සංහාරයෙන් ඉක්බිතිව ද දකුනු අප්‍රිකානු පතල් කම්කරුවෝ වැඩවර්ජන‍ෙය් යෙදී සිටිති

South African miners continue strike in aftermath of massacre

By Chris Marsden , 20 August 2012

අගෝස්තු 16දා තම සහෝදරයන් 34ට මරු කැඳවමින් තවත් 78දෙනෙකුට තුවාල සිදුකල පොලීස් වෙඩි වරුසාවෙන් ඉක්බිතිව ද දකුනු අප්‍රිකානු ප්ලැටිනම් කම්කරුවෝ තම වැඩවර්ජනය දිගට ම ගෙන යති. ඔවුන්ගේ වෛරය පතල් හිමි ලොන්මින් සමාගමට හා පොලීසියට එරෙහිව පමනක් නො ව අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් (ඒඑන්සී) ආන්ඩුවට හා පතල් කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය වෙත ද (එන්එම්යූ) එල්ල වී තිබේ.

ජොහැන්ස්බර්ග් නගරයට වයඹ දෙස පිහිටි මරිකානා පතලෙහි සෑරීමේ කටයුතුවල නිරත 3,000 කම්කරුවන් රෑන්ඩ් 4,000ක් (ඩොලර්480) වන ඔවුන්ගේ අවම මාසික වැටුප රෑන්ඩ් 12,500 (ඩොලර් 1,500) දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වර්ජනයේ යෙදී සිටියි.

පොලීසිය හා ඒඑන්සීය සමාගමේ උත්සුකයන් ක්‍රියාවට නැඟීමේ යෙදී සිටිති. පුලුල් ව පැතිර පවතින දේශපාලන හා සමාජ අසංතෘප්තිය ප්‍රකාශයට පත් කිරීමට ද කම්කරු පන්තිය මෘග ලෙස සූරාකන දකුනු අප්‍රිකානු ධනේශ්වරයට අභියෝග කිරීමට ද වර්ජනයේ නියුතු කම්කරුවන් අධිෂ්ඨාන සහගතව සිටියි.

ඇපාතයිඩ් වර්නභේදවාදයේ අවසානයෙන් පසුව, කලු ධනපතියන්ගේ දූෂිත තට්ටුවක් පොහොසත් කරමින් හා සමාජ අසමානතාව පුලුල් කරමින් ඒඑන්සී‍ෙය් ප්‍රමුඛයින් බිහි කිරීමේදී එය මූලිකත්වය ගෙන ඇත්තේ කෙසේ දැ යි පතල් කර්මාන්තය සංකේතවත් කර යි.

බියකරු තත්වයන් තුල ජීවත්වෙන හා වැඩකරන කම්කරුවන්ට විනාශකාරී හානි සිදුකරන්නාවූ කොන්දේසි හමුවේ ගරාගන්නා ප්ලැටිනම් අවුන්සයක් ඩොලර් 1,400ට වැඩි මුදලකට අලවි කෙරේ. දින හයක නිෂ්පාදනය නැතහොත් ඩොලර් 2,100,000ක් වටිනා ප්ලැටිනම් අවුන්ස 15,000ක් ලොන්මින් සමාගමට අහිමිව යාම තුල තරඟකාරී නිෂ්පාදකයන් එහි වාසිය ගැනීමත් සමග ප්ලැටිනම් මිල ඉහල නගිමින් තිබේ. ලෝකයේ තුන්වැනි විශාල ම ප්ලැටිනම් පතල් හිමියාගේ ඩොලර් මිලියන 610ක වෙලඳපොල වටිනාකම අතුගා දමමින් ලොන්මින්හි කොටස් අගය සියයට 20ක් තරම් ප්‍රමානයකින් වැටී ඇත.

පදනම් වාර්තාවකට අනුව ලොන්මින් සමාගම කම්කරුවන්ට නිතරම මාරක විපත් ගෙනදෙන හා "ඉතා පහල” සේවා තත්වයන් පිලිබඳව වාර්තා පිහිටුවා ඇත. සමාගම ඉහතකී වාර්තාව ගැන අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

වැඩවර්ජන‍ෙය් නියුතු කම්කරුවන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කරන හා හිංසාවට පත් කිරීමට සහාය දෙන මෙම අවස්ථාවේ දී එන්යූඑම් සමිතිය සංගතයේ හවුල්කරුවෙකු ලෙස තම භූමිකාව ඉදිරියට ගෙනයමින් සිටී.

එන්යූඑම්වේ දූෂිත තත්වය හේතුකොටගෙන සහයෝගය දිනා ඇති පතල් කම්කරු හා ඉදිකිරීම් වෘත්තීය සංගමය (ඒඑම්සීයූ) වැඩවර්ජනයට නායකත්වය දෙයි. 16දා සංහාරයට පලමු ව ආරවු‍ෙල් දී, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, ආරක්ෂක භටයන් දෙදෙනෙකු හා ලොන්මින් පන්දම්කාරයින් ලෙස සැලකුනු එන්යූඑම් නිලධාරීන් ඇතුලු දහදෙනෙකු මේ වන විටත් මියගොස් ඇත.

කම්කරුවන් බියවැද්දීමට මෙම ප්‍රහාරය එල්ල කෙරුනු නමුත් සියල්ල ඇඟවුම් කරන්නේ එය ආපසු කැරකී ඇති බව යි. කම්කරුවෝ ස්ථිරව හා අධිෂ්ඨාන සහගතව සිටිති. "ඔවුන් අපිට පහර දීමට, මැරීමට හා පාගා දැමීමට පුලුවන්. ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම දෙයක් කරනු ඇත. අපි නැවතත් වැඩට යන්නේ නැත. ඔවුන් වෙනත් අය වැඩට ගත්තොත් ඒ අයට වැඩ කිරීමට ලැබෙනු ද නැත. අපි මෙහේ ඉඳලා ඔවුන් මරාදමන්නෙමු.” යයි දොඹකර ක්‍රියාකරවන්නෙක් වන මකෝසි ම්බන්ගනේ ඇසෝසියේටඩ් ප්‍රවෘත්ති සේවයට පැවසී ය.

පසුගිය සතියේ සංහාරය, වර්නභේදවායට එරෙහි මහජන ව්‍යාපාරය කම්පාවට පත්කල 1960 ෂාර්ප්විල් සංහාරය සමග යලි යලිත් සසඳා ඇත. ඒඑන්සීය හා සභාග හවුල්කරුවන්ට, දකුනු අප්‍රිකානු වෘත්තීය සමිති (සීඕඑස්ඒටීයූ) සම්මේලන හා දකුනු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂයට (එස්ඒසීපී) එරෙහිව කල යුතු සටන කෙරෙහි ද ඒ ආකාරයේ ම උත්ප්‍රේරක බලපෑමක් මරිකානා සටන මගින් ඇතිකරනු නිසැකය.

සංහාර‍යෙන් පසුව ද එන්එම්යූව නොකඩවා කම්කරුවන්ට එරෙහි පොලිස් ප්‍රහාරය සඳහා පිටුබලය දුන්නේය. "අඥාන කම්කරුවන් අපචාරයෙහි යොදවන අවස්ථාවාදීන් මෙහි සිටිනවා. අපි ඊයේ එහි ප්‍රතිඵල දුටුවෙමු” යයි ප්‍රකාශ කල එන්එම්යූ ප්‍රධාන ලේකම් ප්‍රාන්ස් බලේනි ඒඑම්සීයූ හා කම්කරුවන් වෙත තම කෝපය පල කලේය.

ඔහු මෙසේ ප්‍රකාශ කලේ, තුවාල කරුවන් අතර හෝ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජනතා සාහාසිකත්වය පිලිබඳ චෝදනා ලැබූ හා සමහර සිද්ධිවල දී මිනීමරීම් චෝදනා එල්ල කෙරුනු 256 අතර තම ස්වාමිපුරුෂයන්, පියවරුන් හා පුතුන් වේ දැ යි සෙවීමට ඥාතීන් ආරෝග්‍යශාලාවලට රොක් වූ අවස්ථාවේ දී ය. විපතට පත්වූවන්ගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් නොකෙරුනි.

සිකුරාදා පතල් කම්කරුවන්ගේ භාර්යාවන්ගේ පෙලපාලියක්, "අපගේ ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට වෙඩිතැබීම පොලීසිය විසින් නවතා දැමිය යුතු ” යයි සඳහන් පුවරු ප්‍රදර්ශනය කලේ ය.

ජුනි මාසයේදී ඒඑන්සීයේ ජනාධිපති ජාකොබ් ෂුමා මන්ග්වාෂි වික්ටෝරියා පියේගා ජාතික පොලිස් ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර ඈ ඊට පෙර රජයේ ව්‍යාපාර පෞද්ගලීකරනය සඳහා සූදානම් කිරීම බාරව සිටියා ය. මුලින් ඝාතනය කෙරුනු පොලිස් නිලධාරීන්ගෙන් ගත් ආයුධ දෙක ඇතුලුව පිස්තෝල හයක් සොයාගෙන ඇතැ යි ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසමින් ඈ ප්‍රචන්ඩත්වයට අනුබලදීම සම්බන්ධයෙන් වර්ජකයන්ට දෝෂාරෝපනය කලා ය.

ප්‍රකෝප කිරීමකින් තොරව පොලීසිය කම්කරුවන්ට වෙඩි තබන ආකාරය පෙන්වන වීඩියෝ රූපරාමු මෙන් ම වාර්ගික සම්බන්ධතා පිලිබඳ දකුනු අප්‍රිකානු ආයතනයේ වාර්තාව ද ඇය නොසලකා හැරියා ය: "පොලිස් භටයින් රයිපල් හා පිස්තෝලවලින් ඉව බවක් නැතිව වෙඩිතැබූ බවට පැහදිලි සාක්ෂි තිබේ. ගනනාවක් මැරී වැටෙන අතර අනෙකුත් අය දිවීමට පටන්ගත් පසුව ද දිගට ම වෙඩිතැබූ බවට සාක්ෂි තිබේ. ”

ඒඑන්සී තරුන සංගමයේ හිටපු නායක ජූලියන් මලේමා 19දා පතල් කම්කරුවන්, ඔවුන්ගේ භාර්යාවන් හා පවුල් දහස් ගනනකගේ දැවන්ත රැලියක් අමතන ලදී. විරුද්ධවාදී කන්ඩායමක් මෙහෙයවීම හේතුවෙන් මලේමා අප්‍රේල් මාසයේ දී ඒඑන්සීයෙන් නෙරපා හැරියේය.

ජාතිකවාදී හා ධනපති විරෝධී වාගාලාප දොඩන මලේමා වාම අවස්ථාවාදියෙකි. කෙසේ නමුත්, ඔහු ජනාධිපති ෂූමා හා එක්සත් රාජධානියේ ලොන්මින් සමාගම හෙලාදැකීම රැස්වූවන්ගේ හැඟීම් ඇවිස්සුවේ ය. "ජනාධිපති ෂූමාගේ ආන්ඩුව අපේ මිනිස්සු මැරුවා ” යයි පවසමින් ෂූමා "අස්විය යුතු ය” යි ඔහු කීවේ ය.

ඇතැම් ඒඑන්සී නායකයන්ට ලොන්මින් ප්ලැටිනම් පෞද්ගලික සමාගමේ කොටස් ඇති අතර ඔවුන්ට කම්කරුවන් ආරක්ෂා කිරීමට උවමනාවක් නැතැ යි මලේමා පෙන්වා දුන්නේ ය. "ජනාධිපති වැලපෙන්නේ මෙතැන සිටින සහෝදරයන් නිසා නොවේ ” ඔහු පැවසූවේ ය. "ඒ වෙනුවට ඔහු ධනපතියන් මුනගැහෙන්න වායු සමීකරනය කරපු කාර්යාලවලට යනවා .”

මොසැම්බික් සමුලුවක් නිමවා ආපසු පැමිනි ෂූමා, ඝාතන සම්බන්ධයෙන් නිල පරීක්ෂනයක් ප්‍රකාශයට පත් කලේ ය. මෙය නිසැකව ම සුදුහුනු ගෑමක් වනු ඇත. වර්ජනය ලේ විලක ගිල්වීමට කල්යල් බලා එල්ල කල පොලිස් සංහාරයට ඔහු හා ඒඑන්සීය සමීපව සම්බන්ධ ය. පොලිස් නිලධාරීහු එය "ඩී-ඩේ” ලෙස සඳහන් කල අතර ඔවුන් "උපරිම බලය” යොදා ගනු ඇතැ යි කලින් ම ප්‍රකාශ කර තිබුනි.

සිකුරාදා ෂූමා පතලට ගියත් කම්කරුවන් සමග කතා කලේ පවා නැත. වර්ජනය කරන කම්කරුවන් ආපසු වැඩට තල්ලු කිරීමේ උත්සාහය වැඩි කල අතර තත්වය සමනය කිරීමට ඔහු 19දා සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කලේ ය. ආපසු වැඩට පැමිනීමට අසමත් සියලු ම කම්කරුවන් දොට්ට දමන බව දැනුම් දෙන ලොන්මින්හි "අවසාන නිවේදනය ” ෂුමාගේ ප්‍රකාශයට ප්‍රථමයෙන් පැමුනුනි.

දේශපාලන අතෘප්තිය දකුනු අප්‍රිකානු ධනේශ්වරයේ කන්ඩායමක් පසුපස ගැටගැසීම මලේමාගේ කාර්යභාරයයි. පතල් කර්මාන්තය ජනසතු කිරීම සඳහා වන ඔහුගේ ඉල්ලීම බලගතු ප්‍රතිචාරයක් දිනාගෙන ඇති නමුත් ෂූමා මෙන් ම ඔහු ද මහා ව්‍යාපාරයන්ගේ නියෝජිතයෙකි. ආන්ඩුවේ ටෙන්ඩර් පරිපාටියට මැදිහත්වීමේ වාර්තාවක් ඔහුට තිබෙන අතර "ටෙන්ඩර් ව්‍යවසායකයා ” යයි ඔහුට නමක් ද පටබැඳී තිබේ. ඒඑන්සීයේ පාලක කල්ලිය සමග මතභේද ඔහු සම්බන්ධ වූ ලන්සු තැබීම්වල අසාර්ථකත්වය හා බැඳී ඇත. එයට 2010දී ඒඑස්ඒ මෙටල්ස් නම් ක්‍රෝමියම් පතල් සමාගමේ කොටසක් අත්පත්කරගැනීමේ උත්සාහය ද ඇතුලත් ය.

කම්කරු පන්තියට ඒඑන්සීයේ කුමන කන්ඩායමක් හෝ වෘත්තීය සමිති නිලධරය හා ස්ටැලින්වාදීන් කෙරෙහි හෝ විශ්වාසය තැබිය නොහැක. ඔවුන්ගේ සැබෑ පක්ෂපාතිත්වය දකුනු අප්‍රිකාව දිගට ම කොල්ලකන ජාතික ධනේශ්වරයට හා අන්තර්ජාතික සංගතවලට බව වර්නභේදවාදය අවසන් කිරීමේ සිට අවුරුදු දහඅටක කටුක අත්දැකීම් තුලින් ප්‍රදර්ශනය කර ඇත.

කම්කරු පන්තිය ග්‍රාමීය දුගීන් රැලිකර ගනිමින් දකුනු අප්‍රිකාව තුල හා ජාත්‍යන්තරව ධනවාදය හා අධිරාජ්‍යවාදී මර්දනය පිටුදැකීම සඳහා සටනට තමන්ගේ ම පක්ෂයක් ගොඩනැගිය යුතු ය.

Share this article: