කීර්ති බාලසූරිය සහෝදරයාගේ ජීවිතය හා අරගලයේ චිරකාලීන වැදගත්කම

The enduring significance of the life and work of Comrade Keerthi Balasuriya

18 December 2012

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප‍්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයෙන් 25 වන වසර සමරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප‍්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයෙන් 25 වන වසර සමරයි.

කීර්ති සහෝදරයා විසිවන සියවසේ අග භාගයෙහි සිටි ට්‍රොට්ස්කිවාදයේ අතිශයින් ම කැපී පෙනෙන නියෝජිතයින් අතරින් කෙනෙකි. 1987 දෙසැම්බර් 18 දා උදෑසන සිදු වූ ඔහුගේ අභාවය, හදිසි මෙන් ම ඛේදජනක අකල් මරනයක් විය. ඔහු හෘදයාබාධයකින් මිය ගියේ, සිය 39 වන උපන් දිනයේ සිට මසකට මඳක් වැඩි කාලයක් ගෙවීමෙන් පසුව ය.

කීර්ති බාලසූරිය නැගී ආවේ ශ‍්‍රී ලංකාවේ පොහොසත් ට්‍රොට්ස්කිවාදී සම්ප‍්‍රදාය තුලින් ය. තරුනයෙකු වශයෙන් ඔහු, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ලංකා ශාඛාව වූ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ධනපති හවුල් ආන්ඩුවකට ඇතුල්වීමට විරුද්ධවූ කොටස් සමග පෙල ගැසුනි.

කීර්ති සහෝදරයාගේ ජීවිතයේ සන්ධිස්ථානය පැන නැංගේ, ලංකාව තුල බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් කල මැදිහත්වීමක් තුලිනි. ලසසපයේ පාවාදීම, එනම්, ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් පක්ෂයක් පලමු වතාවට ධනපති ආන්ඩුවකට ඇතුලු වීම සමග බැඳුනු ප‍්‍රශ්න, ඊට පෙර දශකය පුරා ලසසපය සින්ඩිකල්වාදයට, පාර්ලිමේන්තුවාදයට හා සිංහල ජනතාවාදයට අනුගත වීමට වඩා දුර දිග ගිය ප‍්‍රශ්න බව ඔහු අවබෝධ කරගත්තේ, එම මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. ''1964 මහා පාවාදීමට" පැබ්ලෝ හා මැන්ඩෙල් සහාය හා අනුග‍්‍රහය දක්වා තිබුනි.

එය වනාහි, ධනවාදයේ පශ්චාත් යුද කාලීන යලි තහවුරු වීමේ කොන්දේසි යටතේ, ට්‍රොට්ස්කිවාදය ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර නිලධරයන්ගේ ද යටත් විජිත රටවල දී ජාතික ධනේශ්වරයේ ද උපාංගයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දැරූ උග‍්‍ර අවස්ථාවාදී ප‍්‍රවනතාවක් හතරවන ජාත්‍යන්තරය තුල වර්ධනය වීමේ ප‍්‍රතිඵලය විය. ලසසපයේ පාවාදීමට පිලිතුරු දීමත් නොනවතින විප්ලවයේ ක‍්‍රියාමාර්ගයේ පදනම මත විප්ලවවාදී කම්කරු පන්ති පක්ෂයක් ගොඩනැගීමත් ඉල්ලා සිටියේ, පැබ්ලෝවාදී දියකරහැරීමේවාදයට එක හෙලා ම එරෙහිව 1953 දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනගිය අරගලයේ පාඩම් උකහා ගැනීම හා එයට බැඳී ගැනීම ය.

1968 දී පැවැත්වූ විකොස ආරම්භක සමුලුව විසින් 19 වැනි වියේ පසුවූ කීර්ති එහි ප‍්‍රධාන ලේකම් ලෙස තෝරා ගන්නා ලදි. විකොස වහා ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග ඒකාබද්ධවීමට ඉල්ලුම් කලේ ය.

1985-86 දී බි‍්‍රතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමග භේදවීම මගින් ජාත්‍යන්තර කමිටුව මත ට්‍රොට්ස්කිවාදීන්ගේ අධිකාරය යලි තහවුරු කල සාර්ථක අරගලය තුල කීර්ති සහෝදරයා ඉටුකල භූමිකාව ඊටත් වඩා තීරනාත්මක විය.

අද දින අපි යලි ප‍්‍රකාශයට පත් කරන කීර්ති සහෝදරයාගේ ජීවිතය පිලිබඳව ලෝසවෙඅ කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් කල දීර්ඝ විමසුම පැහැදිලි කරන පරිදි, විකොස නායකයා කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් හා මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව ඔහුට පැවැති මහත් දැනුම් සම්භාරය, කවිපය අවස්ථාවාදය තුලට ඇදී යාම පිලිබඳ ජාත්‍යන්තර කම්ටුවේ සවිස්තරාත්මක හෙලිදරව් කිරීම් සඳහා ප‍්‍රතිපදානයක් විය.

කීර්ති සහෝදරයාගේ සමස්ත දේශපාලන ජීවිතය ම දිගහැරුනේ, ස්ටැලින්වාදයේ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පාවාදීම් ද දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ලෝක ධනවාදයේ ප‍්‍රතිස්ථාවරත්වය ද සමග බැඳී තිබුනු සංකීර්න හේතූන් කරනකොටගෙන කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන්, ඔවුන්ගේ පක්ෂපාතිත්වය ජාත්‍යන්තර කමිටුවට නොව වෙනත් සංවිධාන කෙරෙහි දැක්වූ අවධියක් තුල ය.

සම්භාව්‍ය මාක්ස්වාදීන් හා හතරවන ජාත්‍යන්තරය විසින් වර්ධනය කරන ලද විද්‍යාත්මක ඉදිරිදර්ශනය මත පදනම් වෙමින්, කීර්ති සහෝදරයා කම්කරු පන්තියට ආදේශකයක් ලෙස ස්ටැලින්වාදී නිලධරය වෙත නෙත් යොමුකල හෝ ගොවීන් මත පදනම්වූ ''මහජන යුද්ධය" පිලිබඳ මාවෝගේ ජාතිකවාදී ක‍්‍රියාමාර්ගයේ දෘෂ්‍යමාන සාර්ථකත්වය මගින් මෝහනයට පත්වූවන් කෙරෙහි දැක්වූයේ දැඩි විරෝධයකි.

සමාජවාදය සඳහා අරගලය පදනම් කල හැකි එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනක් බවත්, විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ මුඛ්‍ය කර්තව්‍ය වන්නේ, ලෙනින්ගේ සුප‍්‍රකට කියමනක් වන සමාජවාදී විඥානයෙන් කම්කරු පන්තිය සන්තෘප්ත කිරීම මගින් එහි දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම බවත් ඔහු ඒත්තුගෙන සිටියේ ය.

කීර්තිගේ අවමංගල්‍යයට සහභාගී වූ ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයෙක්, එලඹෙන කාලපරිච්ඡේදයේ දී විප්ලවකාරී නැඹුරුවකින් යුත් කම්කරුවන් හා තරුනයින්ගේ ගුරුවරයා ලෙස ඉස්මතු වනු ඇත්තේ මා ඕ ලා, හෝචිමිං ලා, නේරු ලා හා කැස්ට්‍රෝ ලා වැනි විවිධාකාර ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී නායකයින් නොව, කීර්ති බාලසූරිය බවට අනාවැකි පල කලේ ය.

විසිපස් වසරකට පෙර එම අනාවැකිය මගින් සුලු පිරිසක් තුල හැරෙන්නට අන් සියල්ලන් තුල ගම්‍ය විය හැකිව තිබුනේ එය එඩිතර ප‍්‍රකාශයක් පමනක් නොව අතිශයෝක්තියක් ලෙසින් ය. කෙසේ වුවත්, ඉතිහාසය ඕනෑවටත් වඩා එය සනාථකර තිබේ.

කීර්තිගේ අභාවයෙන් පස් වසරකටත් අඩු කාලයක් තුල, ස්ටැලින්වාදී නිලධරය ධනවාදය පුනස්ථාපනය කරද්දී, සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් බිඳ විසුරුවනු ලැබ තිබේ.

මහජන චීන සමූහාන්ඩුව හා වියට්නාම් සමාජවාදී සමූහාන්ඩුව නාමික වශයෙන් තවමත් පවතින්නේ ය. එහෙත් එම දෙරටෙහි ම ස්ටැලින්වාදී නිලධරය, ධනවාදය පුනස්ථාපනය කොට එක්සත් ජනපද, යුරෝපීය, ජපන් හා තායිවාන අන්තර්ජාතික සංගතයන් හා අලුතෙන් පොහොසත්වූ නැගී එන ස්වදේශීය ධනපතීන්ගේ නව පන්තියක් වෙනුවෙන් කම්කරු පන්තිය නිර්දය ලෙස සූරාකෑම මෙහෙයවති.

එසේ ම අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිමින් සමාජවාදී වැකි හඬ තැලූ ධනපති ජාතිකවාදී නායකයින්ගේ තත්වය කුමක් ද?

සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ අනුග‍්‍රහය අහිමිවූ කැස්ට්‍රෝ තන්ත‍්‍රය යුරෝපීය, කැනේඩියානු හා ලතින් ඇමරිකානු ආයෝජනයන්ට සිය දොරවල් හැර, පෙර නොවූ විරූ ලෙසින් ගැඹුරු වන සමාජ අසමානතාව හා දුප්පත්කම වගා කරමින් සිටියි. මේ අතර තන්ත‍්‍රය එක්සත් ජනපද ඩොලර් නිදහසේ සංසරනය වීමට ඉඩ හැර තිබෙන අතර රාජ්‍ය ව්‍යවසායික ක්ෂේත‍්‍රයේ විශාල පදාසයන් වසා දමයි.

පලස්තීන විමුක්ති සංවිධානය හා එහි නායකත්වය යටතේ පවතින පලස්තීන අධිකාරිය එක්සත් ජනපදයේ හා ඊස්රායලයේ පොලිස්කාරයින් ලෙස කටයුතු කරති.

ඉන්දියාවේ කොන්ග‍්‍රස් පක්ෂය, ජනතාව රැවටීමේ උත්සාහයක් ලෙස කොන්ග‍්‍රස් සමාජවාදය ලෙස පාරම්බෑ රාජ්‍ය-මූලික සංවර්ධනය බොහෝ කලකට පෙර ම අතහැර දැමී ය. ඉන්දියාව ලෝක ධනවාදයේ ලාභ ශ‍්‍රම තටාකයක් බවට හැරවීමේ ව්‍යායාමයක එය යෙදී සිටියි. විදෙස් පිලිවෙතේ දී ඉන්දියානු ධනේශ්වරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග මූලෝපායික සන්ධානයක් ඇතිකරගැනීමේ හා තමන්ගේ ම මිලිටරි ශක්තිය තරකර ගැනීමේ උවමනාව මත නොබැඳි පිලිවෙත ඉවත දමා ඇත.

ඉන්දියාවේ ''මහජන" ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ, කොන්ග‍්‍රසයේ නායකත්වයෙන් යුක්ත ආන්ඩු ගනනාවකට මුක්කුව දෙමින් ධනපති පන්තියේ ''නව ආර්ථික පිලිවෙතට" විවෘතව සහයෝගය දී ඇත. ඔවුහු තමන් බලයේ සිටි ප‍්‍රාන්තවල, ඔවුන්ගේ ම වචන වලින් කියතොත්, ''ආයෝජන හිතවත්" ප‍්‍රතිපත්ති අනුගමනය කර තිබේ.

ශී‍්‍ර ලංකාව තුල දී විසිපස් වසරක ඓතිහාසික තීන්දුව තීරනාත්මක බවින් අඩු නැත. ලසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් කම්කරු පන්තිය දේශපාලනිකව ධනේශ්වර ආන්ඩුවලට ගැට ගැසීමේ කොන්දේසි යටතේ ශක්තිය උකහාගත් සුලු ධනපති සංවිධාන ආවෘත අන්තයක් බව සනාථ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුන දක්ෂිනාංශික එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවට පාර්ලිමේන්තුව තුල සහයෝගය දී දෙමල සුලුතරයට එරෙහි සිංහල ධනේශ්වරයේ වර්ගවාදී යුද්ධයට උද්‍යෝගිමත්ව සහාය දී තිබේ.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කල හැකි එක ම සමාජ බලවේගය වන සිංහල හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු ආයාචනයක් කිරීමට සතුරු විය. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කලේ, ඉන්දියාවේ හා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය පතා ආයාචනා කිරීම මගින් උතුරේ හා නැගෙනහිර ධනපති රාජ්‍යයක් කපා වෙන්කර ගැනීමට ය.

විකොස-සසප ඉදිරිපත්කල ඉදිරිදර්ශනය, එනම්, එක්සත් ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටනේ දී කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිංහල හා දෙමල පීඩිතයන් විප්ලවවාදීව බලමුලු ගැන්වීම, මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ එක ම ශක්‍ය මාවත බව පෙන්නුම්කර තිබේ.

නරුම ලෙස තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස හඳුන්වා ගැනීමට උත්සාහ ගත් පැබ්ලෝවාදීන් සම්බන්ධයෙන් ගත් කල ඔවුහු, අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දෙමින් ධනපති කප්පාදු පැටවීමට වැඩ කර තිබෙන, ජර්මනියේ වාම පක්ෂයේ සිට ඉතාලියේ රිෆොන්ඩාසියොනි කොමියුනිස්ටා දක්වා වන විවිධාකාර රාජ්‍යයේ පක්ෂ බදාගෙන සිටිති.

මැන්ඩෙල්වාදී ''ජාත්‍යන්තරය" සමග සන්ධානගතව සිටින වත්මන් ශ‍්‍රී ලංකා කන්ඩායම වන නව සමසමාජ පක්ෂය, 1977 වෙලඳපොල ගැති ප‍්‍රතිසංස්කරනයන්ට මුලපිරූ හා 1983 දී දෙමල විරෝධී යුද්ධය දියත් කල ධනේශ්වරයේ සාම්ප‍්‍රදායික දක්ෂිනාංශික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග ''ප‍්‍රජාතන්ත‍්‍රය" සඳහා හවුලකට ඇතුලු වී සිටී.

කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය හා එය බලමුලු ගැන්වීම සිය දිශාවනතිය කරගත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ හා සම්භාව්‍ය මාක්ස්වාදයේ අව්‍යාජ හඬ ය යන්න සැකයට භාජනය කල හැක්කේ කාට ද? සියලු ප‍්‍රධාන දේශපාලන, සමාජ හා ඓතිහාසික ප‍්‍රශ්න ස්වාධීන කම්කරු පන්තික දෘෂ්ටි ආස්ථානයකින් දෛනික පදනමක නීර්නය කරන ලෝසවෙඅ තුලින් එය, කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට සටන් වදියි.

විසිපස් වසරක ආලෝකය තුල කීර්ති සහෝදරයාගේ ජීවිතය හා අරගලය වැදගත්කමින් හීන වී නැතිවා පමනක් නොව, ඒවා නව ජවයකින් නැගී සිටියි.

මහා අවපාතයෙන් හා එය දොර විවරකල ලෝක යුද්ධයෙන් පසුව පැවති බරපතල ම අර්බුදයට ලෝක ධනවාදය මුහුන පා සිටින තතු හමුවේ, කම්කරුවන්ට හා තරුනයින්ට ධනවාදයට එරෙහිව සටන් වැදීමට වඩ වඩාත් බල කෙරෙනු ඇත. ඔවුහු කීර්ති බාලසූරිය සහෝදරයාගේ දේශපාලන චරිතාපදානය, දිරිමත් හා සප‍්‍රතිපත්තික දේශපාලන අරගලයේ ආවේශ ගන්වන නිදසුනක් ලෙස දැක ගන්නවා ඇත. ඊටත් වඩා වැදගත් ලෙස, ඔහු ආරක්ෂා කොට වර්ධනය කල මාක්ස්වාදී දේශපාලන සංකල්ප තුල ඔවුහු, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වය හා විප්ලවවාදී බලමුලු ගැන්වීම සඳහා වන අරගලයට මග පෙන්වන න්‍යායික හා දේශපාලන අවි සොයාගන්නවා ඇත.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

***

එලඹෙන වසරේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය කීර්ති සහෝදරයාගේ ලිපි ලේඛන ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකකත්වයක් හමුවේ තබනු ඇත. මෙයට, 1970 වසරේ මුලින් ම පල කරන ලද සුලු ධනේශ්වර ජවිපෙ පිලිබඳව ඔහු විසින් කරන ලද දීප්තිමත් හා අනාගත වක්තෘමය හෙලිදරව්ව වන ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය යන කෘතිය ද ඇතුලත් වනු ඇත.

කීර්ති බාලසූරියගේ අභාවයෙන් විසි වසරක් යන ප්‍රකාශනය ද කියවන ලෙස කතුවරයා ඉල්ලා සිටියි.

Share this article: