එක්සත් ජනපදය චීනය වටා මිලිටරි තොන්ඩුව තද කරයි

US tightens the military noose around China

30 January 2012

පිලිපීනය තුල එක්සත් ජනපදයේ මිලිටරි කටයුතු ප්‍රසාරනය කිරීමත්, එරට යුද නැව් හා නිරීක්ෂන ගුවන් යානා රැඳවීමත් පිලිබඳව ජනවාරි 26, 27 දිනවල වොෂින්ටනය හා මැනිලාව අතර පැවැත්වූ ද්විපාර්ශවික සාකච්ඡා චීනය කොටු කිරීම පිලිබඳ ඔබාමා පාලනයේ මූලෝපාය දෙසට තැබූ තවත් පියවරකි. ඇමරිකානු යුද නැව්වලට පහසුකම් සැලසීම හා පිලිපීනය හරහා තව තවත් එක්සත් ජනපද හමුදා එහා මෙහා කිරීම ද ඇතුලු විශාල වශයෙන් මිලිටරි කඳවුරු පාවිච්චි කිරීම සාකච්ඡාවට බඳුන් විය. මාර්තු මාසය තෙක් ගිවිසුම පිලිබඳ අවසන් තීරනයකට නොඑලඹෙන නමුත් එහි දල සැකැස්ම, එක්සත් ජනපද මැරීන් භටයින් උතුරු ඕස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීම හා එහි ගුවන් හා නාවික වරායන්ට පිවිසීම සඳහා ඇමරිකාවට ඉඩ සැලසීම පිනිස ‍පසුගිය නොවැම්බරයේ දී නිවේදනය කල කැන්බරාව සමග ඇති කර ගත් ගිවිසුමට සමරූපී වනු ඇත.

ඇමරිකානු මිලිටරියේ රැඳී සිටීමට එ‍රෙහිව පිලිපීනයේ ප්‍රබල මහජන මතයක් පවතින බව හොඳින් ම දන්නා ඇමරිකානු හා පිලිපීන නිලධරයින්, එම සාකච්ඡාවන්හි සැර බාල කිරීමේ උත්සාහයක නිරතව සිටියි. එසේ ද වුවත් පසුගිය 20දා පිලිපීන විදේශ ලේකම් ඇල්බට් ඩෙල් රොසාරියෝ, එක්සත් ජනපද මිලිටරි‍ෙය් “වැඩමුර වෙනස් කිරීම හා නිරන්තරව රැඳී සිටීමේ” මාවත් දෙරට විසින්ම සොයා බලමින් සිටින බව සනාථ කලේය. පැතිරගිය මහජන විරෝධය හමුවේ පිලිපීන සෙනේට් සභාව 1991දී සියුබික් බොක්කේ දැවැන්ත නාවික කඳවුරේ බදු කාලය තව දුරටත් දීර්ග නොකිරීමට ඡන්දය දීමෙන් පසුව එක්සත් ජනපදයට ඉන් සිය හමුදා ඉවත්කර ගැනීමට සිදු විය.

පසුගිය සතියේ දී වොෂින්ටන් පෝස්ට් පත්‍රය, පිලිපීන-එක්සත් ජනපද මිලිටරි සාකච්ඡා පමනක් නොව “වියට්නාමය හා තායිලන්තය වැනි අනෙකුත් ගිනිකොනදිග ආසියානු රටවලට ද ඔබාමා පාලනය විසින් මුට්ටිය දමා බැලූ බව” වාර්තා කලේය. ජපානය හා දකුනු කොරියාව සමග වැඩසටහන් ද තායිවානයට දැවැන්ත අවි අලෙවිය ද සිංගප්පූරුවෙහි වෙරලාරක්ෂිත යුද නැව් රැඳවීම හා ඉන්දියාව සමග ප්‍රමුඛ පෙලේ මූලෝපායික හවුලක් ද ඇතුලු ආසියාව පුරා සන්ධාන ශක්තිමත් කර ගැනීමේ හා මූලෝපායික බැඳීම් ඇතිකර ගැනීමේ ක්‍රියාවලියක එක්සත් ජනපදය යෙදී සිටියි.

චීනය “නිෂ්ක්‍රීය කිරීමට” තමන් උත්සාහ නොකරන්නේය යන වොෂින්ටනයේ ප්‍රකාශ විකාර සහගත ය. එක්සත් ජනපදය “ගිනිකොනදිග ආසියාවේ වාසය සඳහා යලි පැමින සිටියි” යන රාජ්‍ය ලේකම් ක්ලින්ටන් කල නිවේදනයේ පටන්, ගත වූ දෙවසර තුල වොෂින්ටනය, කලාපය පුරා ද ජාත්‍යන්තරව ද චීනයේ වැඩෙන ආර්ථික බලපෑමට වල කැපීම පිනිස සිය දේශපාලන, ආර්ථික හා මිලිටරි ශක්තියේ දැවැන්ත බලය යොදවා තිබේ.

චීනයේ වියදමෙන් හා එක්සත් ජනපදයේ කොනදේසිවලට අනුව, පැසිෆික් කලාපයේ වෙලඳාම සංවිධානය කිරීම පිනිස සැලසුම් කල අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය වැනි ආර්ථික කන්ඩායම් ප්‍රසාරනය කිරීමේ තල්ලුව සමග අතිනත්ගෙන, ආසියාව තුලට එක්සත් ජනපදයේ මිලිටරිය “කරකවමින්” තිබේ. පසුගිය සතියේ සිය රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කල ඔබාමා, “චීනය වැනි රටවල” නිපදවන භාන්ඩවලට එරෙහිව නැ‍ගෙන වෙලඳාම පිලිබඳ නීත්‍යානුකූල පැමිනිලි පරීක්ෂාව කඩිනම් කිරීමට “වෙලඳාම බලගැන්වීමේ ඒකකයක්” අලුතින් පිහිටුවනු ඇතැයි ප්‍රකාශ කලේ චීනය ඉලක්ක කරමිනි.

ආසියාව තුල එක්සත් ජනපද මිලිටරි ශක්තිය ගොඩනැංවීම, එහි ම තර්කනයට අනුව අන්තරායකාරීය. නිෂ්පාදනයේ දැවැන්ත ප්‍රසාරනය මගින් චීනයට, බල ශක්තිය හා අමුද්‍රව්‍ය ආනයනය මත බෙහෙවින් රැඳී සිටීමට සිදුව තිබේ. චීනයට ලඟාවන සියලු තෙල්වලින් සියයට 80ක් පමන ම මැද පෙරදිග හා අප්‍රිකාව වෙතින් ඉන්දියානු සාගරය හරහා පැමිනෙන අතර දකුනු චීන මුහුදට පිවිසෙන්නේ මැලැක්කා සමද්‍ර සන්ධිය හරහාය.

“නාවික ගමනා ගමනයේ නිදහස” පිලිබඳ මාතෘකාව යටතේ පෙන්ටගනය, දකුනු චීන මුහුදේ හා මැලැක්කා සමුද්‍රසන්ධිය වැනි “ හුස්ම සිරකරන තැන්” මත සිය මූලෝපායික ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා තම මිලිටරි බලය යලි එක්තැන් කිරීමෙහි යෙදී සිටියි. ඕස්ට්‍රේලියාවේ හා සිංගප්පූරුවෙහි දැනටමත් ස්ථානගත කර තිබෙනවාට අමතරව, පිලිපීනය තුල හමුදා හා නැව් රැඳවීම මගින් එක්සත් ජනපදය, චීන බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයනයන් අවහිර කිරීම හා එරට ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සිය හැකියාව වර්ධනය කර ගනිමින් සිටියි.

කලාපය තුල ප්‍රකෝපකාරී ලෙස කෙරෙන එක්සත් ජනපද මිලිටරි යෙදවුම් පිටුපස ඇති අභිප්‍රේරනාත්මක බලය නම්, එක්සත් ජනපදයේ සාපේක්ෂ ආර්ථික පරිහානියත්, චීනයේ නැගීමත්ය. ගැඹුරු වන ගෝලීය මූල්‍ය අර්බුදයේ කොන්දේසි හමුවේ වොෂින්ටනය, සිය ආර්ථික දුබල කමට හිලව් වශයෙන් ප්‍රචන්ඩ ලෙස එහි මිලිටරි බලය ප්‍රයෝජනයට ගනිමින්, චීනයට වල කැපීමටත් ආර්ථික හා මිලිටරි ප්‍රතිවාදියෙක් ලෙස එහි නැගීම පූර්වභංග කිරීමේ උත්සාහයකත් නිරතව සිටියි.

කලාපීයව එක්සත් ජනපද මිලිටරි ශක්තිය යෙදවීමේ මූලෝපාය සිහිගන්වන්නේ, 1941 ජපානයට එරෙහිව වොෂින්ටනයේ තෙල් තහංචියයි. එය පැසිෆික් යුද්ධයට මුල්වූ සිදුවීම් මාලාවක් මුදාහරින ලද්දේය. එක්සත් ජනපදය චීනය වටලමින් විභවාත්මක විනාශකාරී තහංචි පිලිබඳ තර්ජනය මතු කරන කල චීන පාලක පැලැන්තියට ඉතිරි වන විකල්ප එන්ට එන්ට සීමා සහිත වන්නේය. චීනයේ අවශ්‍යතා වඩාත් ආක්‍රමනකාරී ලෙස ආරක්ෂාකර ගැනීමට උපදෙස් දෙන බීජිනයේ කොටස්, නිසැකව ම පෙරමුනට එනු ඇති අතර යුද්ධය සඳහා තල්ලුව වඩාත් උත්සන්න කෙරෙනු ඇත.

චීන රජයේ පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස්හි ජනවාරි 29 කතුවැකිය, වොෂින්ටනය සමග මැනිලාවේ මිලිටරි සාකච්ඡාවන්ට ප්‍රතිචාර වශයෙන් පිලිපීනයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට උපදෙස් දුන්නේය. එහි මෙසේ අනතුරු අඟවා තිබුනි. “එක්සත් ජනපදය සමග මිලිටරි සහයෝගිතාවය දෙසට පියවරක් ගැනීමේ අර්ථය වන්නේ, චීනය සමග ආර්ථික සහයෝගිතාවයෙන් අඩියක් පස්සට ගැනීම ය. දිගු කාලයේදී චීනය ද තම ආර්ථික ලීවරය, ASEAN (ආසියාන්) රටවල් හා පිලිපීනය අතර ආර්ථික කටයුතු කපාහැරීම පිනිස යොදාගන්නවා විය හැකිය.”

චීනය සමග වන ඔබාමා පාලනයේ ගැටුම, ආසියාව වෙඩිබෙහෙත් හෙප්පුවක් බවට පත්කරයි. කලාපය තුල දැනටමත් ගිනියම්ව ඇති තැන් බෙහොමයක් තිබේ. උතුරු කොරියාවේ සිට තායිවානය දක්වා ද දකුනු චීන මුහුදු ප්‍රදේශයෙහි ආරවුල්වල පටන් චීනය සමග ඉන්දියාවේ දේශසීමා මතභේද දක්වා ද ඒවා දිව යයි. බීජිනයේ හා වොෂින්ටනයේ අභිලාෂයන් කුමක් වුවත්, එක්සත් ජනපද‍යේ ආක්‍රමනකාරී මිලිටරි ආකල්පය සාපේක්ෂව සුලු සිදුවීමක්, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ව්‍යසනකාරී ගෝලීය ගිනිජාලාවක් අවුලුවාලන ගිනි පුපුරක් බවට පත්වීමේ අන්තරාය තියුනු කරයි.

යුද්ධය දෙසට වන තල්ලුවේ මූල සාධක වන්නේ පෞද්ගලික ලාභ ක්‍රමය හා ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය යල්පැනගිය ආකාරයට එමගින් බෙදා තිබීම යි. තෙවන ලෝක යුද්ධයක ම්ලේච්ඡත්වය කරා ලුහුටා යාම වැලැක්විය හැක්කේ කම්කරු පන්තියට පමනි. ඒ, ධනවාදය අහෝසි කර මනුෂ්‍ය වර්ගයාගේ ඉමහත් බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා තෘප්ත කල හැකි ආකාරයේ සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක් පිහිටුවීම මගින්ය. මෙම අරගලය මෙහෙයවීමට සමත් වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනකි.

ජෝසෆ් සැන්ටොලන්

Share this article: