බංග්ලා‍දේශ ඇඟලුම් කම්කරුවන්ට ‍පොලිස් ප්‍රහාර

Police attack Bangladesh garment workers

By Wasantha Rupasinghe, 1 December 2012

උතුරු ඩකාවේ අසුලියා කාර්මික කලාපය තුල පිහිටා තිබූ ටශ්රීන් පැෂන් ඇඟලුම් කම්හලේ හටගත් රටේ මේ දක්වා සිදුවූ දරුනුත ම කම්හල් ගින්නෙන් මියගිය කම්කරුවන් 112ගේ මරන හේතුකොටගෙන මෙම සතියේදී දහස් ගනනක් බංග්ලා‍දේශ ඇඟලුම් කම්කරුවන් විරෝධතා දැක්වූහ. මෙම ගින්නට අසුවීම නිසා ‍හෝ ගින්නෙන් බේරීයාමට කම්හලේ ජනෙල්වලින් පිටතට පැනීම හේතුවෙන් තවත් කම්කරුවන් 150ක් පමන තුවාල ලදහ.

26 හා 27 දෙදිනෙන් පසු, බදාදා උදෑසන මා-මීන් සමාගමේ කම්කරුවන් කම්හල්වල වැඩ නතර කොට පාරට බැස් සෝ ය. ඒ, තවත් ගින්නක භීතිය අවුලුවමින් සමාගමේ එක් අංශයක විද්‍යුත් පරිපථ දෝශයක් හට ගැනීම හේතුවෙනි. ඔවුන් අතරට අනෙකුත් කර්මාන්ත ශාලාවල ද කම්කරුවන් එක් වූ අතර එනයින් විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව 20,000 ද ඉක්මවා ගියේයැයි වාර්තා විනි.

විරෝධතාකරුවන් ඩකා-ටැන්ගේල් අධිවේගි මාර්ගය පැය හයක් තිස්සේ වසා දමා විරෝධතාවේ යෙදුන අතර පොලිසිය සමඟ ගැටුනෝ ය. පොලිසිය ඔවුන්ට බැටන් ප්‍රහාර, කඳුලු ගෑස් හා රබර් උන්ඩ ප්‍රහාර එල්ල කිරීම නිසාවෙන් කම්කරුවන් 50ක් පමන තුවාල ලදහ. අධිකාරීන් පලාතේ ඇඟලුම් 300න් වැඩි ප්‍රමානයක් විසින් වසා දැමින.

කර්මාන්ත ශාලාවේ අයිතිකරු අත්අඩංගුවට ගැනීමට කරන ඉල්ලීම ද ඇතුලු මරනයට පත් වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි විරෝධතාවේ නියැලි කම්කරුවෝ ඉල්ලා සිටියෝ ය. විපතට පත් වූවන් සඳහා ප්‍රමානවත් සහන සලසන ලෙසත් ර‍ටේ දහස් ගනනක් වන ඇඟලුම් කම්හල්වල ආරක්ෂක විධිවිධාන වැඩි දියුනු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියෝ ය. පසුගිය සතියේ දී තට්ටු අටක් වන ගොඩනැගිල්ලේ පහත මාලයේ ගින්න ඇවිලී යන මොහොතේ සිය ගනනක් කම්කරුවන් ඉහල තට්ටුවල සිරවී සිටියහ.

බංග්ලාදේශ් නිව් ඒජ් පුවත්පත මෙලෙස වාර්තා කලේ ය: "ගින්නෙන් තුවාල ලැබ දිවිගලවා ගත් බොහෝ දෙනෙකුට තමන්ගේ ප්‍රතිකාරවලට මුදල් ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටී. ආන්ඩුව හෝ බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයන් හා අපනයනකරුවන්ගේ සංගමය (බීජීඑම්ඊඒ) හෝ කම්හල්වල හාම්පුතුන් යන කිසිවෙක් ඔවුන්ට ආධාර කිරීමට ඉදිරිපත් වී නැත."

ගින්නෙන් ඇති වූ විනාශය කෙරෙහි වැඩෙමින් පවත්නා මහජන වෛරය අවුරාලීමේ අරමුන ඇතිව ඇඟලුම් කම්හලේ කාර්ය මන්ඩල සාමාජිකයන් තිදෙනෙක්-- විධායක නිලධාරියෙකු වන දුලාලා උඩ්ඩින්, ගබඩා පරීක්ෂක හමිඩුල් ඉස්ලාම් ලව්ලු හා ආරක්ෂක වැඩපරීක්ෂක අල් අමීන්-- 27 රාත්‍රීයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිනි. ඒ, ගින්න හටගත් අවස්ථාවේදී ඔවුන් කම්හලේ ගේට්ටුව අගුලුලෑවේ යැයි වාර්තා වීමෙන් පසුව ය.

එම පුද්ගලයින් තිදෙනා මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුනු අතර පසුව ප්‍රශ්න කිරීම සඳහා පොලිස් රැඳවුම් භාරයේ තැබීමට ඉහල උසාවිය නියෝග කලේ ය. ඩකා දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී හබිබුර් රහ්මන් රොයිටර් වෙත කීවේ, සැකකටයුතු නොතකා හැරීම ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි. කම්හල් අයිතිකරු හෝ එකදු ආන්ඩුවේ නිලධාරියෙක්වත් ප්‍රශ්න කර ‍හෝ අත්අඩංගුවට ගැනීමක් කෙරී නැත. ඒ වෙනුවට පහල මට්ටමේ පරීක්ෂකයින් තිදෙනා බිල්ලට තබා ඇත.

නොවැම්බර් 29 වෙනි දින ඩේලි ස්ටාර් වෙත කතා කරමින්, කම්හල් අයිතිකරු සිද්ධියට තමන්ගේ වගකීම නිකම්ම ප්‍රතික්ෂේප ක‍ලේ ය: "පිටතින් ප්‍රවේශවිය හැකි හදිසි පිටවීම් දොරටු ‍කම්හලේ තනා නැති බව කිසිවෙක් මට කීවේ නැත.පිටවීම් දොරටු හැර එවැනි දොරටු තැනීමට කිසිවෙක් මට උපදෙස් දුන්නේ ද නැත."

ගින්න පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට ආන්ඩුව කමිටු පහක් පත් කොට තිබේ. කෙසේනමුත්, අතීත අත්දැකීම් සලකා බැලූ කල, රටේ කර්මාන්ත ශාලාවල අතිමූලික ආරක්ෂ විධිවිධාන අඩුකම අවසන් කිරීමට මෙකී පරීක්ෂන කිසිවක් සිදු නොකරනු ඇත. "බහු පිටවීම් දොරටු නැති ඕනෑම කම්හලක් වසා දමනු ඇත,"යි ගින්නෙන් දැවුනු කම්හල් ගොඩනැගිල්ල නැරඹීමට පැමිනි කම්කරු අමාත්‍ය රිෂුඩින් අහ්මඩ් රාජු කීවේ ය. එහෙත් එවැන්නක් සිදුවන පාටක් ‍පෙනෙන්නට නැත.

බංග්ලාදේශ ආර්ථිකය ඇඟලුම් අපනයනය මත බෙහෙවින් ම වාරු වී සිටී. මෙය වසරකට ඩොලර් බිලියන 19ක් උපයා දෙන අතර රටේ සමස්ත අපනයනවලින් සියයට 80කට හිමිකම් කියයි. ප්‍රමුඛ ගෝලීය සංගත තමන්ගේ නිෂ්පාදන උදෙසා බංග්ලා‍දේශ කෙරේ රැදී සිටින්නේ එහි නිෂ්පාදන හා ශ්‍රම වියදම් අඩු නිසාවෙනි. ඩොලර් 37ක් පමන වන බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෙකුගේ වැටුප චීනයේ, ශ්‍රී ලංකාවේ හෝ වියට්නාමයේ කම්කරුවෙකුට වඩා පහල ය.

හාම්පුතුන්ගේ සංවිධානය වන බීජීඑම්ඊඒ, කර්මාන්ත ශාලා කොන්දේසි පිලිබඳ "අහිතකර ප්‍රසිද්ධිය" කපා දැමීමට මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන්ගේ රැස්වීමක් 29 වෙනි දින කැඳවුම් කර තිබිනි. ගින්න පිලිබඳව "සීමාව ඉක්මවා වාර්තා කර ඇත" යි එය කීවේ ය.

ගිනි ආරක්ෂනය නොමැතිවීම යන කාරනයෙන් අවධානය පීලි පැන්නවීම පිනිස ගින්න කඩාකප්පල් ක්‍රියාවක ප්‍රතිපලයක් බැව් චෝදනා කිරීමට ආන්ඩුව වෑයම් කරමින් සිටී. අගමැතිනි ෂීක් හසීනා එය, "පූර්ව-සැලසුම්" එකක් යැයි සඳහන් කල අතර අසුලියා කාර්මික කලාපයේ වෙනත් කර්මාන්ත ශාලාවක් ගිනි තැබීමට සැක කොට අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනෙක් ගැන සඳහන් කලාය. "කඩාකප්පල්කරුවන් සියලු දෙනාම නීතිය ඉදිරියට පමුනුවනු ඇත" යි අභ්‍යන්තර ඇමැති මුහිඩ්ඩින් කාන් අලාම්ගිර් කීවේ ය.

"රට අස්ථාවර කිරීමට කඩාකප්පල්කාරී ක්‍රියාවල" නිරතවීම පිලිබඳව "මුල්බැසගත් අදහස් ඇති කොටස්" වෙත චෝදනා කරමින් හසීනා නම් සඳහන් නොකල විරුද්ධ පක්ෂ ‍දේශපාලකයන් වෙත ඇඟිල්ල දිගු කලා ය. එලැඹෙන ඔක්තෝබර් මාසයේදී මහමැතිවරනය පැවැත්වීමට නියමිත ය.

කෙසේනමුත්, ව්‍යසනයට සැබෑ හේතු පිලිබඳව ඕනෑවටත් වඩා සාක්ෂි ඉස්මත්තට පැමින තිබේ: හදිසි පිටවීම් දොරටු නොමැතිවීම, වැඩකරන කාලයේදී පිටවීම් දොරටු වසා තැබීම හා නිසියාකාර ගිනි නිවීම් යන්ත්‍රෝපකරන නොමැති වීම. මේවා, චීනයට පසු ලෝකයේ දෙවන විශාලත ම ඇඟලුම් කර්මාන්තය හිමි රටේ සාමාන්‍ය කාරානාවන් වී තිබේ.

2001 වසරේ දී කම්කරුවන් 24 දෙනෙකු කම්හල් ගින්නකින් මියයාමෙන් අනතුරුව ඇඟලුම් කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව විමර්ශනය කිරීමට කමිටුවක් ස්ථාපිත කරන්නැයි බංග්ලා‍දේශ ඉහල උසාවිය නියෝග දී තිබුනේ යැයි අසෝසියේටඩ් ප්‍රෙස් පුවත් ඒජන්සිය නොවැම්බර් 29 වාර්තා කලේ ය. ‍මෙම නියෝගය කවදාවත් ක්‍රියාත්මක වූයේ නැත. උසාවි සිදුවීම සමඟ සම්බන්ධ වූ මානව හිමිකම් කන්ඩායම වන එයින් ඕ සාලිස් කෙන්ඩ්‍රාහි ප්‍රධාන විධායක නිලධාරී සුල්තානා කාමල් පුවත් ඒජන්සියට මෙසේ කීවාය: "ආන්ඩුව එම නියෝගය නොතකා හැරීම අවාසනාවකි. මා විස්වාස කරන පරිදි, ආන්ඩුව එයට අනුව ක්‍රියාත්මක විනි නම් අනතුරු අවම විය හැකිව තිබින."

පසුගිය වසර පහ තිස්සේ , අවම වසයෙන් පුද්ගලයින් 500ක් කම්හල් ගිනිවලින් මරනයට පත්ව තිබේ. පසුගිය සතිය තුල එවැනි ගිනිගැනීම් කීපයක් ඇති විනි. 26 වැනි දින ඩකා නගරයේ උත්තර ප්‍රදේශයේ තට්ටු 12කින් යුත් ගොඩනැගිල්ලක පලමු මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ආරක්ෂාව සඳහා යාබද ඉදිකිරීම් වැඩබිමක පලංචියක් දිගේ බඩගා යාමට කම්කරුවන්ට බලකෙරුනි. 28 වෙනි දින තවත් සිදුවීම් දෙකකින් -- චිත‍ගොන් අපනනයන සැකසුම් කලාපයේ ෂර්ට් මේකර් ගෲප් ලිමිටඩ්හි අංක 7 කොටසේ විද්‍යුත් පරිපථ දෝශයක් හට ගැනීමෙන් සහ ඩකාහි ස්ටාර් ලයිට් ක්නිට් වෙයා කම්හලේ බොයිලේරුවක් පුපුරා යාමෙන්-- අවම වසයෙන් කම්කරුවන් 60ක් තුවාල ලැබූහ. ගිනි දෙක ම ක්ෂනිකව නිවා දැමින.

ගෝලීය සංගත ටශ්රීන් කම්හල් ගින්නට ඇති සිය සබඳතාවන් ප්‍රතික්ෂේප කිරීමට වෑයම් කර තිබේ. වෝල්මාර්ට් ආරම්භයේදී කීවේ, තමන්ගේ භාන්ඩ එම කම්හලේ නිපදවන්නේද යන්න ගැන තමන්ට විස්වාසයක් නැති බවයි. එහෙත් ඔවුන්ගේ වෙලඳ සන්න සහිත ඇඳුම් ගිනිගත් කම්හලෙන් හමුවීමෙන් පසු එය සැපයුම්කරුට දෝෂා‍රෝපන එල්ල කලේ ය. සියර් හෝල්ඩින්ස් ද එහි නිෂ්පාදන මෙම කර්මාන්ත ශාලාවේ නිපද වූ බව දැන නොසිටියේ යැයි මෙම කතාන්දරය ම කියමින් එහි සැපයුම්කරු නෙරපා දැම්මේ ය.

බංග්ලාදේශයේ වර්කස් සොලිඩිරිඩි සෙන්ටර්හි කල්පොනා අක්ටර් වොල්ස්ට්‍රීට් ජර්නල් වෙත මෙසේ කීවාය: "තමන් එය නොදැන සිටියේ යැයි කියමින් ඔවුන්ගේ අත් සෝදාගැනීමට ඔවුන්ට [සංගතවලට] නොහැකි ය.ඔවුන් ඔවුන්ගේ මෙහෙයුම් මූලධර්ම හා පරීක්ෂක මෙහෙයුම් භාවිතාවන්ට වගකියන්නේ නැතිනම් එහි කිසිදු අර්ථයක් ඇත්තේ නැත."

සත්‍යය වන්නේ, මෙහෙයුම් මූලධර්ම, තෙවැනි-පාර්ශවීය පරීක්ෂකයන් හා ගිනුම් පරීක්ෂා කිරීම් හරහා සැලකිලිමත් වීමේ මවාපෑමක් මෙකී යෝධ ගෝලීය සංගත පවත්වා ගෙන යන්නේය යන කාරනාව යි. මෙකී පරීක්ෂනවලට නීතිමය බලයක් නැති අතර මෙහි අරමුන වන්නේ කම්කරුවන් නොව තමන්ගේ සන්න නාම හා සමාගම් ආරක්ෂා කරගැනීම යි. එසේම, වෝල්මාර්ට් වැනි යෝධ ගෝලීය සංගත අවම මිලගනන් සඳහා සිය සැපයුම්කරුවන් හා කර්මාන්ත ශාලාවලට පීඩනය යෙදීම දිගට ම කරගෙන යන්නේ, නියත ලෙස ම වැඩ කොන්දේසි වැඩිදියුනු කිරීම නොව ඒවා නියතලෙස ම තව තවත් වලපල්ලට යවමිනි.

Share this article: