ඔබාමා වාර්තාගත ජීඑම් ලාභ ඔජ වඩයි

ප්‍රධාන වැටුප් කපන්නා

Obama hails record GM profits - The wage-cutter in chief

20 February 2012

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජෙනරල් මෝටර්ස් සමාගම ප්‍රධානකොටම එහි උතුරු ඇමරිකානු ව්‍යාපාරික කටයුතු මගින් උත්තේජනය කල ඩොලර් බිලියන 7.2 සමගින්, පෙර නොවූ විරූ ඩොලර් බිලියන 7.6ක් 2011 සඳහා ලාභ වශයෙන් සූරාගත් බව මේ සතිය තුල වාර්තා කිරීමත් සමග ජනාධිපති බරක් ඔබාමා එහි සම්මානය හිමිකර ගත්තේය.

බටහිර වෙරල තීරයේ මැතිවරන කටයුතුවල යෙදෙමින් ඔහු අරමුදල් රැස්කිරීමේ පෞද්ගලික හමුවීම් මාලාවකදී කෝටිපති ආධාරකරුවන් ඇමතීය. වොෂින්ටන්හි සියැට්ල් බෝයිං ගුවන්යානා කම්හලේ වෘත්තීය සමිති රැලියක ද පෙනී සිටියේ ය. එහිදී ඔහු සිය සුපුරුදු තේමාව ම මැතිරී ය. එනම් 2009 මෝටර් රථ කර්මාන්තයට ඇප ලබාදෙමින් තමන් ගත් පියවර ජීඑම්හි වාර්තාගත ලාභය මගින් සනාථ ක‍ෙල්ය යන්නයි.

සැන් ෆ්‍රැන්සිස්කෝහි ඉසුරුමත් අසල්වැසි නොබ් හිල් ප්‍රදේශයේ ශ්‍රවනාගාරයට රැස්ව සිටියවුන් අමතා ඔහු මෙසේ පැවසීය. "අද, ලෝකයේ නොම්බර එකේ මෝටර් රථ නිෂ්පාදකයා වශයෙන් ජීඑම් යලිත් මුදුනට නැග සිටියි. එම සමාගමේ සිය වසරක ඉතිහාසයේ ඉහලම ලාභය මේ දැන් වාර්තාකර ඇත.”

එම කර්මාන්තය “ගලවාගැනීමේ” තීරනාත්මක සාධකය ගැන කෙලින් සඳහන් නොකිරීමට ඔබාමා වග බලාගත්තේය. එනම්, සමිති ගත මෙන්ම සමිති ගතනොවූ ජීඑම් හි වැඩකරන හා විශ්‍රාමික කම්කරුවන්ගේ සෞඛ්‍යාරක්ෂන කපා දැමීම සමග ජීඑම් හා ක්‍රයිස්ලර් යන සමාගම් දෙකේම අලුතින් බඳවාගන්නා කම්කරුවන්ගේ වැටුප් මත සියයට 50ක කප්පාදුවක් පැටවීමට ධවල මන්දිර‍ය කල මැදිහත්වීමයි.

එහෙත් 17දා බෝයිං කම්හලේදී පැවැත්වූ ඔහුගේ කථාව තුල ඒ පිලිබඳව ඔහු වක්‍රෝත්තියෙන් සඳහන් කලේය. එයින් උපුටාගත් කොටස් 18 දින ඔහුගේ ගුවන්විදුලි හා අන්තර්ජාල ඇමතීම්වලදී යලි විකාශනය කලේය.

ඔහු සිය ප්‍රේක්ෂකත්වය හමුවේ මෙසේ පැවසීය. “ඇමරිකානු කම්කරුවන්.... මිහිමත සිටින අතිශය පලදායී කොටස ඔබයි. ඔබට ඕනෑම කෙනෙකු සමග තරග වැදිය හැකිය. ක්‍රීඩාපිටිය සමතලාව තිබෙන තාක් දුරට ඔබ ඕනෑම අයෙක් පරදවනු ඇත. ඔබට ඕනෑම කම්කරුවෙක් සමග, ඕනෑම තැනකදී ඕනෑම වේලාවක තරග වැදිය හැකිය. ඒ චීනයේ ද යුරෝපයේ ද යන්න ප්‍රශ්නයක් නොවේ.”

ඔබාමාගේ මෙම ප්‍රකාශ මධ්‍යයේ කඩින් කඩ නැඟුනු ප්‍රීතිඝෝෂා, සියැට්ල් රැලියෙදී ඔබාමාට හුරේ දැමූ ප්‍රධාන කොටස වූ වෘත්තීය සමිති විධායකයින් වෙතින් පලවූ බව නිසැක ය. මෙයින් පෙන්නුම් කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය හා ඔබාමා පාලනය සමග ගෙනයන සමිතිවල සන්ධානය හා වෘත්තීය සමිති යන දෙකෙහිම දක්නට ඇති තරයේම ප්‍රතිගාමී ස්වභාවය පමනි.

මෙරට කම්කරුවන්, අනෙකුත් රටවල කම්කරුවන් “පරයා යාම” පිලිබඳ මතිය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගන්නේ කුමක් හෙයින් ද? එවන් තරගයකින් ඇමරිකානු කම්කරුවන්ට වාසි සැලසෙන්නේ කෙසේ ද? ඔබාමා ශුභ පැතුම් පිරිනමන්නේ, ඇමරිකානු කම්කරුවන් යුරෝපයේ, ජපානයේ, චීනයේ හා ලෝකය වටා සිය පන්ති සහෝදරයින් සමග අඩුම වැටුපට වැඩකල හැක්කේ හා යෝධ අන්තර්ජාතික සංගතවල ලාභය සඳහා උග්‍ර සූරාකෑමක් පවත්වාගත හැක්කේ කාට ද යන්න මත සටන් වදින පතුලට ම ගිය තරගයක් වෙනුවෙන් උසිගැන්වීම් කරන තමන්ට ම හා තම වෘත්තීය සමිති හෙංචයියන්ට ය.

තම රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් කල කථාවේදී මෙන්ම මෙහිදී ද “සමතලා ක්‍රීඩා පිටියක්” පිලිබඳව උසිගැන්වීම් කිරී‍ෙමන් ඔබාමා බලාපොරොත්තු වන්නේ, චීනයේ ද මෙක්සිකෝවේ හා අනෙකුත් “තරගකාරී” රටවල දැනට පවත්නා ජීවන හා සේවා කොන්දේසිවල මට්ටමට ඇමරිකානු කම්කරුවන්ගේ තත්වය ද පහත හෙලීම මගින් එක්සත් ජනපදයේ නිෂ්පාදන කර්මාන්තය පනගැන්වීමේ උත්සාහයේ දී එරට ව්‍යාපාරික පැලැන්තියට සිය පූර්න සහයෝගය හිමි වන්නේය යන පනිවිඩය යැවීමටයි.

පන්ති විඥාත කම්කරුවන් මෙම භාතෘහාරක ගෝලීය ඉදිරිදර්ශනය එයට සුදුසු පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල යුතුය. ඇමරිකානු කම්කරුවන්ට ධවල මන්දිරය තුල හෝ ඩෙට්‍රොයිට්හි විකෘත නමක් පටබැඳි සහයෝගිතා නිවහන තුල හෝ මිතුරන් ඇත්තේ නැත.

සමිති විධායකයින් හා ඩිමොක්‍රටික් පක්ෂය, වැඩකරන ජනතාවගේ රැකියා හා ජීවන තත්වයන්ගේ වියදමෙන් මොටර්රථ කර්මාන්තයේ ලොක්කන්ගේ හා සමස්තයක් ලෙස ධනපති පන්තියේම ලාභ නැංවීම පිනිස ශ්‍රම වියදම් පහත හෙලීමේ දී එක්ව වැඩ කරති. නිදසුනක් ලෙස, එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ සභාපති බොබ් කිං, ජර්මානු මෝටර් රථ කම්කරුවන් මත වැටුප් කැපීම හා කම්හල් වැසීමේ වැඩ සටහන පැටවීමට සහාය වනු පිනිස ජීඑම්හි ජර්මානු ශාඛාවක් වන ඕපල්හි අධ්‍යක්ෂ මන්ඩලයට පත්කිරීමට නියමිත ය.

වැටුප් කප්පාදුවේ හා රුදුරු සූරාකෑමේ පදනම මත ව්‍යාපාරික ලාභ නැංවීම පිනිස ඇමරිකානු කම්කරුවන් හා ඇමරිකානු ලොක්කන් සමග “එකමුතුව” යන ආර්ථික ජාතිකවාදය ට කෙරෙන මෙම ආයාචනා සමාජවාදී සමානතා පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර හෙලා දකියි. අප පෙනී සිටින්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා ය. ඇමරිකානු කම්කරුවන් සිය සැබෑ මිතුරන් සොයාගත යුත්තේ කෝටිපති ව්‍යාපාරික විධායකයින් හා එවැනි ම ධනවත් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු දේශපාලඥයින් අතරින් නොව යුරෝපයේ, ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ කම්කරුවන් අතරින්ය.

සමස්තයේ ම ජීවන තත්වයන් සියයට 50න් කැපීමට විරුද්ධව සටන් වැද සිටින ග්‍රීක කම්කරුවන් වේවා යෝධ ඇමරිකානු හා යුරෝපීය නිෂ්පාදකයින් වෙනුවෙන් යෙදෙන පොලිස් රාජ්‍ය මර්දනයට එරෙහිව සටනේ නිරත චීන කම්කරුවන් වේවා එක්සත් ජනපදයේ පිටුබලය ලබන මිලිටරි ආඥාදායක්ත්වයකට එරෙහි ඊජිප්තියානු කම්කරුවන් වේවා කූපර් ටයර් කර්මාන්තයේ රැකියා හා සහන විනාශයට විරෝධය දක්වන එක්සත් ජනපදයේ කම්කරුවන් වේවා, ලෝකය පුරාම කම්කරුවන් සටන් වදින්නේ එකම සතුරෙකුට එරෙහිව ය.

සමාජවාදී සමානතා පක්ෂය සිය 2012 ජනාධිපතිවරන උද්ඝෝෂනය දියත්කොට ඇත. ජනාධිපති අපේක්ෂකයා ලෙස ජෙරී වයිට් ද උප ජනාධිපති අපේක්ෂක ලෙස ෆිලිස් ෂෙරර් තරග වදියි. මෙම උද්ඝෝෂනයේ පලමු මූලධර්මය වන්නේ, කම්කරු පන්තියේ අවශ්‍යතා ජාතිකවාදී ක්‍රියාමාර්ගයක පදනමෙන් ආරක්ෂා කල නොහැකිය යන්නත් එය කල හැක්කේ, ධනේශ්වර ක්‍රමයට එරෙහි පොදු අරගලයක් තුල ලෝකයේ වැඩකරන ජනතාව දැනුවත්ව එක්සත් කිරීමේ ජාත්‍යන්තර විප්ලවවාදී මූලෝපායක පදනමෙන් පමනක්ය යන්නත්ය.

මෙම උද්ඝෝෂනයට එක්වන ලෙසත් එයට සහාය දෙන ලෙසත් අපි වැඩකරන ජනතාවගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

පැට්‍රික් මාටින්

Share this article: