නිව් යෝර්ක් ටයිම්ස් සහ ඉරානයට එරෙහි යුද පරිශ‍්‍රමය

The New York Times and the drive to war against Iran

31 January 2012

ඉරිදා නිව් යෝර්ක් ටයිම්ස්, මේ වසරේ යම් කාලයක ඉරානයට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීමට පක්ෂව ඊස්රායලයේ පිලිවෙත් සකසන්නන් ඉදිරිපත් කර ඇති තර්ක සහානුමතිකව හා කිසිදු හැඟීමකින් තොරව විදහා දක්වන දීර්ඝ ලිපියක් සිය සතිපතා සඟරාවේ පල කලේය. රහස් ඔත්තු විෂය ගැන විශේෂඥයකු හා ප‍්‍රමුඛ ඊස්රායලයේ මාධ්‍යවේදියකු වන රොනන් බර්ග්මන් විසින් ලියන ලද මෙම ලිපිය, ආරක්ෂක ඇමති එහුඩ් බරාක්, උප අගමැති මෝෂේ යාලොන් හා මොසාඩ් ආයතනයේ හිටපු ප‍්‍රධානි මීර් ඩගාන් ඇතුලූ වත්මන් හා හිටපු ඉහල පෙලේ ඊස්රායල නිලධාරින් සමග පැවති සම්මුඛ සාකච්ඡා අවධාරනාත්මකව පල කර තිබේ.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊස්රායලය සිදු කරන පුලුල් මිලිටරි සූදානම ගැන සාකච්ඡා කරන බර්ග්මන් එක්සත් ජනපදයේ සහයෝගය ඇතිව ඊස්රායලය විසින් ගෙන යනු ලබන අවෘත යුද්ධය සමාලෝචනය කරයි. මිලිටරි හා න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සිදුවූ මාරාන්තික පිපිරුම්, සයිබර් යුද්ධය සහ ටෙහෙරාන් නගර මධ්‍යයේ ජනවාරි 11 දා සිදු වූ මෑතම සිද්ධිය ඇතුලුව, 2007 සිට මේ දක්වා ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් පස් දෙනෙකු ඝාතනය කිරීම එම යුද්ධයට ඇතුලත් ය.

කතුවරයා සිය ලිපිය අවසන් කරන්නේ මෙසේ සඳහන් කරමිනි: "ඊස්රායලය සත්තකින්ම 2012 දී ඉරානයට පහර දෙනු ඇතැයි යන විශ්වාසය කරා මම පැමින ඇත්තෙමි.”

ඉරානයේ තෙල් අපනයනයට එරෙහි එක්සත් ජනපදය හා යුරෝපය අලුතෙන් ම නිවේදනය කර ඇති සම්බාධකවල ද පර්සියානු ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද නාවික බලය වර්ධනය කිරීමේ ද සන්දර්භය තුල පල වන මෙම ලිපිය, නිශ්චිත හා නරුම අරමුනක් සඳහා සේවය කරයි: එනම්, ඉරානයේ හා මැද පෙරදිග ජනතාවට ද අවසානයේ සමස්ත ලෝකයට ම ද ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එනු ඇති පූර්ව-භංග හා අප‍්‍රකුපිත ආක‍්‍රමනකාරී යුද්ධයක් සඳහා කඩතුරාවක් සැපයීම හා ඒ සඳහා මහජන මතය සැකසීමයි.

මෙම ලිපිය පල වූයේ, ඉරානය හුදකලා කිරීම හා ආර්ථිකව දුර්වල කිරීම පිලිබඳව පුරසාරම් දොඩමින් ද ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීම වලක්වාලීමට "කල හැකි සෑම දෙයක් ම කරන” බවට යලි අවධාරනය කරමින් ද ජනාධිපති ඔබාමා කල යුදවාදී රාජාසන කතාවෙන් යන්තම් දින කිහිපයකට පසුව ය. ලිපිය පල වූ දිනම, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා සීබීඑස් රූපවාහිනියේ "60 මිනිට්ස්” වැඩසටහනේ පෙනී සිටිමින්, වසරක් තුල ඉරානය න්‍යෂ්ටික අවියක් තනනු ඇතැයි නිර්භීතව ප‍්‍රකාශ කලේය.

නුදුරු අනාගතයේ දී ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පක්ෂව හා විපක්ෂව ඊස්රායල සංස්ථාපිතය තුල සිටින කොටස් දැක්වූ අදහස් ටයිම්ස් ලිපිය උපුටා දක්වා තිබුනේ, එවන් ප‍්‍රහාරයකට විරුද්ධ අයට වඩා පක්ෂ අයගේ අදහස්වලට වැඩි බරක් දෙමිනි. ඉරානය න්‍යෂ්ටික ආයුධ තැනීමේ වැඩපිලිවෙලක් දියත් කර ඇතැයි ද අවශ්‍ය නම් මිලිටරි විධික‍්‍රම මගින් හෝ එය වැලැක්විය යුතු යයි ද ඊස්රායලය, එක්සත් ජනපද හා යුරෝපා බලවතුන් ඉදිරිපත් කරන පොදු තර්කය, ලිපිය අවිවේචනාත්මකව පිලිගනී. "අපගේ පිලිවෙත වන්නේ, ඒ හෝ මේ ආකාරයෙන්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල නතර කල යුතු ය යන්නයි” යනුවෙන් ඊස්රායල උප අගමැති හා මූලෝපායික කටයුතු පිලිබඳ ඇමති මෝෂේ යාලොන් කල ප‍්‍රකාශයක් එය උපුටා දක්වයි.

ඊස්රායලයේ මෙම ප‍්‍රකාශය ඉරානයට එරෙහිව සූදානම් කෙරෙනු ලබන යුද්ධයේ මුලුමනින්ම සාපරාධී ස්වභාවය අවධාරනය කරයි. දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාවක් නීති විරෝධීව පවත්වා ගෙන යන, න්‍යෂ්ටික අවි පතුරුවාලීම වැලැක්වීමේ ගිවිසුමට අත්සන් තබා නැති ඊස්රායලය, එම ගිවිසුමට අත්සන් කර ඇති, සිය න්‍යෂ්ටික වැඩපිලිවෙල සිවිල් ව්‍යාපෘතියක් බවත් එබැවින් එයට ජාත්‍යන්තර නීතිය යටතේ අවසර ඇති බවත් අවධාරනය කරන, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල විනාශ කිරීමට තමන්ට අයිතියක් ඇතැයි ප‍්‍රකාශ කරයි. එක්සත් ජනපදයේ, ඊස්රායලයේ හා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සගයන්ගේ සියලු උපරිම ප‍්‍රයත්නයන් තිබිය දී ම, ඉරානය, තථ්‍ය වසයෙන්ම, න්‍යෂ්ටික අවි තැනීමේ ප‍්‍රයත්නයක යෙදෙන බවට ඔවුන් කරන කියාපෑම් සාක්ෂ්‍ය මගින් තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමානුක බල ඒජන්සිය අපොහොසත්ව ඇත.

ඉරානයේ න්‍යෂ්ටික අවි පිලිබඳ යුද්ධ හේතුක සිද්ධියට ඇත්තේ, ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධ හා වාඩිලාගැනීම් යුක්තියුක්ත කිරීමට යොදා ගැනුනු ඉරාකයේ මහා ජනනාශක අවි හෝ අල් කයිඩාවට එරෙහි ශුද්ධ යුද්ධය පිලිබඳ කියාපෑම්වලට හෝ ලිබියාවේ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා ගෙන ගිය විජිතවාදී යුද්ධයේ දී යොදා ගැනුනු "සිවිල් වැසියන් ආරක්ෂා කිරීම” පිලිබඳ කඩතුරාවට හෝ නොඅඩු විශ්වාසනීයත්වයකි.

එක්සත් ජනපදයේ හා ඊස්රායලයේ සැබෑ යුද අරමුනු බැඳී ඇත්තේ, මැද පෙරදිග තුල සිය මිලිටරි ආධිපත්‍යය පවත්වාගෙන යාමේ ඊස්රායලයේ පරිශ‍්‍රමය ද ලෝකයේ තෙල් සම්පත් මත සිය ඒකාධිකාරය ගොඩනැගීමේ සහ සිය ප‍්‍රධාන ප‍්‍රතිවාදීන්ගේ ආර්ථික හා භූ-දේශපාලනික තත්වය දුර්වල කිරීමේ වොෂිංටනයේ ව්‍යායාමය ද සමග ය. එක්සත් ජනපදයේ එවන් ප‍්‍රතිවාදීන් අතරින් චීනය අනාගත මිලිටරි ආක‍්‍රමනයක ඉලක්කය ලෙස වඩවඩා මතු වෙමින් පවතී.

ටයිම්ස් පත‍්‍රය ද එක්සත් ජනපදයේ සමස්ත මාධ්‍ය හා දේශාපාලන සංස්ථාපිතය ද මුලුමනින්ම සාපරාධිත්වය -- එනම්, ආක‍්‍රමනික යුද්ධය, වධබන්ධන, ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් වීම් ආදිය -- මත පදනම් වූ විදේශ පිලිවෙතක් කොතෙක් දුරට වැලඳගෙන ඇති ද යන වග එහි ලිපිය මගින් පෙන්නුම් කෙරෙයි.

"කීර්තිමත් පුවත්පතේ” එල්ලය වන්නේ, මිලියන 74ක ජනගහනයක් සහිත රටක ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලිගත හැකි සහ ඊස්රායලයට පමනක් නොව එතෙර මෙතෙර එක්සත් ජනපද ඉලක්කවලට ද එරෙහි ඉරානයේ ප‍්‍රතිප‍්‍රහාරයක අවදානම ද සහිත එමෙන් ම සිරියාව, ලෙබනනය, ඊජිප්තුව, ගල්ෆ් රාජ්‍යයන්, රුසියාව හා චීනය ද අලලා ගන්නා යුද්ධයක් යුක්තියුක්ත කිරීම සහ එවන් යුද්ධයක ව්‍යසනය අවතක්සේරු කිරීම ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රයේ අභ්‍යන්තර කුනුවීම ද ඇමරිකානු පාලක ප‍්‍රභූව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී විඥානයක් මුලුමනින්ම පාහේ නැතිකම ද එමගින් පැහැදිලිව එලිදරව් කෙරෙයි.

නැගෙනහිර පිහිටි සිය අසල්වැසි රාජ්‍යයන් යටත් කරගැනීමට තුන් වන රයිකයට බල කරන ස්වයං-ආරක්ෂාව පිලිබඳ කරුනු සන්සුන් ලෙස විදහා දක්වමින්, පෝලන්තයේ නාසි ආක‍්‍රමනයට ක්ෂනිකව පෙරාතුව ජර්මානු පුවත්පත්වල පල වූ මීට සමාන ලිපි ගැන කෙනෙකුට සිතා ගත හැකිය.

රට තුල හෝ විදේශයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම පිනිස ඇමරිකානු පාලක පන්තිය තුල මොන යම් හෝ සහයෝගී පදනමක් පැවතියේ නම් එය ඛාදනය වීම, සමාජ අසමානතාවයේ අතිමහත් වර්ධනය හා පන්ති ආතතීන්ගේ වැඞීම තුල ප‍්‍රථමව ද ප‍්‍රමුඛව ද එලිමහනට පැමින ඇති, ඇමරිකානු ධනවාදයේ අර්බුදයේ ප‍්‍රකාශනයකි.

ජාත්‍යන්තර තලයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පැනනැගීම එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශ කිරීම ද කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇද දැමීම ද සමග එකට ගමන් කරයි. ආඥාදායකත්වය හා ලෝක යුද්ධය දෙසට යන රූටායාම නතර කල හැකි එකම සමාජ බලවේගය ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

බැරී ග්‍රේ

Share this article: