ගී‍්‍රසියේ සංක‍්‍රමනිකයන් ආරක්ෂා කරනු

Defend immigrants in Greece

, 11 August 2012

පසුගිය සති අන්තයේ දී, ඇතන්ස් නගරය 1967-1974 ගී‍්‍රසියේ මිලිටරි ආඥාදායකත්වයෙන් පසුව මෙතෙක් දක්නට නොලැබුනු සිද්ධියක් අත්වින්දේය. දහස් සංඛ්‍යාත පිරිසක් කොටු කරගනු පිනිස 4,500ක පමන ඇතන්ස් පොලිස් නිලධාරිහු බලමුලූ ගන්වන ලදි. ඔවුන් වෙන්කොට තෝරාගැනුනේ ඔවුන්ගේ හමේ පැහැය හා සාමාන්‍ය පෙනුම ඔවුන් සංක‍්‍රමනිකයන් ලෙස සැක කිරීමට තුඩු දෙන නිසාය.

1,400කට වැඩි පිරිසක් කඳවුරු තුල සිර කොට දැන් පිටුවාහල් කිරීම බලාපොරොත්තුවෙන් සිටී. බොහෝ දෙනෙක් පහරකෑම්වලට ද ලක්ව තිබේ.

මෙය වනාහි ලියකියවිලි නොමැති සංක‍්‍රමනිකයන් ඉලක්ක කරගෙන ඊට පෙර සති ගනනාව තිස්සේ සිදු කෙරුනු කඩාපැනීම්වල හා මහා පරිමාන අත්අඩංගුවට ගැනීම්වල කුලුගැන්වීම විය. නාසින් සමග විවෘතව ම අනන්‍ය වන ක‍්‍රයිසි ඇව්ගි (ස්වර්නමය අරුනෝදය) කන්ඩායමේ සාමාජිකයන් සමග පොලීසිය සහයෝගීව කි‍්‍රයා කර තිබේ. සංක‍්‍රමනිකයන්ට තර්ජනය කිරීමට, පරිභව කිරීමට හා පහර දීමට පොලීසිය විසින් ෆැසිස්ට් කල්ලි දිරිගන්වනු ලැබ ඇත.

ඇතන්ස් නුවර මෙම සිද්ධීන් ජාත්‍යන්තර පරිමානව කම්කරුවන්ට තියුනු අනතුරු ඇඟවීමකි. කම්කරුවන්ගේ වඩාත්ම පරිපීඩිත කොටස්වලට එරෙහි ප‍්‍රහාරයක් ලෙස ආරම්භ වූ ව්‍යාපාරය ඉක්මනින්ම සමස්ත කම්කරු පන්තියට ම එරෙහිව එල්ල කෙරෙනු ඇත. පාලක ප‍්‍රභූහු, වඩාත්ම ප‍්‍රතිගාමී බලෙවේග බලමුලු ගන්වමින්, සිය කප්පාදු පිලිවෙත්වලට එරෙහි සියලු ප‍්‍රතිරෝධයන් මෘග ලෙස මර්දනය කිරීමට සූදානම් වෙති.

ගී‍්‍රසිය තුල සමාජ ප‍්‍රතිවිප්ලවය අන් සියලු යුරෝපීය රටවලට වඩා දුර ගොස් තිබේ. පසුගිය තුන් වසර තුල, මූර්ත වැටුප් සියයට 60ක් දක්වා ප‍්‍රමානයකින් කප්පාදු කෙරී, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට දමා, සුභසාධන පද්ධතිය විනාශ කෙරී තිබේ. නිල විරැකියා අනුපාතය එක වසරක දී තුනෙන් පංගුවකට වඩා ඉහල නැග දැන් සියයට 23.1ක වාර්තාගත ඉහල අගයක් ගෙන ඇත. තරුන විරැකියාව සියයට 55කි.

කප්පාදු පිලිවෙත් ආර්ථිකයට වල කපා ඇති බැවින්, බදු ආදායම් කඩාවැටීම මගින් නිර්මිත නව අයවැය හිඟයන් පියවීමට යන්නේ කම්කරුවන්, විශ‍්‍රාමිකයන් හා තරුනයන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරයන් තවත් ගැඹුරු කිරීම මගිනි. යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගැනුනු නය ගිවිසුම්වල කොන්දේසි සපුරාලන බව සහතික කරගනු පිනිස රාජ්‍ය අංශයේ තවත් 40,000ක් දොට්ටදැමීමට නියමිතය.

ජනගහනයේ අතිමහත් බහුතරයකට තත්වය පැහැදිලිව ම දැරිය නොහැකි මට්ටමට පත්වෙමින් තිබේ. මහජන වෛරය හා කෝපය පිටාර ගැලීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනි. වෘත්තීය සමිති නිලධාරිහු සමාජ පිපිරීමක් ගැන දැනටමත් අනතුරු අඟවති. මෙම තතු යටතේ, යුරෝපා කොමිසමේ සහයෝගය ද සහිතව සංක‍්‍රමනිකයන් දඩයම් කිරීමට අරමුනු දෙකක් පවතී.

එය රාජ්‍ය යන්ත‍්‍රය ශක්තිමත් කරන අතර කම්කරු පන්තික විරුද්ධත්වයට එරෙහිව යොදාගැනීමට නියමිත ෆැසිස්ට් කල්ලි එකට ගොනු කරයි. සිවිල් ආරක්ෂක ඇමති නිකොස් ඩෙන්ඩියස්, නිලධාරින් 1,500කින් ඇතන්ස් පොලිස් බලකාය වර්ධනය කොට, හැලිවෝර්ගියා එලඩොස් වානේ කම්හලේ දී කල පරිදි, වර්ජකයන්ට එරෙහිව එය යොදවා තිබේ.

වසර දෙකක් තිස්සේ සමාජ අයිතීන් විනාශ කිරීම සඳහා අත්හදා බැලීමේ භූමියක් ලෙස සේවය කල ගී‍්‍රසිය, දැන් ආඥාදායක පාලන රූපයන් වර්ධනය සඳහා පරීක්ෂනාගාරයක් බවට පත් කිරීමට යයි. බැංකු විසින් නියම කරනු ලැබ ඇති කප්පාදු ප‍්‍රජාතන්ත‍්‍ර පාලන රූපයන් සමග පැහැදිලිව ම නොගැලපෙයි.

සංක‍්‍රමනිකයන් දඩයම් කිරීම කම්කරු පන්තිය භේද කිරීමට ද යොදා ගැනෙයි. එය වනාහි දුෂ්ට වනවා සේම ම පැරනි ද වන උපායකි. ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් සිය වගකීමෙන් අවධානය අපසරනය කරනු වස්, පාලක පන්තිය, සංක‍්‍රමනිකයන් දඩමීමන් ලෙස යොදාගනිමින්, හිතාමතාම පරභීතිකාව හා වර්ගවාදය අවුලුවයි.

සංක‍්‍රමනය පිලිබඳ ගැටලුව මූල්‍ය ගැටලූවට වඩා දැවැන්ත ගැටලුවක් බව සිවිල් ආරක්ෂක ඇමති ඩෙන්ඩියස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. එය වනාහි කප්පාදු සම්බන්ධයෙන් සිය ආන්ඩුව දරන වගකීමෙන් අවධානය අපසරනය කිරීමේ පාරදෘශ්‍ය ප‍්‍රයත්නයකි.

ගී‍්‍රසියේ හා යුරෝපයේ කම්කරුවෝ, සංක‍්‍රමන විරෝධී හා සරනගත-විරෝධී මනෝගතීන් ඇවිලවීමේ සියලු ප‍්‍රයත්නයන්ට විරුද්ධ විය යුත්තාහ. ඔවුන්ගේ ප‍්‍රභවය හෝ ජනවාර්ගික පසුබිම කුමක් වුවත්, කම්කරුවන්ට එක සමාන අවශ්‍යතා ඇති අතර ලොව පුරාම ඔවුන් මුහුන දී සිටින්නේ එකම සතුරාට ය: එනම්, සිය වරප‍්‍රසාද හා ධනය ආරක්ෂා කරගනු වස් ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන් සිටින ක්ෂමා විරහිත මූල්‍ය වංශාධිපති පැලැන්තියකට ය.

ගී‍්‍රසියේ සිටින බොහෝ සරනගතයන් පැමින ඇත්තේ, එරට කප්පාදු පිලිවෙත් සම්බන්ධයෙන් වගකිව යුතු එම ආන්ඩුම විසින් මිලිටරිමය ලෙස කොල්ලකනු ලැබ ඇති හෝ සිවිල් යුද්ධයට ඇද දමනු ලැබ ඇති ඉරාකයෙන්, ඇෆ්ඝනිස්ථානයෙන්, සිරියාවෙන් හා සෙසු රටවලිනි. යුද්ධයේ නරකාදියෙන් ගැලවී පලා ඇවිත් ඇති ජනයා දැන් ඇතන්ස් වීදිවල දී දඩයම් කෙරෙයි.

සෙසු බොහෝ යුරෝපීය රටවල ද රාජ්‍ය සහයෝගය සහිතව සංක‍්‍රමනිකයන්ට හා ජනවාර්ගික සුලුතරයන්ට එරෙහි ව්‍යාපාර ගෙනයනු ලැබේ. ඒවා රාජ්‍ය යන්ත‍්‍රය ගොඩනැගීම හා ෆැසිස්ට් බලවේග ගොනු කිරීම සඳහා ආරම්භක ලක්ෂ්‍යය ලෙස සේවය කරන අතර සමස්ත කම්කරු පන්තියට ම එරෙහිව ද ඒවා එල්ල කෙරෙයි. යුරෝපීය කම්කරුවන් තමන්ගේම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා සමාජ ජයග‍්‍රහන රැකගැනීමට සමත් වනු ඇත්තේ, සරනගතයන්ට එරෙහි පොලීසියේ හා දක්ෂිනාංශික බලවේගවල ප‍්‍රහාරවලට ඔවුන් විරුද්ධ වන කල්හි පමනි.

විකල්ප වමේ සන්ධානය (සිරිසා) වැනි ව්‍යාජ-වාම කන්ඩායම් එයට බාධාවකි. සිරිසා යලිත් වරක් සිය බියගුලූකම හා අවස්ථාවාදය ප‍්‍රදර්ශනය කර තිබේ. පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්ෂය වන, එය පොලිස් ප‍්‍රහාරවලට එරෙහිව සංක‍්‍රමනිකයන් ආරක්ෂා කරනු වස් ඇඟිල්ලක් වත් ඔසවා නැත. එය නිරර්ථක විරෝධතා ප‍්‍රකාශනයක් නිකුත් කර, පසුව රාජ්‍යයට සිය පක්ෂපාතිත්වය සහතික වී තිබේ.

පොලීසිය ඇතන්ස් වීදි ඔස්සේ සංක‍්‍රමනික කම්කරුවන් ලූහුබැන්දාට පසු දින, සිරිසා, පොලිසියේ පිරිස් බලය පුලුල් කිරීම ද ඔවුන්ට වඩා හොඳ උපකරන සම්පාදනය කිරීම ද පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීය. මධ්‍යම පන්තියේ ධනවත් කොටස් මත පදනම් වූ මෙම පක්ෂය, එමගින් පෙන්නුම් කලේ, ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් සිය සහානුමතිය සහ කම්කරු පන්තිය පිලිබඳ සිය ආශයික වෛරය හා භීතියයි.

කම්කරුවන්ගේ -- සංක‍්‍රමනික හා ස්වදේශීය යන දෙගොල්ලගේම -- අයිතීන් ආරක්ෂා කිරීම ද මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි අරගලය ද කම්කරුවන් සියලු ජාතික දේශසීමා හරහා ඒකාබද්ධ කරන සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉල්ලා සිටී. ගී‍්‍රසිය තුල හා යුරෝපය පුරා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගිය යුතුය.

කි‍්‍රස්ටෝප් ඩ‍්‍රයර්

Share this article: