එක්සත් ජනපද-චීන ආතතීන් මගින් ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව දෙකට ඉරා දැමේ

Australian government torn apart by US-China tensions

25 February 2012

ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව හා ලේබර් පක්ෂය දෙකට ඉරා දමමින් තිබෙන අතිඅසාමාන්‍ය දේශපාලන අර්බුදය, අගමැතිනි ජුලියා ගිලාර්ඩ් සහ හිටපු විදේශ ඇමති කෙවින් රඩ් අතර නායකත්ව තරගයක් සමග, සඳුදා අතිශය උච්චස්ථානයකට පැමිනීමට නියමිත ය. කෙසේවෙතත්, මාධ්‍ය තුල, මෙම අතිමූලික භේදය චිත‍්‍රනය කෙරෙන්නේ, අද ඕස්ටේ‍්‍රලියන් පත‍්‍රයේ කතුවැකියේ වචනවලින් කියතොත්, "ප‍්‍රතිපත්ති පිලිබඳව හෝ ජාතික අවශ්‍යතා සම්බන්ධ කාරනාවක් නොව... අතීතයේ සුලු දබර, ප‍්‍රතිවිපාක සමග ගැටෙන පලිගැනීම් හා පෞරුෂත්ව දේශපාලනය පිලිබඳ කාරනාවක්” ලෙස ය.

වෙනත් වචනවලින් කියතොත්, නායකත්ව පොරය තුල රඩ්ගේ හා ගිලාර්ඩ්ගේ ආධාරකරුවන් විසින් සිය විරුද්ධවාදීන්ට එරෙහිව, පශ්චාත්-යුද කාලීන ඕස්ටේ‍්‍රලියානු දේශපාලන ඉතිහාසය තුල පෙර නොවූ විරූ මට්ටමකින් මුදා හැර තිබෙන වෛරයට, අතිමූලික ප‍්‍රතිපත්තිමය මතභේද සමග කිසිදු සම්බන්ධයක් නැත. පසුගිය ශත වර්ෂය මුලුල්ලේ සෑම ප‍්‍රධාන අර්බුදයක දී ම ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය පිහිට පතා වාරු වී ඇති, රටේ පැරනිතම පක්ෂය ද වන, ලේබර් පක්ෂය, පුද්ගලයන් දෙදෙනෙකුගේ උද්දච්ච අභිලාෂයන් හේතු කොටගෙන ඇතුලතින් පුපුරා ගොස් ඇතැයි කියනු ලැබේ.

සිද්ධීන් පිලිබඳ මෙම විස්තරය හුදු විකාරයකි.

මූලිකව ගත් කල, ගැටුමේ යටින් පවතින හේතු, දේශීය දේශපාලන ක්ෂේත‍්‍රය තුලින් සොයා ගත නොහැකි ය. රඩ් හා ගිලාර්ඩ් යන දෙදෙනා ම මූල්‍ය ප‍්‍රාග්ධනය ඉල්ලා සිටින කප්පාදු න්‍යාය පත‍්‍රයට කැප වී සිටින අතර කම්කරු පන්තියට එරෙහිව අවශ්‍ය ප‍්‍රහාරය කි‍්‍රයාවට දැමීම සඳහා පවත්නා හොඳම උපකරනය ලෙස මහ ව්‍යාපාරිකයන් හමුවේ තමන්ව ඉදිරිපත් කර ගැනීමේ යෙදී සිටිති.

ඒ වෙනුවට, ලේබර් පක්ෂයේ වත්මන් දෙකට ඉරීයාම බැඳී ඇත්තේ චීනය සමග ඔබාමා පාලනාධිකාරයේ වැඩෙන ගැටුම මත කේන්ද්‍රගත වූ බලගතු භූ-දේශපාලනික ප‍්‍රතිවාදිත්වයන් සමග ය. ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය මෙම සුලිය තුලට ඇදගනු ලැබ ඇත්තේ, එක අතකින් එය චීනය මත මහත් ලෙස ආර්ථිකව රඳාපැවතීමත් අනෙක් අතට එක්සත් ජනපදය සමග එයට පවත්නා මිලිටරි සන්ධානය මත එහි භූ-දේශපාලනික රඳාපැවැත්මත් මගින් මතු කෙරෙන දිගු කාලීන උභතෝකෝටිකය ඕස්ටේ‍්‍රලියාව හමුවේ කෙලින්ම මතු කරමිනි.

රඩ් 2010 ජූනි මස දී අගමැති තනතුරෙන් ඉවත් කරන ලද්දේ, වොෂිංටනය සමග සමීප සබඳතා පැවති කාන්ඩමික නායකයන් අතලොස්සක් විසින් එක රැයකින් සිදු කරන ලද පක්ෂ-අභ්‍යන්තර කුමන්ත‍්‍රනයකිනි. එම අවස්ථාව වන විට, ඔබාමා මැද පෙරදිග සිට, චීනයේ පුලුල් වන ආනුභාවයට වල කැපීමේ එල්ලය ඇතිව, ආසියාව තුල ආක‍්‍රමනික රාජ්‍යතාන්ති‍්‍රක හා මූලෝපායික මැදිහත්වීමක් දෙසට, සිය විදේශ පිලිවෙතේ "පැද්දීම” ආරම්භ කර තිබුනා පමනි.

රඩ් සිය දිශාවනතියට බාධාවක් ලෙස ඔබාමා පාලනාධිකාරය සැලකීය. ඒ ඔහු මොන යම් විධියකින් හෝ එක්සත් ජනපද- ඕස්ටේ‍්‍රලියානු සන්ධානයට තර්ජනයක් වූ නිසා නොවේ. අවසානයේ දී චීනය සමග එක්සත් ජනපදයේ යුද්ධයක් සිදු විය හැකි බව හඳුනාගෙන ඇති "දරුනු යථාර්ථවාදියකු” ලෙස ඇමරිකානු නිලධාරින්ට තමන් ගැන ඔහු විස්තර කල බව දක්වන විකිලීක්ස් කේබල පනිවිඩයක් එයට සාක්ෂ්‍ය දරයි.

කෙසේවෙතත්, රඩ් දක්ෂ සාකච්ඡා හා රාජ්‍යතාන්ති‍්‍රක සමුලු පැවැත්වීම මගින් එක්සත් ජනපදයේ හා චීනයේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ප‍්‍රතියෝජනය කල හැකි කලාපීය සංසදයක් නිර්මානය කිරීමට යෝජනා කලේය. මෙය ඔබාමාගේ අභිප‍්‍රායට එරෙහිව ගියේය. ඔහුගේ අභිප‍්‍රාය වූයේ ආතතීන් සමනය කිරීම නොව, ඉන්දු-පැසිෆික් කලාපය ඔස්සේ චීනය මත පීඩනය උත්සන්න කිරීම යි. ඔහුට අවශ්‍ය වූයේ කැන්බරාහි රාජ්‍යතාන්ති‍්‍රක අතරමැදියකු නොව, ස්ථිරසාර කීකරු සගයෙකි.

වසර දෙකකට ආසන්න කලකට පසුව, එක්සත් ජනපද-චීන ආතතීන් නාටකාකාර ලෙස උත්සන්න වී ඇත. ගිලාර්ඩ් ඔබාමාගේ සෑම මූලිකත්වයකට ම නිහීන ලෙස සහයෝගය දීම මගින් තමන්ගේ වටිනාකම ඔප්පු කර තිබේ. මැද පෙරදිග හා අපි‍්‍රකාවේ සිට එන බල ශක්ති හා අමු ද්‍රව්‍යවලට චීනය ප‍්‍රවිෂ්ට වන අතිශයින්ම සංවේදී මුහුදු මාර්ගවලට යාබදව පිහිටි, රටේ උතුරු හා බටහිර ප‍්‍රදේශවල පිහිටි ඕස්ටේ‍්‍රලියානු මිලිටරි කඳවුරුවලට ප‍්‍රවිෂ්ට වීමේ හැකියාව එක්සත් ජනපද මැරයින් හමුදා ඇතුලු එක්සත් ජනපද මිලිටරියට ලබා දෙන බවට ඇය පසුගිය නොවැම්බරයේ දී නිවේදනය කලාය.

විදේශ ඇමති ලෙස, රඩ්, ලිබියාව තුල නැටෝ මිලිටරි මැදිහත්වීම ඇතුලු, අනේක විධ කාරනා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ පිලිවෙත අනුව කටයුතු කොට තිබේ. එහෙත්, "එක්සත් ජනපද හා චීන බලයේ යථාර්ථයන් හඳුනාගන්නා, පොදු ආරක්ෂාවේ මූලධර්ම මත අවසානයේ පාදක වනු ඇති සාමයක්” යනුවෙන්, ජනවාරියේ වොෂිංටනයේ දී ආසියානු සමාජය හමුවේ, ඔහු පැවසූ පරිදි, රඩ් ජාත්‍යන්තර සමුලුවල දී පැසිෆික් සාමයක අවශ්‍යතාව අවධානය කිරීමේ දිගටම යෙදී තිබේ.

මෙම දේශපාලන භේදය වත්මන් ලේබර් නායකත්වයට, ලේබර් පක්ෂයට හෝ ඕස්ටේ‍්‍රලියාවට සීමා වූවක් නොවේ. හිටපු ලේබර් අගමැති පෝල් කීටිං සහ හිටපු ලිබරල් පක්ෂ විපක්ෂ නායක මැල්කම් ටර්න්බුල්, පසුගිය නොවැම්බරයේ දී, චීනය සම්බන්ධයෙන් ඔබාමාගේ ගැටුම්කාරී ප‍්‍රවිෂ්ටය පිලිබඳව සිය උත්සුකතාව ප‍්‍රසිද්ධියේ පල කලේය. 1991 දී බොබ් හෝක් ලේබර් නායකත්වයෙන් ඉවත් කොට කීටිං ඒ සඳහා පත් කිරීමට ආංශික හේතුවක් වූයේ ආසියාවට වඩා සමීප යොමුවක් ගෙන යාමේ අවශ්‍යතාව යි. 2009 අග දී ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කෙරුනු ටර්න්බුල් විපක්ෂයේ කඳවුර තුල විදේශ පිලිවෙත පිලිබඳ භේදය පිලිබඳ නිදසුන යි.

තම බලගතු ආර්ථික හා මූල්‍ය අවශ්‍යතා චීනය තුල ආයෝජන මත බොහෝ සෙයින් රඳා පවතින, එක්සත් ජනපදය, යුරෝපය තුල හා ජාත්‍යන්තරව දේශපාලන සංස්ථාපිතයන් හමුවේ ද එම උභතෝකෝටිකය ප‍්‍රතිමුඛ වේ. නිදසුනක් ලෙස, ජෙනරල් මෝටර්ස් නමැති දැවැන්ත මෝටර් රථ සමාගමට චීනය තුල පිහිටි අතිශයින් ලාභදායක සිය ව්‍යාපාරික කටයුතු සැලකිය යුතු අයුරින් කප්පාදු කිරීමට සිදු වුව හොත්, එය වහාම බංකොලොත් භාවයට ඇද වැටෙනු ඇත. පසුගිය දශකය තුල, චීනයට සිදු කෙරුනු එක්සත් ජනපද අපනයන සියයට 468කින් වැඩි වී ඇති අතර මේ වසරේ දී දෙරට අතර වෙලඳාම ඩොලර් ටි‍්‍රලියන භාගයක් දක්වා නැගෙතැයි අපේක්ෂා කෙරෙයි.

එබැවින් රඩ් සිය අදහස් සම්බන්ධයෙන් තනි වී නැත. හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි, Strategic Vision (මූලෝපායික දැක්ම) නම් වූ සිය නව ග‍්‍රන්ථයේ අවසාන පිටුවල මෙසේ ලිවීය: "කලාපයේ ස්ථාවරත්වය ප‍්‍රවර්ධනය කිරීමට පමනක් නොව, ඊටත් වඩා, ඇමරිකානු-චීන සබඳතාව සාමකාමීව හා සහයෝගීව විකසනය වී අවසානයේ පුලුල් පරාසයක දේශපාලනික හා ආර්ථික ගෝලීය හවුල්කාරිත්වයක් බවට වර්ධනය වන කොන්දේසි නිර්මානය කිරීම පිනිස, ආසියාව තුල කි‍්‍රයාකාරී ඇමරිකානු කි‍්‍රයාකලාපයක් අත්‍යවශ්‍ය ය.”

1972 දී එක්සත් ජනපද-චීන සංහිඳියාව සහතික කරගැනීමෙහිලා තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටු කල, තවත් එක්සත් ජනපද විදේශ පිලිවෙත් පිලිබඳ ප‍්‍රධානියකු වූ හෙන්රි කිසින්ජර් ද චීනය සමග සහයෝගිතාව යලි අරඹන ලෙස ඉල්ලා, ගැටුමක් පිලිබඳ භීතිය ද ප‍්‍රකාශ කර තිබේ. පසුගිය වසරේ පල කෙරුනු On China (චීනය පිලිබඳ) නම් වූ සිය පොත තුල, ඔහු අනතුරු අඟවන්නේ, චීනය සමග ශීතල යුද්ධයක් "පැසිෆික් සාගරය දෙපසේ ම ප‍්‍රගතිය පරම්පරාවක කාලයකින් හිර කොට, . . . සෑම කලාපයකම අභ්‍යන්තර දේශපාලනය තුලට මතභේද පතුරුවනු” ඇති බවයි.

කිසින්ජර්, මේ මස මුල දී පැවති ඉහල පෙලේ මියුනිච් ආරක්ෂක සම්මන්ත‍්‍රනයේ එක් සැසිවාරයක සභාපතිත්වය දැරීම අර්ථභාරීය. රඩ්, චීනයේ "ජාතික ස්වාධිපත්‍යය සඳහා වූ යුක්තියුක්ත ව්‍යායාමයට” මෙන්ම "ආසියාව තුල එක්සත් ජනපදයේ අඛන්ඩ මූලෝපායික මැදිහත්වීමට” ද ඉඩ සලසාලනු ඇති පැසිෆික් සාමයක් සඳහා වූ සිය කැඳවුම පුනරුච්චාරනය කලේ එහි දී ය. "පුලුල් ආසියාව හරහා පොදු ආරක්ෂාව පිලිබඳ අදහසක් මෙලෙස මතුකරගැනීමට උදව් කරනු පිනිස. . . ආරක්ෂාව හා විදේශ පිලිවෙත පිලිබඳ” සිය "පොදු හඬ” යොදා ගන්නා ලෙස ඔහු යුරෝපා බලවතුන්ට විශේෂයෙන් ම ආයාචනා කලේය.

සම්මුතියට හා තර්ක බුද්ධියට කරන මෙම ආයාචනා, අන් සියල්ලටමත් වඩා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික කඩාවැටීම මගින්, දුවවනු ලබන, උත්සන්න වන භූ-දේශපාලනික ආතතීන්ට තියුනු ලෙස ප‍්‍රතිකූලව සිටී. සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීමේ ප‍්‍රයත්නයක් ලෙස, එක්සත් ජනපදය, පසුගිය දශක දෙක තිස්සේ, සිය ප‍්‍රධාන තරගකරුවන්ට වල කැපීමේ එල්ලය ඇතිව, මැද පෙරදිග, බෝල්කන් කලාපයේ හා මධ්‍යම ආසියාවේ සාපරාධී යුද්ධ මාලාවක් ගෙනයාමට සිය අති ප‍්‍රබල මිලිටරි ශක්තිය යොදා ගත්තේය. චීනයේ ශීඝ‍්‍ර ආර්ථික නැග්ම හමුවේ, ඔබාමා පාලනාධිකාරය දැන් යෙදී සිටින්නේ, ආසියානු කලාපය පුරා එක්සත් ජනපදයේ විභව ගෝලීය ප‍්‍රතිවාදියකු ලෙස එය සලකන රට ප‍්‍රතිමුඛ කිරීමේ වගවිභාගයක් නැති ව්‍යායාමයක ය.

නව ගැටුම්වල මූලික විභේද රේඛා දැන් වේගයෙන් මතු වෙමින් පවතී. ඒවා, ධනවාදය පවතින තාක් කල්, මනුෂ්‍ය වර්ගයා නව ව්‍යසනකාරී ලෝක යුද්ධයක් තුලට ඇද දමනු ඇත. ඉතිහාසයේ පෙර කිසි කලෙකත් නොවූ පරිදි ලෝක ආර්ථිකය වඩා සමීපව අභ්‍යන්තරව බැඳී පවතී. එහෙත් එම ගෝලීය ඒකාග‍්‍රකරනය ම යල් පිනූ ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය තුල ගැටුම් හා ප‍්‍රතිවිරෝධතා තව දුරටත් උත්සන්න කර තිබේ.

මෙම ගැඹුරට විහිදුනු ආතතීන් ඕස්ටේ‍්‍රලියාව තුල සුවිශේෂීව පිපිරෙන සුලු රූපාකාරයක් ගැනීම අහම්බයක් නොවේ. ලෝකයේ වෙනත් කිසිදු රටක්, සිය වෙලඳ භාන්ඩ -- යපස්, ගල් අඟුරු හා ඛනිජ -- සඳහා අපනයන වෙලඳ පොලක් ලෙස චීනය මත රඳා පවතින අතර ම ස්වකීය කලාපීය මූලෝපායික අවශ්‍යතා සහතික කරගැනීමෙහිලා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි බලය මත මෙතරම්ම රඳා පවතින්නේ නැත. මෙම කිසිදු කාරනාවක් ප‍්‍රසිද්ධියේ සාකච්ඡා කල නොහැකි ය. හරියට ම ඒ මක් නිසා ද කියතොත්, එසේ කිරීම උභතෝකෝටිකය තව දුරටත් සංකීර්න කොට තමන් මුහුන දෙන අන්තරායන් සම්බන්ධයෙන් කම්කරු පන්තිය සුපරීක්ෂාකාරී කරන බැවිනි.

වැදගැම්මකට නැති පුද්ගලික ගැටුමක් ලෙස නොතකා හරිනවා වෙනුවට, ඕස්ටේ‍්‍රලියානු දේශපාලන අර්බුදය, යුද්ධය දෙසට යන උත්සන්න කෙරුනු තල්ලුවේ අන්තරායන් ද ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගය මත පදනම් වූ කම්කරු ආන්ඩු ගොඩනැගීමේ පොදු අරගලය තුල කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ද ගැන ලොව පුරා කම්කරුවන්ට හා තරුනයන්ට අනතුරු ඇඟවීමක් ලෙස කි‍්‍රයා කල යුතු ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: