"නිස්කාරන භූ දේශපාලන ව්‍යවසායක නිරතව සිටීම” පිලිබඳව චීනයට හා රුසියාවට දොස් පවරන අතර සිරියානු අර්බුදය තුල එක්සත් ජනපදයේ අරමුනු මානවවාදී හා පරහිතකාමී පවා වන බව පවසමින් කතුවැකිය, මොස්කෝවට හා බීජිනයට චෝදනා නැඟීම වඩාත් නරුම සහගතය.

ටයිම්ස් පත්‍රය, එක්සත් ජනපදය නිශ්චිත ආසක්තයන් හඹා නොයන බවක් පෙන්නුම් කරන නමුත් වොෂින්ටනය, දශකයක කාලයක් පුරා ආක්‍රමනකාරී යුද්ධයේ මාධ්‍යයන් තුලින් සිය "භූ දේශපාලනික” ව්‍යවසාය ක්‍රියාත්මක කර තිබේ. එයට නිශ්චිත අරමුනක් ඇත. එනම්, සිය භූ දේශපාලනික ප්‍රතිවාදීන්ගේ වියදමෙන් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ පොහොසත් බලශක්ති සංචිත මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය පිහිටුවා ලීමයි. මෙම අරමුනු කෙරේ චීනය හා රුසියාව දක්වන විරුද්ධත්වය "නිස්කාරනය”.

සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා දියත්කර ඇති වත්මන් ව්‍යාපාරය, මෙම මිලිටරි ආක්‍රමනයේ තවත් අදියරක පිපිරීමක් නියෝජනය කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රකාශකයෙක් පිලිගෙන ඇති පරිදි ඩැමස්කස්හි බෂීර් අල් අසාද් තන්ත්‍රයට පහරදිමේ අරමුන, සිරියානු ජනතාවගේ දුක්ගැවිලි පිලිබඳ උත්සුකයන් මත නොව සිදුවන්නේ, අරාබි ලෝකය තුල ඉරානයේ හොඳම මිතුරා පෙරලා දැමීම මගින් තවදුරටත් එරට හුදෙකලා කිරීම පිනිස ය.

ටයිම්ස් කතුවැකිය මෙසේ තර්ක කරයි. "රුසියාව සිරියාවට ආයුධ අලෙවිකරන අතර මධ්‍යධරනී මුහුදේ පිහිටි එරට ටාටුස් වරාය ප්‍රයෝජනයට ගනියි. ලිබියාවේ සිදුවීම්වලින් පසුව රුසියාව මෙන්ම චීනය ද තවත් බටහිර "ජයග්‍රහනයක” ඉඩ ඇවිරීමට අදිටන් කොට සිටින අතර අසාද් මහතාගේ ඇ‍ඟේ එල්ලී සිටිති. මෙම ආකල්පය "නිස්කාරන” යයි පෙන්වා දෙමින් පුවත්පත, "සිය අලාභ කපාගන්නා තැනකට මොස්කෝව හා චීනය තල්ලු කරන ලෙස ඔබාමා පාලනයට උපදෙස් දෙයි.

අසාද්ට වල කැපීම සඳහා ආර්ථික සම්බාධක දැඩි කිරීම හා අනෙකුත් පියවරයන්ට එරෙහි චීනයේ හා රුසියාවේ ආස්ථානය අතහැර දැමීම පිනිස බලපෑම් කිරීම වෙනුවෙන් උල්පන්දම් දෙන ටයිම්ස්හි පිලිවෙත කෙලින්ම යොමු වන්නේ, ලිබියානු වර්ගයේ "තවත් යුද්ධයකට” සහාය දීම ප්‍රතික්ෂේප කරන නමුත්, මිලිටරි මැදිහත්විමකට ය.

ඔබාමා පාලනය, ඉක්මන් මිලිටරි මැදිහත්වීමක් වෙනුවෙන් "වැදගැන්මකට නැති රාජ්‍යතාන්ත්‍රික කටයුතු” අතහැර දැමිය යුතු බව කියා සිටින අනෙක් ප්‍රමුඛ එක්සත් ජනපද දිනපතා පුවත් පත වන වොෂින්ටන් පෝස්ට් 22දා පල කල කතුවැකියෙන් මෙම අන්තරායන් ඉස්මතු කර තිබේ. ප්‍රතිපල වශයෙන් සිරියානු තන්ත්‍රය සියදිවි නසාගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් සෙවිය යුතුය යන මහජන මතය සමග අසාද් පෙරලා දැමීමේ එක්සත් ජනපද අරමුන එකට පෑහෙන්නේ නැති බව පෙන්වා දෙමින් පුවත්පත, සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කාලය කා දැමීමක් ලෙස බැහැර කරයි.

සිරියාව අභ්‍යන්තරයේ කැරලිකරුවන් යටතේ පවතින ප්‍රදේශ වෙත "මානව මංතීරු” නිර්මානය කරන ආකාරයේ මිලිටරි පියවර හෝ සිරියානු-තුර්කි දේශසීමාව හරහා සිදු විය හැකි යයි පවසන සිරියානු කඩාවැදීමකට එරෙහිව තුර්කිය ආරක්ෂා කරන නේටෝ මිත්‍ර පාර්ශවයේ මැදිහත්වීමක් දිරිමත් කිරීමක් කෙරෙහි දැනට ටයිම්ස් පත්‍රය දෙගිඩියා සහගත වන අතර පෝස්ට් පත්‍රය "තන්ත්‍රයේ බිඳ වැටිමකට හේතු කාරක විය හැකි නවීන මිලිටරි බලය සමග එකට” ගනු ලබන පියවරයන් කෙරෙහි සිය උද්යෝගය විවෘතව පල කරයි.

කතුවැකි ඇමරිකානු පාලක පන්තිය තුල කොටස්වල පෙලගැස්ම ගෙනහැරපායි: එක්සත් ජනපද ආසක්තයන් ‍මුදුන්පමුනුවාගත හැකි එකම මාවත ලෙස දැකගන්නා යුද්ධයට එක් කොටසක් නැඹුරුවී සිටින අතර මතුපිටින් ඊට වඩා අඩු යුදවාදී අනෙක් කොටස, තම "මානවවාදී” හා "සාමකාමී” කියාපැම් අතරතුර අඩියෙන් අඩිය ඒ දිසාවට පා තබමින් සිටිති.

ඔබාමා පාලනය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් අතර එහි සගයෝ සිරියාවට එරෙහි මිලිටරි ආක්‍රමනයක් දෙසට නොසැලී ගමන් ගනිමින් සිටිති. 21දා මාධ්‍ය හමුවක දී කතාකරමින් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ලිබියාවට එරෙහි ප්‍රහාරයට රබර් මුද්‍රාව තැබූ එරටට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාවට පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි එම කොටස ම අවධාරනය කරමින් එක්සත් ජාතීන්ගේ යෝජනාවක් වෙනුවෙන් හඬ නැඟුවාය.

ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි හොම්ස් නගරයේ සිරියානු මිලිටරි කටයුතු, බෙන්ගාසියට එරෙහි ගඩාෆිගේ මිලිටරි තර්ජනයන්ට සමාන කරමින් ඊටත් වඩා දුර ගියේය. ලිබියාවට එරෙහි ආරම්භක එක්සත් ජනපද-නේටෝ ගුවන් ප්‍රහාර හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාව යන දෙකටම කඩතුරාව සම්පාදනය කලේ එම තත්වයයි. "විපක්ෂයට සිරියාවෙන් පිටව යාමේ හැකියාව ගෙන දෙන මානව මංතීරු නිර්මානය කරන” ලෙස ද සාකෝසි කියා සිටියේය. වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රහාර දියත් කිරීම සඳහා අසාද්ගේ සන්නද්ධ ප්‍රතිවාදීන්ට ආයුධ සම්පාදනය කරන හා පුහුනුවට ඉඩ සලසන ලිබියාවේ ජාතික සංක්‍රමනීය කවුන්සිලයට සමාන වර්ගයේ කලාපයක් නිර්මානය කිරීමට එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් මිලිටරිමය වශයෙන් මැදිහත් විය යුතුය.

එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය, තමන් මුලාකර, අධිරාජ්‍යවාදී බලවතුන් හා ඊස්රායලය වැනි ඔවුන්ගේ බැලයන් විසින් මිලිටරි ආක්‍රමනයේ ද ආර්ථික සම්බාධකයන්ගේ ද දිගුකාලීන ගොදුරක්ව ඇති පීඩිත රටක් වන සිරියාවට පහර දීමේ සෑම පියවරකට ම විරුද්ධ විය යුතුය. සිරියාව වනාහි, ‍බලශක්ති සම්පත්වලින් පොහොසත් පර්සියානු ගල්ෆ් හා මධ්‍යම ආසියානු කලාපයන්හි පාලනය සියතට ගැනීමට අල්ලන පොරයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් තමන්ට ඇති ප්‍රධානම බාධකය ලෙස සලකන ඉරානය ඉලක්ක කර දැන් එරටට එරෙහිව වඩාත් විනාශකාරී යුද්ධයක් දිසාවට තබන පලමු අඩිය වෙයි.

වඩාත් අනතුරුදායක වන්නේ, එක් පසෙකින් එක්සත් ජනපදය ප්‍රමුඛ කන්ඩායම ද අනෙක් පසින් රුසියාව හා චීන‍ෙය් නිහඬ සන්ධානය ද අතර උත්සන්න වන ආතතීන්, කියා නිමකල නොහැකි ප්‍රතිවිපාක ජනනය කරනු ඇති න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් කරා තල්ලුවීමයි.

පැට්‍රික් මාටින්

Share this article: