ශ‍්‍රී ලංකාවේ සසප එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයාගේ රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරයි

Sri Lankan SEP campaigns for US presidential candidate’s meetings

By our corespondants, 24 August 2012

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) කන්ඩායම් මේ සතියේ ශී‍්‍ර ලංකාවට පැමිනෙන එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට්ගේ සංචාරය වෙනුවෙන් තීව‍්‍රතර උද්ඝෝෂනයක යෙදී සිටිති. එක්සත් ජනපද සසපයේ දීර්ඝ කාලීන හා ප‍්‍රමුඛපෙලේ සාමාජිකයෙකු වන වයිට් එලඹෙන ඉරිදා කොලඹ නව නගර ශාලාවේදී ප‍්‍රසිද්ධ රැස්වීමක් අමතනු ඇත. අනෙකුත් රැස්වීම් කෑගල්ලේ දී හා දකුනු පලාතේ ගාලු නගරයේ දී පිලිවෙලින් අගෝස්තු 28 හා 30 දිනවල පැවැත්වෙනු ඇත.

සසප ආධාරකරුවෝ පසුගිය දෙදින පුරා, කොලඹ මාලිගාවත්ත, කොම්පඤ්ඤවීදිය හා මරදාන ප‍්‍රදේශවල ද නගරයේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය වන කොටුව දුම්රියපොලේ ද වයිට්ගේ සංචාරය නිවේදනය කරන සිංහල හා දෙමල භාෂාවෙන් මුද්‍රිත පත‍්‍රිකා දහස් ගනනින් බෙදාහැරිය හ.

ඉංගී‍්‍රසියෙන් පලවන පුවත්පත්වල පලවුනු ලිපි කිහිපයක් හැරෙන්නට ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවල ඇමරිකානු ජනාධිපතිවරනය ගැන සඳහනක් ඇත්තේ ම නැති තරම් ය. කෙසේවෙතත් දේශීය මාධ්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පාලක පක්ෂයේ නායකයින් හා සිංහල ස්වෝත්තමවාදීන් අධිරාජ්‍ය විරෝධීන් ලෙස හුවාදක්වමින් ඔවුන්ගේ කතා නිරන්තරයෙන් පල කරයි. එහි ඉලක්කය වන්නේ එක්සත් ජනපදය හා අනෙකුත් මහ බලවතුන් සමග හාමුවීමට ආන්ඩුව දරන උත්සාහය වසං කිරීම යි.

එච්. තුවාන්

තරුන හෝටල් කම්කරුවකු වන එච්. තුවාන්, ජෙරී වයිට්ගේ ජාත්‍යන්තර උද්ඝෝෂනය කෙරෙහි උද්‍යෝගිමත් විය. ලිබියාවේ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමේ දී එක්සත් ජනපදයේ භූමිකාව පිලිබඳව තමන් දන්නා බව සසප ආධාරකරුවන්ට කී ඔහු එක්සත් ජනපදය තුල පලල් වන සමාජ ධ‍්‍රැවාන්තගත වීම ගැන අදහස් දැක්වී ය. "සෑම රටක ම ධනවතුන් තව තවත් ධනවත් වෙද්දී දිලින්දන් තවත් දිලිඳු වෙනවා” යයි ඔහු කීවේ ය.

මාලිගාවත්තේ හා කොම්පඤ්ඤවීදියේ වැසියෝ සමපේක්ෂකයන්ට හා ආයෝජකයන්ට ඉඩම් ලබාදීම සඳහා මෙම නගරාභ්‍යන්තර ප‍්‍රදේශවල දිලිඳු පවුල් 70,000ක් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැසුම නිසා කෝපාවිෂ්ටව සිටිති.

මෙම ඉවත් කිරීම්වලට එරෙහිව සසපයේ සප‍්‍රතිපත්තික ආස්ථානය පසසමින් කතාකල මාලිගාවත්තේ ගෘහනියක් මෙසේ කීවා ය: "ඇත්තට ම වෙන්නේ මොකක්ද කියලා අපට පැහැදිලි කරේ ඔයාලගේ පක්ෂය විතර යි.” මානව හිමිකම් අරබයා එක්සත් ජනපද ආන්ඩුව රාජපක්ෂ පරිපාලනය මත යොදන පීඩනය "ආන්ඩුව යම් තරමකට පාලනය කරනු ඇතැ”යි ඇය අපේක්ෂාවන් පලකලා ය.

වොෂින්ටනය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ආන්ඩුව ගෙනගිය යුද්ධයට පිටුබලය දී ඇති බවත් රැඳවුම් කඳවුරුවල හා බන්ධනාගාරවල රඳවා සිටින දහස් ගනන් දෙමල තරුනයන්ව නිදහස් කරන ලෙස ඉල්ලා නැති බවත් සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. එක්සත් ජනපදය මානව හිමිකම් ගැන දක්වන උත්සුකතාවන්ගේ එල්ලය වන්නේ යුද්ධ කාලය තුල ශී‍්‍ර ලංකා ආන්ඩුව චීනය සමග ගොඩ නගාගෙන ඇති සමීප සබඳතාවන් අවසන් කරන ලෙසට එය මත පීඩනය යෙදීම බව ඔවුහු කීහ.

කලාපය තුල යුද තර්ජනය හා වයිට්ගේ මැදිහත් වීමේ දේශපාලන අර්ථභාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු ඇය මෙසේ කීවා ය: "අපි මේ ජාත්‍යන්තර වර්ධනයන් ගැන එච්චර අවධානයක් දෙන්නේ නෑ. ඒත් අපිට මේ දේවල් පැහැදිලි කර දුන්න එක හොඳයි.” වැඩි විස්තර දැනගැනීම සඳහා ඇය ලෝසවෙඅ විමර්ශන සඟරාවක් මිලට ගත්තා ය.

මාලිගාවත්තේ සැමියෙක් හා බිරිඳක් නිවැසියන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් කෙරෙහි ප‍්‍රදේශයේ පවතින විරුද්ධත්වය විස්තර කල හ. "අපි ඔක්කොම මේ ඉවත් කිරීම්වලට විරුද්ධ යි” යයි කී සැමියා ප‍්‍රදේශවාසීන්ගේ පිකට් උද්ඝෝෂන හා අනෙකුත් විරෝධතා ගැන සාකච්ඡා කලේ ය.

"මගේ සීයාගේ උරුමයෙන් මට ලැබිච්ච මාලු ලෑල්ලත් මට නැති වුනා. කොලඹින් මාලු මාකට් එක පිටට අරං ගිය ආන්ඩුව අලුත් මාලු ලෑල්ලක් දෙන්න ලොකු මුදලක් ඉල්ලනවා. මං කොහොමද එච්චර ගානක් ගෙවන්නෙ? මට බිල ගෙවන්න බැරිවුන හින්ද මාස ගානක් අපිට විදුලි බලය ඇත්තෙම නෑ.”

මෙම සැමියා තම ඉරනම හා ඇමරිකාවේ සමාජ අර්බුදය අතර සමානකම් දැක ගත්තේ ය. "මම නො වැරදී ම ඕගොල්ලන්ගේ රැස්වීමට එනවා” යයි ඔහු පොරොන්දු විය.

සසප උද්ඝෝෂනකයා මලිගාවත්තේ පදිංචිකරුවකු සමග කතා කරමින්

දකුනේ මාතර ප‍්‍රදේශයෙන් පැමින දැනට කොලඹ අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින ජනිඳු නානායක්කාර එක්සත් ජනපද ජනාධිපතිවරනයට තරග කිරීමට සසප ගෙන ඇති තීරනය "වැදගත් හා අපටත් අදාල වෙනවා” යයි උද්ඝෝෂකයන්ට කීවේ ය.

"ශී‍්‍ර ලංකාව ආර්ථිකව හා දේශපාලනිකව බලවත් රටවල්වලට යටත්. මේ ආන්ඩුවලට ඒකෙන් කැඩෙන්න බැහැ” යයි ඔහු කීවේ ය. "මේ ක‍්‍රමයට මම කැමති නැහැ. ඒත් විරුද්ධ පක්ෂයේ ඉන්න අය එම බලවතුන්ට ඊටත් වඩා කීකරු යි. මේ මැතිවරනය ජයගන්න බැරිනම් ඊ ලඟ එක දිනන්න ඕගොල්ලන්ට පුලුවන් වේවි ද?” යනුවෙන් ඔහු විමසීය. මැතිවරන සැලසුම් කරනු ලබන්නේ ධනේශ්වර පද්ධතිය පවත්වාගෙන යාමට බවත් සැබෑ සමාජ වෙනසක් සඳහා සමාජවාදී විප්ලවයක් අවශ්‍ය බවත් සසප ආධාරකරුවෝ පැහැදිලි කල හ.

ඊජිප්තුවේ විප්ලවකාරී නැගී සිටීම ගැන විමසූ ජනිඳු තත්ත්වයේ "වාසිය ගසා කෑමට” එක්සත් ජනපදයට ඉඩ ලබා දෙමින් මහජන ව්‍යාපාරය අපසරනය කරනු ලැබ ඇතැ”යි සඳහන් කලේ ය. "මෙහි එවැන්නක් සිදුවීම අපට අවශ්‍ය නැහැ” යයි ඔහු කීවේ ය. දක්ෂිනාංශික මුස්ලිම් සහෝදරත්වය පක්ෂයට පිටු බලය දී මහජන නැගී සිටීම පාවාදුන් විප්ලවීය සමාජවාදීන් වැනි ව්‍යාජ-වාම කන්ඩායම් ඉටුකල භූමිකාව පිලිබඳව සසප ආධාරකරුවෝ පැහැදිලි කල හ.

කොම්පඤ්ඤවීදියේ ජීවත් වන කොලඹ සහිරා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන බව අසා තමන් "විශ්මයට” පත් වූ බව කීවේ ය. "මේ (එක්සත් ජනපද) ජනාධිපතිවරනය සෑම රටකට ම අදාලයි කීමේ දී මම ඕගොල්ලොත් එක්ක එකඟ යි. මහ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ප‍්‍රධාන අපේක්ෂකයන් දෙන්නට ම (ඔබාමා හා රොම්නි) බැරි බව ඕගොල්ලො කියනව වගේ ම පැහැදිලි යි. මුස්ලිම්වරු හැටියට අපි ඔබාමා ඇෆ්ගනිස්තානයෙයි ඉරාකයෙයි යුද්ධ නවත්වනු ඇතැ’යි විශ්වාස කලත් ඒක හීනයක් විතර යි. මැද පෙරදිග තෙල් මංකොල්ල කන්නයි ලෝකය පුරා තෙල් බිම්වල පාලනය අල්ල ගන්නයි ඇමරිකාව යුද්ධ දියත් කරනව.”

යුද්ධය නැවැත්වීමට සමත් වනු ඇත්තේ ජාත්‍යන්තරව සංවිධිත කම්කරු පන්තියේ ව්‍යාපාරයක් පමනක් යයි සසප ආධාරකරුවන් පැහැදිලි කල පසු ශිෂ්‍යයා මෙසේ අදහස් දැක්වීය. "එම හේතුව නිසා අපි ජෙරී වයිට්ගේ ශී‍්‍ර ලංකා සංචාරයට ආධාර කල යුතු යි. කලින් මං හිතුවෙ ඇමරිකාව යුද්ධ කරන්නේ මුස්ලිම් රටවලට විරුද්ධව විතරයි කියල. දැං මට තේරෙනව ඒක එහෙම නෙවෙයි කියල. ලංකාවෙ යුද්ධෙදිත් ඇමරිකාව ලංකාවට මුදලිනුයි ආයුධවලිනුයි ආධාර දීල පුහුනුවත් දුන්න. මානව හිමිකම් ගැන කතා කරන්න ගත්තෙ ඊට පස්සෙ. මේ දෙබිඩි පිලිවෙත ගැන මට හරියට ම තේරුම් ගන්න බැරි වුනා.”

රාජපක්ෂ ආන්ඩුව පිලිබඳ වොෂින්ටනයේ විවේචන දකුනු ආසියාව තුල එක්සත් ජනපදයේ භූ-මූලෝපායික අවශ්‍යතා ද කලාපය තුල චීනයේ අනුහස නිෂ්කී‍්‍රය කිරීමේ එහි උත්සාහයන් ද සමග බැඳී ඇත්තේ කෙසේදැ’යි තේරුම් ගැනීමට තමන්ට අවශ්‍ය යයි ශිෂ්‍යයා කීවේ ය. සසප විශ්ලේෂනයට පරිස්සමෙන් ඇහුම්කන් දුන් ඔහු මෙසේ කීවේ ය: "මේ සාකච්ඡාවට කලින් මම චීනය හා දකුනු ආසියාව අතර සම්බන්ධතා ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒත් දැන් මට ඒක තේරුම් ගන්න පුලුවන්.”

මෑත කාලයේ තේ මිල කඩා වැටීම කෙරෙහි තමන් අතිශය කනස්සල්ලට පත්ව සිටින බව කී තරුන තේ කම්හල් කම්කරුවෙක් එයට මූලික හේතුව ගෝලීය මූල්‍ය අර්බුදය බව කීවේ ය. "ඇමරිකාවේ සාමාන්‍ය ජනයාට තවමත් ඉතා හොඳ ජීවන කොන්දේසි තියෙනව කියලයි මං කලින් හිතාගෙන හිටියෙ. ඒත් ඇමරිකානුවනුත් ලංකාවේ අප වගේ ම නරක තත්ත්වෙකට මුහුන දෙනව කියලයි දැං තේරෙන්නෙ. (ජෙරී වයිට්ගේ රැස්විම) ඒකට විසඳුමක් හොයාගන්න උදවු වෙයි කියල මං හිතනව.”

Share this article: