කම්කරුවන්ට හඬක් නැති ග්‍රීක මැතිවරනය

Greek elections: Workers have no voice

28 April 2012

මැයි 06දා ග්‍රීක මැතිවරනයට, 1974 මිලිටරි ඒකාධිපතිත්වය අවසන් වීමෙන් පසුව කිසිදු මැතිවරනයක දී දක්නට නොලැබුනු තරමේ පක්ෂ සංඛ්‍යාවක් තරග වදිනු ඇත. පසුගිය සතියේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ලියාපදිංචි වී ඇති පක්ෂ 36න් 32කට තරග කිරීමට අවසර ලබා දුන්නේය. ඡන්ද පත්‍රිකාවට බොහෝ පක්ෂ ඇතුලත්ව තිබුන ද කම්කරුවන්ට මෙම මැතිවරනයේ දී හඬක් ඇත්තේ නැත.

පසුගිය සතියේ දී යුරෝපීය සංගමයේ (යුසං) සභාපති බරෝසෝ, එය ඊලඟ ග්‍රීක ආන්ඩුව මත පැනවීමට යන වැඩසටහන නිවේදනය කලේය. "වර්ධනය හා සේවා නියුක්තිය සඳහා වන මෙම යුරෝපීය ආරම්භකත්වය සඳහා” අතිරේක අයවැය කප්පාදු පමනක් නොව, විදුලිබල සමාගම් හා වෙලඳපොලවල් විවෘත කිරීම ඇතුලු පුලුල් පුද්ගලීකරනය ද අවශ්‍ය කෙරේ. තව ද බරෝසෝ, 2014 වසර වන විට පුද්ගලික අංශය තුල ආන්ඩුව විසින් පනවනු ලබන වැටුප් කප්පාදු ද නිවේදනය කලේය. එය අවම වශයෙන් සියයට 15ක් වනු ඇත.

මූර්ත වැටුප් සියයට 65න් කපාහැරීමට ද, නිල තරුන විරැකියා අනුපාතය සියයට 50 තෙක් ඉහල නැගීමට ද නොමිලයේ සුප් පිඟානක් ලබාදෙන මධ්‍යස්ථානවල දිගු පෝලිම් ඇතිවීමට ද තුඩුදුන් කම්කරු පන්තියට එල්ල කෙරුනු පූර්ව ප්‍රහාර සඳහා කෙලින්ම නියෝග දුන්නේ යුරෝපීය සංගමය, ජාමූඅ හා යුරෝපීය මහ බැංකුව යන ත්‍රිත්වය විසින්ය.

ජෝර්ජ් පපන්ද්‍රියෝගේ නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍ර පැසොක් ආන්ඩුවට මෙම ප්‍රහාර එල්ල කිරීම වඩ වඩාත් දුෂ්කර වූ කොන්දේසි යටතේ, හිටපු යුමබැ උප සභාපති ලූකාස් පපඩිමෝස්ගේ "තාක්ෂනික” ආන්ඩුවකින් එය නිල උත්සවයකින් තොරව ම විස්ථාපනය කරන ලදී. වත්මන් මැතිවරන දින වකවානු පවා නියම කර ඇත්තේ ත්‍රිත්ව‍ෙය් උපදෙස් මතය.

වත්මන් ආන්ඩුව සැදුම් ලත් පැසොක් හා කොන්සවේටිව් නව ප්‍රජාතන්ත්‍ර පක්ෂවලට අමතරව, මෙවර මැතිවරනයට සිරිසා නමැති වාම රැඩිකල් හවුල ද තරග කරයි. "එක්සත් සමාජවාදී පෙරමුන” නාමය යටතේ ඔවුන් තරග කරන්නේ, බොහෝ කාලයක් කප්පාදු පියවරයන්ට සහාය දෙමින් සිට තම ඡන්ද පදනම බිඳ වැටෙනු දැක කල්පසුවී ඒවාට එරෙහිව පෙනී සිටි හිටපු පැසොක් මන්ත්‍රීන් සමග සන්ධාන ගතව ය.

සිය මැතිවරන ප්‍රකාශනය තුල මෙම සන්ධානය සමාජ පිරිවැය තවදුර කප්පාදුවලට එරෙහි වන අතර තමන් මෙතෙක් කර ඇති කප්පාදු ආපසු කරකවන බවට ද පොරොන්දු වෙති. කෙසේ වුව ද ඒ සමග ම ඔවුන් යුරෝපීය සංගමය හා යුරෝ කලාපයේ ග්‍රීසියෙහි සාමාජිකත්වය සඳහා පෙනී සිටීම මගින් ඉහත සංවිධානයන්හි නිර්දේශ ආරක්ෂා කරයි. ග්‍රීක නය බර කපා නොහරින අතර සිදුවන්නේ, ඒ පිලිබඳව යලි සලකා බැලීමක් පමනකි. මෙම තත්වයන් යටතේ සමාජ ප්‍රහාර ආපසු කැරකවීම හුදු ඇස් බැන්ඳුමක් පමනි.

පසුගිය මැතිවරනයේ දී පැසොක් පක්ෂය විසින් ඉටුකල ක්‍රියාකලාපය ඉටුකිරීමට සිරිසා සන්ධානයට ද අවශ්‍යවන බව එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබේ. එවක දී පැසොක් උද්ඝෝෂනය කලේ, සමාජ වියදම් ඉහල නැංවීම සඳහා ය: මැතිවරනයෙන් පසුව ඔවුහු, වෘත්තීය සමිති සමග තමන්ට පැවති සමීප සබැඳියාවන් ද ප්‍රයෝජනයට ගනිමින් ග්‍රීසිය පසුගිය තෙවසර තුල අත් දුටු ඓතිහාසිකව පෙර නොවූ විරූ සමාජ කප්පාදු ක්‍රියාත්මක කලහ.

මෙම පිලිවෙත සඳහා පැසොක් මන්ත්‍රීන් සමග සන්ධානයක් පමනක් නොව, සියලු “වම්මුන්ගේ” සභාගයක් ගොඩනැඟීම පිනිස ප්‍රජාතන්ත්‍ර වම වෙත ද නොයෙකුත් පොරොන්දු ඉදිරිපත්කොට තිබේ. ප්‍රජාතන්ත්‍ර වම දෙවසරකට පෙර සිරිසාවෙන් බිඳී ගිය අතර එතැන් පටන් පැසොක් සමග සභාගයක් ගෙඩනැඟීමට වෙහෙස දැරූහ. පක්ෂයේ අරමුන මොන ක්‍රමයකින් හෝ යුරෝ කලාපයේ ග්‍රීසියෙහි සාමාජිකත්වය සුරක්ෂිත කර ගැනීමයි. වෙනත් වචනවලින් පැවසුවහොත් සමාජ ප්‍රතිවිප්ලවය අඛන්ඩව ගෙනයාමයි.

සිරිසාහි සභාපති ඇලෙක්සිස් ට්සිප්‍රාස් මෑතක දී පැවසුවේ, තම පක්ෂය පාලනයේ බහුතර බලයක් වෙනුවෙන් දක්ෂිනාංශික ජාතිකවාදී “ස්වාධීන ග්‍රීකයෝ” හි කොටස් සමග ද සභාගයක් ගොඩනඟන බවයි.

ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (ග්‍රීකොප) විශේෂ භූමිකාවක් ඉටු කරයි. මැතිවරන උද්ඝෝෂනය තුල එය යලි යලිත් කියා සිටින්නේ, තමන් කිසිදු සභාග ආන්ඩුවකට සම්බන්ධ නොවන බවයි. යුරෝපීය සංගමයේ ඉවත්වීම, ආන්ඩුවේ නය කටුගා දැමීම හා බැංකු හා විශාල සමාගම් ජනසතු කිරීම පවා ඇතුලත් ඉතා රැඩිකල් ඉල්ලීම් එහි උද්ඝෝෂනයට අන්තර්ගතකර ගනියි.

යථාර්තය නම් මෙම ප්‍රකාශ, කම්කරුවන්ගේ කෝපාවිෂ්ඨ මනෝගතීන්ට අනුගත වෙමින් එය සුරක්ෂිත ඇල මාර්ගවලට හරවා යැවීමයි. ග්‍රීකොප ප්‍රධාන ලේකම් ඇලිකා පපරිගාට අනුව, ග්‍රීසියේ සමාජ විප්ලවය න්‍යාය පත්‍රයට අන්තර්ගත නොවේ. මෙම වාතාවරනය හමුවේ යුරෝපීය සංගමයේ ඉවත්වීම පිනිස කෙරෙන නිවැරදි කැඳවුම වන්නේ, ධනේශ්වර පදනමක ඩ්‍රැක්මාව (පැරනි ග්‍රීක මුදල) යලි හඳුන්වා දීමේ ප්‍රතිගාමී ඉදිරිදර්ශනයක් තුලට එය හරවා යැවීම ය.

ග්‍රීකොප, ආන්ඩුව සමග පවත්වාගෙන යන සහයෝගය පිලිබඳව ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන දෙකට පහර දෙන අතර ම, කම්කරුවන් සින්ඩිකල්වාදී යකඩ සැට්ටයෙන් බිඳී වෙන්වීම වැලැක්වීමේ උත්සාහයක ද යෙදී සිටිති.

වෘත්තීය සමිති බලපෑම් විරහිත පැය 24 මහා වැඩවර්ජන මාලාවක් සංවිධානය කල අවස්ථාවන්හි දී මෑත වසරවල එය සිය ප්‍රකාශනය අත්කර ගත්තේය. ග්‍රීකොප වැඩවර්ජනය අඛන්ඩව ගෙනයාම පිලිබඳ ඉල්ලීම කම්කරුවන් අතරට ගෙන නොගිය අතර වෙනම හා තාවකාලික වැඩවර්ජන කැඳවුම් කලහ. ඔවුන්ගේ කාර්යධරයෝ පෙලපාලිකරුවන් ඇතන්ස්හි වීදි දිගේ ගාල් කිරීමට උදව් කලහ. මධ්‍යම සින්ටැග්මා චතුරස්‍රයේ දී ඔවුහු කොපාවිෂ්ඨ කම්කරුවන්ගෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම පිනිස ඒ වටා බාධක යෙදූහ.

ප්‍රජාතන්ත්‍ර වම, ග්‍රීකොප හා සිරිසා පසෙකින් අනෙකුත් කුඩා කන්ඩායම් ඡන්ද පත්‍රිකාවට ඇතුලත්ව සිටිති. ඒවා දශක ගනනාවක් තිස්සේ කරකැවී ඇත්තේ මෙම පක්ෂ හා වෘත්තීය සමිති වටාය. ඉන් විශාලතම සංවිධානය ඇන්ටර්සියාය. ඒ තුල පැබ්ලෝවාදීන්, රාජ්‍ය ධනවාදීන්, මාවෝවාදීන් හා ග්‍රීකොප බිඳී ගියවුන් එක් රොක්වී සිටිති. “විප්ලවය” හා "ධනවාදයෙන් බි‍ඳෙනු” වැනි වාචාල රැඩිකල් කතා සහිතව ඔවුහු, පත්විය හැකි සිරිසා ආන්ඩුවක වාම හොරනෑව ලෙස වැඩ කරයි. ඔවුන්ගේ මැතිවරන ප්‍රකාශනය තුල එක් ප්‍රධාන අරමුනක් වන්නේ සිරිසා හා ග්‍රීකොපට “ඒකාබද්ධ ක්‍රියාවන්” සඳහා කැඳවුම් කිරීමයි.

ව්‍යාජ වාම සංවිධානයන්හි හා වෘත්තීය සමිතිවල අමු බංකොලොත්කම හා බැරෑරුම් ප්‍රගතිශීලී ඉදිරිදර්ශනයක් නොමැතිකම හමුවේ, අන්ත දක්ෂිනාංශික පක්ෂ වෙන කවරදාකටත් වඩා විවෘතව වැඩට බැසගෙන සිටිති. ස්වාධීන ග්‍රීකයින්ට හා අන්ත දක්ෂිනාංශික ලාඕස් පක්ෂයට අමතරව විවෘත ෆැසිස්ට් සංවිධානයක් වන “ස්වර්නමය හිමිදිරිය” ද පාර්ලිමේන්තුවට තේරෙනු ඇතැයි අනාවැකි පලව තිබේ.

මත විමසුම්වල දී පැසොක් හා නව ප්‍රජාතන්ත්‍ර වැනි වත්මන් පාලක පක්ෂවල ඡන්ද පදනම, සියයට 77.4 සිට සියයට 40 දක්වා පහත වැටී ඇති අතර ඔවුන් මෙම අන්ත දක්ෂිනාංශික පක්ෂවලට ආන්ඩුවට එක්වන ලෙස ඉල්ලා සිටින බව දැනටමත් පවසා තිබේ. පැසොක් හා නව ප්‍රජාතන්ත්‍ර පක්ෂ ඒ සමාන දක්ෂිනාංශික වාචාලය හා නීති විරෝධී සංක්‍රමනිකයින් දඩයමේ යෙදී සිටින තතු තුල, ලාඕස් පක්ෂය වත්මන් ආන්ඩුව තුල දැනටමත් සාමාජිකයෙක් වන්නේය. යුරෝපීය සංගමයේ කම්කරු පන්තියට එරෙහිව ඉල්ලා සිටින අතිරේක කප්පාදු මෘග ලෙස ක්‍රියාවට නැඟීමට ඇති ඔවුන්ගේ කැමැත්ත පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැකිය.

එවන් ආඥාදායක පියවර වලකා සිය සමාජ අයිතීන් ආරක්ෂාකර ගැනීමේදී ග්‍රීක කම්කරුවන් “වාම” පක්ෂ හා වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන්ට ග්‍රීසියේ හා යුරෝපීය සංගමයේ පාලක පැලැන්තීන්ට මෙන්ම ආයතනවලට ද එරෙහිව එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ඉදිරිදර්ශනයක් සහිතව, යුරෝපීය කම්කරුවන් එක්සත් කරන විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී පක්ෂයක් අවශ්‍ය වන්නේය.

ක්‍රිස්ටෝෆ් ඩ්‍රියර්

Share this article: