සීඅයිඒ ඩ්‍රෝන් ප‍්‍රහාරක යානා සහන සේවකයන්, අවමංගල උත්සවයන්ට සහභාගි වූවන් ඉලක්ක කරයි

CIA drones target rescue workers, mourners

7 February 2012

එක්සත් ජනපදයේ මධ්‍යම ඔත්තු සේවය (සීඅයිඒ), පකිස්ථානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල කැරලිකරුවන්ට ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව සහන සේවකයන් හා අවමංගල පෙරහැරවල් හිතාමතාම ඉලක්ක කොට තව දුර ප‍්‍රහාර එල්ල කර ඇතැයි ලන්ඩන්-පාදක විමර්ශන මාධ්‍යවේදී කාර්යංශය (බීඅයිජේ) නිකුත් කල වාර්තාවක් එලිදරව් කර තිබේ. මෙම හෙලිදරව්ව එම කන්ඩායමේ වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කරන ලද අතර එය ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පත‍්‍රයේ ද පල කර ඇත.

බි‍්‍රතාන්‍ය හා පකිස්ථාන මාධ්‍යවේදීන් ඇතුලත් මෙම සංවිධානයට අනුව, ආරම්භක සීඅයිඒ ඩ්‍රෝන් ප‍්‍රහාරයකට ගොදුරුවූවන්ට උදව් කිරීමේ උත්සාහයක යෙදී සිටින අතරතුර එල්ල වූ පසු ප‍්‍රහාරයක දී අඩු ගනනේ සිවිල් වැසියන් 50ක් වත් ඝාතනය විය. ඩ්‍රෝන් ප‍්‍රහාරවලට ගොදුරුවූවන්ගේ අවමංගල උත්සවලට එරෙහි මිසයිල ප‍්‍රහාරවලින් තවත් දුසිම් ගනනක් මරනයට පත් වුනි.

සමස්තයක් වසයෙන් ගත් කල, "මීට වසර තුනකට පෙර ඔබාමා බලයට පත් වූ දා පටන් මේ වන තෙක්, ලමුන් 60කට වැඩි සංඛ්‍යාවක් ඇතුලු, සිවිල් වැසියන් 282 සිට 535 අතර ප‍්‍රමානයක් ඝාතනයට ලක් වූ බවට විශ්වාසනීය වාර්තා පවතින” බවට බීඅයිජේ සොයා ගෙන ඇත. පකිස්ථාන නිලධාරින් සහ මානුෂීය ආධාර සේවකයන් පකිස්ථානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල මරන සම්බන්ධයෙන් ඊට වඩා ඉහල සංඛ්‍යාවන් -- සිය ගනන් තරම් ඉහල අගයන් -- වාර්තා කර තිබේ.

වාර්තාවේ විස්තර කර තිබෙන ජන ඝාතන පිලිබඳ සිද්ධීන්වලට මේවා ඇතුලත්ය:

2009 මැයි 16: එක්සත් ජනපද ඩ්‍රෝන් මිසයිලයක් ඛයිසෝර් ගම්මානයේ තලිබාන් සටන්කාමින් කන්ඩායමකට පහර දීමෙන් දුසිමක් තරම් සංඛ්‍යාවක් ඝාතනය විය. ගම්වැසියන් සුන්බුන් හාරමින් මල සිරුරු ඉවත් කරමින් සිටින විට, තවත් මිසයිල දෙකක් එල්ල වූ අතර එයින් මරන සංඛ්‍යාව අඩු ගනනේ 29 දක්වා ඉහල දැමුනි.

2009 ජූනි 23: සීඅයිඒ මිසයිල ප‍්‍රහාරයක් පකිස්ථානයේ තලිබාන් අන දෙන නිලධාරියකු වූ ඛ්වාස් වලි මෙහ්සුද් හා ඔහුගේ සගයන් පස් දෙනෙකු මරා දැමීය. එදින ම පැවති ඔහුගේ අවමංගල්‍යයට 5,000කට වැඩි ජනකායක් සහභාගි විය. එක්සත් ජනපද ඩ්‍රෝන් යානා යලිත් පහර දී ලමුන් 10ක් ඇතුලු, තවත් 83ක් තරම් මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කලේය.

2011 මැයි 17: ලාහෝර් නගරයේ දී පකිස්ථානුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා මාස දෙකක් තිස්සේ සිරභාරයේ සිටි රේමන්ඩ් ඩේවිස් නම් සීඅයිඒ කොන්ත‍්‍රාත්කරු පකිස්ථානය විසින් නිදහස් කරනු ලැබීමෙන් පසු දින, සීඅයිඒ ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාරයක් උතුරු වසිරිස්ථානයේ 42ක් ඝාතනය කලේය. පකිස්ථාන මිලිටරි නිලධාරියකු පැවසූ පරිදි ප‍්‍රහාරය එල්ල කෙරුනේ තලිබාන් රැස්වීමකට නොව ඉඩම් අයිතිය පිලිබඳ මතභේදයක් ගැන සාකච්ඡා කිරීමට කැඳවන ලද ගෝති‍්‍රක රැස්වීමකට ය.

ජාත්‍යන්තර නීතිය පිලිබඳ විශේෂඥයන් මෙම පසු ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර යුද අපරාධ ලෙස ගුනාංගීකරනය කර තිබේ. ගුවන්තනාමො බේ කඳවුරේ රඳවා ගෙන සිටි අහිංසකයන් බොහෝ දෙනෙක් නිදහස් කරගැනීම පිනිස සටන් වැද ඇති ක්ලිව් ස්ටැෆර්ඩ් ස්මිත් බීඅයිජේ සමග කියා සිටියේ, ඩ්‍රෝන් ප‍්‍රහාර "යුද බිමේ දී රතු කුරුස සංවිධානයට පහර දීමක් වැනි” කි‍්‍රයාවක් බවයි. "සටනේ යෙදී නොසිටින කිසිවෙකුට හෝ පහර දීම නීතියුක්ත නොවේ.”

අධිකරන කි‍්‍රයාමාර්ගවලින් බාහිර මරන දඬුවම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කි‍්‍රස්ටොෆ් හේන්ස් බීඅයිජේ සංවිධානයට මෙසේ පැවසීය: "වෛද්‍ය කන්ඩායම් එම භූමියේ සිටින කල පැය භාගයකට පසුව යලි ප‍්‍රහාර එල්ල වූ බවට කෙරෙන චෝදනා අතිශයින් ම සිත් කලකිරවන සුලුය. සිවිල් වැසියන් ඉලක්ක කිරීම යුද අපරාධයකි.”

ආරම්භක ප‍්‍රහාරයකට ගොදුරුවූවන්ගේ උදව්වට එන ජනයා දවා හලු කරන පරිදි පසු ප‍්‍රහාර සැලසුම් කිරීම මගින්, සීඅයිඒ සංවිධානය යොදාගෙන ඇත්තේ, ඉරාක යුද්ධය තුල දී කැරලිකරුවන් විසින් සිදු කරනු ලැබූ කල එක්සත් ජනපද නිලධාරින් "ත‍්‍රස්තවාදය” ලෙස යලියලිත් හෙලා දැක ඇති උපායකි. එවන් ප‍්‍රහාර එල්ල කරනු ලබන්නේ, සිවිල් ජනයා මත උපරිම ජීවිත හානියක් පතිත කිරීමට හිතාමතා දරන උත්සාහයක් ලෙස ය.

ඔබාමා පාලනාධිකාරය බීඅයිජේ වාර්තාව මගින් බලවත් අපහසුතාවට පත්ව ඇත. එය පැමිනියේ, "ඩ්‍රෝන් ප‍්‍රහාර සිවිල් මරන විශාල සංඛ්‍යාවක් සිදු කර නැති” බවට, ඔබාමා යූ ටියුබ් සාකච්ඡාවක දී කල බොහෝ ප‍්‍රසිද්ධියක් ලබා දුන් ප‍්‍රකාශයකින් යන්තම් දින කිහිපයකට පසුවය. "කි‍්‍රයාකාරී ත‍්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ සිටින අය ඉලක්ක කර ගැනුනු, ඔවුන් වෙත යොමු වු ප‍්‍රයත්නයක්” ලෙස ඔහු එම ප‍්‍රහාර හැඳින්වීය.

නිව් යෝර්ක් ටයිම්ස් මෙම එලිදරව්ව පිලිබඳ සිය වාර්තාවේ "ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ත‍්‍රස්ත-විරෝධී නිලධාරියෙකු” උපුටා දැක්වීය. පකිස්ථානය තුල එක්සත් ජනපද ජන ඝාතනයේ යථාර්ථය එලිමහනට ගෙන ආ අය "මෙම ප‍්‍රයත්නයන්ට මඩ ගැසීම හා අල් කයිඩා සංවිධානයේ සාර්ථකත්වයට උදව් දීම හැර අන් යමකට කැමති නැති උදවිය” බවට ඔහු චෝදනා කරයි.

ඔවුන් අල් කයිඩා සංවිධානයට ආධාර හා අනුබල දෙන බවට චෝදනා කරන, මෙම ප‍්‍රකාශය, එම විමර්ශනයට සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ටත් ඔවුන්ට තොරතුරු සැපයූ අයටත් එරෙහි මරන තර්ජනයකට සමාන ය. නිලධාරියාගේ නම හෙලිදරව් නොකොට ඔහුගේ ප‍්‍රකාශය උපුටා දැක්වීම මගින්, ටයිම්ස් පත‍්‍රය මත් එමගින් ඇඟවෙන පලිගැනීමේ ප‍්‍රයත්නය සමග සහයෝගී වී තිබේ.

විමර්ශන මාධ්‍යවේදී කාර්යංශයේ වාර්තාව, ඔබාමා පාලනාධිකාරයේ, පෙන්ටගනයේ හා සීඅයිඒ සංවිධානයේ ඉහල නිලධාරින් ජාත්‍යන්තර අධිකරනයක් ඉදිරියේ යුද අපරාධකරුවන් ලෙස නඩු විභාගයකට ලක් කල යුතු බවට, තව දුර සාක්ෂ්‍යයකි.

ඩ්‍රෝන් මිසයිල් ප‍්‍රහාරවල දී සිදු කෙරුනු ජන ඝාතන ව්‍යාතිරේඛයක් නොවේ. ඒ වෙනුවට එමගින් පෙන්නුම් කෙරෙන්නේ, දැන් එකලොස්වන වසරට එලඹ ඇති ඇෆ්ඝනිස්ථානය හා පකිස්ථානය තුල එක්සත් ජනපද මැදිහත්වීමේ සාරය යි. එක්සත් ජනපදයේ මිලිටරි/ඔත්තු යන්ත‍්‍රය, සිය නැටෝ සගයන්ගේ පිටුබලය සහිතව, දේශ සීමාව දෙපසම පීඩිත ජනයාට එරෙහිව ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී යුද්ධයක යෙදී සිටී.

ඇෆ්ඝනිස්ථානයෙන් හා පකිස්ථානයෙන් සියලු එක්සත් ජනපද හා නැටෝ හමුදා, ඔත්තු සේවා නිලධාරින් හා මිලිටරි කොන්ත‍්‍රාත්කරුවන් වහාම ඉවත් වන ලෙස ද අනාරක්ෂිත හා අහිංසක ජනයා මත මරනය හා විනාශය කඩාපාත් කිරීමේ එක්සත් ජනපද පිලිවෙත නතර කරන ලෙස ද එක්සත් ජනපදයේ හා ලොව වටා වැඩ කරන ජනතාව ඉල්ලා සිටිය යුතු ය.

පැටි‍්‍රක් මාටින්

Share this article: