ශී‍්‍ර ලංකාව: උතුරේ ධීවරයෝ හලාවත ප‍්‍රහාරය හෙලා දකිති

By T. Ahilan and Subhash Somachandran, 29 February 2012

තෙල් මිල ඉහල යාමට එරෙහිව පෙබරවාරි 16දා හලාවත වැල්ල ප‍්‍රදේශයේ ධීවරයෝ ගෙනගිය උද්ඝෝෂනයට පොලිසිය වෙඩි තැබීමෙන් ඇන්ටනි ප‍්‍රනාන්දු මරනයට පත්වූ අතර තිදෙනෙක් තුවාල ලැබ ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශී‍්‍ර ලංකාවට දීමට තිබුනු නය කොටසේ අවසන් අදියර සඳහා පනවන ලද කොන්දේසි කි‍්‍රයාවට දැමීමේ කොටසක් ලෙස ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව තෙල් මිල සියයට 50කින් වැඩිකලේ ය. මෙය ධීවරයන්ට පමනක් නොව අනෙකුත් ජන කොටස්වලට ද තදබල පහරකි. තව ද රුපියලේ අගය අවප‍්‍රමානය කිරීම, විදුලි ගාස්තු වැඩි කිරීම සහ ගමන් ගාස්තු වැඩි කිරීම ද මෙම පටි තද කිරීමේ වැඩ පිලිවෙලට අඩංගු ය.

මෙම පටි තද කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව වයඹ මුහුදුබඩ ප‍්‍රදේශයේ මීගමුවේ සිට කල්පිටිය දක්වා ධීවරයෝ විරෝධතාවන්හි යෙදුනු අතර වතු කම්කරුවන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඇතුලු තවත් විවිධ ක්ෂේත‍්‍රයන්ට අදාල කම්කරුවෝ ද විරෝධතාවේ යෙදෙමින් සිටියහ.

දැනටමත් දශක කීපයක යුද්ධයෙන් තම ජීවනෝපායන් විනාශ වුනු තත්වයකට මුහුන දී සිටින උතුරේ ධීවරයින්, හමුදා තර්ජනය හේතු කොට ගෙන තම විරුද්ධත්වය ප‍්‍රකාශයට පත්කිරීමට නොහැකිව සිටිති. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය අවසන් කොට අවුරුදු තුනකට ආසන්න වී ඇති නමුත් උතුර හා නැගෙනහිර හමුදා වාඩි ලා ගැනීම එසේම පවතී.

fishermanනොදියුනු ක්‍රම මගින් මසුන් අල්ලන උතුරේ ධීවරයෙක්

අත්අංඩංගුවේ සිටින සහ අතුරුදහන්වූවන් නිදහස් කරන ලෙස යාපනයේ සංවිධානය කරන ලද උද්ඝෝෂනයන් ද තහනම් කිරීමට විවිධ අවස්ථාවල ආරක්ෂක හමුදාව මැදිහත් කෙරුනි. ආරක්ෂක අමාත්‍යංශය මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කර ප‍්‍රසිද්ධ රැස්වීම් ද තහනම් කිරීමට කටයුතු කර ඇත.

සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස යාපනයේ වීරසිංහම් ශාලාවේ රැස්වීමක් සංවිධානය කලේය. මෙම රැස්වීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය සෘජුව ම මැදිහත් වෙමින් ශාලාවේ පාලකයන්ට රැස්වීම සඳහා ශාලාව නොදෙන ලෙසට බලකර ඇත. එයට දවස් දෙකකට පෙර රැස්වීම සඳහා පෝස්ටර් අලවමින් සිටි සසප සාමාජිකයන් දෙනෙකු නීති විරෝධීව රඳවාගෙන සිටි ආරක්ෂක හමුදාව පසුව ඔවුන්ට එරෙහිව ශාරීරික ප‍්‍රහාරයක් ද සැලසුම් කලේ ය.

ලෝක සමාජවාදී වෙබ්අඩවියට අදහස් දැක්වූ යාපනයේ ගුරු නගර් ධීවර ගම්මානයේ ධීවරයෙකු "අපි මෙම ප‍්‍රහාරය හෙලා දකිනවා. එහෙත් එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් කිරීමට බිය බව” ප‍්‍රකාශ කලේය. "දකුනේ ධීවරයන් ඝාතනය කරන විට අපි නිහඬව හිටියොත් අපිට ප‍්‍රහාරයක් එල්ල කරන විට අපිව ආරක්ෂා කරන්න එන්නේ කවු ද? මෙම මිල වැඩිකිරීම සිංහල මිනිසුන්ට පමනක් නොවෙයි, අපට ද ලොකු පහරක්. ප‍්‍රශ්නය වන්නේ අපේ අරගලයට නායකත්වය දෙන්නේ කවුද කියන එකයි. ඔවුන්ගේ (හලාවත ධීවරයින්ගේ) විරෝධතාවට උත්තර දීල තියෙන්නෙත් තුවක්කුවෙන්.” ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.

මෙම අදහස ම ප‍්‍රකාශ කල ධීවර සමිතියක නායකයෙක් "අපව හමුදාව නිරීක්ෂනය කරමින් සිටින්නේ. අරගල හෝ උද්ඝෝෂන පටන් ගත්තොත් උත්තර දෙන්නේ තුවක්කුවෙන් කියල ධීවර කම්කරුවන්ට තර්ජනය කරල තියෙනවා.” යනුවෙන් කීවේ ය. ආන්ඩුවට විරුද්ධව මොනයම් හෝ විරෝධතාවයක් "ත‍්‍රස්තවාදයට” සහයෝගය දෙන එකක් ලෙස ආන්ඩුව ලේබල් අලවන බව ඔහු පැවසුවේ "අපි අරගලයක් පටන් ගත්තොත් ඒකට වහාම කොටි ලේබලයක් ගහනවා. දකුනේ සිංහල ධීවරයන් මතට ප‍්‍රහාරය එල්ල කරල කෙනෙක් ඝාතනය කරල තියෙන තත්වයේ දී අපේ තත්වය ඉතාමත් අනතුරුදායකයි”

තෙල් මිල ඉහල යාමට විරුද්ධව උතුරේ ද විරෝධතාවන් පිපිරිය හැකියි කියනඑක ගැන ආරක්ෂක හමුදාව සංවේදීය. උද්ඝෝෂන පවත්වන ස්ථානය වන යාපනය බස්නැවතුම් පොල අසල පොලීසිය ද හමුදාවද බුද්ධි අංශ ද සිවිල් ඇඳුමින් නිරීක්ෂනයේ යෙදුනි. ධීවර සමුපකාර සමිති වැනි ධීවර සංවිධාන කාර්යාලවල උද්ඝෝෂනයන් සඳහා සැලසුම් ද දේශපාලන සාකච්ඡාාවන් ද සිදුවන්නේදැයි බුදධි අංශ නිරීක්ෂනයේ යෙදී ඇත.

boatරුවල් ඔරුවකින් රැකියාවේ යෙදෙන ධීවරයින්

මිල ඉහල යාමෙන් තමන්ට ඇතිවී තිබෙන අමාරුකම ගැන ධීවරයෙක් මෙසේ පැහැදිල කලේය: "මිල ඉහලයාමට පෙර ද අපිට අලාභ සිද්ධවුනා. දැන්නම් ඒවගේ අලාභ අපට දරන්න බැරිවෙයි. මම දවසකට රැකියාවේ යෙදීම සඳහා රුපියල් 1,000කට ලාම්පුතෙල් ගන්නවා. අද මගේ ආදායම රුපියල් 800යි. 700ක් පාඩුයි. වෙලඳපොලේ අපේ මාලුවලට මිල නැගීමක් නැහැ. යුද්දෙ කාලේ දී වත් මේ විධියට බඩු ගනන් ගියේ නැහැ. සහනාධාර දෙනවා කියලා මිනිස්සු රවට්ටනවා සහනාධාර දෙන්න පුලුවන් නම් මොකටද මිල ඉහලදාන්නේ.”

දරුවන් සිව්දෙනෙකුගේ මවක් වන ධීවර කාන්තාවක් "මගේ මහත්තයා ඉස්සො අල්ලනවා දවසකට සාමාන්‍යයෙන් ලැබෙන්නේ රුපියල් 1,000ක් පමන. නමුත් අමාරුකම නිසා දවස් තුනක් හෝ හතරක් තමයි රැකියාව කරන්න පුලුවන්. රස්සාව කරන්න උපකරන කුලියටයි ගන්නෙ. බෝට්ටුවට රුපියල් 150යි. දැලට, රුපියල් 150 කූඩෙට රුපියල් 50යි.

"මම අටවෙනි පන්තිය දක්වායි ඉගෙන ගත්තේ. දරුවන්ට කොහොමහරි උගන්න ගන්න ඕනේ. ලමයින්ව පුද්ගලික පන්තිවලට යවන්න ඕන. තෙල් මිල හා බඩු මිල ඉහල යාම නිසා තවත් දුප්පත් කමට වැටිලා දරුවන්ගේ අධ්‍යාපනයටත් ප‍්‍රශ්නයක් වෙයි.”

ඇගේ සැමියා "තෙල් මිල තවත් ඉහල නැග්ගොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ. රැකියාව අත්හරින්න සිද්ධවෙයි ද දන්නෙ නෑ.” පැවසීය.

"අපි ජීවත් වෙන්නේ වර්ග අඩි 150ක් පමන වූ පුංචි ලෑලි ගෙදරක. එක වැසිකිලියක් පවුල් හතරක් පාවිච්චි කරනවා. වතුර ගන්නෙ, නාන්නේ, යාබද නිවාසයන්ට අයත් ලිඳකින්. ප‍්‍රශ්නවලට මුහුන දෙන්නත් සිද්ධවෙනවා.” ඔහු කීවේය.

seaජා-කොටුවක්

යුද්ධය අවසන් වන විට සාමය හා සමෘද්ධිය ලැබෙන බව ආන්ඩුව කිව්වත්. ධීවරයන්ට එරෙහිව නාවික හමුදාවෙන් බලපෑම් කිරීම දිගටම පවතී. යුද්දෙ කාලෙදි ධීවරයන්ට මුහුදු සීමා පනවා තිබූ නිසා ඔවුන්ට මුහුදු යාම සීමා විය. යාන්ති‍්‍රක බෝට්ටු පාවිච්චි කිරීමට සීමාවන් පැනවී තිබුනි. සමහර ධීවරයන්ට මුහුදේ ඇවිදලා මාලු අල්ලන්න සිදු විය.

යුද්දෙ අවසන්වෙලා කෙටි කාලයකට නාවික හමුදාවේ බලපෑම් අඩුවී තිබුනි. දැන් නැවතත් ධීවරයන්ට එම ප‍්‍රශන්වලට මුහුන දීමට සිදුව තිබේ. ධීවරයන් මුහුද මැදදී සෝදිසි කරනු ලබයි. නැවත වෙරලට එනකොට ධීවරයන්ගෙන් මාලු උදුරාගැනීම ද සිදුවේ. යාපනයට දුරින් පිහිටි දූපත් වල ද අලුතින් නාවික කඳවුරු පිහිටුවන නිසා එහේ නැවතිලා මාලු අල්ලන්න වත් විවේක ගන්නවත් බැරි තත්වයක් නිර්මානය වී ඇත.

කල්මුනේ පූනාගරි හි නාවික හමුදා කඳවුර නවීකරනය කිරීම හා පුලුල් කිරීම නිසා ධීවරයන්ට එම ප‍්‍රදේශයේ මාලු ඇල්ලීම තහනම් කර තිබේ. ධීවර පවුල් 20කට අයත් එකක් රුපියල් ලක්ෂයක් වටිනා ජා-කොටු ක‍්‍රමයට අටවන දැල් නාවික හමුදාව විසින් කපා ඇත. ඒ සඳහා භාවිත කෙරෙන පොලු (එකක් රුපියල් 150ක් පමන වටිනා) 2,500 ක් පමන මුහුදේ පාකර හැර ඇත. එම නිසා පවුල් 20ට ජීවිකාව අහිමිව ඇත.

හලාවත ප‍්‍රහාරය පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව යුද්දකාලයේ ගොඩනගාත් පොලිස් රාජ්‍ය විධික‍්‍රම දැන් දකුනේ ද භාවිතා කරන ආකාරයයි. මර්දනයට අභියෝග කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට හැකිවන්නේ උතුරේ හා දකුනේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකමුතු වෙමින් සමාජවාදී ඉදිරිදර්ශනයේ පදනම මත කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීමෙන් පමනි. මෙම ඉදිරිදර්ශනයට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: