ශී‍්‍ර ලංකාවේ සසප කීර්ති බාලසූරියගේ අභාවයේ 25 වන සංවත්සරය සමරයි

Sri Lankan SEP marks 25th anniversary of Keerthi Balasuriya’s death

By Our correspondents, 19 December 2012

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), සිය පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසූරියගේ අභාවයෙන් වසර 25ක් පිරීම අනුස්මරනය කරමින් ඊයේ කොලඹ ඔහුගේ සොහොන අභියස උත්සවයක් පැවැත්වීය. බාලසූරිය, යන්තම් 39 වන වියෙහි දී, කොලඹ පක්ෂ කාර්යාලයේ වැඩ කරමින් සිටිය දී හටගත් තදබල හෘදයාබාධයකින් 1987 දී අභාවප‍්‍රාප්ත විය.

කීර්ති සහෝදරයාගේ දිගුකාලීන දේශපාලන සගයන් ද ඇතුලු, සසප සාමාජිකයන් හා ආධාරකරුවෝ කොලඹ කනත්තේ පැවති උත්සවයට සහභාගි වූහ. සසප දේශපාලන කමිටු සාමාජිකයන් වන, කේ. රත්නායක හා නන්ද වික‍්‍රමසිංහ, සසප වෙනුවෙන් පුෂ්පෝපහාරයක් දැක්වීය. උත්සවයේ මුලසන දැරූ රත්නායක, කීර්තිගේ මතකයට ගෞරව දක්වනු වස් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ඉල්ලා සිටියේය.

විජේ ඩයස්

එහි සිටි විකොස ආරම්භක සාමාජිකයන්ගෙන් අයකු වූ, සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, රැස්ව සිටි පිරිස අමතා මෙසේ පැවසීය: "කීර්ති සහෝදරයා ගෙන ගිය දේශපාලන අරගලය තුල අතිශය පොහොසත් පාඩම් ගැබ්ව තිබුනා. ඒවා මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාවේ පමනක් නොව වැඩිදියුනු ධනපති රටවල මෙන්ම පසුගාමී රටවල ද දිගහැරෙමින් පවතින සමාජ විප්ලවවාදී අරගලවල වත්මන් කාලපරිච්ඡේදය තුල යලියලිත් මතකයට නංවාගත යුතු හා යලියලිත් උකහාගත යුතු දේශපාලන පාඩම්.”

ට්‍රොට්ස්කිවාදයට කීර්ති සිදු කල දේශපාලන ප‍්‍රතිපදාන පිලිබඳ ජාත්‍යන්තර ඇගයීම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෙසැම්බර් 18 දා පල වී ඇති ඉදිරිදර්ශන ලිපියත් කීර්තිගේ අභාවයේ 20 වන සංවත්සරය වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ලියු ලිපිය යලි පල කිරීමත් තුල පිලිබිඹු වන බව ඩයස් කියා සිටියේය.

1964 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) ධනේශ්වර සභාග ආන්ඩුවට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) කල මහා පාවාදීම මගින් නිර්මිත දේශපාලන ව්‍යාකුලත්වය ජයගැනීමේ පරිශ‍්‍රමයක යෙදී සිටි කීර්ති ඇතුලූ කුඩා තරුන කන්ඩායමේ දේශපාලන විකාශනය ඩයස් පැහැදිලි කලේය.

එම දේශපාලනිකව පැහැදිලි කිරීමේ කි‍්‍රයාදාමය තුල හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉටු කල තීරනාත්මක කාර්යභාරය සසප ප‍්‍රධාන ලේකම් ගෙනහැර දැක්වීය. ලසසප පාවාදීමේ සැබෑ දේශපාලන මූලයන් පවතින්නේ 1950 ගනන් මුල හතර වන ජාත්‍යන්තරය තුල වර්ධනය වී තිබූ සංශෝධනවාදී ප‍්‍රවනතාවක් වූ පැබ්ලෝවාදය තුල බව ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේය.

ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස 1968 දී විකොස පිහිටුවූ තරුනයන් අතර දේශපාලන සාකච්ඡා හා වාදවිවාද තුල දී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වඩාත්ම දෘඩතර නියෝජිතයා ලෙස මතුවූයේ කීර්තිය. "එම ජාත්‍යන්තර පදනම්වලින් කිසිදු සසලවීමක් කීර්ති සහෝදරයා සිය ජීවිත කාලය තුල පෙන්නුම් කලේ නැහැ.” යයි ඩයස් පැවසීය.

නව විප්ලවවාදී පරම්පරාවක්, නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය සඳහා කීර්ති ගෙන ගිය අරගලයේ පාඩම් බැරෑරුම්ව අධ්‍යයනය කිරීමේ හා උකහා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් ඩයස් මෙසේ පැහැදිලි කලේය: "එම පාඩම්වල පදනම් මත පමනයි, කම්කරු පන්තියට, පීඩිත මහජනතාවට හා තරුනයන්ට අනාගත විප්ලවවාදී අරගල පිපිරෙන තතු යටතේ සමාජ විමුක්තිය සඳහා මාවත විවෘත කරගත හැකි වන්නේ.”

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් රැස්ව සිටි පිරිස හමුවේ මෙසේ පැවසුවාය: "කීර්ති සහෝදරයා, 1953 දී පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ ද 1963 දී ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය පැබ්ලෝවාදය සමග යලිඑකමුතුවීමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව කල සප‍්‍රතිපත්තික අරගලයේ ද පාඩම් මත පාදක වුනා. ඔහු ඉන්දියානු උප-මහාද්වීප කලාපය තුල මතුවූ විවිධ සංශෝධනවාදී ප‍්‍රවනතාවයන්ට එරෙහි න්‍යායික අරගලය ගැඹුරු කිරීමටත් එමගින් කම්කරු පන්තිය තුලට නව දේශපාලන පාඩම් ගෙනයාමටත් වැඩ කලා. අපි එම පාඩම් මත පුහුනු වූ කේඩරයයි.”

පීරිස්, පසුගිය වසරේ පැවති සසප ආරම්භක සම්මේලනයේ දී සම්මත කරගැනුනු ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ලට සැඳහුම් කලාය. "එම ලියවිල්ලෙන් අවධාරනය කෙරෙන කේන්ද්‍රීය කාරනාව නම් සසප සමස්ත ඉන්දියානු උප-මහාද්වීපය සඳහා වූ විප්ලවවාදී මූලෝපායක් වෙනුවෙන් සටන් වදින බවයි. අපට එම වර්ධනය ලබාගත හැකි වූයේ, බි‍්‍රතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) භ‍්‍රෂ්ටයන්ගෙන් ජාත්‍යන්තර කමිටුව 1985-86 දී භේදවීමෙන් පසුවයි.”

කවිප ට්‍රොට්ස්කිවාදය පාවාදීමට එරෙහිව එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නොර්ත් විසින් නායකත්වය දෙන ලද එම අරගලය තුල කීර්ති ඉටු කල වැදගත් කාර්යභාරය පීරිස් පැහැදිලි කලාය.

සසප, ජනවාරියේ දී, කීර්ති බාලසූරියගේ ජීවිතය හා කාර්යභාරය සමරමින් කොලඹ දී මූලික ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

Share this article: