එක්සත් ජනපද පිටුබලය ලබන පාලනාධිකාරිය බහරේනයේ විරෝධතා තලා දමයි

US-backed regime crushes protest in Bahrain

By Bill Van Auken, 15 February 2012

මෙම සතියේ සඳුදා හා අඟහරුවාදා දහස් ගනනක් කම්කරුවන් හා තරුනයින් විසින් පැවැත් වූ විරෝධතා කඩා බිඳ දැමීමට එක්සත් ජනපද පිටුබලය ලබන ගල්ෆ් කලාපයේ බහරේන දූපතේ රා‍ජාන්ඩුව ලේ වැකි මර්දනයක් දියත් කලේය. 2011 වසරේ පෙබරවාරි 14 වෙනි දින ආරම්භ වූ ප්‍රජාතන්ත්‍ර-හිතැති විරෝධතාවන් ම්ලේච්ඡ ලෙස කුඩු පට්ටම් කිරීමෙන් ගතවෙන පලමු සංවත්සරය සටහන් කරමින් ඔවුහු විරෝධතාවේ නිරත වෙමින් සිටියෝ ය.

බහරේන විරෝධතාකරුවෝ සුන්නි රාජාන්ඩුවක් වන අල්-කලිෆාගේ ආඥාදායක පාලනය අවසන් කරන ලෙසත් පද්ධතිගත වෙනස්කම් කිරීම්වලට ලක් වන ‍ රටේ ජනගහනයෙන් සියයට 70ක් වන ෂියා බහුතරය සඳහා සම අයිතිවාසිකම් හා රැකියා ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

සන්නද්ධ කැරලි මර්දන රථ වීදිවල පෙල ගස්වා, දහස් ගනනක් පොලිසිය හා හමුදා භටඛන්ඩ දිගේලි කොට තහ්රීර් චතුරස්‍රයට සමාන ආකාරයේ ස්මාරකයක් මූර්තිමත් කරන පර්ල් වටරවුමේ කටු කම්බි අමුනන ලදුව බහරේනයේ අගනුවර වන මනමා හා එහි යාබද ප්‍රදේශය පැවැතුනේ තත්‍ය වසයෙන්ම දැඩි ලෙස වැටලූ තත්වයක් යටතේ ය.

හමාඩ් අල්-කලිෆා රජුගේ රාජාන්ඩුව සන්නද්ධ හමුදා යොදවා ඔවුන් විසුරුවා හරින තෙක් ම විරෝධතාකරුවෝ මාසයක් තිස්සේ වටරවුම අවට කඳවුරු බැඳ සිටියෝය. බහරේනයේ ප්‍රධාන භූමියට සම්බන්ධ කරන දිය මංකඩ ඔස්සේ සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට්වලින් ගෙන ආ මිලිටරි භටයෝ හා යුද ටැංකි විරෝධතාකරුවන් වෙත මිලිටරි කඩා පැනීමක් දියත් කලහ. වසර 30ක් තිස්සේ බහරේනයේ ‍මං සලකුනක් ලෙස පැවැති පර්ල් වටරවුමේ ස්මාරකයක් කඩා දැමීම ද මෙම කඩා පැනීමේ කොටසක් විය.

අල් වෙෆාක් --මර්දනයට විරෝධය පෑමට පසුගිය වසරේ දී ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින් 18 දෙනා ම ඉල්ලා අස් වූ ෂියා විරුද්ධ පක්ෂය-- විසින් මනමා නගරයට යාබද ප්‍රදේශවල සංවිධානය කරන ලදුව පාලානාධිකාරියේ තහනම් නියෝග නො තකා දියත් කල උද්ඝෝෂනය පැවති 13 වෙනි දා ගැටුම් ආරම්භ විය.

පොලිසිය විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්, රබර් උන්ඩ හා සිහි නැති කරන අත් බෝම්බවලින් පහර දුන්හ. ඇතැම් විරෝධතාකරුවන් ගල් හා මොලටොව් මද්‍යසාර බෝතල්වලින් ආරක්ෂ අංශ වෙත දමා ගසමින් ප්‍රතිචාර දැක් වූ බව වාර්තා වේ.

බිලාඩ් අල්-කාඩිම් ඇතුලු රට පුරා බහුතරයක් ෂියාවරුන් වෙසෙන ගම් පලාත් පොලිසිය විසින් අඛන්ඩව වටලා ගෙන සිටියේය.

පර්ල් වට රවුමේ සංවිධානාත්මක විරෝධතාවක් නතර කිරීමත් පාලන-විරෝධී විරෝධතාකරුවන්ට රැකවරනය සැලසී යයි සැක කල නිවෙස් වෙත සෝදිසි මෙහෙයුම් දියත් කිරීමේත් ඉලක්කය ඇතිව පොලිසිය පූර්ව අත් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සමගින් අඛන්ඩ මර්දනය 14 වෙනි දිනත් සිදු වෙමින් පැවැතින.

පොලිස් කඩා පැනීමේදී අත්අඩංගුවට ගත් අය අතර ඒ මොහොතේ දී ම පිටුවහල් කරනු ලැබූ එක්සත් ජනපදයෙන් පැමිනි මානව හිමිකම් සම්බන්ධ නීතිඥයින් දෙදෙනෙක් ද විය.

මෙම ප්‍රහාර, ක්‍රෑර මර්දනයක් සහිතව ගතවෙන වසරක කූටප්‍රාප්තිය සනිටුහන් කරයි. ආරක්ෂක බලකායන් විසින් අවම වසයෙන් මිනිසුන් 60ක් ඝාතනය කර ති‍බේ. බහරේන් ජනගහනයේ කුඩා බව සැලකූ කල මෙම සංඛ්‍යාව පසුගිය වසරේ අත් දකිනු ලැබූ මහජන නැගිටීම්වලදී විවිධ අරාබි රටවලින් වාර්තාගත ඉහල ම දල මරන අනුපාතිකය යි. තවත් සිය ගනනක් අතුරුදහන් කිර තිබේ. තවත් සිය ගනනක් දේශපාලන සිරකරුවන් වසයෙන් රඳවා සිටින අතර බොහෝ දෙ‍ෙනක් දරුනු වධ බන්ධනවලට ලක් කර තිබේ.

විරෝධතාවන්වලට සහභාගි වීමේ චෝදනා මත මිනිසුන් 2000කට ආසන්න ප්‍රමානයක් රැකියාවලින් දොට්ට දමා ඇති අතර ඔවුන් තවමත් යලි සේවයේ පිහිටුවා නොමැත.

තවමත් ඉතිරිව පැවැති ඉතා සුලු ස්වාධීන මාධ්‍යයත් ක්‍රමානුකූලව මර්දනය කෙරෙමින් පැවැතී තිබේ. සිරගෙවල්වල දී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, වධ බන්ධවලට ලක්කිරීම, සිරගත කිරීම හා පාලක රාජාන්ඩුව පිලිබඳ ඕනෑම විවේචනයක් නිහඬ කිරීමට පහර දීම හරහා මෙය සිදු කෙරින. පාලන තන්ත්‍රයේ පාලනය යටතේ නොපැවැති එකම පුවත්පත වූ අල්-වසාට් පුවත්පතේ ආරම්භකයෙක් වූ කරීම් ෆාක්රාවි පසුගිය අප්‍රේල් මස පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගියේය. ශාස්ත්‍රඥයෙක් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ද වූ අන්තර් ජාල මාධ්‍යවේදී අබ්දුල්ජලිල් අල්සින්ගාස් පාලනාධිකාරිය කෙරෙහි විවේචනාත්මකව ලිවීම හේතුවෙන් විශේෂ මිලිටරි උසාවියක් විසින් දන්ඩනයට පත් කරන ලදුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කෙ‍රින.

පාලක රාජාන්ඩුව විසින් සිදුකරන ලද වඩාත් කුප්‍රකට ක්‍රියාවන් අතරට පාලන තන්ත්‍රයට එරෙහිව කුමන්ත්‍රනය කිරීමේ චෝදනා මත මිලිටරි උසාවියක් හමුවේ වෛද්‍යවරුන්, හෙදියන් හා සෞඛ්‍ය සේවකයින් 47 දෙනෙක් වරදකරුවන් කිරීමේ සිදුවීම ද ඇතුලත් ය. සිරගත කරනු ලැබූ හා සමහර සිදුවීම්වලදී වධ බන්ධනයට පත් කරන ලද ඔවුන් කර තිබූ එකම වරද වී තිබුනේ ආන්ඩුවේ මර්දනය හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම යි. මෑත ම විරෝධතාවන් උත්සන්න වෙද්දී පාලානාධිකාරිය රෝහල්වලට එවනු ලැබූ නියෝගයකින් අනකර සිටියේ ප්‍රතිකාර සඳහා රෝහල්වලට ඇතුලත් කරන සෑම අයෙකු ම ආරක්ෂක බලකායන් වෙත වාර්තා කල යුතු බවයි.

පාලක රාජාන්ඩුව විසින් ගැටුම් “විශාල ත්‍රස්තවාදී කන්ඩාමකට,” “අන්තවාදීන්වාදීන්ට” හා “දාමරිකයන්ට” ආරෝපනය කලේය.

බ්‍රිතාන්‍ය ආන්ඩුව මෙම අපවාදය කඩිමුඩියේම ප්‍රතිරාව නැංවුවේ ය. “බහරේන තුල ත්‍රස්තවාදයේ පොදු තර්ජනයක්” යැයි කියනු ලැබූ දෙයක් පිලිබඳ‍ව බ්‍රිතාන්‍ය විදෙස් කටයුතු කාර්යාලය සඳුදා අනතුරු ඇඟවීමක් නිකුත් කලේය.

එක්සත් ජනපදය ද බහරේන ‍පාලන තන්ත්‍රයට පිටුබලය සපයා තිබේ. විරෝධතා ආරම්භයට පෙරාතුව, මැදපෙරදිග සඳහා එක්සත් ජනපදයේ ඉහල ම නිලධාරී ජෙෆ්රි ෆෙල්ට්මාන් මනමාවට දෙදින සංචාරයක් කලේය. ඒ, සිරියාවේ පාලන තන්ත්‍ර මාරුවක් උසි ගැන්වීමේ අරමුනින් එලැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත “සිරියාවේ මිතුරෝ” නම් සම්මේලනය පිලිබඳ සාකච්ඡාවන් පැවැත්වීමට ය. “මානව හිමිකම්” පිලිබඳ කාරනය ද ෆෙල්ට්මාන් විසින් එහි දී මතුකල බව එක්සත් ජනපද ප්‍රකාශකයෙක් කියා පෑවේය.

යථාර්තයේදී වොෂිංටනය බහරේන පාලානාධිකාරිය හා එහි හිත මිතුරු ප්‍රතිගාමී රාජාන්ඩු විසින් ගෙන යන මර්දනයට එහි නිහඬ සහය පල කරයි. මේ අතර මෙකී පාලන තන්ත්‍ර බටහිර මැදිහත් වීමක් සඳහා මාවත සැකසීමට තමන් සිරියාව තුල “ප්‍රජාතන්ත්‍රවාදයේ” සටන්කරුවන් ලෙස ඇදහිය නොහැකි අයුරින් ඔවුහු හඳුන්වා දෙති.

එක්සත් ජනපද අවශ්‍යතාවන්ගේ පැත්තෙන් ගත්කල වඩාත් තීරනාත්මක කරුන වන්නේ, බහරේනය, සිවිල් තැරව්කරුවන් හා ර‍ට තුල ස්ථානගත කර ඇති අයගේ පවුල් සාමාජිකයන් ඇතුලුව නාවික භටයින් 6,200කගේ පිරිසකින් සමන්විත ඇමරිකානු පස්වන නාවික බල ඇනියේ මූලස්ථානය වීම යි. හරියට ම පර්සියානු ගල්ෆ් කලාපය හරහා පිහිටා තිබෙන මෙම මධ්‍යස්ථානය ඉරානයට එරෙහි එක්සත් ජනපද මිලිටරි සූදානම් වීම් උදෙසා වඩාත්ම වැදගත් උපාංගය යි.

මෙම අර්ථයෙන් ගත් කල, බහරේන පාලානාධිකාරියේ මර්දනය සඳහා වොෂිංටනයේ සහයත් සිරියාව තුල මර්දනය හේතුවෙන් අසාද් ආන්ඩුව පෙරලා දැමීම සඳහා එහි ඉල්ලීමත් ප්‍රතිවිරෝධි වන්නේ හුදෙක් මතුපිටින් පමනි. පිලිවෙත් දෙක ම, කලාපය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යය පුලුල් කර ගැනීමේ හා ඉරානය සමඟ මිලිටරි ඝට්ටනයක් සඳහා සූදානම් වීමට ගනන් බලා කරන ලද අධිරාජ්‍යවාදී මූලෝපායක කොටසකි.

එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය යන දෙරට වඩා සමීපස්තව බහරේනය තුල මර්දනයෙහිලා හවුල්ව සිටී. වොෂිංටනය 2000 වර්ෂයේ සිට ඩොලර් බිලියන 1.4ක් පමන වටිනා අවි බහරේනයට අලෙවි කර තිබෙන අතර ඩොලර් මිලියන 53ක නව අවි ගනුදෙනුවක් සඳහා ක්‍රියා කරමින් සිටී. මේ අතර පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය සහතික කරන මිලිටරි ඇපකරු වසයෙන් පස්වන සේනාංකය නැඟී සිටී.

බ්‍රිතාන්‍ය ආන්ඩුව සම්බන්ධයෙන් ගත් කල එය - අවි වෙලඳාමට එරෙහි ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද වාර්තාවලට අනුව- පසුගිය වසරේ ජූලි හා සැප්තැම්බර් මාස අතරතුර දී පමනක් ඩොලර් මිලියන දෙකකට වඩා වටිනා අවි අපනයන බලපත් නිකුත් කර තිබේ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් නිකුත් කල මෑත වාර්තාවකට අනුව කඳුලු ගෑස්, ග්‍රෙනෙඩ් විදිනයන් හා කැරලි මර්දන අවි බහරේන පාලන තන්ත්‍රයට විකිනීමට බ්‍රිතාන්‍ය අවසර ලබා දී ඇත.

මර්දනය සම්බන්ධීකරනය කිරීමේ සහයට යවනු ලැබූවන්ගෙන් එක් අයෙක් වන්නේ පසුගිය ජූලි මස මර්ඩොක් මාධ්‍ය ජාලය සිදුකල දුරකථනවලට සොරෙන් සවන් දීමේ ලෝකාපවාදය මධ්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ සහකාර කොමසාරිස් නිලයෙන් ඉල්ලා අස් වූ ජෝන් යේට්ස් ය.

බහරේන් පොලිස් බලකාය “ප්‍රතිසංස්කරනය” කිරීමට රාජාන්ඩුව විසින් කුලියට බඳවා ගනු ලැබූ යේට්ස් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වෙත කීවේ, විරෝධතා මැඩලීමේ ක්‍රමයක් වසයෙන් “කෙට්ලින්” - ආහාර ජලය ඇතුලු අත්‍යවශ්‍ය කිසිවක් ලබා ගැනීමට ඉඩ නොදී සියලුම පිටව යාමේ මාර්ග අවහිර කොට කුඩා අවකාශකයට විරෝධතාකරුවන් විශාල පිරිසක් කොටු කර ඔවුන් මැඩීමට පොලිසිය යොදා ගන්නා ම්ලේච්ඡ උපායක්- හඳුන්වා දීමට ඔහු අදහස් කරගෙන සිටින බවයි.

තම නව ගෙවුම්කරුවන්ගේ අදහස් ප්‍රතිරාවය කරමින් යේට්ස් විරෝධතාවන් ගර්හාවට ලක් ක‍ලේ, ඒවා “විනාශකාරී, වීදි කැරලි හා. . . . ආර්ථිකය විනාශ කරන සල්ලාල ක්‍රියාවන්” ලෙස හඳුන්වමිනි.

Share this article: