ජපානයේ නව ආන්ඩුව මිලිටරිවාදය දෙසට බරපතල හැරීමක් සලකුනු කරයි

New Japanese government marks dangerous turn to militarism

19 December 2012

පසුගිය ඉරිදා පැවති මැතිවරනයෙන් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය (එල්ඩීපී) යලි බලයට පත්වීම ජපානයේ පමනක් නොව ජාත්‍යන්තර දේශපාලනයේ ද මූලික වෙනසක් සලකුනු කරයි. මැතිවරන උද්ඝෝෂනය තුල පැතිර පැවති ජාතිකවාදය හා මිලිටරිවාදය, පෙන්නුම් කරන්නේ මිලිටරි බලය ඇතුලුව ආසියාව තුල හා ගෝලීයව එහි සකලාකාර උත්සුකතාවයන් යලි අත්පත් කර ගැනීමට ජපාන පාලක පන්තියට පවතින අධිෂ්ඨානයයි.

ඊලඟ අගමැති ලෙස පත්වන එල්ඩීපී නායක ශින්ශෝ අබේ ජපානයේ සෙන්කාකු හා චීනයේ දියාඔයූ දිවයින් සම්බන්දයෙන් චීනය සමග පවතින දේශසීමා ආරවුල පිලිබඳව දැනටමත් දැඩි ප‍්‍රතිචාරයක් දක්වා තිබේ. ජපානයේ ජාතික ගුවන් විදුලිය වන එන්එච්කේ ට කථාකරමින් සෙන්කාකු ජපානයේ "ප‍්‍රවේනි දේශසීමාවේ” කොටසක් බව ප‍්‍රකාශ කල අබේ චීනයෙන් එල්ල වන "අභියෝගය නතර කිරීම අපේ අරමුන” බවට අනතුරු ඇඟෙව්වේය.

නිර්ජනාවාස දිවයින් තුල ස්ථීර ඉදිකිරීම් කිරීමට මැතිවරන උද්ඝෝෂනයේ දී එල්ඩීපී යෝජනා කලේය. එය චීනය සමග සබඳතා බෙහෙවින් නරක අතට හරවන පියවරකි. වර්තමාන ඩිමොක‍්‍රටික් පක්ෂ ආන්ඩුව විසින් සැප්තැම්බර් මාසයේ දී දිවයින් "ජනසතු” කිරීමෙන් පසුව දැනටමත් ආතතිසහගත තත්වයක් නැගෙනහිර චීන මුහුදේ පවතී. දිවයින් අවට ගුවන්සීමාවට ඇතුලු වූ චීන මැරිටයිම් සෝදිසි ගුවන් යානයකට බාධා කිරීම සඳහා ජපාන මිලිටරිය ප‍්‍රහාරක ගුවන් යානා යැවී ය.

ජීවන තත්වයන් ඛාදනය වීම කෙරෙහි පුලුල් මහජන අතෘප්තියක් හා කෝපයක් අවුලවමින් ගෝලීය ආර්ථික අර්බුදය තීව‍්‍රව බලපා ඇති හෙයින් ජපානයේ ආන්ඩු ජාතිකවාදය ඇවිස්සීමට පටන් ගෙන තිබේ: සෙන්කාකු දිවයින් "ජනසතු කිරීමට” බීජිනය ප‍්‍රතිචාර දැක්වූයේ විවෘතව වාර්ගික ස්වභාවයක් ගත් ජපන් විරෝධී විරෝධතාවලට කොල එලිය විහිදුවමිනි.

වසර 15 ඇතුලත පස්වන වතාවටත් ජපාන ආර්ථිකය අවපාතයක් තුලට ඇදවැටී ඇත. යෙන් මුදලේ වටිනාකම ඉහලයාම හා එක්සත් ජනපදය. යුරෝපය සහ චීනය තුල වෙලඳපොල සංකෝචනය වීමෙන් ජපාන අපයනවලට පහර වැදී තිබේ. දසක දෙකක ආර්ථික පල්වීමකින් පසුව, පසුගිය වසරේ ලෝකයේ දෙවැනි ආර්ථිකය ලෙස ජපානයට පැවති තැන චීනය විසින් අත්පත් කර ගැනීමෙන් ප‍්‍රකාශයට පත් වූ රටේ දිග්ගැස්සුන ආර්ථික ලුහුටා යාම ගැන පාලක කවයන් තුල දැඩි අපේක්ෂාභංගත්වයක් පවතී.

විදේශ පිලිවෙතේ දී මෙන්ම, ජපානය සතුරන්ගේ හා කම්කරු පන්තියේ වියදමින් ආර්ථික කඩාවැටීම ද ආපසු හැරවීමට නව ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන ඇත. උද්ධමනයට ඉඩ සලසන හා යෙන් මුදලේ වටිනාකම පහත හෙලන, එක්සත් ජනපදයේ මහබැංකුව අනුගමනය කල ආකාරයේ දැඩි මුල්‍ය පිලිවෙතක් අබේ විසින් නිවේදනය කර තිබේ. මෙය ඉස්මතුවෙමින් පවතින මුල්‍ය යුද්ධයන්ට තෙල් වැක්කිරීමක් පමනක් වනු ඇත. ජපානයේ දැවැන්ත නය කම්කරු පන්තිය මතට පැටවීම සඳහා අලෙවි බද්දේ තියුනු වැඩි කිරීමක් ද එල්ඩීපී ය නිර්දේශ කරයි.

"නව එල්ඩීපී” ය යනුවෙන් ඔහු නම්කර ඇති ප‍්‍රහාරාත්මක න්‍යාය පත‍්‍රය අබේ තුලින් ප‍්‍රකාශයට පත් වෙයි. ඔහු එල්ඩීපී සංස්ථාපිතයේ උරුමක්කරුවෙකි. පශ්චාත් යුද්ධ එක්සත් ජනපද මිලිටරි වාඩිලා ගැනීම යටතේ ඔහුගේ මව් පාර්ශවයේ සීයා නොබුශුකේ කිෂි සිරගත කල නමුත් යුද අපරාධ සඳහා ඔහුට විරුද්ධව කිසිසේත් ම චෝදනා ඉදිරිපත් කලේ නැත. පසුව අගමැති බවට පත් වූ ඔහු රටේ ව්‍යවස්ථාව තුල පවතින ඊනියා සාමවාදී වගන්ති අහෝසි කිරීම සඳහා බලපෑම් කලේ ය. ඔහුගේ සීයා මෙන් ම අබේ ද, "සාමාන්‍යකරනය” සඳහා ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමට සහ ජපාන මිලිටරිය ශක්තිමත් කිරීමටත් ඔහු නම්කරන ආකාරයට රටේ "ස්වයං-හිංසන ඉතිහාසය”, එනම් ජපානයේ යුද අපරාධ ගැන කවර හෝ පිලිගැනීමක් පවතීනම් එය කෙලවර කිරීමටත් ප‍්‍රයත්න දරමින් සිටියි.

වර්තමාන තත්වය 1930 ගනන්වලට බෙහෙවින් සමාන බවක් පෙන්නුම් කරයි. එකල ලෝක වෙලඳාම තුල බරපතල ප‍්‍රහාරයකට ගොදුරු වී සිටි ජපානය, ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයකට ඇද වැටුනේය. මංමුලාවට පත් ටෝකියෝව 1931 දී මැන්චුරියාව හා 1937 දී සමස්තයක් ලෙස චීනය ආක‍්‍රමනය කරමින් වෙලඳපොල හා අමුද්‍රව්‍ය සඳහා යුද්ධ මගින් ජපානයේ ආර්ථික ව්‍යසනය ජය ගැනීමට උත්සාහ කලේ ය. චීනය තුල මිලිටරි වාඩිලා ගැනීම, තමන්ට වාසිදායක "දොර විවෘත කිරීමේ” පිලිවෙතක් ඉල්ලා සිටිමින්, ස්වකීය කොල්ලකාරී උත්සුකතාවයන්ගෙන් මෙහෙයවුන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ජපානය අතර ආතතිය තීව‍්‍ර වීමට තුඩු දුන්නේ ය; 1941 පැසිෆික් යුද්ධය තුල තරගකාරී උවමනාවන් ඉස්මත්තට ආවේය.

රටතුල කම්කරු පන්තිය නිර්දයව මර්දනය කිරීම හා චීනය වාඩිලා ගැනීමත්, පසුව දකුනු ආසියාවේ මෙන් ම කොරියාවේ සහ ෆෝමොසාවේ (තායිවානය) පැවති යටත් විජිත පාලනය ශක්තිමත් කිරීම සඳහා වඩාත් මෘග ක‍්‍රම යොදා ගැනීමත් සමග එකිනෙකට පෑහෙමින් ජපානයේ මිලිටරිවාදය පෙරට ගෙන ගියේය. ජපාන ආක‍්‍රමනකාරී හමුදා විසින් සිය දහස් ගනනක් චීන සොල්දාදුවන් හා සිවිල් ජනයා ඝාතනය කල කුප‍්‍රකට නන්ජින් සමුහ ඝාතනයේ 75 වන සංවත්සරය පසුගිය සතියට යෙදී තිබුනි. ජපාන පාලක පන්තිය තුල වැඩෙන ආකල්පය, දැන් දක්ෂිනාංශික ජපන් රෙස්ටොරේසන් පක්ෂයේ නායක ටෝකියෝවේ හිටපු ආන්ඩුකාරයා වන ශිතාරෝ ඉෂිහාරා විසින් මේ වසර මුල දී විවෘතව ප‍්‍රකාශයට පත් කලේ ය. නන්ජින් දූෂනය ඔහු මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කලේය.

හිරෝෂීමාවට හා නාගසාකි වලට පරමානු බෝම්බ දමා එක්සත් ජනපදය විසින් පැසිෆික් යුද්ධය අවසන් කල තැන් පටන් ඇත්ත වසයෙන් ම ලෝකය නාටකීයව වෙනස් වී තිබේ. ඔබාමාගේ ඊනියා ආසියා පැසිෆික් දෙසට කේන්ද්‍ර ගතවීම හරහා ආසියාව තුල එහි පශ්චාත් යුද්ධ ආධිපත්‍යය පවත්වාගෙන යාමට එක්සත් ජනපදය උත්සාහ කරයි. චීන බලපෑමට වල කැපීමක් සමූහ මනුෂ්‍ය ඝාතන කෙරෙන උද්ඝෝෂනයේ කොටසක් ලෙස එහි මිලිටරිය ශක්තිමත් කිරීමට හා චීනයට විරුද්ධව දැඩි ආස්ථානයක් ගැනීමට ඔබාමා ජපානය ධෛර්යමත් කර තිබේ. මේ සමූහ මනුෂ්‍ය ඝාතන අබේ යටතේ සිදුවනු ඇත්තේ එම පිලිවෙත තීව‍්‍ර වීම පමනි.

ලෝකය තුල චීනයේ තැන සම්බන්ධයෙන් බොහෝ දුරදිග යන වෙනස්කම් සිදුවී තිබේ. ධනපති දේපොල සම්බන්ධතා පුනස්ථාපනය කරමින් හා ලෝකයේ විශාලතම ලාබ ශ‍්‍රම වේදිකාව බවට චීනය පරිවර්තනය කරමින්, 1949 විප්ලවය මගින් අත්පත් කරගත් ජයග‍්‍රහනයන් චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) විසින් වලදමනු ලැබ ඇත. එහි පාලනය ශක්තිමත් කරගැනීම සඳහා පදනමක් ලෙස සීසීපී ය විසින් ප‍්‍රවර්ධනය කරන ජාතිකවාදය නියෝජනය කරන්නේ එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන වර්තමාන අධිරාජ්‍යවාදී පර්යාය තම අභිමතාර්ථයන්ට හරස්වීම නිසා ගැඹුරින් ම අපේක්ෂාභංගත්වයට පත්ව සිටින නැගී එන ධනේශ්වරයක පන්ති උවමනාවන් ය. සීසීපී ය ජපානයේ යුද අපරාධ හෙලා දකින්නේ ප‍්‍රධාන බලයන් විසින් දහනමවන හා විසිවන සියවස් වල දී චීනයට සිදු කල "ජාතික අවමානය” අවසන් කිරීමට හා තමන්ගේ ම බලපෑම වර්ධනය කර ගැනීම සඳහා පමනි.

ගැඹුරුවන ගෝලීය අර්බුදය, පැසිෆික් ප‍්‍රදේශය තුල යුද්ධයට මග පෑදූ සාවද්‍ය මාවත් යලි විවෘත කෙරෙන තතු තුල ආසියාවේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉමහත් අන්තරායන්ට මුහුන දෙයි. තරග වැදී සිටින ධනපති පන්ති යලි වතාවක් නව හා වඩාත් ව්‍යසනකාරී පවා විය හැකි ගැටුමක් දෙසට වේගයෙන් තල්ලු වෙමින් සිටිති.

මෙම යුද ධාවනය නතර කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ ධනවාදය හා එහි යල් පිනූ ලෝකය ජාතික රාජ්‍යවලට බෙදී පැවතීම අහෝසි කිරීම පමනි. චීනයේ, ජපානයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාතිකවාදයේ හා මිලිටරිවාදයේ විෂ ප‍්‍රතික්ෂේප කරමින් ලාබ පද්ධතිය අහෝසි කිරීමට හා තාර්කිකව සැලසුම් කල ලෝක සමාජවාදී ආර්ථිකයක් තහවුරු කිරීමට ඔවුන්ගේ අරගලය ඒකාබද්ධ කල යුතුය. එම ක‍්‍රියාමාර්ගය සඳහා සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි.

පීටර් සිමන්ඩ්

Share this article: