වෘත්තීය සමිති හා ආන්ඩුව අතර සාකච්ඡා බිඳවැටීමෙන් පසුව නයිජීරියාවේ වැඩවර්ජන යලි ඇර‍ඹෙ යි

Strikes resume in Nigeria after collapse of talks between union and government

By Robert Stevens, 17 January 2012

නයිජීරියානු කම්කරු කොන්ග්‍රසය (එන්එල්සී) හා වෘත්තීය සමිති කොන්‍ග්‍රසය යන ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන දෙක හා පාලන තන්ත්‍රය අතර සාකච්ඡා බිඳවැටී‍මෙන් පසුව, ජනාධිපති ගුඩ්ලක් ‍ ජොනතන්ගේ නයිජීරියානු ආන්ඩුවට එ‍රෙහි වැඩ වර්ජන නැවත ආරම්භවීමට නියමිතව ඇත.

ජනවාරි 01දා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමට එරෙහිව ජනවාරි 9දා වැඩ වර්ජනය ආරම්භ විය. ලීටරයකට නයිරා 65ක් හෙවත් ‍ඩොලර් සත 40ක සිට නයිරා 140ක් පමන එනම්, ඩොලරයක් දක්වා එක රැයකින් පෙට්‍රල් වියදම ‍දෙගුනයකටත් වඩා ඉහල ගි‍යේ ය.

14දා අබුජා අගනුවර දී ආන්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව වෘත්තීය සමිති සිකුරාදා මහා වැඩවර්ජනය අත්හිට වූ හ. ආන්ඩුව තම ස්ථාවරය ‍වෙනස් කර සහන දීමට සූදානම් බව පවසමින් වෘත්තීය සමිති, ජොනතන් ද සහභාගීවූ සාකච්ඡා “ප්‍රතිඵලදායක” යයි කියා තිබුනි.

යතාර්ථයේ දී ආන්ඩුව කිසි දෙයක් පොරොන්දුවී නැති අතර ගත් පියවර එලෙසම ක්‍රියාවට නැගීමට අධිෂ්ඨානශීලීව සිටියි. වෘත්තීය සමිති සම්මේලනය 15දා නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයකින්, පෙරදින සාකච්ඡා “මෙම අර්බුදයට විසඳුමක් සෙවීමට අනුගමනය කල යුතු ක්‍රම‍වේද‍ෙය් වෙනස්කම් හේතුවෙන් ඇන හිට ” තිබූ බව ප්‍රකාශ කලේ ය.

වැඩවර්ජනයට තෙල් කම්කරුවන් සහභාගි කරවීම ප‍්‍රතික්ෂේප කරමින් හා මූල්‍ය ප්‍රාග්ධන‍ෙය් ඒජන්තයා ලෙස ‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනකල පියවරයන්ට එරෙහි මහා වි‍රෝධතාව අවසන් කිරීමට ආන්ඩුවෙන් බුරුලක් ලැබීමට උත්සාහ කරමින් වෘත්තීය සමිති, වැඩවර්ජනයේ බලපෑම සීමා කිරීමට උස්සාහ ගනිමින් සිටිති.

වෘත්තීය සමිති කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මූලික ඉල්ලීම‚ එනම් ඉන්ධන සහනාධාරය යලි ලබාදිය යුතුය යන ඉල්ලීම අතහැර දැමීමට සූදානම්ව සිටින බවට පැහදිලි ගම්‍යයක් සහිතව ප්‍රකාශය මෙසේ අවසන් කෙරුනි‚ “ආන්ඩුව අපට ආරාධනා කරන්නේ කොයි වෙලාවේ, කොහාට ද, කිසි ම කොන්දේසියකින් තොරව අප එතැන සිටින බව කම්කරු ව්‍යාපාරය පෙරොන්දු වෙ යි.”

අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ හරු මුටසා වෘත්තීය සමිති නායකයින් ගැන මෙසේ කීවේ ය: “වර්ජනය අවසන් කිරීමට ඔවුන් උනන්දු බව පෙනේ. ඔවුන්ට සඳුදා නැවත වීදිවලට යාමට අවශ්‍ය නැතැ යි සමහර වෘත්තීය සමිති නායකයෝ කියති. ”

ආන්ඩුවෙන් කිසි ම සහනයක් ‍ෙනාලැබෙන තත්වය තුල වැඩවර්ජනය නැවත ඇරඹීම පිනිස ඉඩදීමට බල කෙරුනත් වෘත්තීය සමිති, එරට තෙල් හා ගෑස් කම්කරුවන්ගේ තර්ජනාත්මක සටන නවතා දැමී ය. සාමාජිකයින් 20,000කින් යුත් ප්‍රධාන තෙල් වෘත්තිය සමිතිය වන නයිජීරියාවේ පෙට්‍රෝලියම් හා ස්වාභාවික ගෑස් ජ්‍යෙෂ්ඨ නිලධාරී සංගමය, (පෙන්ගසන්) “15දාට සැලැසුම් කල ආකාරයට තෙල් නිෂ්පාදනය වසා නොදමනු ඇතැ යි ” එන්එන්සී සභාපති අබ්දුල් වාහිඩ් ඔමාර් ප්‍රකාශ කලේ ය.

ඇත්තෙන් ම තෙල් වැඩවර්ජනයක් සඳහා යම් සැලැසුම් ඇත්දැ යි ඇසූ විට ඔහු‚ “නෑ‚ අපි මේවාට එලඹෙන්නේ ක්‍රමානුකූලවයි. අපි සාමයට තවමත් අවස්ථාව දෙනවා” යයි පැවසී ය.

ජොනතන්ගේ පාලනයට එරෙහිව ගැඹුරු විරෝධයක් තිබියදීත්‚ තෙල් කර්මාන්තය ඉලක්ක නොකරන වැඩවර්ජනය, එහි ප්‍රධාන ආයුධය අතහැර දමයි.

නයිජීරියාව තෙල් මත යැපෙන රටක් වන අතර එහි විශාල ලාභ සතුකර ගන්නේ, අන්තර් ජාතික සමාගම් හා පාලක ප්‍රභූව විසිනි. එය අප්‍රිකාවේ විශාලතම බොර තෙල් නිෂ්පාදකයා ය. එරට රජයේ ආදායමෙන් සියයට 80කට ද‚ ආන්ඩුවේ වාර්ෂික අයවැය ආදායමෙන් සියයට 65කට ද‚ අපනයන ආදායමෙන් සියයට 95ට වඩා ද දායක වන්නේ තෙල්ය.

දිනකට තෙල් බැරල් මිලියන දෙකකට වඩා නිපදවන එම රට, එක්සත් ජනපදය, (එක්සත් ජනපදයේ තෙල් ආනයනයෙන් සියයට අටක් නයිජීරියාවෙනි) යුරෝපා සංගමය මෙන් ම ආසියානු රටවල ද ප්‍රධාන බොරතෙල් සැපයුම්කරුවෙකි. පිරිපහදුව අවම කරන සැහැල්ලු බොරතෙල් ලෙස වර්ග කෙරෙන නයිජීරියානු තෙල්, ලෝක වෙලඳපොලෙහි වෙලඳ ද්‍රව්‍යයක් ලෙස එහි වැදගත්කම ඉහල නංවයි. වැඩ වර්ජනය කරන තෙල් කම්කරුවන් අලුතින් තෙල් නිෂ්පාදනය නතර කලහොත් රට තුල ගබඩා කර තිබෙන තෙල් ප්‍රමානය සෑහෙන්නේ සති හයක අපනයනයට පමනක් බව තෙල් කර්මාන්තය පිලිබඳ විශ්ලේෂකයෙක් තක්සේරු කලේය.

පවතින තත්වයේ වරප්‍රසාදිත ආරක්ෂකයන් විසින් නායකත්වය දරන වෘත්තීය සමිති, නයිජීරියානු කම්කරු පන්තියේ ප්‍රධාන කොටස එලියට ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මේ නිසාය.

කමකට නැති ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සාහය ඇරඹෙන්නේ, අඩු වශ‍යෙන් තිදෙනෙකු මරා දමමින් ආන්ඩුව, රුදුරු ලෙස පෙලපාලි මර්දනය කිරීමෙන් සතියකට පසුව ය. 13දා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තා කල පරිදි, ඊට ‍පෙර දින හතර තුල තුවාලකරුවන් 600කට ඔවුන් ප්‍රතිකාර කර තිබූනි. පුලුල්ව පැතිරුනු ආන්ඩු වි‍රෝධී නොසංසුන්තාව කෙරෙහි ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, නයිජර් හා කඩූනා ප්‍රාන්තවල ඇඳිරි නීතිය පැනවීමෙන් ය.

ආන්ඩුවේ සමස්ත නිදහස් ‍වෙලඳ‍පොල න්‍යාය පත්‍රය මෙන්ම දශ ලක්ෂ ගනන් මිනිසුන් මුහුන ‍දෙන දරිද්‍රතාවයේ පීඩාව කෙරෙහි පුලුල්ව පැතිර පවතින සමාජ වි‍රෝධයේ ප්‍රකාශනයකි මෙම අරගලය. මිලියන 160ක‍ ජනගහනයක් සහිත රටෙහි බහුතරයකට සෑම දිනක ම ඩොලර් ‍දෙකකට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට බල ‍කෙරී ඇත. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 2007 කරන ලද සමීක්ෂනයක්, තෙල්වලින් ‍පො‍හොසත් නයිජර් ගංගා ‍ඩෙල්ටා‍වේ මිලියන හයක් වන පදිංචිකරුවන්ගෙන් සියයට 70ක් දවසකට ඩොලරයකට අඩු ආදායමකින් පන ගැටගසා ගන්නා බව හඳුනා ගත්තේ ය.

මිනිසුන් බහුතර‍යකගේ ප්‍රධාන සමාජ සහනය ඉන්ධන සහානාධාරය යි. එය අ‍හෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශ‍යෙන් දශලක්ෂ ගනනාවක් ඊටත් වඩා දරිද්‍රතාවයට ඇද වැටෙති. සතියක් තුල තක්කාලි කූඩයක මිල නයිරා 7,000 දක්වා හත් ගුනයකින් වැඩිවුන අතර මූලික ආහාර මිල අහස උසට නැංඟේ ය.

ජොනතන්ගේ ආන්ඩුව සමග සන්ධානයක් සොයන අතර ම‚ වෘත්තීය සමිති නිලධර‍යේ කේන්ද්‍රීය භූමිකාව වනු‍යේ, ජොනතන් බලයෙන් පහ වුවහොත් විකල්ප නායකත්වයක් ලෙස “වාම” දෙඩවිලි සහිත ධනේශ්වර ‍“විරුද්ධ පක්ෂ” ස්ථරයක් ගොඩ නැඟීම ය. “අරාබි වසන්තය” ඉක්බිත්තේ‚ විශේෂයෙන්ම ඊජිප්තුවේ, සිදුවීම් තුල සැලකිය යුතු පරිදි පෙන්නුම් කෙරුනු, මහජන විරෝධතා වෘත්තීය සමිති පාලනයෙන් පිටතට පැතිර ගොස් විප්ලවවාදී දිසාවකට වර්ධනය නොවන බව පාලක පන්තියට සහතික කර ගැනීම පිනිස දරන උත්සාහයේ දී, එවැනි කොටස් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරති.

ටැන්කෝ යකසාසි නැමැත්තා, 1979 සිට 1983 දක්වා පැවති නයිජීරියාවේ දෙවැනි සමූහාන්ඩුවේ පාලකයා ලෙස කටයුතු කල හිටපු ජනාධිපති ෂේහු ෂගාරිගේ විශේෂ උපදේශකයෙකු විය. ඔහු මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී‚ නයිජීරියාව මුහුන දෙමින් සිටින විප්ලවයේ අනතුර හා විරෝධතාවන් ධනේශ්වරයේ මූලෝපායාත්මක උත්සුකයන්ට තර්ජනය නොකරන ආකාරයෙන් මෙහෙය වීමට හැකි නායකත්වයක අවශ්‍යතාව පිලිබඳව සමපේක්ෂන‍ෙය් යෙදුනි.

“ මම විප්ලවය හැදෑරුවෙමි. මම කලක විප්ලවවාදයෙකු වීමි. විප්ලවවාදී ව්‍යාපාරයක්‚ විප්ලවවාදී දෘෂ්ටියක්‚ විප්ලවවාදී නායකත්වයක් හා විප්ලවවාදි පක්ෂයක් නොමතිව ඔබට විප්ලවයක් ජය ගත නොහැක. ඔවුන්ට විප්ලවයක් අවශ්‍ය නම්‚ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට‚ එයට නායකත්වය දීමට ඔවුන්ට ඉඩ දෙන්න....ලොකු ම අනතුර නම් අරමුනක් නැති විප්ලවයකි. ස්වයං සිද්ධ විප්ලවය ඉතා භයානක ය. එය ඕනෑ ම දිසාවකට යා හැක. එය සාධනීය විය හැක‚ එය නිෂේධනීය විය හැක. ඒ සඳහා යාඥා නොකරන්න. එය යමෙකු යාඥා කල යුතු යමක් නොවේ.” ඔහු කීවේ ය.

නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ සාධකය සැබවින් ම තීරනාත්මක ය. මහජන ව්‍යාපාරය මත වෘත්තීය සමිති නිලධරය සුරක්ෂිත කිරීමට හා ධනේශ්වරයේ විරුද්ධ පක්ෂයන්ට වන එහි බැඳීම් ශක්තිමත් කිරීමට අවශ්‍ය අයෙකු ලෙස යකාසි කතා කර යි.

කම්කරු පන්තිය මත වෘත්තිය සමිතිවල ග්‍රහනය බිඳිය යුතු ය. ජොනතන් තන්ත්‍රය හා ඔහුගේ ධනපති විරුද්ධවාදීන් කොටසක් සමග සංහිඳියාවට යාමේ සියලු උත්සාහයන් මහජන ව්‍යාපාරය විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. කම්කරුවන්ගේ හා තරුනයන‍්ගේ අවශ්‍යතා නි‍යෝජනය කරන සාමාන්‍ය ජනතාවගේ සංවිධාන හා නව පක්ෂයක් ද විසින් නායකත්වය ‍දෙනු ලබන කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා සටන මත පාදක වෙමින් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ‍දේශපාලන මූ‍ලෝපායක් තෝරා ගත යුතු ය.

Share this article: