විදුලිය, තෙල් හා ජල මන්ඩල සේවක වැටුප් අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්

Socialist Equality Party statement , 17 January 2012

ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම), ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ 30,000කට ආසන්න සේවකයන් සිය වැටුප් ඉල්ලීම් සඳහා අරගලයකට යාමට තීන්දු කර තිබේ. ලංවිම කම්කරුවන් ජනවාරි 18 දා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා එදින මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට නියමිත අතර ජල මන්ඩලයේ කම්කරුවන් එදින ම රත්මලාන සිය ප‍්‍රධාන කාර්යාලය ඉදිරියේ පිකට් කිරීමකත් පැය තුනක සංකේත වැඩ වර්ජනයකත් යෙදෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම සංස්ථාවල කම්කරුවන් ජීවන තත්වයන් රැක ගැනීමට ගෙන යන අරගලයට සහයෝගය පල කර සිටී. ඒ සමග ම, සසප අවධාරනය කර සිටින්නේ, වැටුප් හා ජීවන තත්වයන් කප්පාදුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට කෙටීම ද කම්කරුවන්ට එරෙහිව කඩාපන්නවා ඇති තතු යටතේ ආන්ඩුවට විරුද්ධව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් පමනක් ම මෙම ඉල්ලීම් ජයග‍්‍රහනය කල හැකි බවයි. එම දේශපාලන අරගලය ගෙන යා හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන් කිරීම ලෙසය.

ඉදිරි වසර තුන සඳහා ලංවිම සහ ජල මන්ඩල වෘත්තීය සමිති සියයට 45ක ද තෙල් සංස්ථා සමිති සියයට 35ක ද වැටුප් වැඩිවීම් ඉල්ලා ඇත. ලංවිම වෘත්තීය සමිති පෙරමුනේ නායකත්වය ගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන ලංකා විදුලි සේවක සංගමයයි. ජල මන්ඩල සමිති පෙරමුනේ නායකත්වයේ සිටින්නේ ජවිපෙට සම්බන්ධ ජල සම්පාදන ඉංජිනේරු සංගමයයි. සංස්ථා තුනේම සමිති පෙරමුනුවලට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සංවිධාන හා ඊනියා ස්වාධීන සමිති සම්බන්ධ වී සිටිති.

අවුරුදු තුනෙන් තුනට කෙරෙන අයුරු වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් සමග ආන්ඩුව අවි අමෝරා ඇත. ගිය සතියේ මාධ්‍ය හමුවක දී ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කලේ ආයතන තුනේ කම්කරුවන් සඳහා අවුරුදු තුනට ම මූලික වැටුපට සියයට 18ක වැඩි වීමක් ද රුපියල් 2,500ක මාසික දීමනාවක් ද පමනක් දීමට කැබිනට් මන්ඩලය තීන්දු කල බවයි.

ආන්ඩුවේ හොරනෑ වන ජන මාධ්‍ය ද පෙරටු කොටගෙන ආන්ඩුව මෙම සංස්ථා සේවකයන්ට එරෙහිව උද්ඝෝෂනය අරඹා ඇත. දි අයිලන්ඩ් පුවත්පත ජනවාරි 11 දා මුල් ලිපියේ සඳහන් කලේ 2003 සිට 2009 දක්වා සියයට 78කින් ආයතන තුනේ සේවකයන්ගේ වැටුප් වැඩි කර ඇතැයි ද එම තතු තුල සියයට 45 වැටුප් ඉල්ලීම අසාධාරන බව ද නම සඳහන් නැති ඇමතියකු කී බවයි. ඇමතියා හා දි අයිලන්ඩ්, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විටින් විට සංශෝධනය කරන සූත්තර ගනන් හිලව් අනුව පවා කොලඹ පාරිභෝගික මිල දර්ශකය 2003 සිට 2011 මැයි වන විට සියයට 122කින් පමන ඉහල ගොස්, පඩි දුන්නාටත් වඩා ජීවන තත්වයන් කා දැමුනු බව වහංගු කර ඇත.

ආන්ඩුව සියයට 18ක සොච්චමක් මෙම සේවකයන්ට දික් කර ඇත්තේ කොන්දේසිවලට ද යටත් කොටය. මෙතෙක් සිදු නොවූ ආකාරයට තුන් වසරකට මොනම ඉල්ලීමකට වත් සටන් නොකිරීමේ නීති ඇතුලත් සේවකයන්ගේ අත්පා බැඳ දැමීමේ සාමුහික ගිවිසුමක් ආන්ඩුව යෝජනා කර ඇත. මෙම සංස්ථා ද ඇතුලු තවත් රාජ්‍ය ආයතන ගනනාවක සේවකයන්ගේ ආදායම් බදු ගෙවීම දිගු කලෙක සිට එම ආයතන විසින් කර ගෙන ගියේ වැටුප් වැඩිවීම් පහල මට්ටමවල තබා ගැනීමටය. මෙය "නීති විරෝධී” යයි රාජ්‍ය ව්‍යවසාය පිලිබඳ කමිටුවේ සභාපති ඇමති ඩිව් ගුනසේකර ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව ආදායම් බදු ගෙවීම සේවකයන් මතම පැටවීමට ආන්ඩුව යෝජනා කර ඇත.

ආන්ඩුව මෙම සංස්ථා සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) බල කිරීම් මත විශේෂයෙන් ම ලංවිම හා තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන තතු තුලය. මෙම සංස්ථාවල දැවැන්ත පාඩු පියවීමට භාන්ඩාගාරයෙන් මුදල් නොදිය යුතු බව ජාමුඅ නිර්දේශ කර ඇත්තේ ඒවායේ මිල ගනන් ඉහල දමා පාරිභෝගිකයන් මතට ද සේවක ප‍්‍රමානය හා ඔවුන්ගේ අයිතීන් කපා සේවකයන් මතට ද අර්බුදයේ බර පැටවීමටයි. මේ නිර්දේශ සමස්තයක් ලෙස අයවැය වියදම් කපා මහජනයා මතට බර පැටවීමට ඉදිරිපත් කර ඇති කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. ක‍්‍රමක‍්‍රමයෙන් මෙම සංස්ථා පුද්ගලීකරනය ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයට අඩංගුය.

නය අර්බුදයක එරී සිටින ගී‍්‍රසිය, ස්පාඤ්ඤය ඇතුලු යුරෝපීය රටවල ද ඇමරිකාවේ ද මූල්‍යාධිපතියන්ගේ උවමනාවන් මත එම රටවල ආන්ඩු රැකියා හා සේවා තත්වයන් කප්පාදු කරන්නා සේම ලංකාවේ ආන්ඩුව ද මූල්‍ය අරමුදලේ නියෝග කි‍්‍රයාවට දමයි.

වැටුප් ඉල්ලීම් මත මෙම සේවකයන් අරගලයට එන බව ප‍්‍රකාශ වීමත් සමග ම ජනාධිපති රාජපක්ෂ ඔහුගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට (ශී‍්‍රලනිප) සම්බන්ධ වෘත්තීය සමිති කැඳවා ජනවාරි 10 පැවැත්වූ රැස්වීමක දී සමිති නායකයන් "කාලානුරූපව” රටේ යහපත සඳහා "වැඩ කල යුතු” බව ප‍්‍රකාශ කර ඇත. ආන්ඩුවේ සමිති නායකයන් වන ඇමතියන් ප‍්‍රකාශ කර ඇත්තේ "ආන්ඩුවේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්නන්ට එරෙහිව මුහුන දීමට සූදානම් විය යුතු” බවයි.

රාජපක්ෂ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහිව යලි ඇවිල වූ යුද්ධය කම්කරුවන්ට එරෙහිව යොදා ගත්තේ කම්කරුවන් සිය අයිතීන් සඳහා කල අරගල "ත‍්‍රස්තවාදයට උදව් දීමක්” ලෙස හංවඩු ගසා සමිති නායකයන්ගේ කර බදු වීමෙන් ඒවා මැඩලීමටයි. යුද්ධයෙන් පසු දැන් "රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නන්” ලෙස කම්කරුවන් මතට කඩා පැනීමට ආන්ඩුව සූදානම් වේ.

ගිය අවුරුද්දේ සැප්තැම්බරයේ පමා කල සිය වැටුප් හිඟ මුදල් ලබා ගැනීමේ උද්ඝෝෂනයකට ලංවිම සේවකයන් සූදානම් වෙද්දී හදිසි නීතිය නැති තතු යටතේ "අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත” යටතේ ලංවිම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කල බව මෙහිලා සිහිපත් කල යුතුය.

ඉල්ලීම් ඒ ආකාරයෙන් ම ලබා ගන්නා බවට වෘත්තීය සමිති නායකයෝ වහසි බස් දොඩති. ජනවාරි 3 දා කොලඹ ලංවිම මූලස්ථානය ඉදිරිපිට පිකට් කිරීමකින් පසු පැවති රැස්වීමක දී ලංකා විදුලි සේවක සංගමයේ හා සමිති පෙරමුනේ ලේකම් රන්ජන් ජයලාල් "අපි ජීවිත පරිත්‍යාග කල ව්‍යාපාරයක සාමාජිකයො. මේ සටනේ දී ජීවිත දෙන්න වුනත් සූදානම්.” යයි ජවිපෙට සුපුරුදු පූච්චානම් දෙඩවීය. මෙම පූච්චානම්වලින් වහංගු කර ඇත්තේ මෙම සංස්ථාවල සේවකයන් විරෝධතාවලට හිර කිරීම හා ආන්ඩුවේ කඩාපැනීමට එරෙහි දේශපාලන අරගලයෙන් ඔවුන් පීලිපැන්නවීමය.

දැනට මත් පස්සට යාම පිලිබඳ ඉඟි තෙල් සංස්ථා සමිතිවලින් ප‍්‍රකාශ වී ඇත. ඛනිජ තෙල් ඇමති සුසිල් ප්‍රේමජයන්ත සමග පැවති සාකච්ඡාවක දී එහි සමිති ආන්ඩුවේ යෝජිත වැටුප් වැඩිවීමට එකඟ වී ඇතැයි ජන මාධ්‍ය වාර්තා කල අතර සංස්ථාවේ සමිති පෙරමුන ප‍්‍රකාශ කරන්නේ එබඳු එකඟවීමක් සිදු කර ඇත්තේ ආන්ඩුවට පක්ෂ සංවිධාන බවයි. එහෙත් මෙම සමිති පෙරමුන සිය ඉල්ලීම් සඳහා විරෝධතාවක් වත් ප‍්‍රකාශයට පත් නොකර ආන්ඩුවට අනුගත වීමේ සූදානම ඉඟි කර ඇත.

2009 දී සියයට 40ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ මෙම ආයතන තුනේම සමිති නායකයෝ යුද්ධයත් ලෝක අර්බුදයත් නිසා ආන්ඩුවට ඇති වී තිබෙන "බැරි අමාරුකම්වල” තතු යටතේ "රට ගැන හිතා” ආන්ඩුව යෝජනා කල සියයට 22ක වැටුප් වැඩිවීමකට කර තැබූහ. යුද්ධය පැවති අවුරුදුවල ජවිපෙ හා ඊට අනුබද්ධ සමිති ද අනෙකුත් සමිති සමග එක්ව ආන්ඩුවේ මිලිටරි ප‍්‍රහාරයන්ට සහයෝගය දෙමින් කම්කරුවන්ගේ අරගල යට ගසා ඔවුන්ගේ ඉල්ලීම් ද කපා දැමූහ.

දේශපාලන අරගලයකින් තොරව මෙම සංස්ථා සේවක ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි බව පැහැදිලිව තිබිය දී සමිති නායකත්වයෝ විරෝධතා මගින් ආන්ඩුව නමා ගත හැකිය යන මිථ්‍යාව තොරොම්බල් කරති. මෙම වෘත්තීය සමිති ධනේශ්වර ජාතික රාජ්‍යයට ගැටගැසී සිටිති. ඒවා මෙහෙයවන යූඇන්පිය, ජවිපෙ ඇතුලු පක්ෂ ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කිරීමේ හා වෙලඳ පොල ආර්ථික පිලිවෙත් මත පාදකව සිටිති.

ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට කම්කරුවන් සිය ශක්තිය අවශේෂ කම්කරුවන්ගේ සහාය ද ඇතිව මෙහෙයවා ගත යුතුය. එහෙත්, හුදෙක් සටන්කාමිත්වය පමනක් ප‍්‍රමානවත් වන්නේ නැත. කම්කරුවන්ට දේශපාලන කි‍්‍රයාමාර්ගයක් අවශ්‍ය ය.

අරගලයට එලඹ ඇති කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී තමන්ගේ ම කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට පෙරට ආ යුතු යයි සසප අවධාරනය කරන්නේ මේ නිසා ය. කම්කරුවන් සියලූ ධනපති හා අවස්ථාවාදී පක්ෂවලින් බිඳී ගත යුතු ය. අවශේෂ කම්කරුවන් සමග එක්සත් වෙමින් ද ගම්බද දුගී ජනයාගේ සහයෝගය දිනා ගනිමින් ද ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව සඳහා කි‍්‍රයාත්මක වෙමින් ද සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන ලෙස සසප ලංවිම, ජල මන්ඩල හා තෙල් සංස්ථා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: