ඔබාමා සහ අල් කයිඩාව

Obama and Al Qaeda

5 December 2012

සිරියානු දේශසීමාවට පේට්‍රියට් මිසයිල් බැටරි සහ එක්සත් ජනපද සහ සෙසු විදේශීය හමුදා භටයන් සිය ගනනක් යැවීමට තුර්කිය කල ඉල්ලීම අඟහරුවාදා බ්‍රසලස් හි පැවති නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම, අනුමත කලේ ය. යුද උපකරන හා හමුදාවන් යැවීම පසුගිය වසරේ ලිබියාව තුල සිදු වූ දේට බෙහෙවින් සමාන ආකාරයට එක්සත් ජනපද-නේටෝ ඍජු මැදිහත්වීමකට මග පාදමින් සිරියාව තුල පාලනතන්ත්‍ර වෙනසක් සඳහා එක්සත් ජනපදයේ පිටුබලය ලබන යුද්ධයක ගුනාත්මක තීව්‍රවීමක් සලකනු කරයි.

ජනාධිපති බෂාර් අල් අසාද් ගේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා උත්සාහකරමින් සිටින ඊනියා "කැරලිකරුවන්ට" ආයුධ, මුදල්, විදේශ සටන්කරුවන් සහ ප්‍රවාහන පහසුකම් සම්පාදනය කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකර තිබෙන තුර්කිය ස්වකීය ඉල්ලීම යුක්තිසහගත කලේ, සිරියාව විසින් තමන්ට එරෙහිව මිසයිල සහ රසායනික අවි පාවිච්චි කරන බවට තර්ජනය කරනු ලැබ ඇතැයි ප්‍රකාශකරමිනි.

සිරියාවෙන් රසායනික අවි ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන සනාත නොකල තුර්කියේ ප්‍රකාශය,ඉතා දැනුවත්ව සංවිධානය කෙරුන උද්ඝෝෂනයක් තුල, එක්සත් ජනපද ආන්ඩුව හා ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් එල්ල කෙරුන චෝදනා රොත්තක් මගින් වඩාත් ශක්තිමත් කලේ ය. සිරියානු ආන්ඩුව රසායනික අවි වර්ධනය කිරීම ගැන තහවුරු නොකල "බුද්ධි තොරතුරු" නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය හා සීඑන්එන් ප්‍රවෘත්ති සේවය විසින් උපුටා දැක් වීය. ඇමරිකාවේ ඍජු මිලිටරි මැදිහත්වීමකට තුඩුදිය හැකි "රතු ඉරට" සිරියාව ලංවෙමින් සිටින බවට බරක් ඔබාමා සහ ආරක්ෂක ලේකම් හිලරි ක්ලින්ටන් කල තර්ජන සමග මෙම ප්‍රචාරය එකිනෙකට පෑහෙයි.

ඇමරිකානු මහජනතාවට දැනටමත් දැක ඇති මායාවක් පිලිබඳ කරදරකාරී හැඟීමක් ඇති වුනොත්, එය අභව්‍ය නො වේ. තමන්ව ප්‍රකුපිත කරවන කිසිවක් සිදුව නැතත්, "මනුෂ්‍ය නාශක අවි" පිලිබඳ "සාවද්‍ය බුද්ධි තොරතුරු" මත පදනම්ව, මැදපෙරදිග තුල යුද්ධයක් දියත් කිරීමට දශකයක් ඇතුලත දෙවන වරටත් වොෂින්ටනය තර්ජනය කරයි.

එහෙත්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ සහ බරක් ඔබාමාගේ ආන්ඩුව විසින් මෙම කතාන්තරය ගොතන ලද ආකාරයේ ඉතා වැදගත් වෙනසක් තිබේ. ඉරාකයට එරෙහි යුද්ධය සාධාරනීකරනය කිරීම සඳහා යොදා ගත් බොරුවලට ඉරාකයේ නො පවතින මනුෂ්‍ය නාශක අවි ගැන පමනක් නොව; 9/11 හා සමාන නව ප්‍රහාරයකට තුඩුදිය හැකි ලෙස මෙම ආයුධ අල් කයිඩාව අතට පත්වීමේ තර්ජනයක් ගැන ප්‍රකාශ ද ඇතුලත් විය. ඔබාමා ආන්ඩුව එවන් කිසිදු අල් කයිඩා තර්ජනයක් ගැන සඳහන් නොකරයි.

මෙතැනදී වඩාත් සුවිශේෂී වන්නේ, ඉරාකය තුල අල් කයිඩා සංවිධානය ක්‍රියාත්මකවීම ගැන කතාව එහෙමපිටින් ම ගෙතු පචයක් වන අතර සිරියානු සිද්ධිවල දී අල් කයිදාවට සම්බන්ධ කන්ඩායම් හා විදේශ සටන්කරුවන් තීරනාත්මක භූමිකාවක් ඉටුකරන බව එලිදරව් වී තිබීමය.

අල් කයිඩාව සමග සම්බන්ධකම් ඇති ඉස්ලාම්වාදී සටන් කන්ඩායමක් වන ජභාත් අල් නුස්රා සංවිධානයට සිරියාව තුල දස දහසකට වැඩි සටන්කරුවන් සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් කැරලිකාර හමුදාවේ "වඩාත් ප්‍රහාරාත්මක හා ජයග්‍රාහි අංශය" වන බව වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ විදේශ තීරු ලිපිකරු ඩේවිඩ් ඉග්නාශීයස් සඳුදා ලියුවේ ය.

එමෙන් ම ජභාත් අල් නුස්රා "අසාද් ආන්ඩුව පෙරලීමට සටන් කරන කැරලිකරුවන්ගේ ඉදිරිපෙල මෙහෙයුම්වලට අත්‍යවශ්‍ය වී ඇති" බව මැකාති නිව්ස්පේපර්ස් හි ඩේවිඩ් එන්ඩර්ස් සිරියාවේ සිටි වාර්තා කලේ ය.

සිය ගනනක් මරනයට පත් කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මෙම කන්ඩායම විසින් එල්ල කර ඇතිවා පමනක් නොව; කැරලි කරුවන්ගේ මිලිටරි ඉදිරි ගමනේ දී ඔවුන්ගේ තීරනාත්මක බව ඔප්පු කර ඇත. රට පුරා සිදුවන එක සටනකින් පසු තවත් එකක දී, බරපතල ඉදිරිපෙල සටන් කලේ නුස්රා සහ ඒ හා සමාන කන්ඩායම් " බව එන්ඩර්ස් වැඩි දුරටත් ලියුවේ ය.

මෑත සතිවල දී මෙම අල් කයිඩා හා සම්බන්ධ හමුදා සිරියානු හමුදා කඳවුරු යටත් කර ගනිමින්, බලහත්කාරයෙන් සිරියානු හමුදාවට බඳවාගෙන සිටි හා සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් නිරායුධ සොල්දාදුවන් මරා දැමු හ. ඔවුන් අතට රසායනික අවි පත්වීම සම්බන්ධ අන්තරාය යථා වසයෙන්ම තිබේ.

ඔබාමා ආන්ඩුව මෙම කාරනය ගැන නිහඬව සිටින්නේ සිරියාව තුල සිටින අල් කයිඩා හමුදා, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ගෙන යන යුද්ධයේ දී එක්සත් ජනපදයේ තුන්වන බලකායක් ලෙස ක්‍රියා කරන නිසා ය. සීඅයිඒ සහ වොෂින්ටනයේ අරාබි සගයන්, වි‍ශේෂයෙන් ම කටාර් සහ සෞදි අරාබිය විසින් ඔවුන් හිස සිට දෙපතුලට සන්නද්ධ කර රට විනාශ කිරීම සහ එක්සත් ජනපද රූකඩ ආන්ඩුවක් ඇටවීම සදහා කොන්දේසි නිර්මානය කිරීම අරමුනු කර ගත් සාහසික කට්ටිවාදී යුද්ධයක් සිරියාව තුල දියත් කර තිබේ.

වඩාත් පැහැදිලිව කිවහොත්, ඉරානයේ ෂියා බහුතරයේ බල පෑම් දුර්වල කිරීමේ හා මිලියන 76 ක ජනගහනයක් සහිත තෙල් සම්පත් බහුල රටකට විරුද්ධව යුද්ධයක් ඇවිලවීමේ එල්ලයඇතිව කට්ටිවාදය මත පදනම් වූ ගැටුමක් තුල කලාපය පුරා සුන්නි ඉස්ලාම්වාදී බලවේග උසිගැන්වීමට වොෂින්ටනය උත්සාහ කරමින් සිටියි.

සිරියාව තුල වොෂින්ටනය හා අල් කයිඩා අතර සන්ධානය පසුගිය අවුරුද්දේ ලිබියාවේ කර්නල් මුඅම්මර් ගඩාෆි ගේ තන්ත්‍රය පෙරලා දැමීමට ගෙනගිය එක්සත් ජනපදය-නේටෝ යුද්ධයේ දී නේටෝ පාබල හමුදා ලෙස ක්‍රියාත්මක වූ පැරනි අල් කයිඩාවට සම්බන්ධ ලිබියානු ඉස්ලාමීය සටන් කන්ඩායමේ කොටස් හවුල්කරගත් ආකාරයේ සම්බන්ධකමකි. ලිබියාවෙන් අත්පත් කර ගත් අවි විසාල ප්‍රමානයක් අසාද් තන්ත්‍රයට විරුද්ධව සටන් කරන අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමී කොටස් වලට ලබා දී ඇති අතර සිරියාව තුල දැන් ක්‍රියාත්මක වන විදේශ සටන්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවයක් බවට ලිබියානු ඉස්ලාම්වාදීන් පත්ව සිටී.

පසුගිය සැප්තැම්බරයේ බෙන්ගාසිවල එක්සත් ජනපද තානාපති හා සීඅයිඒ කාර්යාලවලට එල්ල වූ ප්‍රහාරයෙන් සනාත වුයේ පාරාවලල්ලක් වීමේ අන්තරායකින් තොරව එවන් බලවේග මත වාරුවීම කල නොහැකි බවය. සිරියාව තුල ඒ හා සමාන තර්ජනයක් පවතින බව වොෂින්ටනය කල්පනා කරන බවට සැකයක් නැති නමුත් සිරියාව තුල ලේ වැගිරවීම හා අසාද් පෙරලා දැමීමේ අරමුනට ඔවුන් සේවය කිරීමෙන් පසුව ඉස්ලාම්වාදී සටන්කාමීන් සමග ගනුදෙනු බේරා ගත හැකි වෙතැයි වොෂින්ටනය විස්වාස කරයි.

ඊට පෙර ලිබියාවේදී මෙන්ම, දැන් සිරියාවවේ සිද්ධධීන් ද "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" අමුලික ප්‍රෝඩාවක් බව එලිදරව් කිරීමට සේවය කර තිබේ.

සෝවියට් සංගමයට හිතැති ඇෆ්ගනිස්තාන් ආන්ඩුව පෙරලා දැමීම සඳහා 1980 ආරම්භ කල යුද්ධයේ දී ඔසාමා බින්ලාඩන් සීඅයිඒ එක සමග එකට වැඩ කිරීමට ඉදිරිපත් වූ විට ආරම්භ කෙරුන ඉස්ලාම්වාදී ත්‍රස්ත සංවිධානයක් වන අල් කයිඩාවට මුලුමනින්ම සහයෝගය දීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉදිරිපත් වී තිබේ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බව ප්‍රකාශ කලත්, වොෂින්ටනය, මැරෙන බෝම්බ කරුවන්, චිචිල් ජනයාට එරෙහි කාර් බෝම්බ හා කට්ටිවාදී ආගමික ඝාතක කල්ලි යොදා ගනිමින් සිරියාව තුල ත්‍රස්තවාදී යුද්ධයට සහයෝගය දෙයි.

ඇෆ්ගනිස්තානය හා ඉරාකය තුල යුද්ධ දියත් කරනු ලැබුවේ අල් කයිඩාව මුලිනුපුටා දැමීමට යයි කලින් කල ප්‍රකාශ මත් ඇත්ත වසයෙන් ම බොරු ය. ඇෆ්ගනිස්තානය තුල අල් කයිඩා ක්‍රියාත්මක නොවන බව එක්සත් ජනපද මිල්ටරිය සහ බුද්ධි අංශ නිලධාරීන් පිලිගෙන තිබේ. ඉරාකයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැදිහත්වුයේ ඉස්ලාම්වාදයට දැඩිව විරුද්ධවූ අනාගමික තන්ත්‍රයක් පෙරලා දැමීමට ය.

ලිබියාවේ හා සිරියාවේ මෙන් මෙම රටවල් දෙකට එරෙහි යුද්ධ ද මුදා හැරුනේ මුලෝපායාත්මකව වැදගත් මධ්‍යම ආසියාව හා පර්සියන් ගල්ෆ් ප්‍රදේශයේත් එහි සුවිසාල බලශක්ති සම්පත් මතත් ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අරමුන ඇතිව ය.

වොෂින්ටනයට හා එහි මිලිටරි බුද්ධි අංශයට විදේශයන්හි මිලිටරි ආක්‍රමන හා රට තුල ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහරදීම සඳහා වරපත්‍රයක් සහිතව, ත්‍රස්තවාදයට එරෙහි නොනවතින සටනක යෙදී සිටින බව පෙන්වීමට පරපුටු සංගත මාධ්‍යයන්ගේ ද සහයෝගය ඇතිව, ඇමරිකානු පාලක සංස්ථාපිතය මෙම ගෙතූ කතාන්තරය උපයෝගී කරගෙන තිබේ.

දසකයකට වැඩි කාලයක් එක්සත් ජනපද පිලිවෙතෙහි කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකල මෙම දෘෂ්ටිවාදාත්මක මවා පෑම සිරියාව තුල මැදිහත් වීමත් සමග දැන් කීතුවලට පුපුරවා හරිනු ලබා ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: