එක්සත් ජනපදය රූකඩ තන්ත්‍රයක් ඇවීමට කුමන්ත්‍රනය කිරීමත් සමග සිරියාවේ වාර්ගික හා නිකායික ගැටුම් ගැඹුරු වේ

Syrian ethnic, sectarian conflicts deepen as US plots to install client regime

By Niall Green, 30 July 2012

පසුගිය සතියේ මහා ප්‍රහාරයකින් විරුද්ධ පාර්ශ්වීය සටන්කරුවන් විසින් අල්ලා ගන්නා ලද අසැල්වැසි ප්‍රදේශ නැවත ලබාගැනීමට ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව හමුදා හා ගුවන් යානා යොදා ගැනීමත් සමග සති අන්තයේ සිරියාවේ අලේපෝ නගරය තුල සටන් තීව්‍ර විය.

සිරියාවේ වඩාත් ම ජනාකීර්න නගරය මෙන් ම එහි ප්‍රධාන වානීජ මධ්‍යස්ථානය වන අලේපෝවල ඓතිහාසික නගර කේන්ද්‍රය හා පැරනි කොටුව ප‍්‍රදේශය තුල දරුනු සටන් පිලිබඳව වාර්තා විය. සලා අල් ඩින් තදාසන්න නගරය තුල සටන්කරුවන් සිටින ස්ථානවලට සිරියානු හමුදාව ෂෙල් වෙඩි ප්‍රහාරයන් එල්ලකරමින් සිටි බව හා සිරියානුවන් දහස් ගනනක් අලේපෝ අතහැර යමින් සිටි බව නගරය තුල තම වාර්තාකරුවෙකු සිටින බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ ය.

අලේපෝ අවට ග්‍රාමීය ප‍්‍රදේශ සිරියානු ආන්ඩුවේ හමුදා හා විපාර්ශ්වීය සටන්කාමීන් අතර මාස දහසයක සිවිල් ගැටුම් අතරතුර දී නිරන්තර ගැටුම් අත්විඳ තිබුනත් මෑතක් වන තුරු ම නගරය එතරම් ප්‍රචන්ඩත්වයන් දුටුවේ නැත.කෙසේ නමුත්, අසැල්වැසි තුර්කි දේශ සීමා හරහා ගලා එන ආයුධ සැපයීම වැඩිවීමෙන් අසාද් විරෝධී සටන්කරුවන් ශක්තිමත්වීමත් සමග, මෙම වසරේ දී අලේපෝහි ආන්ඩුවේ මධ්‍යස්ථාන හා පුද්ගලයන් මත මාරාන්තික ප්‍රහාරයන් එල්ල වී ඇත.

අලේපෝවල සටන්වලට ප්‍රතිචාර ලෙස, එක්සත් ජනපද සහාය ලබන සිරියානු ජාතික කවුන්සිලයේ නායක සයිදා අබ්දුල්බසෙට් සයිදා, විපාර්ශ්වීය සටන්කාමීයන්ට දෙන සහාය වැඩි කරන ලෙස බටහිරින් හා ගල්ෆ් රාජාන්ඩුවලින් අයැද සිටියේ ය. "යුද ටැංකි හා ප්‍රහාරක ජෙට් යානා නැවැත්විය හැකි ආයුධ අපට ඕනෑ” යි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය අතරතුර දී සයිදා පැවසී ය.

ආන්ඩුවේ හමුදා, විරුද්ධ පාර්ශ්වය අල්ලා ගෙන සිටින අලේපෝ හා අනෙකුත් ප්‍ර‍ෙද්ශ බල ගැන්වීම නොකඩවා කර ගෙන යනු ඇත යි සිරියානු විදේශ ඇමති වලිඩ් මවුලෙම් ජූලි 29දා ප්‍රකාශ කලේ ය. සිරියාවේ ප්‍රධාන කලාපීය මිතුරා වන ඉරානයට ගිය අතරතුර දී කතා කරමින්, ඔහු එක්සත් ජාතීන් අනුගෘහිත සටන් විරාම සැලැස්මට සහාය දෙන අතර ම, ඔහු හැඳින් වූ ලෙස විදේශ සහාය ලත් ත්‍රස්තවාදී කුමන්ත්‍රනයකට එරෙහිව ආන්ඩුව නොකඩවා සටන් කරනු ඇති බව මවුලෙම් ප්‍රකාශ කලේ ය.

විශේෂයෙන් ම සෞදි අරාබිය හා කටාර් රාජ්‍යයන් ඇතුලු ගල්ෆ් රාජධානි, සිරියානු විපාර්ශ්වයට ඩොලර් මිලියන ගනනක් වටිනා ආයුධ සපයා ඇති අතර "කැරලිකාර” සටන්කරුවන්ට වැටුප් ගෙවීමට පොරොන්දු වී තිබේ. රාත්‍රියේ පෙනෙන කන්නාඩි හා සන්නිවේදන ආම්පන්න වැනි “මාරක නොවන” පහසුකම් විපාර්ශ්වයට සපයමින් සිටින බව වොෂින්ටනය ප්‍රකාශ කර ඇති අතර, නොයෙකුත් සටන්කාමී කන්ඩායම්වලට මුදල් හා ආයුධ බෙදාහැරීම සම්බන්ධීකරනයට සීඅයිඒ ක්‍රියාකාරීන් තුර්කිය තුල වැඩ කරමින් සිටින බව පිලිගනු ලැබේ.

විශේෂයෙන් ම ලිබියාවෙන් පැමිනියවුන් ඇතුලු විදේශීය විපාර්ශ්ව සටන්කරුවන් අලේපෝ හා ඒ අවට ප්‍රදේශවල වැඩිවීමක් පිලිබඳව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය පසුගිය සතියේවාර්තා කලේ ය. සිරියාවේ එක්සත් ජනපද කේබල් ප්‍රවෘත්ති චැනලයේ වාර්තාකාරු වන අයිවන් වොට්සන්, ජූලි 27දා “අමාන්පෝර් ” වැඩසටහනට සැපයූ වාර්තාවක් තුල "ඔවුන් මෙය ආගමික යුද්ධයක්...සුන්නි මුස්ලිමුන් සඳහා සටනක් ලෙස දකින නිසා ” සිරියානු ගැටුමට විදේශීය සටන්කරුවන් ඇදගැනෙමින් පවතී යයි ප්‍රකාශ කලේ ය.

තමන් සහාය දක්වන ඉස්ලාමීය හමුදාවන්ගේ ස්වභාවය ගැන වැඩෙන කනස්සල්ල නො තකා එක්සත් ජනපදය හා එහි මිතුරෝ සිරියාව තුල ඔවුන්ගේ මැදිහත්වීම වේගවත් කරමින් සිටිති. සිරියාව තුල ගැටුම සිවිල් යුද්ධයක ඉමකට ගිනිමෙලවීම සහිතව, වොෂින්ටනය දැන් එරටෙහි වාර්ගික-නිකායික පිපිරීමක හා කලාපය පුරා ගැටුම පැතිරීමේ හැකියාවට මුහුන දෙ යි.

ඉරානයේ කලාපීය බලපෑම දුර්වල කිරීම සඳහා අසාද් තන්ත්‍රය අස්ථාවර කර තැබීමට වොෂින්ටනය කැමතිව සිටින අතර, මැද පෙරදිගට හා කලාපය තුල දීර්ග කාලයක් පැවති ඇමරිකානු උත්සුකයන්ට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇති කරනවාට වඩා විශාල තර්ජනයක් කලහැකි “සිද්ධි දාමයක් ” පුපුරුවා හැරීමට සිරියානු ගැටුම තර්ජනය කරන බව ජූලි 29දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලවූ "වැටීමෙන් පසු සිරියාව ” නම් තීරු ලිපියක් අනතුරු අඟව යි.

"සිරියානු ගැටුම පිටතට පිපුරුවහොත්, සෑම අයෙක් ම පරදිනු ඇත: එය අසල්වැසි ලෙබනනය, ජෝර්දානය, ඉරාකය හා තුර්කියට පිටාර ගලනු ඇත. ලෙබනනය හා ඉරාකය විශේෂයෙන් ම අනාරක්ෂිත ය; ඔවුන්ට ද අසාද් තන්ත්‍රය හා එක්සත් ජනපද පිටුබලය ලබන සුන්නි-ආධිපාත්‍යයික විපාර්ශවය අතර ගැටුමට සම්බන්ධ නිකායික හා වාර්ගික පසමිතුරුකම් පවතී” යයි ටයිම්ස් තීරු ලිපිය පවස යි.

අසාද් පාලනයෙන් ඇදවැටිය යුතු නම්, සිරියාව ඇතුලත 100කට වඩා නොයෙකුත් විරුද්ධ පාර්ශ්ව කන්ඩායම්, "1970 ගනන්වල ලෙබනනයේ වඩා විශාල පිටපතක තත්වයට ” සිරියාව හැරවීමට තර්ජනය කරමින් එකිනෙකා සමග ද, අලාවිට්, ෂියට්, ක්‍රිස්තියානී හා ඩෘස් යන ආගමික සුලුතරයන්ගේ සාමාජිකයන් සමග ද බලය සඳහා සටනක් ඇද ගෙන යනු ඇති අතර..."නිකායික විරේකනයන්, සරනාගත ගැලීම්, මානව ව්‍යසනයන් හා අල්කයිඩාව සඳහා අවස්ථාවන් ඇතිවනු ඇතැ” යි ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ ජෝන් හොප්කින්ස් විද්‍යාලයේ පීඨාධිපති වලි නස්ර් විසින් ලියන ලද ලියවිල්ල අනතුරු අඟව යි..

එවැනි බිඳවැටීමක් වැලැක්වීමට, එක්සත් ජනපදය විපාර්ශ්වයේ කන්ඩායම් හා අසාද් තන්ත්‍රයේ සාමාජිකයන් අතර "බලය බෙදාගැනීමේ ගිවිසුමක් ” ඇතිකිරීම අවශ්‍ය බවට කතුවරයා උපදෙස් දෙයි.

සුන්නි ඉස්ලාමීය හමුදා හා සිරියානු හමුදා බලධාරීන් ඇතුලත් පශ්චාත්-අසාද් තන්ත්‍රයක් සඳහා කැඳවීමකට හේතු වන නිව් යෝක් ටයිම්ස් මධ්‍යස්ථ යෝජනාව ඔබාමා පරිපාලනය විසින් දැන් ඉදිරියට දමා ඇති පිලිවෙත දෝංකාර නංව යි. වෝල් ස්ට්‍රීට් ජර්නලය තුල මෑත දී පලවූ වාර්තාවකට අනුව, එක්සත් ජනපද ආන්ඩුව, "සිරියාවේ ඉහල ම ශ්‍රේනියේ පලාගිය හමුදා නිලධාරියෙකු (ජෙනරාල් මනාෆ් ට්ලාස්) දේශපාලන විසඳුමක කේන්ද්‍ර‍ෙය් තැබීමට සාකච්ඡා කරමින් සිටී”.

මෑතක් වන තුරු ම අසාද්ගේ විශේෂ සමූහාන්ඩු ආරක්ෂක භටකායේ ජ්‍යෙෂ්ඨ අනදෙන්නකු වූ ජෙනරාල් ට්ලාස්, ඔහුගේ පවුල සමග පැරීසියට යාමට පලමු ව ජූලි 6වැනිදා තුර්කියට පලාගියේ ය. සෞදි ඔත්තුසේවා ප්‍රධානී බන්ඩාර් බින් සුල්තාන් කුමාරයා මැදිහත්ව සංවිධානය කල සෞදි අරාබියේ සංචාරයක ඔහු දැන් නිරත වී සිටී.

දමස්කස්වල වර්තමාන තන්ත්‍රය වෙනස් කිරීමට එවැනි හමුදා-ඉස්ලාමීය සන්ධානයක් එකට මූට්ටු කිරීමට වොෂින්ටනයට හැකි වුවත්, එය අසාද්ගේ තන්ත්‍රයට වඩා මෘගත්වයෙන් හෝ ප්‍රතිගාමිත්වයෙන් අඩුවන්නේ නැත. ඊට වෙනස් ව, නිර්දය ලෙස සියලුම විපාර්ශවයන් පහත හෙලීමට හා සිරියාව තුල එක්සත් ජනපද උත්සුකයන් පැටවීමට වොෂින්ටනය සිය නව සේවදායකයාට අනවනු ඇත.

පුපුරනසුලු තත්ත්වයට තවදුරටත් ගිනි අවුලුවමින් සිරියානු කුර්දි සුලුතරය අතර සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක් පැතිරෙමින් පවතී. කුර්දි සටන්කරුවන් සිරියානු හමුදා පිහිටවුම් කීපයක් යටපත් කරගෙන ඇති අතර "කුර්දිස්තානය නිදහස් කරනු” යි හඬ නැගූ බව ජූලි 28දා ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කලේ ය.

ඉරාක කුර්දි පෙෂ්මෙර්ගා සටන්කරුවන් ද තුර්කි ආන්ඩුව සමග දිග්ගැස්සුන යුද්ධයක් පවත්වාගෙන ගොස් ඇති කුර්දි කම්කරු පක්ෂය ද උතුරු සිරියාවේ සටන්කරුවන්ට අනුග්‍රහ දක්වමින් සිටින බව වාර්තා වේ

අසාද්ට එරෙහිව කුර්දි කැරල්ලක් ඇතිවීම සිරියානු විපාර්ශ්වයේ ගැඹුරින් බෙදුනු ස්වභාවය ප්‍රකාශ කර යි. කුර්දි ගෝත්‍රිකයෙකු නායකත්වය දැරුවත් සිරියානු ජාතික කවුන්සිලය, කුර්දි බෙදීමට විරුද්ධ ය. එසේ ම සිරියානු ජාතික කවුන්සිල‍ෙය් හා නිදහස් සිරියා හමුදාවේ සත්කාරකයා වන තුර්කි ආන්ඩුව, ස්වාධීන කුර්දි රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට තදින් ම විරුද්ධ ය.

සිරියාව තුල හා මැද පෙරදිග පුරා මිලියන සංඛ්‍යාවකගේ ජීවිතවලට වන තර්ජනය නො තකා, වොෂින්ටනය හා එහි එහි මිතුරෝ ඔවුන්ගේ කුරිරු බලකාර යුද්ධය වේගවත් කරමින් සිටිති. මේ එල්ලය සඳහා, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ජූලි 29දා මැද පෙරදිග දින පහක සංචාරයක් ඇරඹූ අතර එහි දී ඔහු ඊස්රායලය, ඊජිප්තුව හා ජෝර්දානය යන ප්‍රධාන එක්සත් ජනපද මිතුරන් සමග සිරියාව තුල තන්ත්‍ර වෙනස සඳහා ඒකාබද්ධ සැලැසුම් සාකච්ඡා කරනු ඇත.

Share this article: