මාක්ස්වාදය හා වෘත්තීය සමිති

Marxism and the Trade Unions

By David North, 10 January 1998

පහත දේශනය ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් 1998 ජනවාරි 3 සිට 10 දක්වා සිඩ්නි නගරයේ දී මාක්ස්වාදය සහ 20 වන සියවසේ මූලික ගැටලු මැයෙන් සංවිධානය කල ජාත්‍යන්තර ගිම්හාන පාසැලට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලදි.

ඩේවිඩ් නෝර්ත් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ය. ඉතිහාසය හා මාක්ස්වාදී මූලධර්ම හා හතරවන ජාත්‍යන්තරයේ කි‍්‍රයාමාර්ගය සහ ඉදිරිදර්ශනය ගැන ඔහු යුරෝපයේ හා පැරනි සෝවියට් සංගමයේ දේශන පවත්වා තිබේ .

ඔහු අප රක්නා උරුමය, පෙරස්ත්‍රොයිකාවට එරෙහිව සමාජවාදය, ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය සහ රුසියානු විප්ලවය ආරක්ෂා කිරීම ඇතුලු වැදගත් කෘති කිහිපයකම කතුවරයා ය. ඩේවිඩ් නෝර්ත් විසින් මෑත දී පවත්වන ලද අනෙකුත් දේශනවලට: ෆැසිස්ට්වාදය සහ මහ යුදෙව් සංහාරය ඩැනියල් ගෝල්ඩ්හාගන්ගේ Hitler's willing Executioners (හිට්ලර්ගේ ආසක්ත අලුගෝසුවෝ) කෘතිය පිලිබඳ විවේචනාත්මක විචාරයක්, සමානතාවය, මානව අයිතිය සහ සමාජවාදය පැනනැගීමේ ඓතිහාසික සත්‍යය හා එක්සත් ජනපදය තුල දේශපාලන චින්තනයේ අර්බුදය, ඇතුලත් ය. මෙම කෘති Mehringring Books online හරහා මිලදී ගත හැකිය.

මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල අසාමාන්‍ය ලෙස සියවසකටත් වඩා දිග්ගැස්සෙමින් පැවතෙන විවාදයේ මූලාශ‍්‍රය වී ඇති දේශපාලන මාතෘකා නොහොත් "ප‍්‍රශ්න” දෙකක් තිබේ. එකක් ජාතික ප‍්‍රශ්නය වන අතර අනෙක වෘත්තීය සමිති ප‍්‍රශ්නය යි.

මෙම ප‍්‍රශ්නවල අඛන්ඩ පැවැත්ම සහ ඒ දෙක අතර යම් සබඳතාවක් ඇත්නම්, ඒ කුමක් ද? පිලිතුර සොයාගත හැක්කේ නූතන කම්කරු ව්‍යාපාරය මතුවී ආ ඓතිහාසික කොන්දේසි පිලිබඳ අධ්‍යනයක් තුල යැයි මම සිතමි. ධනේශ්වර ජාතික රාජ්‍යය, එය 18 වන සහ 19 වන සියවස්වල විප්ලවීය ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයන්ගෙන් ඉස්මතු වූවාක් මෙන් ම, යුරෝපීය සහ ඇමරිකානු කම්කරු පන්තියේ වර්ධනය සඳහා දේශපාලන රාමුව ද ආර්ථිකමය පෙලඹවීම ද සම්පාදන කලේ ය. නොයෙක් වෙනස් රූපයන්ගෙන් හා වෙනස් ප‍්‍රමානයන්ගෙන් සිදු වූ නමුත් ජාතික තහවුරුවීමේ සන්තතිය කම්කරු පන්තියට දැවැන්ත වැදගත් කමක් ඇති පොදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාරනාවන්ට බැඳී තිබුනි.

ජාතිය කෙරෙහි කම්කරු පන්තියේ ආකල්පය අතිශයින් ම සංකීර්න, පරස්පර සහ දෙගිඩියාසහගත ස්වභාවයක් දැරීය. එක් අතකින් සංඛ්‍යාවෙන් හා බලයෙන් කම්කරු පන්තියේ වැඩීමත්, එහි ජීවන තත්වයන්ගේ ඉහල යාමත් ජාතික රාජ්‍යයේ තහවුරුවීම සහ එහි ආර්ථික කාර්මික ශක්තියේ ප‍්‍රසාරනයට පොදුවේ බැඳී තිබුනි. ඒ සමග ම කම්කරු පන්තියේ ආර්ථික හා සමාජ අරගලයන්ගේ වර්ධනය අවසාන විශ්ලේෂනයේ දී ධනේශ්වර පන්ති අවශ්‍යතාවන්ට සේවය කල ජාතික රාජ්‍යයට එරෙහි ස්ථානයක වෛෂයිකව එය පිහිටුවීය.

මාක්ස්වාදී ව්‍යාපාරය තුල ජාතික ප‍්‍රශ්නයේ විවාදපන්න ස්වරූපය නිශ්චිතව ම පැන නැගුනේ ධනේශ්වර ජාතික රාජ්‍යය කෙරෙහි කම්කරුවන්ට තිබූ සංකීර්න සබඳතාවෙනි. මහජනතාවන් විසින් ජාතික විඥානයේ සිට ජාත්‍යන්තර සමාජවාදී විඥානය කරා වේදනා රහිතව හා ඓන්ද්‍රීයව සංක‍්‍රමනයවීම කිසිදු තැනක දී අපි දැක නැත්තෙමු. මිනිසෙකුගේ ජීවිතය තුල ඔහුගේ හෝ ඇයගේ යෞවනයේ අත්දැකීම්, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය මුලුල්ලේ ම බලගතු ආනුභාවයක් පවත්වා ගෙන යයි. සාදෘෂ්‍යයන් සහිත ප‍්‍රපංචයක් නිරීක්ෂනය කල යුත්තේ, පන්තීන්ගේ සමාජ විඥානයේ ඓතිහාසික පරිනාමය තුල ය. ජාතිකවාදය කෙරෙහි කම්කරු පන්තියේ ඓතිහාසික නැඹුරුව පැහැදිලි කල යුත්තේ එහි සම්භවයේ කොන්දේසි හා එය හැඩ ගැසෙමින් ආ අවධිවල අරගල ආශ‍්‍රයෙනි. සමාජ විඥානය සමාජ සත්තාව පිටුපසින් ගාටයි. නැතහොත්, වඩාත් නිශ්චිතව එය ඉදිරිපත් කලහොත්, අතිශයින් සංකීර්න සහ පරස්පර විරෝධී වූවක් වන සමාජ පැවැත්ම විද්‍යාත්මක රූපයෙන් සෘජුව සහ ක්ෂනිකව, පිලිබිඹු නො වේ. ඒ ආකාරයට ම ජාතික රාජ්‍යය මත ලෝක ආර්ථිකයේ වෛෂයික බල පෑමෙහි සහ පන්ති අරගලයේ පෘථුලවන ජාත්‍යන්තර ස්වාභාවයට සමානුපාතිකව සහ සෘජු ප‍්‍රමානයන්ගෙන් කම්කරු පන්ති ව්‍යාපාරය තුල ජාතිකවාදයේ බලපෑම හීන වීමක් සිදු නොවේ.

එපමනක් නොව, විසිවන සියවස තුල ජාතික පීඩනයේ අඛන්ඩතාවය, එහි සාරභූත හේතුව සහ අන්තර්ගතය සමාජ ආර්ථිකමය ස්වාභාවයකින් පැවතියේ වුව ද, ජාතික විඥානයේ රූපාකාරයන් ශක්තිමත් කලේ ය. නමුත් මාක්ස්වාදීන්ගේ වගකීම වන්නේ ජාතික අනුභාවයන්ගේ බලපෑම ගැන නොතකා, තම වැඩ පිලිවෙල පැරැනි අගතීන් හා යල් පිනූ සංකල්පයන් මත නොව, සමාජ යථාර්ථය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේශනය මත පදනම් කිරීම යි. කෙටි කාලීන උපායාත්මක වාසි උදෙසා, තම දේශපාලන වැඩ පිලිවෙල පැතිර පවත්නා අගතීන්ට අනුගත කරවීම අවස්ථාවාදයේ ඉතාමත් ම පොදු ලක්ෂනයන්ගෙන් එකකි. එය වැඩ පටන් ගන්නේ මූලධර්මාත්මක ඓතිහාසික හා විද්‍යාත්මක ස්වාභාවයක සමාලෝචනයන්ගෙන් නොව, ප‍්‍රායෝගික සහ අනුසංධීය තක්සේරු කිරීම් වලිනි.

ජාතික රාජ්‍යය මත නිෂ්පාදන භූගෝලීයකරනයේ දේශපාලනික සහ ආර්ථික ඇඟවුම් ප‍්‍රතික්ෂේප කරමින් අවස්ථාවාදීහු සාමාන්‍යයෙන් මෙම යල්පීනූ දේශපාලන රූපයට එහි කිසිසේත්ම නො පවත්නා ප‍්‍රගතිශීලී ශක්‍යතාවයක් ආරෝපනය කරති. එසේ ම ඔවුන් ජාතික ස්වයං නිර්නය සඳහා ඉල්ලීම උත්කර්ෂයට නැංවීම තුල එල්බී සිටින්නේ මෙම ඉල්ලීම ලොව සෑම ප‍්‍රතිගාමී ස්වෝත්තමවාදී ව්‍යාපාරයක ම මුරවචනය බවට පත්ව ඇත යන කරුන නොතකා ය.

මාක්ස්වාදීහු ජාතික රාජ්‍යය අදාලත්වයක් නැතැ යි නො සලකති. නිෂ්පාදන බලවේගවල භූගෝලීය වර්ධනයේ සහ සංකේන්ද්‍රනයේ ආස්ථානයෙන් ගත් කල්හි, මානව ප‍්‍රගමනයට බාධකයක් ලෙස ජාතික රාජ්‍ය රූපය පිහිටුවිය හැකි වුව ද ලෝක දේශපාලනය තුල එය තවමත් බලගතු සාධකයක් ලෙස පවතියි. සමාජවාදී ව්‍යාපාරය එහි උපායන් විස්තාරනය කිරීමේ දී මෙම දේශපාලන යථාර්ථය නො තකා හරින්නේ නැත. ධනේශ්වර සමාජයේ දේශපාලන හා ආර්ථික සංවිධානයේ මූලික ඒකකයක් ලෙස ජාතික රාජ්‍යය පවතිනතාක් කල් - ඉතිහාසයේ මේ මොහොතෙහි ජාතික ගැටලුව ලෙස හැඳින්වීමට ඉතා සුදුසු වන - "ජාතික ප‍්‍රශ්නය” පවතියි. නමුත් මාක්ස්වාදී උපායන් ගලා එන්නේ, ජාතික රාජ්‍යයේ ඓතිහාසිකව යල් පිනූ ස්වාභාවය පිලිබඳ විද්‍යාත්මක වටහා ගැනීම කෙරෙනි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි උපායන් හරහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරයේ මාර්ගෝපදේශක මූලෝපාය තහවුරු කිරීමට සටන් වදියි. ජාත්‍යන්තර මූලෝපායික සාධිකාරත්වය මත යෙදෙන මෙම අවධාරනයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සියලු ජාතික ප‍්‍රතිසංස්කරනවාදී සහ අවස්ථාවාදී කන්ඩායම්වලින් වෙන් කොට දක්වයි.

වෘත්තීය සමිති සහ රැඩිකලුන්

මෙම මූලධර්මාත්මක සලකා බැලීම්, වෘත්තීය සමිති ප‍්‍රශ්නයට අදාලව ද නො අඩු වැදගත්කමක් දරයි. වෘත්තීය සමිති ප‍්‍රශ්නය, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්ගේ වර්ධනය තුල, නිර්ධන පන්ති සංවිධානයේ මේ ඉතා පැරැනි රූපයෙහි භූමිකාව කෙරෙහි අවධානය යොමු කරයි. නූතන නිර්ධන පන්තිය මතුවී ආවේ ජාතික රාජ්‍යයේ ඓතිහාසික වර්ධනයේ සංදර්භය තුල ය. එහි සංවිධානය සහ ඒවායේ ක‍්‍රියාකාරීත්වය හැඩ ගැසුනේ ජාතික රාජ්‍යයේ රාමුව තුල ය. "තමන්ගේ” ජාතික රාජ්‍යයේ වානිජ හා කාර්මික ප‍්‍රගතිය හා සමෘද්ධිමත්භාවය මත විශාල පරිමානයෙන් රැඳුනු වෘත්තීය සමිති සම්බන්ධයෙන් විශේෂිත කාරනාව වූයේ මෙය යි. එහෙයින් ජාතික රාජ්‍ය ඉදිරියේ දෙගිඩියාසහගත ආකල්පයට ගැඹුරු වෛෂයික හේතුකාරනයන් පවතින්නා සේ ම, සමාජවාදය ඉදිරියේ වෘත්තීය සමිතිවල දෙගිඩියා සහගතවීම ද - සතුරුකමට පවා- ගැඹුරින් මුල් බැස ගත් වෛෂයික හේතු පවතියි. මුලු මහත් සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා සමාජවාදී ව්‍යාපාරය බෙහෙවින් කඳුලු වගුරුවා ඇති එක් ප‍්‍රශ්නයකි මෙය.

සත්තකින් ම, විප්ලවීය මාක්ස්වාදී පක්ෂ හා වෘත්තීය සමිති අතර සබඳතාවයන් නිරන්තරයෙන් ම ඉස්මතු කරන ලද්දා වූ ගැටලුවල බරපතලකම ඒවායේ පැවත්මේ මුල් වසරවල දී මුලුමනින් ම පෙර දැකීමට හැකිව නො තිබුනි. මාක්ස්වාදීන් විසින් වෘත්තීය සමිති කෙරෙහි ඇති කරගත් ආකල්පය, නො වැලක්විය හැකි ලෙස ම කාල වකවානුවෙහි කොන්දේසි සහ ස්වාභාවයන් පිලිබිඹු කලේ ය. වෘත්තීය සමිති ප‍්‍රශ්නය, එය 1847 දී වූ ආකාරයෙන් 1998 දී ඉදිරිපත් නො වෙයි. සමාජවාදී ව්‍යාපාරයට පසුගිය 151ක් වසරක ඉතිහාසය තුල වෘත්තීය සමිති වලින් වෙන් කොට තමන්ව හඳුනා ගැනීමට විපුල වූ අවස්ථාවක් තිබේ. වෘත්තීය සමිතිවල ස්වභාවය පිලිබඳව මාක්ස්වාදී ව්‍යාපාරය උගෙන ඇතත්, මේ රාශීභූත ඥානයේ සලකුනක්වත් "වාම” රැඩිකල් පුවත්පත් පිටු තුලින් සොයා ගත නො හැක.

එහි ඉතිහාසයේ වැඩි කොටසක දී සමාජවාදී ව්‍යාපාරය මහත් ලැදියාවකින් යුතුව වෘත්තීය සමිති පිටුපස ගොස් ඇත. මේ දක්වා ම බොහෝ චාටු කතා සහ ආලවන්තකම්වලට ප‍්‍රතිවිරුද්ධව, මෙම පෙම් බැඳුම් නිශ්ඵල වී තිබේ. සමාජවාදීන් තමන්ගේ ම වෘත්තීය සමිති නිර්මානය කිරීමට සහ ඒවාට නිවැරැදි මාක්ස්වාදී අධ්‍යාපනයක් සැපයීමට උත්සාහ කොට ඇති විට දී පවා, ඔවුන්ගේ අනුප‍්‍රාප්තිකයන් ඊට කෘතගුන සලකා ඇත්තේ දුෂ්ට ගුනමකු ආකාරයට ය. අවස්ථාව ලද වහා ම තම වැඩිහිටියන්ගේ උදාර පරමාදර්ශයන්ට පයින් ගසා ධනවාදයේ මස් හැලි තුල සතුට සෙවීමට නැඹුරු වූහ.

මෙයාකාර වූ කටුක අත්දැකීම් මගින් යමක් ඉගෙන ගැනීමට ඇතැයි කෙනෙකු සිතනු ඇත. නමුත් දත් හැලුනු, නාකි රැඩිකලුන් අද මහත් ලොල් බවක් දක්වන්නේ, බොකෑෂියෝ ගේ කතාන්දර තුල හමුවන පැරැනි මෝඩයින් මෙන් පරපුරුෂයින් පසුපස යන ස්ත‍්‍රියගේ සැමියාගේ භූමිකාව යලි යලිත් රඟපෑමට පමනි. ඒ අනුව සමාජවාදී ව්‍යාපාරය වෘත්තීය සමිතිවල උවමනාවන්ට හා මනාපයන්ට යටහත්ව ආවතේව කිරීමට බැඳී සිටින බව වත්මන් "වාම” සංවිධාන තවමත් අවධාරනය කරයි. කම්කරුවන්ගේ පරමාදර්ශී සංවිධානය සහ ඔවුන්ගේ සමාජ අවශ්‍යතාවන්ගේ හොඳ ම නියෝජිතයා ලෙස සමාජවාදීන් විසින් වෘත්තීය සමිති පිලිගත යුතු යැයි ඔවුහු දැඩිව කියා සිටිති. වෘත්තීය සමිති, කම්කරු පන්තියට සැබෑ අනභියෝගී නායකත්වය සම්පාදන කරන, එහි ඓතිහාසික ඉරනමේ මූලික සහ පරම විනිශ්චයකාරයන් යැයි ඔවුහු තර්ක කරති. ඔවුන්ට අනුව කම්කරු පන්තිය මත පවත්වාගෙන යන වෘත්තීය සමිතිවලට අභියෝග කිරීම, කම්කරු පන්තියේ නමින් කතා කිරීමට වෘත්තීය සමිතිවලට ඇතැයි කියන "ස්වාභාවික” අයිතිය මොනයම් ආකාරයෙන් හෝ ප‍්‍රශ්න කිරීම සමාන වන්නේ දේශපාලන පූජනීයත්වය කෙලෙසා දැමීමට ය. නිල වශයෙන් මෙහෙයවනු නො ලැබූවත් වෘත්තීය සමිති විසින් ආධිපත්‍ය නො දරන සැබෑ කම්කරු පන්ති ව්‍යාපාරයක් පැවැතිය නො හැකියැයි රැඩිකල්ලු කියති. ඒ අනුව බලපෑමක් ඇතිවන ආකාරයට පන්ති අරගලය මෙහෙය විය හැක්කේ වෘත්තීය සමිති පදනමේ ම පමනි. එමතු නො ව අවසාන වශයෙන් මහජන සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය කෙරෙහි කවර හෝ බලාපොරොත්තුවක් රැඳවිය හැක්කේ, වෘත්තීය සමිති හෝ අවම වශයෙන් ඉන් සැලකියයුතු කොටසක් සමාජවාදී ඉදිරි දර්ශනයට දිනා ගැනීම මත ය.

සරලව කිවහොත්, න්‍යායික විශ්ලේශනය සහ ඓතිහාසික අත්දැකීම යන දෙයාකාරයෙන් ම නිෂ්ප‍්‍රභ කෙරුනු මේ සියලු සහතික කිරීම් ජාත්‍යන්තර කමිටුව ප‍්‍රතික්ෂේප කරයි. වෘත්තීය සමිතිවල අධිකාරය ඉදිරියේ හිස නො නැමීම, අපගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ඇසින් සමාන වන්නේ රාජද්‍රෝහි ක‍්‍රියාවකට ය. මෙය අපට එතරම් ම කරදරකාරී නො වන්නේ වාමාංශයට නැතහොත් වඩා නිවැරැදිව කියන්නේ නම් සුලු ධනේශ්වර මහජන මතයට විරුද්ධව සිටීමේ දශක ගනනක පලපුරුද්ද තිබීම පමනක් නො ව, දේශපාලනිකව කතා කරන්නේ නම්, එහි කටුක වෛරය අප සලකන්නේ ජාත්‍යන්තර කමිටුව නිවැරැදි මාවතෙහි සිටින බවට නිසැක සලකුන ලෙස ය.

රැඩිකලුන්ගේ ආස්ථානය එක් තීරනාත්මක පූර්ව විනිශ්චයක් මත රඳා පවතී: ඒවායේ මහා සාමාජිකත්වයේ ගුනය නිසා, වෘත්තීය සමිති වනාහි "කම්කරු සංවිධානයන්” ය. ඒ අනුව වෘත්තීය සමිතිවල අධිකාරයට අභියෝග කරන තැනැත්තේ, නිර්වචනය විසින් තමන්ව ම කම්කරු පන්තියට ප‍්‍රතිවිරුද්ධව පිහිටුවා ගනී. මෙම පූර්ව විනිශ්චය සමග ඇති ගැටලූව නම්: එය විසින් වෘත්තීය සමිති හිස් අනෛතිහාසික වියුක්තයක් බවට සි`දු වීම යි. වෘත්තීය සමිතිවලට විශාල කම්කරු පන්ති සාමාජිකත්වයක් ඇති බව නිසැකව ම සත්‍යයකි. නමුත් එක්සත් ජනපදය තුල "එල්ක්වරු”, "මේසන්වරු”, "විදෙස් යුද්ධයන්ගේ කෘත හස්තයෝ” සහ කතෝලික පල්ලිය වැනි වෙනත් බොහෝ සංවිධාන ද මෙයාකාර ය.

ඇරත්, වෘත්තීය සමිතිවල විශාල කම්කරු පන්ති සාමාජිකත්වය ගැන කෙරෙන සහතික වීමක් මෙම සංවිධානවල සමාජ සංයුතිය -විශේෂයෙන් එහි නායක ස්ථරය, ඒවායේ නිලධරය පිලිබඳව සුපරික්ෂාකාරී විශ්ලේශනයක් උදෙසා ප‍්‍රමානවත් ආදේශකයක් නොවේ. මෙම සංවිධාන කම්කරු පන්තියේ උවමනාවන් වෙනුවෙන් ක‍්‍රියා කරන බව ඒවායේ විශාල කම්කරු පන්තික සාමාජිකත්වයෙන් ඉබේ ගලා නො එයි. සත්තකින් ම වෘත්තීය සමිති තුල බහුතර සාමාජිකත්වය සහ පාලක නිලධරය අතර වෛෂයික ගැටුමක් තිබේදැයි පරික්ෂා කිරීමට යමෙකුට බලකෙරුන විට සහ වෘත්තීය සමිතිවල පිලිවෙත් දක්වා එය දීර්ඝ කල විට පිලිබිඹු වන්නේ පාලක නිලධරයේ වුවමනාවන් ය.

යමෙක් වෘත්තීය සමිති කම්කරු සංවිධාන යැයි ඒත්තු ගත් විට පවා, මෙම නිර්වචනය යොදා ගැනීම මගින් රැස් කොට ඇති දේශපාලන ඥානයේ සමස්ථ ඓක්‍යයට ම එකතු කරන්නේ ඉතා ස්වල්පයකි. මේ සියල්ලට ම පසුව "එසේ නම් කම්කරු පන්ති සංවිධානය යන්නෙන් නිශ්චිතව අදහස් කරන්නේ කුමක් ද?” යනුවෙන් සරල ලෙස අසමින් නිර්වචන සෙල්ලමේ අපට දිගට ම යෙදීමට හැකිවනු ඇත. කම්කරුවන්ගේ සංවිධානයක් යනු "කම්කරුවන්ගේ සංවිධානයක්” යැයි උත්තර දීම දුෂ්කර වනු ඇත. වෘත්තීය සමිතිවල සාරභූත ස්වාභාවය වටහා ගැනීමට උත්සාහ කිරීමේ දී ඇසිය යුතු නියම ප‍්‍රශ්නය නම්: "පොදුවේ පන්ති අරගලයට සහ සුවිශේෂව, ධනේශ්වර සූරා කෑමෙන් කම්කරුවන්ගේ විමුක්තියට මෙම සංවිධානවල ඇති සබඳතාව කුමක් ද?”

මෙතැනදී අපි හිස් පාරිභාෂික ශබ්ද මාලාවෙන් ඔබ්බට සහ සමාජවාදී ව්‍යාපාරය සහ කම්කරු පන්ති අරගල තුල වෘත්තීය සමිති විසින් ඉටුකල කාර්යභාරය පිලිබඳව පරික්ෂාකාරී ඓතිහාසික විශ්ලේශනයක් මත පාදක වූ වඩා බැරෑරුම් නිර්වචනයක් සම්පාදනය කිරීම දෙසට ගමන් කල යුතු වෙමු. එවන් විශ්ලේශනයක අරමුන හුදෙක්, කෙනෙක් බලාපොරොත්තුවන දේ මත පවත්නා අපරාධයන්ගේ සහ විජයග‍්‍රහනයන්ගේ නිදසුන් ගෙන හැර පෑම නො වේ. සත්තකින් ම කල යුත්තේ මෙම සමාජ ප‍්‍රපංචයේ සාරභූත ස්වාභාවය, එනම් ක‍්‍රියාත්මක සහ ප‍්‍රායෝගික ප‍්‍රකාශනය ලෙස වෘත්තීය සමිතිවල ක‍්‍රියාවන් සහ පිලිවෙත්වලට යටින් පවත්නා නීති නිරාවරනය කර ගැනීම යි.

අපගේ රැඩිකල් විරුද්ධවාදීහු එවන් විශ්ලේශනයකට ප‍්‍රයත්නයක් පවා නො දරන අතර, එනිසා ම ඉතා ම මූලික හා පැහැදිලිව පෙනෙන මෙම ප‍්‍රශ්නයට බැරෑරුම් පිලිතුරක් සැපයීම ඇරඹීමටවත් අසමත් වෙති. "කම්කරු පන්තියේ ජීවන තත්වයන් ඉහල දැමීම පසෙක තිබියේවා ඒවා රැක ගැනීම සඳහාවත් වෘත්තීය සමිති මෙතරම් දීන ලෙස අසමත් වී ඇත්තේ මන් ද? එක්සත් ජනපදය තුල පමනක් නො ව මුලුමහත් ලෝකය පුරා ම කම්කරු පන්තියේ සමාජ තත්වය අගාධයට ඇද වැටීමක් ගත වූ සියවස් කාර්තුව තුල අත්දැක තිබේ. ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය ආරක්ෂා කිරීමට ඇති නො හැකියාව වෘත්තීය සමිති පෙන්නුම් කර ඇත. මෙම අසමර්ථතාව දශක කීපයක් තිස්සේ ජාත්‍යන්තර පරිමාවකින් විදහා දක්වා ඇති බැවින් අයෙක් නො වැලක්විය හැකි ලෙසට ම එහි වෛෂයික හේතු කාරනා පරීක්‍ෂා කිරීමට වෘත්තීය සමිති දැන් පවත්නා සමාජ ආර්ථික වටපිටාව හා අතිමූලික වශයෙන් වෘත්තීය සමිතිවල ම සාරභූත ස්වාභාවය යන දෙක ම විසින් මෙහෙය වේ. වෙනත් වචනවලින් කියන්නේ නම්, 1973 ට පසු පරිසරය හදිසියේ සතුරු භාවයකට හැරුනු බව සැලකීමේ දී වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත් කල ඔවුන් මෙම වෙනසට මෙතරම් පහර දෙන සුලු සහ නව කොන්දේසිවලට හැඩ ගැසීමට මෙතරම් අසමත් වීමට හේතු වූයේ කුමක් නිසා ද?

මෙම ගැටලුව කෙරෙහි ස්පාටසිස්ට් ලීගයේ ප‍්‍රතිචාරය අපි සලකා බලමු. ඔවුන්ගේ පුවත්පතේ ප‍්‍රකාශනයන් හතරක් පුරා විහිදෙන හා විශාල ප‍්‍රතිශතයක නින්දා සහගත නාම විශේෂන සහ ක‍්‍රියා විශේෂන සහිතව වචන දහස් ගනනකින් සමාජවාදී සමානතා පක්‍ෂය කෝපාවිෂ්ටව හෙලා දැකීමේ දී ස්පාටසිස්ට් සංවිධානය වෘත්තීය සමිතිවල අසමත්කම සඳහා වෛෂයික ස්වාභාවයක කිසිදු හේතුවක් ඇති බව මහත් උද්‍යෝගයෙන් ප‍්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට සියල්ල පැහදිලි කල යුත්තේ ඒඑෆ්එල්-සීඅයිඕ දුර්නායකයින්ගේ පරාජකවාදී සහ ද්‍රෝහී පිලිවෙත්” මගිනි. මීට වඩා වැදගැන්මකට නැති පැහැදිලි කිරීමක් සිතා ගැනීමට ද දුෂ්කර වනු ඇත. ඩයිනෝසරයන් වඳ වී ගියේ ඔවුන් තවදුරටත් ජීවත් වීමට අකැමැති වූ නිසා යැයි පාෂාන විද්‍යාඥයෙකුට ද ඒ අයුරින් ම ප‍්‍රකාශ කල හැකිය. ඒඑෆ්එල්-සීඅයිඕ නායකත්වය තුල ඩයිනෝසරයන් "පරාජිත හා ද්‍රෝහී පිලිවෙත්” කි‍්‍රයාවට දැමීමට තීන්දු කලේ ඇයි ද යන්න පැහදිලි කිරීමට ස්පාටසිස්ට්වාදීහු අසමත් වෙති. එසේ වූයේ හුදෙක් ම ඔවුන් නරක මිනිසුන් වූ නිසා ද? ඔවුන් නරක මිනිසුන් වූයේ නම් ඇමරිකාවේ පමනක් නොව ලොව පුරාම වෘත්තීය සමිතිවල නායකත්වය තුලින් ඔවුන් මෙතරම් සංඛ්‍යාවක් සොයා ගත හැකි වූයේ මන් ද? පරාජිත සහ ද්‍රෝහී පිලිවෙත් ක‍්‍රියාවට දමන මෙතරම් නරක මිනිසුන් ගනනක් ආකර්ෂනය කර ගැනීමට ඒවා මෙහෙය වන යමක් ස්වාභාවිකවම වෘත්තීය සමිතිවල තිබේ ද? අපට තවත් ප‍්‍රශ්නයක් ඇසිය හැකි ය. "ඔවුන් නියෝජනය කරනවා යැයි කියන කම්කරුවන් පාවා දීමට සහ පරාජය කිරීමට තමන් ම කැප වී ගත් නරක මිනිසුන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂනය කර ගන්නා සංවිධානවලට මෙතරම් උද්‍යෝගිමත් ලෙස සහය දැක්වීමට ස්පාටසිස්ට් ලීගය පෙලඹීමේ කාරනය කුමක් ද?"

ආත්මීය ප‍්‍රවිෂ්ටයක් සහිත ගැටලුව සියලු ම සැබෑ දුෂ්කර ගැටලු සමග පොර බැදීම වලක්වනවා පමනක් නොවේ, එය, දුර්නායකත්වයන් කෙරෙහි වාචික ප‍්‍රහාර තිබිය දී ම ඔවුන්ගේ අවසාන පාපයෙන් ඔවුන්ව මුදා ගැනීමේ හැකියාව විවෘතව තබා ගැනීමට ස්පාටසිස්ට් ලීගයට සහ සෙසු රැඩිකල් කන්ඩායම්වලට ඉඩ සලසන අතර එම පදනම මත වෘත්තීය සමිතිවලට සහ අවසානයේ දී එම දුර්නායකයින්ට ම කම්කරු පන්තිය නිරන්තරයෙන් යටත් කිරීම අනුමත කරයි.

මෙම ඉදිරි දර්ශනය, කලින් මිලිටන්ට් ප‍්‍රවනතාව ලෙස දක්නා ලද බි‍්‍රතාන්‍ය සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන නායක පීටර් ටාෆේ විසින් ලියන ලද ලිපියකින් වමාරා තිබේ. කම්කරු නිලධරයට ඔහුගේ යටත් වීම රැඩිකල් වාගාලාපයන්ගෙන් වසා ගැනීමට දැරෙන ටාෆේ මහතාගේ උත්සාහයන් සිත් ගන්නා සුලු බවට වඩා විහිලු සහගත බලපෑමක් ඇති කරයි. කම්කරු පන්තිය සුවිශේෂිතව බරපතල පාවාදීම්වලට වෘත්තීය සමිති නිලධරයන් සම්බන්ධ වී සිටින රටවල කෙටි ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඔහු පටන් ගනියි. නිලධරයෙන් ලැබෙන දේශපාලන පගාව ඔහුගේ සාක්කුව තුලට ලිස්සා යද්දී පවා කැසබලන්කාවේ පොලිස් ප‍්‍රධානියා මෙන් ඔහු අවට ඔහු නිරීක්ෂනය කරන දූෂනයන් විසින් ටාෆේ මහතා ගැඹුරින් ගැඹුරට ම කම්පාවට පත් කරනු ලබයි. ස්වීඩන් සමිති නිලධරයේ ක‍්‍රියා කලාපය "නින්දිත” යැයි ටාෆේ අපට කිය යි. බෙල්ජියානු නිලධරයන්ගේ හැසිරීම "නිර්ලජ්ජිත” ය. අයිරිෂ් නායකයෝ ද පාවා දීමේ "නින්දිත දැක්මක” නිරත වී සිටිති. බි‍්‍රතාන්‍ය තුල කම්කරුවන් "දක්ෂිනාංශික නායකයන්ගේ බෙලහීනත්වය වෙනුවෙන් අධික මිලක් ගෙවනු ලැබ” ඇතැයි ටාෆේ පවසයි. එමෙන් ම ඔහු බ‍්‍රසීලයේ, ග‍්‍රීසියේ සහ එක්සත් ජනපදයේ සමිති නායකයන්ගේ යටත් වීම කනගාටුවෙන් යුතුව සටහන් කර යි.

නමුත් ටාෆේ සැලකිලිමත් වන තාක් දුරට වෘත්තීය සමිති සම්බන්ධ ගැටලුව වනාහී සාරභූත වශයෙන් ම ධනේශ්වර වෙලඳ පොල පිලිගැනීමේ වැරැදි දෘෂ්ටිවාදයකින් පීඩා විඳින නුසුදුසු නායකත්වයක් පිලිබඳ එකකි. ඒ හැටියෙන් ම ගත් කල සංවිධානයෝ මූලිකව සෞඛ්‍ය සම්පන්න වෙති. තමන්ම ට්‍රොට්ස්කි මත පදනම් කර ගනිමින් වෘත්තීය සමිතිවල පාවාදීම් වර්ධනයේ අතිමූලික වෛෂයික ප‍්‍රවනතාවක ප‍්‍රකාශනයකැයි අවධාරනය කරන කුඩා "කන්ඩායම්” මෙම ආත්මීය තක්සේරුවේ පදනම මත ටාෆේ විසින් විවේචනය කරනු ලබයි. "කුඩා කන්ඩායම්” යනුවෙන් ඔහු අදහස් කරන්නේ ජාත්‍යන්තර කමිටුවේ කන්ඩායම් ය. ටාෆේට අනුව මෙම ඒක පාර්ශවීය ප‍්‍රවිෂ්ටය "යටිතලයේ පීඩනය යටතේ අවදි වූ සටනට එලඹුන කම්කරු පන්තියක්” දක්ෂිනාංශික නායකත්වයන්ට "තමන්ම රාජ්‍යයෙන් වෙන් වීමට බල කරනු ලැබිය හැකි බව සහ කම්කරු පන්තියේ විපාර්ශවීය ව්‍යාපාරයක් මෙහෙය වීමේ ශක්‍යතාව” හඳුනා ගැනීමට අසමත් වෙයි.

එම නිසා බි‍්‍රතාන්‍ය තුල හෝ වෙනත් ඕනෑ ම තැනක "මීලඟ කාලපරිච්ඡේදයේ ප‍්‍රධාන ප‍්‍රවනතාව වනු ඇත්තේ තම පැත්තේ සිට සටන් වැදීමට කම්කරු පන්තිය විසින් වෘත්තීය සමිතිවලට බල කරනු ලැබීම” යයි ටාෆේ මහතා ලියයි. කම්කරු පන්තියේ ඉරනම "වෘත්තීය සමිතිවල පුනර්ජීවනය” මත රඳා පවතිනු ඇත.

දැන් අභාවයට ගොස් සිටින කම්කරු විප්ලවවාදී පක්ෂයේ කල්ලියක් විසින් ද මේ හා සමාන තර්කයක් ඉදිරිපත් කරනු ලබයි. වෘත්තීය සමිතිවල ආධිපත්‍යයට එරෙහිව කම්කරු පන්ති සංවිධානයේ නව රූපාකාරයන් වර්ධනය කිරීම සඳහා වන ඕනෑම අරගලයක් හැකි සෑම වියදමක් දරා වැලක්විය යුතු යැයි එය අවධාරනය කරයි. "සමිති නායකයන් රාජ්‍යය සමග යහන් ගතව ඇතැයි යන්න හා බැඳුන වියුක්ත ප‍්‍රකාශනයකින් පටන් ගන්නා ඕනෑ ම සරලාකෘත අනුගාමිකවාදයකින් නව තත්වයන් ග‍්‍රහනය කර ගැනීමෙහිලා මුලුමනින් ම අසමත් වනු ඇත.”(2)

බි‍්‍රතාන්‍ය තුල හෝ අන් තැනක සමිති නිලධාරින්ගේ නිශාචර රහස් පෙම් කෙලි හා සම්බන්ධ විශේෂ තොරතුරු මා අත නොමැති නමුදු ඔවුන්ගේ අවස්ථාවාදය හුදෙක් ම "වියුක්ත ප‍්‍රකාශනයක්” මිස අන් දෙයක් නො වේ. ඇත්තට ම සමිති නිලධරයේ මෙම ද්‍රෝහි සේවාවන් හාම්පුතුන් සහ රාජ්‍යය විසින් දෛනික පදනමක ලබාගන්නා අතර එසේ ලබාගන්නවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇත්තේ ඉතා කලාතුරකිනි.

පාලක නිලධරයන්ගේ ස්වාභාවයන් හා ගුනයන් වනාහි වෛෂයික සාමාජයීය ස්වාභාවයන්ගේ හා සන්තතීන්ගේ ආත්මීය ප‍්‍රකාශනයක් බව කෙනෙකු ග‍්‍රහනය කර ගන්නා කල වෘත්තීය සමිතිවල අවසාන විමුක්තියක් පිලිබඳ අපේක්ෂාවන් ද ඉතා අල්ප බව පෙනේ. වෘත්තීය සමිති නායකයන් හෙලා දැකීමට ඉඩදිය හැකි හා අවශ්‍ය වන නමුදු එය එසේ වන්නේ වෘත්තීය සමිතිවාදයේ ස්වාභාවය පිලිබඳ විශ්ලේශනයකට ආදේශකයක් ලෙස ඒවා සේවය නො කරන තාක් දුරට පමනි.

සුවිශේෂිත සමාජ රූපයක්

එබැවින් අද අපේ අරමුන වන්නේ කම්කරු ව්‍යාපාරයේ මෙම සුවිශේෂ රූපයේ වර්ධනය තුල නිශ්චිත තීරනාත්මක අවධි ගැන ඓතිහාසික පරීක්ෂා කිරීමක් මත පදනම් වූ වෘත්තීය සමිතිවාදය පිලිබඳ විශ්ලේෂනයකට ආරම්භකත්වය ගැනීම ය. මා දැනටමත් පවසා ඇති පරිදි, සමාජවාදී ව්‍යාපාරයේ වසර 150කට නො අඩු කාලයක් මුලුල්ලේ විසල් ඓතිහාසික අත්දැකීමක් සමුච්ඡය කර ගෙන තිබේ. මෙම අත්දැකීම වෘත්තීය සමිතිවාදය විෂයෙහි ලොව විශාලත ම සහ ඛේදජනක විශේෂඥයා වීම සඳහා ඒ විසින් අයිතිවාසිකම් පෑම යුක්තියුක්ත කරයි.

වෘත්තීය සමිතිවාදය විසින් නියෝජනය කරන්නේ සිදු නොවිය යුතුව තිබූ එක්තරා ආකාරයක ඓතිහාසික අත්වැරැද්දක් යැයි ඇඟවීමට අපි අදහස් නො කරමු. වෘත්තීය සමිතිවාදය වැනි විශ්වීය ප‍්‍රපංචයක ගැඹුරු මූලයන් ධනේශ්වර සමාජයේ සමාජ ආර්ථික ව්‍යුහය තුල නො පවතින්නේ යැයි ප‍්‍රතික්ෂේප කිරීම තරමක් හාස්‍යජනක වනු ඇත. සත්තකින් ම පන්ති අරගලය හා වෘත්තීය සමිතිවාදය අතර පැහදිලි සම්බන්ධයක් තිබේ; නමුත් හාම්පුතුන්ගේ හා කම්කරුවන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා අතර නිශ්චිත ගැටුමක් පැවතීම වෙතින් වෘත්තීය සමිති තම තල්ලුව උකහා ගන්නා කම්කරුවන්ගේ සංවිධානය යන අරුතින් පමනි. සමාජ නිර්නිත සුවිශේෂ සංවිධාන රූපයක් ලෙස, වෘත්තීය සමිති පන්ති අරගලය සමග තමන් ම අනන්‍ය වීම හෝ එය පවත්වාගෙන යාමට උත්සාහ කිරීමක් (ඓතිහාසික අර්ථයකින් ඒවායේ පැවත්මට ඒවා නය ගැතිය) මෙම වෛෂයික කාරනාවෙන් ගලා එතැයි කිසිසේත් අදහස් නො කෙරෙයි. ඒ වෙනුවට පන්ති අරගලය යටපත් කිරීමට වෘත්තීය සමිති වඩාත් කැප වූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි.

පන්ති අරගලය යටපත් කිරීමට වෘත්තීය සමිතිවල පවත්නා ප‍්‍රවනතාව සමාජවාදී ව්‍යාපාරය කෙරෙහි ඒවායේ ආකල්පය තුලින් එහි වඩාත් දියුනු හා තියුනු ප‍්‍රකාශනය අත් කරගෙන තිබේ. විශේෂයෙන් සමාජවාදීන්ට ධනවාදයට එරෙහි අරගලයේ දී අනිවාර්යතාව කෙසේ වුව ද රඳා පැවතිය හැකි සහකරුවන් ලෙස වෘත්තීය සමිති පරිකල්පනය කිරීමට වඩා ඛේදනීය මිත්‍යාවක් තවත් තිබිය නො හැක. වෘත්තීය සමිතිවාදයේ ඓන්ද්‍රීය වර්ධනය සිදුවන්නේ සමාජවාදය දිශාවට නොව එයට ප‍්‍රතිපක්ෂව ය. ඒවායේ සම්භවයේ ස්වාභාවය නොතකා, එනම් වෘත්තීය සමිති එක් හෝ තවත් රටක දී ඒවායේ පැවැත්මට විප්ලවවාදී සමාජවාදීන් විසින් සැපයූ තල්ලුවට සහ නායකත්වයට කෙලින් ම නයගැතිව සිටියදී පවා වෘත්තීය සමිතිවල වර්ධනය සහ තහවුරු වීම නියත ලෙස ම මෙහෙයවනු ලැබුවේ සමාජවාදී රැකවරනය කෙරෙහි අමනාපයකට හා එයින් බිඳී නිදහස් වීමේ දෘඪ ප‍්‍රයත්නයකට ය. වෘත්තීය සමිතිවාදයේ සාරභූත ස්වාභාවය පිලිබඳව වැටහීමට පැමිනිය හැකිවන්නේ මෙම ප‍්‍රවනතාවය පැහැදිලි කිරීම හරහා පමනි.

වෘත්තීය සමිතිවාදය හැදෑරීමට අප පටන්ගත් විට අප ගනුදෙනු කරනුයේ නිශ්චිත සමාජ රූපයක් සමග බව අප සිතේ තබා ගත යුතුය. අප මෙයින් අදහස් කරනුයේ යම් සාමාන්‍ය, ක්‍ෂනික හා නිසි හැඩරුවක් නැති වර්ගයේ පුද්ගල එකතුවක් නොව, ඊට විපරීතව යම් නිශ්චිත විශේෂ නිෂ්පාදන සබඳතා තුල මුල් බැසගත් හා පන්ති තුල සංවිධිත මහජනයා අතර ඓතිහාසිකව විකාශනය වූ සබඳතාවකි. රූපයේ ස්වාභාවය මත එය පිලිබිඹු වීම වැදගත් ය. රූපය හා අන්තර්ගතය අතර පවතින සම්බන්ධකම අප හැම දන්නා නමුත් මෙම සම්බන්ධකම සාමාන්‍යයෙන් සංකල්පනය කෙරුනේ, රූපය වූ කලී අන්තර්ගතයේ හුදු ප‍්‍රකාශනයක් ලෙස ය. මෙම ආස්ථානයේ සිට සමාජ රූපය සංකල්පනය කල යුත්තේ එය පදනම් වී ඇති සබඳතාවන්ගේ බාහිර නැමෙන සුලු හා අපරිමිතව හැඩ ගස්වා ගත හැකි ප‍්‍රකාශනයක් වශයෙනි. නමුත් සමාජ රූපයන් ප‍්‍රගාඪ ලෙස අවබෝධ කර ගැනුනේ ඓතිහාසික සංතතිය තුල ගතික මූලයන් වශයෙනි. "අන්තර්ගතය වනාහී රූපය යි” යනුවෙන් පවසන විට ඉන් අදහස් කරනුයේ, රූපය නිශ්චිත ගුනාංගයන් හා ගති ස්වාභාවයන් ප‍්‍රකාශකරන අන්තර්ගතය කෙරෙහි දායක වන බව ය. අන්තර්ගතය පවතින්නේ හා වර්ධනය වන්නේ රූපය තුලිනි.

දාර්ශනික ප‍්‍රවර්ගයන්ගේ සහ ව්‍යුත්පන්නයන්ගේ විෂය පථය තුලට කෙරෙන මෙම වක‍්‍ර ගමන සමහර විට කෘතියේ පලමු වෙලුමේ පලමු පරිච්ඡේදයේ සුප‍්‍රකට කොටස පරිශීලනය කිරීම මගින් පැහැදිලි කල හැකි වනු ඇත. එහිදී මාක්ස් මෙසේ අසයි "වෙලඳ භාන්ඩයන්ගේ රූපය ආරෝපනය කර ගත් ක්ෂනයෙහි ම ඉක්බිතිව කවර අවස්ථාවේ දී ද ශ‍්‍රම නිෂ්පාදිතයේ ගූඪාත්මක ස්වභාවය පැනනගින්නේ? පැහැදිලි ලෙස ම රූපය වෙතිනි.” එනම් සමාජයේ නිශ්චිත අදියරක දී පමනක් සිදුවන පරිවර්තනයක් වන ශ‍්‍රමයේ නිෂ්පාදිතය වෙලඳ භාන්ඩයක රූපය ආරෝපනය කර ගන්නා විට එය කලින් අත් නොකරගෙන සිටි අසාමාන්‍ය සුවිශේෂ ගුනයක් අත්පත් කර ගනී. නිෂ්පාදිතයන් වෙලඳ පොලේ හුවමාරු වූ වහාම වෙලඳ භාන්ඩවලමත් ප‍්‍රතිඵලය වන මිනිසුන් අතර සැබෑ සමාජ සබඳතාවයන් අවශ්‍යයෙන් ම දේවල් අතර සබඳතාවක පෙනුම ගනී. ශ‍්‍රමයේ නිෂ්පාදිතයක් යනු ශ‍්‍රමයේ නිෂ්පාදිතයකි: එහෙත් එය නව නිෂ්පාදන සබඳතාවන්ගේ රාමුව තුල භාන්ඩයක රූපය ගන්නා හා සමග ම එය නව හා අසාමාන්‍ය සමාජ ලක්ෂනයන් අත්පත් කර ගනී.

මේ හා සමානව ම කම්කරුවන්ගේ කන්ඩායමක් යනු කම්කරුවන්ගේ කන්ඩායමකි. එහෙත් එම කන්ඩායම වෘත්තීය සමිතියක රූපය ගත් විට එය මේ රූපය හරහා කම්කරුවන් අනිවාර්ය ලෙස ම යටත් කර තබාගනු ලබන නව හා මුලුමනින් ම වෙනස් සමාජ ලක්ෂන අත් කර ගනී. මෙමගින් නිශ්චිතව ම අදහස් කරන්නේ කුමක් ද? වෘත්තීය සමිති, ඉතා පැහැදිලි සමාජ ආර්ථික භූමිකාවක් මගින් කම්කරු පන්තිය නියෝජනය කරයි. එනම්, වෙලඳ භාන්ඩයක, ශ‍්‍රම ශක්තියේ විකිනුම්කරුවෙකු ලෙස ය. ධනවාදී නිෂ්පාදන සබඳතා සහ දේපල රූපාකාරයන් මත නැගී සිටින, වෘත්තීය සමිතිවල සාරභූත අභිප‍්‍රාය වනුයේ පවත්නා වෙලඳපොල කොන්දේසි යටතේ මෙම වෙලඳ භාන්ඩය සඳහා ලබා ගත හැකි හොඳ ම මිල සුරක්ෂිත කර දීමයි.

සත්තකින් ම වෘත්තීය සමිතිවල සාරභූත අභිප‍්‍රාය ලෙස න්‍යායික භාෂිතයන් මගින් මා විස්තර කර ඇති දෙය සහ ඒවායේ යථාභූත ජීවන ක‍්‍රියාකාරකම් අතර විශාල වෙනසක් තිබේ. ප‍්‍රායෝගික යථාර්ථය - කම්කරු පන්තියේ ඉතාමත් හදිසි අවශ්‍යතාවන් දිනපතා පාවාදෙනු ලැබීම යි- න්‍යායිකව සංකල්පිත "නියාමයට” අනුරූප වනුයේ ඉතා මඳ වශයෙනි. මේ අපසරනය න්‍යායික සංකල්පනා සමග පරස්පර විරෝධී නොවේ; එය වෘත්තීය සමිතිවල වෛෂයික සමාජ ආර්ථික ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලය වේ. ධනවාදී නිෂ්පාදන සබඳතාවන්ගේ පදනම මත සිට ගනිමින් පන්ති අරගලය කෙරෙහි සාරභූත ලෙසම සතුරු ආකල්පයක් ගැනීමට ඒවායේ ම ස්වාභාවය විසින් වෘත්තීය සමිතිවලට බල කරනු ලැබ ඇත. ශ‍්‍රම ශක්තියේ මිල නියම කිරීම සහ කම්කරුවන්ගේ අතිරික්ත වටිනාකම මිරිකා ගත හැකි පොදු කොන්දේසි නිර්නය කිරීමේ දී හාම්පුතුන් සමග ඇතිකරගත් ගිවිසුම් ආරක්‍ෂා කිරීමේ දිහාවට සිය ප‍්‍රයත්නයන් යොමු කරමින් ගිවිසුම් ගත් කොන්දේසිවල නියමයන්ට අනුකූල වන ආකාරයට සිය සාමාජිකයන්ගේ ශ‍්‍රම ශක්තිය සැපයීම සහතික කිරීමට වෘත්තීය සමිතිවලට බල කෙරේ. ග‍්‍රාම්ස්කි සඳහන් කල පරිදි "වෘත්තීය සමිති නීත්‍යානුකූලභාවය නියෝජනය කරන අතර, එහි සාමාජිකයන්ව එම නිත්‍යානුකූලභාවයට ගරු කරවීමට අරමුනු කරගත යුතු ය.”

නීත්‍යානුකූලභාවය ආරක්‍ෂා කිරීම යනුවෙන් අදහස් කරනුයේ එය අරගලය යටපත් කිරීම හෙවත්, දේවල්වල නියම ස්වාභාවයේ අරුතින් වෘත්තීය සමිති ඒවා නිල වශයෙන් කැපවී සිටින සීමිත අරමුනු පවා සාක්‍ෂාත් කරගැනීමට ඒවායේ ඇති හැකියාවට යටින් වල කපා ගැනීම ය. වෘත්තීය සමිතිවාදය එරී සිටින පරස්පර විරෝධය රඳා පවතින්නේ මෙහි ය.

තවත් කරුනක් අවධාරනය කල යුතු ය: වෘත්තීය සමිති හා විප්ලවවාදී ව්‍යාපාරය අතර ගැටුම පැන නගින්නේ, කිසියම් මූලික අර්ථයකින් ගත් කල ද වෘත්තීය සමිති නායකයන්ගේ වැරැදි හා අසමර්ථතාවයන් - ඒ දෙක ම අත්‍යසාමාන්‍ය ප‍්‍රමානයනකින් සොයාගත හැකි නමුත් - වෙතින් නොව, වෘත්තීය සමිතිවල ම ස්වාභාවය වෙතිනි. මෙම ගැටුමේ හරි මැද පවතින්නේ පන්ති අරගලයේ වර්ධනය හා පෘථුලවීම කෙරෙහි වෘත්තීය සමිතිවල ඓන්ද්‍රීය විරුද්ධත්වය යි. පන්ති අරගලය ධනවාදී නිෂ්පාදන සබඳතාවයන්ට එනම් වෘත්තීය සමිතිවල ම සමාජ ආර්ථික පදනම්වලට තර්ජනයක් ලෙස පෙනී යන මොහොතේ දී මෙම විරෝධය සෑම අතින් ම වඩාත් අධිෂ්ඨාන සහගත ලෙස සැර පරුෂ සහ මාරාන්තික තැනකට එලැඹෙයි.

එපමනක් නොව ශ‍්‍රම ශක්තිය විකුනන්නෙකු ලෙස එහි සීමිත භූමිකාවෙන් නොව ධනවාදී නිෂ්පාදන සබඳතාවල විප්ලවීය ප‍්‍රතිවාදය ලෙස එහි ඓතිහාසික ධාරිතාවෙන් කම්කරු පන්තිය නියෝජනය කරන සමාජවාදී ව්‍යාපාරය මත මෙම විරෝධය නාභිගත වී පවතියි.

වෘත්තීය සමිතිවාදයේ මෙම තීරනාත්මක හා සාරභූත අංශ දෙක -පන්ති අරගල යටපත් කිරීමට පරිශ‍්‍රම දැරීමේ එහි ප‍්‍රවනතාව හා සමාජවාදී ව්‍යාපාරය කෙරෙහි එහි සතුරුකම- ඓතිහාසික වාර්තාවෙන් විශදව ඔප්පු වී ඇත. මෙයට අදාලව බි‍්‍රතාන්‍යය හා ජර්මනිය යන දෙරට තුල වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉතිහාසය වැදගත් පාඩම් හා අභිනිවේශනයක් සම්පාදනය කරයි.

එංගලන්තය තුල වෘත්තීය සමිති

එංගලන්තය මෙම සංවිධාන රූපය හරහා කම්කරු පන්තිය සැලකිය යුතු ජයග‍්‍රහන සාක්‍ෂාත් කර ගත්තා වූ නූතන වෘත්තීය සමිතිවාදයේ මහ තිඹිරි ගෙය වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙයි. සත්තකින් ම 1880 ගනන් සහ 1890 ගනන් තුල එංගලන්තයෙහි තම දිග් ගැස්සුන තාවකාලික පදිංචිය අතර තුරේ එඩුවාර්ඩ් බර්න්ස්ටයින් මත වෘත්තීය සමිති විසින් ඇති කල ධාරනාව වූයේ මෙයයි. බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිතිවාදයේ ඇතැයි සිතූ මෙම සඵලත්වය විසින් කම්කරු පන්තියේ දියුනුව හා සමාජවාදී මාවත් ඔස්සේ සමාජයේ ක‍්‍රමික පරිවර්තනය තුල තීරනාත්මක සාධකය වනු ඇත්තේ විප්ලවවාදී ව්‍යාපාරයේ දේශපාලන ප‍්‍රයත්නයන් නොව, මෙම සංවිධානවල ආර්ථික අරගල යැයි බර්න්ස්ටයින්ව ඒත්තු ගැන්වී ය.

සුලූ ධනේශ්වර රැඩිකලුන් විසින් අද කියනු ලබන සියලු දේ නූතන සංශෝධනවාදයේ ආදි කතුවරයා විසින් සියවසකට පෙර කියා ඇත. ඔවුන්ගේ තර්ක සියවසක් පැරැනිය යන කරුන විසින් ඒවා අවලංගු බවක් ඇඟවුම් නො කෙරෙයි. එමෙන් ම මා භාවිතා කරන රෝසා ලක්ෂම්බර්ග්ගේ සමහරක් තර්ක එයාකාරයෙන් ම සියවසක් පැරැනි බව මම විවෘතව ම පිලිගනිමි. නමුත් නව බර්න්ස්ටයින්වාදීන්ගේ තර්ක මුලුමනින් ම නිෂ්ප‍්‍රභ කරනු ලැබ ඇති අතර පසුගිය සියවසේ ගමන් මග තුල දී සනාථ වී තිබීමේ වාසිය මේවාට ඇත. ඇත්ත වශයෙන් ම බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිතිවාදයේ ආර්ථික ජයග‍්‍රහන පිලිබඳව ඔහුගේ තක්සේරුව විශාල ලෙස අතිශයෝක්තියට නැංවූවක් බව බර්න්ස්ටයින්ගේ සමකාලීන විවේචකයන් සටහන් කර ගෙන තිබුනි. සත්තකින් ම 1850 ගනන්වලදී කම්කරු ව්‍යාපාරය තුල ප‍්‍රධාන භූමිකාවට එසැවී ගැනීම අරඹනු ලැබූ වෘත්තීය සමිතිවාදයේ බල සම්පන්නභාවයට පැමිනීම, බි‍්‍රතාන්‍ය කම්කරු පන්ති ව්‍යාපාරයේ මහා විප්ලවීය දේශපාලනික ව්‍යාපාරය වූ චාටිස්ට්වාදයේ පරාජය පිටුපසින් පැමිනි දේශපාලන පරිහානියේ හා බුද්ධිමය එකතැන පල්වීමේ ප‍්‍රකාශනය වූවේය. චාටිස්ට් ව්‍යාපාරය නියෝජනය කලේ ප‍්‍රන්ස විප්ලවයෙන් පසු දශකවලදී කම්කරු පන්තියේ පලල් කොටස් තුලට කා වැදුනු අසාමාන්‍ය දේශපාලනික සංස්කෘතික සහ බුද්ධිමය මුහුකුරායාමේ කුලුගැන්වීම ය. 1848-49 දී චාටිස්ට්වාදයේ අවසාන පරාජයෙන් පසු වසරවලදී එහි වඩාත් ගෞරවයට පාත‍්‍ර වූ නායකයින්ගෙන් කෙනෙකු වූ තෝමස් කූපර්, පැරැනි ව්‍යාපාරයේ විප්ලවීය ගුනය හීන වීම වෘත්තීය සමිති විසින් ම වගා දිගා කරනු ලැබූ සුලු ධනේශ්වර දෘෂ්ටිය විලක්ෂනය කොට පෙන්වීය. සිය ස්වයං චරිතාපදානය තුල ඔහු මෙසේ ලිවීය:

"අපගේ පැරැනි චාටිස්ට් කාලයේ දී, ලැන්කෂයර්හි වැඩ කරන්නන් දහස් ගනනින් වැරැහැලි ඇඳි බව සහ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආහාර පවා නිතර හිඟ වූ බව ඇත්ත ය. නමුත් ඔබ ගිය කොතක දී වුව ද, ඔවුන්ගේ බුද්ධිය විදහා දැක්විනි. දේශපාලන යුක්ති ධර්මයේ ශ්‍රේෂ්ට ඉගැන්වීම් - එනම් වැඩුනු, සිහිබුද්ධියෙන් යුතු සෑම මිනිසෙකුට ම තමන් පාලනය කරනු ලබන මිනිසුන් තෝරා ගැනීමේදී ඡන්දයක් තිබිය යුතුයැයි ඔවුන් කන්ඩායම් වශයෙන් සාකච්ඡා කරමින් සිටිනු හෝ සමාජවාදී ඉගැන්වීම්වලට ගරු කිරීම කෙරෙහි විවාදයක උනන්දු වී සිටීම ඔබ දකිනු ඇත. දැන් ලැන්කෂයර්හිදී ඔබ එබඳු කිසි කන්ඩායමක් නො දකිනු ඇත. නමුත් හොඳින් හැඳ පැලඳ ගත් මිනිසුන් සාක්කු තුල දෑත් රුවාගෙන සමුපකාර සහ ඉදිකිරීමේ සමාජ තුල ඔවුන්ගේ කොටස් ගැන කතා කරනු ඔබට ඇසිය හැකි ය.” (3)

වෘත්තීය සමිති සමග නව නායක වර්ගයක් ඉස්මතු විය: මධ්‍යම පන්තික ගරු කටයුතු භාවයෙහි ලොල් වූ සහ පන්ති සම්මුතියේ නව සුභාරංචිය දේශනා කල බියගුලු මහත්වරු, පැරැනි විප්ලවීය චාටිස්ට්වරුන්ගේ තැන ගත්හ. චාටිස්ට්වාදය පිලිබඳව සමාජවාදී ඉතිහාසඥයෙකු වූ තියොඩෝර් රොක්ස්ටයින් ලියූ පරිදි:

"යන්තම් වසර කීපයකට පෙර ධනේශ්වර සමාජයේ පදනම්වලින් ම සොලවා තිබූ සහ සිය දහස් ගනන් සංඛ්‍යාත කම්හල් කරුවන් විසින් අනුගමනය කරනු ලැබූ, විශාල දක්‍ෂතාවකින්, ඉමහත් ශික්‍ෂනයකින්, උසස් සහ ගැඹුරු පාන්ඩිත්‍යයකින් හෙබියා වූ මිනිසුන් දැන් අප‍්‍රසිද්ධියේ ගමන් කරන බහුතරය විසින් වරදවා වටහා ගැනුනු හා සුලුතරයක් විසින් පමනක් වටහා ගැනුනු හුදකලා රූපයන් වූ අතර, ඔවුන්ගේ බුද්ධිමත්භාවයේ, දක්‍ෂතාවේ සහ චරිතයේ අංශුවකටවත් හිමිකම් නො කියන ‘සාක්කුවට වැටෙන මුදල ගැන පමනක් උනන්දු’ හා ඒ සඳහා පන්ති ස්වාධීනත්වය විකිනීමට පවා හාම්පුතුන් සමග එකඟතාවයකට පැමිනීමේ වැදගත්කම ගැන නො ගැඹුරු සුභාරංචිය විසින් ඒ හා සමාන කම්කරුවන් සියදහස් සංඛ්‍යාවක් ආකර්ශනය කරගත්තා වූ අලුත් මිනිසුන් විසින් එම තැන ගන්නා ලදි."(4)

වෘත්තීය සමිතිවාදය සම්බන්ධයෙන් පහත සඳහන් තක්සේරුව රොන්ස්ටයින් ඉදිරිපත් කලේ ය:

"දේශපාලන කි‍්‍රයා ප‍්‍රතික්‍ෂේප කිරීම හා හාම්පුතුන් සහ කම්කරු පන්තිය අතර අවශ්‍යතාවන්ගේ සුසංවාදය පිලිබඳ ග‍්‍රාම්‍ය දේශපාලන අර්ථශාස්ත‍්‍රයේ ඉගැන්වීම් පිලිගැනීම තුල එහි ප‍්‍රකාශනය සොයාගත් ධනේශ්වර සමාජයේ පිලිගැනීම මේ මානුෂික දෘෂ්ටියේ කැපීපෙනෙන ලක්ෂනය වූවේ ය."(5)

ආර්ථික අරගලය විසින් සම්පාදිත වඩා අපේක්‍ෂා සහගත අවස්ථාවන් කෙරෙහි එහි ශක්තිය සංකේන්ද්‍රනය කිරීම පිනිස පන්තියට ඉඩ දීම සඳහා, බි‍්‍රතාන්‍ය කම්කරුවන් දේශපාලන කි‍්‍රයාවන්ගෙන් පසු බැසීම, අවශ්‍ය වූ බවට වෘත්තීය සමිතිවාදයේ ක්‍ෂමාලාපකයන් තර්කකොට ඇත. වෘත්තීය සමිතිවාදයේ නැගීම සිදුවූයේ ආර්ථික අරගලයේ වේගවත් වීම සමග සහයෝගීවීම නිසා නොව, ඊට විපරීතව කම්කරු පන්තියේ නව නායකයන් විසින් ඒවායේ පොදු ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ය යන කාරනාව විසින් මෙම න්‍යාය නිශ්ප‍්‍රභ කෙරුනි. එංගලන්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ ස්වර්නමය යුගය වූ 1870 ගනන් මුල සහ 1890 මැද අතර කාලයේ කම්කරුවන්ගේ වැටුප් එකතැන පල් විය. මෙම කාලය තුල වෘත්තීය සමිතිවාදය අපකීර්තියට පත් නො වීම සම්බන්ධ කාරනය පැහැදිලි කල යුත්තේ පිටි, අල, පාන්, මස්, තේ, සීනි හා බටර් වැනි මූලික ආහාර ද්‍රව්‍යවල මිල මෙම කාලය තුල අතිවිශාල ලෙස පහත වැටීමක් සිදුවූවේ ය යන කරුනෙනි. කම්කරුවන් අතර විප්ලවීය හැඟීම් පුලුල්ව පැතිරී තිබුනු 19 වන සියවසේ මුල් දශකවල දී ඒකාබද්ධවීම දෙසට වූ සියලු ප‍්‍රවනතාවන්ට ඉංග‍්‍රීසි ධනේශ්වරය බරපතල ලෙස ප‍්‍රතිරෝධය දක්වා තිබේ. නමුත් සියවස අග දී, විශේෂයෙන් ම කම්කරු පන්තිය තුලින් සමාජවාදී ප‍්‍රවනතා යලි මතුවීමට එරෙහි බාධකයක් ලෙස සේවය කරමින් ධනවාදයේ ස්ථාවරත්වයට වෘත්තීය සමිති විසින් ඉටු කල ඉමහත් සේවය ඇගයීමට ධනේශ්වරය පෙරට ආවේ ය. ජර්මානු ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥ, බ්‍රෙන්ටානෝ මෙසේ ලිවී ය: එංගලන්තය තුල වෘත්තීය සමිති අසාර්ථක වූයේ නම්, එයින් "කෙසේවත් හාම්පුතුන්ගේ ජයග‍්‍රහනයන් අදහස් නො කෙරෙනු ඇත. ලොව පුරා විප්ලවවාදී ප‍්‍රවනතාවල ශක්තිමත්වීමක් එයින් අදහස් කෙරෙනු ඇත. කිසිදු බරපතල වැදගත්කමක් ඇති ලේබර් පක්ෂයක් නැතිකම ගැන මෙතෙක් කයිවාරු ගැසූ එංගලන්තය මින් මත්තට මේ අතිනුත් මහද්වීපය හා සම වනු ඇත." (6)

වෘත්තීය සමිතිවාදයේ නැගීමේ කාල පරිච්ඡේදය තුල මාක්ස් සහ එංගල්ස් විප්ලවවාදී පිටිවහලුන් ලෙස එංගලන්තයේ ජීවත් වූහ. තම වැටුප් පහත දැමීමේ හාම්පුතුන්ගේ ප‍්‍රයත්නයට ප‍්‍රතිචාරයක් වශයෙන් වෘත්තීය සමිතිවාදයේ වෛෂයික අදාලත්වය ඔවුහු එංගලන්තයට ඒමට පෙර පවා හඳුනාගෙන සිටියහ. තම ප‍්‍රයත්නයන් තුලින් සාක්‍ෂාත් කරගත් වැටුප් වැඩි කිරීම් මග පාදනු ඇත්තේ මිල වැඩි කිරීම්වලට පමනක්ය යන පදනමේ වැඩ වර්ජන සහ වෘත්තීය සමිති යන දෙකෙහි ම උපයෝගිතාවය ප‍්‍රතික්ෂේප කල සුලුධනේශ්වර න්‍යායාචාර්ය පියරේ ජෝශප් පෲදොන්ට විපක්‍ෂව මාක්ස් අවධාරනය කලේ, ඒ දෙක ම තම ජීවන තත්වයන් ආරක්‍ෂා කිරීම පිනිස කම්කරු පන්තියේ අරගලවල අත්‍යවශ්‍ය සංරචකයක් නිර්මානය කල බව ය.

පෲදොන්ගේ අදහස් පිලිබඳ තම විවේචනයන් තුල දී මාක්ස් නිසැකව ම නිවැරැදි වූ නමුදු මේ මුල් ලේඛන නිපදවූයේ වෘත්තීය සමිති තවමත් තම ලදරු විය ගෙවමින් සිටි කාලයක ය යන්න සිත්හි තබා ගැනීම අවශ්‍යය ය. මෙම නව සංවිධාන රූපය සමග කම්කරු පන්තියේ අත්දැකීම් ඉතා සීමිත වූවේ ය. එකල දී වෘත්තීය සමිති තවමත් විප්ලවවාදී අරගලයේ ශක්‍ය උපකරන බවට හෝ යටත් පිරිසෙයින් එවන් උපකරනවල සෘජු පෙරගමන්කරු ලෙස හෝ පරිනාමය වීමට හැකි බවට තිබූ ඉඩකඩ, කල් තබා අවුරා දැමීමට නො හැකි වනු ඇත. "සංවිධානය වීමේ මධ්‍යස්ථානයන්" ලෙස වෘත්තීය කම්කරු පන්තිය උදෙසා ඉටු කරමින් පැවතුනේ "මධ්‍යම පන්තිය උදෙසා මධ්‍යමකාලීන නාගරිකයන් සහ කොමියුනයන් කල" (7) එම ක‍්‍රියා කලාපය බවට 1866 දී මාක්ස්ගේ නිරීක්ෂනය තුල මෙම අපේක්‍ෂාව ප‍්‍රකාශිත විය.

නමුත් එකල පවා මාක්ස් සැලකිලිමත් වූයේ "වැටුප් වහල් ක‍්‍රමයට එරෙහිව ක‍්‍රියා කිරීමේ ඒවායේ ශක්තිය පිලිබඳ වෘත්තීය සමිති මුලුමනින් වටහා ගෙන නැතිකම කෙරෙහි ය." නමුත් ඒවා විකාශනය විය යුතුව තිබුනේ මේ දිශාවට ය.

"තම මුල් අරමුනුවලින් බිඳී පරිපූර්න විමුක්තියේ පලල් වුවමනාවන් තුල ක‍්‍රියා කරන කම්කරු පන්තිය සංවිධානය කිරීමේ මධ්‍යස්ථානය ලෙස දැනුවත්ව ක‍්‍රියා කිරීමට ඒවා දැන් උගත යුතු ය. ඒ දිශාවට නැඹුරුවන සියලු සමාජ සහ දේශපාලන ව්‍යාපාරවලට ඒවා ආධාර කල යුතු ය. සමස්ථ කම්කරු පන්තියේ නියමුවන් සහ නියෝජිතයන් ලෙස තමන් ම සලකා ගනිමින් හා ක‍්‍රියාකරමින්, නිර්-සමාජයික මිනිසුන් තම අනුගාමිකත්වය තුලට ඇතුලු කර ගැනීමට ඒවා අසමත් නොවිය යුතු ය. සුවිශේෂ හේතුන් නිසා බල රහිත බවට පත් කර ඇති, කෘෂිකාර්මික කම්කරුවන් වැනි ඉතා පහත් වැටුප් ලබන වෘත්තිකයන්ගේ උවමනාවන් ගැන ඉතා පරෙස්සමින් සොයා බැලිය යුතු ය. තම ප‍්‍රයත්නයන් පටු ආත්මාර්ථකාමිත්වයෙන් තොර, දශ ලක්‍ෂ සංඛ්‍යාත පීඩිතයන්ගේ විමුක්තිය අරමුනු කොට ගත්තක් බව ඔවුන් ලෝකයාට සවිස්තරාත්මකව පෙන්විය යුතුය."(8)

වෘත්තීය සමිතිවලට සමාජවාදී නැඹුරුවක් ලබාදීමට මාක්ස් උත්සාහ කලේය. වෘත්තීය සමිති විසින් යෙදී ගෙන සිටියා වූ අරගලවල වැදගත්කම "තමන්ට ම අතිශයෝක්තියට නංවා නො ගන්නා ලෙස" ඔහු කම්කරුවන්ට අනතුරු ඇ‍ඟෙව්වේ ය. වැඩි වශයෙන් ම වෘත්තීය සමිති සටන් කලේ ඵලයන්ට විරුද්ධව මිස ඵලයන්ගේ හේතුවලට විරුද්ධව නොවේ: ඔවුහු බිඳවැටීම දෙසට වූ ගමනෙහි වේගය අඩු කරමින් සිටිති. එනම් රෝගයට ප‍්‍රතිකාර කරමින් නොව වේදනා නාශක ආලේප කරමිනි. එබැවින් ඔවුන් තම "සාධාරන වැඩ දිනයක් සඳහා සාධාරන වැටුපක්” යන තම තත්වාරක්ෂක සටන් පාඨය "වැටුප් ක‍්‍රමය අහෝසි කිරීම” (9) යන විප්ලවීය ඉල්ලීම මගින් විස්ථාපනය කිරීමට මාක්ස් වෘත්තීය සමිතිවලට යෝජනා කලේය.

නමුත් මාක්ස්ගේ උපදේශය වෘත්තීය සමිති මත ඇති කලේ අල්ප බලපෑමක් වූ අතර 1870 ගනන් අග වන විට වෘත්තීය සමිති විෂය කෙරෙහි මාක්ස්ගේ සහ එංගල්ස්ගේ නිරීක්‍ෂනයන් වඩාත් දැඩි විවේචනාත්මක ස්වාභාවයක් අත් කරගෙන තිබුනි. දැන් ධනේශ්වර ආර්ථිකඥයින් වෘත්තීය සමිති කෙරෙහි ඉමහත් හිතවත්කමක් පල කරමින් සිටියදී, මාක්ස් හා එංගල්ස් වෙහෙසුනේ ඔවුන්ගේ මුල් ගුනාංගීකරනය යලි සකස් කිරීමට ය. මාක්ස් හා එංගල්ස්ට අනුව වෘත්තීය සමිති කෙරෙහි හඬ නගා උද්‍යෝගය පල කල, "වැටුප් වහලුන් තෘප්තිමත් වැටුප් වහලුන් බවට පත් කිරීම" (10) තම අභිලාෂය කරගත් ලූවෝ බ්‍රොන්ටානෝ වැනි ධනේශ්වර චින්තකයින්ගේ අදහස්වලින් ඔවුහු තමන්ගේ අදහස් වෙන් කර ගත්හ.

1879 වන විට වෘත්තීය සමිතිවාදය සම්බන්ධ විෂය පිලිබඳව නො වරදිනසුලු පිලිකුල් සහගත ස්වරයක් එංගල්ස්ගේ ලේඛන තුල දැක ගත හැකි විය. ඒ අනුව "පන්තියක් වශයෙන් කම්කරු පන්තිය පැත්තෙන් කවර හෝ පොදු ක‍්‍රියාමාර්ගයක දී කිසියම්ම හෝ ආකාරයකට සහභාගි වීම” වලකාලමින්, දේශපාලන ක‍්‍රියාකාරීත්වය තහනම් කල සංවිධානාත්මක ආඥාවන් වෘත්තීය සමිති විසින් පනවා තිබූ බව ඔහු සටහන් කලේය. 1879 ජූනි 17 දාතමින් බර්න්ස්ටයින්ට යැවූ ලිපියක වෘත්තීය සමිති, කම්කරු පන්තිය ආවෘත අන්තයකට මෙහෙයවා ඇතයි එංගල්ස් චෝදනා කලේය. "මේ මොහොතේ මහද්වීපික අතුරෙන් අවශේෂ කම්කරු ව්‍යාපාරයක් මෙහි නො පවතින බව සැඟවීමට කිසිදු උත්සාහයක් නො කල යුතු අතර මෙහි වෘත්තීය සමිතිවල කටයුතු පිලිබඳව කිසිදු වාර්තාවක් නො ලැබීම නිසා ඔබ එය එතරම් වැරැදි ලෙස ගනු ඇතැයි මෙතැන් පටන් මම විශ්වාස නො කරමි."(11)

1885 එංගලන්තය 1845 හේ එංගලන්තයෙන් විලක්‍ෂනය කරමින්, සය වසරකට පසු ඔහු ලියූ ලිපියක දී වෘත්තීය සමිති විසින් රඟ දැක්වූ තත්වාරක්‍ෂක භූමිකාව කෙරෙහි තම පිලිකුල සැඟවීමට එංගල්ස් උත්සහ නො කලේය. කම්කරු පන්තිය තුල වංශාධිපති පැලැන්තියක් හැඩ ගස්වමින් ඔවුහු, තමන් සඳහා සැප පහසු තත්වයක් රැක ගැනීම උදෙසා හාම්පුතුන් සමග මිත‍්‍රශීලි සම්බන්ධකමක් වගා දිගා කලහ. වෘත්තීය සමිතිවාදීහු, "මේ කාලයේ දී යම් දැනුම් තේරුම්කමක් ඇති ධනපතියෙක් සමග විශේෂයෙනුත්, මුලුමහත් ධනපති පන්තිය සමග පොදුවේත්, ගනු දෙනු කිරීම සඳහා සත්තකින් ම ඉතා කදිම මිනිස්සු"(12) යැයි දවාලන සුලු උපහාසයකින් යුතුව එංගල්ස් ලිවීය.

"වඩාත් ආගාධයට ඇද වැටී නැත්නම්, සදාකල්හි ජීවත්වන අනාරක්‍ෂිත සහ කාලකන්නි තත්වයේ” වූ වැඩ කරන මහා ජනකායන් මුලුමනින් ම පාහේ වෘත්තීය සමිති විසින් නොතකා හැරියාක් මෙනි. ලන්ඩනයේ නැගෙනහිර කෙලවර වැඩ නො කරනවිට හාමතෙහි ද, වැඩ කරන විට කායික හා සදාචාරාත්මක පරිහාසයට ද භාජනව එක තැන පල්වන කාලකන්නිභාවයේ සහ විනාශයේ සදාකල්හි පෘථුල වෙමින් පවතින මඩ වගුරකි.”(13)

1880 ගනන් අගවන විට කම්කරු පන්තියේ වඩා සූරා කෑමට ලක් වූ කොටස් අතරින් නව හා සටන්කාමී වෘත්තීය සමිති ව්‍යාපාරයක වැඩීම විසින් එංගල්ස්ගේ අපේක්ෂාවන් පුබුදු විය. එලෙනෝර් මාක්ස් ද ඇතුලු සමාජවාදීහු මෙම නව ව්‍යාපාරය තුල ක‍්‍රියාකාරි වූහ. එංගල්ස් මෙම වර්ධනයන්ට උද්‍යෝගිමත් ලෙස ප‍්‍රතිචාර දැක්වූ අතර මහත් තෘප්තියකින් සටහන් කලේ "නුපුහුනු මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ මෙම නව වෘත්තීය සමිති කම්කරු පන්තිය වංශාධිපති පැලැන්තියේ පැරැනි සංවිධානවලින් මුලුමනින් ම වෙනස් වන අතර, එම තත්වාරක්ෂක මාවත්වලට ඇද වැටිය නො හැකිය. ...එමෙන් ම ඔවුන් සංවිධානය වී ඇත්තේ මුලුමනින් ම වෙනස් තත්වයන් යටතේ ය. සියලු ම නායක ස්ත‍්‍රී පුරුෂයෝ වනාහි සමාජවාදීන් මෙන් ම සමාජවාදී උද්ඝෝෂකයෝ ද වන්නාහ. ඔවුන් තුල ව්‍යාපාරයේ සැබෑ ආරම්භයක් මම දකිමි.”(14)

නමුත් එංගල්ස්ගේ අපේක්ෂාවන් මුදුන්පත් නො වීය. ඒ වූ කලී මෙම "නව” සමිති ද පැරැනි ඒවා මෙන් එම තත්වාරක්ෂක ප‍්‍රවනතාවන් ම ප‍්‍රදර්ශනය කිරීමට බොහෝ පෙරාතුව නො වේ. වෘත්තීය සමිති පිලිබඳ විශ්ලේශනයට තීරනාත්මක යැයි අප සලකන න්‍යායික සංකල්පයෙහි මුල් ම සත්‍යාවේක්ෂනය වූයේ මෙය යි. එනම් මෙම සංවිධානවල සාරභූත ස්වාභාවය ඒවා තුල සංවිධානය වූ කම්කරුවන්ගේ සමාජමය තත්වය සහ සුවිශේෂ කොටස්වල තරාතිරම විසින් තීන්දු නො වේ. මේවා වැඩිම වුවහොත් වෘත්තීය සමිති පිලිවෙතේ නිශ්චිත අවධියක අංශයන් කෙරෙහි පමනක් බලපෑමක් ඇති කරයි. කම්කරු පන්ති සාමාජිකත්වය විසින් සමහරවිට සමහර වෘත්තීය සමිති අඩු හෝ වැඩි වශයෙන් සටන්කාමී කරනු ලබයි. එසේ වුවත් අවසාන විග‍්‍රහයේ දී වෘත්තීය සමිති රූපය ධනවාදී සමාජ සහ නිෂ්පාදන සම්බන්ධතාවලින් ස්වකීය රාමුව ඇදගනු ලබන අතර එයට බැඳී සිටී. වෘත්තීය සමිතිවල "අන්තර්ගතයේ” කම්කරු පන්තික සාමාජිකත්වයේ නැඹුරුව නිර්නය කිරීමේ දී ජාතික රාජ්‍යය තීරනාත්මක බලපෑමක් ඇති කරන්නේය යන කරුන ද අප එයට එක් කල යුතු ය.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා ජර්මානු වෘත්තීය සමිති

මහද්වීපයේ, විශේෂයෙන් ම ජර්මනිය තුල වෘත්තීය සමිතිවාදය සම්බන්ධ මෙම මුල් අත්දැකීම්වලින් න්‍යායික පාඩම් උකහා ගනිමින් පැවතුනි. ජර්මන් සමාජවාදීහු, ඉංග‍්‍රීසි වෘත්තීය සමිති සමාජවාදයේ පෙරගමන්කරුවන් ලෙස නොව කම්කරු පන්තිය මත ධනේශ්වරයේ දේශපාලනික හා දෘෂ්ටිමය ආධිපත්‍යයේ සංවිධානාත්මක ප‍්‍රකාශය ලෙස දුටහ. මෙම විවේචනාත්මක ආකල්පය නැගුනේ න්‍යායික අභිනිවේශයේ පදනම් උඩ පමනක් නොවන අතර, එය කම්කරු ව්‍යාපාරය තුල බොහෝ වෙනස් බලවේගයන්ගේ; එනම් - මාක්ස්වාදී දේශපාලන පක්ෂයන් හා වෘත්තීය සමිති අතර සම්බන්ධය ද - පිලිබිඹු කලේ ය. ජර්මනිය තුල දැවැන්ත කම්කරු ව්‍යාපාරයක වර්ධනය සඳහා පෙලඹවීම සපයා තිබුනේ වෘත්තීය සමිති විසින් නොව, කම්කරු පන්තියේ නායකත්වය ලෙස එහි දේශපාලන අධිකාරිත්වය පිහිටුවීමට එරෙහිව 1878-1890 අතර කාලයේ දී බිස්මාක්ගේ සමාජවාදී විරෝධී නීති සාර්ථකව ජයගෙන සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසිනි. ප‍්‍රධාන වශයෙන් ම සමාජවාදී ව්‍යාපාරයට සාමාජිකයන් බඳවා ගන්නා ආයතන ලෙස සහාය වීමට ඊනියා "නිදහස්” වෘත්තීය සමිති ස්ථාපිත කෙරුනේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මුල පිරීමෙනි.

ඒවා තුලින් තම ප‍්‍රධාන කාර්යධරයන් හා දේශපාලන අභිනිවේශයන් ඇදගත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් සහයෝගය දැක් වූ වෘත්තීය සමිතිවල බලපෑම 1890 දී පලල්වීම ඇරඹුවේ ය. නමුත්, දිග් ගැස්සුනු කාර්මික අවපාතයේ කල් පැවති ප‍්‍රතිඵල ඔවුන්ගේ සමාජිකත්වය පහත හෙලී ය. 1893 දක්වා ම වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දදායකයන්ගේ සංඛ්‍යාවේ අනුපාතය 8:1 ක් විය. තවමත්, කම්කරු පන්තිය තුල බලපෑම සඳහා වෘත්තීය සමිති පක්ෂය සමග තරග කිරීමට ඉඩ ඇත යන උත්සුකය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල ප‍්‍රකාශ විනි. වෘත්තීය සමිති විසින් මෙය තදබල ලෙස ප‍්‍රතික්ෂේප කරන ලදී. වෘත්තීය සමිති නායක කාල් ලෙජින් 1893 දී කෝලන් පක්ෂ සමුලුවේ දී ඒවා "පක්ෂයට බඳවා ගන්නා පාසල්” ලෙස අර්ථ නිරූපනය කලේ ය.

කෙසේ වෙතත්, 1895 දී කාර්මික අවපාතයේ අවසානයත් සමග ජර්මානු වෘත්තීය සමිති වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තේ ය; බලවේගයන්ගේ වෙනස් වන්නා වු සම්බන්ධතාවයන් පක්ෂය හා වෘත්තීය සමිති අතර ආතතිය උත්සන්න කලේ ය. 1890 වන විට වෘත්තීය සමිති සමාජිකත්වය 600,000 දක්වා වැඩි විය. වසර හතරකට පසු මෙම සංඛ්‍යාව මිලියනය දක්වා වැඩි විය. වෘත්තීය සමිති සාමාජිකත්වයට අනුව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දදායකයන්ගේ අනුපාතය පහත වැටෙත් ම, වෘත්තීය සමිතිවාදීන්ගේ ඡන්ද මත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ යැපීම සැලකිය යුතු ලෙස වැඩි විය.

ඔහු පලමුවරට ප‍්‍රතිසංස්කරනවාදයේ ධජය දිගහරිනවාත් සමග ම වෘත්තීය සමිති නායකයන් විසින් බර්න්ස්ටයින්ට මොන ම හෝ දේශපාලන සහයෝගයක් දීමෙන් වැලකී සිටියේ වුව, ඔහුගේ න්‍යායන් තුඩු දෙනු ඇත්තේ කම්කරු පන්ති ව්‍යාපාරයේ අක්ෂය ලෙස විප්ලවවාදී පක්ෂය වෙනුවට ප‍්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති විසින් විස්ථාපනය කරනු ලබන ඉංගී‍්‍රසි මාවත්වලට ජර්මානු සමාජවාදී ව්‍යාපාර යලි නැඹුරු කිරීමට පමනක් බව පක්ෂ කව තුල පලල්ව වටහා ගෙන තිබුනි.

බර්න්ස්ටයින්ට විරුද්ධවෙමින්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රමුඛ න්‍යායවාදිනියක්, වෘත්තීය සමිති සමාජවාදී ව්‍යාපාරයේ අනිවාර්ය බලකොටු ලෙස විදහා දැක්වීමේ ඔහුගේ උත්සාහයට විශේෂ අවධානය යොමු කලා ය. සත්තකින් ම, ඒ නම්, මෙම අරගලයට නායකත්වය දුන් රෝසා ලක්ෂම්බර්ග් ය. ප‍්‍රතිසංස්කරනය ද විප්ලවය ද මේ සම්බන්ධයෙන් වන ඇගේ ඉතාමත් වැදගත් කෘතිය යි. එහි දී වෘත්තීය සමිතිවල උත්සාහයන් ධනේශ්වර සූරාකෑමේ යාන්ත‍්‍රනයට ඵලදායී ලෙස එරෙහි වූ බව හා කෙසේවෙතත්, ක‍්‍රමිකව සමාජය සමාජවාදීකරනයට මෙහෙයවී ය යන බර්න්ස්ටයින්ගේ ප‍්‍රකාශය කුඩු කර දැමී ය. බර්න්ස්ටයින්ගේ අදහස් මුලුමනින් ම අසත්‍ය බව ලක්ෂම්බර්ග් අවධාරනය කලා ය; වෘත්තීය සමිතිවාදය පන්ති සූරාකෑම අහෝසි කිරීමට නායකත්වය දුන්නේ නැත, ඊට වෙනස්ව, ධනේශ්වර ක‍්‍රමයේ සූරාකෑමේ ව්‍යුහය තුල වැටුප් ආකාරයෙන් වෙලඳපොල විසින් ඉඩදෙන හොඳම මිල කම්කරුවන් ලබාගත්තේ ය යන්න තහවුරු කිරීමට එය උත්සාහ ගත්තා ය.

කෙසේ නමුත්, කම්කරුවන්ගේ වැටුප් ඉහල නැංවීමක් ආකාරයෙන්, වෘත්තීය සමිතිවල උත්සාහයෙන් දිනාගත හැකි වූ දෑ වෙලඳපොල පැද්දීම් හා ධනවාදී ප‍්‍රසාරනයේ පොදු ගතිකය විසින් සීමා කෙරුනි. ධනවාදී සමාජය, වෘත්තීය සමිතිවල ජයග‍්‍රාහී වර්ධනයන්ගෙන් සලකුනු කල අවධියකට නොව; "කම්කරු සමිතිවල දුෂ්කරතාවන් වැඩිවන කාලයක් දෙසට” ගමන් කරමින් තිබිනි යයි ඈ අනතුරු හැඟවී ය. මෙලෙස, වෘත්තීය සමිති අත්පත් කරගන්නා තාවකාලික ජයග‍්‍රහනයන් මොනවා වුවත්, ධනේශ්වර ක‍්‍රමය විසින් ඇති කරන ලද සීමාවන් තුල ඒවායේ කටයුතු මුල්බැස පවතින තාක් දුරට ඒවා "නිරර්ථක කටයුත්තක” යෙදීගෙන තිබුනි. වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම් ගැන එවැනි අතිශයින්ම උචිත හා දූරදර්ශී තක්සේරුවක් සම්පාදනය කල එවැනි නිලයට ම වදින රූපකයක් පාවිච්චි කිරීම ගැන වෘත්තීය සමිති නායකයන් කිසිදා ලක්ෂම්බර්ග්ට සමාව නො දෙනු ඇත.

ධනවාදය යටතේ කම්කරු පන්තිය සූරාකෑම තාවකාලිකව අඩු කිරීමට වඩා වැඩි දෙයක් කිරීමට වෘත්තීය සමිතිවලට පවතින නොහැකියාව කෙරෙහි බලපාන වෛෂයික හේතු පිලිබඳ ලක්ෂම්බර්ග්ගේ විශ්ලේෂනයට සාධාරනත්වය ඉටු කිරීමට මෙම සමාලෝචනය නොසෑහෙයි. බර්න්ස්ටයින් සම්බන්ධ ඇගේ විවේචනයේ තවත් පැත්තකට අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. වෘත්තීය සමිති තුල සහජයෙන්ම හෝ ඒවායේ කි‍්‍රයාකාරකම්වලදී සමාජවාදී ගම්‍යයක් හෝ සමාජවාදී කර්තව්‍යයේ ජයග‍්‍රහනයට ඔවුන්ගේ වැඩ කටයුතු අත්‍යවශ්‍ය වන කිසිවක් නැති බවට කල ඇගේ ප‍්‍රකාශය විශේෂයෙන් ම අදට ඉතාම අදාලය. සමාජවාදීන් විසින් වෘත්තීය සමිති මෙහෙයවූ තාක් දුරට, විප්ලවවාදී ව්‍යාපාරයට වැදගත් සේවයක් කල බව ලක්ෂම්බර්ග් ප‍්‍රතික්ෂේප නොකලා ය. සත්තකින් ම, ඇගේ විවේචන මගින් ඇය බලාපොරොත්තු වූයේ එවන් වර්ධනයක් සඳහා වැඩ කිරීමට ය. (එය, එකී ඉලක්කය සපුරා ගත්තේ දැ යි අප පසුව සලකා බලන වෙනම කාරනාවකි.) නමුත් වෘත්තීය සමිතිවාදය තුල ඓන්ද්‍රීය සමාජවාදී ප‍්‍රවනතා පැමිනීම වැනි මිථ්‍යාවන්ට එරෙහිව ඇය අනතුරු ඇඟවී ය.

"උදාසීනත්වයේ, ප‍්‍රවේසම් සහගතභාවයේ හා පටු කල්පනාකාරීත්වයේ සම්භාව්‍ය නියෝජිතයන් ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරය හැම අතින්ම, නිර්-සමාජවාදී වන බවට ඉංගී‍්‍රසි වෘත්තීය සමිති සාක්ෂි දරයි. සත්තකින්ම යම් නිශ්චිත තත්වයන් යටතේ සමාජවාදී විඥානය පිරිසිදු වෘත්තීය සමිති ජයග‍්‍රහනයන් අත්කර ගැනීම බාධකයක් වන්නා සේම එය සමාජවාදී විඥානයේ ප‍්‍රසාරනයට ඍජු බාධකයක් විය හැකි ය" යි රෝසා ලක්ෂම්බර්ග් ලීවා ය.

වෘත්තීය සමිති හා ඒවායේ නිලධරයට තමන් වහල් ව අනුගත වූ සියල්ලන්ට ද, වෘත්තීය සමිති ආකෘතිය හැරුනු විට වෙනත් කම්කරු පන්ති ව්‍යාපාරයක් ගැන සිතීමට නො හැකි වුවන්ට ද මෙම ඡේදය සිත්කාවදින දෝෂාරෝපනයකි. එය ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයට ඓන්ද්‍රිය හා නොබිඳිය හැකි සම්බන්ධතාවයක් නැත. අවශ්‍යයෙන් ම, සමාන්තර මාර්ග දෙකක් ඔස්සේ එකම ගමනාන්තයක් කරා ගමන් කරන්නේ නැත. ඊට විපරීතව, ලක්‍ෂම්බර්ග් ප‍්‍රකාශකල ආකාරයට, වෘත්තීය සමිතිවාදය, එහි ස්වභාවයෙන්ම "සම්පූර්නයෙන් ම නිර්සමාජවාදී”ය. සමාජවාදී විඥානයේ වර්ධනයට හානි කරයි. එමෙන්ම තවදුරටත් කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවයන් මත සිය ක‍්‍රියාකාරීත්වයන් පාදක කිරීම ඉල්ලා සිටිනු ලබන සමාජවාදීන්ගේ දේශපාලන මූලධර්ම වෘත්තීය සමිතිවල ප‍්‍රායෝගික අරමුනුවලට ප‍්‍රතිවිරුද්ධව ගමන් කරයි.

එංගලන්තයේ දී, වෘත්තීය සමිති සමාජවාදී ව්‍යාපාරයෙන් ස්වාධීනව චාටිස්වාදයේ නටබුන් මත වර්ධනය විය. අනෙක් අතට, ජර්මනියේ දී වෘත්තීය සමිති සමාජවාදී ව්‍යාපාරයේ ඍජු රැකවරනය යටතේ මතුවිය. එහි නායකයෝ මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම් අනලස්ව හැදෑරූහ. එනමුත්, හරයෙන් ජර්මානු වෘත්තීය සමිති එංගලන්තයේ ඒවාට වඩා සමාජවාදයට කැපවුනේ නැත. සියවසේ අවසානය වන විට, ලක්ෂ ගනන් නව සාමාජිකයින් ඇතුලට ගලා ඒමත් සමග වඩාත් ආත්ම විශ්වාසයෙන් යුක්තව වෘත්තීය සමිති, පක්‍ෂයේ දේශපාලන බලපෑමට හා එහි දේශපාලන අරමුනුවලට ඔවුන්ගේ යටත්වීම කෙරෙහි පැවති අසහනය පෙන්නුම් කරමින් සිටියහ. මෙම අසහනය නව වේදිකාවක් තුල ප‍්‍රකාශනයක් සොයා ගත්තේ ය: එනම්, දේශපාලන මධ්‍යස්ථභාවයයි. වෘත්තීය සමිති නායකයින්ගෙන් වැඩෙන සංඛ්‍යාවක්, ඔවුන්ගේ සංවිධානය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ උද්ඝෝෂනයට මොනයම් හෝ පක්‍ෂපාතීත්වයක් දැක්වීමට හේතුවක් නැතැයි තර්ක කිරීමට පටන් ගත්හ . සැබැවින් ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ආධිපත්‍යය කම්කරුවන් අතර සිටි සමාජවාදී ප‍්‍රතිපත්ති පිලිබඳව උනන්දුවක් නැති හෝ එයට විරුද්ධවූවන් සාමාජිකයන් වශයෙන් දිනාගැනීමට තිබු හැකියාව නැති කලේ යයි ඔවුහු තර්ක කලහ. මෙම ප‍්‍රවනතාවයේ ප‍්‍රමුඛයන් අතර ඔටෝ හූවේ විය. ඔවුන්ගේ දේශපාලන මධ්‍යස්ථාභාවයේ ආස්ථානය පිලිගන්නේ නම් වෘත්තීය සමිතිවලට ඒවායේ සාමාජිකයින්ගේ "වෘත්තීය (පන්ති නොව) අවශ්‍යතාවන්ට පමනක් සේවය කිරීමට හැකිවනු ඇතැයි” අවධාරනය කල ඔටෝ හූවේ මෙම ප‍්‍රවනතාවයෙන් ප‍්‍රමුඛ නියෝජිතයන් අතර සිටියේ ය. "වෘත්තීය සමිතිවල මධ්‍යස්ථභාවයේ කොන්දේසි යටතේ කම්කරුවන් දේශපාලනිකව ක‍්‍රියාත්මකවීම වෘත්තීය සමිති නායකයින් කෙරෙහි නොතැකීම පිලිබඳ කාරනයක් වන්නේය හා විය යුතුම ය”යි හූවේ ලීවේ ය.

1900-1905 අතරතුර දී පක්‍ෂය හා වෘත්තීය සමිති අතර ආතතිය ඉහල ගියේ ය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවදී පක්‍ෂයේ සම්මේලනවල නියෝජිතයින් හැටියට ඔවුන්ගේ තන්ත‍්‍රය තුල, වෘත්තීය සමිති නායකයෝ සමාජවාදී (සාධාර්මිකතාවට) පක්‍ෂව ඔවුන්ගේ ඡන්දය දීම අඛන්ඩව කරගෙන ගියහ. ප‍්‍රතිසංස්කරනවාදයට එරෙහි න්‍යායික අරගලය ප‍්‍රායෝගික ස්වරූපයක් ගැනීම අරඹා තිබු තත්වය කරා වෛෂයික වර්ධනය තවමත් ලඟා වී තිබුනේ නැත. 1905 ජර්මනිය තුල හා එහි දේශ සීමාවන්ගෙන් එහා සිදුවීම්වලින් මේ තත්වය වෙනස් කෙරුනි.

සියල්ලට ම පෙර, රුසියාව හරහා විප්ලවයේ පුපුරායාම ජර්මන් කම්කරු පන්තිය මත අතිමහත් බලපෑමක් ඇති කලේ ය. කම්කරුවෝ බලවත් ආශාවකින් සමාජවාදී පුවත්පත්වල පල වූ විප්ලවවාදී අරගලයේ විස්තරාත්මක වාර්තාවන් කියවූහ. එමෙන්ම ජර්මනිය පුරා, විශේෂයෙන්ම රූවර් පතල් කම්කරුවන් අතර පුපුරාගිය දරුනු වර්ජන රැල්ල රුසියානු සිද්ධීන් සමග සමපාත වූ අතර පැහැදිලිවම එම සිද්ධීන්ගෙන් උත්තේජනයක් ද ලැබී ය. කම්කරුවන්ගේ සටන්කාමීත්වය තිබියදීම වැඩවර්ජන පතල් හිමිකරුවන්ගේ දැඩි ප‍්‍රතිරෝධය හා මුහුනට මුහුන ලා ගැටුනේ ය. ඔවුනට ඵලදායි ප‍්‍රතිචාරයක් නොවු තැන පතල් හිමිකරුවන්ගේ දැඩි බව විසින් වෘත්තීය සමිති පසුබස්වනු ලැබී ය. සම්ප‍්‍රදායානුකූල වෘත්තීය සමිති උපක‍්‍රම පිලිබඳ කම්කරුවන්ගේ විශ්වාසය බිඳ දමමින් වැඩ වර්ජනය අත්හැර දැමුනි.

මෙම නව තත්වයේ දී, කෞට්ස්කිගේ සහයෝගය ලද ලක්‍ෂම්බර්ග්, රුසියාවේ සිදුවීම් සමස්ත යුරෝපීය වැදගත්කමකින් යුක්ත බව හා ජර්මන් කම්කරු පන්තියට නව ආකෘතියක මහා අරගලයක විභවය එනම් දේශපාලන වර්ජනය, හෙලිදරව් කර තිබුනි යයි තර්ක කලා ය. දේශපාලන මහ වර්ජනය පිලිබඳ අදහස් කම්කරු පන්තිය තුල පලල්ව පැතිරුනු සහයෝගයක් දිනාගත්තේ ය. නමුත් වෘත්තීය සමිති නායකයෝ ලක්‍ෂම්බර්ග්ගේ තර්කයන්ගේ ගම්‍යයන් විසින් තැති ගන්වනු ලැබූහ. කම්කරුවන් ලක්‍ෂම්බර්ග්ගේ න්‍යාය මත ක‍්‍රියාත්මක වුනි නම් වෘත්තීය සමිති නායකයන් තමන් විසින් ම විප්ලවවාදී වික‍්‍රමාන්විත ක‍්‍රියාවල පැටලී සිටිනු සොයාගනු ඇති අතර නිල චින්තාව ඔවුන්ගේ උත්සුකයට අයත් දෙයක් නො වනු ඇත. මහා වර්ජනය වෘත්තීය සමිතිවලට විශාල ධන නස්පැත්තියක් වන අතර නායකයන් ඉතාමත් ආඩම්බර වු බැංකු ගිනුම් හිස්වීමට ඉඩ තිබුනි.

එවැනි මහා විනාශයක් වලක්වනු පිනිස, වෘත්තීය සමිති නායකයෝ ලක්ෂම්බර්ග්ට හා සෙසු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී රැඩිකලුන්ට එරෙහිව පූර්වභංග ප‍්‍රහාරයක් දියත් කලෝ ය. 1905 දී කෝල්න්හි පැවති වෘත්තීය සමිති සමුලුවක දී මහා වර්ජන ප‍්‍රශ්නය පිලිබඳව වෘත්තීය සමිතිවල ආකල්පය නිර්වචනය කෙරෙන යෝජනාවක් සකස් කිරීමට විශේෂ කොමිසමක් ස්ථාපිත කලේ ය. "අපගේ සංවිධාන තවදුරටත් වර්ධනය කිරීමට අපට කම්කරු ව්‍යාපාරය තුල සාමය අවශ්‍යය. ඒ සඳහා මහා වර්ජනය ගැන සාකච්ඡාව අතුරුදහන් විය යුතු අතර , අනාගතයේ (ප‍්‍රශ්න පිලිබඳ) විසඳුම්, යෝග්‍ය කාලය පැමිනෙන තෙක් විවෘතව තැබිය යුතු වෙමු” යයි කොමිසමේ ප‍්‍රකාශක තියඩෝර් බෝමෙල්බර්ග් ප‍්‍රකාශ කලේ ය. (15)

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ වාමාංශයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමක් බඳු වූ, වෘත්තීය සමිති තුල දේශපාලන මහ වර්ජනය පිලිබද ප‍්‍රශ්නය ගැන කතා කිරීමට අවසර දිය නො හැකිය යන යෝජනාව වෘත්තීය සමිති කොමිසමේ සම්මේලනය තුල සම්මත කලේ ය. "කම්කරු සංවිධාන ගොඩ නැගීමේ දෛනික කාර්යයෙන් ඉවතට හරවනු ලබන අදහස් පිලිගැනීම හා පතුරුවාහැරීම මගින් තමන් මුලාවට පත්කිරීමට ඉඩ නො දෙන ලෙස" එය කම්කරුවන්ට අනතුරු හැඟවී ය. (16)

පක්‍ෂයට එරෙහි වෘත්තීය සමිති නායකයින්ගේ කැරැල්ලෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ගැඹුරට සොලවා දැමුනි. වෘත්තීය සමිති පක්‍ෂයෙන් දුරස්ථ වීමේ ගැඹුර සම්මේලනය විසින් හෙලිකල බව කෞට්ස්කි ප‍්‍රකාශ කල අතර, ඉන් වසරක් ඇතුලත "සාමය හා නිහැඬියාව සඳහා වන වෘත්තීය සමිතිවල කැමැත්ත” පිලිබඳ කල ප‍්‍රකාශය විකාරයක් ලෙස ඔහුට හැඟුන ද, "එය සමස්ත මානව ඉතිහාසයේ ඉතාමත් විප්ලවකාරී දෙය ” යයි ඔහු උපහාසයෙන් යුතුව සටහන් කලේ ය. වෘත්තීය සමිති නායකයෝ "මහජනතාවගේ සමාජීය තත්වයට” වඩා සංවිධානයේ බැංකු ගිනුම් වල ඉරනම ගැන උත්සුක වූහ”යි කෞට්ස්කිට ප‍්‍රත්‍යක්ෂ විය.

වෘත්තීය සමිති නායකයින්ට අනුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ වම්මුන්ගේ වෛරය ව්‍යාධී තත්වයකි. විශේෂයෙන්ම රෝසා ලක්‍ෂම්බර්ග් උග‍්‍ර හෙලාදැකීම්වලට නිරන්තර ඉලක්කය වූවා ය. පතල් කම්කරුවන්ගේ ජර්නලයේ සංස්කාරක ඔටෝ හූවේ අධික විප්ලවවාදී ශක්තියක් ඇති අය, "ඔවුන්ගේ ගිම්හාන නිකේතනවල මහා වර්ජන ගැන කතා කරනු වෙනුවට” රුසියාවට යායුතු යයි කීවේ ය. විප්ලවවාදී ක‍්‍රියාකාරකම් නිසා ඇය අත්අඩංගුවට ගෙන පෝලන්තයේ සිර ගෙයක දුබලව සිටිය දී පවා රෝසා ලක්‍ෂම්බර්ග්ට එරෙහි ප‍්‍රහාරය ඔවුහු තීව‍්‍ර කලහ. ඒ කාලයේ තවමත් ඔහුගේ මිතුරිය හා සගයාව සිටි රෝසා ලක්‍ෂම්බර්ග්ට එරෙහි බිහිසුනු පෞද්ගලික ප‍්‍රහාරයෙන් පීඩාවට පත් වු කෞට්ස්කි, "නිර්ධන පන්ති අරගලයේ නායිකාවක” අධික පීඩාවට පත්කිරීම හෙලා දුටුවේ ය. පක්‍ෂය හා වෘත්තීය සමිති අතර සම්බන්ධය අනතුරට හෙලුවේ "පැයකට ලැබෙන අතිරේක පැන්ස පහට වඩා ඉහල පරමාර්ථයන්ගෙන් යුත් අරමුනක් සදහා කැපවූ කම්කරු ව්‍යාපාරයේ සෑම රූපාකාරයක් කෙරෙහිම ප‍්‍රාථමික වෛරයකින් පෙලුන වෘත්තීය සමිති නායකයන් මිස රෝසා ලක්ෂම්බර්ග් නොවේ” යයි ඔහු ලීවේ ය.

ටික කාලයකට, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයින් වෘත්තීය සමිති නිලධරයට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කල නමුත්, එය කලේ හැකි තරම් ප‍්‍රවේශම් සහගතව ය. 1905 සැප්තැම්බරයේ ජෙනාහි පක්‍ෂ සමුලුවේ දී බෙබෙල්, ආරක්‍ෂක ආයුධයක් ලෙස පමනක් දේශපාලන මහ වර්ජනයේ වලංගුභාවය පාර්ශවීය වශයෙන් පිලිගත් දක්ෂ ලෙස වචන හරඹ කල යෝජනාවක් ඉදිරිපත් කලේ ය. ප‍්‍රතිචාර වශයෙන් වෘත්තීය සමිති බෙබෙල්ගේ සූත‍්‍රගත කිරීම පිලිගත්තේ ය, නමුත් කෙටි කලකට ය. 1906 සැප්තැම්බරයේ මාන්හේයිම් පක්‍ෂ සමුලුවේ දී වෘත්තීය සමිති නායකයෝ, වෘත්තීය සමිති හා පක්‍ෂය අතර "සමානත්වයේ” මූලධර්මය තහවුරු කල යෝජනාවක් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයෙන් ඉල්ලා ලබා ගත්තේ ය. මෙහි අර්ථය නම්, වෘත්තීය සමිතිවල උත්සුකයට ඍජුව ලක්වන කාරනාවලට සම්බන්ධ සියලු කාර්යයන්හි දී වෘත්තීය සමිතිවලට පිලිගත හැකි තත්වයක් පක්‍ෂය විසින් සකස් කල යුතු ය. බලගතු විරෝධයන් නොතකා, පක්‍ෂ නායකයෝ නිලධාරීවාදීව සාකච්ඡ‍ාව නතර කිරීමටත්, යෝජනාව තහවුරු කිරීමටත් වෘත්තීය සමිති නිලධරයන් සමග ද්‍රෝහී ලෙස එක් වූහ.

මෙතැන් සිට, වෘත්තීය සමිති මහා කොමිසම විසින් ප‍්‍රබලව ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය පාලනය කරන ලදී. රෝසා ලක්‍ෂම්බර්ග් සඳහන් කල පරිදි පක්‍ෂයට වෘත්තීය සමිතිවල සම්බන්ධය, "අප දෙදෙනා අතර ප‍්‍රශ්නයක් ඇතිවන කොයියම් මොහොතක හෝ, අප දෙදෙනා මේ රෙගුලාසිය පිලිගන්න ඕනෑ, අප එකඟ වෙන කොට ඔයා තීන්දු ගන්න ඕනෑ. අප එකඟ නැති වෙලාවට තීන්දු ගන්නේ මා යයි” තම ස්වාමිපුරුෂයාට කියූ කලහකාර ගොවි බිරිඳ මෙන් විය.

විප්ලවවාදී න්‍යායවාදීන්ට වඩා සාමාන්‍ය කම්කරුවන්ට සැබවින් ම අවශ්‍ය වූයේ මොනවාදැයි පිලිබඳව හොඳ අදහසක් ඔවුන්ට තිබුනා යයි රෝසා ලක්ෂම්බර්ග් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ විප්ලවවාදී කන්ඩායම් සමග තම ගැටුම් තුලදී පැවසීමට වෘත්තීය සමිති නායකයෝ පුරුදුව සිටියහ. ඔවුනට අනුව; තම ව්‍යක්තයන්ගේ හා මනෝරාජිත දෘෂ්ටීන්ගෙන් චිත්තාපර ලක්‍ෂම්බර්ග් හා ඇගේ වර්ගයේ විප්ලවවාවදීන්ට පතල් හෝ කම්හල් වැඩබිම්වල දී කම්කරුවන් මුහුන දෙන ගැටලුවලට විසඳුම් සැබවින් ම තිබුනේ නැත, අනාගත විප්ලවවාදී මහා පෙරලියක් හා ඒ තුලින් මතුවන සමාජවාදී මනෝරාජ්‍යයක් පිලිබඳ සිහින දැකීම න්‍යායවාදීන්ට ඉතා හොඳය, නමුත් මේ මොහොතේ කම්කරුවන් වඩාත් උත්සුක වූයේ ඔවුන්ගේ සතිපතා පඩිපතේ අතිරේක ගානක් ලකුනු වනවා දකින්ට ය.

වෘත්තීය සමිති නායකයින්ගේ තර්ක, මහ වර්ජන පිලිබඳ විවාද පලමුවෙන් ම පැනනැගුන අවධියේ කම්කරුවන්ගේ සැලකිය යුතු කොටසකගේ දෘෂ්ටිය පිලිබිඹු කලේ ය යන්න සත්‍යයක් විය හැකිය. 1905 දී හෝ 1906 දී මෙම කාරනයට ඡන්දය විමසුවේ නම් බොහෝ කම්කරුවන් ලක්ෂම්බර්ග්ට වඩා ලෙජියන්ගේ ස්ථාවරයට පක්‍ෂව ඡන්දය දීමට ඉඩ තිබුනි. කෙසේ වෙතත්, මාක්ස්වාදීන් හා ප‍්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති අතර ගැටුම ගැන සැලකීමේ දී පහත සඳහන් දෙය සිත්හි තබා ගැනීම වැදගත් ය: කීවට මොක ද: නිලධාරීහු ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන් හා ජාතික රාජ්‍ය සංවිධානය මත වාත්තීය සමිතිවල ඓන්ද්‍රීය පැවත්මෙන් පෙරට ආ ප‍්‍රතිපත්තිවලට ආයතනිකව හා ව්‍යාවස්ථානුකූලව කැප වූ අය වූහ. සාරභූතව ම විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය, ප‍්‍රතිසංස්කරනවාදී අනුගත වීමේ අනුක‍්‍රමික වැඩපිලිවෙලට ඒ ආකාරයෙන් ම කැප වී නොසිටියහ.

ධනේශ්වර ක‍්‍රමය තුල ගැබ්වූ ප‍්‍රතිඝතිතාවන්ගේ වර්ධනය, ජර්මනිය තුල සමාජ සම්මුතියේ වස්ත‍්‍රය ඉරා දැමීය. පන්ති ආතතිය තීව‍්‍ර වීමත් සමග, කම්කරුවෝ හාම්පුතුන් හා රාජ්‍ය කෙරෙහි වඩාත් ප‍්‍රචන්ඩකාරී හා විරුද්ධවාදී ආකල්පයක් ගත්හ. 1910-11 වන විට කම්කරු පන්තියේ පලල් කොටස් අතර රෝසා ලක්‍ෂම්බර්ග්ගේ තර්කයන් දෝංකාරදීම අරඹා තිබුන බවට පැහැදිලි සංඥා තිබුනි. විශේෂයෙන්ම හාම්පුතුන්ගේ දැඩි විරෝධය තුල අසාර්ථක වු 1912-13 වැඩවර්ජනය ඉක්බිත්තේ නිල වෘත්තීය සමිති සමග කම්කරුවන්ගේ අසතුට ප‍්‍රකට ලෙස වැඩි විය.

1914 අගෝස්තුවේ දී ලෝක යුද්ධයේ පිපිරීම, රැඩිකලීකරනයේ සන්තතිය, තාවකාලිව නවතා දැමී ය. නමුත් 1915-16 දී, යුද්ධය විසින් කුපිත කරන ලද කම්කරු පන්තියේ සමාජ අතෘප්තිය නිල වෘත්තීය සමිති විසින් ඉදිකල බාධකවලට ඉහලින් ඉස්මතු විය. 1918 ඔක්තෝබර්, නොවැම්බර්වලදී ජර්මානු විප්ලවයේ පිපිරීමත් සමග දේශපාලන මහ වර්ජනයට එරෙහි පැරනි නිලධාරීවාදී තර්කයන් අවසානයේ දී ඒවායේ තීරනාත්මක උත්තරය ලැබී ය. රෝසා ලක්ෂම්බර්ග් විසින් න්‍යායිකව පෙරදැක තිබූ, හා රුසියානු විප්ලවය ප‍්‍රායෝගිකව පෙර ලකුනු පහල කර තිබූ පරිදි, ජනතා ව්‍යාපාරයේ විප්ලවවාදී ස්වභාවය සාමාජික කමිටු, සහ විශේෂයෙන් ම නිල වෘත්තීය සමිතිවලට විරුද්ධව මතුවුනු කම්කරු සභා යන නව සංවිධාන රූපයන්ගෙන් ප‍්‍රකාශ වුනි.

ජර්මානු හා ඉංග‍්‍රීසි කම්කරු පන්තියේ අත්දැකීම් වෘත්තීය සමිතිවාදයේ දැවැන්තම ඓතිහාසික පරීක්‍ෂාව නියෝජනය කලේ ය. අපට ප‍්‍රමානවත් තරම් කාලය තිබුනි නම් බොහෝ රටවලින් හා අපේ කාලය දක්වාම මෙම සියවසේ සියලුම දශකයන් කරා විහිදුන උදාහරන ගෙන එමින් සමාජවාදය හා වෘත්තීය සමිතිවාදය අතර සාරභූත ගැටුම සම්බන්ධ අපගේ විශ්ලේෂනයට අතිරේක කරුනු ඉදිරිපත් කිරීමට හා තහවුරු කිරීමට අපට පිලිවන. නිසැකව ම එබඳු තහවුරු කිරීමක අවශ්‍යතාවයක් තිබේ. එහෙත් මෙම අවධානය යොමු වී තිබෙන්නේ තවදුරටත් අනුභූතික අවශ්‍යතාවයන් පාදක කර ගත යුතු න්‍යායික හා ඓතිහාසික පදනම් තහවුරු කිරීම යි

නිගමන: සමාජවාදී සවිඥානයේ ඓතිහාසික කාර්යභාරය.

තව ද, මෙම දේශනයේ ප‍්‍රධාන අරමුන වෘත්තීය සමිතිවල පාවාදීම් පිලිබඳ හැකිතරම් උදාහරන සැපයීම නොව, ඊට වෙනස්ව මෙම සතියේ පාඨමාලාව තුල ඉදිරිපත්කල අනෙකුත් සියලුම දේශනවල මෙන්ම මෙහි ද අවධාරනය කෙරෙන සාරභූත තේමාව නම් සමාජවාදී සවිඥානයේ ඓතිහාසික කාර්යභාරය හා කම්කරු පන්තිය තුල එහි වර්ධනයට සටන් කිරීම ය. විප්ලවවාදී මාක්ස්වාදී පක්‍ෂයේ සාරභූත වැදගත්කම පවතින්නේ මෙහිය. සින්ඩිකල්වාදී ස්වභාවයකින් ස්වයංසිද්ධ සටන්කාමීත්වයේ පූනර්ජීවනයක් සිදුවීමට තිබුනි නම් පැරනි නිලධාරීවාදී සංවිධානවලට එරෙහි පුපුරන සුලු සාමාජික කැරැල්ලකින් තොරව එවැනි වර්ධනයක් සිතා ගැනීමටත් අපහසු ය. විප්ලවවාදී මාවත් ඔස්සේ එවැනි බලාපොරොත්තු සහගත වර්ධනයක්, රඳා පවතිනු ඇත්තේ කම්කරු පන්තිය තුලට විප්ලවවාදී සවිඥානිකකම ගෙන ඒමට සටන් කරන මාක්ස්වාදී පක්‍ෂයක ස්වාධීන පරිශ‍්‍රමය මත ය.

එමනිසා, වෘත්තීය සමිතිවල අනභියෝගී අධිකාරය ගැන අවධාරනය කරන සියලු දෙනා, කම්කරු පන්තිය තුල මාක්ස්වාදය සඳහා වන අරගලයට විරුද්ධ වන බව මෙහිදී සටහන් කිරීම වැදගත් ය. "කම්කරු පන්තිය තුල ස්වයංසිද්ධව පැනනගින අරගලයන් වලදී, 'විඥානය වර්ධනය කිරීමේ', 'දේශපාලනිකව මැදිහත්වීමේ' හා 'දේශපාලනීකරනය කිරීමේ' මෙහෙවරක් ඔවුන්ට ඇතැයි සිතන” මාක්ස්වාදීන් (එනම් හජාජාක) හෙලාදකිමින් ක්ලිෆ් ස්ලෝටර් ලියූ මෑත ලිපිවල සුපැහැදිලිව ප‍්‍රකාශ කරනු ලැබ ඇත.

මෙම වචන තුල අපරාධකාරී මූලයක් ඇතැයි ප‍්‍රකාශ කිරීම අතිශයෝක්තියක් යයි මම නො සිතමි. ඉතාමත් බිහිසුනු ඓතිහාසික ඛේදවාචකයන් දුටු සියවසක අවසානය කරා අපි එලඹෙමින් සිටිමු. මෙම සියවසේ බොහෝ විප්ලවවාදී අරගලයන් අසාර්ථකවීම් හා පාවාදීම් වෙනුවෙන් මනුෂ්‍ය සංහතිය විසින් ලේ වලින්, ගෙවු මිල තක්සේරු කල නො හැක. පාවාදුන් විප්ලවවල දේශපාලන ප‍්‍රතිවිපාක විසින් බිලිගත්තවුන්ගේ සංඛ්‍යාව කෝටි ගනනකි. පසුගිය අවුරුදු කිහිපය අතරතුරදී පවා, සෝවියට් ජනතාව නොමග යැවීමේ නින්දා සහගත හා බියකරු ප‍්‍රතිඵල අපි දැක ඇත්තෙමු. මෙම සමස්ත දේශපාලන අපසරනයන් මධ්‍යයේ ස්ලෝටර්, තවමත් සමාජවාදී විද්‍යාවේ පදනම් මත මෙම අපසරනය ජය ගැනීමට අපේක්‍ෂා කරන්නන් හෙලා දකියි.

එහි ස්වයංසිද්ධභාවය, එනම්, විඥානයේ දැන් පවතින මට්මට හා සංවිධානයේ දෙන ලද රූපකාරයන් නරුම ලෙස වර්නනා කිරීම කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට සේවය නො කරනු ලබයි. ස්ලෝටර් හා ඒ සමාන හිටපු මාක්ස්වාදීන් සම්බන්ධයෙන් ගතහොත්, ස්වයංසිද්ධභාවයට දෙන එවැනි සහතික ද්‍රෝහී කම්කරු හා වෘත්තීය සමිති නිලධාරීන් සමග පවතින ඔවුන්ගේම සහයෝගිතාවට හුදු ආවරනයක් ලෙස සේවය කරයි. අපගේ දේශපාලන මැදිහත් වීමේ ශක්තිය හා කම්කරු පන්තියේ විඥානය ඉහල දැමීමට අප ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මත එහි අනාගතය රඳා පවතීය යන අපගේ අවධාරනයට අපි සමාව නො ගනිමු.

විද්‍යාත්මක සමාජවාදයේ ශ්‍රේෂ්ඨ පුරෝගාමීන් හා එහි නියෝජිතයින් විසින් ඉදිකල පදනම මත අපි නැගී සිටිමු. ස්ලෝටර්ගේ ප‍්‍රකාශය, මාක්ස්වාදී ව්‍යාපාරය එහි ආරම්භක දවස්වල සිට ඓතිහාසික පැවත්මේ හේතුව ස්ථාපනය කල සාරභූත මූලධර්ම ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙස අපි ඉවත දමමු. සමාජවාදී ව්‍යාපෘතියෙහි ක‍්‍රියාශීලී ඓතිහාසික විෂය නිර්ධන පන්තියයි. එනමුදු, සමාජවාදය ඍජුව කම්කරු පන්තිය තුලින් පැන නැගුනේ නැත. පැන නගින්නේ ද නැත. කිව යුතු දෙය නම්, එයට එහි ම බුද්ධිමය ඉතිහාසයක් ඇත. ඔවුන්ගේ වර්ධනයන් දෙන ලද ඕනෑ ම තත්වයක කම්කරුවන් අති බහුතරයක පොදු ‘මහජන මතය’ මොනතරම් බලසම්පන්න වූ වත් එය කම්කරුවන්ගේ ඓතිහාසික කාර්යභාරය පිලිබඳ තම සංකල්පයට අනුකූල වූ බව මාක්ස් කිසි දා මාවා පෑවේ නැත. ඇරිස්ටෝටල්ට පසු ලොව බිහි වු ශ්‍රේෂ්ඨතම ප‍්‍රාඥයා වු මාක්ස්, සාමාන්‍ය කම්කරුවන් තමන් විසින් ම සිතීමට ඉඩ තිබු දේවල හුදෙක් ප‍්‍රතිඋත්පාදිත අදහස් සූත‍්‍ර ගත කරමින් ඔහුගේ මුලු ජීවිත කාලයම ගත කලේ ය යන්න ඉඟි කිරීම පවා විකාරයකි.

1844 දී මාක්ස් මෙසේ ලීවේ ය: "එය, ඒ හෝ මේ කම්කරුවා හෝ නැතිනම් මුලු නිර්ධනීන් ම, ඒ මොහොතේ දී, තමුන්ගේ අරමුන යයි සලකන දෙය පිලිබඳ ගැටලුවක් නොවේ. එය කම්කරුවා යනු කවු ද? එමෙන් ම එම පැවැත්මට අනුරූපව, ඔහුට ඓතිහාසිකව ඉටු කිරීමට බලකෙරෙන දෙය පිලිබඳ ප‍්‍රශ්නයකි. එහි ම යථාභූතය තුල මෙන් ම අද ධනේශ්වර සමාජයේ සමස්ත සංවිධානය තුල එහි ඉලක්කය හා ඓතිහාසික ක‍්‍රියාව දෘෂ්‍යමානව හා වෙනස් කල නො හැකි ලෙස පූර්ව ලක්ෂන පහල කරනු ලබයි”(17)

පන්ති අරගලයේ ස්වයංසිද්ධ වර්ධනයෙන් සමාජ සවිඥානය උත්පාදනය වී නම් මෙම ජාත්‍යන්තර පාසල සංවිධානය කිරීමට කාරනා ඇත්තේ නැත. එයට දැනට ඇති සංවිධාන හා දේශපාලනික හා ඓතිහාසික විඥානයේ පවතින මට්ටම සමග ධනවාදයේ ලෝක අර්බුදයේ වර්ධනය විසින් මුනගස්වනු ලබන කර්තව්‍යයේ මට්ටමට ඉබේ ම එසවිය හැකි නම් ඉතිහාසය, දේශපාලන අර්ථශාස්ත‍්‍රය, දර්ශනවාදය, විප්ලවවාදී මුලෝපාය හා සංස්කෘතිය පිලිබඳ දේශනවල අවශ්‍යතාවයක් පවතී ද?

මෙම පාසල පැවැත්වෙමින් තිබෙන්නේ කවර දේශපාලන පසුතලයකට එරෙහිව දැයි, අපි සලකා බලමු. අප හමුවෙද්දී පවා ගිනිකොන දිග ආසියාවේ ආර්ථිකයන් ප‍්‍රචන්ඩ කැලඹුමක පවතී. එක රැයකින් ම වාගේ කෝටි සංඛ්‍යාත මහජනතාවගේ පැවැත් ම හදිසි අන්තරායකට හෙලා තිබේ. පෙරේදා, ඉන්දුනීසියාවේ මුදලේ වටිනාකම සියයට 22කින් පහත වැටුනි. සය මසක් අතරතුර දී, ඉන්දුනීසියානු රුපියලේ වටිනාකම සියයට 80 කින් පහත වැටුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරුනු කප්පාදු ක‍්‍රියාවට දමන පාලන තන්ත‍්‍රයක් ඉල්ලා සිටී. මෙම තත්වයන් යටතේ මහා සමාජ පිපිරීම් අනිවාර්ය ය.

කෙසේ වෙතත්, මෙම අරගලයන්ගේ ප‍්‍රතිඵල, ඉන්දුනීසියානු කම්කරු පන්තිය, 20 වැනි සියවසේ තවත් අතිශය බියජනක තත්වයක් ඇතිකලා වු තමන්ගේ ම ඉතිහාසයේ ඛේදනීය පාඩම් උකහා ගැනීම මත රඳා පවතින්නේ නැති ද? ඉන්දුනීසියානු කම්කරුවන් ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සමග 1965-66 සිදුවීම් සමාලෝචනය කිරීම; එනම් මිලියනයකට වැඩි ජනයාගේ සමාජිකත්වයෙන් යුත්, සෝවියට් සංගමය හා චීනයෙන් පිටත ලෝකයේ දැවැන්ත ම කොමියුනිස්ට් පක්‍ෂය සුහර්තෝගේ කුමන්ත‍්‍රනය තුල දී බල රහිත බව ඔප්පු කෙරුනේ කෙසේ ද යන්න දැන ගැනීම අත්‍යාවශ්‍ය නො වන්නේ ද? එම ප‍්‍රතිවිප්ලවයේ දී, දශලක්‍ෂ භාගයකට වඩා මිනිසුන් ඝාතනය කරන ලදී. සුමාත‍්‍රා හා බාලි දූපත්වල ගංගා මලකඳන් වලින් ඇහුරුනි. සුහර්තෝගේ කුමන්ත‍්‍රනය ඉක්බිත්තේ සිරභාරයට ගත් සිරකරුවන් මරාදැමීම 1990 ගනන් තෙක් දිගටම සිදුවිය. නමුත් පිලිතුරු නොදුන් හා පැහැදිලි නොකල ප‍්‍රශ්න හා ගැටලු කොපමන තිබේ ද?

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින්- මා එයට ඕස්ටේ‍්‍රලියාවත් එකතු කල යුතුය - අනුබල දෙන ලදුව ඉන්දුනීසියානු ධනේශ්වරය විසින් කරන අපරාධ සඳහා ඉන්දුනීසියානු කම්කරු පන්තියේ ඓතිහාසික බිලි ගැනීම සදහා පදනම සම්පාදනය කරන්නේ එම කාල පරිච්ඡේදයේ මූලෝපායික පාඩම් ය.

මෙහි සාකච්ඡාවට බඳුන්වන කාරනය ලෝක- ඓතිහාසික කර්තව්‍යයක් මිස ඉන්දුනීසියානු ගැටලුවක් නොවේ. එසේ නම්, 21 වැනි සියවස තුල මනුෂ්‍ය සංහතියේ අනාගතය, 20 වැනි සියවසේ මූලෝපායාත්මක ඓතිහාසික අත්දැකීම්වල පාඩම් උකහා ගැනීම මත රඳා පවතින බව අවධාරනය කරමින් අප ආරම්භ කල පරිදිම මෙම පාසලේ කටයුතු අවසන් කරමු.

සටහන්:

1. "නව ලිබරල්වාදී යුගය තුල වෘත්තීය සමිති” Socialism Today (සමාජවාදය අද)

2. Workers International Press (වර්කර්ස් ඉන්ටර්නැෂනල් ප්‍රෙස්), අංක 1, පෙබරවාරි 1997, 21 පිටුව.

3. තියඩෝර් රොත්ස්ටයින්, From Chartism to Labourism (චාර්ටිස්ට්වාදයේ සිට ලේබර්වාදය දක්වා) (ලංඩන්: 1983), 183-84 පිටු.

4. එම., 195 පිටුව.

5. එම., 197 පිටුව.

6. එම., 273 පිටුව.

7. එම., 100 පිටුව.

8. එම., 100-01 පිටු.

9. එම., 101 පිටුව.

10. එම., 102 පිටුව.

11. Marx Engels Collected Works මාර්ක්ස් එංගල්ස් සංගෘහිත කෘති, වෙලුම 45, 361 පිටුව.

12. එම., වෙලුම. 26, 299 පිටුව.

13. එම.

14. Draper., ඩ්‍රැපර්, 111පිටුව.

15. ස්කොර්ස්කේ, The Great Schism (මහා භේදය) 39-40 පිටු.

16. එම., 40 පිටුව.

17. Marx Engels Collected Works මාර්ක්ස් එංගල්ස් සංගෘහිත කෘති, වෙලුම 4, 37 පිටුව.

Share this article: