ඉරානයට එරෙහි වොෂින්ටනයේ අපරාධ

Washington’s crimes against Iran

16 January 2012

ජනවාරි 11දා මොස්ටෆා අලුමාඩි රොෂාන් නමැති ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කිරීම, එක්සත් ජනපද විදේශ පිලිවෙතේ සාපරාධී ස්වභාවය පිලිබඳ තවත් සාක්ෂියකි. ඔබාමා පාලනයේ නිල හෙලාදැකීම් තිබිය දී ම ඝාතන‍ෙය් සියලු සලකුනු පෙන්නුම් කරන්නේ මෙය, එක්සත් ජනපදය සමග සහයෝගීව කටයුතු කරන මොසාඩ් නමැති ඊස්රායල් ඔත්තු සේවය විසින් ක්‍රියාත්මක කල මෙහෙයුමක් බවය.

අසාමාන්‍ය පියවරක් ගනිමින් ඉරාන පාලන තන්ත්‍රය, “මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සැලසුම් කර, සහයෝගය දී මෙහෙයවූයේ සීඅයිඒ සංවිධානය විසින් බවට තමන් සතුව, විශ්වාස කටයුතු ලියකියවිලි හා සාක්ෂි” තිබෙන බව ප්‍රකාශ කරන ලිපියක් වොෂින්ටනය වෙත යැවීය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බාරදුන් දෙවන ලිපියෙන්, මෙම කුමන්ත්‍රනයට එම් 16 යන බ්‍රිතාන්‍ය ඔත්තු සේවාව “ආධාර” දී ඇතැයි චෝදනා කර තිබේ.

න්‍යෂ්ටික උපකරනයන්ට හානි පමුනුවා අඩපන කිරීම පිනිස ස්ටක්ස්නෙට් යන පරිගනක වෛරසය යොදාගැනීමත්, ප්‍රධාන මිලිටරි හා න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්හි ඇතිකල පැහැදිලි නොකරන ලද පිපිරීම් ද ඇතුලු ඉරානය තුල සිදුකල එතරම් ‍නොසැඟවූ රහසිගත යුද්ධයක කොටසක් ලෙස, පසුගිය දෙවසර තුල මරා දමන ලද සිව්වන න්‍යෂ්ටික විද්‍යාඥයා රොෂාන්ය. මෑතකම සිදුකල ඝාතනය ද ඇතුලු බොහෝ ඝාතනයන් සඳහා යොදාගෙන ඇත්තේ, යතුරු පැදියක “ඇලෙනසුලු” කාන්දම් බෝම්බයක් අටවා එය මෝටර් රථයක පසෙකින් තැබීමේ සුපුරුදු ක්‍රමෝපාය ම ය.

මෑතම ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැතැයි ඇදහිය නොහැකි පරිදි ඔබාමා පාලනය එය “එක පැහැර හෙලාදැකීම” නිශ්චිත නීතිමය අරමුනක් ඇතිව සිදුවූවකි. ධවල මන්දිරය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හා වෙනත් රටවල් තුල මිනිසුන් රහිත ගුවන් යානා මගින් එල්ල කරන ඩ්‍රෝන් ප්‍රහාර සහිත එහි මිනීමරු ව්‍යාපාරය යුක්තිසහගත කරන්නේ, සැප්තැම්බර් 11න් ඉක්බිතිව මිලිටරි බලය යොදා ගැනීමට බලය පවරමින් කොන්ග්‍රසය විසින් වහාම සම්මත කල නීතිය අනුව යයි කියනු ලැබේ. පෙනී යන පරිදි අල් කයිඩාවට හා තලිබාන් වරුන්ට එරෙහිව යොමුකර තිබෙන 2001 යෝජනාව අදාල කරගෙන ඉරාන පුරවැසියන් මරාදැමීම හෝ එසේ කිරීම පිනිස මොසාඩ් සංවිධානයට ආධාර කිරීම හෝ ඔත්තු සැපයීම නෛතිකව යුක්තිසහගත කිරීම දුෂ්කර කටයුත්තකි. රොෂාන් හා අනෙකුත් විද්‍යාඥයින් ඝාතනය කිරීම, 1970 ගනන් දක්වා දිවෙන, ඝාතන නිල වශයෙන් තහනම් කරන ලද විධායක ආඥාව පැහැදිලිව ම උල්ලංඝනය කිරීමක් වන අතර, එමගින් ඔබාමා පාලනාධිකාරය නීතිමය කටයුතු සඳහා නිරාවරනය කෙරෙයි.

ඉරානය තුල ඝාතනයන්ට හා කඩාකප්පල් කිරීම්වලට එක්සත් ජනපදය සම්බන්ධ වීම, 2009 ජූනියේ දී ඉරානයේ ඊනියා හරිත ව්‍යාපාරයේ විරෝධතාවන්ට එක්සත් ජනපදයේ උපරිම සහාය පලවූ අවස්ථාවේ, නේඩා අගා සොල්ටාන් නම් තරුන කත මරා දැමීම පිලිබඳ අලුත් ප්‍රශ්න පැන නංවයි. එක්සත් ජනපදය හා ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති මහමුඩ් අහමඩිනිජාඩ් වෙත වහාම චෝදනා එල්ල කල අතර බටහිර අවශ්‍යතාවන්ට ගැලපෙන තන්ත්‍රයක් පිහිටුවීමේ උත්සාහයන්ට ජනතා සහාය ගොනුකිරීම පිනිස එලෙස මරනයට පත්වූ අය වීරවරියක් බවට පත් කලේය. අහමඩිනිජාඩ්ගේ මැතිවරන ජයග්‍රහනයට එරෙහි උමතු සහගත මාධ්‍ය ව්‍යාපාරය තව තවත් අවුලුවනු පිනිස මනාව රූපගත කරන ලද නේඩා ගේ මරනයත් සමග, එය එක්සත් ජනපද හෝ ඊස්රායල් ඒජන්තයින් විසින් සැලසුම් කර සිදුකරන ලද ඝාතනයක් යයි නො ඇදහිය හැක්කේ ද නොවේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනෙක් සෑම අපරාධයක් පිලිබඳ සිද්ධියක දී සේම ඇමරිකානු මාධ්‍ය, ඉරානය තුල කඩාකප්පල් කිරීම් හා ඝාතන ව්‍යාපාරය යුක්තිසහගත කිරීම සඳහා වැඩට බැස්සේ ය. “ඉරානයේ පසමිතුරන් රහසිගත ක්‍රියා උත්සන්න කරන්නේ යයි කියනු ලැබේ.” යන හිසින් ජනවාරි 12දා නිව් යෝර්ක් ටයිම්ස්හි මුල් පිටුවේ පල කල ලිපියක්, එක්සත් ජනපද ඔත්තු සේවාවන්හි පොදුවේ පිලිගන්නා දෙයක්, එනම්, ඊස්රායලය ඝාතනයට වගකිව යුතු අතර ඊස්රායලය සමග සහයෝගීව කටයුතු කරන එක්සත් ජනපදය, “ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව රහසිගත උත්සාහයන්හි නිරතව සිටින බව” වාර්තා කලේය.

මෙම ක්‍රියාවන්හි සාපරාධී හා ඉවබව නැති ස්වභාවය පිලිබඳව විවේචනය නොකලත් ටයිම්ස් පත්‍රය, ඒවා විදේශ පිලිවෙතේ නීත්‍යානුකූල උපකරන වන බව පිලිගෙන තිබේ. වොෂින්ටනයේ ආසන්න නැ‍ගෙනහිර පිලිබඳ ආයතනයේ ඉරාන ආරක්ෂක මූලාරම්භයන්හි අධ්‍යක්ෂක පැට්‍රික් ලෝසන් නමැත්තාගෙන් උපුටා ගැනීමක්, කිසිදු අටුවාවකින් තොරව එහි පල කලේය. ඉන් කියා තිබුනේ, “ඔබට එය කල හැකි නම්, ඔබ යා යුත්තේ කඩාකප්පල් කිරීම් හා ඝාතන ඔස්සේය.”

ටයිම්ස් පත්‍රය ද එක්සත් ජනපද සමස්ත මාධ්‍ය සංස්ථාපිතයම ද පාහේ නිර්ලජ්ජිත ලෙස ඝාතනයන් නීත්‍යානුකූල උපක්‍රමයක් ලෙස සැලකීම මගින් සනිටුහන් කෙරෙන්නේ, විශේෂයෙන්ම සෝවියට් සංඟමය විසුරුවා හැරි තැන් පටන් පසුගිය විසි වසර තිස්සේ එක්සත් ජනපද විදේශ පිලවෙතෙහි සාපරාධී ස්වභාවයයි. එය, පාලක පන්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදී විඥාන‍ෙය් බිඳ වැටීම හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙරෙහි කුමන හෝ කැපවීමක් නොමැති ක‍මේ ප්‍රකාශනයක් ද වෙයි.

මාධ්‍ය සංස්ථාපිතයේ කුහකත්වයට සීමාවක් නොමැත. ඇමරිකානු මාධ්‍යය, ඇමරිකානු භූමිය තුලදී වොෂින්ටනයේ සවුදි අරාබියානු තානාපතිවරයා මැරීමට මෙක්සිකානු මත් ද්‍රව්‍ය සංවිධානයක් කුලියට ගැනීම පිලිබඳව අනුමාන කරන සැලැස්මකට ඉරානය සම්බන්ධ බවට ඔබාමා පාලනය විසින් ඉදිරිපත් කරන ලද මුලුමනින්ම පාහේ ගොතන ලද ප්‍රකාශයක් අල්ලා ගෙන, ප්‍රති ප්‍රහාරයකට යා යුතු බවට හඬ නැඟුවේ යන්තම් තෙමසකට පමන පෙරය.

රොෂාන්ගේ ඝාතනය ගැන පලවූ නොයෙකුත් ප්‍රකාශ තුල ටයිම්ස් පත්‍රය එහි අපරාධාකාරී ස්වභාවය පිලිබඳව තුට්ටුවකටවත් මායිම් නොකල අතර එක්සත් ජනපදයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී සැඟවුනු ක්‍රියාවන්ගේ පලදායීත්වය ගැන කථා කලේය. “ඉරානයට එරෙහි බහු මුහුනත් සහිත රහසිගත ව්‍යාපාරය යුද්ධයට විකල්පයක් ඉදිරිපත් කරන බව පෙනී යයි.” ලිපිය සඳහන් කලේය. “එහෙත් වැඩිමනත්ව එය ඉරානයේ යුරේනියම් සුපෝෂනය අඩපන කරනු මිස නවතාලන්නේ නම් නැත.”

15දා බ්‍රිතාන්‍යයේ පලවන සන්ඩේ ටයිම්ස් පත්‍රය, නම් නොකල මූලාශ්‍ර පදනම් කරගෙන ටෙහෙරාන්හි වාහන තදබදය සහිත වේලාවක රොෂාන්ගේ වාහනයට බෝම්බ තැබීමට මොසාඩ් සංවිධානය මනාව සැලසුම් කල ආකාරය පිලිබඳ වාර්තාවක් පල කලේය. එක් ඊස්රායල් මූලාශ්‍රයකට අනුව “මිනීමැරුම මිලිටරි ප්‍රහාරයන්හි පෙර සලකුනක් මිස හුදු විකල්පයක් නොවේ. එමගින් බෝම්බ හෙලනු ලැබුවොත් ඉරානයට එම මධ්‍යස්ථාන ප්‍රති නිර්මානය කිරීම වඩාත් දුෂ්කර කෙරෙනු ඇත.” යනුවෙන් කරන සඳහන වැදගත්ය.

යථාර්තයේදී, ප්‍රමුඛ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් ඝාතනය කිරීම හා එම මධ්‍යස්ථාන කඩාකප්පල් කිරීම, සාමකාමී අරමුනු සඳහා වන බවට ටෙහෙරානය යලි යලිත් අවධාරනය කරන ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිලිවෙල කිසිවිටෙකත් නතර කිරීමට හෝ සැලකිය යුතු මට්ටමකින් අඩපන කිරීමට හෝ සමත් නොවනු ඇත. ඊට විපරීතව ඝාතන හා ප්‍රකෝපකරන මගින් සැලකිල්ලට ගැනෙන්නේ, ටෙහෙරානය විසින් කරන ප්‍රතිප්‍රහාරයක් අනෙක් අතට, ඉරානය විනාශ කිරීමටත් යුද්ධය සඳහා නිමිත්තක් සම්පාදනය කර ගැනීමටත් ගසාකෑමට ඇති හැකියාවයි.

වසර ආරම්භයේ පටන් ම, ඉරානයට එරෙහිව ආර්ථික යුදවාදයත් මිලිටරි සූදානමත් ඉහල නැංවීම සමග මෙම ඝාතන අතිනත ගෙන ගමන් කරයි. සිය යුරෝපීය සගයින් ද සමග සහයෝගීව එක්සත් ජනපදය, ඉරාන ආර්ථිකය බිඳ දැමීමට තර්ජනය කරන ඉරානයේ තෙල් අපනයන මත තත්වාකාරවූ තහනමක් පැනවීමේ ක්‍රියාවලියක නිමග්නව සිටියි. මෑතම සම්බාධක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයේ කඩතුරාව පවා නොමැතිව ඒකපාර්ශවිකව පැනවූ ඒවාය. එක්සත් ජනපදය ඉරානයට තර්ජනය කරනවා පමනක් නොව, චීනය වැනි සම්බාධකවලට විරෝධයපාන රටවලට එරෙහිව දඬුවම් පැමිනවීමට ද තර්ජනය කරයි.

ඒ සමග ම පෙන්ටගනය, පර්ෂියන් බොක්ක පෙනෙනතෙක් මානයේ එක්සත් ජනපද ගුවන්යානා හාරක නැව් සමූහයන් සංඛ්‍යාව දෙගුනයකින් පාහේ වැඩිකර තිබෙන අතර එමගින් ඉරානයට එරෙහිව විනාශකාරී නාවික හා ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ එහි හැකියාව බෙහෙවින් ඉහල නංවා ඇත.

රොෂාන් ඝාතනය, ඉරාන පාලන තන්ත්‍රය අස්ථාවර කර එය වෙනත් පිලිගත හැකි විකල්පයක් මගින් විස්ථාපනය කිරීමට දරන එක්සත් ජනපද උත්සාහය කිසිවකින් හෝ නතර නොකරනු ඇතැයි යන කාරනය ද සලකුනු කරයි. මැද පෙරදිග තුල වොෂින්ටනයේ කොල්ලකාරී කටයුතු පෙරට තල්ලු කරන්නේ, එක්සත් ජනපදයෙහි ගෝලීය ආර්ථික තත්වයෙහි ඉමහත් පරිහානියයි. දැනටමත් ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ දී කර ඇති පරිද්දෙන්, එක්සත් ජනපදය එහි යුරෝපීය හා ආසියානු එදිරිවාදීන්ගේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට වල කැපීම පිනිස තම මිලිටරි ශක්තිය යොදාගනිමින් සිටියි.

ටෙහෙරානයට එරෙහිව කුමන්ත්‍රනයක නියැලී සිටින ධවල මන්දිරයේ එම දේශපාලන තක්කඩියන් රැල ම ඇමරිකානු කම්කරු පන්තියේ ජීවන තත්වයන් වැනසීමේ ද වගකීම දරනු ලබයි. ඉරානයට එරෙහිව උත්සන්න කල ප්‍රචාරක ව්‍යාපාරය හා ව්‍යසනකාරී නව යුද්ධයක් පිලිබඳ තර්ජනය උනුසුම් වීම, රටතුල තියුනු වන පන්ති ආතතීන් වෙතින් අවබෝධය දේශපාලනිකව අපසරනය කිරීම සඳහා මනාව සේවය කරයි.

ඉරානයට එරෙහි සැඟවුනු හෝ විවෘත කුමන යුද්ධයකට හෝ ජාත්‍යන්තර කම්කරු පන්තිය විරුද්ධ විය යුතුය. ඒ, තුන්වන ලෝක යුද්ධයක් කරා ලුහුටා යාමත් ජීවන තත්වයන් කාබාසීනියා කිරීමත් හැරෙන්නට වෙනත් කිසිවක් පිලිගැන්වීමට අසමත් අර්බුද ග්‍රස්ත ධනේශ්වර පද්ධතිය අහෝසිකර දැමීමට යොමුවූ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපායක පදනම මතය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: