බැංකු හා යුරෝ සංගම් නායකයෝ තවත් කප්පාදු සඳහා ග්‍රීසියට පීඩනය යොදති

Banks and EU leaders pressure Greece for more austerity

By Stefan Steinberg, 23 January 2012

පසුගිය සතිය පුරා මූල්‍ය ආයතන‚ බැංකු‚ යු‍රෝපීය රාජ්‍ය නායක‍යින් හා ප්‍රධාන යු‍රෝපා සංගම් නායක‍යින්, ග්‍රීසියේ රාජ්‍ය අංශ‍යෙහි දොට්ට දැමීම් හා පෞද්ගලීකරනය ඇතුලු දඬුවම් කප්පාදු පියවර ගැනීම සඳහා තියුනු පීඩනයක් යෙදූහ. පසුගිය අවුරුදු තුන තිස්සේ ග්‍රීක කම්කරුවන් මත විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන ලද අයවැය ‍‍කප්පාදු තවත් දැඩි කරන ලෙසට ඔවුහු බල කරති.

පසුගිය ඔක්‍තෝබර‍යේ දී ත්‍රිමුර්තිය, එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‚ (ජාමූඅ) යු‍රෝපීය මහබැංකුව හා යු‍රෝ සංගමය විසින් සකස් කල ගිවිසුමට අනුව, යු‍රෝ බිලියන 130ක ඇප‍යේ ඊලඟ ‍වාරිකය ලබා ගැනීමට නම් ග්‍රීක ආන්ඩුව, නව වියදම් කප්පාදුව ඉක්මනින් ක්‍රියාවට දැමිය යුතු ය. ඊට හිලව් වශයෙන් ග්‍රීසිය‚ සිය බැඳුම්කරයන්හි ඔවුන්ගේ ආයෝජන වලින් සියයට පනහක් හෝ ඊට වැඩි‍ සැලකිය යුතු ‍කොටසක් අමතක කරන ලෙස ‍පෞද්ගලික නයහිමියන්ගෙන් ඉල්ලීමට ඉඩ ඇත.

පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (අයිඅයිඑෆ්) නියෝජනය කරන පෞද්ගලික නයහිමියෝ, ග්‍රීක ආන්ඩුව සමග සාකච්ඡා කල අතර, සිය ආයෝජන මත පනවන කප්පාදුව අවම කර ගැනීමට පොර වැදුනහ. ග්‍රීක නයවලින් සියයට 10 -20 අතර ප්‍රමානයකට වග කියන බව සැලකෙන ආරක්ෂක අරමුදල්, තම ආයෝජන සඳහා සම්පූර්න පිලිගෙවුම් ලබා ගැනීම සඳහා, යුරෝපීය මානව හිමිකම් උසාවියකදී ග්‍රීසියට එරෙහිව නඩු පැවරීම පිලිබඳව සලකා බලමින් සිටින බවට 19දා ව්‍යාපාර මාධ්‍ය වාර්තාවකින් පවා පෙන්වා දුන්නේ ය.

සති අන්තයේ දී නයහිමියන් සමග අවසන් ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත ව තිබුනි. ඒ අනුව, යුරෝ කලාපීය මුදල් ඇමතිවරුන් මුන ගැසීමට නියමිත 13දා වන විට, සාර්ථක ගනුදෙනුවක් සිදුවූ බව ප්‍රකාශ කිරීමට ග්‍රීක ආන්ඩුවට අවස්ථාව සැලසෙන බව සඳහන් කෙරෙයි.

ත්‍රිමුර්තිය විසින් පොරොන්දු වූ මුදල් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ග්‍රීසිය අසමත් වුවහොත්, ග්‍රීසියට හා සමස්තයක් වශයෙන් යුරෝපීය සංගමයට අප්‍රමාන ප්‍රතිවිපාක ගෙන දෙමින්, එම රට යුරෝ කලාපයෙන් කැඩී යාමේ විභවය කඩිනම් කරනු ඇති අතර, එරට නය ගෙවීම් පැහර හැරීමක ආරම්භය එය වනු ඇත.

එකඟත්වයකට ඒමට අසමත්වීමෙන් පසුව අයිඅයිඑෆ්හි ප්‍රධානියා වන චාල්ස් ඩලාරා, 22දා කඩිමුඩියේ ම ග්‍රීසියෙන් පිටව ගියේ, ආන්ඩුව සමග සිය සාකච්ඡාව අවුලට පත්වූ බව සලකුනු කරමිනි.

ජාමූඅ නියෝජිතයෝ ද පසුගිය සතියේ ඇතන්ස්හි රැඳී සිටියහ. ඔවුහු ග්‍රීසි‍යේ නොයෙකුත් රාජ්‍ය ‍දෙපාර්ත‍මේන්තු කරා යමින්, මේ වන විටත් එකඟ වී ඇති කප්පාදු, කඩිනමින් හා තීරනාත්මක ලෙස ක්‍රියාත්මක කරන ලෙස බල කලහ. විශේෂ‍යෙන් ම‚ ජාමූඅ නි‍යෝජිත‍යෝ තවමත් ආන්ඩුව යට‍තේ පවතින ප්‍රධාන ආයතන හා සේවා පෞද්ගලීකරනයට බල කරති. ආන්ඩුව විසින් අවධානය යොමු කර තිබෙන එක් ‍යෝජනා ක්‍රමයක් මගින්, ඇක්‍රො‍පොලිස් (පුරාන ග්‍රීසි‍යේ නාඟරික බල‍කොටුව) වැනි වටිනා ජාතික වස්තූ වානීජ්‍ය කටයුතු සඳහා විවෘත කර ආදායම් සොයා ගනු ඇත.

ත්‍රිමුර්තියේ හා අයිඅයිඑෆ්හි නිලධාරීන් ඇතන්ස්හි ඇන තද කරන ආකාරයටම යු‍රෝපීය නායක‍යෝ, තම කොටස ඉටුකිරීමේදී, ග්‍රීක ආන්ඩුව බුරුලක් බලාපෙරොත්තු නොවිය යුතු යයි පෙන්වා දෙති.

සිකුරාදා සුඩේයිට්චි ෂේයිටුන්ග් පත්‍රය තුල යුරෝපීය ආර්ථික කටයුතු පිලිබඳ කොමසාරිස් ඔලී රේන්‚ ග්‍රීසිය සදහා වන ආධාර ගිවිසුම අසාර්ථකවීම පිලිබඳව අනතුරු ඇඟ වූ අතර, කප්පාදු ක්‍රියාත්මක කිරීමට එරටට බල කරන ලෙස යුරෝපීය නායකයින්ගෙන් ඉල්ලී ය. “ එසේ නොවුන හොත් මෙම වැඩ සටහන අසාර්ථක වනු ඇත. එයින් ග්‍රීසියටවත් යුරෝපයටවත් හොඳක් වන්නේ නැතැ” යි ඔහු පැවසීය.

එදින ම ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි පැරීසියේ දී ග්‍රීක දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, ත්‍රිමුර්තියේ වැඩසටහන ක්‍රියාවේ යෙදීමට එක්වන ලෙස ය. “යුරෝ කලාපය අනතුරේ වැටී ඇත. රටෙහි අර්බුදය විසඳීමට අවශ්‍ය තීන්දු පැත්තකට දැමිය නොහැකි බව ග්‍රීසියේ සෑම දේශපාලන සංස්ථාවක්ම තේරුම් ගත යුතු ය” යි සාකෝසි පැවසී ය.

ප්‍රන්සයේ යුරෝපීය කටයුතු පිලිබඳ ඇමති ජීන් ලියෝනෙටී ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවක් තුලදී, වඩාත් රළු ලෙස මෙසේ පැවසීය. “යුරෝපය තව දුරටත් ග්‍රීසියට ගෙවීම් නොකරනු ඇත”.

සමහර යුරෝපීය රටවල් අතර උපායික වෙනස්කම් පවතී. විශේෂයෙන් ම ජර්මානු ආන්ඩුව, ග්‍රීක නය හිමි ආයෝජකයින්, වඩාත් ලොකු කප්පාදුවක් පිලිගත යුතු බව කියා සිටී. කෙසේ නමුත්‚ සියළු ම ප්‍රධාන යුරෝපීය නායකයෝ, මුදල් විශාල තොගයක් අලුතින් බැංකුවලට මුදාහැරීමේ අවශ්‍යතාවය පිලිබඳව එකඟ ය.

මෑත දී තම සංචිත යලි ගබඩා කර ගැනීම සඳහා බැංකුවලට පහල ම මට්ටමේ පොලී අනුපාතයක් යෝජනා කල යුරෝපීය මධ්‍යම බැංකුවේ ප්‍රතිපත්ති‍ෙයහි සුවිශේෂත්වය මෙය යි. වහා ම යෝජනාව බදාගත් බැංකු, යුරෝපීය මහ බැංකුවෙන් ඩොලර් ට්‍රිලියන භාගයක නය ප්‍රමානයක් ඩැහැගත්හ. පසුගිය සතියේ යුරෝපීය කොටස් වෙලඳපොල සශ්‍රීකත්වය ඉහල නැගීම පිටුපස පැවති මූලික හේතුව මෙය යි.

නොවැම්බරයේ දී ත්‍රිමුර්තිය විසින් ග්‍රීක ආන්ඩුවේ නව අගමැති වශයෙන් පත් කල හිටපු බැංකු කරුවෙකු වන ලූකස් පපඩමෝස් ඇතුළු යුරෝපීය නායකයින්, රටේ ශුභසාධන රාජ්‍ය සහන වල ඉතිරි ශේෂය ද ක්ෂනිකව අහෝසි කරමින් බැංකුවලට වන්දි ගෙවීමේ අවශ්‍යතාවය ගැන එකඟ ය.

මෙම ප්‍රතිගාමී ව්‍යාපාරයේදී ග්‍රීක වෘත්තීය සමිති, ආන්ඩුවට වැදගත් සහයෝගයක් දී ඇත. පසුගිය වසර තුන තුලදී, රාජ්‍ය අංශයේ සියයට 25 සිට 40 දක්වා ද‚ පෞද්ගලික අංශයේ සියයට 15 සිට 25 දක්වා ද කම්කරුවන්ගේ සාමාන්‍ය වැටුප් කප්පාදු කිරීමෙන් පසුව, එරට ප්‍රධාන වෘත්තීය සමිති, තවත් වැටුප් කප්පාදු පැනවීමට තමන්ගේ සහාය ලබා දීමේ සූදානම පෙන්වා ඇත.

17දා‚ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සංවිධානය කල විරෝධතාවකට සහභාගී වුනේ යන්තම් 7000ක් දෙනා පමනි. එදින ඔවුන් වැඩවර්ජනයක් කැඳවුම් කර තිබුනි. දවසකට පසුව‚ සමිති නායකයෝ නව වැටුප් කප්පාදු නියමකර ගැනීමට හාම්පුතුන් හමුවූහ. වෘත්තීය සමිති නායකයින්, රටේ අවම වැටුප් කප්පාදුවලට තමන් විරුද්ධ නමුත්, අවුරුදු ගනනාවක් සඳහා වැටුප් කැටි කිරීමකට හා කම්කරුවන් දායකත්වය දරන සමාජ සහන කප්පාදු කිරීම සඳහා සිය එකඟත්වය පල කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇත.

කම්කරුවන්ට ලැ‍ෙබන ලබන පහල වැටුප් මට්ටම්, වෘත්තිය සමිතිවල පොරොන්දු මගින් අවිනිශ්චිත කාලයකට දික් ගස්සනු ඇත. ඒ අතර ම‚ සමාජ දායකත්වයේ කප්පාදු සඳහා වන වෘත්තීය සමිතිවල එකඟත්වය, මේ වන විටත් ග්‍රීසිය තුල වල පල්ලට යන සුභසාධන රාජ්‍යයේ තත්වයට තව දුරටත් වල කපනු ඇත. තරුන විරැකියාව සියයට 45ටත් වඩා ඉහල නඟිමින්, විරැකියාව අහස උසට නැගීමත් සමග වෘත්තීය සමිති, කම්කරුවන්ට සිය රැකියා අහිමි වූ විට ලබාගත හැකිව තිබූ එකම මූල්‍ය ආරක්ෂාව ද පූජා කරමින් සිටියි.

පවතින වැටුප් මට්ටම් ආරක්ෂා කිරීම පිලිබඳ වෘත්තීය සමිති පොරොන්දු ගැන කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු ය. ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය සඳහා සංවිධානයේ (ඕඊසීඩී) මෑත සංඛ්‍යා ලේඛන වලට අනුව දල වශයෙන් යුරෝ 17500 වන ග්‍රීසියේ සාමාන්‍ය වාර්ෂික වැටුප් හා මසකට යුරෝ 750ක් වන ග්‍රීසියේ අවම වැටුප, මේ වන විටත් යුරෝ කලාපයේ පහල ම වැටුප් ගනයට වැටේ. තව ද‚ වෘත්තීය සිමිති මේ වන විටත් නිල අවමයට පහලින් තරුන කම්කරුවන් බඳවා ගැනීමට හාම්පුතුන්ට ඉඩ දෙන සංශෝධන පවා පිලිගෙන ඇත.

ත්‍රිමුර්තියේ නියමය අනුව ග්‍රීක ආන්ඩුව පටවන ලද නව කප්පාදු‚ අසල්වැසි බල්ගේරියාව හා ගිනිකොන දිග යුරෝපය පුරා වර්ධනය වන කම්කරු අරගල හා කප්පාදුවලට එරෙහි විරෝධතා සේම, ග්‍රීක කම්කරුවන්ගේ නව විරෝධතා ද අනිවාර්යයෙන් පැන නංවනු ඇත.

ග්‍රීක අත්දැකීමේ අති මුලික පාඩම නම්, වෘත්තීය සමිතිවල ජාතිකවාදී‚ ධනේශ්වර ගැති ප්‍රතිපත්තිවලින් මුලුමනින් ම බිඳී වෙන් වෙමින්, සමාජවාදී වැඩසටහනක් මත පදනම්ව, කප්පාදු පියවරවලට එරෙහිව සමස්ත යුරෝපීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය යි.

Share this article: