පර්සියානු ගල්ෆ් කලාපය තුල වැඩෙන යුද තර්ජනය සමගින් 2012 වර්ෂය ආරම්භ වේ

2012 opens with mounting war threat in Persian Gulf

04 January 2012

ඇමරිකානු පාලානාධිකාරයක් යලි වතාවක් අමන මිලිටරි ක‍්‍රියාදාමයක් සඳහා යෝග්‍ය දේශපාලන වාතාවරනයක් ඇති කිරීමට න්‍යෂ්ටික ආයුධ පිලිබඳ පදනම් විරහිත ප‍්‍රබන්ධ යොදා ගනිමින් සිටී.

නව ඇමරිකානු යුද්ධයක වේගයෙන් දිග හැරෙන තර්ජනය සමගින් නව වසර ඇරඹුනේ ය. මෙවර එම තර්ජනය ඉරානයට එරෙහිව ය. ඉරානයට තර්ජනයක්ව පවතින ඇමරිකානු යුද ගුවන් යානා ගොඩ බැස්සවිය හැකි යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නෞකාව පර්සියානු ගල්ෆ් කලාපය වෙත ආපසු නොපැමිනිය යුතුය යන ඉරානයේ අනතුරු ඇඟවීම 3 වෙනි දින එක්සත් ජනපදය විසින් නොතකා හැරුනේය. දෙපාර්ශ්වය අතර සිදු වුනු වඩාත් ආසන්නතම තියුනු වහසිබස් දෙඩවීම එය විය.

දැනටමත් දුර්වල අඩියේ පසුවෙන ඉරාන ආර්ථිකයේ තටු සිඳිය හැකි අයුරේ තව තවත් ආර්ථික සම්බාධක පැනවීම මගින් එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ගල්ෆ් කලාපයේ ආතතීන් සිතා මතාම උත්සන්න කර තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනි දින ජනාධිපති ඔබාමා ජාතික ආරක්ෂාව බලගැන්වීමේ පනතට අත්සන් කරමින් එය නීතියක් බවට පත් කලේය. ඉරාන මහ බැංකුව සමග ව්‍යාපාරවල නිරත වන විදෙස් සමාගම්වලට දඬුවම් පැමිනවීමටත් එලෙස ඉරාන තෙල් අපනයනයට සම්බාධක පැනවීමටත් හැකි පියවරයන් ද මෙයට ඇතුලත් ය. තම සාමාජික රටවල් ඉරාන තෙල් මිලදී ගැනීමට සම්බාධකයක් පැනවීමට මෙම මස අගදී යුරෝපා සංගමය සලකා බලනු ඇත.

ඉරාන ආර්ථිකය මත මෙහි බලපෑම වහාම ප‍්‍රකට විය. මහ බැංකුවට මැදිහත් වීමට බලකරමින් අඟහරුවාදා රියාල් මුදල විදෙස් විනිමයන්ට සාපේක්ෂව සියයට එකොලහකින් පහල වැටුනි. රටේ ඉහල උද්ධමන රේට්ටුව තවත් ඉහල නංවමින් සැප්තැම්බර් මාසයේ සිට ව්‍යවහාර මුදල් ඒකකය සියයට 35කින් පහත වැටී තිබේ. ඉරානයේ දුර්ලභ මුදල් අපනයන ඉපැයුම්වලින් සියයට අසූවකට හිමිකම් කියන්නේ තෙල් හා ගෑස් වෙලඳාම යි.

තම තෙල් අපනයනයට සීමා පනවන තත්වයක දී හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට තර්ජනය කරමින් වොෂින්ටනයේ ආර්ථික යුද කෙලියට ටෙහෙරානය ප‍්‍රතිචාර දක්වා තිබේ. ගල්ෆ් කලාපයට ප‍්‍රවේශ වීමෙහිලා මොනයම්ම හෝ අවහිර කිරීමකට තමන් "ඉඩ නොතියන” බවට එක්සත් ජනපද නාවික හමුදාව සෘජුව ම තර්ජනය කලේ ය. ඉරාන "චන්ඩ භාවය” හෙලා දැකීමටත් "න්‍යෂ්ටික ඉරානයක්” පිලිබඳ අනතුරු ගැන හොරනෑ පිඹීමටත් ඉරානය අවමානයට පත් කිරීමටත් ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය ඉරාන නාවික අභ්‍යාසය ඩැහැ ගත්තේය.

යලි වතාවක් ඇමරිකානු පාලානාධිකාරයක් මහජන භීතිකාවක් උත්පාදනය කිරීමට හා ඔලමොට්ටල මිලිටරි කෙලියක් සඳහා යෝග්‍ය දේශපාලන වාතාවරනයක් නිර්මානය කරගැනීමට න්‍යෂ්ටික අවි පිලිබඳ තහවුරු නොකල කියාපෑම් තොරොම්බල් කරමින් තිබේ. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටාගේ මෑත ම සැඳහුම් 2002 වසරේ ඉරාක ආක‍්‍රමනයට සූදානම් වෙමින් සිටි එවක ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා උප ජනාධිපති ඩික් චේනිගේ යුදකාමී වාචාල ප‍්‍රතිරාව නංවයි. ඉරානය වසරක් තුල පරමානුක අවියක් නිපදවිය හැකි බවත් එක්සත් ජනපදය "ඒ සමග ගනුදෙනු බේරා ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගනු ඇති” බවත් පැනෙට්ටා කීවේය.

ජනාධිපති මැතිවරනයක් පැවැත්වෙන වසරක දී, ඉරානය කෙරෙහි ආන්තික යුදශීලී පිලිවෙතක් තෝරා ගැනීමට තම ප‍්‍රබල රිපබ්ලිකන් ප‍්‍රතිමල්ලවයන්ගෙන් ඔබාමාට පීඩනයක් එල්ල වී තිබේ. ටෙහෙරානය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන නිෂ්ක‍්‍රිය කිරීමට එකඟ නොවන්නේ නම් තමන් ගුවන් ප‍්‍රහාර මගින් ඒවා "අබල” කරන බව ජනාධිපති අපේක්ෂක රික් සැන්ටෝරම් පසුගිය 01 වෙනි දා සඳහන් කලේය. ඉරානයට එරෙහිව ක‍්‍රියාත්මක වන්නැයි ධවල මන්දිරය ඊස්රායලයට ද තල්ලුව දෙමින් සිටී.

පසුගිය වසරේදී ඔබාමා පාලනාධිකාරයේ මැද පෙරදිග ගනන් බැලීම්වල කේන්ද්‍රය වී පැවතුනේ ඉරානය යි. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මහජන නැගිටීම්වලින් ගිනි කන වැටුන එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ ගඩාෆි බලයෙන් හෙලීම අරමුනු කරගනිමින් සාපරාධී බෝම්බ හෙලීමේ මෙහෙයුමක් ද සමග මිලිටරි මැදිහත් වීමකට ලිබියාවේ ආන්ඩු විරෝධී උද්ඝෝෂන ගසා කෑ අතර අතවැසි පාලන තන්ත‍්‍රයක් ටි‍්‍රපොලිවල ඇටවුවෝය. දැන් මෙම විධික‍්‍රමයන්ම ඉරානයේ ප‍්‍රධාන කලාපීය සගයා වන ජනාධිපති බසාර් අල්-අසාද්ගේ සිරියානු පාලන තන්ත‍්‍රයට එරෙහිව යොදා ගනිමින් තිබේ.

අසාද් හුදකලා කිරීමට හා පීඩාවට පත් කිරීමට එක්සත් ජනපදයේ වෑයම්වලට සැලකිය යුතු සහායක් තුර්කියෙන් ලැබුනේ ය. එය කලාපීය බලයක් වසයෙන් තමන්ගේ අභිප‍්‍රායන් ඉටු කර ගනු වස් ඊනියා අරාබි වසන්තය ගසා කමින් සිටී. නිසැකව ම වොෂින්ටනය විසින් දිරි ගන්වනු ලැබූ තුර්කි ආන්ඩුව මෑත වසරවලදී අසාද්-විරෝධී විපාක්ෂික කන්ඩායම්වල අනුග‍්‍රාහකයෙකු වීමට ඉරානය සමග වැඩෙමින් පැවති සිය සබඳතාවන්ගෙන් ආපස්සට හැරී තිබේ.

එක්සත් ජනපද මිලිටරි සේනාංක තවදුරටත් ඉරාකයේ රැඳී සිටීම සුරක්ෂිත කර ගැනීමට අසමත් වූ වොෂින්ටනය, ටෙහෙරානය සමග වඩාත් සමීපව කටයුතු කරන අගමැති නූරි අල්-මලිකිගේ ඉරාක ආන්ඩුවට එරෙහිව සුන්නිවරුන් මත පදනම් වූ පක්ෂවලට රහසින් උඩගෙඩි දෙමින් සිටී. එක්කෝ මලිකි ගමන් පථයට ඇද ගැනීමට නොඑසේ නම් ඇමරිකාවේ අවශ්‍යතාවන් සමග වඩාත් හොඳින් ගැලතෙන පාලන තන්ත‍්‍රයක් අටවා ගැනීමේ අභිප‍්‍රායෙන් බැග්ඩෑඩයේ වත්මන් මාරාත්මක නිකායික කාකොටා ගැනීම් එක්සත් ජනපදය විසින් ගසා කමින් තිබේ.

මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා මධ්‍යස්ථානයේ විශ්ලේෂක ඇන්තනී කෝඩ්ස්මන් හා තවත් අය විසින් දෙසැම්බර් 20 ඉදිරිපත් කරන ලද වාර්තාවක් වොෂින්ටනයේ පලල් මනෝගතියට ප‍්‍රකාශනයක් ලබා දුන්නේය. "එක්සත් ජනපදය වඩාත් තීරනාත්මකව ක‍්‍රියා නොකරන්නේ නම් ඉරානය, එක්සත් ජනපදයේ ඉරාක ආක‍්‍රමනයේ සැබෑ ජයග‍්‍රාහකයා වන අයුරක් පෙනී යයි,” එය ප‍්‍රකාශ කලේය. "ඉමහත් ප‍්‍රමානයක් රැඳී ඇත්තේ ඉරානය මැඩ පැවැත්වීමට හා එයට බාධා කිරීමට ඉරාකයෙන් එපිට එක්සත් ජනපදය කුමක් සිදු කරන්නේද යන්න මත ය,” එය නිගමනය කලේය.

එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බල ඇනියේ මූලස්ථානය වන බහරේනය ද ඇතුලුව කුවේටය හා අනෙකුත් ගල්ෆ් රාජ්‍යවල සිය මිලිටරි රඳා පැවැත්ම ශක්තිමත් කිරීමට ඔබාමා පාලනය දැනටමත් පියවර ගෙන තිබේ. රියාද්වල පැවති මෑතම ගල්ෆ් සහයෝගිතා කවුන්සිල සමුලූව වොෂින්ටනයේ උසි ගැන්වීම ද සමගින් බාහිර තර්ජනයන්ට - ව්‍යංගයෙන් ඇඟවුම් කලේ ඉරානයයි - එරෙහිව ආරක්ෂක සහයෝගිත්වය සම්බන්ධ නිල "සංගමයක්” නිර්මානය කිරීමට අනුමැතිය පල කලේය.

එක්සත් ජනපද සගයෙකු හා ගල්ෆ් කලාපයේ කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් ඉරානයේ දීර්ඝකාලීන ප‍්‍රතිවාදියෙකු වන සවුදි අරාබිය වෙත ඩොලර් බිලියන 30ක ප‍්‍රධාන ආයුධ අලෙවි කිරීමක් ධවල මන්දිරය විසින් පසුගිය දෙසැම්බර් 29 වෙනි දින පාරම්බෑවේ ය. ඊට පසු දිනයේ දී ඩොලර් බිලියන 3.5 ක් වටිනා පරිපූර්න මිසයිල ආරක්ෂන පද්ධතියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත විකිනීමේ ගනුදෙනුවක් පිලිබඳ එක්සත් ජනපදය නිවේදනය කලේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග බංකර් විනාශ කිරීමේ බෝම්බ ද ඇතුලත් තවත් අවි ගනුදෙනුවක් ඔබාමා පාලන තන්ත‍්‍රය විසින් නිවේදන කෙරුනේ පසුගිය නොවැම්බරයේ දී ය. ඉලක්කයව පවතින්නේ ඉරානයේ බිම්ගත පරමානුක හා මිලිටරි මධ්‍යස්ථාන බව ඉතා ප‍්‍රකට ය.

ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා වොෂින්ටනයේ සූදානම් වීම රටේ පවතිනවා යැයි කියන න්‍යෂ්ටික අවි වැඩපිලිවෙල අත්හිටුවීමේ අරමුනින් කල එකක් නොවේ. ඒ වෙනුවට එය මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ මූලෝපායික, බලශක්ති-ප‍්‍රභවයන්ගෙන් පොහොසත් කලාපවල වොෂින්ටනයේ ආධිපත්‍යය තහවුරු කරගැනීම එහි අරමුන යි. එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය හා ඉරාක ආක‍්‍රමනවලට එලඹීමේ දී පෙරදැරි කරගත් තමන්ගේ යුරෝපියානු හා ආසියානු ප‍්‍රතිමල්ලවයන්ගේ තෙල් හා ගෑස් සැපයුම් මත පාලනය තහවුරු කර ගැනීමේ මුඛ්‍ය අරමුන අත්හැර නැත.

ලිබියාවේ නේටෝ බෝම්බ දැමීම්වලට හවුල් වීමේදී ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රමුඛ අරමුනුවලින් එකක් වූයේ මැදපෙරදිග හා අප‍්‍රිකාව තුල චීනයේ වැඩෙන බලපෑම බිඳ දැමීම ය. ලිබියාවේ යුද්ධය ඩොලර් බිලියන ගනනක චීන ව්‍යාපෘති උවදුරේ හෙලීය. ඉරානය සමග මිලිටරි ඝට්ටනයක් හෝ තෙල් සම්බාධකයක් චීනයට දැවැන්ත ආර්ථික ඵලවිපාකයක් ගෙන දෙනු ඇත. ඉරානය චීනයේ තෙල් ආනයනවලින් සියයට 11කට හිමිකම් කියන අතර ඉදිකිරීම් හා බලශක්ති අංශයේ විශාල චීන ආයෝජනවල මධ්‍යස්ථානය ද වේ.

හරියට ම පසුගිය නොවැම්බරයේ දී එක්සත් ජනපදය හා ඕස්ටේ‍්‍රලියාව එක්සත් ජනපද මිලිටරි භටයින් එම රටේ උතුරේ ස්ථානගත කිරීමටත් තවත් ආකාරයකින් ඉතා පැහැදිලිව චීනයට එරෙහිව ඉලක්ක කෙරුනු විදියකින් ඇමරිකානු මිලිටරි හා බුද්ධි මෙහෙයුම් පුලුල් කිරීමටත් නව ගිවිසුමක් නිවේදනය කලේය.

ඔබාමා පාලනාධිකාරය පර්සියානු ගල්ෆ් කලාපයේ දේශපාලන උනුසුම අමන ලෙස ඉහල නැංවීමෙන් කලාපය අලලා ගනිමින් ජාත්‍යන්තරව පැතිරීමට තර්ජනය කරන මිලිටරි ඝට්ටනයක් කරා ලුහුටා යාමේ අනතුර උච්චකර තිබේ. එවැනි ව්‍යසනයක් වැලැක්විය හැකි එකම බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. අධිරාජ්‍යවාදයට හා එහි මූල නිධානය වන ලාභ පද්ධතියට සහ තරගකාරී ජාතික රාජ්‍ය බවට ලෝකය බෙදා ඇති යල් පිනු පද්ධතියට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවයේ පදනම මත කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: