ව්‍යසනකාරී එක්සත් ජනපද නියඟය ගෝලීය ආහාර මිල නැඟීමක පෙර නිමිති පල කරයි

Devastating US drought heralds global food inflation

By Naomi Spencer, 28 July 2012

Colorado 2012 ජූලි 21 සෙනසුරාදා කොලොරාඩෝහි ඩෙන්වර් නගරයට සැතපුම් 74ක් නැගෙනහිරින් ලබාගත් නියඟයෙන් බලපෑමට ලක් වූ කෘෂි ඉඩම්වල ගුවන් ඡායාරූපය (ඡායාරූපය: යූඑස්ඩීඒ)

ප්‍රධාන ආහාර ධාන්‍යවලට තවදුරටත් හානි පමුනුවමින් හා ගෝලීය ආහාර අර්බුදයක අවදානම ඉහල නංවමින් දරුනු නියඟය මේ සතිය තුල මධ්‍යම එක්සත් ජනපදය පුරා වේගයෙන් පැතිර ගියේ ය. ලෝකයේ ධාන්‍ය ආහාරවලින් ආසන්න වසයෙන් තුනෙන් පංගුවක් පමන නිපදවන මධ්‍ය බටහිර ප්‍රදේශය අර්ධ ශතවර්ෂයකින් මෙපිට ගැඹුරු ම වියලි කාලගුනික තත්වයකට මුහුනපා සිටී.

ජූලි 26දා ප්‍රකාශයක් නිකුත් කරමින් ජාතික නියං පාලන මධ්‍යස්ථානය "පසුගිය සතියේ ඉලිනොයි, අයෝවා, මිසූරි, ඉන්ඩියානා, කැන්සාස්, නෙබ්රස්කා, වියෝමිං හා දකුනු ඩකෝටාහි සමහර ප්‍රදේශ හරහා නියඟය දරුනු ලෙස වර්ධනය වීමක්” වාර්තා කලේ ය. කලින් සතියේ පැවති අගයට වඩා තුන් ගුනයක වැඩි වීමක් පෙන්නුම් කරමින් මධ්‍ය බටහිර ප්‍රදේශයෙන් සියයට 30ක පමන කලාපයක් ආන්තික නියං තත්ත්වයේ පැවතුනි.

mapමෙම ව්‍යසනය 1930 ගනන්වල ඩස්ට් බෝල් (දූවිලි බේසම) නියඟයෙන් මෙපිට වඩාත් ම පුලුල්ව පැතිරුනු එක්සත් ජනපද නියඟය බවට පත් කරමින් රටෙහි සෑම ප්‍රාන්තයකම සමහර ප්‍රදේශ අසාමාන්‍ය වියලි හා නියං තත්ත්වයන් යටතේ පවතී. නිල වසයෙන් විශාලතම එක්සත් ජනපද ව්‍යසනය වාර්තා කරමින් කෘෂිකර්ම දෙපාර්ත‍ෙම්න්තුව (යූඑස්ඩීඒ) ප්‍රාන්ත 31ක දිස්ත්‍රික්ක 1,369ක් ව්‍යසනයට පත් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කොට‍ තිබේ. එය නිල වශයෙන් වාර්තාවී ඇති දරුනුම නියං තත්වයයි.

“සිදුව ඇති සමහර හානි පිලිසකර කල නො හැකි තත්ත්වයට පත්වෙමින් තිබේ” යයි නියං පාලන මධ්‍යස්ථානයේ දේශගුන විද්‍යාඥයෙක් වන බ්‍රයන් ෆුක්ස් කීවේ ය. "හානිය සිදු වී හමාරයි. වර්ෂාව ලැබුනත් අඩු ම වසයෙන් මෙම වගා කන්නයට පමනක්වත් මෙම ගැටලු ඔබට ආපසු හැරවිය නොහැකිය.”

මධ්‍ය ප්‍රදේශය පුරා උෂ්නත්වය ඉලකම් තුනේ අගයන්හි අඛන්ඩව පවතිද්දී විසිරුනු වැහි කුනාටුවලට මතුපිට පසෙහි තෙතමනය යලි ඇති කිරීම සඳහා කල හැකි වූයේ අල්ප දෙයකි. සතිය පුරා "ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ලැබුනේ අඟල් ක‍ාලේ සිට භාගය දක්වා පමන වන වර්ෂාවකි. සෑම උනුසුම්, හිරු එලිය සහිත දිනක ම අඟල් කාලකට සමාන තෙතමනයක් අපිට අහිමි වෙනවා” යයි අයෝවා ප්‍රාන්ත විශ්ව විද්‍යා‍ලයේ පාරිසරික කෘෂි විද්‍යාඥ රොජර් එල්මෝ පැවසී ය.

අධික තාපය හා වියලි කාලය ඔක්තෝබර් දක්වා ඇදී යා හැකි යයි ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයට අයත් දේශගුන පුරෝකථන මධ්‍යස්ථානයේ කාලගුන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. ජුනි මාසය වන විට එක්සත් ජනපදයේ වාර්තා වන වඩාත් ම උනුසුම් අවුරුද්ද මෙයයි. ගෝලීය පරිමානව භූමියේ උෂ්නත්වය පසුගිය මාසයේ සියලු වාර්තාවන් බිඳ හෙලීය. ගෝලීය උෂ්නත්වයේ නරක ම බලපෑම පෙන්නුම් කරමින් පසුගිය දශක තුන පුරා දේශගුන විද්‍යාඥයන් විසින් නිකුත් කරන ලද ප්‍රක්ෂේපනයන්ට ආන්තික කාලගුනය අනුරූප වේ.

"දේශගුන විපර්යාසයට සම්බන්ධව අප කනස්සල්ලට පත් කරන දේවල් පිලිබඳව මේ වසර වඩා සංකේතාත්මක වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා නව සාමාන්‍යය බවට පත්වීමට යන්නේ ඉතා ඉහල උෂ්නත්ව‍ෙය් අඛන්ඩ පැවැත්මයි. ඒ කියන්නේ, කිසිදු ධාන්‍ය වර්ගයක් හොඳ පලදාවක් නො දෙන තරමේ උෂ්නත්වයන්,” යයි ක්ලයිමට් සෙන්ටර් යන ගෝලීය උෂ්නත්ව අධීක්ෂක ආයතනයේ ඩේවිඩ් ලොබෙල් ඒබීසී පුවත් සේවයට කීවේ ය.

නොකඩවා හත්වන සතියටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ධාන්‍ය හා සෝයා පලදාව පිලිබඳ සිය තක්සේරුව ජූලි 23 දා පහත හෙලුවේ ය. ජූලි 22න් අවසන් වූ සතිය ගත්විට ධාන්‍ය පලදාව "නරක” හා "ඉතා නරක” යයි තක්සේරු කරන ලද සියයට 45ට නැගුනි. සෝයා බෝංචි ඉඩම්වලින් සියයට 35ක් නරක තත්ත්වයේ සිට ඉතා නරක තත්ත්වයට පහත හෙලනු ලැබිනි. මෑත පැවති සම්මුඛ සාකච්ඡාවක දී පර්ඩියු විශ්ව විද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යාඥ ක්‍රිස් හර්ට් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කී පරිදි "ඉතා නරක” යයි තක්සේරු කෙරෙන පලදාව "පලදාවක් ඇත්තේම නැති තත්ත්වය කරා එලඹෙමින් තිබේ.”

ජුනි 3 දා‍ පටන් මේ දක්වා "හොඳ” සිට "ඉතා හොඳ” තත්ත්වයේ තක්සේරු කරන ලද ධාන්‍ය ඉඩම් ප්‍රමානය සියයට 72 සිට 26 දක්වා පිම්මේ ඇද වැටුනි. විශාලතම ධාන්‍ය අපනයනය කරන ප්‍රාන්තවලින් හතකට ම "ඉතා හොඳ” යයි තක්සේරු කරන ලද ධාන්‍ය ඉඩම් ඇත්තේ සියයට එකක් හෝ ඊටත් අඩුවෙනි. සෝයාබෝංචි ඉඩම් ප්‍රමානය ද ඒ හා සමානව සියයට‍ 65 සිට 31 දක්වා ඇද වැටුනි.

මෙම තක්සේරුව දශකයක් පුරා විහිද ගිය ප්‍ර‍ාදේශීය ආර්ථික අර්බුදයකින් පසු කුඩා පරිමාන ගොවීන් තොග පිටින් ව්‍යාපාර නවතා දැමූ 1988 නියඟයෙන් මෙපිට ඇතිව තිබෙන නරක ම තත්ත්වය යි.

cattleගෝලීය ආහාර සම්පාදනය කෙරෙහි කෘෂිකාර්මික ව්‍යසනයේ බලපෑම, චිකාගෝ වෙලඳ මන්ඩලයේ අනාගත ධාන්‍ය තොග මත ඇතිවූ සමපේක්ෂනාත්මක උන්මාදය මගින් තවත් නරක අතට හරවා තිබේ. වර්ෂාව ලැබෙනු ඇති බවට පුවත් පලවීමෙන් පසු යලි පහත වැටීමට පෙරාතුව බුසලක් ඩොලර් 8.2875ක් දක්වා මිල නංවමින් පසුගිය සතියේ අනාගත ධාන්‍ය තොග පෙර නොවූ විරූ ඉහල ම අගය වාර්තා කලේ ය. දේශගුන පුරෝකථනයන් නිවැරදි වුවහොත් දෙසැම්බර් අස්වනු නෙලීමේ වාරයේ අනාගත ධාන්‍ය තොග අගෝස්තු මාසයේ අවසන් දිනවල ඩොලර් 9ක් හෝ ඊටත් වැඩි අගයක් ගනු ඇතැයි සමහර විශ්ලේෂකයෝ අදහස් පලකොට තිබේ.

තන බිම් විනාශ වෙමින් ආහාර මිල ගනන් ඉහල ගොස් තිබිය දී එක්සත් ජනපදයේ කුඩා පරිමාන පශු සම්පත් නිෂ්පාදකයෝ ඔවුන්ගේ සතුන් කෘෂ වීමේ හැකියාවට මුහුන දෙමින් සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස සත්වයන් තොග පිටින් මරනයට පත් වීම නිසා හරක් මස්, ඌරු මස් හා අනෙකුත් මස්වල වෙලඳපොල මිල එන වසරේ දී ඉහල යාමේ හැකියාවක් පවතී. කුකුල් මස් හා බිත්තර වැනි ක්ෂනිකව වෙලඳපොලට එන ආහාර ද්‍රව්‍ය මෙන් ම එලකිරි නිෂ්පාදනවල ද මිල හැල්මේ ඉහල යා හැක.

සුපිරි වෙලඳපොල මිල ගනන් එල‍ෙඹන මාසවල දී ඉහල යනු ඇතැ’යි ජූලි 25 දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ ය. හරක් මස් මිල සියයට 4 සිට 5 දක්වා ද එලකිරි නිෂ්පාදනවල මිල සියයට 3.5 සිට 4.5 දක්වා ද ඉහල යනු ඇතැ’යි දැන් දැන් ඔවුහු ප්‍රක්ෂේපනය කරති.

ධාන්‍ය අස්වැන්න්නෙන් සියයට 40ක පමන කොටසක් එක්සත් ජනපදයේ බලශක්ති කර්මාන්තය විසින් එතනෝල් ඉන්ධන නිෂ්පාදනය සඳහා යොදාගැනීමට ඉඩ සලසන වැඩසටහන වොෂින්ටනය විසින් තහනම් කිරීමට පියවර නො ගතහොත් ඌරු මස් හා කුකුල් මස් වැනි ලාබ මස් වර්ග "සුඛෝපභෝගී” ආහාරයක් බවට පත් වනු ඇතැ’යි විශාල පරිමාන මස් නිෂ්පාදකයෝ අනතුරු අඟවති.

ලොව විශාලතම ඌරු මස් නිෂ්පාදකය‍ා වන ස්මිත්ෆීල්ඩ් ෆුඩ්ස්හි ප්‍රධානියා වන ලැරී පෝප් "මා පාවිච්චි කරන වචනය බලවත් ව්‍යසනය යන්න යි. මගේ අර්ථ දැක්වීම ඒකයි” යනුවෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසී ය. ධාන්‍ය වර්ග බුසලක් ඩොලර් 8 සීමාව බිඳ දැමීමට පෙර ජුනි මාසයේ දී ස්මිත්ෆීල්ඩ් සමාගම අනාගත තොගවල පෝෂන වියදම්වලට අගුලු දැමීමට පියවර ගත්තේ ය. "බඩඉරිඟු බුසලක් සඳහා ඩොලර් 6 මිල ලෝකයේ අවසාන මිල වනු ඇතැයි මම කලින් සිතුවෙමි. එය ඩොලර් 7කට මිල‍ට ගැනීම ගැන ස්තුති කිරීමට සිදු වේ යයි මට කවදාවත් හිතා ගන්නා බැරි වුනා” යයි ඔහු කීවේ ය.

"හරක් මස් සුඛෝපභෝගී ආහාරයක් වීමට නියමිත ” බව පෝප් කීවේ ය. "ඌරු මස් වඩා පසුපසින් තිබෙනු ඇත. කුකුල් මස් මිල වේගයෙන් ඉහල යයි... ඇත්තට ම අපි ඇමරිකානුවන්ගෙන් ප්‍රෝටීන් උදුරා ගැනීමට යනවා ද?” වසරකට "අංක දෙකේ ගනන්වලින්” එක්සත් ජනපද මස් මිල ගනන් ඉහල යනු ඇතැ’යි ඔහු කීවේ ය.

ප්‍රෝටීන් සහිත ආහාර මූලාශ්‍රවල මීට වඩා අඩු මිල ඉහල යාමක් පවා තමන්ට සැපයෙන පෝෂජනක ධාතු අතරින් දැරිය හැකි දේ පමනක් තෝරා ගැනීමට අඩු ආදායම් ලබන ඇමරිකානුවන් මිලියන ගනනකට බල කෙරෙනු ඇත.

මෙම ව්‍යසනය ආසියාව, මැද පෙරදිග, අප්‍රිකාව හා කැරීබියානු ප්‍රදේශවල ආහාර ආනයන මත යැපෙන ජනතාවන්ට කුරිරු විපාක ගෙන එනු ඇත. 2008 දී මේ හා සමානව කාලගුන‍ෙය් හා සමපේක්ෂන‍ෙය් සම්මිශ්‍රනයකින් ආහාර මිල ගනන් ඉහල යාම නිසා රටවල් 30කට අධික ප්‍රමානයක ආහාර කැරලි හට ගත්තේය. දිනකට ඩොලර් 2ක් හෝ ඊටත් අඩු ආදායමකින් ජීවත් වන බිලියන ගනනක ජනයා සැලකිල්ලට ගත්විට ආහාර මිල ගනන් පවුලක ආදායමෙන් හතරෙන් තුන් පංගුවක් තරම් ප්‍රමානයකට වග කියයි.

ධාන්‍ය සැපයුම්කරුවෝ ඊජිප්තුව, ලිබියාව හා ඉරාකයේ ආනයන කරුවන් සමග කෙරෙන ගනුදෙනු පැහැර හැරීමට පටන්ගෙන ඇත. එක්සත් ජනපද නියඟය දරුනු වෙද්දී ලොව විශාලතම තිරිඟු පරිභෝජකයා වන ඊජිප්තුව රුසියාව දෙසට හැරෙමින් සිටී. එහෙත් රුසියාව ද සිය අපේක්ෂිත තිරිඟු අස්වැන්න ටොන් මිලියන 3කින් කපා හැර ඇත.

අඩු බඩඉරිඟු අස්වැන්න ඇඟවුම් කරන්නේ, තිරිඟු දේශීය පාරිභෝජනය සඳහා තබා ගනු ඇතැයි යන්නය. මෙම තත්වය හමුවේ එක්සත් ජනපදයේ අපේක්ෂිත ධාන්‍ය අස්වැන්න තිරිඟු අපනයනය මත ඍනාත්මක ලෙස බලපායි. ඊජිප්තුව තමන්ට අවශ්‍ය තිරිඟු වලින් අඩක්ම ආනයනය කරන අතර ඉන් හතරෙන් එකක්ම ඇමරිකාවෙන් ආනයනය කරයි. මිලෙහි හෝ සැපයුමේ ඕනෑ ම උච්චාවචනයක් ඊජිප්තුවේ ජීවන කො‍න්දේසි මත තියුනු ලෙස බලපායි. එහි ජනගහනයෙන් සියයට 40ක් දිනකට ඩොලර් 2ක් හෝ ඊටත් අඩු ආදායමක් මත රැ‍ෙඳ්.

ලෝකයේ ජනගහනය වෙලඳපොලෙහි අතාර්කිකත්වයට හා විසන්ධි වූ ගෝලීය ආහාර පද්ධතියට යටත් කරනු ලැබේ. ගිනිකොන දිග ආසියාව වෙත යැවෙන ධාන්‍ය පැ‍ටවූ බෝට්ටු ඉන්දීය වරායවල හිර වී තිබේ. එයින් දින 25ක තරම් ප්‍රමාදයක් සිදුව තිබේ. ආසියාවේ වගා කරන ප්‍රදේශවලට ලැබී ඇත්තේ සුලු වර්ෂාවක් පමනක් නිසා ආහාර හිගය හා උද්ධමනය තවදුරටත් උග්‍ර කරනු ඇත.

"වර්ෂාපතනය හිඟ වීම නිශ්චිතව ම ආහාර මිල ඉහල නංවනු ඇත. බලපෑමේ ප්‍රමානය හරියට ම දැනගත හැකි වන්නේ මෝසං කාලය අවසාන වීමෙන් පසුව” යයි ඩන් ඇන්ඩ් බ්‍රැඩ්ස්ට්‍රීට් ආර්ථික විද්‍යාඥ අරුන් සිං රොයිටර් පුවත් සේවයට කීවේ ය. මෝසම් කාලයෙන් අඩක් ගෙවී ඇති තැන සමහර කෘෂිකාර්මික ප්‍රදේශවලට ලැබී ඇත්තේ සාමාන්‍ය ප්‍රමානයට වඩා සියයට 68කින් අඩු වර්ෂාපතනයකි. ඉන්දියාවේ ආහාර උද්ධමනය දැනට මත් සියයට 10.81 කි.මෙය සාමාන්‍ය උද්ධමන මට්ටමට වඩා ඉහල අගයක් ගැනීම අර්ථභාරීය. අර්තාපල් හා පරිප්පු, කඩල ඇතුලු අනෙකුත් ධාන්‍ය සම්බන්ධයෙන් ගත් කල මිල ඉහල යාම ඊටත් වැඩිය.

Share this article: