සිරියාව සහ ලෝක යුද්ධයේ බීජ

Syria and the seeds of world war

8 February 2012

සිරියාව තුල මැදිහත් වීම සඳහා මගපාදන එක්සත් ජාතීන්ගේ යෝජනාවකට එරෙහිව රුසියාව හා චීනය නිෂේධ බලය පාවිච්චි කිරීම එක්සත් ජනපදයේ සහ එහි අධිරාජ්‍යවාදී සගයන්ගේ කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් අවුලුවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ව්‍යාපෘතියට ලෝක පරිමාන අනුමැතියක් ඉල්ලා සිටින "මානව හිමිකම්" කප්පිත්තන්ගේ ප්‍රධාන නියෝජිතයෙකු වන, සුසාන් රයිස් නිෂේධ බලය පාවිච්චි කල රාජ්‍ය නියෝජිතයන් "ලජ්ජා සහගත හා පිලිකුල් සහගත" පුද්ගලයන් ලෙස හංවඩු ගැසූ අතර " එය ඔවුන්ට කල් පසුවීමේ දී, කනගාටු වීමට සිදු වන තීන්දුවක් වනු ඇත" යි තර්ජනය කලේ ය.

ඡන්දය එක්සත් ජාතීන්ගේ සංවිධානය "උදාසීන කල" විකෘති උල්ලංඝනයක්" බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ සංගමයේ භාරකාරත්වයක් තුලින් අවුරුදු 25ක කාලයක් යටත් විජිත පාලනයක් පවත්වාගෙන ගිය රටක තමන්ගේ අධිරාජ්‍යවාදී අරමුනු හඹායාමේ දී අනෙකාට පරදින්නට අකැමැති ප්‍රන්සය ද වහා සමාන රනකාමී ප්‍රතිචාරයක් දැක්වී ය. නිෂේධ බල ද්විත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය මත "සදාචාරාත්මක" පැල්ලමක් තැබූ බව ප්‍රන්ස විදේශ ඇමති ප්‍රකාශ කල අතර රුසියාව හා චීනය "පස්ස පැත්තට පයින් ගැසීමට" සුදුසු රටවල් ලෙස ආරක්ෂක ඇමති විස්තර කලේ ය.

දහස් ගනන් සිවිල් ජනයා ඝාතනය කරමින්, ලෙබනනයේ, ගාසා හි හා බටහිර ඉවුරේ අනාරක්ෂිත ජනතාවට එරෙහිව එය යුද වදිද්දී කලාපය තුල එහි ප්‍රධාන සගයා වන ඊස්රායලය විසින් සිදුකල බලහත්කාරී ප්‍රචන්ඩ ක්‍රියාවන් හෙලා දකිමින් ඉදිරිපත් කල යෝජනාවන්වලට විරුද්ධව එක්සත් ජනපද නියෝජිතයන් නැවත නැවතත් නිෂේධ බලය පාවිච්චි කරන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය "උදාසීන කිරීම" ගැන එවන් උත්සුකතාවයන් ප්‍රකාශයට පත් වීමක් හෝ "සදාචාරාත්මක පැල්ලම්" ගැන අසන්න ලැබුනේ නැත.

සදාචාරත්වය හෝ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙහි මොන ම අදාලත්වයක් වත් නැත. වොෂින්ටනයෙන් හා යුරෝපයේ අගනගරවලින් කෝපය ප්‍රකාශයට පත් වුයේ ස්වකීය මෙන් ම මුල්‍ය ප්‍රභූවේ උත්සුකතාවයන්ට අනුකූල ලෙස ලෝකය ප්‍රතිසංවිධානය කිරීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මුලෝපාය පිටු පසින් පෙල ගැසීමට මොස්කෝව සහ බෙයිජිනය අසමත් වීම පිලිබඳව ය.

එක්සත් ජනපද මූලිකත්වයෙන් අවධාරනය කෙරෙන "මුලධර්ම" එනම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වරදකරුවන් ලෙස ඔවුන් සිතන පූර්ව යටත් විජිත රටවල ආන්ඩුවලට මැදිහත් වීමට හා ඒවා බලයෙන් පහ කිරීමට අයිතියක් ඇතැයි ප්‍රධාන අධිරාජ්‍ය බලයන් සිතීම මුලුමනින් ම ජාත්‍යන්තර නීතියට පටහැනි ය. අන් සෑමදෙයක දී මෙන්ම, වැඩේ කරගෙන යාමේ දී ඇමරිකානු මුල්‍ය කතිපයාධිපතියෝ තමන්ට උවමනා ආකාරට ය නීති සකසා ගනිති.

රුසියාවේ හා චීනයේ ආන්ඩුවල හේතු දැක්වීම සැහෙන දුරට අවංකය. ඉරානය හා සිරියාව -දෙකම මොස්කෝවේ හා බෙයිජිනයේ ප්‍රධාන වෙලඳ සහ මුලෝපායාත්මක පාර්ශව කරුවෝය-ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩ රාජ්‍ය බවට පරිවර්තනය කිරීම අරමුනු කරගෙන අතොරක් නැති කලහකාරී ව්‍යාපාරයක් ගෙනයාමේ දී ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්බන්ධ කප්පිත්තෙකු ලෙස එක්සත් ජනපදය යලි බොරු රඟ පෑමක යෙදෙන බව ඔව්හු දකිති.

රුසියාව සම්බන්ධයෙන් ගත් කල පරදුවට තැබී ඇත්තේ ඩොලර් බිලියන ගනනින් වන අවි කොන්ත්‍රාත්, මධ්‍යධරනී මුහුදේ තිබෙන එකම වරාය එහි නාවික හමුදාවේ ප්‍රයෝජනයට යොදා ගැනීමට පවතින අවසරය හා ආයෝජනය කර ඇති තවත් දහස් සංඛ්‍යාත ඩොලර් බිලියන සමග අරාබි ලෝකයේ එයට සිටින එක් මිතුරෙකු අහිමි වීමය. ඊට වඩා අඩු වුව ද, චීනයට ද ඒ හා සමාන උත්සුකතාවයන් සිරියාව තුල තිබේ. කෙසේ නමුත්, ඉරාන ආන්ඩුව -චීනයේ ප්‍රධාන බලශක්ති සපයන්නා- පෙරලීම අරමුනු කර ගත් හා පර්සියානු ගල්ෆ් ප්‍රදේශයේ සිට කැස්පියන් ද්‍රෝනිය දක්වා විහිදෙන තෙල් සම්පත්වලින් ආඪ්‍ය මූලෝපායාත්මකව වැදගත් මුලු කලාපය ම ස්ථීරව ම එක්සත් ජනපදයේ අනසක යටතට ගැනීමේ විසාල ව්‍යාපාරයක කොටසක් ලෙස සිරියා ආන්ඩු වෙනසක ඉලක්කයක් බවට පත්ව තිබේ.

මෙම අධිරාජ්‍යවාදී අරමුනු අත්කර ගැනීමේ ක්‍රියා පිලිවෙල දැන් කාටත් හුරුපුරුදු ය. එක්සත් ජනපදය හා එහි සගයන් රට තුල සිවිල් යුද්ධය ප්‍රවර්ධනය කිරීමෙන් පසුව ඉලක්ක කර ගත් ආන්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව හෙලා දැක, අනතුරුව ඉන් ඇති කෙරෙන අනිවාර්ය මර්දනය මැදිහත් වීම සඳහා නිමිත්තක් ලෙස උපයෝගි කර ගනියි.

සිවිල් ජනයා ආරක්ෂා කිරීමට යයි කියමින් තහනම් පියාසර කලාපයක් බලාත්මක කරන යෝජානාවකට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීමට අසමත් වෙමින් රුසියාව සහ චීනය ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකුනු පසු ලිබියාව සම්බන්ධයෙන් සාර්ථකව ක්‍රියාවට දැමු සුත්‍රය වූයේ මෙයයි. ලිබියාව මත අනවරත බෝම්බ හෙලීමට සම්බන්ධ වෙමින් විජිත ආක්‍රමනයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධයක් සඳහා බොරු නීතිමය පිනුම් පිත්තක් ලෙස මෙම යෝජනාව ගසා කෑවේ ය.

සුඩෙටන් සද්කෝපය ජර්මානුවන්ට එරෙහිව චෙකොස්ලොවැකියාව කලැයි කියන අපරාධ කෙරෙහි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කෝපාවිෂ්ට හැගීම් තරමට ම අවංකභාවයක් ඔබාමා, ක්ලින්ටන්, රයිස් හා සෙසු අය විසින් ප්‍රකාශිත "මානව හිමිකම්" පිලිබඳ මනෝගතීන්ට ද තිබේ.

එහෙත් ඒවා වැදගත් දේශපාලන ක්‍රියාකාරිත්වයකට සේවය කරති. බුෂ් පරිපාලනය යටතේ එය වැලඳගෙන සිටි යුද විරෝධී මවා පෑම් අත හැර ඇති හා ඔබාමා යටතේ කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධයට බෙහෙවින් ආබද්ධව සිටින හිටපු වම්මුන්ගේ හා මධ්‍යම පන්තියේ වඩාත් පොහොසත් කොටස්වල -ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ඡන්ද දායකය- සාමාජිකයන්ගේ සමස්ත සමාජ ස්තරයක් හරහා මානව හිමිකම් කුරුස යුද්ධය මාධ්‍යය බවට පත්ව තිබේ.

"සමස්ත ලෝකයම" ඉරානයට විරුද්ධව පෙල ගැසී ඇති බවත් රටේ න්‍යෂ්ටික වැඩ පිලිවෙලට පහර දීමේ දී "ඊස්රායලය මූලිකත්වය ගනු ඇතැයි හැම දෙනෙකුම අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කිරීමට එන්බීසි යේ "ටුඩේ" වැඩසටහනට අඟහරුවාදා උදේ සම්බන්ධ වූ එම්එස්එන්බී ප්‍රවෘති වැඩසටහනේ අනුග්‍රාහක රචෙල් මඩොව් මෙම ස්තරය සම්බන්දයෙන් මනා උදාහරනයකි.

මඩොව් සහ ඇයගේ ඒ වර්ගයේ මිතුරන්ගේ "සමස්ත ලෝකය" අන්තර්ගත වන්නේ එක්සත් ජනපදය හා බටහිර යුරෝපයෙන් වන අතර, මැද පෙරදිග තවත් ලේවැකි යුද්ධයකට විරුද්ධ වන ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත වැඩකරන ජනයා ගැන සඳහන් නොකලත් අනුමාන කල හැකි පරිදි ආසන්න වස‍ෙයන් මිහිතලයේ ජන ගහනයෙන් අඩක් පමන සිටින රුසියාව, චීනය හා ඉන්දියාව එයින් ඉවත් කෙරෙයි.

එක්සත් ජනපදය හා එහි සගයන් විසින් යොදා ගනු ලබන භාෂාව සහ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමීම යන දෙකම 1914 හා 19ට පෙරාතු කාල පරිච්ඡේදයන් ගුනාංගීකරනය කල විධික්‍රමයන් දෝංකාර දෙයි. ප්‍රගාඪ ලෝක ධනවාදී අර්බුදයක කොන්දේසි යටතේ මානව වර්ගයා යලි වතාවක් ලෝක යුද්ධයේ තර්ජනයට මුහුන දෙයි. මෙම තර්ජනයට පිලිතුරු දිය හැකි එකම සමාජ බලවේගය වන්නේ, සමාජවාදී වැඩපිලි‍ෙවලක් මත යුද්ධයේ මූලය වන ධනපති ක්‍රමය අවසන් කිරීමට බලමුලු ගන්වන ලද කම්කරු පන්තියයි.

බිල් වැන් ඕකන් විසිනි

Share this article: