සිරියාව සෘජු ඉලක්කයේ

Syria in the crosshairs

15 december 2012

එක්සත් ජනපදය සහ ප්‍රධාන යුරෝපා බලවත්තු, බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීමේ එල්ලය ඇතිව, සිරියාව තුල ඔවුන් අවුලවා ඇති ලේවැකි ආගමික නිකායවාදී සිවිල් යුද්ධයට වඩා සෘජුව ම මැදිහත්වීම පිනිස මේ සතියේ දී පියවර ගනනාවක් ම ගෙන තිබේ.

දස දහස් ගනනක් ඝාතනයට ලක්වීම අත්දැක ඇති, එක්සත් ජනපදයේ පිටුබලය ලැබෙන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ව්‍යසනයකට මුහුන දී සිටින සිරියාව දැන්, ඇමරිකානු ප්‍රහාරයකට ලක්වීමේ හැකියාවට මුහුන දෙන දීර්ඝ රටවල් ලැයිස්තුවක මෑතම සාමාජිකයා ය.

ඇමරිකානු මිලිටරිය තුර්කි-සිරියානු දේශසීමාව දිගේ එක්සත් ජනපද භටයන් 400ක් ද සමග පේට්‍රියට් මිසයිල බල ඇනි යෙදවීම අරඹන බව සිකුරාදා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා නිවේදනය කලේය. අමතර මිසයිල බල ඇනි ක්‍රියාත්මක කරවීම පිනිස ජර්මානු සොල්දාදුවන් 400ක් ද ලන්දේසි සොල්දාදුවන් 360ක් ද ඔවුන්ට එක්වනු ඇත.

තුර්කියට සිරියාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට එරෙහිව "ආරක්ෂාව" සැලසීමේ කඩතුරාව යටතේ මෙම හමුදා යෙදවුවත්, එම පියවර තථ්‍ය වසයෙන් ම එක්සත් ජනපද යුද පරිශ්‍රමය සැලකිය යුතු ලෙස උත්සන්න කිරීමකි. මිසයිල පද්ධති විපාර්ශ්වික හමුදාවන්ට ගුවන් ආරක්ෂාව සපයනු හෝ දේශසීමාව ඔස්සේ "තහනම් ගුවන්” කලාපයක් තහවුරු කිරීම පිනිස යුද ගුවන්යානාවලට හා මිසයිලවලට එරෙහිව යොදා ගත හැකි අතර එම දෙක ම සෘජු මිලිටරි ක්‍රියාවක් සඳහා පූර්ව-පියවර වනු ඇත.

මෙම පියවර ගනු ලැබුවේ, එක්සත් ජනපදය ඇතුලු මහා බලවතුන් "සිරියානු විප්ලවවාදී හා විපාර්ශ්වික බලවේගවල ජාතික සන්ධානයට" නිල පිලිගැනීම ලබා දුන්, මොරොක්කොවේ පැවති "සිරියාවේ මිතුරෝ නමැති හවුලේ රැස්වීමකට යන්තම් දින කිහිපයකට පසුව ය. නිල ආන්ඩුව ලෙස අභිෂේක කිරීමේ අරමුන වෙනුවෙන් මීට යන්තම් මසකට පෙර ඔබාමා පාලනාධිකාරය විසින් මෙම හවුල අටවන ලදි.

ජාතික සන්ධානය සිරියානු මහජනතාවගේ "යුක්තියුක්ත නියෝජිතයා" ලෙස ප්‍රකාශ කිරීම මගින්, අධිරාජ්‍යවාදී බලවත්තු පරිපූර්න ජයග්‍රහනය -- සිරියානු ආන්ඩුව පෙරලා දැමීම සහ වොෂිංටනයේ අරමුනුවලට වඩා කීකරු ආන්ඩුවකින් එය විස්ථාපනය කිරීම -- දක්වා ලේවැකි ආගමික නිකායවාදී යුද්ධය උත්සන්න කිරීමේ පිලිවෙතක් තෝරා ගනිති.

යලිත් වරක් සමස්ත සමාජයක් ම විනාශ කෙරෙමින් පවතී. එක්සත් ජනපදය සමග පෙලගැසී සිටින මූලධර්මවාදී සුන්නි ඉස්ලාම් කන්ඩායම් වඩවඩා තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටින, සිරියාවේ ආගමික නිකායවාදී සිවිල් යුද්ධය, දැනටමත් දසදහස් සංඛ්‍යාත ජනකායකගේ මරනයට තුඩු දී ඇත. මිලියන දෙකක් ජනයා සරනගතයන් බවට පත්ව, ලක්ෂ ගනනක් රටින් පලාගොස් ඇතැයි තක්සේරු කෙරෙයි.

මැද පෙරදිග පිහිටි ඉහල ම ජීවිතාපේක්ෂාවක් සහිත රටවලින් එකක් ලෙස, සාපේක්ෂව වැඩිදියුනු රටක් වන සිරියාව, නිර්දය ලෙස පසුගාමිත්වයට ඇද දමමින් පවතී. යුද්ධයේ හා ජාත්‍යන්තර සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස, එරට ආර්ථිකය 2012 දී සියයට 20කින් හැකුලුනු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මේ සතිය මුලදී තක්සේරු කලේය.

උද්ධමනය සියයට 40 දක්වා ඉහල නැග ඇත්තේ, ඊට අනුරූපව ක්‍රය ශක්තිය ද බිඳහෙලමිනි. සමාජ යටිතල පහසුකම් පවතින්නේ කඩාවැටුනු තත්වයක ය. සාගින්න බහුලව පැතිර පවතී. පාන් වඩවඩා දුර්ලභ වෙමින් තිබේ. ඉන්ධන වියදම් ඉහලයාම නිසා මිලියන ගනනකට සිය නිවාස උනුසුම් කරගත නොහැකිව ඇත. රෝහල් දුසිම් ගනනක් වසා දමා තිබේ, නැතහොත් මූලික පහසුකම් හිඟකමින් පෙලෙයි.

මෙම තත්වය පිලිබඳව මූලික වගකීම පැවරෙන්නේ අධිරාජ්‍යවාදී බලයන් වෙත ය. 2011 මුලදී අසාද්ට එරෙහිව පැනනැගුනු විරෝධතාවල ආරම්භක අවස්ථාවේ පටන්ම, එක්සත් ජනපදය, අල් නුස්රා පෙරමුන විසින් මෙහෙයවන ලද, අල් කයිඩා සමග සම්බන්ධිත සංවිධාන ඇතුලු, වඩාත් ම දක්ෂිනාංශික හා ප්‍රතිගාමී බලවේග මත වාරු වෙමින්, තමන්ගේම අවශ්‍යතාවන්ගේ ප්‍රගමනය පිනිස නිර්දය ලෙස කටයුතු කර තිබේ. මේ සතිය මුලදී අල් නුස්රා පෙරමුන දමස්කස්හි මෝටර් රථ බෝම්බ පිපිරීමක් සංවිධානය කල අතර එහිදී ලමුන් විශාල සංඛ්‍යාවක් ද ඇතුලුව, සිවිල් වැසියන් අඩු ගනනේ 24ක් ඝාතනය කෙරුනි.

එක්සත් ජනපද මෙහෙයුමේ පරිපූර්න නරුමත්වය වචනයෙන් ප්‍රකාශයට පත් කිරීමට පවා අසීරු ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ, එතෙර යුද්ධය ද රට තුල ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරය ද යුක්තියුක්ත කිරීමට යොදා ගැනුනු, එක්සත් ජනපද පිලිවෙතේ කේන්ද්‍රීය දෘෂ්ටිමය රාමුව වී ඇත්තේ, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" යි. එහෙත්, දැන් ඇමරිකානු මිලිටරිය හා සීඅයිඒ සංවිධානය, 2011 ලිබියාවේ දී ඔවුන් කලාක් මෙන්, සිරියාව තුල දී අල් කයිඩා සමග තත්වාකාර සන්ධානයක් පවත්වා ගෙන යයි. අල් නුස්රා පෙරමුන ”ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නිල වසයෙන් නම් කිරීමට වොෂිංටනය ගෙන ඇති පියවරේ එක් අභිප්‍රායක් වන්නේ, "කැරලිකරුවන්ගේ" වඩාත් ම වැදගත් බලවේගය බවට එය වර්ධනය කිරීමට උදව් වෙමින්, එම සංවිධානය සමග මාස ගනනාවක් තිස්සේ එය සමීපව වැඩ කර ඇත යන කාරනය යට ගැසීම යි.

එක්සත් ජනපදය අවුලුවා ඇති ගැටුම, නැටෝ බෝම්බ ප්‍රහාර ද සහිතව, ම්ලේච්ඡ ආගමික නිකායික ඝාතන බවට පරිවර්තනය වීමේ තර්ජනය මතු කරයි. දැනටමත් දසදහස් ගනනක් වී ඇති මරන සංඛ්‍යාව ඉක්මනින්ම ලක්ෂ ගනනක් දක්වා ඉහල නගිනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධිභාවය දෙවන ලෝක යුද්ධයට පෙරාතු කාල පරිච්ඡේදයේ නාසි ජර්මනියේ මෙහෙයුම්වලින් පසුව මේ දක්වා දැක ඇති සෑම දෙයක් ම ඉක්මවා යයි. වඩාත් ම විවෘත බොරුවල පදනම මත, එක රටකට පසු තව රටක් ඒවායේ තන්ත්‍ර පෙරලා දමනු වස් ඉලක්ක කෙරෙයි: ඇෆ්ඝනිස්ථානය, ඉරාකය හා ලිබියාව. මෙය ආරම්භය පමනි. විශේෂයෙන් ම ඉරානය සමග එහි සන්ධානය හේතු කොටගෙන, සිරියාව, මැද පෙරදිග දේශසීමා යලි ඇදීමේත් සිය ප්‍රධාන භූ-දේශපාලනික තරඟකරුවන්ට සම්බන්ධිතව එක්සත් ජනපදයේ තත්වය ශක්තිමත් කරගැනීමේත් වඩා පුලුල් පරිශ්‍රමයක "කඩ ඇනය" ලෙස සැලකෙයි.

එමෙන්ම, ඔබාමා පාලනාධිකාරය පකිස්ථානය, යේමනය, සෝමාලියාව හා සෙසු රටවල් ඉලක්ක කරගත් ඩ්‍රෝන් ප්‍රහාර හා නීති විරෝධී ඝාතනවලින් යුක්ත ගෝලීය ව්‍යායාමයක නිරතව සිටී. අප්‍රිකාව මෙහෙයුම්වලට ලක්වන ප්‍රදේශයක් බවට වඩවඩා පත්වෙමින් තිබේ. එක්සත් ජනපදය අග්නිදිග ආසියාව තුල මිලිටරි හමුදා යලි යොමු කිරීම මගින් චීනය වටලෑමේ ප්‍රයත්නයක යෙදී සිටී. සිය "ආනුභාව ප්‍රදේශයෙන්" පිටස්තර ලෙස ඇමරිකානු පාලක පන්තිය සලකන කොටසක් මේ ලෝකය තුල නැත.

මෙවන් පැහැදිලි සාපරාධීභාවයකින් යුක්තව ක්‍රියාත්මක වීමට තමන්ට හැකි බව ඇමරිකානු පාලක පන්තියට හැඟෙන්නේ, නිල "යුද විරෝධී" සංවිධාන, ඔබාමා පාලනාධිකාරය නමැති වාහකය හරහා, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වී අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල වඩාත් ම උද්යෝගී ආධාරකරුවන් අතරට එක්ව ඇත කාරනය හේතු කොටගෙන ය. "වම" ලෙස සැලකෙන සංවිධාන, සීඅයිඒ විසින් අවුලනු ලැබ අල් කයිඩා විසින් ඉදිරියට මෙහෙයවනු ලබන විප්ලවයක් වන "සිරියානු විප්ලවයට" සිය සහයෝගය දී ඇත.

කෙසේවෙතත්, නිල දේශපාලන සංස්ථාපිතය පාදක වී සිටින්නේ ඉතා පටු පදනම් මත ය. රට තුල මෙන්ම එතෙර ද, පාලක පන්තිය ක්‍රියාවට දමන්නේ ගැඹුරින්ම ජනතා අප්‍රසාදයට ලක්ව ඇති පිලිවෙත් ය. නිමක් නැති යුද්ධයට ද එය ගෙන එන ව්‍යසනයට ද අවසන් තිත තැබීම, සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලුගැන්වීම මත රඳා පවතී.

ජෝශප් කිෂෝර්

Share this article: