දකුනු අපි‍්‍රකානු පතලේ ජනඝාතනය

South Africa’s mine massacre

18 August 2012

බ‍්‍රහස්පතින්දා දකුනු අපි‍්‍රකාවේ වර්ජක ප්ලැටිනම් පතල් කම්කරුවන් ඝාතනය, එක අතකින් කම්කරු පන්තිය ද අනෙක් අතින් පාලක අපි‍්‍රකානු ජාතික සංගමය (ඒඑන්සී) සහ එයට අනුබද්ධිත වෘත්තීය සමිති ද අතර පවත්නා සමහන් කල නොහැකි ගැටුම එලිමහනට ගෙනවිත් ඇත.

නිලධාරින් මෙම ම්ලේච්ඡ පොලිස් ඝාතනයෙන් සිදු වූ මරන සංඛ්‍යාව 34ක් බවට වාර්තා කල ඇති නමුත්, සෙසු මූලාශ‍්‍ර යෝජනා කර ඇත්තේ, සැබෑ සංඛ්‍යාව 50ට ආසන්න විය හැකි බවටයි. මන්න හා පොලු රැගත් පතල් කම්කරුවන්ට එරෙහිව මුදාහැරනු ස්වංක‍්‍රී‍්‍රය ගිනි අවි ප‍්‍රහාරයේ දී, තවත් දුසිම් ගනනාවකට තුවාල සිදු විය. ඔවුන්ගෙන් සමහරෙක් අසාධ්‍ය තත්වයේ පසුවෙති. පොලීසිය පතල් කම්කරුවන් 259ක් අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගේ පවුල් රෝහල්වල, මෘතශරීරාගාරවල හා පොලිස් ස්ථානවල අතුරුදහන්ව ඇති සිය පියවරු, සහෝදරවරු හා පුතුන් සෙවීමේ දිගටම යෙදී සිටිති.

පොලිස් බලඇනියක් මුලුමනින්ම පාහේ අනාරක්ෂිත කම්කරුවන්ට ප‍්‍රහාරක තුවක්කුවලින් වෙඩි තබන සහ ඉන් පසුව ලේ ගලන මල සිරුරුවලින් ද කෙඳිරිගාන තුවාලකරුවන්ගෙන් ද පිරි දූවිල්ලෙන් ගහන භූමිය ඔස්සේ ඉදිරියට යන දර්ශනය, දකුනු අපි‍්‍රකාවේ හෘදය සාක්ෂිය කම්පනය කල අතරම, 1960 දී ශාර්ප්විල්ලෙ හා 1976 දී සොවෙටො යන ස්ථානවල දී මීට සමාන ජන ඝාතන මගින්, වර්නභේදවාදී පාලනය යටතේ සිදු කෙරුනු භයංකර මර්දනය මතකයට නංවාලීය.

වඩාත්ම කැපී පෙනෙන වෙනස නම්, මේ අවස්ථාවේ දී ජන ඝාතනය සංවිධානය කරන ලද්දේ, ජාත්‍යන්තර පරයකුගේ තත්වයට පත්ව තිබූ සුදු සුලුතර තන්ත‍්‍රයක් විසින් නොව, ඒ වෙනුවට, එහි හිටපු විරුද්ධවාදියා වූ ද විමුක්ති අරගලය සාක්ෂාත් වීම සහ සමානතාවයේ ආරක්ෂකයා ලෙස සිය ආන්ඩුව ප‍්‍රකාශයට පත් කරමින්, වසර 18ක් තිස්සේ එරට පාලනය කර ඇත්තා වූ ද අපි‍්‍රකානු ජාතික සංගමය (ඒඑන්සී) මෙහෙයවන ආන්ඩුවක් විසිනි.

යථා වසයෙන් ගත් කල, නීති ප‍්‍රකාරව වාර්ගික වර්නභේදවාදය අහෝසි කොට ඇති මුත්, ආර්ථික අසමානතාව සුදු සුලුතර පාලනය යටතේ දී තිබුනාටත් වඩා වර්ධනය වී තිබේ. දැන් කලු මිලියනපති හිටපු ඒඑන්සී නිලධාරින්, වෘත්තීය සමිති නායකයන් හා දේශපාලනික සබඳතා සහිත ව්‍යාපාරිකයන් ද ඇතුලත් වන දකුනු අපි‍්‍රකාවේ ධනවත් පාලක ප‍්‍රභූවත් කම්කරු හා දුගී මහජනතාවත් අතර පවත්නා පරතරය, එකම ව්‍යතිරේකය වන නැමීබියාව හැර, ලෝකයේ වෙනත් ඕනෑම රටක පවතින එවන් පරතරයට වඩා පුලුල්ය.

සොවෙටාන් පුවත්පත සිකුරාදා මුල් පිටුවේ පල කල කතුවැකියකින් නිවැරදිව නිරීක්ෂනය කලේ. "ටික් ටික් ගෑම නතර වී, පුපුරා ඇති, කාල බෝම්බයේ යථාර්ථයට අප අවදි කරවීමට” ජන ඝාතනය සේවය කර ඇති බවයි.

අවසාන විග‍්‍රහයේ දී, මෙම පිපිරීමට කොකා ගස්සනු ලැබ ඇත්තේ ධනවාදයේ ලෝක අර්බුදය විසිනි. දකුනු අපි‍්‍රකානු ආර්ථිකය හා විශේෂයෙන් ම එහි පතල් කර්මාන්ත අංශය මත එහි බලපෑම, එය මැද පෙරදිග, යුරෝපයේ හා ලොව වටා සිදු කර ඇති ලෙස ම, මෙම රට තුල ද පන්ති අරගලයේ ඉහල නැග්මකට තුඩු දී තිබේ.

පිලිවෙලින් ඒඑන්සීය සමග දේශපාලනිකව සන්ධානගතව සිටින, දකුනු අපි‍්‍රකානු වෘත්තීය සමිති සංගමය (සීඕඑස්ඒටීයූ) නම් වූ සමිති සම්මේලනයේ හදවත වන 300,000ක සාමාජිකත්වයකින් යුක්ත, ජාතික පතල් කම්කරු සංගමය (එන්යූඑම්) සහ වඩා සටන්කාමී ස්වාධීන සමිතියක් වන, පතල් කම්කරුවන්ගේ හා ඉදිකිරීම් සංගමයේ සම්මේලනය (ඒඑම්සීයු) අතර හටගත් බල අරගලයකට, බ‍්‍රහස්පතින්දා ලේ වැකි සිද්ධිය ලඝු කිරීමට, දේශපාලන විශ්ලේෂකයන් උත්සාහ දරා ඇත.

ඒඑම්සීයූ වර්ධනය වී ඇත්තේ එන්යූඑම් නිලධාරි තන්ත‍්‍රයේ දූෂන සහ ස්වයං-ධනවත් වීම පිලිබඳව පතල් කම්කරුවන්ගේ නැගෙන වෛරයට ස්තුති වන්නටය. පතල් අංශයේ සැලකිය යුතු පුද්ගලික කොටස්හිමිකමක් ද ඝාතනය සිදු වූ පතල අයිති ලන්ඩන්-පාදක ලොන්මින් සංගතයේ අධ්‍යක්ෂ මන්ඩලයේ ආසනයක් ද සහිතව, දකුනු අපි‍්‍රකාවේ ධනවත්ම මිලියනපතියකු බවට පත්ව ඇති හිටපු එන්යූඑම් සභාපති සිරිල් රැමපෝසාගේ චරිතය තුල එම ධනවත් වීම මූර්තිමත් වේ. ඔහු සිය ධනසම්පත් අත්පත් කර ගත්තේ, ආන්ඩුවේ සහ එය සේවය කරන අන්තර්ජාතික පතල් සමාගම්වල ඉල්ලීම්වලට පතල් කම්කරුවන්ගේ අවශ්‍යතා යටත් කරමින් සිදු කෙරුනු සේවාවන් මගිනි.

කෙසේවෙතත්, ජන ඝාතන සිද්ධිය පිලිබඳව ලැබෙන වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ, අලුතෙන් බලවත් වූ වෘත්තීය සමිතිය මත් වර්ජකයන්ගේ සටන්කාමිත්වය පාලනය කිරීමට අපොහොසත් වූ බවයි.

සතියකට ඉහත දී වැඩ නතර කොට ලොන්මින් සංගතයේ ප්ලැටිනම් පතලෙන් ඉවතට ගිය කම්කරුවෝ -- දල වසයෙන් මාසයකට ඩොලර් 500ක වැටුපකට සිතාගත නොහැකි තරමේ දරුනු හා අනතුරුදායක කොන්දේසි යටතේ ගැඹුරු පොලව යට ශ‍්‍රමය වගුරන ගල් විදින යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෝ -- මේ ග‍්‍රහලොව වඩාත්ම සූරාකෑමට ලක් වූ කම්කරුවන්ගෙන් කොටසකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, මොසැම්බික් හා ස්වාසිලන්තය වැනි රටවලින් පැමිනි සංක‍්‍රමන කම්කරුවෝ ය. ඔවුහු සිය වැටුපෙන් විශාල කොටසක් සිය විතත පවුල් වෙත යවමින් විදුලි බලය හෝ නල ජලය නොමැතිව කුඩා පැල්පත්වල ජීවත් වෙති.

ලොන්මින් සංගතයේ මරිකානා පතලට ඉහලින් පිහිටි කඳු බෑවුමකට රැස්වූ 3,000ක් පතල් කම්කරුවෝ පලමුව, පොලිස් සන්නද්ධ රථයක් තුල සිට ඔවුන් ඇමතීමට උත්සාහ කල එන්යූඑම් සභාපති පන්නා දැමූහ. ඉන් පසුව ඔවුන්, ඒඑම්යූසී සභාපති ඔවුන්ට විසිර යාමට කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලේ, පවත්නා කොන්දේසි යටතේ ආපසු වැඩට යනවාට වඩා මිය යාමට තමන් කැමති බව පවසමිනි.

පොලීසිය එම ස්ථානයට යවන ලද්දේ, නිසැකවම මෙම කම්කරුවන් වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුම පිනිස ය. පොලිස් නිලධාරිහු, "උපරිම බලය” පාවිච්චි කිරීමට තර්ජනය කරමින්, සිය මෙහෙයුමට "තීරනාත්මක දිනය” ලෙස සැඳහුම් කලහ. ජොහැනස්බර්ග්හි දිනපතා පුවත්පතක් වන ස්ටාර් පත‍්‍රයේ වාර්තාකරු, පොලොකො ටවු සිකුරාදා සඳහන් කල පරිදි, "එය වනාහි විරෝධතාවක් ඝාතන කලාපයක් බවට පරිවර්තනය කල හොදින් සැලසුම් කෙරුනු ප‍්‍රහාරයක් විය.”

කඳුලු ගෑස්, ජල විදින හා විදුලි කම්පන අත්බෝම්බ යොදාගෙන පිරිස විසුරුවා හැරීමෙන් සහ අශ්වාරෝහකව හා සන්නද්ධ රථවලින් පතල් කම්කරුවන් ලූහුබැඳීමෙන් පසුව, කම්කරුවන්ගෙන් කොටසක් ස්වයංක‍්‍රීය අවිවලින් හා ජීව උන්ඩවලින් සන්නද්ධව ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි පොලිස් භටයන් පේලියක් වෙත ගාල් කෙරුනි. මෙම ලේවැගිරීමේ එල්ලය වූයේ කම්කරුවන්ගේ වැඩෙන සටන්කාමිත්වය මැඩපැවැත්වීම සහ ඔවුන් මත ආන්ඩු-ගැති සමිතිවල ගිලිහෙන ග‍්‍රහනය ආරක්ෂා කිරීමය.

මෙම සමිතිවල නායකයෝ, ඒඑන්සීහි ත‍්‍රයිපාක්ෂික සන්ධානයේ අනෙක් හවුල්කරු වන ස්ටැලින්වාදී දකුනු අපි‍්‍රකානු කොමියුනිස්ට් පක්ෂය සමග එක්ව, වඩාත්ම තුච්ඡ කි‍්‍රයාකලාපය ඉටු කර තිබේ. ඔවුන් පොලිස් ඝාතකයන් ආරක්ෂා කොට, "අපරාධකරුවන්” ලෙස ඔවුන් විසින්ම සැඳහුම් කෙරුනු, වර්ජක පතල් කම්කරුවන් මර්දනය කිරීම මෙන්ම එම කම්කරුවන්ගේ "කල්ලි නායකයන්” අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම ද ඉල්ලා ඇත.

මරිකානා පතලේ ලේ වැගිරීම දකුනු අපි‍්‍රකානු ඉතිහාසයේ හැරුම් ලක්ෂ්‍යයක් සංඥා කරයි. එය කිසිදු අයුරකින් තනි හුදකලා සිද්ධියක් නොව, අද සියයට 25ක නිල විරැකියා අනුපාතයකට ද වර්නභේදවාදය යටතේ පැවති කාලකන්නි කොන්දේසිවලින් එතරම් වෙනසක් නැති දරිද්‍ර නාගරික ජීවන කොන්දේසිවලට ද මුහුන දෙන දකුනු අපි‍්‍රකානු කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ වැඩෙන අරගලවල කොටසකි.

රාජ්‍යය විසින් ගනන් බලා සිදු කෙරුනු දකුනු අපි‍්‍රකානු පතල් කම්කරුවන් ඝාතනය ජාත්‍යන්තර කම්කරු පන්තිය අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. එය වනාහි, සෑම රටකම ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත්වලට හා කම්කරු අයිතීන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව නැගෙන කම්කරු පන්තික විරුද්ධත්වය හමුවේ වඩවඩා යොදා ගැනෙනු ඇති විධික‍්‍රම පිලිබඳ දර්ශකයකි. මහජන සමාජ විරුද්ධත්වයට ඇමරිකානු පාලක පන්තිය දක්වන ප‍්‍රතිචාරය ඔවුන්ගේ දකුනු අපි‍්‍රකානු සගයන්ගේ ප‍්‍රතිචාරයට වඩා වෙනස් වනු ඇතැයි එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ අරගල පිලිබඳ ඉතිහාසය ගැන දැනුමක් ඇති කිසිවෙකුට විශ්වාස කල නොහැකිය.

දකුනු අපි‍්‍රකාවේ වර්ධනයන් ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායට පැහැදිලිම සනාථනය සපයා ඇත. එම න්‍යායෙන් තහවුරු කර ඇත්තේ, පරිපීඩිත රටවල දී, ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර, ධනවාදයට ගැටගැසී කම්කරු පන්තිය පිලිබඳ භීතියෙන් පසුවන තතු යටතේ, කම්කරුවන්ගේ හා පීඩිත මහජනතාවගේ සමාජ අභිලාෂයන් සපුරාලීම කෙසේවෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් විමුක්ත වීම සඳහා වූ අරගලය ඉදිරියට ගෙනයාමට ඓන්ද්‍රීයව අසමත් බවයි.

මෙම කර්තව්‍යයන් පැටවෙන්නේ, සියලු පීඩිත සමාජ ස්ථරයන් තමන් පිටුපස බලමුලුගන්වා ගන්නා කම්කරු පන්තිය මතය. ඒවා සාක්ෂාත් කරගැනීම ඒඑන්සීයෙන් හා එහි වෘත්තීය සමිති යාන්ත‍්‍රනයෙන් තීරනාත්මකව දේශපාලනික බිඳීවෙන්වීමක් සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පාදකව නව ස්වාධීන නායකත්වයක් ගොඩනැගීම ඉල්ලා සිටී. එයින් අදහස් කෙරෙන්නේ, පතල් හා ආර්ථිකයේ සෙසු ප‍්‍රධාන අංශ ජනසතු කිරීමට ද අපි‍්‍රකා මහාද්වීපය හා ඉන් ඔබ්බට විප්ලවය පුලුල් කිරීමට සටන් වදින අතර, ධනසම්පත් රැඩිකල් ලෙස යලි බෙදාහැරීමක් සිදු කිරීමට ද අවශ්‍ය කම්කරු ආන්ඩුවක් සඳහා අරගල කිරීමයි. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දකුනු අපි‍්‍රකානු ශාඛාව ගොඩනැගීම ඉල්ලා සිටී.

බිල් වෑන් ඕකන්

Share this article: