ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට එරෙහි වතු කම්කරු අරගලය කඩාකප්පල් කරති

By M. Vasanthan and W.A. Sunil, 16 April 2012

බොගවන්තලාව වැවිලි සමාගම සහ ලංකා වතු කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී ) අතර මාර්තු 15 දා ඇතිකර ගත් එකඟතාවය මගින් වෘත්තීය සමිති ආරක්ෂා කරන්නේ කම්කරුවන්ගේ උවමනාවන් නොව මහා ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් බව යලි වතාවක් ඔප්පුකර තිබේ.

මෙම එකඟතාවය විසින්, බොගවන්තලාව වැවිලි සමාගමට අයිති වතු පහක 6,000 කම්කරුවන් සම්බන්ධ වූ මාස ගනනක අරගලය කෙලවර කරනු ලැබීය. දිනකට නෙලන තේ දලූ ප‍්‍රමානය කිලෝ 13 සිට 15 දක්වා ඉහල දැමීමේ සමාගමේ තීරනයට එරෙහිව දෙසැම්බර් මාසයේ දී කොටියාගල වත්තේ කම්කරුවෝ විරෝධතා අරගලය ආරම්භ කලහ. පෙබරවාරි 13 සිට බොගවන්තලාව, නෝවුඩ්, ගලබොඩ සහ බ්‍රෙඩ්බෙල් වතුවල කම්කරුවෝ ද අරගලයට එක් වූ හ.

ඔවුන් සමග සාකච්ඡාවෙන් පසු, පරන වැඩ ඉලක්කය යලි කි‍්‍රයාවට දැමීමට සමාගම එකඟ වූ බව සීඩබ්ලිව්සී ය නිවේදනය කලේය. මෙම සාකච්ඡාවන් කම්කරුවන්ගෙන් වසන් කර සිදු වූ නිසා සීඩබ්ලිව්සීය හා සමාගම අතර ඇතිකර ගත් එකඟතාවයේ සම්පුර්න විස්තර දැන ගැනීමට නැත. කෙසේ නමුත්, නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම සඳහා ඉදිරියේ දී වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට සීඩබ්ලිව්සී ය එකඟ වීම නිසා සමාගම එහි නව වැඩ ඉලක්කයන් ඉවත් කර ගෙන තිබේ. වෘත්තීය සමිතිවල එකඟතාවය ඇතිව ඉදිරි දිනක දී වැඩ ප‍්‍රමානය ඉහල දැමීමේ අනතුර පවතී.

අනෙකුත් වෘත්තීය සමිතිවල පිටුබලය සහිතව සීඩබ්ලිව්සීය විසින් අරගලය කඩාකප්පල් කිරීමේ පාඩම් කම්කරුවෝ උගත යුත්තා හ. තේ දලු නෙලීමේ නව වැඩ ඉලක්කයට විරුද්ධ වෙමින් දෙසැම්බර් මාසයේ කොටියාගල වත්තේ කම්කරුවන් අරගලය පටන් ගත් විට එයට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කල සීඩබ්ලිව්සී ය සමාගමේ වැඩ ඉලක්කයන් පිලිගත යුතුයි යයි අවධාරනය කලේ ය. ප‍්‍රදේශයේ තිබෙන බොගවන්තලාව වැවිලි සමාගමට අයිති අනෙක් වතු හතරේ කම්කරුවන්ට ඉහල වැඩ ඉලක්කය පිලිගන්නා ලෙස දැනටමත් සීඩබ්ලිව්සී ය අරගලයට සහයෝගය දෙන බවට බොරු මවා පෑමක් කල ලංකා ජාතික වතු කම්කරු වෘත්තීය සමිතිය (එල්ජේඩබ්ලිව්යූ), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්), කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා ආන්ඩුවේ නිලධාරීන් සමග සාකච්ඡාවල නිරතව සිටිය හ.

නව වැඩ ප‍්‍රමිතීන්ට අනුව වැඩ නො කිරීමට දඬුවමක් වසයෙන් සමාගම වැටුප් කැපූ විට, බොගවන්තලාව වැවිලි සමාගමේ වතු පහක කම්කරුවන්ගේ සහයෝගය ඇතිව කොටියාගල වත්තේ කම්කරුවෝ වැඩ වර්ජනයක් කලහ. එල්ජේඩබ්ලිව්යූ, යුපීඑෆ්, එන්යූඩබ්ලිව් සහ ඩීඩබ්ලිව්සී ය කම්කරු ඇමති ගාමිනී ලොකුගේ සමග ජනවාරි මාසයේ මුලදී සාකච්ඡා කල අතර ප‍්‍රශ්නය ගැන ඇමති පසුව සාකච්ඡා කරන නිසා කප්පාදු කල වැටුප පිලිගන්නැයි කම්කරුවන්ට උපදෙස් දුන්නෝ ය.

කම්කරුවන් අත්තිකාරමක් ලෙස අඩුකල වැටුප පිලිගත් නමුත්, සමාගම නව වැඩ ප‍්‍රමිතීන් හෝ වැටුප් කප්පාදුව ඉවත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කලේ ය. නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ සැලසුම් කි‍්‍රයාවට දැමීම සමබන්ධයෙන් ආපස්සට නො යාමට සමාගම තීරනය කර තිබුනි. කෙසේ නමුත්, කම්කරුවන් නව වැඩ ප‍්‍රමිතීන් ප‍්‍රතික්ෂේප කරමින් අරගලය පෙරට ගෙන යාම නිසා සමාගම සහ වෘත්තීය සමිති කලබලයට පත් වූ හ.

කොටියාගල කම්කරුවන්ගේ අරගලය දිගට පැවතුනොත්, එය සෙසු වතු කම්කරුවන් ආකර්ෂනය වීමේ කේන්ද්‍රයක් වනු ඇතැයි සීඩබ්ලිව්සී ය ඇතුලූ වෘත්තීය සමිති බිය වූ හ. සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින ඔවුන් අතර ද විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබේ. ආන්ඩුව විසින් තෙල් සහ අත්‍යාවශ්‍ය බඩු මිල හා විදුලි ගාස්තු ඉහල දැමීමත් රුපියලේ අගය අවප‍්‍රමානය කිරීමත් ජීවන කොන්දේසිවලට නැවතත් පහර එල්ල වීමෙන් ඔව්හු තවදුරටත් කෝපයට පත්ව සිටිති.

මෙම තත්වය තුල සමාගමේ පලදායිතාවය ඉහල දැමීමට හා ආන්ඩුව විසින් ජීවන කොන්දේසිවලට පහර දීමට එරෙහිව පොදු අරගලයක් වර්ධනය වීම වැලැක්වීමට වෘත්තීය සමිති කටයුතු කලහ.

සමාගම්වලට සහ ආන්ඩුවට එරෙහි තර්ජනය දැකීමෙන් අරගලය අවසන් කිරීම සඳහා මැදිහත් වීමට සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් තීන්දු කලේ ය. තොන්ඩමන් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන ඇමැතිය.

ඔහු ක්ෂනිකව ම ඔහුගේ මුල් ආස්ථානයෙන් කරනමක් ගැසීය. බොරු සටන්කාමිත්වයක් ආරූඪ කර ගනිමින් තොන්ඩමන් අරගලය දිගටම ගෙන යන ලෙස කොටියාගල වත්තේ කම්කරුවන්ට කියූ අතර ඔවුන්ට සහයෝගය දෙන ලෙස අනෙක් වතු හතරේ කම්කරුවන්ගේ ඉල්ලා සිටියේ ය. නිෂ්පාදිත තේ කොලඹ වෙන්දේසියට ප‍්‍රවාහනය කිරීම වලක්වන ලෙස ද ඔහු කම්කරුවන්ට කීවේය.

තොන්ඩමන් ගේ හදිසි කරනම කම්කරුවන්ට කිසිම දයානුකම්පාවක් දැක්වීමක් නොවේ: එය බොරු රඟ පෑමක් මගින් දැඩි ලෙස අපකීර්තියට පත්ව තිබෙන සීඩබ්ලිව්සී යේ ග‍්‍රහනය කම්කරුවන් අතර යලි තද කිරීමේ හා අරගලය පැතිරී යාමේ තර්ජනය වලකාලමින් වර්ජනය නිමා කිරීම සඳහා සුදානම් වීමකි.

වතු කලමනාකරනය සමග සාකච්ඡාවෙන් පසු තොන්ඩමන් මාර්තු 13 පුද්ගලිකව ම බොගවන්තලාවට ගොස් සමාගම පැරනි වැඩ ප‍්‍රමිතීන් කි‍්‍රයාවට දැමීමට "එකඟ” වී ඇති නිසා උද්ඝෝෂනය නතර කරන ලෙස කම්කරුවන්ට කීවේ ය. එය "දැවැන්ත ජයග‍්‍රහනයක්” බව ඔහු කම්කරුවන්ට කියූ අතර ඔවුන් විසින් ප‍්‍රවාහනය කිරීමට නො දී අවහිර කර තිබු තේ කිලෝ 250,000 මුදා හරින ලෙස උපදෙස් දුන්නේ ය.

කම්කරුවන් යලි වැඩට පැමින ඇති නිසා "තත්වය සාමාන්‍ය අතට හැරී ඇත” යි බොගවන්තලාව වැවිලි සමාගමේ සභාපති දිනේෂ් අම්බානි ද අයිලන්ඩ් පුවත් පතට ප‍්‍රකාශ කලේ ය. වෘත්තීය සමිතිවලට ස්තුති කරමින් "වෘත්තීය සමිති හා සමාගම අතර අතීතයේ පැවැති හොඳ සම්බන්ධකම් තව දුරටත් ශක්තිමත් වූ” බව ඔහු කීවේය. වෘත්තීය සමිති නිලධරයේ පාවාදීමෙන් දිරිමත් වූ වතු සමාගම් "මෙම වෘත්තීය සමිති අරගලය මිත‍්‍රශීලීව විසඳීමේ ගෞරවය හිමි විය යුත්තේ සමිති නායකයන්ට” බව පැවසූ හ.

කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමේ දී වෘත්තීය සමිතිවල භූමිකාව පිලිගැනීමේ වැදගත්කම සීඩබ්ලිව්සී ය සමාගම්වලට පෙන්වා දී ඇත. දරිද්‍රතා මට්ටමේ වැටුප්, නිෂ්පාදන පලදායිතාව වැඩි කිරීම හා සෙසු ප‍්‍රහාර කි‍්‍රයාවට දැමීමේ දී සීඩබ්ලිව්සී ය දිගටම ද්‍රෝහී කි‍්‍රයා කලාපයක් ඉටු කරමින් සිටියේ ය. පසු ගිය අපේ‍්‍රල් මාසයේ දී, වත්තේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නිෂ්පාදන පලදායිතාව ඉහල දැමීමේ කොන්දේසියත් ඇතුලත් වූ සාමුහික ගිවිසුමකට සීඩබ්ලිව්සීය නායකත්වය දුන් වෘත්තීය සමිති අත්සන් කලේ ය.

සීඩබ්ලිව්සී, යූපීඑෆ් සහ එන්යූඩබ්ලිව් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස් කරුවෝ ය. එල්ජේඩබ්ලිව්යූ ව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පාලනය කරනු ලබන අතර ඩීඩබ්ලිව්සීය එජාපය සමග පෙල ගැසී සිටි සියලූ දෙනාම නියෝජනය කරන්නේ ධනපති පන්තියේ උවමනාකම් ය.

කෙන්යාව, චීනය, ඉන්දියාව හා බංගලාදේශය වැනි තේ නිෂ්පාදනය කරනු ලබන සෙසු රටවල් සමග තරගය වඩ වඩා ඉහල යන තතු තුල වතු කම්කරුවන් සඳහා කිසියම් සමාජ ප‍්‍රතිලාබයක් තිබේනම් ඒ සියල්ල කප්පාදු කිරීමෙන් හා නව නිෂ්පාදන ඉලක්ක හඳුන්වා දීම මගින් නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම මගින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීමේ වියරු උත්සාහයක ශී‍්‍ර ලංකාවේ තේ නිෂ්පාදකයෝ යෙදී සිටිති. දලූ නෙලන මැෂින් හා නව නිෂ්පාදන කි‍්‍රයාවලීන් වැනි සෙසු රටවල උපයෝගී කරගනු ලබන ශ‍්‍රම සුක්ෂම නව තාක්ෂන විධීන් හඳුන්වා දීමට ද ඔව්හු තීන්දු කර ඇත්තා හ.

සෙසු අවස්ථාවල දී මෙන් ම මෙම අවස්ථාවේ දී ද සීඩබ්ලිව්සීයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලැබුනේ ය. කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමට ඔව්හු සහයෝගය දුන් හ. හාම්පුතුන්ගේ ප‍්‍රහාරයට එරෙහිව සෙසු කම්කරුවන් බලමුලූ ගැන්වීමෙන් දැනුවත්ව ම ඔව්හු වැලකී සිටිය හ. ඒ වෙනුවට ඔව්හු, හැකි ඉක්මනින් අරගලය නතර කිරීම සඳහා ආන්ඩුව හා කම්කරු බලධාරීන් සමග එකට වැඩ කල හ. මෙම සමිතිවල පාවාදීම නිසා වටවල වැවිලි සමාගමට අයිති වැලිඔය වත්තේ කම්කරුවන්ට කොඳු කැඩෙන නව වැඩ ප‍්‍රමිතීන් පිලිගැනීමට සිදුවිය.

කම්කරුවන්ගේ හුදු සටන්කාමිත්වය කොතරම් වුවත් සමිති නිලධරයේ මෙම පාවාදීම කපා හෙලීමට එය ප‍්‍රමානවත් නොවන බව මෙම අත්දැකීම් මගින් කම්කරුවෝ උගත යුත්තා හ.

සමාගම්වල හා ආන්ඩුවේ වැඩි දියුනු කෙරෙන ප‍්‍රහාරයන් මගින් සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවුම් කර ඇති වතු කම්කරු සම්මේලනයට කම්කරුවන් සහභාගී වීමේ වැදගත්කම පෙන්නුම් කර තිබේ. සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් හා නව ආකාරයේ සටන් සංවිධාන-කම්කරු ක‍්‍රියාකාරී කමිටු- සංවිධානය කිරීමේ හා කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් නියෝජනය කරන නව නායකත්වයක් ගොඩ නැගීම එහිදී සාකච්ඡා කරනු ඇත. මැයි 20 දා හැටන් ‘ශක්ති’ ශාලාවේ පැවැත්වෙන මෙම සම්මේලනයට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: