අඟහරු ග්‍රහයා මතට ගොඩබැසීම

The Mars landing

10 August 2012

ක්‍යුරියෝසිටි රෝවර් යානය සාර්ථක ලෙස අඟහරු ග්‍රහයා මත ගොඩබැසීම පුලුල්ව පැතිරුන මහජන උනන්දුවක් හා උද්යෝගයක් ජනිත කර ඇත. අභ්‍යවකාශ ඒජන්සියේ සේවා පරිඝනකයන් අවහිර කරමින් බොහෝ පුද්ගලයෝ ගොඩබැසීමේ නවත ම වාර්තා ලබාගැනීමට හා අඟහරු භූදර්ශන බාගැනීමට නාසා වෙබ් අඩවිවලට පිවිසුනහ.

ක්‍යුරියෝසිටි බඳෙහි සවිකර ඇති අධිතාක්ෂනික උපකරන දහය පැයෙන් පැය, දවසින් දවස, මානව ගවේෂනයේ හා සංවර්ධනයේ සිදු විය හැකි ඊලඟ අවධිය ලෙස දීර්ග කාලයක් මිනිසාගේ කාල්පනිකත්වය ආහ්ලාදනය කර ඇති ග්‍රහයා අධ්‍යයනය කරමින් පවතිනු ඇත. මානව වර්ගයාගේ විද්‍යාත්මක දැනුමේ අති දැවන්ත ප්‍රසාරනය ආගමික බුද්ධිරෝධවාදයට එරෙහිව පමනක් නොව පශ්චාත්-නූතනවාදය වැනි විඥානවාදී ප්‍රවාහයන් විසින් පතුරනු ලබන ප්‍රතිගාමී සංශයවාදයට ද බලගතු ප්‍රහාරයකි.

ක්‍යුරියෝසිටි ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන අඟහරු විද්‍යා පර්යේෂනාගාරය වර්ධනය කර, ඉදිකර, දියත්කර, ග්‍රහයා මත ගොඩ බස්වන ලද්දේ, ජෛව රූපාකාරයන්ගේ වර්ධනය සඳහා කොන්දේසි අඟහරු මත කවදා හෝ පැවතියේ දැ යි නීර්නය කිරීම මත විශේෂ අවධානයක් සහිතව විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම සඳහා ය.(ගේල් ආවාටය තුල ගොඩබැසීම් කලාපය තෝරා ගන්නා ලද්දේ, පුළුල් පරාසයක පාෂාන හා අවසාදිත තට්ටු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳව පැහදිලි චිත්‍රයක් දීමට ඉඩ ඇති බැවිනි.)

විශේෂයෙන් ම මුලදී යෙදවූ වඩා කුඩා රෝවර් යානා දෙකක් ඇතුලු මීට පෙර අභ්‍යවකාශ ගමන්වල දී අත්පත් කර ගත් දැනුම මත ගොඩනගමින්, මෙම මෙහෙවර මේ වන විටත් නූතන විද්‍යාව හා ඉංජිනේරු ශිල්පය සඳහා විජයග්‍රහනයක් වී ඇත. දැනට අඟහරු කක්ෂය තුල තිබෙන, අඟහරු වීර චාරිකාව (මාර්ස් ඔඩිසි) හා අඟහරු පිරික්සුම (මාර්ස් රිකනයිසන්ස්) නම් නාසා යානා දෙකක් පෘතුවියෙන් එන තොරතුරු නැවත ප්‍රක්ෂේපනය කරමින්, ග්‍රහයාගේ මතුපිටට පාත්වීමේ එහි අවසාන මිනිත්තු හතේ දී ක්‍යුරියෝසිටියට උදව් කරමින් හා ගොඩබැසීම ඡායාරූප ගතකරමින් මිල කල නොහැකි කාර්යභාරයක් ඉටු කලේ ය.

එම අර්ථයෙන්, ඉතා ම මෑත අඟහරු ගමන විද්‍යාඥයින්ගේ හා ඉංජිනේරුවන්ගේ ඉහලින් ම නිපුන සේවක මන්ඩලයක සාමූහික ශ්‍රමයේ ආයාමයක් නියෝජනය කරන අතර ඔවුන්ගේ පූර්ව පරිශ්‍රම පසුගිය ඉරිදා රාත්‍රී ජයග්‍රහනය ශක්‍ය කලේ ය. ගොඩබැසීම පෞද්ගලික බුද්ධි මහිමයක ප්‍රතිඵලය නො ව ඒකාබද්ධ සමූහවැඩක ප්‍රතිඵලයකි (නැතහොත් සමහරවිට ඒකාබද්ධ බුද්ධිමහිමයේ ප්‍රථිඵලයක් විය හැක්කේ ක්‍යුරියෝසිටියෙහි ඒකාබද්ධව වැඩකරමින් සිටි අය අසාමන්‍ය ලෙස බුද්ධිමත් හා නිපුන බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇති තතු යටතේ ය.)

මෙහෙවරට දායක වූ සැලැසුම්කරනයේ මට්ටම එහි ඉතාමත් අසාමාන්‍ය අංශයන්ගෙන් එකකි. අභ්‍යවකාශ යානයට හා එහි උපකරනයන්ට ක්‍රියාත්මක කිරීමට හැකිවීම ශක්‍ය කරමින් මෙහෙයුම් සිය දහස් ගනනක් කල්තියා සැලසුම් කිරීමට සිදු ව තිබිනි. ගුවන් විදුලි සංඥා එක අතකට යාමට මිනිත්තු හතක් ගැනීම සමග, අඟහරුගේ සිට පෘතුවියට ඇති විශාල දුර සලකන විට පෘතුවිය මත සිටින ඉංජිනේරුවන්ට අඟහරු මෙහෙයුම නියමිත වේලාවට යොමුකිරීම නො හැකි විය. අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා මෘදුකාංග ක්‍රමලේඛ සිය දහස් ගනනක් ලියන ලදී.

අඟහරු මත සාර්ථකව ගොඩබැසීමෙන් පසු ඔබාමාගේ ධවල මන්දිරය ජයග්‍රනය ජාතිකවාදී වචනවලින් ඉදිරිපත් කරමින් ජනාධිපතිගේ නමින් කෙටි ප්‍රකාශයක් නිකුත් කලේ ය. “එක්සත් ජනපදය අද රාත්‍රියේ දී අඟහරු මත ඉතිහාසය නිර්මානය කලා” යනුවෙන් ඇරඹුනු ප්‍රකාශය ගොඩබැසීම “අනාගතයේ බොහෝ ඈතට ජාතික අභිමානයේ ලකුනක් ලෙස පවතිනු ඇති අතර දක්ෂතාව හා අධිෂ්ඨානය පිලිබඳ අපගේ විශිෂ්ට සම්මිශ්‍රනය ප්‍රදර්ශනය කරයි” යනුවෙන් තවදුරටත් පැවසී ය.

“ටොන් එකක් වන, ඇමරිකානු දක්ෂතාවයේ මෝටර් රථයක ප්‍රමානයේ නිර්මානයක් වන යානය හරියට ම මේ මොහොතේ අඟහරුගේ මතුපිට ලැගුම්ගනිමින් සිටී” යයි මාධ්‍ය සාකච්ඡාවකට ප්‍රකාශ කරමින් ඔබාමාගේ විද්‍යා උපදේශක ජෝන් පී. හෝල්ඩ්‍රන් ඉහත ආකාරයේ ම හඬක් නැංවී ය. බොහෝ අඟහරු මෙහෙයුම් කර ඇති එක්සත් ජනපදය වෙනත් ග්‍රහයෙකු මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්ස වූ එක ම ජාතිය ලෙස පුරසාරම් දෙඩීම දක්වා ඔහු පෙරට ගියේ සිකුරු ග්‍රහයා මත සෝවියට් වෙනෙරා යානා ගොඩබැසීම් නො තකා හරිමිනි. සිකුරු ග්‍රහයාට ලඟා වූ එක ම යානය එකී වෙනෙරා යානය යි.( වෙනෙරා පිරික්සුම් යානා දහයක් මෘදු ලෙස ගොඩබැසි අතර 1970 – 1985 අතරතුර දත්ත සම්ප්‍රේෂනය කලේ ය.)

එය “ඇමරිකානු වටිනාකම්” සඳහා විජයග්‍රහනයක් ලෙස පින්තාරු කිරීමට ගන්නා උත්සාහයන් නො තකා, සාර්ථකව අඟහරු මත ගොඩබැසීම, වෝල් වීදිය ද වොෂින්ටනයේ හා මාධ්‍ය තුල එහි දේශපාලන මෙහෙකරුවන් ද විසින් නවීන සමාජයේ එක ම ශක්‍ය සංවිධාන මූලධර්මය ලෙස නො වෙනස්ව ම ඉදිරිපත් කරනු ලබන කොල්ලකාරී පුද්ගලවාදයේ ප්‍රතිවිරුද්ධය යි. වෙනත් ග්‍රහලෝකයකට එදාමෙදාතුර යවන ලද විශාලත ම හා ඉතාමත් ම දියුනු රොබෝ ගවේෂකයා දියත් කිරීම හා ගොඩබැස්සීම තුල “වෙලඳපොල” හෝ නැත්නම් ලාභ චේතනාව කිසිදු වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කලේ නැත.

නාසා විද්‍යාඥයින්ගේ හා ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂනය පිලිබඳ කැලිෆෝනියා ආයතනයේ කොටසක් වන ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ ඔවුන්ගේ සගයන්ගේ නිර්මානය සාමූහික සමාජ ප්‍රයත්නයේ හා විද්‍යාත්මක සැලසුම්කරනයේ ජීවමාන ආදර්ශනයකි. මෙහි පෘතුවිය මත පවතින ගැටලු වන සාගින්න, රෝග, විරැකියාව, දරිද්‍රතාව, පාරිසරික විනාශය හා යුද්ධ විසඳීමට එවැනි ක්‍රමවේදයක් එක ලෙස සාර්ථක ලෙස යොදා ගත නොහැක්කේ මන් දැ’යි එය අනිවාර්යයෙන් ම ප්‍රශ්න කර යි.

අඟහරු ගොඩබැස්සීමට සුභ පැතීමේ සිට, “ඇමරිකානු අභ්‍යවකාශයානා මත ඇමරිකානු ගගනගාමීන් අභ්‍යවකාශය තුලට යැවීමට ඇමරිකානු සමාගම් සමග නව හවුල් ව්‍යාපාරයක් සඳහා දැක්ම” ලෙස විස්තර කෙරුනු අභ්‍යවකාශ වැඩසටහන පුද්ගලීකරන කිරීමේ ඔබාමගේ උත්සාහයට ප්‍රසංශා කිරීම දක්වා ධවල මන්දිරය ප්‍රකාශනය කේන්ද්‍ර ගත විය. මෙහි දී ප්‍රතිගාමී ජාතිකවාදය මුග්ධ වෙලඳපොල වන්දනාව සමග අතිනත ගනි යි.

ඇමරිකානු සමාජයේ සෑම අනෙක් අංශයක් මෙන් ම අභ්‍යවකාශ වැඩසටහන ද මූල්‍ය ප්‍රභූවේ ආඥාදායකත්වය විසින් විකෘති කොට විනාශ කෙරුනි. නමුත් මේ දක්වා ම බලපෑම වක්‍රාකාරව පවතී. විශාල ව්‍යාපාරයක වියදමින් තම සාක්කු පුරවන දශලක්ෂපති විධායකයෙකු නාසාහි හෝ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ හෝ නැත. අඟහරු වැඩසටහන තුල නියුක්ත සියලු ම ප්‍රධාන තීරන ගන්නෝ විද්‍යා හෝ අභ්‍යවකාශ වැඩසටහන් පසුබිමක් සහිත විද්‍යඥයෝ හෝ පරිපාලකයෝ ය. බැංකු කරුවෙකු හෝ සංගත ආක්‍රමනිකයෙකු ඔවුන් අතර නැත.

එක්සත් ජනපදයේ සාමන්‍ය කම්කරුවෙකුට සසඳන විට ව්‍යාපෘතියේ රැකියාකරන්නන්ට හොඳ වැටුප් ගෙවන මුත් පැහදිලිව ම ඔවුහු “මුදල් සඳහා එය තුල” නො සිටිති. සාර්ථක ගොඩබැස්සීමෙන් පසු තිරයේ දිස් වූ ප්‍රීතිප්‍රමෝදයේ දර්ශන තුල මෙන් ඔවුහු අතිවිශාල ලෙස සේවයේ නිමග්න වූ හා කැප වූ අය වෙති.

සමහර යෝධ අභ්‍යවකාශ යානා සමාගම් නාසා ආයතයේ කොන්ත්‍රාත්තු කිරීම අතිවිශාල ලෙස ලාභදායි බව දැන ගත් අතර, සෝවියට් සංගමය සමග “අභ්‍යවකාශ තරඟයේ” මුල් දවස්වලට හා 1960 ගනන් අවසන් වනවිට මිනිසෙකු හඳ මත තැබීමේ කෙනඩිගේ සුප්‍රකට ප්‍රතිඥාව දක්වා ආපසු දිවෙන අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසය, ඇමරිකානු ධනවාදයේ පුළුල් මූලෝපායාත්මක උත්සුකයන් සමග කිට්ටුවෙන් වෙලී පැවතුනි.

සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු එම සලකා බැලීම් එක්තරා දුරකට අඩු වීම නිසා අව ම වශයෙන් යම් තාක් දුරකට නාසා ආතනය සඳහා සහයෝගය පිරිහුන ද එක්සත් ජනපද පාලක ප්‍රභූව මෙම අවස්ථාවේ චීනයට සම්බන්ධව නැවතත් ඒවා මතු කිරීම අරඹා ඇත. 1999 දී පලමු වරට චන්ද්‍රිකා තාක්ෂනය හුවමාරුව මත සීමා කිරීම් පැටවුනි. පසුගිය වසරේ දී, විශේෂිත බලය දීමකින් තොර ව චීනය සමග බද්ධවෙමින් කිසිදු වැඩසටහනක් දියනු කිරීමට නාසා අරමුදල් යොදාගැනීම මත කොන්ග්‍රසය තහනමක් පැනවී ය.

එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ අතිවිශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහනයන් මෙන් ම රුසියාව, චීනය හා ලොව කොතනක හෝ එහි ප්‍රතිසමයන්ගේ එවැනි ජයග්‍රහන සම්පූර්නයෙන් වර්ධනය කල හැක්කේ සමස්ථ ග්‍රහලෝකයේ විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් අතර අවංක ගෝලීය සහයෝගීතාව මත පාදක නව පදනමක් මත පමනි. මෙහි අර්ථය වනුයේ තරඟකාරී ජාතික රාජ්‍යයන්ගේ බන්ධනයෙන් හා සමාජයේ සියලු ම සම්පත් වර්ධනය වන පෞද්ගලික ලාභය සඳහා යෙදවීමට ඉල්ලන පාලක ප්‍රභූවේ අතෘප්තිමත් ආශාවන්ගෙන් අභ්‍යවකාශ ගවේෂනයන් හා අනෙකුත් මානව ප්‍රයත්නයන් නිදහස් කරගැනීම යි.

පැට්‍රික් මාටින්

Share this article: