ෆ්‍රැන්කෝගේ උරුමක්කාරයෝ ස්පාඤ්ඤ විනිසුරු ගාසෝන්ට විරුද්ධව නඩු පවරති

Franco’s heirs prosecute Spain’s judge Garzón

17 February 2012

ස්පාඤ්ඤ බලධාරීන් විසින් විනිසුරු බල්තසාර් ගාසෝන්ට නඩු පැවරීම, දේශපාලනිකව මෙන්ම සදාචාරාත්මකව ද දුරාචාරයකි. දැනටමත් වසර එකොලහකට තනතුර අත්හිටුවා ඇති ඔහු ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ තන්ත්‍රය විසින් සිදුකරන ලද බිහිසුනු අපරාධවල ප්‍රතිපලයක් වශයෙන් දැනට චෝදනාවන්ට ලක්ව සිටින එකම පුද්ගලයාය.

අධිකරන ක්‍රියාමාර්ගය විකෘති කරන ලදැයි ද 1936-39 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අවධියේ මිනිසුන් 114,000ක් මරා දැමීම පිලිබඳ පරීක්ෂන මගින් සමාව ලබාදුන් 1977 නීතිය කඩ කලේය යන චෝදනා ගා‍ෙසාන්ට එරෙහිව ඉදිරිපත්කොට තිබේ. සියල්ලටත් වඩා මෙ‍ාස්කෝවේ ස්ටැලින්වාදී තන්ත්‍රය ද එහි රහස් පොලිසිය හා ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂය (පීසීඊ) විසින් අනුගමනය කල ප්‍රති විප්ලවවාදී ප්‍රතිපත්ති නිසා එම ගැටුමේදී, ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදා ලද ජයග්‍රහනය යුරෝපය තුල දෙවන ලෝක සංග්‍රාමයට වේදිකාව සැකසීය. යුද්ධයෙන් පන බේරාගත් ෆ්‍රැන්කෝ තන්ත්‍රය 1975දී ආඥාදායකයාගේ මරනය තෙක් එක්සත් ජනපදය සමග පැවතීගෙන ගිය මිත්‍රත්වයක් ගොඩනගා ගත්තේය.

මරා දැමූ ලක්ෂ තුනක් ද ලක්ෂ පහක් පිටුවහලට ද සිරගතකල එවැනිම සංඛ්‍යාවක් ද ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව සිදුකල අපරාධ සම්බන්ධයෙන් නීතිය හමුවට පැමිනවූ එකදු ෆැසිස්ට්වාදියෙකු හෝ නොවූයේ එම සමාවට පින්සිදු වන්නටය. ගාසොන්ගේ පැමිනිලිකරුවන් වන්නේ ෆැසිස්ට්වාදී ෆැලන්ජිවරු හා නමේ විකෘතියක් සහිත දක්ෂිනාංශික වෘත්තීය සමිතියක් වන ක්ලීන් හෑන්ඩ්ස් (දෑත් පිරිසිදු) ය. ඔවුන්ට පිටුපසින් සිටින්නේ, දේශපාලනිකව ෆ්‍රැන්කෝගේ පක්ෂයෙන් පැවත එන්නවුන් ද ඇතුලත් පාලක දක්ෂිනාංශික ජනතා පක්ෂයයි (පීපී). ගාසොන්ට වධ හිංසා කිරීමේ දී දක්ෂිනාශයට එම හැකියාව ලබා දීමේ දේශපාලන වගකීම දරන්නේ, පීපීයට විකල්පයක් ලෙස පීඑස්ඕඊ සංවිධානය හුවා දැක්වූ සමාජවාදී පක්ෂය හා විවිධාකාර ව්‍යාජ වාම කොටස්ය.

2008 වසරේදී ගාසොන්, 1936 ජූලි 17 මිලිටරි කුමන්ත්‍රනයට වගකිවයුත්තන් පිලිබඳ පලමු පරීක්ෂනය ආරම්භ කලේය. එයට අවසන් වශයෙන් ෆ්‍රැන්කෝ ද හිටපු ජෙනරාල්වරු 44 දෙනෙක් හා ෆැලන්ජි පක්ෂයේ සමාජිකයින්වූ ඇමතිවරු 10 දෙනෙකුට එල්ල කල චෝදනා හා 114,266 දෙනෙක් අතුරුදහන්වීම පිලිබඳ පරීක්ෂන ද ඇතුලත් විය. ඔහු සලකුනු නොකල සමූහ මිනී වලවල් 19ක් හාරා ගොඩ ගැනිමට ද නියෝග කලේය.

2004 මැතිවරනයෙන් පීපී පක්ෂය පරාජයට පත්වීමෙන් පසුව ගොදුරුවූවන්ගේ නෑදෑයින් දිගු කාලයක් තිස්සේ ගෙනගොස් තිබුන උද්ඝෝෂන ව්‍යාපාරය නව ජවයක් ලැබීය.

පීපී ආන්ඩුව ඉරාක යුද්ධයට දුන් සහාය ද එහි කම්කරු විරෝධී සමාජ පිලිවෙත් ද නිසා එය කෙරෙහි පලව තිබූ දැවැන්ත විරෝධය හේතුකොටගෙන එම වසරේදී පීඑස්ඕඊ බලයට පත්විය. ඉස්ලාම් මූලධර්මවාදීන් මැඩ්රිඩ්හි ත්‍රස්තවාදී බෝම්බ පිපිරවීම්වලින් පසුව වොෂින්ටනයේ සාපරාධී යුද්ධයට පිටුබලය දීමට ස්පාඤ්ඤය ඇද දමමින් සිටින බවට පීපී වෙත චෝදනා එල්ල වී තිබුනි.

මහජන විරුද්ධත්වය තුනී කරමින් සිටින අතර පීඑස්ඕඊ, ස්පාඤ්ඤ ධනේශ්වරයේ අවශ්‍යතා පෙරට ගෙනයාමේ කර්තව්‍යයට තමන් මුහුන දී සිටින බව හොඳින් වටහාගෙන සිටියේ ය. තම දක්ෂිනාංශික ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ බෙහෙත් පෙත්ත පැනියෙන් දැවටීම පිනිස ඔවුන් සමහර සමාජ හා සංස්කෘතික ප්‍රශ්නවල දී වාම මුහුනුවරකින් පෙනී සිටියේ ය.

ෆ්‍රැන්කෝ තන්ත්‍රයේ අපරාධ හෙලා දකින, ආඥාදායකයා සැමරීමේ නිශ්චිත උත්සව තහනම් කරන, ගොදුරුවූවන් හඳුනා ගැනීම පිනිස සමූහ මිනීවලවල් ගොඩගැනීමට රජයේ සහයෝගය ලබාදීම පිනිස 2007දී ඓතිහාසික මතකය පිලිබඳ නීතිය සම්මත කිරීම එවන් ජනප්‍රිය පියවරක් විය.

2008දී ගාසෝන් සිය පරීක්ෂනය දියත් කලේ එම පදනම යටතේ ය. කෙසේ වෙතත් සෑම වැදගත් ප්‍රශ්නයක දී ම පීඑස්ඕඊ ආන්ඩුව දක්ෂිනාංශය ඉදිරියේ යටත්වූ අතර එය මිලිටරියේ කොටස්, මාධ්‍යය හා කතෝලික පල්ලිය හරහා ප්‍රති ප්‍රහාරයක් මුදා හැරීමට මඟ පෑදීය.

නින්දිත ආකාරයෙන් ඓතිහාසික මතකය පිලිබඳ නීතිය, සිවිල් යුද්ධයේ දෙපාර්ශවයහි ම දේශපාලන, ආගමික හා දෘෂ්ටිමය ප්‍රචන්ඩත්වයේ ගොදුරු බවට පත්වූවන් හඳුනාගනු ලැබීම පිනිස යොදාගත හැකි විය. එසේ වුවත් පීපීය, තවමත් 1977 සමාව පිලිබඳ නීතිය හා එහි කුප්‍රකට "අමතකවීම පිලිබඳ සම්මුතිය” කඩකිරීමේ පියවර මත පහර දීම කරගෙන යයි. පීසීඊ හා පීඑස්ඕඊයේ පාර්ශවයෙන් එම සම්මුතියට අත්සන් තැබීම කම්කරු පන්තිය ඓතිහාසික වශයෙන් පාවාදීමකි.

ප්‍රතිගාමී ගිවිසුම සැලසුම්කර ඇත්තේ, ෆ්‍රැන්කෝගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට "සාමකාමීව පරිවර්තනය කිරීම” සහතික කිරීම පිනිස ය. ඒ කම්කරු ජනතාව ෆැලන්ජි සමග සබඳතා බිඳින ලෙස ඉල්ලා සිටිය දී ය. ඒ වෙනුවට ඔවුන්ට කියන ලද්දේ "අතීතය අමතක කර සමාව බජනය” කරන ලෙස ය. එමගින් ධනේශ්වර පාලනය ස්ථාවර වෙද්දී දක්ෂිනාංශිකයින්ට සිය තුවාල ලෙවකෑමට ඉඩ හැරියේය.

රාජ්‍යයේ පැමිනිලි පක්ෂය ඔහුගේ අධිකරන බලය ගැන ප්‍රශ්න කිරීමෙන් පසුව 2008 නොවැම්බර් 17දා ගාසොන්, තම පරීක්ෂනය අතහැර දැමීමට එකඟ විය. ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ කොරියා විසින් පීපීහි ප්‍රධානීන්ට අල්ලස් දීම පිලිබඳ ගූටෙල් ප්‍රශ්නය මුල්කරගෙන අපරාධ පරීක්ෂනයක් ද ඔහු විසින් දියත් කර තිබේ. 2010 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ගාසොන්ට එරෙහිව අපරාධ චෝදනා තුනක්, එනම්, පසුගිය සතියේ දී ඉවත්කර ගන්නා ලද අල්ලසක් ගැනීම පිලිබඳ චෝදනාව, සමාව දීමේ නීතිය කඩකිරීම හා ගූටෙල් සිද්ධියේ සන්නිවේදන මාර්ගවලට ඇහුන්කන් දීම, විභාග කිරීමට අවසර දුන්නේය.

පසුබිමෙහි පැවතුනේ ලෝක ආර්ථික අර්බුදය හා ස්පාඤ්ඤයට දරුනු ලෙස බලපෑම් ඇති කරමින් දේපල බුබුල පුපුරා යාමය. පීඑස්ඕඊ තමන්ට ඉතිරිව පැවති යම් හෝ මහජන සහයෝගයක් නැතිභංග කරගත් කප්පාදු පියවරයන් මගින් ඊට ප්‍රතිචාර දැක්වීය. එකම දේශපාලන විකල්පය වූයේ පීඑස්ඕඊයට වහල් සේවය සැපයීම පිලිබඳ දීර්ග වාර්තාවකට හිමිකම් කියන, ස්ටැලින්වාදී එක්සත් වාම සභාගය හා අනෙකුත් ව්‍යාජ “වාම” කන්ඩායම්ය. අවසානයේ 2011 මහා මැතිවරනයෙන් පීපීය ජයගත්තේය.

මෙම ජයග්‍රහනයෙන් පසුව පීපීයේ ප්‍රති ප්‍රහාරයට ලක්වූ වඩාත්ම ඉහල මට්ටමේ පුද්ගලයා වූයේ ගාසොන්ය. එහෙත් ඔහුගේ සිද්ධිය වඩාත් පුලුල් ඇඟවුම් ගැබ්කරගෙන තිබේ.

ස්පාඤ්ඤ ධනේශ්වරය “අමතක කිරීම පිලිබඳ සම්මුති‍ෙය්” ප්‍රතිපාදන කම්කරු පන්තික ප්‍රතිරෝධය මැඬීම පිනිස තවමත් ප්‍රයෝජනයට ගන්නා නමුත්, “අමතකකර දමා සමාව දෙන්න” යන කිසිවකට තවදුරටත් ඉඩදීමට ඔවුන් සූදානම් නැත. ඒ වෙනුවට ෆ්‍රැන්කෝගේ දේශපාලන උරුමක්කාරයෝ ඉතිහාසයේ ඔර්ලෝසුව ආපසු කැරකවීමේ උත්සාහයක නියැලෙති.

ගාසොන්ට සලකා ඇති ආකාරය, කම්කරු පන්තියට හා තරුනයන්ට ඉදිරියේදී මුහුනදීමට සිදුවන තත්වය පිලිබඳ නොපැහැදිලි පිලිබිඹුවක් පමනි. 1930 ගනන්වලින් පසුව එලඹී තිබෙන නරකම ආර්ථික අර්බුදය තුල පීපීය, දශ ලක්ෂ ගනනක් තව තවත් දුප්පත්කමටත්, විරැකියාවට හා නිවාස නොමැති කමට ඇද දමන දරුනු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටියි. ලබන මාසයේ නියමිත අයවැය යුරෝ බිලියන 16.5ක් හෙවත් ඩොලර් බිලියන 21.7ක කප්පාදුවක් අන්තර්ගත කර ගනු ඇත. ඒ අනුව වැටුප් සියයට 15න් කැපෙයි. රැකියා විරහිත තරුනයින්ට දෙන නිවාස සහනය අහෝසි කෙරේ. ශ්‍රම බලකායෙන් තුනෙන් එකකටම බලපාන පරිදි අවම මාසික වැටුප යුරෝ 641.40ක් හෙවත් ඩොලර් 842කට සීමා කරනු ඇත.

ලක්ෂ පනහකට වැඩි එනම් වැඩකරන ජනතාවගෙන් පහෙන් එකක් හා වයස අවුරුදු 16-25 අතර තරුනයින්ගෙන් අඩකට පමන රැකියා නොමැති තත්වයක් තුල එවන් පියවර ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාවට නැඟිය නොහැකි ය. වෙනත් වචනවලින් කිවහොත්, ෆ්‍රැන්කෝ යුගයේ අපරාධ සැඟවීමට උත්සාහ කරන්නේ ඓතිහාසික කනස්සල්ලකින් අභිප්‍රේරනයවී නොවන බවයි.

ස්පාඤ්ඤයේ පාලක පන්තියේ බොහොමයක්, සමාජ විප්ලවය යලි වතාවක් වර්ධනය වන සැබෑ තර්ජනයක් බවට නිගමනය කර ඇත. ඔවුහු දැවැන්ත මර්දනයකින් හා ආඥාදායකත්වයකින් මේ තර්ජනයට මුහුන දීමට සූදානම් වෙමින් සිටිති. ෆ්‍රැන්කෝගේ උරුමක්කාරයින්ට එරෙහි අරගලය පෙරට ගෙන යාමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම දැන් හදිසි කර්තව්‍යයක් බවට පත්ව තිබේ.

ඇලිජැන්ඩ්‍රෝ ලෝපෙස් හා ක්‍රිස් මාස්ඩන්

Share this article: