වර්ධනය වන ලෝක පසුබෑමේ ඓතිහාසික වැදගත්කම

The historical significance of the gathering world slump

4 December 2012

සාමාජිකයින් 34 දෙනෙකුගෙන් සමන්විත, ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධාන‍යේ (ඕඊසීඩී) ආර්ථික පුරෝකථනය සැලකිය යුතු තරමින් පහත ‍හෙලීම, ගෝලීය පරිහානියක් පිලිබඳව ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධාන විසින් නිකුත්කල අනතුරු ඇඟවීම් මාලාවක නවතම අවස්ථාවය.

2013 සඳහා ආර්ථික වර්ධනය සියයට 2.2 සිට 1.4 දක්වා පහත හෙලමින් සය මසකට පෙර නිකුත්කල සිය වර්ධන පුරෝකථනය සියයට 0.8න් කපා හෙලමින්, "විරැකියාව අමතර වශයෙන් දැඩි ලෙස ඉහල නැඟීම සමඟ ගැඹුරු පසුබෑම හා අවධමනයක” හැකියාව පිලිබඳව ඕඊසීඩී අනතුරු ඇඟවීය.

සමහර රටවල මූල්‍ය තත්වය මගින් "ලෝක ආර්ථිකයට එල්ල වන බරපතලම තර්ජන” යුරෝ කලාපය තුලින් ජනනය කෙරෙමින් තිබෙන බව සඳහන් කරමින්, එම තත්වය "මූල්‍ය සංඟමයේ කටයුතු වලට සැලකිය යුතු හානි සිදුකරන හා ගෝලීය ආර්ථිකය අවපාතයක් තුලට ඇද දමන සිදුවීම් වැලක් ඇවිලවීමේ අනතුර” පිලිබඳව එය සඳහන් කරයි. ගෝලීය ආර්ථිකය වෙලාගත් ගැටලුවල අනම්‍ය ස්වභාවය පිලිබඳ පැහැදිලි ඇඟවීමක් සමඟ එය සඳහන් කරන්නේ, "අර්බුදය තුලින් එක් වරකට වඩා මතුවූ සලකුනු, සමහර රටවල් තුල මන්දගාමිත්වය අලුත් කරමින් එකක් පසුපස තවෙකක් වශයෙන් පැමිනෙන අවධමනයට පවා ඉඩ සලසමින් ඇති තත්වය තුල ප්‍රධාන ආර්ථික සංකෝචනයක අවදානම ඉවත දැමිය නොහැකිය” යනුවෙනි.

ගෝලීය වර්ධය පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහත හෙලන ලද සංශෝධනයන්ගෙන් පසුව, ඕඊසීඩී දත්තවල වැදගත්කම පවතින්නේ වරෙක ගෝලීය ප්‍රසාරනයේ එන්ජිම බවට පත්ව තිබුනු ප්‍රධාන ධනේශ්වර ආර්ථිකයන් ගැන දක්වන කනස්සල්ල පිලිබඳ කාරනය තුලය.

මෙම වසර තුල සියයට 0.4 වැටීමකින් පසුව යුරෝ කලාපයේ ආර්ථිකය 2013 වසරේදී සියයට 0.1න් හැකිලෙනු ඇති බවට ඕඊසීඩී පුරෝකථනය කරයි. එක්සත් ජනපදයේ වර්ධනය, පූර්වයෙන් පුරෝකථනය කල සියයට 2.6ක සිට, සේවා නියුක්තියේ ප්‍රසාරනයකට අවශ්‍ය මට්ටමට වඩා පහත, සියයට 2ක් පමනක් වනු ඇතැයි සලකනු ලැබේ. ජපානයේ වර්ධනය සියයට 1.5 සිට 0.7ක් දක්වා පහත හෙලා තිබේ. මෙම වසරේ අවසාන කාර්තු දෙකෙහි ජපාන ආර්ථිකයේ බලාපොරොත්තු වන රිනාත්මක වර්ධනය සැලකිල්ලට ගන්නා කල මෙම සංඛ්‍යා තවදුරටත් පහත වැටීමට නියමිතය.

සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය පිලිබඳ සංඛ්‍යාවන්ට අමතරව තනි තනි රටවල හා කලාපයන්හි සංඛ්‍යා පෙල පෙන්නුම් කරන්නේ ද එම දිශාවමය.

නොවැම්බර් 30දා එය නිවේදනය කලේ, යුරෝ කලාපය පුරා විරැකියාව සියයට 11.7ක් දක්වා වර්ධනය වී ඇති බවයි. මෙය වසරකට පෙර පැවතියේ සියයට 10.4 මට්ටමේය. ස්පාඤ්ඤය හා ග්‍රීසිය දැනටමත් සියයට 25ක හෝ ඊටත් වැඩි අවපාත මට්ටමේ විරැකියා මට්ටම් වලට මුහුනපා සිටී. දැන් වඩා ශක්තිමත් ආර්ථිකයන් ද එම බලපෑමට හසුව සිටියි. ප්‍රන්සයේ පාරිභෝගික වියදම් ඔක්තෝබරයේදී පහත වැටුනු අතර ජර්මනියේ සිල්ලර වෙලඳාම එම මාසයේදීම බලාපොරොත්තු නොවූ පරිදි පහත ගියේය.

ඊනියා නැඟී එන ආර්ථිකයන්ගේ ඉහල වර්ධනය සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය සඳහා තල්ලුවක් සපයනු ඇති බවට පලව තිබූ ප්‍රකාශ, චීන ආර්ථිකයේ පසුබෑම මගින් දැනටමත් ප්‍රශ්නයට භාජනයවී තිබේ. බ්‍රසීලයේ හා ඉන්දියාවේ නව දත්ත මගින් ඒවාට දැන් තවත් පහරක් වැදී ඇත.

බ්‍රසීලයේ දල දේශීය නිෂ්පාදිතය තුන්වන කාර්තුවේ මන්දගාමී වී ඇති තත්වය හමුවේ දශකයක් තුල පහලම වාර්ෂික වර්ධන වේගය වාර්තාවන මඟට එරට ආර්ථිකය වැටී ඇති බව ඇඟවුම් කරයි. එසේම ඉන්දියානු ආර්ථික‍ වර්ධනය සැප්තැම්බරයෙන් අවසන් කාර්තුවේ සියයට 5.5 සිට 5.3 දක්වා පහත වැටීමත් සමග එරට වාර්ෂික වර්ධන වේගය දශකයකට පසු අවම මට්ටම වාර්තා කරනු ඇති බවට පුරෝකථනය කෙරේ.

මෙම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ ලෝක ආර්ථික‍යේ ප්‍රකෘතියක් "අත ලඟ” තිබීම කෙසේ වෙතත්, එය ගැඹුරු අවපාතයක් තුලට ලුහුටමින් තිබෙන බවය.

ඊට අමතරව ඒවාට ප්‍රගාඪ ඓතිහාසික වැදගත්කමක් ද පවතියි. 2008 හටගත් මූල්‍ය අර්බුදය හුදු වාරික ස්වභාවයකට වඩා දුරදිග යන ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ගැබ්කර ගන්නා ගෝලීය ධනේශ්වර ආර්ථිකයේම බිඳ වැටීමක් බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල විශ්ලේෂනය සනාථ කර තිබේ.

එය ලියොන් ට්‍රොට්ස්කි ගෙනහැර දැක්වූ ධනේශ්වර වර්ධනයේ වක්‍රයෙහි සන්ධිස්ථානයකි. ඔහු විස්තර කල පරිදි ධනේශ්වර ආර්ථිකය මූලික ක්‍රියාවලින් දෙකක් මගින් අංඟලක්ෂිත වෙයි. එනම්, ධනවාදය එහි උපතේ පටන් මරනය දක්වාම ඉදිරියට ගෙනයන ව්‍යාපාරික චක්‍රයේ උච්ඡාවචනයන් ද සමස්ත ඓතිහාසික අවධීන්ගේම ස්වභාවය නීර්නය කරන ලෝක ආර්ථිකයේ ව්‍යුහය තුල සිදුවන දිගුකාලීන මාරුවීම් ද ය.

1914 පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ඇතිවූ කඩාවැටීමේ වැදගත්කම විමසීමට ලක්කිරීම මගින් ට්‍රොට්ස්කි 1920 ගනන් මුල සිය විශ්ලේෂනය වර්ධනය කලේය. ව්‍යාපාරික චක්‍රය අඛන්ඩව පැවතීගෙන යන අතර ධනවාදය සිය පූර්ව යුද්ධ සමතුලිතය යලි පිහිටුවා ගැනීමට සමත් නොවනු ඇති බව ඔහු පැහැදිලි කලේය.

ඉන් පසුව ඇතිවූ සියලු සිදුවීම් මගින් එම විශ්ලේෂනය සනාථ කරනු ලැබිනි. යුද්ධය පැනනැඟීමෙන් දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ ලෝක ධනවාදය අංඟලක්ෂිතව පැවතියේ විරැකියාව, අවපාතය, මිලියන ගනන් දරිද්‍රතාවට ඇද වැටීම, ෆැසිස්ට්වාදය හා උත්සන්න වන අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් මගින්ය. එය තුඩු දුන්නේ පලමුවැන්නටත් වඩා ව්‍යසනකාරීවූ තවත් ලෝක යුද්ධයක් පුපුරා යාමටය.

අවසානයේදී ධනේශ්වර සමතුලිතය යලි පිහිටුවනු ලැබූ නමුත් ඒ ට්‍රොට්ස්කි අනාවැකි පලකර තිබුනු පරිදි මිලියන ගනන් මිනිසුන්ගේ ලේ හා ඇටකටු මතින් ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍ර නායකත්වයන් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පාවාදීමේ පදනම මත පමනි.

දැන් 1914 තරම්ම වැදගත් නව බිඳවැටීමක් සිදුවෙමින් තිබේ. මෙවර එය ආරම්භ වුනේ ලෝක යුද්ධයක් සමග නොව සමස්ත ගෝලීය මූල්‍ය පද්ධතියම උනුවී යාමේ තර්ජනයත් සමගය. එහෙත් ලාභ පද්ධතිය පෙරලා නොදැමුවහොත් එම ප්‍රතිවිපාකම යලි පැමිනෙනු ඇත.

2008 බිඳවැටීම, ධන සමුච්ඡයකරනයේ ප්‍රධාන මාධ්‍යය ලෙස අමු සාපරාධිත්වය හා පරපුටුකම මතුව ඒම දක්නට ලැබුනු, එන්ට එන්ටම උනුසුම්වූ මූල්‍ය සමපේක්ෂනය මගින් සූදානම් කරන ලද්දක් විය. එහෙත් මූල්‍ය අට්ටාලයේ කොටස් බිඳවැටීම, කලින් පැවති "සාමාන්‍ය” තත්වය කරා යලි පැමිනීමක් සලකුනු නොකලේය. ඒ වෙනුවට එය සලකුනු කලේ, ට්‍රොට්ස්කිගේ වචන වලින් කිවහොත් "පන්ති හා රාජ්‍යයන් අතර සම්බන්ධතාවයේ දැවැන්තම කලබැගෑනි” මගින් අංඟලක්ෂිත ඉතිහාසයේ නව අවධියක් විවෘත වීම මගිනි.

එක්සත් ජනපදය සිය ප්‍රතිවාදීන්ගේ වියදම මතින් සිය අර්බුදයෙන් ගැලවීමට මං සොයද්දී ජාත්‍යන්තර සම්බන්ධතා, 1930 ගනන්වල නාසි ක්‍රියාකාරකම් වලින් මෙපිට දක්නට නොලැබුනු පරිමානයේ අමු මැරවරකම් තුලට ඇද වැටීමක් මගින් සලකුනු කෙරී තිබේ.

බිඳ වැටීමෙන් සිව් වසරක් ගතව යද්දී අලුත්ම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ. සිය ඓතිහාසික අර්බුදය ජයගැනීමේ කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් ධනේශ්වරය සතුව නොමැති බවය. එයට ඇත්තේ එකම පිලිතුරකි. එනම්, ලාභ පද්ධතියේ දුබල ධමනීන් තුලට ධනයේ නව සැපයුම් යෙදීම මගින් කම්කරු පන්තිය පශ්චාත් යුද්ධ අවධිය තුල දිනාගත් සියලු සමාජ සහන විනාශ කර දැන් ලෝකය පුරා ක්‍රියාත්මක කරමින් තිබෙන කප්පාදු වැඩසටහන් මාලාවක් තුලින් 1930 ගනන් හා ඊට පෙර පැවති තත්වයන් කරා ඔවුන් ඇද දැමීමයි.

මෙම සමාජ ප්‍රතිවිප්ලවය සඳහා කම්කරු පන්තිය ප්‍රතිචාර දැනවිය යුත්තේ තමන්ගේම ස්වාධීන මූලෝපායක් වර්ධනය කර ඒ සඳහා සටන් වදිමිනි. එනම්, ප්‍රතිගාමී ලාභ සූරාකෑමේ ක්‍රමය පෙරලා දමා, සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් ආදේශ කිරීම සඳහා ලෝක සමාජවාදි විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙත එලඹීමයි.

මෙම ඉදිරිදර්ශනය සඳහා සටන්වදින එකම පක්ෂය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි.

නික් බීම්ස්

Share this article: